මිනි මේනියාව මට හැදෙනකොට මම බොහොම පොඩියි … මට මතක තරමට අවුරුදු 5 ක් විතර ඇති. අද වෙනතුරුත් මේ ලෙඩේ හොඳ කර ගන්න බෑ. මේ ලෙඩේට බෙහෙත් නැහැ කියල තමයි මේක හැදිච්ච හුඟක් දෙනා කියන්නේ. නමුත් ලෙඩේ පාලනය කරන්න නම් විදි නැතුවමත් නෙමෙයි !

ලෙඩේ මට බෝ කරපු එකේ සම්පූර්ණ වගකීම යන්න ඕන අපේ තාත්තට ! මේ කතාව පටන් ගන්නෙ දැනට අවුරුදු තිහකට කලින් .. හරියටම දින වකවානු ගැන කියනවනම් 1986 වගේ කාලේ.

අද අපිට අන්තර් ජාල පහසුකම්, LED රූපවාහිනී, ස්මාර්ට් ෆෝන්, Tablet වැනි දේ බොහොම සාමාන්‍ය දේ උනාට අසූ ගණන් වල ලංකාව බොහොම වෙනස්. ඒ දවස් වල ගෙවල් වල කළු -සුදු රූපවාහිණී අතරින් පතර තිබ්බත්, වර්ණ රූපවාහිණී කියන දේ අතිශය කලාතුරකින් දැකපු දෙයක්.

ඉතින් අඟල් විසි හතරේ වර්ණ රූපවාහිණියක් සමග වීඩියෝ පටි ධාවන යන්ත්‍රයක් (VHS Recorder) තියනව කියන්නේ ඊටත් වඩා බොහොම කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. හරියට ගෙදර අලියෙක් හිටිය වගේ තමයි !

මම හිතන්නේ අපිට එවන් අත්දැකීමක් ලබන්න වාසනාවන්ත වෙන්න හේතුව අපේ තාත්තට තිබිච්ච නව උපාංග පිස්සුව (Gadget Crazy). මට ඒ දවස්වල මේක බොහොම සාමාන්‍ය දෙයක් උනත් දැන් තමයි තේරෙන්නේ මේක සාමන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් කියල !

හැබැයි ඔය ඔක්කොමත් හරි හොඳ වීඩියෝ පටි හොයා ගන්නවා කියන්නේ ඉබ්බන්ගෙ පිහාටු හොයනවටත් වැඩ අමාරු දෙයක්. හරියට අලියා තිබ්බට හෙන්ඩුව නෑ වගේ. නමුත් ඒ කාලෙ අපේ තාත්ත රට රැකියාවක් කරපු හින්ද වීඩියෝ පටි හොයා ගන්න අමාරු උනේ නැහැ.

තාත්ත රට ඉඳල එනකොට අනිත් තෑගි බෝග එක්ක වීඩියෝ පටිත් ගේන එක අමතක නොකරපු දෙයක්. මට මතක විදිහට මම බලපු මුල්ම වර්ණ චිත්‍රපටි තමයි ඉටලියන් ජොබ් (Italian Job). ෆර්ඩිනන්ඩ් (Ferdinand), බොන් ෆ්‍රී (Born Free) , බෝනි-එම් සහ ඇබා සජීවී පටිගත කිරීම් (Boney-M and AbbA Live Recordings). අද ඉන්න බොහොමයක් තරුණ පරම්පරාව නම් මේවා වැඩිය අහල නැතුව ඇති .

ඔය කොහොම උනත් ඉටලියන් ජොබ් බලපු දවසේ ඉඳන් මට සහලෝළ මිනි උණ ! ඉටලියන් ජොබ් ගැන කතා කරනකොට මිනි අමතක කරනව කියන්නේ පොල් නැතිව පොල් සම්බල් හදනවා වගේ ! එදත්.. අදටත් මිනි යොදාගෙන හදපු ජනප්‍රියතම චිත්‍රපටිය තමයි ඉටලියන් ජොබ් !

මෑත කාලේදී (2003) මේ නමින්ම අලුත් මිනි යොදාගෙන චිත්‍රපටියක් හැදුවත් 1969 හදපු එකට තමයි මම නම් තවමත් කැමති (Old is Gold !). චිත්‍රපටියේ තියන මිනි කාර් වලින් කරන ත්‍රාස ජනක ක්‍රියාදාම කොටස් කවමදාවත් අමතක නොවෙන විදිහට හිතට කාවැදිලා තියනවා විතරක් නෙමෙයි කවද හරි මිනි එකක් මමත් ගන්නවා කියන අදහස මුලින්ම මගේ හිතේ පැල පදියන් උනේ ඔන්න ඔහොමයි !

මම දහස් වතාවකට වඩා මේ චිත්‍රපටිය බලන්න ඇති. ඕනාවට වඩා ඕනෑම දෙයක් හොඳ නැහැ කියන්නේ… මම පට්ට ගහලම මේ වීඩියෝ පටියට වැඩි ආයුෂ තිබ්බේ නැහැ.

මට කොයි තරම් මිනි අමාරුව තිබ්බත් මිනි එකක් ගන්න අවස්ථාවක් හම්බ උනෙම නැහැ. අවුරුදු 30ක් තිස්සේ නොයෙක් හේතු නිසා කුරුවල් වෙලා තිබ්බ ලෙඩේ මේ අවුරුද්දේ මුල ආපහු මතු උනේ නොහිතපු විදිහට. 2016 මුල මගේ නංගි කොළඹ විශ්ව විද්‍යාල උපාධිය අවසන් කලා. (මට නම් රාජ්‍ය විශ්ව විද්‍යාලයකට යන්න පින තිබ්බෙ නැහැ, හැකියාව තිබ්බට ලකුණු 150-200 වගේ පොඩි ගානක් මදි උනා ).

ඒ එක්කම මගේ නංගිගේ වාසනාවට රැකියාවකුත් ඉක්මනින්ම ලැබුන. දැන් තියන ලොකුම ප්‍රශ්නේ ගමන් පහසුකම් සලස්ස ගන්නේ කොහොමද එක. අපේ ගෙදර ඒ වෙනකොට මගේ මල්ලිගේ වාහනය තිබ්බත් ඒක නිතරම පාවිච්චි වෙන නිසා තව වාහනයක අවශ්‍යතාව තදින්ම දැනුන.

හිතන්න බලන්න දේවල් කෝටියයි … අතේ තියන ගානට හරි යන්නත් ඕනේ, කෙල්ලට ගැලපෙන පාට තියෙන්නත් ඕනේ, කැපිල පේන්නත් ඕනේ, හැටට හැටේ දුවන්නත් ඕනේ ! පවුලේ උදවිය, යාලුවෝ 150 ක් විතර ගෙනියන්නත් ඕන ! හොයපන්කෝ දැන් වාහන !

පොඩ්ඩක් හොයල බලපුවම අතේ තියන ගානට තියෙන්නේ ඉන්දියන් වාහන, එකක්වත් හිතට අල්ලන්නෙ නැහැ. ඔය අල්ල පනල්ලෙ තමයි වතුර යට තිබ්බ රබර් බෝලයක් වගේ මගේ මිනි අමාරුව උඩට මතු උනේ.

ලක්ෂ 15-25 ට ඉන්දියන් ටින් බෙලෙක්ක ගන්නවා වගේද හිඟා කාල හරි මිනි එක්කක් ගන්නවා කියන එක, මිනි එකක් ගමු කියන යෝජනාව කිසිම කරදරයක් නැතිව ඒක ජන්දයෙන් සම්මත උනා.

ඒ ගමන අපේ මාමයි, මගේ මල්ලියි මමයි මිනි පස්සේ පන්නන්න ගත්ත. හොඳ තත්වයේ තියන 1998-99 මිනි එකක් හොයා ගන්න ටිකක් අමාරුයි. තීන්ත හොඳ නම් එන්ජිම අවුල්, එන්ජිම හොඳ නම් ඇතුළ හරි නැහැ, ඔය දෙකම හොඳ නම් හොරට ගෙන්නල කපපු වාහනයක්, කොහොම හරි අපිට හොඳ වාහන 3-4 ක් ම හම්බ උනා.

හොඳට සෝදිසි කරලා බලල අපි අන්තිමට දිලිසෙන ලා – නිල් පාට (Sea Forest Blue) මිනි කූපර් එකක් ගන්න තීරණය කලා. කාර් එක ගත්ත දවසෙ නංගි වැඩට ගිහිල්ල, මල්ලියි මමයි හොඳ රවුමක් යන්න හිතාගෙන කාර් එකට නැග්ග. @@^(%(% පෙට්‍රල් කට්ට බින්දුවේ !

ඒ වෙලාවේ නම් ටිකක් තරහ ගියත් මග හිටින්නේ නැතුව අපි පෙට්‍රල් ගහගෙන දැම්ම රවුමක් ! වාහනේ බර නැති හින්ද පාගනකොට ඉගිල්ලෙනවා මල් හතයි !

අන්තිමට මට මිනි එකක් ගන්න බැරි උනත් නංගිට අරන් දීල හිත හදා ගත්ත. නමුත් ප්‍රශ්නේ තාම එතනමයි, අවුරුදු 30 ක් පහු වෙලත් මගේ මිනි පිස්සුව හොඳ නෑ, එක ගැන හොඳටම දැන ගන්න නම් ඉතින් අහන්න ඕන අපේ නෝනා මහත්තයගෙන් !

එයා කියනවිදිහට අදටත් මම පාරේ යනකොට මිනි එකක් දැක්කම උඩ පනින්නේ පොඩි එකෙක් වගේලු. එයාගේ භාෂාවෙන් කියනවනම් මට තියෙන්නේ හොඳ නොවෙන මිනි ගායක් නැත්නම් මිනි අසහනයක් !

මිනි එක ගැන තවත් විස්තර ඉස්සරහට  >>

Advertisements