Land Rover, Land Cruiser සිට FJ Cruiser දක්වා …

මට පොඩි දවස් වල ඉඳලම තිබිච්ච ලොකු ආසාවක් තමයි කවද හරි ඕෆ්-රෝඩ් (Off Road) වාහනයක් ගන්න එක ! ගොඩක් දෙනෙකුට වගේ මගෙත් ප්‍රියතම වාහනේ තමයි ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් (Land Rover Defender) එහෙම නැතුව අපේ භාෂාවෙන් කියනවනම් ලැන්ඩිය”. ඒත් ලංකාවේ හිටපු මට, ලැන්ඩියක් ගන්න තරම් කොහෙද සල්ලි ??? කොටින්ම කිව්වොත් : Clean Suit, Empty Pocket !

ලැන්ඩියක් ගන්න තරම් සල්ලි හොයන්න ලේසිම විදිහ තමයි ජනතා සේවය නොහොත් දේශපාලනේ. කරුමෙට අකුරු සාස්තරේ ඉගෙන ගත්ත හින්දයි, පොඩි කාලේ ඉඳලම බොරු කියන්න බැරි හින්දයි ඒ වැඩේ හරි යන්නේ නෑ ! බැංකු මංකොල්ල කාල හිරේ යන්නත් බෑ !

ඉතින් කරන්න තියන එකම වැඩේ තමයි සෙල්ලම් දාගෙන ඉගිල්ලෙන ඩිෆෙන්ඩර් දිහා බල බල හුල්ලන එක. හැබැයි ඉරිසියාවට නම් නෙමෙයි දුකට !

නමුත් හැම දෙයක් දිහාම ඍනාත්මකව බලන්නේ නැතුව වැඩේ කෙරෙන පැත්තකුත් බලන්න ඕනනේ. ඉතින් සල්ලි නැති ! රථගාය ඇති ! අපිට තියන හොඳම විකල්පය තමයි පරණ ලෑන්ඩ් කෘසර් (Land Cruiser) BJ 40 එකක් හරි FJ 40 එකක් හරි අරන් හදා ගන්න එක.

හැබැයි එකත් ලෙහෙසි පහසු වැඩක් නොවෙයි, දිරල හිල් කූඩ වගේ පොළොවට පස් වෙච්ච නැති, අඩු ගාණට වාහනයක් හොයන එකට වඩා ලෙහෙසියි කළු නික හොයන එක.

එහෙම වාහනයක් හොයා ගත්තත් ආපහු අලුත්වැඩියා කරල නැවත ධාවනයට සුදුසු තත්වයකට ගේන එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි.

හිතන්න දේවල් බර තොගයක් තියනවා. ටින්කරින් ? අමතර කොටස් ? එන්ජිම ? පෙට්‍රල්ද ? ඩීසල්ද ? ඉන්ධන පරිභෝජනය ? රෝද වල ප්‍රමාණය ? ඇතුළත තත්වය (Interior condition) !

හැදුවට පස්සෙත් ඉතින් නිවනක් නැහැ ගරාජ් ගානේ දුවන්නයි, අතේ තියන තුට්ටු දෙකෙන් පෙට්‍රල් ගහන්නයි ගියොත් ඉවරෙටම ඉවරයි !

අපේ ගමේ ගොඩේ නම් කියන්නේ ලෙඩ ගෑණුයි, පරණ වාහනයි දෙකම විනාසෙට මුල කියල, හරියට හොයල බලල කරේ නැතිනම් ඔය කියපු දෙකම ඇත්ත, කිසිම විවාදයක් නැහැ.

ඔය ඔක්කොම ප්‍රශ්ණ ගැන හිත හිත හිටිය මිසක් ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර තිබ්බෙත් නැහැ …. උත්තර හොයන්න සල්ලි තිබ්බෙත් නැහැ ..!

ඒ වෙනකොට මට හොඳ රස්සාවක් තිබුනත්, තිබ්බ සල්ලි ඔක්කොම ඩයලොග්/Dialog එකටයි, මැජෙස්ටික් සිටී/Majestic City එකටයි සතිපතා දන් දුන්න හිටපු එකම කෙල්ලත් එක්ක මල් කඩන්න (The One and Only !)

කවුද මේවට වග කියන්න ඕනේ ??? වෙන කවුරුවත් නෙමෙයි මගේ නෝනා මහත්තය තමයි ! ඔහොම ඉන්න අතරේ මට පිට රට රැකියාවකට යන්න අවස්ථාව හිමි උනේ නොහිතපු විදිහට. ඉතින් මගේ තිබ්බ රථ ගායට බෙහෙත් කරන්න කලින් මම පියෑඹුව මැද පෙරදිගට (වැඩි විස්තර මෙතනින් ) !!!

~ මතු සම්බන්දයි !

II  කොටස ~ ලෑන්ඩ් කෘසර් සහ මළයාලී කෘසර්…

 

 

Advertisements