ලෑන්ඩ් කෘසර් සහ මළයාලී කෘසර් …

මැද පෙර දිග කිව්වට, මම ගොඩ බැස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යට (UAE). එක්සත් අරාබි එමීර් රාජ්‍ය හුඟ දෙනෙක් හඳුන්වන්නේ කාන්තාරේ තියන ක්ෂේම භූමියක් (Desert Oasis) එහෙමත් නැතිනම් අපායේ තියන දිව්‍ය ලෝකයක් විදිහට (Heaven in Hell). මෙහේ බොහොම දියුණු කාර් සංස්කෘතියක් වගේම ගොඩක් පහසු මිල ගණන් වලට හොඳ තත්වයේ වාහන මිලදී ගැනීමේ හැකියාවත් තියනවා.

අනිත් එක වතුර ලීටරේ 50 යි පෙට්‍රල් ලීටරේ 70යි, පුළුවන් නම් වකුගඩු දෙක වෙනුවට එන්ජිමක් හයි කරගෙන වතුර වෙනුවට පෙට්‍රල් බොනව ! ඉතින් ඔය හේතු හින්ද බොහොම දරුණුවට රථ ගාය හැදිලා ඔත්පල වෙච්ච් රෝගීන් මෙහෙ බොහොමයි !

ලෝකේ තියන ඕනෑම වාහනයක් මෙහෙදී දකින්න පුළුවන්. ඒ කියන්නේ ඉන්දියන් ටින් බෙලෙක්කේ හිටං අලුත්ම මර්සිඩීස්-බෙන්ස් G63 6X6 (Maruti to Mercedes-Benz G-63 6×6) දක්වා හැම දෙයක්ම !. අනික සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙකුට (White Collar Worker) බොහොම සැප පහසු වාහනයක් හරි 4×4 එකක් මිලදී ගන්න එක ලොකු දෙයක් නෙමෙයි.

හැබැයි කොයි රටේ හිටියත් තමන්ට ගැලපෙන වාහනයක් තොර ගන්නවා කියන එක ටිකක් කල් යන වැඩක්. ඒ හින්ද මම මුලින්ම ලොකු ලොකු අතු අල්ලන්නේ නැතුව මට දරන්න පුළුවන් විදිහට පාවිච්චි කරපු මිට්සුබිෂි (Mitsubishi Galant) එකක් ගත්තේ.ඒකෙන් මගේ ඕෆ්-රෝඩ් (Off Road) අමාරුව හොඳ උනේ නැති උනාට, මායි මගේ ලමිස්සියි ගැලන්ට් එකෙන් නොගිය තැනක් නැහැ. (ඒ ගැන වැඩි විස්තර වෙන දවසක)

දැන් ඉතින් එහෙ මෙහෙ දුවන්න වාහනයක් තියන නිසා මම ආපහු 4×4 හොයන්න පටන් ගත්ත. UAE වල ජනප්‍රියතම 4×4 වාහනේ තමයි ලෑන්ඩ් කෘසර් V8 (Land Cruiser V8) මේක වැලිකඳු තරණයට බොහොම හපන් ! (King of the Dunes)

නමුත් ජනප්‍රියත්වය හින්දමද කොහෙද අනෙක් වාහන එක්ක සසඳනකොට මිල ඉතාමත් අධිකයි. උදාහරණයක් ගත්තොත් : ලෑන්ඩ් කෘසර් V8 එකක් ගන්න සල්ලි වලින් මිට්සුබිෂි පැජරෝ (Mitsubishi Pajero) දෙකක් ගන්න පහසුවෙන් පුළුවන් !

වාහනෙන් වාහනේට උපාංග, ගණන් මිමි, නැවත විකිණුම් මිල වෙනස්. ඇමරිකානු / ජපාන / යුරෝපීය වෙළඳ නාම (Brands) ? හිතන්න දේ බොහෝමයි !

ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ (Land Cruiser Prado) ගැනත් හොයල බැලුවට ඒතරම් හිත ගියේ නැහැ ! හැම වාහනයකටම වගේ ප්‍රාඩෝ එකටත් වෙන් වුන වෙළදපොලක් (Targeted Market/Crowd) තියනවා. මෙහේ ඉන්න යමක් කමක් තියන හැම මළයාලී මනුස්සය ගාවම තියෙන්නේ ප්‍රාඩෝ එකක්.

කොටින්ම කිව්වොත් පඳුරකට පයින් ගැහුවත් ප්‍රාඩෝ වීසිවෙනවා. මේ වාහනේ නම වෙනස් කරන්න කියල මට කිව්වනම් මම දාන්නේ “මළයාලී කෘසර්” කියල.

මේකෙන් අදහස් කරන්නේ නැහැ ප්‍රාඩෝ එකවත් මළයාලී මිනිස්සුත් නරක බව ! ප්‍රාඩෝ එක මෙතරම් ජනප්‍රිය වෙන්න ආසන 7 ක පවුලේ වාහනක් වීම, නැවත විකිණුම් මිල (Resale Value), සහ සැප පහසුව.

මළයාලී මිනිස්සු බොහොම මහන්සි වෙලා වැඩ කරන ධෛර්යයවන්ත කොටසක්. ඔක්කොටම වඩා UAE වල මට ඉන්න හොඳම මිත්‍රයත් මළයාලී ජාතිකයෙක් වාගේම නොම්මර එකේ කාර් පිස්සෙක් !!!

~ මතු සම්බන්දයි !

I කොටස ~ Land Rover, Land Cruiser සිට FJ Cruiser දක්වා …

III කොටස ~ බාල ගිරි දෝෂය වැළදුණු හතරයි හතරේ දඩයම !

Advertisements