බාල ගිරි දෝෂය වැළදුණු හතරයි හතරේ දඩයම !

වාහන හොයන වැඩේ දවසකින් දෙකකින් ඉවර වෙන වැඩක් නෙමෙයි ! රාජකාරි වැඩ, නිවාඩු සහ ගෙදර ජරමර එක්ක මගේ වාහන හෙවිල්ලට බාලගිරි දොසේ හැදුන ! දවසෙන් දවස පස්සට ගිහින් දන්නෙම නැතිව අවුරුදු 5 කුත් ගෙවිල !

නමුත් මේ කාලය අතරතුර ස්විට්සර්ලන්තය, ජර්මනිය වගේ ලෝකේ හොඳම තැන් එක්කම ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව වගේ බොහොම භයානක තැන වලත් රවුම් ගහන්න මටයි මගේ ලමිස්සිටයි අවස්ථාව ලැබුන.

අපි මොන රටකට ගියත් රටෙන් රටට කාර් සංස්කෘතිය විවිධාකාරයි. ඇෆ්ගනිස්තානේ තියන දැඩි තහඩු වලින් ආවරණය කරපු 4×4, 8×8 සන්නද්ධ රථ (Armoured Vehicles), යුරෝපීය රටවල තියන පැරණි ක්ලැසික් සහ රේස් කාර් (Classic & Race Cars), සෝමාලියාවේ තියන කෑලි මග දමමින් දුවන පිටගැස්ම හැදෙන තරමට මළකඩ කාපු පරණ ජපන් පික්-අප් රථ (Japanese Pickup Trucks) මේවා විස්තර කරන්න අමාරුයි ගිහිල්ලම බලන්න ඕනේ. මේ හැම දෙයක්ම අලුත් අත්දැකීම් මිසක් කරදර විදිහටව අපිට දැනුනේ නැහැ !

මේ වැඩේ හරි යන්නේ නැහැ, නාකි වෙලා තරුණ විසේ යන්න කලින් වහනයක් ගන්න ඕන නිසා අන්තිමට මම ආස කරන වාහන වල කෙටි ලැයිස්තුවක් (Short List) හැදුව.

අවසාන වටයට තේරුනේ ටොයෝටා-ෆෝචූනර්, නිසාන්-එක්ස්ටෙරා, ජීප්-රැන්ග්ලර් සහ මිට්සුබිෂි-පැජරෝ (Toyota-Fortuner, Jeep-Wrangler, Nissan-Xterra, Mitsubishi-Pajero). ජපන් වාහන 3 යි , ඇමරිකන් වාහනයයි.

හැබැයි අවාසනාවට මගේ ප්‍රියතම 4×4 වාහනේ, “ලැන්ඩිය” (Land Rover Defender) මේ ලැයිස්තුවෙන් හැලුනා ගණන් මිමි හරි ගියේ නැති නිසා, ඉතිරි වෙච්ච ඔක්කොම කාලයක් තිස්සේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන හොඳ වාහන !

නමුත් මොන වාහනේ කොයි සක්කරයට හරි ගියත් අපේ ලමිස්සිගෙ හිතට ඇල්ලුවේ නැතිනම් ඔක්කොම කොට උඩ, මම ඉතින් ඒ පාර ඕන දෙයක් වෙන්න කියල ලැයිස්තුව නිසි බලධාරිණියට බාර දුන්න !

මම ඉතින් ලැයිස්තුව නිසි බලධාරිණිය හෙවත් මගේ මායියට බාර දුන්න ! ඉතින් මොනවද උනේ ??? වෙන මොනවා වෙන්නද … පොල්ලෙන් ගැහුවා වගේ ඔක්කොම ප්‍රරතික්ෂේප උනා, එක්කෝ පාට හරි නැහැ ! එක්කෝ පෙට්ටි ගතිය වැඩියි ! එක්කෝ සද්දේ හරි නැහැ ! මීට වඩා වෙන වාහන නැද්ද ? රටේ නැති ප්‍රශ්න ගොඩයි !

මට පරණ තීන්ත වෙළඳ දැන්වීමකුයි විජේරත්න වරකාගොඩ මහත්තය ඉන්න වතුර ටැංකි දැන්වීමකුයි එක පාර මතක් උනා …. හුටා දැන් මොකද කරන්නේ … වාහන ලැයිස්තුව මාරු කරනවද… ? මායියව මාරු කරනවද… ? උභතෝකෝටික ගැටළුවක් !

~ මතු සම්බන්දයි !

II කොටස ~ලෑන්ඩ් කෘසර් සහ මළයාලී කෘසර්…

IV කොටස ~ සුවතට හැරුණු හතරයි හතරේ ගාය !

Advertisements