සුවතට හැරුණු හතරයි හතරේ ගාය !

වාහන ලැයිස්තුව මාරු කරනවද… ? මායියව මාරු කරනවද… ? වාහන වගේද මගේ බිරින්දෑව ? … අප්පේ කොහොමටත් ආයේ බිරින්දෑව මාරු කරන්න බැහැ, මංගල උත්සවයේ වියදම මතක් වෙනකොටත් බඩ පපුව දාල යනවා ! ඒක හින්ද අමාරුවෙන් හරි බැඳපු එක නඩත්තු කරන එක තමයි හොඳම වැඩේ !

අනික එක මෝඩ වැඩක් එක පාරකට වඩා කරන එක නුවණක්කාර කෙනෙකුට ඔබින්නේ නැහැ, මම හෙමින් සැරේ වෙන වාහනයක් හොයා ගන්නවා, රැවුලයි කැඳයි බිරින්දෑවයි ඔක්කොම බේර ගන්න තියන එකම විසඳුම !

ඕනෑම දෙයක් කරන එකට වඩා ලෙහෙසියි කියන එක. දැන් හොයපල්ලකෝ ආපහු වාහන ! වාහනයක් හොයන්න බැරි උනොත් එකක් හදන්න තමයි වෙන්නේ, එහෙම නැතුව බිරින්දෑවරු සතුටු කරන්න බැරි බව මේ අමාරුවේ වැටිච්ච උදවිය දන්නවා.

ඔහොම අහස පොළොව ගැටලන්න වගේ දස අතේ කල්පනා කර කර ඉන්නකොට තමයි දෙය්යො මුහුණ බැලුව වගේ අලුත්ම අළුත් වාහනයක් වෙළඳපලට අදුන්වල දුන්නේ !

ඒ තමයි ටොයෝටා එෆ්ජේ  කෘසර් එක (Toyota FJ Cruiser). මේක බොහෝ දෙනෙකුට එක්කෝ සම්පුර්ණයෙන්ම කැමතිවෙන හරි අකමැති හරි වෙන දෙයක් (Love it or Hate it !).

මම  නම් මේක පළමු වතාවට දැකපු ගමන්ම ඉහටත් උඩින් කැමති වුනා (Love at First Sight) මේ හා සමානව මගේ හිත ගත්ත වාහන තියනව නම් බොහොම අතලොස්සයි (ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර්, VW බීටල්, මිනී සහ  VW කොම්බි වෑන්).

පමණට වඩා වැඩිච්ච් ඉබ්බෙක් වගේ මේ වාහනය යම් දුරකට පරණ ටොයෝටා ලෑන්ඩ් කෘසර් FJ40 (Toyota Land Cruiser FJ40) එකේ හැඩතල වලට යම් දුරකට අනුගත වුන අලුත් ආකාරයක ඉදිරිපත් කිරීමක් !

මේකට කිට්ටුවෙන් හරි යන වාහන දෙකයි අපිට වෙළදපොළේ හමු වෙන්නේ, ඒ තමයි ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් සහ ජීප් රැන්ග්ලර් (Land Rover Defender and Jeep Wrangler).

කොහොම උනත් ආපහු ඇන ගන්න බැරි හින්ද මම ගෙට පනින්න කලින් මුට්ටිය දානවා වගේ වහෙන් ඔරෝ අපේ බිරින්දෑවට අදහස දාල බැලුව, හොහිතපු විදිහට ලමිස්සිත්  අකමැත්තක් පෙන්නුවේ නැහැ,එක බොහොම හොඳ ලකුණක් !

යකඩේ රත් වෙච්ච වෙලාවට තලා ගන්න ඕනේ. ඒ හින්ද මම ලඟම තියන ටොයෝටා ඉස්පිරිතාලෙන් දොස්තර මහත්තකුත් චැනල් කරලා ටෙස්ට් රන් (Test Run) එකකුත් කරා. වැඩේ බොහොම සාර්ථකයි. මගේ ලෙඩේ හොඳ වෙන්න දොස්තර මහත්තය ටක්කෙටම හරියන බෙහෙතක් ලියල දුන්න !

අමාරු කොටස ඉවරයි, පෙරුම් පුරලා මග බලාගෙන හිටපු විදිහට අපි දෙන්නම කැමති වාහනයක් අපිට හම්බ උනා ! වාහනේ ගන්න තමයි දැන් තියෙන්නේ.

නමුත් කියනවනේ හදිස්සි උනොත් කොරොස් කටෙත් අත දාගන්න බැහැ කියල කොච්චර හදිස්සිය තිබ්බත් මම පිස්සුව ඉවසගෙන හිටිය රාමදාන් මාසේ තියන විශේෂ සේල් එක එනකම්.

පිස්සුව හොඳ කරගන්න උනත් වෙලාව හරි යන්න ඕනේ !

මම කියනවටම  නෙමෙයි, බොරුනම් සුමනදාස අබේගුණවර්ධන සහ චන්ද්‍රසිරි බණ්ඩාර මහත්හොරු දෙන්නගෙන් අහල බලන්ට !

සතුටෙන් ඉන්න බිරිදක් කියන්නේ, සතුටුදායක ජීවිතයක්, ( Happy Wife, Happy Life ! ) මේක යන්තමට පණ ගැට ගහගත්ත බැඳපු එකෙක් කියපු හොඳ අවවාදයක් ! ඉතින් 2015  ජුලි මාසේ මම දුන්න අපේ නෝනා මහත්තයට තෑග්ගක් උපන් දිනයටත් කලින්, එතකොට මට ?

මටත් ඉතින් අවුරුදුයි, නත්තලුයි දෙකම එකට ලබල ජැක්පොට් එකකුත් ඇදුනවගේ,   30% කටත් වඩා වට්ටමක් සහිතව අපි ටොයෝටා එෆ්ජේ කෘසර් එකක් ගෙදර ගෙනාව !

දැන් නම් රජ මගුල්, හතරයි හතරේ පිස්සුවත් සෑහෙන්න සුවයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ අතුරු අබාධ විදිහට හැදිලා තියන ඇවිදින රුදාව, ඕව ඔහොම තමයි !

~ නිමි !

ප.ලි.  : කතාව ඉවරයි කිව්වට තව ඉවරම නැහැ, ඇවිදින රුදාව හොඳ කරගන්න ගහපු රවුම් පසුවට !

I කොටස ~ Land Rover, Land Cruiser සිට FJ Cruiser දක්වා…..

II කොටස ~ ලෑන්ඩ් කෘසර් සහ මළයාලී කෘසර්…

III කොටස ~ බාල ගිරි දෝෂය වැළදුණු හතරයි හතරේ දඩයම !