පිටු ගිලිහුණු මතක පොත …

cropped-711.jpg

කතාව කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියල හිතට නිච්චියක් නැහැ.. විසි පස් අවුරුද්දක් කියන්නේ බොහොම ලොකු කාලයක්.. ලංකාවෙන් පිට වෙලත් දැන් දහ අවුරුද්දක් වෙන්න කිට්ටුයි.. නොදැනීම කාලය ගිහින්, දැන් බුරුවො හත් දෙනෙක්ගේ වයස, වැඩ කරන තැන රාජකාරි, පවුලේ දේවකාරි එක්ක ජීවිතේ බොහොම කාර්ය බහුලයි.

පොඩි කාලේ හිටපු යාලුවෝ හුඟ දෙනෙක් අද ආශ්‍රයෙන් වගේම මතකයෙනුත් මග හැරිලා ගිහින් හමාරයි ! සමහරුන්ගේ මුහුණු මතකයි, නම් මතක නැහැ සමහරුන්ගේ නම් මතකයි මුහුණු මතක නැහැ.. ජීවිතේ තවත් සමහර තැන් පරිඡේද පිටින් හිස් .. මේක කාලය මැව්ව වෙනසක් කියල ලෙහෙසියෙන් අත සෝදා ගන්න පුලුවන්ද ? මේ වැරැද්දට මමත් කොටස් කාරයෙක්ද ?

හැබැයි තමන් දිහාවටම ඇඟිල්ල දික් කරගන්න එකත් පලක් නැති දෙයක්, පරණ යාලුවෝ හිතවතුන් හුඟ දෙනා තම තමන්ගේ අලුත් ලෝක ගොඩ නගාගෙන.. පවුල් පන්සල් වෙලා දරු මල්ලෝත් එක්ක බොහොම සතුටින්.. කලාතුරකින් වගේ තවම තනිකඩ සුවය විඳින උදවිය නැතුවමත් නෙමෙයි (අපිටත් එහෙම කාලයක් තිබුන !).

ජීවිතය කියන්නේ නවතින්නේ නැතුව ගලාගෙන යන ගඟක් වගේ, පහළට ගියපු දෙයක් ආපහු උඩුගං එන්නේ නැහැ. එහෙමයි කියල කිසිම දෙයකට තවම පමා වැඩි නැහැ.. මේ කෝච්චිය ගිහින් අහවර උනා නම් විස්සෝප වෙන්නේ නැතුව ඊලඟ එකේ එල්ලෙන එක තමයි කරන්න ඕන !

මොන අභියෝග මැද උනත්, ඔලුවේ නරකෙස් මතු වෙලා ඉතිරි වෙලා තියන මතකයත් දුරස් වෙන්න කලින් ඔලුවේ කොන් වල මුළුගැන්විල  තියන දේවල් වලින් අංශු මාත්‍රයක් වත් ලියල අහවර කරගන්න ලැබුනොත් ලොකු දෙයක්. අනපේක්ෂිත විදිහට වතුර යට හිර වෙලා තිබුන රබර් බෝල වගේ සැරින් සැරේ හිත මතු පිටට එන විවිධ මතකයන් සහ අදහස් නැවත යට යන්න නොදී වචන වලට පෙරලන එක එක අමාරු වැඩක් !

පාසල් කාලයේ සිංහලෙන් ලියන කරන එක කජු කනව වගේ බොහොම සුලු දෙයක් උනාට දැන් කොම්පියුටරෙන් සිංහල අකුරු කුරුටු ගාන එක නම් නොසෑහෙන්න කාලය, උනන්දුව සහ කැපවීම තිබිය යුතු දුෂ්කර ක්‍රියාවක් ! ඔය ඔක්කොමත් හරි ඊළඟ අභියෝගය වසර විසි පහක් තිස්සේ මළකඩ කාපු සිංහල අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ සහ භාෂාව හැසිරවීම.

ඉතින්  ඉස්සර වගේ ලියන්න කියන්න දැන් අමාරුයි, මේ ලියන ඒවා මගේ බාලාංශේ ගුරුවරු දැක්ක නම් අනුමානයක් නැහැ හුණු කොට්ට පාරක් හරි නිල් වෙන්න අඩි රූල් පාරක් හරි ලැබෙන එක නියතයි ! කොහොම උනත් මගේ ලිවීමේ අඩු පාඩුවක් දැක්කොත් එක මට පෙන්නල දෙන එක ගැන මගේ කිසිම තරහක් නැහැ !

ලියන්න පටන් ගත්තට වැල් වටාරම් කියවනවා මිසක්, තවම මුලක් මැදක් අගක් ඔලුවට එන්නේ නැහැ, ලෙහෙසිම දේ තමයි මුල ඉඳන්ම පටන් ගන්න එක. මුලින් කිව්වා වගේ මගේ මතකයේ හිස් තැන බොහොමයි ඒනිසා මට අමතක වෙච්ච උදවිය සිදුවීම්, තියෙනවා නම් සමාව දෙන්න ඕනේ. හැංගිච්ච අං කොන් මතක් කරලා දුන්නොත් මම බොහොම සතුටින් මේකෙම පල කරන්නම් !

II කොටස – ගොඩගම සුභාරතියේ නම් ගොඩම තමයි !

~ මතු සම්බන්ධයි !

Advertisements