ගොඩගම සුභාරතියේ නම් ගොඩම තමයි !

subharathi-logo මම පළමු වසර සිට පස්වෙනි වසර දක්වා ඉගෙන ගත්තෙ ගොඩගම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ, නමුත් පසු කාලෙකදි නම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලය විදිහට වෙනස් වුණා. මේ පාසැල  වසර 1986 මම බාලාංශ පන්තියට ඇතුළත් වෙනකොට මේ ප්‍රදේශයේ තිබුන හොදම කණිෂ්ඨ විද්‍යාලය විදිහට හැමදෙනාම සැලකුව.

10896367_10152942082096206_5697538193105551263_o

සෑම වසරකම සුභාරතියේ සිසුන් 150 ක් විතර පිරිසකගෙන් අඩුම තරමේ සිසුන් 70-80 ක රොත්තක්වත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. මෙහි ගෞරවය ඒ දවස් වල හිටපු ගුරු මණ්ඩලයට නිසැකවම හිමි විය යුතුයි. අපි වගේ අණ්ඩපාලයෝ රංචුවක් ආම්බන් කරලා ගොඩ දානවා කියන්නේ ලෙහෙසි පහසු කර්තව්‍යක් නෙමෙයිනේ.

අපේ පවුලෙ ළමයි තුන් දෙනාවම සුභාරතියට ඇතුල් කරන්න මගේ දෙමව්පියන්ට දෙපාරක් හිතන්න අවශ්‍ය වෙලා නැහැ. අනික අපේ තාත්තාත් එක විදිහක මනුස්සය, ළමයින්ට ඉගෙන ගන්න පුළුවන් නම් කොහේ දැම්මත් ඉගෙන ගනී කියල තමයි හැම තිස්සෙම කිව්වේ !

ඉතින් කොහොමින් හරි වැලිපිල්ලෑවේ කණ්ඩලෑ ගෙදර ඔක්කොම සුභාරතියේ ! අපි කාටවත් වැරදිලා නැහැනේ. අද ආපහු හැරිලා බලනකොට මේක බොහොම නිවැරදි තීරණයක් !

සුභාරතිය පිහිටලා තියෙන්නේ ගොඩගම හතරමං හන්දියේ මීගොඩ පාරයි හෝමාගම පැත්තට වෙන්න තියන හයිලෙවෙල් පාරයි අතර මැද. හැබැයි මේ වකවානුවේ ගොඩගම හන්දිය අදට වඩා බොහොම වෙනස් තැනක්. කොටින්ම කිව්වොත් කඩ හත අටක් තිබූන බස් නවත්තන පොඩි හතරමං හන්දියක්.

subharathi-map

අද වෙනකොට හඳුනා ගන්න පුළුවන් එකම මං සලකුණ මීගොඩ/පාදුක්ක පාරටත් අවිස්සාවේල්ල පාරටත් අතර තියන බෝ ගහ විතරයි. දැන් ලස්සන වැටක් එහෙම දාල හදල තිබ්බට එද දවස් වල මෙතන පහනක් පත්තු කරන්න, මල් ටිකක් තියන්න බොහොම චාමෙට හදපු  තැනක්.

බෝ ගහට මුහුන දාල පනාගොඩ පාර පටන් ගන්න තැන වෙල අයිනට වෙන්න උසට ලෑලි තට්ටුවක් උඩ හදපු වාසනා ක්‍රීම් හවුස් (මතක විදිහට) කියන කඩේ තිබුනේ. පොඩි දවස් වල අපේ ප්‍රියතම දේවල් වෙච්ච අයිස් පැකට්, අයිස් පලම් වගේම ටොෆි, චොක්ලට්, පැණි කජු සහ සීනි බෝල වගේ කඩචෝරු එහෙමත් මේකේ තිබුන.

මේ කඩේ ඉස්සරහ පාරේ අනිත් පැත්තේ තමයි මේ හරියට තිබුණ එකම හෝටලය තිබුනෙ. නමින් කියනව නම් ප්‍රසාද් හෝටලය, ඒ දවස් වල මේ හෝටලය බස් රියදුරන්, කොන්දොස්තරවරු සහ අනෙක් වැඩ කරන මිනිස්සු අතර හරි ජනප්‍රියයි. කට පිච්චිල යන තරම් දැවිල්ල රස දවල් කෑම, චයිනීස් රෝල්, එළවලු රොටි, බනිස් වගේ කෑමත් මෙතන සරුවට විකිනුණා. කාලෙක වසංගතයක් වගේ ලංකාව පුර පැතිරුණ ජැක්පොට් මැෂින් 3-4 කුත් මේකෙ තිබුන !

හෝටලයට එහා පැත්තේ මැස්සෝ ඇහිරෙන පරණ සිල්ලර කඩයක් සහ තවත් මීටර් කීපයක් එහාට වෙන්න තමයි බස් නැවතුම් පොළ. 190 ගොඩගම – පිටකොටුව වගේම 293 හෝමාගම – හංවැල්ල බස් නවත්වන්නෙත් මෙතන. අපිට නම් වැඩිය කරේ බස් තියන් පයින් ගියපු එක තමයි …. ඒ ඇයි කියල පස්සේ දවසක කියන්නංකො.

මම පළමු වසරෙදි සුභාරතියට ඇතුලත් වෙනකොට අපේ මුළු ඉස්කොලෙටම තිබුනේ ගොඩනැගිලි 4-5 ක් සමග කුඩා බුදු මැදුරක් විතරයි. පාසල් ආපන ශාලාව එහෙම නැතිනම් කැන්ටිම තිබුනේ ටකරම් හෙවිල්ලපු තාවකාලික මඩුවක් වගේ තැනක. තාමත් මේක එහෙමමද දන්නේ නැහැ

අද ක්‍රීඩා පිටිය තියන තැන අතරින් පතර අස්වද්දපු  පුරන් වෙච්ච වෙල් යායක්. මේ වෙලේ බැහැල මඩකරි වගේ තණකොළ පෙත්තෝ, දංඩි පැටව් අල්ලපු කාලයක් අපිට තිබුන කියල මතක් වෙනකොටත් පුදුමයි ! මේ වෙල කෙලවරේ පොඩි දිය පාරක් එක්ක සරුවට හැදුන ලොකු හබරල ගාලක් තිබ්බ ඊටත් එහා පැත්තේ හෝමාගම-අවිස්සාවේල්ල ප්‍රධාන පාරට මුහුණ දාපු පොඩි කඩ පේලියක්. මේ කඩ පිටිපස්සෙ නියර දිගේ කුඹුර මැද්දෙන් වැටුන අඩි පාරක් තිබ්බට ඉස්කෝලෙට එන්න අපි ගොඩක් දුරට පාවිච්චි කරේ අද තියන මීගොඩ/පාදුක්ක පාරෙන් ඇතුල් වෙන ප්‍රධාන පාර.

මේ පාර ඉස්කෝලෙට විතරක් අයිති එකක් නෙමෙයි ඉස්කෝලේ මායිම දිගේ ගිහින් ගොඩගම දුම්රියපොළට වැටෙන පොඩි කරත්ත පාර පටන් ගන්නෙත් මෙතැනිනම තමයි. පාර පටන් ගන්න තැන බොහොම අබලන් බෝක්කුවක් තිබ්බ, මේ බෝක්කුව දාන්න හේතුව වෙලා තිබුනේ කුඹුර මැදින් ගලාගෙන ආපු පිරිසිඳු ඇල පාර.

මේ ඇල පාරේ මාළු, කක්කුට්ටෝ පිරෙන්න හිටිය ඒ දවස් වල, මීට අමතරව මේ ඇලේ ඉබ්බෝ පවා ඉන්නවා කියල ඒ අහල පහල හිටපු මිත්‍රයෝ කියනව මම අහල තියනවා (හැබැයි අපිට නම් අහු වෙච්ච ඉබ්බෙක් නැහැ). අපි පාසැල ඉවරවෙලා හවස් වෙනකම් සෙල්ලම් කරපු දවසට කකුල් අත පය හෝද ගන්න මේ ඇල පාර පාවිච්චි කරා මතකයි. නමුත් අවාසනාවට අද නම් මේක තවත් එක කුණු කානුවක් විතරයි.

subharathi-inside-1

පාසලට මුලින්ම අපි ඇතුල් වෙනකොට හමුවෙන ගොඩනැගිල්ලේ කෙළවරේ පුස්තකාලය අනෙක් කෙලවරේ තමයි විදුහල්පතිතුමාගේ නිළ කාමරය තිබුනේ. මතක විදිහට නම් විදුහල්පති තුමා විදිහට කටයුතු කලේ ටී. වෙලළුපිටිය මහත්තය. සුදු ජාතික ඇඳුම ඇඳලා, බාගෙට සුදු වෙච්ච කොන්ඩෙ තෙල් ගාල පැත්තකට පීරලා, දැකපු ගමන් කියන්න පුළුවන් ඉස්කොලේ මහත්තයෙක් කියල.

වෙලළුපිටිය මහත්තයගේ ගෙවල් දොරවල් තිබුනේ අපේ ගෙදරට බස් හෝල්ට් දෙක තුනක් මෙහා තියන ලේලන්ඩ් හන්දියේ (Lanka Ashok Leyland Factory). පාසල් සංවර්ධන සමිතියේ හිටපු හින්දද කොහෙද අපේ තාත්තාවත් හොඳින් අදුනනව. උන්දැ ගොඩ වෙලාවට ඉස්කොලේ එන්නේ එක්කෝ බස් එහෙක (බස් කිව්වට මේවා හුඹස්) එහෙම නැතිනම් මදුරුවෙක්ගේ (Scooter) පිටේ. පහු කලෙකදී මදුරුවා හලලා තැපැල් නයින්ටියකට හරි සුපර් කබ් එකකට හරි  මාරු උනාද කොහෙද. (Honda MD 90 / Super cub)

10911388_10152942055146206_6312975696511000852_o

විදුහල්පති කමරයටයි පුස්තකාලටයි දෙකට මැදි වෙච්ච ඉඩ කඩේ තුන වසරේ පන්ති කාමර. මේ ගොඩනැගිල්ල ඉදිරිපිට මීටර් විසි පහක තිහක වහේ පළල තියන පොඩි තීරුවක් තිබ්බට එතනින් එහා සම්පුනයෙන්ම පුරන් වෙච්ච කුඹුර නිසා සෙල්ලම් කරන්න ඉඩ කඩ බොහොම සීමිතයි.

ඔය දවස් වල අපිට තිබුන ප්‍රධානම සෙල්ලම් තමයි කබඩි, ටීක් බෝල ගැසීම, සම්බෝල කැඩීම, එල්ලේ සහ ක්‍රිකට්. මේව අතරින් මොන බෝල සෙල්ලම කරත් බෝලෙ කුඹුරට යන එක නවත්තන්න නම් සක්කරයටවත් බැහැ.

ඇත්තම කියනවා නම් අපිට සෙල්ලම් කරන්න අද කාලේ ළමයින්ට වාගෙ වෛවාරණ ටෙනිස් බෝල තිබ්බේ නැහැ, ගොඩ වෙලාවට තිබ්බේ රතු, කොළ, කහ වැනි පාට ඉරි වැටුන, රුයිතයක් වගේ කිසිම සමබර කමක් නැති රබර් පලු දෙකක් අලවල හදපු කළු පාට බෝල. තණකොළ වැවිච්ච කුඹුරට හරි හබරල ගාලක හරි ගියහම හොයනව බොරු. ඒ මදිවට ඇඟේ එහෙම හයියෙන් වැදුනොත් දම් පාටට සැර තැලුම් පාරවල් හිටිනව, හරිම සනීපයි !

මේ බෝල ජාතිය සම්බෝල කැඩිල්ලෙදි අපි බොහොම කැමති ආයුධයක්, සම්බෝල කැඩිල්ල ඇවිල්ල ජාති සෙල්ලමක්, කරන්න තියෙන එකම දේ ලඟම ඉන්න එකාට පුළුවන් තරම් හයියෙන් නිල් වෙන්න බෝලෙන් දමල ගහන එක. ඉතින් අනිත් අය කොහොම හරි ගුටි නොකා බේරිලා බොලේ අරන් ආපහු ගහන්න ඕන. ගුටි නොකා බේරෙන් එකට අමතරව නීති රීති අවම නිසා කොලු කුරුට්ටෝ හත් අට දෙනෙක් එකතු වුනහම ලෙහෙසියෙන්ම  කරන්න පුළුවන්. අනික ගුටි කන එකාට ඇර අනිත් අයට සෙල්ලම බොහොම විනෝදයි.

සම්බෝල කඩල ඉවර වෙනකොට නිල පාට, දම් පාට තැලුම් ඇඟ හැම තැනම ! කොච්චර ඇඟේ පතේ අමාරු තිබ්බත් හැමදාමත් තිබුන ලොකුම ප්‍රශ්නේ ගෙදර ගිහින් අම්මට ඇඳුම් කිලිටි වෙච්ච හැටියි, තැලුම් තුවාල වලටයි හේතු කියන එක. මේ ප්‍රශ්න වලට උත්තර බදින්න අමාරු නිසාත්, ඇඟේ පතේ අමාරු අරින්න බැරි නිසාත් ගොඩ වෙලාවට සම්බෝල කැඩුවේ 4-5 වසර වලට ඉහල ළමයි !

ප. ලි. : ඇතැම් පින්තුර ඉස්සුවේ සුභාරතී ආදී ශිෂ්‍ය සංගමේ ෆේස්බුක් පිටුවෙන් !

I කොටස – පිටු ගිලිහුණු මතක පොත…

~ මතු සම්බන්ධයි !

Advertisements