කටුනායක නරලොව හොල්මන් සහ අරාබි සමයං !

colombo_airport-4

කණ්ඩ පළමුවෙනි වතාවට එක්සත් ආරාබි එමීර් රාජ්‍යට ගොඩ බැස්සේ වර්ෂ 2007 අප්‍රේල් මාසේ අග බාගේ. තනියම නෙමෙයි මගේ අනාගත මස්සිනා පොඩ්ඩත් එක්ක (පොඩි කිව්වට මු ලොකුයි, ඒක දිග කතාවක් හන්ද, අවසර ලැබුනොත් වෙන දවසක දානවා ).

කණ්ඩ ලංකාවෙන් පිටට තිබ්බ පළමුවෙනි පියවර වුන නිසාදෝ, කණ්ඩා කොලොම්පුරේ (ඩුබායි) ගියා වගේ නුහුරක් නොදැනුනත් නොවෙයි. වාහනයට නැගපු ගමන් කරන්න තියෙන දේ… ඉදිරියට මුහුණ දෙන්න වෙන අභියෝග…  හිතේ නොයෙක් දේවල් තෙරපෙනවා.

ආපහු පියවි ලෝකෙට මම ආවේ බොහොම හැඩි දැඩි පෙනුමක් සහිත ගිනි අවියක් දරපු ගුවන් භටයෙක් ගුවන් ගමන් බලපත්‍රය ඉල්ලුවහම… අපි ගුවන් තොටුපොල මුරපොලටත් ඇවිත්. ත්‍රස්තවාදී තර්ජන නිසා ආරක්ෂාව බොහොම තද කරලා.

මුරකපොල්ලෙන් පැන ගත්ත අපි කටුනායක ගුවන් තොටුපලේ පිටත්වීමේ පර්යන්තයට සේන්දු උනා. හප්පේ එතන එක ගිනි විච්චුම්බරයයි… එක්කෙනෙක් රට යවන්න ගම් හතකින් විතර සේනාව ඇවිත් ! කට්ටියක් අඬනවා  මළගමක් වගේ, තවත් අය බොහොම සද්දෙට කෑකෝ ගහනවා.

ලෝකෙන් උතුම් රට ලංකාව උනාට අපේ මිනිස්සු ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තයේ හැසිරීම බැලුවහම නම් එහෙම පෙනුනේ නැහැ (මේක ගැන වෙනම පොතක් ලියන්න ඕන). ආරක්ෂක නිලධාරීන් මගීන් සඳහා පෝලිමක් හදන්න බොහොම වෙහෙස වෙනවා. ඇතුල් වෙන්න බලාගෙන ඉන්න විදේශිකයන් සර්කස් එකකක් දැක්ක වගේ සමච්චලේට හිනාවෙනවා, විලි ලැජ්ජාවේ බැහැ.

සුද්දෝ මේ වාගේ ගාල ගෝට්ටි වලට ඉන්දියානු පෝලිම් (Indian Queue) කියල නම දැම්මේ හොඳ වෙලාවට ලංකාවට එන්න කලින්ද කොහෙද ! කණ්ඩට අපි ගැනම දුක හිතුන ! අවුරුදු 2500 ක ඉතිහාසයක් ගැන කියා කියා වංසේ කබල් ගාන්නේ නැතුව අපිට තව කොච්චර නම් හදා ගන්න දේවල් තියනවද ???

ටිකට් (Check in) කවුන්ටරේ ළඟ තවත් නාඩගම් … ගමන් මලු වලට දරන්න බැරි තරම් පුරවාගෙන ඇවිත් එතන ඉන්න සේවක සේවිකාවන්ට නහයෙන් අඬමින් පින්සෙණ්ඩු වෙනවා … අන්තිමට හරි ගියේ නැතුවම ඒ  මිනිස්සුන්ගේ අහිංසක දෙමාපියන්ටයි රටේ ලෝකේ උදවියටයි දෙස් දෙවොල් දිදී අපහු ගමන් මලු දිග ඇරගෙන දඟලනවා !

කොහොම හරි අපි ගමන් මළු භාර දීල, විගමන කවුන්ටරේ මහත්තයාගේ ගාම්භීර කමත් බලල යන්තම් අහස් යන්තරේට නැග ගත්ත. ගමන ගමන අතරතුර නම් කරදරයක් තිබ්බේ නැහැ, කෑම දීල ගියාට පස්සේ ගුවන් සේවිකවොත් මගීන් ගැන වැඩිය සැලකිල්ලක් දැක්කුවේ නැහැ. හොයල බැලුවත් ගොඩක් වෙලාවට ආඩම්බර පෙන්නුවේ හරියට ළමා තැනීගෙන් හඳ පානේ පැනල යන්න ඇහුව වගේ, මෙහෙමත් විගඩම් !!!

ඉතින් ඊට පැය හතරහමාරකට පස්සේ ශ්‍රී ලන්කන් ලන්කන් ගුවන් සේවයේ පිහිටෙන්… කණ්ඩගේ වියදමෙන්… ඩුබායි ගුවන්තොටුපලට ගොඩ බැස්ස. ගුවන් යානය නවත්වන්නත් කලින් ගාල කඩ ගත්ත වගේ මිනිස්සු නැගිටලා අසන වලට උඩින් තියන රාක්ක වලින් ගමන් මලු ගන්න පොර කනවා.

katunayake

කණ්ඩ නිවී සැනසිල්ලේ හදිස්සි කාරයින්ට යන්න දීල ගමන් මල්ලත් අරගෙන එලියට බහින්න ආවා . ගුවන් සේවිකාවෝ ඕනාවට එපාවට වගේ  ආචාර කරලා ස්තුතියි  නැවත එන්න කියල කිව්වා මතකයි. එත් කිසිම හිතවත් කමක් නැති හිස් වචන ටිකක්…. හරියට සීනි නැති ප්ලේන්ටි වගේ !

කණ්ඩ කණ්ඩගේ පාඩුවේ ආගමන කවුන්ටරේ ආවා, කවුන්ටර් 10ක් විතර තිබ්බට වැඩ කරන්නේ 6 විතරයි , වැඩ කරන කවුන්ටර් 6 ත් 3ක කන්දුරා ( Kandura – අරාබි ජාතික ඇඳුම ) ඇඳපු බොහොම පිළිවෙලට රැවුල කපපු තරුණ නිලධාරීන් තුන්දෙනෙක් අනෙක් ඒවායේ උඩ ඉඳල පහලටම කට්ට කළු අබයාවල්  ඇඳපු මැදි වයසේ ගැහැණු කෙනෙකුයි තරුණ ලමිස්සියෝ දෙන්නෙකුයි  වැඩ.

වැඩ කොහොම වෙතත් අල්ලාප සල්ලාප, දීර්ග දුරකථන ඇමතුම්, තොල් අලේප සහ හැඩ බැලීම නම් හොඳටම සිද්ද වෙනවා. පෝලිම් 6 ක සෙනග මේ ඔක්කොම කම්මැලි චිත්‍රපටියක් බලාගෙන වගේ ඉබි ගමගෙන් ඉස්සරහට යනවා. අන්තිමට පැය බාගයක් පෝලිමේ හිටගෙන හිටියට පස්සේ කෙලවරේම තිබිච්ච කවුන්ටරේක හිටපු නිලධාරියා මොර දෙනවා ඇහුන…. හබීබි.!.. ජල්දී…! ජල්දී…!

කිව්ව වචන තේරුනේ නැතත්, කණ්ඩට අඬ ගහනවා කියල තේරිච්ච හින්ද කණ්ඩත් පැනගෙන ගියා ලොකු අවැරියක් වගේ හිනාවකුත් දාගෙන ඉස්සරහට. මේ මනුස්සයාගේ මුනේ කිසිම හිනාවක් නැහැ, මං හිතන්නේ මගේ මුණේ දෝෂයක්ද කොහෙද? නැතිනම් මේ අය හිනා වෙන්න දන්නේ නැහැ !

කණ්ඩ “ගූඩ් ඊව්නින්ග්” කියල පාස්පෝර්ට් එකයි වීසා කොපියයි දීපු ගමන් මෙන්න මේ මනුස්සයා මොනවද අරාබි බාසාවෙන් දෙසා බාන්න ගත්ත ! මට තේරිච්ච එකම වචන ටික අන්තිමට කියපු යල්ලාහ්… ! යල්ලාහ්…  ! කියන ටික විතරයි … !

කණ්ඩ ඉතින් කණ්ඩට කියන්න පුළුවන් උපරිම ආචාරශීලී විදිහට කිව්ව “I’m sorry, I cannot understand what you are trying to tell me !”

කණ්ඩ අන්දුන් කුන්දුන් වෙච්ච බව තෙරිච්ච හින්දද , එහෙම නැතිනම් ඉංග්‍රීසි බැරිව ඒ මනුස්සය අන්දුන් කුන්දුන් වෙච්ච නිසාදෝ මාව අනිත් කවුන්ටරේ උන්න තරුණ ගැහැණු ළමය ගාවට යැව්වා.

dubai-airport

හප්පේ….! කවුන්ටරේ ලඟට කිට්ටු උනා විතරයි එතන හරියට හඳුන් කුරු ෆැක්ටරියකට වඩා පුසුඹයි….. ඒ ළමිස්සි බොහොම ලස්සනයි හැබැයි ගමකට හරි යන්න මුහුණේ සායම් තවරාගෙන.

කණ්ඩට හිනා යන්න ආවත් බොහොම අමාරුවෙන් නවත්තගෙන මම ආපහු  “ගූඩ් ඊව්නින්ග්” කිව්වා. ඒ කොහොම වෙතත් ඒ ලමිස්සිට හොඳට ඉංග්‍රිසි පුළුවන් හින්ද මට තේරුම් කරලා කිව්වා අලුත් වීසා වලට වෙනම  කවුන්ටරයි තියනවා කියල. ඉතින් කණ්ඩ අයෙමත් ගිහින් තව කවුන්ටරෙකින් හිට ගත්ත එක දහස් එක වෙනියට !

පෝලිම නානා ප්‍රකාර මිනිස්සුන්ගෙන් පිරිලා, වෙලාව යන්න එක්ක කණ්ඩ එතන හිටපු මිනිස්සු දිහා බලන් හිටිය. ඉන්දියන් , පකිස්තානු,  අප්‍රිකානු, යුරෝපීය, චීන, රුසියානු සහ තවත් නොයෙක් මට අඳුන ගන්න බැරි රටවල් වලින් එක එක විදිහට ඇඳපු , දුප්පත්, පොහොසත් බොහෝ දෙනෙක් අපිට ඉස්සරහින් හිටිය.

ඉංග්‍රීසි ඇරුනහම විවිධ භාෂා බර තොගයක්, යන්තම් තෝර බේර ගන්න පුළුවන් හින්දි විතරයි. එකත් හොඳ අත්දැකීමක්, හරියට මිනිස්සු විතරක් ඉන්න සත්ව උද්‍යානයකට ගියා  වගේ වෙලාව යනවා තේරුනේ නැහැ.

කොහොමෙන් කොහොම හරි අපි වීසා කටයුතු ඉවර කරල ගමන් මළු අරගන්න තැනට ගියා එතනත් සෙනග පිරිලා එක ගාල ගොට්ටියයි. අපි කොහොම හරි ගමන් මළු අරගෙන එලියට යන්න තියන අන්තිම පිරික්සුම්පොලට ආව. අපේ මූණු  වල මොනවා හරි ලියල තියනවද කොහෙද ?

රේගු නිලධාරීන් අපිව අයෙමත් නවත්තල ගමන් මලු ඔක්කොම අවුස්සලා බැලුව. එතන හිටපු තරුණ රේගු නිලධාරියා හිනා වෙලා කැඩිච්ච ඉංග්‍රීසියෙන් ප්‍රශ්න ගොඩක් ඇහුව. ගමන් මල්ලේ මත්ද්‍රව්‍ය, ආයුධ තියනවද ? මොකද්ද කරන රස්සාව ? සහ තවත් ගොඩක් දේවල් !

හැබැයි අපි ගොඩ බැස්සට පස්සේ මනුස්සයෙක් හිනා වෙලා කතා කරාමයි. කොච්චර හිනා වෙලා කතා කලත් අපිට ආදරේට නෙවෙයි  මාව තම්බන්න ඒ ලුණු මදි !!! ප්‍රශ්න කිරීම් ඉවර උනා අවුලක් නැතුව නමුත් ඔක්කොමට වඩා මට තිබ්බ ප්‍රශ්නේ එලියට ඇදපු බඩු ඔක්කොම ගමන් මලු වලට අපහු දා ගන්නේ කොහොමද කියන එක !

මොනවා කරන්නද ආපහු ඔක්කොම මුල ඉඳල අහුරගෙන එළියට ආව. අපිව පිළිගන්න මගේ  අනාගත ලොකු මස්සිනා ඇවිත් හිටපු හින්ද කරදරයක් උනේ නැහැ.

මේකත් කාන්තාරයක්ද …..??? එක්සත් ආරාබි එමීර් රාජ්‍යට ගොඩ බැහැපු ගමන් කණ්ඩගේ හිතට ඇති වෙච්ච පළමුවෙනි ප්‍රශ්නය. අප්‍රේල් මාසේ හින්ද ලොකුවට දරන්න බැරි රස්නයක් තිබ්බෙත් නැහැ, හොඳට තාර දාපු මංතීරු 3-4 ලොකු පාරවල්, නානාප්‍රකාර ලොකු-පොඩි වාහන, තට්ටු බර ගානක් තියන සුවිශාල ගොඩනැගිලි හැම තැනම !

sharjah-gold-souq

වෛවාරණ විච්චුරන විලාසිතා සහ හැම ජාතියකම මිනිස්සු. මේක මහ අමුතුම ලෝකයක් ! කුලීරථ වලටත් බොහොම දිගපෝලිමක් තියනවා, ගුවන් තොටුපොලෙන් කුලී රථයක නැගපු අපි ආපහු නැවතුනේ සාජා වල අල් මජරා කියන පැත්තේ (ඔව් මෙහෙ තියන හැමදේම අල් !!!) ඩුබායි සහ සාජා  අතර එතරම් දුරක් නැහැ, පැය බාගයක විතර ගමනක්.

අපි හිටපු හොටෙල් නවාතැන කුඩා උනත් සැප පහසු තැනක්. ඉදිරිපිටම හරි පේළියට රට ඉඳි ගස් වවපු උද්‍යානයක්, එතන ඉඳල මීටර් 30 ක් විතර දුරින් මුහුදු තීරය. ඉන්දියාවේ සහ පාකිස්තානේ ඉඳන් එන පරණ සුවිශාල දැවමය බෝට්ටු (Dhow boats) වගේම මසුන්මරන බෝට්ටුත් මුහුදු තීරය දිගේ නවත්තල, හැන්දෑ වරුවට එහෙම බොහොම ලස්සනයි ඇවිදින්න යන්න !

sharjah-corniche

~ මතු සම්බන්දයි !

I කොටස ~ නොදන්නා රටක දන්නා කෑම ~ ශවර්මා !

Advertisements