බොම්බා….යි මොටා……යි !!!

bombayi-motayi-3

සුභාරතියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙලා ටිකක් දුරක් ඉදිරියට එනකොට තමයි ලිඳයි අඹ ගහයි හමු වෙන්නේ. මේක බොහොම සාරේට කොළ තියන තදට හෙවන වැටිච්ච ලොකු ගහක්. මේ අඹ ගහ යට තමයි මුළු ඉස්කෝලෙටම තිබුන  සනීපම තැන.

කාලෙන් කාලෙට ගෙඩි එහෙමත් හැදෙනවා, හැබැයි කොල්ලෝ කුරුට්ටෝ පොලු ගහල ඇට්ටි පිටින්ම කඩාගෙන කන හන්ද කවමදාවත් මේකෙ ඉදිච්ච ගෙඩියක් නම් කාල නැහැ. ලුණු ටිකකුයි මිරිස් කුඩු ටිකකුයි තියනවා නම් අඹ ඉදෙනකම් මොකකට උඩ බලන් ඉන්නද?

අඹ ගහට ජුන්ඩක් ටිකක් එහායින් වැට මායිම, ඔය වැට මායිම දිගේ තමයි ගොඩගම දුම්රියපොළට යන කරත්ත පාර වැටිලා තියෙන්නේ. අපිට ඒ දවස් නැතිවම බැරි වෙච්ච බොම්බයි මොටයි, නයිස්, රටකජු, කඩල, අයිස් පැකට්, අයිස් පලම් සහ අච්චාරු විකුණන වෙළෙන්දන් වැට එහා පැත්තේ ඉඳගෙනම තම තමන්ගේ ළපටි පාරිභෝගිකයන්ට ජයටම වෙළඳාම.

මට මේ අයගෙන් වැඩියම මතක බොම්බයි මොටයි සීයයි, අච්චාරු ආච්චි සහ අයිස් මාමයි. අපිට මේ උදවියව කොහොම අමතක වෙන්නද ඒ කාලේ කොච්ච්ර මේ කඩචෝරු කෑවත් එපා වෙන්නෙ නැහැ !

bombayi-motayi-1

ඉන්ටවල් එකට කලින් බොම්බයි මොටයි සීයගේ සීනුව ඈතින් ලාවට ටිලිං ටිලිං ගානකොට එහෙමත් නැතිනම් අයිස් මාමගේ රබර් නලාවේ පීප්.. පීප් .. සද්දේ එනකොට අපි දන්නවා ඉන්ටවල් එක අත ලඟ කියල.

ඉතින් ඉගෙන ගන්න එක කොහොම වෙතත් අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳපු දෙයක් තමයි දහවල් විවේක කාලය එහෙම නැත්නම් ඉන්ටවල් බෙල්ලෙක වදින එක.

හැබැයි මට මතක විදිහට නම් මේක බෙල් එකක් කිව්වට බෙල් එකක්ම නෙමෙයි, කොටින්ම ගොඩනැගිල්ලක වහල කෙලවරේ මළකඩ කාපු කම්බි පොටවල් කිහිපයකින්  එල්ලපු, දැක්කත් පිටගැස්ම හැදෙන පරණ ලොරියක රීම් එකක් !

කාල පරිච්ඡේදයක් එහෙම නැත්නම් පීරියඩ් එකක් ඉවර වෙනකොට විදුහල්පතිතුමා හරි ගුරුවරයෙක් හරි ඉහල පන්ති වල ඉන්න ළමයෙක්ව යවල  ප්‍රධාන කාර්යාලයෙන් ගෙන්න ගන්න මිටියක් වගේ යකඩ පොලු කෑල්ලකින් රීම් එකට තඩි බාන එක තමයි කරන්නේ.

ලොරි රීම් එකකට නෙමෙයි මොහොකට තඩි බෑවත් අපිට මොකද ??? ඉන්ටවල් එක හම්බ වෙනවා නම් එච්චරයි. බෙල් එක ගහපු ගමන්ම ගෙදරින් දීපු මොනවා හරි ඉක්මනට ගිල දාල අඹ ගහ යටට දුවන එක තමයි පුරුද්ද !

බොම්බයි මොටයි සීය නම් හැම දාම එන්නේ නැහැ, මම හිතතන්නේ අහල පහල තිබ්බ අනිත් ඉස්කෝල වල කරක් ගහල මාරුවෙන් මාරුවට තමයි අපේ ඉස්කෝලෙ පැත්තෙ එන්නේ.

මේ සීයා බොම්බයි මොටයි අරගෙන එන්නේ උඩින් අරින්න පුළුවන් විදිහට ලොකු කටක් තියන ටින් එහෙක. මං හිතන්නේ මේක බොහෝ වෙලාවට පරණ ගැලුම් පහේ හතරැස් පිටි එහෙමත් නැතිනම් තෙල් ටින් එකකින් හදපු එකක්.

උස්සන් යන්න පහසු වෙන විදිහට ලොකු යකඩ අඬු දෙකකුත් දෙපැත්තෙන් හයි කරලා. ටින් එක ඇතුලේ තමයි බොම්බයි මොටයි දාල තියෙන්නේ. බොම්බයි මොටයි දාල දෙන්න පරණ එක්සයිස් පොතක කොල වලින් හදපු කවර ගොන්නක් පැත්තකින් එල්ලලා.

පර තෙරට ඉගෙන ගත්තු ලොකු උදවිය ප්‍රතිචක්‍රීකරණය (recycling) ගැන දේශනා තියන්න කලින් බොම්බයි මොටයි සීයා ඒ උපාධිය ඉහළින්ම පාස් වෙලා තිබ්බේ. ඔන්න එහෙමයි ඒ දවස් වල උදවිය !

අපි රුපියලක් හරි සත පනකක් හරි දීල බොම්බයි මොටයි ඉල්ලුවම සීයා ටින් එකේ උඩ පියන ඇරලා කවරෙකට බොම්බයි මොටයි දාල දෙනවා. අවාසනාවකට පහු කාලෙකදී නම් එක්සයිස් පොත් කවර වෙනුවට ඉටි බෑග් මතු වෙන්න පටන් ගත්ත !

නයිස් නම් මේ ටින් එක ඇතුලට ඔබන්න බැහැ කුඩු වෙන හින්ද, ඒ වෙනුවට හුලන් නොවදින්න ලොකු ඉටි කවරෙක තැලෙන්නේ පොඩි වෙන්නේ නැතිව බොහොම පරිස්සමට අහුරලා එල්ලගෙන එනවා ටින් එකේ පැත්තකම.  නයිස් එකක් රුපියලයි, බාගයක් නම් සත පනහයි !

ඉන්ටවල් එක පටන් ගත්ත ගමන් ගොඩ වෙලාවට බොම්බයි මොටයි අර ගන්න බර පෝලිමක් තියනවා, පෝලිමක් කිව්වට මේක එකාට එකා උඩින් නගින බලු  පොරයක් !

අනේ මටාත් … පොඩි කෙල්ලෙක් රොත්තම මැද්දේ රුපියලක් දික් කරගෙන  … සීයේ මෙන්න මට නයිස් බාගයක් අණ්ඩපාල කොල්ලෙක් ඊටත් උඩින් සත පනහක් දික් කරනවා…

එයා නෙමෙයි … මමයි මුලින් ආවේ… නෑ… නෑ  මම !  එක ගාල ගෝට්ටියයි, ඔය අස්සේ දෙන්නටම අස්සෙන් තව එකෙක් රිංගල බොම්බයි මොටයි අරගෙන පොර කාගෙන එළියටත් එනවා !

ඉතින් හැමෝටම බොම්බයි මොටයි බෙදල ඉවර උන ගමන් තව කවුරුවත් පෝලිමේ නැතිනම් නැති නම්, සීය වටපිට බලල ටින් එකේම පැත්තකින් කොක්කක එල්ලලා තියන ටිලිං ටිලිං ගාන සීනු පොඩ්ඩ අරගෙන ආපහු හතර පස් පාරක් වනනකොටම තව කීපදෙනෙක් දුවගෙන ඇවිත් පෝලිමට එකතුවෙන එක සාමාන්‍ය දෙයක්.

හා… හා.. හිමින්… හිමින්… එක පාරකට එක්කෙනයි සීය ආපහු මොර දෙනවා !

~ මතු සම්බන්ධයි !

Advertisements