අයිස් පලා….ම්, අයිස් පැකේ…..ට්… !

lanka_ice_cream_man-1

විවේක කාලේදී බොම්බයි මොටයි කාල ඉවර වෙලා අයිස් පලමකුත් කන්න පුළුවන් එකෙකේ හිටිය නම් ඒ බොහොම කලාතුරකින්, කොච්චර සල්ලි බාගේ තිවුණු පවුලක එකෙක්ට උනත් මහා භාණ්ඩාගාරෙන් ඒ කියන්නේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි දවසකට හම්බ උනේ රුපියලක් හමාරක් වගේ ඉච්චියක් තමයි.

අපේ දෙමව්පියන්ගෙන් ඔයිට වැඩියෙන් සල්ලි කීයක් හරි ඉල්ල ගන්න එකට වඩා ලේහෙසියි ඉබ්බෙක්ගෙන් පිහාටු ඉල්ල ගන්න එක. වැඩියෙන් කීයක් හරි ලැබෙනවානම් ඒ ඉතින් බස් ගාස්තුත් එක්ක තමයි. එතකොට ඉතින් වැඩිපුර කඩචෝරු කන්න දොළදුකක් තියෙනවා නම් එකම විකල්පය තමයි බස් ගාස්තු වලින් කඩචෝරු කාල ඉවර වෙලා බස් දිහා බලං පයින් ගෙදර යන එක ! (ඒ ගැන තවත් කතා වෙන දවසකට).

සුභාරතියේ රාජ්‍ය සේවකයන්, මුදලාලිලගේ හිටන් කම්කරුවන් දක්වා නොයෙක් සමාජ මට්ටම් වල දෙමව්පියන්ගේ දූදරුවන් ඉගෙන ගත්ත. ඉතින් වැදගත්ම දේ තමයි ඒ කොයි එක්කෙනත් එකම පන්තියේ එකම ඩෙස්ක් බැංකු වල වාඩි වෙලා ඉගෙන ගත්ත එක. ඒ ඇරෙන්න වඩා වැදගත් වැඩ රාජකාරි වෙච්ච කෑම බීම්, දුව පනින සෙල්ලම් එහෙමත් හැමෝම බෙදා හදාගෙන තමයි !

ඉතින් අච්චාරු, අයිස් පැකට්, බොම්බයි මොටයි නෙමෙයි මොන කඩචෝරුව කෑවත් ගොඩ වෙලාවට අනිත් අයත් එක්ක බෙදාගෙන තමයි. එහෙම නොකරපු උන්දැලත් නොහිටිය නෙමෙයි, හැබැයි ඉතින් ඒ අය බොහොම කොන් වෙච්ච සුළුතරයක්.

අයිස් පලම් ඇවිල්ල හිටං, අයිස් පැකට් වලට වැඩිය රහ උනාට ඊට වඩා ගණන්. එක අයිස් පලමක් ගන්න සල්ලි වලින් අයිස් පැකට් දෙකක් ගන්න පුළුවං. ඉතින් අපි ඒ දවස් වලත් රවී කරුණානායකට වඩා හොඳ ආර්ථික විශේෂඥයෝ හින්ද ගොඩ වෙලාවට කෑවේ අයිස් පැකට්, ජැක්පොට් එකකට වගේ අම්මට වැරදිලා වැඩිපුර රුපියලක් හම්බ වෙච්ච දවසකට ඉතින් ආසාවට වගේ අයිස් පලමකුත් කෑව !

අනික අයිස් පලම් වගේ නෙමෙයි රුපියලක් දීල අයිස් පැකට් දෙකක් ගත්තහම එකක් කටේ ගහ ගන්නවා, අනික සාක්කුවේ, රුං ගාල පිට්ටනියට දිව්වා සෙල්ලම් කරන්න. වැඩේ බොහොම ප්‍රායෝගිකයි, අයිස් පලම් කටේ ගහගෙන ඒ සෙල්ලම් දාන්න අමාරුයි.

අපි ඉන්ටවල් එක වෙලාවේ ඇති වෙන්න නටන හින්ද දවල් කාලේ තිස්සේ තියන පිච්චෙන රස්නෙත් එක්ක දිව ගිලෙන්න වගේ එනවා. අයිස් පැකට් එකක් හරි අයිස් පලමක් හරි කනවා කියන්නේ වතුර තිබහට දිව්‍ය අවුසදයක් වගේ !

හැබැයි අපි ඒ දවස් වල අයිස් පැකට් කනවට අපේ අම්මල තරයේ විරුද්ධයි. ඉතින් අපි අයිස් පැකට් කන එක නවත්වන්න නොයෙක් දහන් ගැට ගහනවා.

ළමයෝ ඕව හදන්න ගන්නේ කුණු ඇල පාරවල් වලින් යන වතුර, මොන දහ ජරාව තියනවද කවුද දන්නේ ?

ඕව කෑවහම බෝවෙන ලෙඩ හැදෙනවා, එනවකො එක එක ලෙඩ හදාගෙන ගෙදර !

ඔය අයිස් පැකට් කටේ දාල අදිනකොට දත් ඉස්සරහට එනවා, බැරිය ලොකු වෙනකොට බොල්ලෑවෙක් වෙන්න !

ඕවයේ සැකරින් තියෙනවා , දන්නවද සැකරින් වලට ඇටකටු දිරනවා කියල ?

ඔය ලස්සනට පාට පාටින් තිබුනට ඔය පාට ගන්න දාන්නේ කුකුල් සායම්, බඩවැල් හිටන් ඉදිමෙනවා ඒවට !

අපි අයිස් පලම්, අයිස් පැකට් කාලද  කියල බලන්න විශේෂ පරීක්ෂණ එහෙම අපේ අම්මට ඕන උනේ නැහැ…

දානව දිව එළියට… දාන්නයි කිව්වේ මම තව පාරක් කියන්න කලින්… අපේ අම්මගේ  අතට පොල් කටු හැඳි මිට එනකොට මගේ දිව ඉබේම  එලියට එනවා …. මේ බලන්න අනේ මුළු දිවම …. පාටයි මෙහෙම දහ ජරාව කන්න ගියොත් මේ ළමයට වෙනම ලෙඩක් හැදෙයි !

මොකද අනේ මේ ළමයට මම මොන දේ කිව්වත් කනකට ගන්නේ නැහැ, නිකන් ඉන්නේ ඔයාවත් කියන්නකෝ ?

ඒ අපේ අම්ම වෙන කරන්න දෙයක් නැතිම තැන සුදු කොඩිය උස්සල තාත්තවත් වැඩේට සම්මාදම් කර ගන්න බලන හැටි. තාත්තත් ඉතින් වදෙන් ගැලවෙන්න වගේ හූ මිටි තියනවා !

ඔය මොනවා කිව්වත් අපි අහු වෙයි ඕවට! අම්මල මොන බේගල් ඇද බෑවත් අපි අයිස් පැකට් කන එක නවත්තන්න හම්බ උනේ නැහැ !

ඉස්කොලේට අයිස් පැකට්, අයිස් පලම් අරගෙන එන තලතුනා වෙළෙන්දට අපි කිව්වේ අයිස් මාම කියල, ඒ මනුස්සය හැම ඉස්කෝලේ දවසකම විවේක කාලෙට නොවරදවාම  අඹ ගහ යට වැට මායිමේ දකින්න ලැබෙනවා.

පරණ පුස් බයිසිකලේක පිටිපස්සේ ලගේජ් එකේ ගැට ගහල තියන අයිස් පුරවපු රෙජිෆෝම් පෙට්ටියේ තමයි අයිස් පලම්, පැකට් අහුරලා තියෙන්නේ. රෙජිෆෝම් පෙට්ටේයේ හතර වටේටම විවිධ පාටින් අයිස් ක්‍රීම් කෝන් සහ අයිස් පලම් වල පින්තුර ඇඳලා. පෙට්ටිය උඩින් සීතල එලියට යන එක අඩු වෙන්න රෙජිෆෝම වලින්ම හදල ඉටිකොලයක් ඔතපු පොඩි පියනක් තියනවා බඩු එලියට ගන්නයි දාන්නයි.

අයිස් මාමගෙ පුස් බයිසිකලේ පරණකම මැකෙන්නත් එක්ක මල් වැල්, රබර් වලින් හදපු සත්ව රූප වැනි විවිධ සුකුරුත්තම් එහෙම කාලෙන් කාලෙට එක්කහු වෙනවා.  ඔන්න ඔහොම තමයි අයිස් මාමගේ මහා ජංගම වෙළඳ රථයේ විස්තර,  ඒ දවස් වල මේකෙන් අයිස් පැකට් එකක් කාපු නැති එකෙක් හිටියේ නැහැ මුළු සුභාරතියේම !

අයිස් මාමගෙ රබර් නලාව පීප්… පීප්.. පීප්… පීප්… පීප්… තාලෙට ඈතින් ඇහෙන කොටම අපි දන්නව වෙලාව මොකද්ද කියල !

lanka_ice_cream_man-2

අනේ මාමේ සෙල්ලම් කරන්න යන්න තියෙනවා, ඉක්මනට අයිස් පැකට් දෙකක් දෙන්නකෝ … වැට අයිනේ පොරකන කොල්ලෝ කෙල්ලෝ රෝත්තට පස්සෙ එක්කහු වෙච්ච කොල්ලෙක් නාහෙන් අඬනවා…. පොඩ්ඩක් ඔහොම ඉවසල ඉන්න ළමයෝ ඔක්කොටම දෙනවා…!

අයිස් මාම අයෙත් රෙජිෆෝම් පෙට්ටිටිය ඇතුලට අත දාල අයිස් පැකට් එකක් අරන් ඉස්සරහම ඉන්න බටු ඇට දෙකකට ටිකක් උස පෙරහැරක ගිහින්ද කොහෙද ඉස්සරහ දත් දෙකක්ම නැති කෙල්ලෙකුට දෙනවා… අනේ මාමේ මේ මම ඉල්ලපු ඒවා නෙමේනේ … මට ඕනේ පැෂන් එකක්… තව කෙල්ලෙක්ට වැරදි ඔඩරයක් සෙට් වෙලා, කෙල්ල නාහෙන් අඬනව … ! පැෂන් ඉවරයි දරුවෝ නෙක්ටෝ තමයි තියෙන්නේ, අයිස් මාම කෙල්ලව ෂේප් කරලා යවනවා.

ඒ අස්සේ අයිස් පලමක් කාල තනියම බුදු වෙන්න හිතපු පොඩි එකෙක් ඇට්ටර කොල්ලෙක්ට අහු වෙලා, අනේ මටත් අයිස් පලම් කෑල්ලක් දීපන්කො බන් ?? ඌ බැගෑපත් වෙනවා. බැරිම තැන වදෙන් බේරෙන්න පොඩ්ඩ ඇට්ටරය දිහාවට අයිස් පලම දික් කරනවා.

ඇහි පිල්ලමක් ගහන පරක්කුවෙන් ඇට්ටරය පලමෙන් බාගයකට විතර එක කටකින් වග කියනවා. දරන්න බැරි ලොකු අයිස් පලම් කෑල්ලක් කටට දාගත්තොත් වෙන්නේ මොකද කියක දන්නෝ දනිති. දිව උඩට ගත්තොත් දිව පිච්චිලා වගේ පණ නැති වෙනව, හැපුවොත්  මුළු හක්කේ දත් ඔක්කොම කීරි ගැහෙන්න හිරි වැටෙනවා විතරක් නෙමෙයි ඒක මොලේට වෙනකම් වදිනවා.

ඇට්ටරයට ඒවා ගානක් නෑ ඌ දත්මිටි කාගෙනම පිට්ටයනිය පැත්තට දුවනවා ! වැඩේ තේරෙන කොට පොඩ්ඩ ප්‍රමාද වැඩියි…පොඩ්ඩට හෙන අප්සෙට්…. හිටුකෝ මීළඟ පාර නම් දෙන්නේම නෑ … වරෙන්කො ඉල්ලගෙන !!! පොඩි එකාගේ මර හඬ තැලිල්ල අහන්න ඇට්ටරය ළඟ පාතකවත් නැහැ !

අනේ මගේ අයිස් පලම… පොඩි එකා තාමත් හුල්ලනවා ….

~ මතු සම්බන්ධයි !

අතීතය සිහිනයක් පමණයි V කොටස – සුභාරතියේ එකේ කැලෑසිය සහ පිලි ගැනීමේ උත්සවය !

Advertisements