wife

කණ්ඩා දැන ඉගෙන තියන විදිහට නම් හාමිනේලාට අමතන විදි රාශියකි … පොත පතේ තියෙන ආකාරයට නම් භාර්යාව, බිරිඳ, අඹුව , ඇඹේණිය සහ ස්වාමි දියණිය ආදී නොයෙක් යෙදුම් ඇත… නමුත් කතා කරන හිංගල හෙවත් වහරන හෙළුව මීට හාත්පසින්ම වෙනස්ය …

ගමේ ගොඩේ දිහා හාමිනේලා ළඟ පාත නැති අවස්ථා වලදී නම් අපේ මායියාය… ඇහෙන මානයේ ළඟ පාතක සිටිනවානම් මැණිකේ නැතහොත් අපේ හාමිනේය

ඉස්සර ගමේ ගොඩේ දෙන්න දෙමහල්ලන්ට හිටියේ කොලුවෙක් නම්…  හාමිනේ කොල්ලගේ අම්මාය … කෙල්ලෙක් නම් කෙලීගේ අම්මාය …. ඉතින් තානාන්තරය එක උනාට ඉන්න දරුවන් අනුව ඇමතීම වෙනස්ය !

කොළඹ සිදාදියේ පොළොවේ පය වදින සාමාන්‍ය හාමිනේලාට නම් කියන්නේ නෝනා කියාය .. යමක් කමක් ඇති අයට නම් එයම නෝනා මහත්තයා බවට පරිවර්තනය වෙයි …..

බැන අඬ ගසන වෙලාවට, ඕප දූප වපුරන වෙලාවට ඔය කොයිකත් අදාලම නැත… එනිසා හාමිනේලාට නිකම්ම නිකං ගෑණි..  බවට පත් වන්නේ ඉබේටමය…

කුරුඳුවත්තේ ඉංගිරීසි වගුරන ගාම්භීර මහත්තුරුන්ගේ හාමිනේලා නම් මයි ඩියර් හෙවත් මගේ මුවාය, එහෙමත් නැතිනම් …  ඩාර්ලින්යඩාර්ලින් කියා කියන්ට දිග වැඩි නම් ඩලාය !

තවත් මහත්තුරුන්ට හොඳම බාගේ හෙවත් “බෙටර් හාෆ්” ය (Better Half), හොඳම බාගේ කිව්වට මේ ඇඟපත අමාරුවට බඩ පනුවෝ මරන්න ගන්න අර බාගේ නොවේය…

මේ සියල්ලත් මදි වූ කල පැටියා, මගේ පණ, කෙල්ල, වස්තුව, මැණික හා රත්තරන් වැනි දේ නොයෙදෙනවාද නොවේ…

ඒ අතරින් රත්තරන්, මැණික කියන එක නම් වැඩි නුවනට හුරු දෙයක් නොවේය, මොකද රත්තරන් හා මැණික් කොහොමත් ගණන්ය …

මෙය හොර හතුරෙකු ඇසී වැරදියට වටහා ගතහොත් උස්සාගෙන ද යා හැක …

කන්තෝරුවේ යාළු මිත්තරයින් සමග හීනියට රත් වෙන්න දෙකක් දාගෙන සතුටු සාමීචියේ යෙදෙන කල හාමිනේ ගෙදර එකී  හෝ වයිපරය බවට පත් වෙයි …

සැලකිය යුතුයි : මේ කියන වයිපර  වාහන වලට සවි කල නොහැක …

අද කාලේ තවත් සමහරක් දෙනා හට බැඳපු අලුත නම් හනී-බනී , එහෙමත් නැති නම් බේබිය, බේබිව හිංගලට හැරෙව්වහම බබාය

බබාලාට වයස බේදයක් නැතිය… අවුරුදු දහ අටේ විස්සේ හඳ පානේ හොරෙන් පැන්න බබාලාගේ සිට අවුරුදු හැට හත්තෑවේ ජයට මගුල් කා කැන්ඳන් ආව නාකි බබාලාද එමට ඇත… !

නමුත් හාමිනේලා බබාලා වෙන්නේ තව බබාලා එකෙක් දෙන්නෙක් ලැබෙන තුරු විතරයි කියා අපේ හාමිනේගේ මව හෙවත් නැන්දඅම්මා (කණ්ඩාගේ අම්මා තරමටම කණ්ඩාට ආදරය උන්දෑට නැන්දම්මා කිව නොහැක) නිතර දෙවේලේ කියනවා මම අසා ඇත …

කණ්ඩාට මෙතෙක් එහෙම ඇබැද්දි සිද්ධ වෙලා නැති නමුත්, උන්දෑ නොයෙක් ආකාර මනුස්ස පරාණ ගැන බොහෝ දේ දන්නා, තමන්ගේ මහන්සියෙන් නැගිටපු නුවණැති දිරිය කාන්තාවක් නිසා ඒ කියන දේ ඇත්ත ලෙස පිළිගත හැකිය … (උන්දෑ ගැන මෙසේ ලියන්න ඉඩ මදිය… එනිසා පසුවට ලියමි !)

කණ්ඩාට මේ සිලල්ල ලියන්ට හේතු ප්‍රත්‍ය ඊයේ පෙරේදාට යෙදුන නැන්දඅම්මාගේ බාල දියණිය එහෙමත් නැතිනම් කණ්ඩා හාමිනේගේ ජන්මෝත්සවයයි … ඉතින් උන්දෑ ගැන යමක් නොලියාම බැරිය … !

කණ්ඩා හාමිනේට බුරුවො හත් දෙනෙකුගේ වයස උනාට හාමිනේගේ අම්මා තවමත් අමතන්නේ චූටී කියාය …

අම්මා තරමටම දස්ස නැති උනත් අතේ පයේ වැඩ වගේම මොලේ වෙහෙස කරන වැඩ වලටත් ට කණ්ඩා හාමිනේ එක සේ දස්සය …

හැබැයි කණ්ඩා හාමිනේට මෙවන් ප්‍රශංසා කරලාත් බැරිය නොකරාත් බැරිය …

හීනියට ප්‍රශංසාවක් දුන්නොත් කටුස්සාගේ කරේ රත්තරන් බැණ්දා හා සමානය, ඊට පස්සේ ඉතින් කට ඇරියොත් උජාරුවය …

ඔන්න පේනවනේ … අපි දැන් ඔය අනිත් … එක එක්කෙනා වගේ එහෙම නෙමෙයි, අපි මෙහෙමයි !

බැරිය මං නැති දවසක මේ ගෙදර වැඩ පල ටික කර ගන්න හැටි බලා ගන්න !

එතනින් එහාට ස්වයං පම්පෝරි  නවත්තන්න වත් වෙන වැඩක් කර ගන්නවත් වෙන්නේ නැත …

ඉඳ හිට හෝ පොඩි පහේ බටර් පාරක් ගෑවේ නැතිනම් එතනත් නොක්කඩුය …

අපි ගැන හොඳක් කියන්නේ කවදාද ?  කියා මූණ පුලුටු කර ගත්ත ගමන්‍ම ආඩ පාලිය …

ඉතින් ඒ කන්දොස්කිරියාවෙන් බේරෙන්න නම් හාමිනේව දින ගණනාවක් සෑහෙන්න උස මුරුංගා අතු වල තැබිය යුතුය !

අවසානයේ මොන දේ කලත් යහමින් විසුමක් ලෙහෙසියෙන් ලඟා වෙන්නේම නැත …

ඔය විදිහට හාමිනේලා ගැන මතක් කරන විට කියනන ලියන්න බොහෝ දේ කණ්ඩාට ඇත. හාමිනේලා කිව්වට කණ්ඩාට කෝකටත් තෛලය වගේ ඉන්නේ එකම එකක් විතරය …

අරාබිකරයට ගොඩ බෑවට පස්සේ ඔටුවගේ රටේ ඔටුවා වගේ ඉන්න ඕන නිසා හතරක් කරකාර බැඳ ගන්නට අකමැත්තක් තිබුණේම නැත …

නමුත් කණ්ඩා හාමිනේ කසාද බැඳ අවුරුද්දක් යන්න කලින් හාමිනේලා තුන හතරක් තියා තියන එකම එකවත් ආන්බන් කරන්න, නඩත්තු කරන්න අතිශය අපහසු බව කණ්ඩාට සක්සුදක් සේ පැහැදිලි විය !

එනිසා ඉන්න එක උවමනාවටත් වඩා ප්‍රමාණවත්ය … දුක් මහන්සි වී බැඳ ගත්ත බෙරේ දන්නා කස්තිරම් සියල්ල දමල දිගටම ගහන එක නුවණක්කාර වැඩකි !

කණ්ඩා විටෙක “මට ඉන්න එකම එකානේ …” කියා මුරුංගා අත්තේ තබනවා සේම කණ්ඩාගේ මූලගින්න තද වූ විට දෙස් දෙවොල් තියන්නෙත් උන්දෑටමය …

කණ්ඩාට කණ්ඩා අසනීප උන විට හෙණම ඇණයක්ය … ලෙඩ දුකක් හැදුන විටෙක “දොස්තර හිත හොඳ” සහ “නෝනා මගේ නර්ස් නෝනා” යන චරිත දෙකම රඟන්නේ කණ්ඩා හාමිනේය … (“දොස්තර හොඳ හිත” බෙහෙත් කරන්නේ සතුනට පමණි එස්නිසා මේ ඒ දොස්තර නොවේ …)

ඒ වේලාවට ගෙදර ඉන්න පොඩිම එකා නොහොත් කණ්ඩා බබාව පැණි බෙහෙත් කෙසේ වෙතත් තිත්ත කසාය හරි පොවා, බලා කියා ගෙන ගොඩ දාන්නේත් කණ්ඩා හාමිනේය …

අනෙක් සම-හරක් හාමිනේලා දමන නරලොව සමයන් දිහා බලන් විට කණ්ඩා හාමිනේ හොඳටම හොඳය !

දැන් දැන් කණ්ඩාගේ ගෙදර උදවිය මෙන්ම නෑදෑ සනුහරෙත් ඇඟිලි ගැන ගැන බල හිටින්නේ කණ්ඩා ලංකාවට එනතුරු නොවේය…  ඒ කට්ටියට දැන ගන්න ඕනේ කණ්ඩා හාමිනේ එන්නේ කවදාද කියා පමණි …

ඒ මදිවට පවුලේ ඉන්න නෑදෑ කෙල්ලෝ හැට හුටහමාර දනිස්ස පේන සායක් ඇන්දත් නොරොක් දමන ආච්චි අම්මාට කණ්ඩා හාමිනේගේ කලිසම් කොටය කවමදාවත් පෙනෙන්නේ නැත …

ආච්චි අම්මාට කණ්ඩා හාමිනේට එහා කෙනෙක් නැති ගානය … කණ්ඩාට නං හිතන්නේ කණ්ඩා හාමිනේ ආච්චි අම්මාට මොකද්දෝ ඉනාවක් කවලාය …

මීට අමතරව කණ්ඩා හාමිනේගේ කොපමණ හොඳ කිව්වත් පොඩි කොස්සකට තිබෙන්නේ ඕනෑම අවස්ථාවක කණ්ඩාගේ ටිකිරි මොළයට එන මොන අදහසක් ගැන කිව්වොත් කණ්ඩා හාමිනේ ඇසිල්ලකින් චව්.. චව් .. බවට පරිවර්තනය වීමයි !

ඉතින් ඕක හරි යන්නෑ කිව්වොත් හරි යන්නෑ මය…  ඔය මොනවා හරි යන්නෑ කිව්වත් ඕනෑම හෙය්යම්මරුවකට කණ්ඩාට හරි යන්නේත් කණ්ඩා හාමිනේමය …

අවසානයේ කියන්නට ඇත්තේ මෙපමණය :  හාමිනේ නම් ඉස්තිරී රත්නය ඇතුවත් බැරිය… නැතුව කොහොමත් බැරිය !!!

wife2

හාමිනේලාගේ කතා වස්තුව –  II  කොටස ¬ නිසි බළධාරිනිය හෙවත් වාරණ මණ්ඩලය !

Advertisements