නොදන්නා රටක දන්නා කෑම ~ ශවර්මා !

al-ijahaza-cafeteria

ඕනෑම රටකගියහම රස විඳින්න තියෙන හොඳම දෙයක් වගේම මිනිස්සුන්ගේ හුරු පුරුදු,  ජීවන රටාව තේරුම් ගන්න පහසුම විදිහක් තමයි කෑම බීම !

UAE වල එහෙමත් නැතිනම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලෝකෙ ඉන්න හැම ජාතියකම, පාටකම උදවිය ජීවත් වෙන නිසා තියන ලොකුම වාසියක් තමයි තියන එකී මෙකී නොකී අහපු-නාහපු නානාවිද කෑම බීම පිළියෙළ කරන අවන්හල් තියන එක.

අපේ නවාතැනට නුදුරු  වටපිටා කියලත් වෙනසක් තිබුනේ නැහැ, බලාපු බලාපු හැම අතම අඩි දහය පහළොහක් ඇවිදපු ගමන්ම අවන්හල්. කණ්ඩත් අත ඇරියේ නෑ ඔය හැම එකම අස්සට රිංගලා නොයෙක් ආකාරයේ කෑම බීම රස විඳ ගත්ත හිතේ හැටියට !

මේ අවන්හල් සංග්‍රහ කරන ආහාරපාන (Cuisine), තියෙන වටපිටාව, ගනුදෙනු කරුවන්ගෙ අතමිට තත්වය අනුව එකකට එකක් වෙනස්. නම් ගම් අරන් බැලුවත් නානප්‍රාකාරයි.

සමහර එව්වා “රෙස්ටෝරන්ට්”,  එහෙම කිව්වොත් ඉංගිරීසි බැහැ කියල පේනවා ඒ හින්ද ඕං හම කළු උනාට සුද්ද වගේ කිව්වා “රෙස්ට-රෝන්ට්”.

ඇයි එතකොට තේ හෝ කොපි සමග බේකරි නිෂ්පාදන පිළිගන්වන කැෆේ සහ කොෆී  ෂොප්, උදේ හවස ඕනෑම වෙලාව හිත මිතුරන් සමග පොඩි බඩගින්නක් නිවා ගන්න කියපු තැන් !

අන්තිමට කැෆෙටේරියා කියල ගහල තියෙන්නෙ ලංකාවෙ හන්දියෙන් හන්දියේ තියන හෝටල් සහ ෂොට්-ඊට්ස් ජොයින්ට් වගේ කඩ. කඩ කිව්වට මෙහෙත් බාගයක් එව්වා තමයි කඩ ඉතිරි බාගෙ ලඩ.

හැබැයි ඉතින් මේවටත් කම්කරුගෙ ඉඳන් අතමිට හිඟ පාඩු නැති උදවිය වෙනකම් හැම කෙනෙක්ම යනවා එනවා.

ඉතින් ගොඩ වෙලාවට අවන්හල් වල තියන එකම සමානකම ඉතින් මැදට රිංගන “අල්” කෑල්ල තමයි. ඕනෑම එකක් “අල් … රෙස්ට-රෝන්ට්” හරි “අල් …. කැෆෙටේරියා”, අරාබිකරේ කොහේ ගියත් මේක වෙනස් වෙන්නෙ නැහැ, වල් බල්ලෙක් හිටියත් ඌත් “අල් බල්ලා” මිසක් වල් බල්ලා එහෙම නෙමෙයි ඕන් …

shawrma.jpg

මේ කැෆෙටේරියා අතර වැඩිපුරම තියෙන්නෙ මළයාලි කෑම, බර්ගර් සහ ශවර්මා (Shawarma) විකුණන ඒවා. මළයාලි කෑම නම් ලංකාවෙ අපේ කෑමට බොහෝ දුරට සමානකම් තියනව, හැබැයි ශවර්මා කියන්නෙ මොනවද කියල නම් ලංකාවෙ හුඟ දෙනෙක් දන්නෙ නැතුව ඇති. (කොළඹ අවට නම් දැන් දැන් මේවා නැතුවමත් නොවෙයි … )

ශවර්මා කියල කියන්නෙ මොනවද කියල මගෙන් කවුරු හරි ඇහුවොත්, මම දෙන කෙටිම උත්තරේ තමයි අරාබිකරයෙ තියන හොයා ගන්න පහසුම මස් සහිත සැන්විච් එතුමක් (Sandwich Wrap) කියන එක.

හැබැයි මේක අපිට වඩාත් හුරු පාන් පෙති දෙකක් මැදට මොනවා හරි දෙයක් දාල හදන සාම්ප්‍රදායික සැන්විච් එකකට වඩා සංකීර්ණ වගේම රසවත් දෙයක්. (කණ්ඩට නම් මතක් වෙනකොටත් කටට කෙල උනණවා … )

ඒ වගේම අරාබියේ තියන හොඳම මගතොට කෑම වේල් (Street Food) එහෙමත් නැතිනම් ෂෝර්ට් ඊට්ස් (Short Eats) අතර ශවර්මා ප්‍රධාන තැනක් ගන්නවා.

ශවර්මා හදන්න අරගන්න ප්‍රධාන අමු ද්‍රව්‍ය තමයි මස්, එලවළු සහ කුබූස් නමින් හඳුන්වන අරාබි රොටි (Kuboos / Pita Bread). ඕනෑම මසක් පාවිච්චි කරන්න පුලුවන් උනාට කුකුළු මස් සහ බැටළු මස් තමයි වැඩි වශයෙන්ම පාවිච්චි වෙන්නෙ.

ඔයිට අමතරව කුබූස් රොටිය මැද්දට පුරවන්න කුඩා තීරු වලට කපපූ අමු එලවළු මිශ්‍රණයක් (සාමාන්‍යයෙන් නම් ගෝවා, පිපිඤ්ඤා, සලාද කොළ, තක්කාලි, ළූනු, කොත්තමල්ලි කොළ), අච්චාරු දැමු එළවලු (කැරට්, අමු මිරිස්, මාලු මිරිස්, රාබු  – Pickles), තහීනි (Tahini – තල ඇට අඹරල හදාපු උකු පල්පයක්) සහ මුදවපු කිරි (යෝගට්) එක්ක කලවන් කරපු සුදුළුනු මිශ්‍රණයකුත් (Garlic Paste) යොදා ගන්නවා.

shawarma-kiosk-making

මේ ඔක්කොම දේවල් මැද්දට එකතු කරලා කුබූස් රොටිය රෝල් කරල පහසුවෙන් අල්ලගෙන කන්න පහසු වෙන්න කඩදාසියකින් හරි ඊයම් කොළයකින් හරි ඔතන එක තමයි අන්තිම රාජකාරිය.

හැම තිස්සෙම වගේ ශවර්මා පිලිගන්වනකොට අච්චාරු දමපු එළවලු වර්ග සහ සුදුළුනු කලවම් කල මුදවපු කිරි මිශ්‍රණයකුත් නොවරදවාම ලැබෙනවා.

මේකට සම කරන්න ලංකාවෙ අපිට තියන කිට්ටුම දෙය තමයි ඇතුවත් බැරි නැතුවත් බැරි “කොත්තුව”, කන පැලෙන ගානට තරමට සද්ද දාල “සන්ෆලවර් සංගීතේ – II සලාදේ” වගේ හැදුවෙ නැති උනාට මේකත් ටිකක් ඒ වගේම තමයි !

ලංකාවේ කොත්තු බාස්ලා ඉන්නවා වගේම මෙහෙත් බාස්ලා කොහොම වෙතත් ශවර්මා හදන්න දන්නා උදවිය දෙතුන් දෙනෙක්වත් අවන් හලක ඉන්නවා.

shawarma-kiosk-1

ශවර්මා හදන්න අරගන්න මස් පුළුස්සන්න විදුලි / ගෑස් උදුන් සහ ඒවා ඉස්සරහ කෝණාකාර ලෙස කැරකෙන කූරක අහුරපු මස් (Meat Skewers) අරාබිකරය පුරාම ශවර්මා කැෆෙටේරියා ඉදිරිපිට දකින්න ලැබෙන සුලභ දසුන් !

ශවර්මා හදන කැෆෙටේරියා එකක් ළඟ පාතක තියෙනවා නම් සුවඳ සෑහෙන දුරකට දැනෙනවා, ඉතින් අහල පහලින් යන ඕනෑම කෙනෙක් ඇදල ගැනීමට සමත් දෙයක් …

ඔන්න කණ්ඩා අරාබිකරයට ආපු මුලම හඳුනා ගත්ත, තවමත් බොහෝම කැමති කෑමක් තමයි ඔන්න ඔය විස්තර කලේ !

කණ්ඩාට මතකයි කණ්ඩාගෙ ලොකු මස්සිනාත් ශවර්මා කන්න රුසිය … මෙහෙ ඉන්නකම් හවසට ශවර්මා රෝල් දෙකක් එක්ක තඩි ගස් ලබූ යුෂ (ජූස්) එකක් දමල අරින එක බොහොම ප්‍රිය කරපු දෙයක් … !

ශවර්මා හදන හැටි – මගේ තුන අහරපාන සහ සංචාරය (MY3 Food & Travel) නාලිකාවේ අනුග්‍රහයෙන් 🙂

~ මතු සම්බන්දයි !

I කොටස – කටුනායක නරලොව හොල්මන් සහ අරාබි සමයං !

III කොටස – අරාබි මග මරුවෝ සහ බාප්පලා !