අරාබි මග මරුවෝ සහ බාප්පලා !

dubai-taxi-1

(ඩුබායි කුලී රථ )

කණ්ඩා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) ඇවිත් අවුරුදු 2-3 ක් ගත වෙනකන් අනාගතය ගැන ලොකු සැලැස්මක් තිබ්බෙ නැහැ.

මේ රටේ හුඟ කලක් ඉන්නවද ? වෙන රටකට යනවද ? හිතමින් කණ්ඩයි හාමිනෙයි දෙන්නම දෙගිඩියාවක හිර වෙලා …

ප්‍රවාහන පහසුකම් අවම නිසාත් කොච්චර කැමැත්ත තිබුනත් වාහනයක් ගන්නවද ? නැතිද ? කියන එකට උත්තර හොයන අතරේ නොදැනුවත්වම කාලය හොරෙන් ඉගිලිලා ගිහින් 😦

නමුත් කණ්ඩාගේ ඇවිදින ගායේ සැර අඩු වෙච්ච නැති නිසාදෝ ඒ කාලය අතර තුර වාහන දෙකක් ගන්න සල්ලි කුලී රථ වලට දන් දීල ඉවරයි !

දුක් මහන්සි වෙලා මිසක් හොරකම් කරලවත්, ඔටුවෝ මරලවත් හම්බ කරන සල්ලි නොවෙන නිසා හිතට අමාරුයි. නමුත් කරන්න දෙයක් නැහැ, ගිය නුවණ  ඇතුන් ලව්වවත් අද්දන්න බැහැ කියනවනේ.

taxi-sharjah2

(සාජා කුලී රථයක් )

කුලී රථ ගැන කතා කරනකොට මතක් කරන්නේ නැතුවම බැරි දෙයක් තමයි මේ වකවානුවෙදි (2007) UAE වල තිබුණු කුලී රථ සියල්ලම පාහේ පකිස්තානු, අරාබි සහ ඉන්දියානු රියදුරන් විසින් පදවපු ටොයෝටා කැම්රි රථ වීම (Toyota Camry).

මේවා ගැන කියන්න තියන එකම හොඳ දේ එච්චර තමයි, කොච්චර සැප පහසු උනත් හරියට සුද්ද පවිත්‍ර නොකරන නිසා මේවයේ ඇතුල ගන්දස්සාරේ බැහැ, නහයක් තියන මනුස්සයෙකුට ඒවායේ යනවට ගානක් දෙන්න ඕන.

කුලී රථයක ගමනක් ගිහින් ආවහම තමන්ගේ ශරීර සෞඛයයට ගැන ඕනවටත් වැඩිය හිතනවා නම් පළමුවෙන්ම කරන්න තියෙන්නෙ, ඩෙටොල් සබන් කෑල්ලක් ගාල හොඳට නා ගන්න එක තමයි 🙂

අනික කුලීරථ රියදුරන් බොහොමයක් නොහික්මුණු මග මරුවෝ, ලඟින් ගියොත් ඇහැක් නෑ !

එතකොට මේ ගොල්ලන්ගෙ තරහ කාරයෝ ඒ කියන්නෙ බාප්පල (මේ කියන්නේ පොලිසිය ගැන – අපිට නම් හුරු කොච්චියෝ කියන නම, නමුත් දැන් දැන් තව කොච්චියෝ ඉන්න හින්ද බාප්පල කියල කියන්නම්කො) පාවිච්චි කරන වාහන බොහොමයක් මර්සිඩීස් බෙන්ස් (Mercedes Benz) සහ BMW රථ.

අනේද කියන්නෙ… බාප්පලටත් බෙන්ස් !

(දැන් නම් තත්වය ටිකක් දුරට වෙනස් නොයෙක් ජාතියේ, ජපන්, කොරියන් වාහනත් සෑහෙන්න පාවිච්චි වෙනවා)

dubai-police

( ඩුබායි පොලිසිය පාවිච්චි කරන සහනදායී මිලට ලබා ගත හැකි කුඩා වාහන කීපයක්  ! )

UAE කියන්නෙ ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යක්, මෙහෙ තියන ප්‍රාන්ත හඳුන්වන්නෙ එමීර් වරයකු පාලනයට නතු යන අරුත ඇතිව එමිරේට (Emirate) නමින්.

ඉතින් UAE තනි රටක් විදිහට පිටින් පෙනුනත් ඇතුලතින් නම් ෆෙඩරල් රාමුවක තියන රටවල්/එමිරේට් 8 ක්, නමින් කියනවා නම් අබු ඩාබි , ඩුබායි, සාජා, අජ්මාන්, උම් අල් ක්වේන්, ෆුජේරා සහ රාස් අල් කයිමා (Abu Dhabi, Dubai, Sharjah, Ajman, Umm Al Quwain, Fujeirah, Ras Al Khaimah).

ඉතින් එමිරේටයෙන් එමිරේටයට කුලී රථ වගේම පොලිසිත් වෙනස්, කුලී රථ වගේම බාප්පලාගෙ වාහනත් විවිධ පාටින් වර්ණ ගන්වා තිබීම නිසා ලෙහෙසියෙන් වෙන් කර අඳුන ගන්න අපහසු නැහැ.

abu-dhabi-taxi

(අබු ඩාබි කුලී රථයක්)

හැබැයි ලංකාවේ වගේ එදා වේල  කපා ගන්න හන්දියක් හන්දියක් ගානෙ හිටං ඉන්න බාප්පලා නම් නැහැ, හිටියත් ජරාව කන් උදවිය නෙමෙයි !

අද වගේ නොවෙයි මේ කාලයේ UAE වල පොදු ප්‍රවාහන සේවා එතරම් දියුණු නැහැ, කුලී රථයක්, බස් එකක් ගන්නත් පැය ගණන් කට්ට කාපු අවස්ථා එමටයි !

රත් වෙච්ච් ගිනි උදුනක් වගේ පරිසරයක එළියේ තැම්බෙමින් ඉන්නවා කියන එක සැපක් වෙන්නෙ ඔටුවන්ට විතරයි !!! (මේක කකුල් දෙකේ සහ හතරේ දෙවර්ගයටම අදාලයි)

මැදපෙරදිග බොහෝ පළාත් වල විශේෂයෙන් ගිම්හාන ඍතුවේදී (Summer) කාලගුණය අතිශය ශුෂ්කයි (ඉතාමත් සෞම්‍ය කාලගුණයක් තියන ඕමාන්හි සලාලා (Salalah – Oman) වාගෙ ප්‍රදේශත් නැතුවම නෙමෙයි ! )

ajman-taxi

(අජ්මාන් කුලී රථයක්)

UAE වල නම් සෙන්ටිග්‍රේඩ් අංශක 42 – 48 කියන්නේ ඉතාමත් සාමාන්‍ය දෙයක්, මේ ඔක්කොම අස්සේ කුලී රථ රියදුරන්ගේ ගැස්සිලි පිප්පිලි … බස් රියදුරන්ගේ උජාරුව ඒ ඔක්කොමටම හපන් !

සතියකට කිහිප වතාවක්වත් මේ රියදුරන් සමග දරුණුවට බහින්බස් වෙන එක බොහොම සාමාන්‍ය දෙයක් !

රථ වාහන සහ පෙට්‍රල් අන් රට වලට සාපේක්ෂව ඉතා මිලෙන් අඩු නිසාදෝ ලෝකෙ තියන තරමක් ලොකු ලොකු අධි සුඛෝපභෝගී යාන වාහන මෙහෙ පාරක් තොටක් ගානේ හොයා ගන්න  බැරි කමක් නැහැ.

Fujairah Taxi 2.jpg

(ෆුජේරා කුලී රථයක් )

ඒවාටම හරි යන්න මහා මාර්ග පද්ධතියත් ඉතාමත් හොඳ තත්වයේ මංතීරු ගණනාවකින් යුක්තව හදල තියනව… අවාසනාවට මෙහෙ ඉන්න වැඩිමනක් රියදුරන් හිතාගෙන ඉන්නේ මේවා රොකට් පදින්න හදපු ගුවන් මාර්ග කියල … !

ඉතින් ඒවායේ යන්නෙත් ඒ විදිහටම හිතාගෙන තමයි, හැප්පුනොත් අර උඩ ඉඳගෙන උඩ බලාගෙන ඉන්නව කියන එක්කෙනා හම්බ වෙන්න යන්න නොමිලේ ටිකට්. ආපු අලුතම මෙහේ වාහන පදවන්නේ වමෙන් නිසා පාර පනිනකොට වම දකුණ ටැපලිලා, ටිකට් හම්බ වෙන්න බොහොම කිට්ටු උනු අවස්ථා කිහිපැයක්ම කණ්ඩ අත්විඳලා තියනව 🙂

කණ්ඩ ඩුබායිහි (Dubai) බෝඩිමක නැවතිලා හිටපු සන්දියේ ඉඳ හිටලා සති අන්තයේ සාජාහි (Sharjah) පදිංචි හිත මිතුරු ගලාගේ නිවසට ගොඩ වදින එක සිරිතක්. සාජා – ඩුබායි කියන්නේ සුවිශාල දුරක් යන්න ඕන ගමනක් හෙම නොවෙයි, වැඩිම උනොත් කිලෝ මීටර 20 ක් ඇති.

al-jubail

( සාජා අල් ජුබයිල් බස් නැවතුම් පොලේ දර්ශනයක්  )

හැබැයි ඉතින් ඔය මොනවා කිව්වත් ඔය කියන දවස් වල කණ්ඩට යාන වාහන තිබුනේ නැති නිසා, ඒ දවස් වල සාජා සිට ඩුබායි එනවා කියන්නේ ලංකාවේ ඉඳන් ඒරොප්පේ යනවා වගේ බොහොම භාර දූර වැඩක්.

ටිකට් අරන් පැයක්වත් පෝලිමේ ඉන්න ඕන බස් එකක් එනකන්, ඒ මදිවට යන්න තියෙන්නෙ ටොයෝටා කෝස්ටර් (Toyota Coaster) බස් රථ වල. මේවා සාමාන්‍යයෙන් සැප පහසු උනත් පරණ කෑලි හැලෙන එකක අකුලන මැද සීට් එකක් හෙවත් ජම්පර් සීට් එකක් ලැබුනොත් ගමන නිම වෙනකන් දුෂ්කර ක්‍රියා.

toyota-coaster

(ඉස්සර සාජා -ඩුබායි දුවපු බස් රථ ..)

ආපහු සාජ ඉඳල ඩුබායි එනව කියන්නෙත් මේ වගේම රැග් එකක් තමයි 🙂

ඉතින් ඔය හන්ද තමයි ඔය කාලේ බස් වල එල්ලෙන්න පෝලිමේ බලන් ඉඳල ඇති වෙච්චි මිනිස්සු අරන් යන්න නීති විරෝධී කුලී රථ (මේ කියන්නේ හොර ටැක්සි)  රංචුවක්ම ඇති වෙලා තිබ්බේ.

මේවා බොහෝ දුරට පැදෙව්වේ පකිස්තාන්, බංගාලි, මළයාලි සහ අරාබි ජාතික රියැදුරන්, මේ බොහෝ දෙන වීසා හෝ රැකියා නැතිව අමාරුවේ වැටුණ අසරණ අය හින්ද වරදක් කියන්නත් බැහැ.

හැබැයි ඉතිං මේවයේ යනවා කියන්නෙත් අර මගමරු කුලී රථ වල යනවා වගේම වැඩි වෙනසක් නැහැ, ඇඟේ මයිල් කෙලින් වෙන ත්‍රාස ජනක වීර චාරිකා.

කෙටි පාරවල් හොයා ගන්න සහ වෙලාව ඉතිරි කර ගන්න පාරේ වැරදි අතට ගමන් කිරීම විතරක් නෙමෙයි වැලි ගොඩවල් සහ පදික වේදිකා උඩින් දැමීමත් මේ උදවියට බොහොම සුළු වැඩ !

දිරාම් (UAE Dhiram) දහයක් වගේ බොහොම අඩු මුදලක් අය කරපු නිසා මේ උදවියට පාරිභෝගිකයන්ගෙන් නම් අඩුවක් තිබ්බේ නැහැ නමුත් පොඩි කොස්සකට තිබ්බේ සැරින් සැරේ හොර ටැක්සි අල්ලන්න ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් පනින නිළධාරීන් හෙවත් ටික්කො තමයි.

hora-taxi

ටික්කන්ට අහු උනොත් ඉතිං රියදුරාටයි යන උදවියටයි දෙගොල්ලොන්ටම බඩ කට පුරා දඩ, කණ්ඩත් දොහක් දෙකක් අහු වෙන්න ගොහින් නුලෙන් බේරුන අවස්ථා නැතුවම නෙමෙයි !

UAE වල අදටත් ඉන්න මගේ සමකාලීන මිතුරන් මේ හැම දේකටම සාක්කි කියයි, අනික කුලී රථ සහ බස් පස්සෙ දුවන එක මෙහේ ජාතික ක්‍රීඩාව කරානම් ඔලිම්පික් ගියේ නැතත් කණ්ඩා උඩින්ම මැඩල් එකක් ගන්නවා !

ප. ලි. : වාසනාවකට අද වෙනකොට සාජා -ඩුබායි එමිරේට දෙකේම පොදු ප්‍රවාහන තත්වය බොහෝ දියුණුයි, ඉස්සර තරම් දුක් විදින්න අවශ්‍ය නැහැ.

ඒ වගේම දැනට වසර කිහිපයක සිට කුලී රථ සඳහා වඩාත් පරිසර හිතකාමී ගෑස් සහ බැටරි බලයෙන් දුවන කාර් හඳුන්වා දෙන වැඩ පිළිවෙලක් පවා ක්‍රියාත්මකයි. ඩුබායිහි කුලී රථ රියදුරන් බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය ගුණාත්මක බව මෙන්ම ඔවුන් සඳහා ලබා දෙන විශේෂ පුහුණුව නිසා ඔවුන් අන් අයට සාපේක්ෂව සතුටුදායක විනීත සේවාවක් සපයනව.

හැබැයි එහෙමයි කියල අනෙකුත් කුලී රථ රියදුරන්ගේ වැඩි වෙනසක් දකින්න නැහැ වෙනද වගේම තමයි, අර කියනවත් වගේ මුන්ව හදන්න නම් කෝවක දාල මකවන්නම ඕන.

කණ්ඩගේ අතමිට සරු වීමත් එක්ක වාහනයක් ගත්තු හින්ද කුලී රථ වල ගමන් බිමන් එහෙමත් අඩුයි ඒ හින්ද පෙර තරම් දුක් විඳින්න අනවශ්‍යයි  😀

~ මතු සම්බන්දයි !

II කොටස ~ නොදන්නා රටක දන්නා කෑම ~ ශවර්මා !

IV කොටස ~ වානර සම්පත් කළමණාකරනය සහ ඔටු වීසා !