සිවික්ද ? ගැලන්ට්ද ?

c1

කණ්ඩාට පොඩි දවස් වලම වැළඳුනු කාර් සන්නියේ, ලොකුම රෝග ලක්ෂණය වන “මිනී මේනියාව” ගැන කලින් විස්තර ඇතිව පල කල නිසා අපහු වෙලාව නාස්ති කරන්නේ නැහැ !

මේ කියන්න යන්නේ කණ්ඩාට හතරයි හතරේ ගාය වැලඳෙන්න කලින් තිබුන ලෙඩ රෝගයක් ගැන …

කණ්ඩා පුළුවන් විදිහට හරි වාහනයක් අර ගන්නේ නැතුව කාලයක් තිස්සේ මැද පෙරදිග කටු කාල ඇති වෙලා අන්තිමේදී කාර් සන්නිය හොදටම කුරුවල් වෙලා අසාධ්‍ය තත්වයකට ආව ! (නිධාන කතා වස්තුව මෙතනින් )

මේක ඉක්මනින් සනීප කරන්න නම් තියන හොඳම බෙහෙත තමයි පාවිච්චි කරපු වාහනයක් හරි අරගන්න එක !

පාවිච්චි කරපු වාහනයක් ගන්නවා කිව්වම, පස් මහා බැලුම් බලන්න ඕනේ (හුඟ වෙලාවට ඊටත් වඩා) හරි හමන් එකක් තෝර ගන්න ! තමන්ගේ අතේ මිටේ තියන මුදලට අනුව  අනෙක් උවමනා එපාකම් ගලපනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි.

හැබැයි කාණ්ඩා වැඩේ අනා ගත්තට UAE වල පාවිච්චි කරපු වාහනයක් ගන්න එක එතරම් අපහසු මිල අධික විදිහට සලකන්නත් අමාරුයි, නමුත් දුෂ්කර ක්‍රියා කරන්න වෙන්නේ හරියට නඩත්තු කරපු ආපහු විකුණන්න පුළුවන් වාහනයක් හොයා ගන්න එක…

civic-1

හොඳ එකක් ගත්තේ නැතිනම්, වදක භාරියක් ගත්ත වගේ ! හොන්ඩා සිවික්, මිට්සුබිෂි ලාන්සර්, ටොයෝටා කොරොල්ලා සහ මැස්ඩා 3 (Honda Civic, Mitsubishi Lancer, Toyota Corolla and Mazda3)  යන වාහන ඔය වෙනකොට කණ්ඩාගේ රේඩාර් එකට වැටිලා තිබ්බේ !

ඔය කොයික තිබ්බත් මේ වෙනකොට තිබුණ අලුත් වාහන වලින් කණ්ඩාගේ කැමතිම වාහනය තමයි හොන්ඩා සිවික් (Honda Civic).

කණ්ඩා හිතන විදිහට 2006 සිවික් JDM එක තවමත් අද තියන අලුත්, මිලෙන් බොහොම වැඩි ගොඩක් වාහන වලට වඩා ලස්සනයි. කොටින්ම කියනවානම් මේක අවුරුදු දහයක් ගැන ඉස්සරහට හිතල හදපු විශිෂ්ට නිර්මාණයක්.

වාහනේ ඇතුලට ගියහම ගුවන් යානයක නියමු කුටියක් (Cockpit) ඇතුලට ගියා වගෙයි.

c6

හොන්ඩා එන්ජින් වල කාර්යක්ෂමතාව සහ වේගවත් බව ගැන කියන එක ගහ දන්නා මනුස්සයට කොළ කඩා පාන්න වගේ දෙයක්.

ඉන්ධන පරිභෝජනය, අධික ඉල්ලුම, විශ්වසනීයත්වය සහ කල් පැවැත්ම අතින් ගත්තම මේකට ගහන්න වාහනයක් නැහැ. නමුත් ඔය ඔක්කොමත් හරි පාවිච්චි කරපු හොඳ තත්වයේ සිවික් එකක් අඩු ගණනකට හොයනවට වඩා ලේසියි මිනිහෙක්ව හඳට යවන එක !

සිවික් අයිති කාරයෝ ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ සිවික් හදන්නෙත් රෝල්ස් රොයිස් (Rolls Royce) කොම්පැනියේ කියලද කොහෙද, රත්තරන් වලින් හැදුව වගේ තමයි ගණන් කියන්නේ !

c7

මෙහෙම එකම වාහනයක් පස්සේ පන්නන එක හරියට රූප සුන්දරියක් ගැන හීන මවමින් ගෙදරට නාකි වෙනවා වගේ, හරියන වැඩක් නෙමෙයි. ජීවිතේ ගොඩක් දේවලදි තමන්ට හීන මවන දෙයයි ලැබෙන දෙයයි අතරෙ ලොකු වෙනසක් තියනවා  😀

ඔහොම ඉන්න අතරතුර තමයි කණ්ඩගේ කාර්යාලීය මිතුරකුගේ මාර්ගයෙන් මිට්සුබිෂි ගැලන්ට් (Mitsubishi Galant) එකක් ගැන දැන් ගන්න ලැබුනේ. කණ්ඩා හොන්ඩා සිවික් එකක් මත්තෙම නැහුනට, දැක්ක ගමන්ම හිතුන ගැලන්ට් එකත් නරක නැහැ කියල …

මේක බොහොම පරිස්සමට බවලතෙක් පදවපු, අවුරුදූ එක හමාරකටත් අඩුවෙන් පාවිච්චි කරපු 2008 වසරේ නිෂ්පාදිත වාහනයක්, වාහනේ දුවපු කිලෝමීටර් ගාන විසි දහකට පොඩ්ඩක් වැඩියි, අලුත් වගේමයි !

ගාණත් ලක්ෂ දොළහක වගේ බොහොම සාධාරණ මිලක්. ලංකාවේ නම් මරූටියකුත් ලක්ෂ 12-16 ක් පමණ මිළ වෙනවා… (අබුදස්ස කාලේන කජ්ජේන් පුහුලං !)

කණ්ඩා අයෙත් ඔලුව කස කස දෙපාරක් කල්පනා කරා,  සිවික්ද ?? ගැලන්ට්ද ??

වාහනයක් ගන්නකොට විවිධ මාදිලියෙ වාහන කිහිපයක් බැලුවට පාඩුවක් වෙන්නේ නැහැනේ, අන්තිමට කණ්ඩා තීරණය කරා ගැලන්ට් ගිහිල්ල එකත් බලල එනවා කියල !

ඉතින් කණ්ඩා හාමිනේවත් උස්සගෙන ගියා නිකමට වගේ වාහනේ බලන්න …

හිතුවටත් වඩා වාහනේ අලුත් වගේම ලස්සනයි, මෙටලික් අළු පාට (Metallic Grey) වාහනයට හොඳට ගැලපෙනවා. සිවික් එක තරම් වේගවත් නැති උනාට ඒ වගේ දෙගුණයක් ඇතුලේ ඉඩ.

වැඩිය ගැස්සෙන්නේ පැද්දෙන්නේ නැහැ බොහොම සැප පහසුයි. ඔක්කොමටත් වඩා වගකීම් කාල සීමාව (Warranty Period) ඉවර වෙන්නත් තව සෑහෙන්න කල් තියනවා, වාහනයට ප්‍රමාණවත් ලීටර් 2.4 ධාරිතාවෙන් යුතු එන්ජිමක්… නරක නෑ !

dsc_0290

පොඩි කොස්සකට තිබ්බේ මේක මූලික මාදිලියෙ (Basic Model) එකක් වීම, ලීටර් 3.6 ඉහළ මාදිලියේ (Top Range Model) එකක් උනා නම් දෙපාරක් හිතන්න දෙයක් නැහැ, නමුත් මූලික මාදිලියෙ නිසා ආපහු විකුනන්න නම් ලෙහෙසි වෙන්නේ නැහැ.

හැබැයි ගැලන්ට් එක එදිනෙදා පාවිචියට වගේම දුර ගමන් වලටත් පවුලකට කදිම, නැවක් වගේ සැප පහසු වාහනයක්.

අයිතිකාරයෝ දෙන්න තරුණ පහේ ඉන්දියානු යුවලක්, බොහොම මිතශීලි උදවිය වාතයක් වෙන පාටක් නම් නැහැ …

වාහනේ ගැන විස්තර කතා කරන ගමන් කණ්ඩා හිතේ අමාරුවෙන් හිර කරගෙන හිටපු ප්‍රශ්නය එලියට දැම්ම ! ඇහුව මෙච්චර හදිස්සියේ අඩු මුදලකට වාහනේ විකුනන්නේ ඇයි කියල ?

බලනකොට අයිතිකාර උදවිය UAE ඉඳන් බහරේන් (Bahrain) වල පදිංචියට යනවා. බහරේන් කියන්නේ සෞදි අරාබිය (Saudi Arabia) කිට්ටුව තියන බොහොම කුඩා දුපතක්, ඒ හන්ද ලොකු වාහනයකින් එහෙට ඇති වැඩක් නැහැ.

මේතරම් අඩු මුදලකට අලුත් වාහනයක් ගන්න හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්, දැන් මොකද කරන්නේ … ගන්නවද ? නැද්ද ?

කණ්ඩා හාමිනේගේ මුහුණ දිහා බැලුව, එයාට නම් හොඳටම හිත ගිහිල්ල. වාහනේ අද ගෙදර අරන් යන්න තිබ්බ නම් අද උස්සගෙන යන ගානයි ! කණ්ඩගේ මායියට යමක් හිතට අල්ලනව කියන එක කල්ප කාලාන්තරයකට වතාවක් සිදුවෙන අතිශය දුර්ලභ දෙයක්.

ඉතාම සරලව පැහැදිලි කරනවා නම්, ඒක හරියට කන කැස්බෑවා විය සිදුරෙන් එලිය බලනකොට… බේ වොච් එකේ පැමෙලා ඇන්ඩර්සන්ව (Pamela Anderson in Baywatch) දකින්න ලැබෙනවා වගේ !

තව දෙපාරක් හිත හිත කල් මරන්න ඕනේ නැහැ, මේක මේ වෙලාවේම අර ගන්න එක තමයි කණ්ඩගේ ශරීර සුවතාවට හොඳම දේ ! නැතිනම් ආපහු කකුල් කෙඩෙත්තුව හැදෙනකම් හාමිනේට ගැලපෙන වාහන හොය හොයා ඇවිදින්න ඕනේ !

තව දුරටත් වාහන ගැන හොයල බැලුවත් ගැලන්ට් එක තරම් හිතටයි සාක්කුවටයි දෙකටම අල්ලන එකක් කණ්ඩට හම්බ උනේම නැහැ, අන්තිමට අපි තීරණය කරා ඕන ලබූ ගෙඩියක් වෙන්න ගැලන්ට් එකම අර ගන්නවා කියල.

මීළඟ ප්‍රශ්නේ තමයි කණ්ඩට ලයිසන් නැති එක (@#%&^% පිහිටෙන් කණ්ඩට තවම නැහැ !) කණ්ඩට ලයිසන් නැති උනත් ඒ වෙනකොට කණ්ඩගේ හාමිනේට ලයිසන් තිබිච්ච හන්ද අමුතුවෙන් හිතන්න අවශ්‍ය උනේ නැහැ.

dsc_0309-2

ලයිසන් කිව්වම මතක් උනේ, UAE වල රියදුරු ලයිසන් අරගන්නවා කියන එක හරියට අලියා ගත්තට හෙණ්ඩුව ගන්න බැහැ වගේ දෙයක් ! කොටින් කිව්වොත් දවසක් ඇතුළත කැමති ජාතියක කිරි කිරි දළ ඇතෙක් ගන්න එක මහා ලොකු කජ්ජක් නෙමෙයි …

හැබැයි මහා බලගතු හෙන්ඩුව හෙවත් ලයිසන් ගන්න එක නම් මාස ගණන් රස්තියාදු වෙන්න වෙන වැඩක් !

අවුරුදු ගණන් ගිහිනුත් පරීක්ෂණ දහ පහලොහකින් අසමත් උදවිය නැතුවමත් නොවෙයි, අඩුම තරමේ 3-4 වතාවක්වත් කට්ට කමින් රස්තියාදු වෙන එක වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්.

අනික ලයිසන් ගන්න ගියහම අමාරුම වැඩේ තමයි ලඟින් ගියොත් නහය නැති පකිස්ථාන් ජාතික පටාන් (Pakistani Patans) රියදුරු පුහුණුකරුවන්ගෙයි (Driving Instructors), පරීක්ෂකවරු (Examiners) විදිහට කටයුතු කරන දෙපා ඔටුවන්ගෙයි (Arabs) ආඩම්බර බලන එක …

කණ්ඩත් දෙතුන් පාරක් උත්සාහ කෙරුවත් දෙකට නැමෙන්න ඉගෙනගෙන නැති හින්දත් එක එකාට පශ්චාත් භාගය පිරි නමල පුරුද්ද නැති හන්දත්  ලයිසන් එක හම්බ උනේ නැහැ !

~ මතු සම්බන්ධයි !

කාර් සන්නිය ~ II කොටස ~ එකෝමත් එක ගැලන්ට් එකක් සහ යුද්ධයක් !

Advertisements