ඔටු දේසේ වීසා අලුත් කිරීමේ සෙල්ලං !!!
කණ්ඩට දිරවන්නෙම නැති දෙයක් තමයි ආණ්ඩුවේ කන්තෝරු ගානෙ බඩ ගාන එකයි රස්තියාදු වෙන එකයි, ඒක සිරි ලංකාවෙයි ඔටු දේසෙයි කියල ලොකු වෙනසක් නැහැ.
කණ්ඩ වෙනදට නම් කරන්නේ මේ වගේ වාත වැඩ වලට කණ්ඩගෙ හැරමිටිය හෙවත් හාමිනේව යවල හෙමිහිට ලිස්සල යන එක.මොකද කොහෙත් වගේ මෙහෙත් චීත්ත අඳින වානර පාර්ශ්වයට ගරු සැලකිලි වැඩියි, පොත්ත සුදු නම් … අරාබි ටිකක් දන්නවනම් … වස්තරේ දනිස්සෙන් අඟල් අටක් උඩට නම් තවත් ලේසියි !
ලෙබනන් රටේ ඇහැට කනට පේන බවලත් උදවිය මේකට ඔස්තාද්ල , අහන්න එපා ඇයි කියල ඕං !
අනික කණ්ඩ ගොහින් වැඩේ අකුරට කරන්න හදල පැය 3 – 4 ක් අනාගන්න ඕනෑම වැඩක් හාමිනේ විනාඩි 10 – 15 කින් අහවර කරගෙන කණ්ඩට දෙස් දෙවොල් තිය තිය එළියට එනවා 🙂
මම දන්නවනෙ හාමිනේ හපන් කියල … ! පොඩ්ඩක් මුරුංග අත්තේ තියල යාප්පුවෙන් ඔය ටොපි ලොසින්ජර හරි අයිස් ක්‍රීම් එකක් හරි අරන් දුන්නම ඒක අහවරයි.
කරුමෙට මේ වීසා කෙහෙම්මලට එහෙම කරන්නත් බෑ … මක්කොරන්නද ??? කණ්ඩම බඩ ගාන්න ඕනනෙ.
දැන් ඉතිං පලයන්කො ආපහු ටයිපින් සෙන්ටර් ගානෙයි , මෙඩිකල් ටෙස්ට් කරන්නයි … ඒ මදිවට එතන ඉන්න එක එකාලගේ ආඩම්බරකං බලන්නත් ඕන !
බැහැයි කියල කම්මැලි කමට දවසින් දවස කල් දාල හරි යන්නෙ නැති හින්ද අන්තිමේදී කණ්ඩලෑ ගෙදර මාතලීවත් (ඔය කියන්නෙත් හාමිනේ ගැනම තමයි ඕං 😀 ) කැන්දන් ගියා මෙඩිකල් ටෙස්ට් එක කරන තැනට.
හපෝයි … එතන සෙනග පිරිලා ඉන්දියානු, පකිස්, බංගාලි, අරාබි, පිලිපීන සහ තවත් එකී, මෙකී නොකී හැම ජාතියෙම මනුස්සයෝ මෙතන !
ආන්න ඒ එක්කම තියනවා සෙනග නැති පොළිමක් … කණ්ඩට බොහොම සතුටුයි … පැන්න දනි පණි ගාල එතනට … දික් කරා ලියුං කරදහි ගොන්නම කවුන්ටරේට.
මෙන්න කවුන්ටරේ හිටපු වයසක පහේ මනුස්සය නිදාගෙන ඉඳල නැගිටපු ගානට කියපි මේ පෝලිම ගෑනුන්ට විතරයි කියල !!! &@%^#%# ද ?
පොඩ්ඩක් වටපිට බැලුවහම අන්වීක්ෂයක් දාල බලන්න ඕන ගානට පොඩි අකුරු වලින් ගහපු කරදහි කෑල්ලක් අලවල තියනව නේන්නං පැත්තකින් ! *** කාන්තාවන්ට පමණයි ! *** (Ladies Only)
එක ඉස්තිරියාවක්වත් පෝලිමේ නැති කොට පිරිමින්ව අර ගත්තහම මුන්නැහේලගෙ ඇඟෙන් ඇටයක් යනවද මං අහන්නෙ ?
@$#$%#$ !!! … කණ්ඩ ඕං අපහු ගිහින් එකතු උනා පතරංග පෝලිමක පිටිපස්සටම !
පෝලිමේ හිටං මැදක් දුරට අවහම, මෙච්චර ලස්සනට එකා ගානෙ පිළිවෙලකට ඉස්සරහට යන පොලිමක් තියෙද්දීත් ආව අරාබිකාරයෙක් පෝලිමෙන් පිට පැනල මොකද්දෝ කොලයක් දික් කරගෙන කවුන්ටරේ ඉස්සරහට.
කණ්ඩට තද උනා අසූ හාර දාහටම … සද්දේ පොඩ්ඩක් දාලා කිව්වා … කරුණාකරලා ( පව් නොදී ) පස්සට යන්න කියල !
ඌත් එයිටත් වැඩිය සද්දෙන් කැඩිච්ච ඉංගිරිසියෙන් කියනවා උට හදිස්සිලු … නැගල ආපු ඔටුවාව පාර අයිනෙ හදිස්සියට පාක් කරලා ආවද දන්නේ නැහැ ? පව් අහිංසකය !
හොඳ වෙලාවට කවුන්ටරේ හිටියෙ කොන්ද පණ තියන ඉන්දියන් කොලු ගැටයෙක්, මේ කවුන්ටරේ ඉන්නෙ ඔක්කොමල හදිස්සි අය තමයි කියල යැව්වා ඔටුවාව පෝලිමේ පිටිපස්සටම.
ඔටුවට හොඳටම මළ පැනල මගේ මූණත් කන්න වගේ බලාගෙන මොනවදෝ කියව කියව පස්සට ගියා.
ඒ අස්සෙම කණ්ඩගේ පිටි පස්සේ හිටපු බංගලියගේ මූණ කණ්ඩගෙ කන ගාව … උගේ හුස්මත් බෙල්ල පිටිපස්සට දැනෙන ගානයි.
මේ යක්කුන්ට පුද්ගලික අවකාශයක් (Personal Space) කියල එකක් ගැන තේරෙන්නෙම නැද්ද කොහෙද ? කර උඩම නගින්න එනවා !
කණ්ඩ පිටිපස්ස හැරිලා කෙලින්ම ඇස් දෙක දිහා ඔරවල බැලුවම බංගලිය අඩියක් පිටිපස්සට ගත්ත.
අන්තිමට කවුන්ටරේ හිටපු කොලු ගැටය මගේ ලියකියවිලි ඔක්කොම බලල නොම්මර දාපු අළුත් තුණ්ඩු කෑලල්කුත් දීල තව කවුන්ටරයක් පෙන්නුවා.
තුණ්ඩුව අරන් කවුන්ටරෙන් අයින් වෙන්න හැරෙනකොට ආයෙත් බංගලිය කණ්ඩගේ ඇඟ උඩ … මොන විදිහකට හැදිලද කියල තේරෙන්නෙ නෑ ගොං #%%# , බාග විට වානරයෙක් උනාට පරිනාමයෙන් මග ඇරුණු හෝමෝ නියැඩතාල් වරිගෙ එකෙක්ද කොහෙද ?
ඒ කවුන්ටරේ ඉන්නෙ ඔලුව වටේටම තලප්පාවක් බැඳ ගත්තු ජටිල මහත්තයෙක් (Sikh) … ගිහිල්ල ලියුං කරදහි ටික දික් කල ගමං කණ්ඩාගෙන් ඇහුව කණ්ඩ අති විශේෂද කියල … ?
මේ කතා කරන්නේ ගල්, පොල් සහ මෙන්ඩිස් ගැන නෙමෙයි කියල කණ්ඩට තේරුණත් කණ්ඩට බකස් ගාල හිනා යන්න ගියේ නඩුකාරයෙකුයි බේබද්දෙකුයි අතර සිද්ද්ද වෙච්ච් කතා බහක් මතක් උන හන්ද !
ඔන්න එකත් අහගන්ටකො … දවසක් නඩුකාර උන්නාන්සේ කෙනෙක් බේබද්දෙක්ව විත්ති කූඩුවට නග්ගල අහවර වෙලා … යුෂ්මතා බොනවද කියල ප්‍රශ්න කරාලු, බෙබාත් මල් හතක් පිපුන වගේ ගත්ත කටටම කිව්වලු …
දවල් උනාට කමක් නැහැ හාමුදුරුවනේ , බොනවා නම් බොමු කියල !
ඉතිං මක්කොරන්නද අහිංසක බෙබා බරපතල වැඩ සහිතව තුං මාසයක් හිරේලු !!!
බේබද්දොයි වීසා අතරයි අතර සම්බන්දෙ මොකද්ද ? ආයෙත් පීල්ලෙන් පිට පැන්න… ඔන්න අපහු වීසා ගැන … !
ඇයි යකඩෝ ජටිල මහත්තැන්ගෙ තලප්පාවට වැහිලා මොළයක් කියල එකක් නැද්ද ? කණ්ඩගෙ මූණත්තහඩුව බලපු ගමන් කියන්ඩ බැරිද කොහොමත් අති විශේෂයි කියල ? ඕක අහන්නත් දෙයක්යැ ?
ජටිල මහත්තයත් එක්ක මෙතන බොන්න සෙට් වෙන්න බැරි හින්දත් … පෝලිම් වල හිටං ඉඳල ඇතිව වෙලා තිබුණු හන්දත් … ඔහේ මොකෝ … කණ්ඩත් පැනල හා කිව්වා !
අනික වැඩිපුර ගෙවන්න වෙන සල්ලි කණ්ඩගෙ අතින් පයින් යනවායැ, කොම්පැනියෙන්නෙ ගෙවන්නෙ 😀
ඔන්න ඒ පාර ජටිල මහත්තයගෙ ගරු සැලකිලිත් ටිකක් වැඩියි, දඩි බිඩි ගාල ඒ කවුන්ටරේ වැඩ ටික ඉවර කරලා කණ්ඩව යැව්ව ලේ සාම්පල් ගන්න තැනට … සැලියුට් එකක් විතරයි ගැහුවෙ නැත්තෙ !
ඕං කණ්ඩත් දැන් අති විශේෂ ඒ කියන්නේ VIP !
ඉතින් කණ්ඩ වගේ උදවියට ඇතුල් වෙන්න වෙනම කොටහක් තියනවා, ඒක ඇතුලේ අනිත් දිහා වගේ දිග පෝලිම්, කර උඩින් පනින තරමට සෙනග එහෙම නැහැ, බොහොම නිස්කලංකව ඉක්මනට වැඩේ කරගෙන එන්න පුළුවන් !
කණ්ඩ ගිහින් කවුන්ටරේ ගාව වාඩි වෙන්නවත් ඉඩ හම්බුනේ නැහැ මෙන්න ටයි සුට් ඇඳ ගත්ත මනුස්සයෙක් දුවගෙන ඇවිත් ලියුං කරදහියත් ඉල්ලගෙන, එන්න සර් කියල කෙලින්ම ලේ ගන්න කාමරේ ඇතුලට කැන්දන් යනව …
පුහ් … බලේ තමයි සල්ලි බලේ … සල්ලි තියනවා නම් ඔක්කොමල VIP … එහෙම හිත හිත කණ්ඩ ඒ මනුස්සයාගෙ පස්සෙන් වැටුන !
මළයාලි ජාතික නර්ස් නෝනා කෙනෙක් තමයි ලේ ගන්න ඉන්නෙ … ඇහැට කනට පෙනෙන ප්‍රිය මනාප ඉස්තිරියාවක් …දෙන්න හිතෙනවා ලේ ඔක්කොම උනත් !
කණ්ඩ ඉක්මනට කමිස කොලර් එක උස්සගෙන කොන්ඩේ හදාගන්න බැලුව, එතකොට තමයි මතක් උනේ මේ පාර කොටටම කපපු හින්ද හදන්න කොණ්ඩයක් නැහැ කියල 😦
නෝනා … මගේ නර්ස් නෝනා … කණ්ඩට බයිලා චක්‍රවර්ති වොලී බැස්ටියන් මහත්තයාගෙ සිංදුවක් මතක් උනා මෙහෙම ගියොත් කණ්ඩගේ බයිලාව ඉවර කර ගන්න වෙන්නේ නැහැ ඒක හන්ද සිංදුව නොකිය ඉන්නංකො.
නර්ස් නෝනා බොහොම ආචාරශීලී විදිහට ගුඩ් ආෆ්ටර්නූන් ! කියල ආචාර කරලා කණ්ඩට වාඩි වෙන්න දිග ඇඳි තියන දිගා වෙන්න පුළුවන් සැප පුටුවක් පෙන්නුවා.
ෂාහ් … මේකෙ තියන සැප හාමිනේගෙන් අහල බලන්න ඕනේ ගෙදරටත් මෙයිං පුටුවක් ගන්න පුලුවන්ද කියල සනීප සුව විඳින්ට ?
(මේක අහපු ගමන් හාමිනේගේ මූණ චව්… චව්… වගේ වෙනස් වෙන එක මැවිලා පෙනුන හින්ද ඉක්මනට ඒ අදහස අමතක කරල දැම්ම !)
වැලමිටට උඩින් අත රබර් පටියකින් ගැට ගහපු නර්ස් නෝනා ලේ ගන්න සිරිංජරෙත් අරන් කණ්ඩගෙ නහරයක් අල්ලන්න බලනවා … ඔබනවා … තට්ටු දානවා වැඩ ගොඩයි … හරි යන්නෙම නැහැ … මං හිතන්නේ මස් හින්ද කටු පෙන්නේ නැද්ද කොහෙද ! වැරදුනා…. කටු නෙමෙයි …. නහර … නහර …
අනේ මංද කණ්ඩට නං ඕව තේරෙන්නෙ නැහැ … කණ්ඩගෙ හාමිනෙයි, අම්මයි දෙන්නම කියන්නේ කණ්ඩ හොස්ස ලගිං මැස්ස යන්න බැරි නහරකාරයෙක් කියල.
කෙහෙම්මල තමයි … හාමිනේටයි, අම්මටයි දෙන්නටම පිස්සු … එහෙම නම් ඉතිං තියෙන්න එපැයි ලේසියෙන් හොයාගන්න පුළුවන් නහර … මෙච්චර දඟලන්නෙ මක්කටෙයි ?
දන්නා සෙල්ලම් ඔක්කොම දාලත් දකුණු අතේ නහරයක් හොයා ගන්න බැරි වෙච්චි ගමන නර්ස් නෝනා වැඩේ අල්ලලා දාල අනිත් අතට මාරු උනා !
මේ අතත් කලින් එක වගේම තමයි වැඩි වෙනසක් නැති පාටයි … සාමාන්‍යයෙන් මෙහෙම වෙච්ච් දවසට අර ඇදෙනකං ස්වීප් ටිකට් ගන්නවා වගේ කිහිප විඩක් කටු ඔබල ඉවර උනාට පස්සේ තමයි වැඩේ හරි යන්නෙ !
මේක සහසුද්දෙන් දන්නා හන්ද කණ්ඩ කල් තියාම හිත හදා ගත්ත !
හැබැයි නර්ස් නෝනා වැඩ කාරය, ඔබල තට්ටු දාල අන්තිමට යන්තම් පළමුවෙනි වතාවෙන්ම කටුව ගහල ලේ ටික අරගත්ත, එතකොට තමයි ආපහු කණ්ඩගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ !
ඉතින් ඒ වැඩෙත් කරගෙන එලියට ආවහම මතක් උනා තව මොනවා හරි ඉතිරිවෙලා තියනවද කියල බලලම යන්න ඕන කියල.
ඉතින් ඒ ගමන ආපහු කවුන්ටරේ ගාවට ගියා දැන් එතන වැඩිය සෙනග නෑ හැබැයි අර ඉස්සෙල්ල හිටපු කඩිසර ඉන්දියන් කොලුවත් නැහැ, ඩෝසරයක් විතර මහත නිදිමත මුණක් තියන ඔටුවෙක් එතන !
මම විස්තරේ කිව්වම මේ යකා ඕනාවට එපාවට වදෙන් ගැලවෙන්න මොනවදෝ කිව්වා … කියපු දේ මගේ කනට ඇහුනෙත් නෑ …
ඉතින් ආපහු මම ඇහුවම මූ හෙන පාට් එකක් දාල ලා .. ලා .. කලාස් … කලාස් ! ( නෑ … නෑ … ඉවරයි … ඉවරයි …) කියල අරාබි වලින් කිව්වා.
නෙදකින් මුගේ ගෑස් … නප්පියටම තදවෙච්ච පාර කණ්ඩත් අත ඇරියේ නැහැ …
ටිකක් වටපිට විපරං කරල බැලුව පිටවෙන දොර ගාවත් සෙනග වැඩිය නැහැ … පාරත් හිස් !
හොඳට දත් තිස් දෙකම පෙන්නල හිනා වෙලා … Thank You Very Much මූසලය !
කියල හද පිරී උතුරා යන ප්‍රණාමය ඔටුවට පුද කරලා කණ්ඩ බැස්ස එලියට !
මේ කතාව ඉවරායි … !
මැදක් නැති පෙර දිග ~ IV කොටස ~ වානර සම්පත් කළමණාකරනය සහ ඔටු වීසා !!!
මැදක් නැති පෙර දිග ~ VI කොටස ~ ඔටුවාගේ රටේ තහනම් සත්තු … !!!
ඔක්තෝබර් 15, 2016 at 11:09 පෙ.ව.
” … ඇහැට කනට පෙනෙන ප්‍රිය මනාප ඉස්තිරියාවක් … දෙන්න හිතෙනවා ලේ ඔක්කොම උනත් ” වෙලාවට හාමිනේට ලේ ටැස් කොරන තැනට යන්න බැරි උනෙ නැත්තන් දෑක්කෙ නැහැ වගෙ එන්න වෙනවා 🙈..
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 15, 2016 at 11:30 පෙ.ව.
උන්දැව එලියේ තියල ගියේ හොඳ වෙලාවට … මේ දෑස කුමකටද කිව්වලු … එහෙම නර්ස් නෝනලා දකින්න පින් කරන්ඩ ඕනේ …
කැමතියිකැමතියි
ඔක්තෝබර් 16, 2016 at 5:03 පෙ.ව.
මම ලියන්න ඉන්න ඕමාන් කතා ඔක්කොගෙම ඩුබායි වර්ෂන් එක තෝ මට කලින් දානවනෙ බන්..අපිත් ලියන්න ඕන ඩෝ…එවනවා සුදු වෑන් එකක්..හරිය..
මචං පට්ට සිරාවට ලියනවා උඹ… උඹ නොලියපු ගල්ෆ් ටොපික් එකක් හිතමින් ඉන්න ගමන්.
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 16, 2016 at 5:33 පෙ.ව.
හික් … හික් … සිංහයාට බය නැති උනත් සුදු වෑන් වලට බයයි මල්ලියේ …
මගේ පන කෙන්ද රැකගන්න ඕං මැදපෙරදිග ගැන ලියන එක කල් තියනව …
මම මෙහෙ කාපු කටු ගැන පොතක් ලියන්න පුලුවං බං …
මම අහල තියනව ඕමාන් පොලීසිය හදන්න ලංකාවෙ හිටපු ඔපිසර කෙනෙක් මුල්වෙලා කටයුතු කලා කියලා … ඇත්තද බොරුද දන්නෙ නෑ ටිකක් හොයල බලපන් …
කැමතියිකැමතියි
ඔක්තෝබර් 17, 2016 at 4:38 පෙ.ව.
කොහේ ගියත් චීත්තෙට මාර සැළකිලි නේද බං
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 17, 2016 at 5:20 පෙ.ව.
මේක වික්ටෝරියානු සුද්දාගේ හිටං ඔටුවා දක්වාත් …. ඔටුවාගේ හිටං හිංගලයා දක්වාත් පොදු කාරණයක් … !
කණ්ඩ නම් කැමති ඕනෑම තැනක එන පිළිවෙලට සලකන සාධාරණ ක්‍රමයකට තමයි (Firstcome First Served)…. චීත්තද සරමද යන්න එයට අදාල නොවිය යුතුයි ! 😀
කැමතියිකැමතියි
ඔක්තෝබර් 19, 2016 at 10:57 පෙ.ව.
මොකො අනිත් කතාව තම පරක්කු. මගි ජනතව සාගින්නෙ බලන් සිට්න්නෙමු.
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 19, 2016 at 11:04 පෙ.ව.
ලියන්නේ කොහොමෙයි ආයිබෝවන්ඩ ඔය උඩින් කෝච්චිය මට මරණ තර්ජන එල්ල කරනකොට ??? අල්ලපු රටේ ඉන්න එකා වෙච්චි ඕක මට විශ්වාස නැහැ !
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 24, 2016 at 5:02 පෙ.ව.
ඕං දැම්ම එකක් එහෙනං … ගොහින් බලන්ට …
කැමතියිකැමතියි
ඔක්තෝබර් 21, 2016 at 9:30 පෙ.ව.
කෝ බන් ඊගාව කතාව…ඔටු කතා හරි දාපන්.
මම ඉල්ලා අස් කරගන්නවා තර්ජනය..
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 22, 2016 at 7:32 පෙ.ව.
අන්න කොච්චියා එහෙම කියනවා නම් ඉතිං සලකා බලන්න පුළුවං … තව කතා දෙක තුනක්ම මේ දවස් වල ලියාගෙන යනවා … ඒත් තෝර ගත්ත මාතෘකා දැලි පිහියෙන් කිරි කන්නා වාගේ බොහොම පරෙස්සමට කල යුතු ඒව …
අනික තවම නිසි බලධාරියාගේ අනුමැතිය හම්බ උනෙත් නැහැ … 😦
කැමතියිකැමතියි
ඔක්තෝබර් 24, 2016 at 5:01 පෙ.ව.
ඕං දැම්ම එකක් එහෙනං … මේකට කෝච්චිය කියලම ලොග් උනා නං තමයි ලස්සන …
https://kandascolumnblog.wordpress.com/category/%e0%b6%b8%e0%b7%90%e0%b6%af%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b6%af%e0%b7%92%e0%b6%9c/
කැමතියිකැමතියි
ඔක්තෝබර් 24, 2016 at 2:43 පෙ.ව.
පුදුම ඉවසීමක් එපායෑ මෙහෙම අඩුපාඩුවක් නැතිව ලියන්න…
අවුරුදු අටක් විතර එමිරේට්ස් වල ගත කරපු ජීවිතේ මැවිල පෙනුන…
මෙතන විනෝදෙටත් වඩා රැකියාවකට මැද පෙරදිග එන්න ඉන්න අයට කියවන්න දැනගන්නහොඳ මං සළකුනු ටිකකුත් තියනවා..
හොඳ පරිණත ලියැවිල්ලක්…
ජයවේවා සහෝදරයා…
නිදුක් නිරෝගී සුවයෙන් ගම් රට බලා ඉක්මණින් එන්න (මාළුවත් බාගෙන) වරම් ලැබේවා..!
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 24, 2016 at 4:56 පෙ.ව.
පිටට තට්ටුවල් දැම්මට බොහොම ස්තුතියි තිස්ස මහත්තයට, තව තවත් ලියන්න ලොකු තල්ලුවක් ඒක …
ඔබතුමා මෙහෙට ගොඩ බැස්සේ කොයි කලේද .. කොයි ඉසව්වේද හිටියේ ? ඔබතුමාගේ අත්දැකීම් එහෙමත් දැන ගන්න කැමතියි 🙂
කැමතියිකැමතියි
ජනවාරි 11, 2019 at 6:59 පෙ.ව.
ඔයින් ගියා මදෑ…..මම හිතුවෙ අනිතිම වෙනකොට කණ්ඩ හොස්පිටල් ඇඩ්මිඩ් කරල තියෙයි කියල…..😅😅
කැමතියිLiked by 1 person
ජනවාරි 14, 2019 at 11:27 පෙ.ව.
උන්ඩුකපුච්චය හොඳට වැඩ කරන නිසා මොළේ නැහැ … ඒකනෙ හාමිනේව එළියෙන් තියල ගියේ 😀
කැමතියිකැමතියි