සුභාරතියේ එකේ කැලෑසිය සහ පිලි ගැනීමේ උත්සවය !

subharathi-inside-2

(මේ තියෙන්නෙ ඔය කියන ප්‍රධාන ශාලාවම තමයි – හැබැයි මේක බොහොම මෑතකදි ගත්තු එකක් , සුභාරතියේ ආදි ශිෂ්‍ය සංගමයේ මුහුණු පොතෙන් තමයි අර ගත්තෙ )

කණ්ඩාට මතක තියන විදිහට සුභාරතියෙ එකේ කැලෑසියට කණ්ඩාව ඇතුලත් කරපු පළමුවෙනි දවසේ… කොලු කුරුට්ටෝ ටික ඔක්කොම ප්‍රධාන ශාලාවට එකතු කරලා පිලි ගැනීමේ උත්සවයක් තිබ්බ …

ප්‍රධාන ශාලාව කිව්වේ අර අඹ ගහ ගාව ලිඳට උඩහින් ඉස්ටෙජ් (Stage) එක තිබුන‍ පරණ ගොඩනැගිල්ල ! මේක තවමත් තියනවා මං හිතන්නේ.

ඒ වෙනකොට හත-අට වසර පන්ති කාමර තිබුන මේ ගොඩනැගිල්ලේ එක පැත්තක් සිමෙන්තියෙන් හදපු අඩි 25 x 10 වගේ දිග පළල තියන බිම් මට්ටමින් අඩි තුනක් හතරක් උස්සල තිබුන කෑල්ලට තමයි අපි ඉස්ටෙජ් එකක කිව්වේ !

ඉස්කෝලේ තිබුන විශේෂ උත්සව, රැස්වීම් අඩිය හැම එකකටම නැතුවම බැරි තැනක් තමයි මෙතන …

එහෙම දාට වෙනදා පංති වශයෙන් වෙන් කරලා තියෙන ඩෙස් බැංකු ඔක්කොම පේළි දෙකකට හිටින්න පිළිවෙලට තියල හදනවා එන උදවියට වාඩි වෙන්න. ශාලාවට ඇතුල් වෙන දොරටු ගාවයි, පුටු පේළි දෙක මැද්දෙනුයි  අමුත්තන්ට ඇතුළු වෙන්න සහ පිටවෙන්න ඉඩ තියනන ඕනේ !

විශේෂ අමුත්තන්ට වාඩි වෙන්න ගුරුවර ගුරුවරියන් පාවිච්චි කරන ඇඳි තියන ගුරු පුටු කීපයක් ඉස්ටෙජ් එක උඩ වෙනම තියෙනවා. මදි පාඩු උනොත් අනිත් පන්ති කාමර වලින් හරි පුස්තකාලෙන් හරි තමයි වැඩිපුර එව්වා උස්සගෙන එන්නේ …

නිතරම ඉස්කෝලෙන් සංවිධානය කරන උත්සව වලට ශාලාව හදන්න නං අල්ලගන්නේ ලොකු පංති වල ළමයි තමයි !

සාමාන්‍යයෙන් සුභාරතියේ හය-හත-අට වසර පංති වල ඉන්නේ ඉස්කෝලේ ඉන්න හොඳම අණ්ඩපාලයෝ ටික …

වැරද්දකට නොවුනත් ඇත්තම කියනව නම් මේ ටික දෙනා ඉගෙන ගන්නවට වැඩිය නැටිල්ලට තමයි වඩා දක්ෂ. අනික , හොඳ ළමයි කියන එවුන්ට වඩා හොඳ වැඩ තමයි මුන් ටික එකතු වෙච්චි වෙලාවට කරන්නේ !

ඉතින් උත්සවයක් එහෙම තියන දවසට ඉබ්බෝ ටික දියට දාන්න හදනකොට ඇන්නෑවේ කිව්ව වගේ මේ කට්ටියට එදාට රජ මගුල්. අයෙත් නෑ බැහැලම වැඩ, මොකද කරදරයක් නැතිව පීරියඩ් එකක් දෙකක් මග හරින්න පුළුවන්නේ …

(මම මේ කියන්නේ දැනට 30 අවුරුදු කට කලින් තත්වය අද තත්වය මීට ගොඩක් වෙනස් වෙන්න පුළුවන් 😀 )

විශේෂ උත්සව තියන දවසට ඉස්ටෙජ් එක උඩ ඉස්ටෑන්ඩ් එකක් සමග මයික් එකකුයි යකඩ කටකුයි (ලවුඩ් ඉස්පීකරයක්) ගෙනත් හයි කරනවා එනවුන්ස් කරන්න … අනිත් දවසට ඒවා තියල තියන්නේ විදුහල්පතිතුමාගේ කාමරේ …

loud-speakers3microphone

ඉතිං ඔන්න පිලි ගැනීමේ උත්සවය දවසේ ශාලාව පුරා කට කපල සෙනග එකයි, අලුත් ළමයි, ලොකු පන්ති වල ළමයි, දෙමව්පිය ගුරුවර ගුරුවරියෝ ඔක්කොම ඇතුලේ !

අලුතින් ඉස්කෝලෙට ආපු ළමයින් හැමදෙනාම වගේ තම තමන්ගේ දෙමව්පියෝ එක්ක ඇවිත් තිබුනේ … හැබැයි කණ්ඩට මතක විදිහට නම් අම්මට මල්ලිව හම්බ වෙච්ච් අලුත හන්ද කණ්ඩ ආවෙ තාත්තා එක්ක !

කණ්ඩ බැලුව වට පිට ටිකක් … ඒ අහල පහල හිටපු බොහොමයක් අලුත් ළමයින්ගේ ඉස්සරහ දත් දෙක තුනක් නැහැ … දැක්කම හිනා යනවා … කණ්ඩට ඒ වෙනකම් දත් වැටිලා තිබ්බේ නැති නිසාද කොහෙද මේවා බලං ඉඳල මාර ජොලි !

අපේ අම්ම කියන විදිහට නම් එහෙම වෙන්නේ ඕනවට වඩා දඟලන ළමයි පෙරහැරවල් වල අලින්ගේ පස්සේ යන්න ගිහින් අලියෝ පයිං ගැහුවමලු …

එතකොට මේ ඔක්කොම පෙරහරේ ගිය කට්ටියද ?  චික්.. විතරක් ! එතකොට මං විතරයි පෙරහරේ ගිහින් නැත්තේ …. කණ්ඩට සෑහෙන්න හිතට අමාරුයි !

මේ හිටපු අය අතර සමහරක් පොඩි එව්වෝ මහ ඇට්ටරයෝ, එතන ඇවිදිනුත් කඩි ගාය වගේ දඟලනව … උන්ට විනාඩියක් එක තැන ඉන්න බැරි ගානයි !

උන්ව එක තැනක තියා ගන්න අම්මල තාත්තල පුදුම හටනක් … ඉඳ හිට එහෙන් මෙහෙන් … ඌයියා … රිදෙනෝ … ආ..වු.. මගේ කන ….  වගේ සද්ද එනවා … !

දෙතුන් දෙනෙකුට ලෙඩ හොඳ වෙන්න තාත්තලගෙන් ටොකු පුජාවක් හරි … අම්මලාගෙන් කන් සාත්තුවක් හම්බ වෙලා වගේ !

හොඳ වැඩේ උන්ට … බෝ පැලයක් වගේ සීරුවට ඉන්න දැන ගන්ට එපායැ ළමයි උනහම, මේ කණ්ඩ වගේ !

(බෝ පැලයේ හැටි තක්කෙටම දැන ගන්න ඕන නම් කණ්ඩගේ අම්මගෙන් තමයි අහන්න ඕනේ පුතණ්ඩියගේ තරම … එක්කෝ නෑහැව්වට කමක් නෑ !)

කණ්ඩගේ හොඳ වෙලාවටද කොහෙද කණ්ඩව ඉස්සරහම වාඩි කරවල … අනේ වාසනාවන් , තාත්ත නම් ලඟ පාතක නැහැ …

ඇත්තටම තාත්ත කෝ … කණ්ඩ කලබල වෙලා හතර අතේ බලනකොට අපිට පේලි කීපෙකට පිටිපස්සේ තාත්ත ඉන්නවා දැක්ක …  තාත්ත හිනා වෙලා ඉස්සරහ බල ගන්න කියල අතින් කියපු හින්ද මම ආපහු ඉස්සරහට හැරුන (ටික වෙලාවකට) !

අපිව පිළිගන්න අපිට වැඩිය වැඩිමහල් පන්ති වල ළමයින් විසින් නොයෙක් නැටුම් ගැයූම් එහෙම ඉතිරිපත් කරනවා … ඔය මොනවා තිබ්බත් පශ්චාත් භාගය එක තැන තියං වාඩි වෙලා ඉන්න එක තමයි අමාරු …

පොඩි ලී පුටු වල වාඩි වෙලා ඉඳල පස්ස පැත්තත් නලියනවා වගේ … එහෙට මෙහෙට හැරි හැරී වටපිට සිද්ද  වෙන දේවල් බලන් එක ඔයිට වඩා ඉස්තරං !

අතරින් පතර අම්මලගේ සාරිපොටවල් අස්සේ එල්ලිච්ච කොලු කුරුට්ටෝ … තාත්තලාගේ අතේ එල්ලුන කෙලි පොඩ්ඩෝ තවමත් අඬනවා …

අම්මේ මට බඩගිනී … කොලුවෙක් අම්මට නාහෙන් අඬනවා… ඇයි වදේ උදේ කන්න දීල නේද එක්ක ආවේ … ? ඔහොම ඉන්නවා දඟලන්නේ නැතුව … අම්මගෙන් සැර වැර මිසක් බුරුලක් නැති පාටයි …

වැඩේ හරි නොගිය ගමන අමාරුවෙන් තප්පර කීපයක් ඇඹරි ඇඹරි හිටපු කොලුවා තාත්ත පැත්තට හැරිලා …. තාත්තේ මට ගෙදර යනකොට අයිස් පලමක් අරන් ඕන… හරි හරි ළමයෝ යනකොට බැරුවයැ … ඉන්න ටික වෙලාවක් ඉවසල …

තාත්ත ඉතිං අම්ම වගේ අවම පොලිස් බලය පාවිච්චි නොකර … දේසපාලුවෙක් වගේ යාප්පුවෙන් ප්‍රශ්නේ කල් දානවා !

ඔය අතරම තවත් කොටහක් මැජික් බලනවා වගේ වෙන්නේ මොනවද හිතා ගන්න බැරුව කටවලුත් බාගෙට ඇරගෙන බලන් ඉන්නවා, මැස්සෝ රිංගයිද මන්ද …

විවිධ ගුරුවර ගුරුවරියන්, විදුහල්පතිතුමා ඉහල පන්ති වල ඉන්න ළමයි ඇවිත් එක එක කතා, විනෝදාංග ඉදිරිපත් කරනවා … මට නම් ඉතින් ඒවායේ ගානක් තිබ්බේ නැහැ !

ඔය අල්ල පනල්ලේ කලබල අස්සෙම තමයි අලුතෙන් ආපු ළමයින්ගෙන් කැමති අයට කවි, කතාන්දර එහෙමත් නැතිනම් සිංදුවක් කියන්න කියල කවුදෝ මන්ද යකඩ කටෙන් ආරාධනාවක් කරනවා ලාවට වගේ කණ්ඩාට ඇහුනේ …

කණ්ඩා ඒ දවස් වල උනත් රිවස් දැම්මත් ඉස්සරහටම තමයි, ඉතින් කඩිය වගේ දනි පණි ගාල නැගිටලා අත ඉස්සුවා !

ඒ පාර මයික් එකත් අරගෙන ගුරුතුමෙක් ඉස්ටෙජ් එහෙන් පහලට බැහැල මං ගාවට එන්න දඟලනව,

අද වගේ ඉස්සර කාලෙ  වෑර්ලස්  මයික් නැහැ,  ඉතිං මයික් එකට අමුණලා තියන වයර් එකේ පැටලුං ඇරගෙන, වයර් එක ඇදිල ගලව ගන්නේ නැතිව ඉස්ටෙජ් එකෙන් පහලට බහිනවා කියන්නේ ටික වෙලාවක් යන වැඩක් !

මම හිමිහිට හැරිලා තාත්තගේ මූන බැලුව තාත්ත නිකන් හොල්මනක් දැකල බය වෙච්ච ගානයි (පුතණ්ඩියගේ තරම දැනං හිටපු හන්දාද කොහෙද ?)

gowe-genu-paradayi

(සඳුන් විජේසිරි ~ “ගෝවේ ගෑනු පරාදයි” ගීතය ගයමින්  …)

අපේ අම්මයි තාත්තයි පහු කාලෙක කියපු විදිහට නම් ඒ දවස් වල මගේ ප්‍රියතම සිංදුව වෙලා තිබිල තියෙන්නේ සමුද්‍ර දේවි නාට්‍යයේ සඳුන් විජේසිරි මහත්තය ගායනය කරනගෝවේ ගෑනු පරාදයි පැරණි නුර්ති ගීය   !

ඉතින් මේ වගේ නොම්මර එකේ ළමා ගීතයක් කියල කණ්ඩා තාත්තගේ සායම අරීවී කියන බයට තමයි  තාත්තට ඉහිං කනිං දාඩිය දාල තියෙන්නේ !

තාත්තාගේ වාසනාවකටදෝ කණ්ඩාට එදා ගෝවේ ගෑනු ගැන අමතක වී ගායනා කලේ හා … හා… හරි හාවා නම් ළමා ගීතය බවත් … ප්‍රාතිහාර්යක් මෙන් කණ්ඩාව පැයකටත් අධික කාලයක් එක තැනක කඩි කුලප්පුවෙන් තොරව තබා ගත් හැටිත් … දෙය්යනේ කියා යන්තං ජාමේ බේරාගත් හැටිත් තාත්තා ගෙදර විත් පස්වනක් ප්‍රීතියෙන් පැවසූ හැටි කණ්ඩාගේ අම්මා අදටත් මතක් කරන්නේ හිනා වෙමිනි …

ඒ කෙසේ නමුත් කණ්ඩා ටකරමකට බොරළු ගැසුවා සේ තම සුසිනිඳු ලයාන්විත කට හඬින් ගෝවේ ගෑණු පරාදයි ගීතය ගැයුවේ නම් මෙම ලිපිය මීටත් වඩා බොහෝ රසවත් වීමට ඉඩ තිබුන වග නම් හැබෑය … හාව වගේද ගෝවේ ගෑණු ???

ඉතින් අන්තිමට මේ නාඩගං ඔක්කොම අහවර උනාට පස්සේ කණ්ඩා ඇතුළු අලුත් සහපිරිවර වෙන වෙනම පන්ති වලට භාර දීම සිදු උනා, කණ්ඩාගේ පන්තිය භාරව හිටියේ බොහොම කරුණාවන්ත තරුණ ගුරුතුමියක් !

මුලින්ම පන්තියට ගියාට පස්සේ මුලින්ම සිද්ධ උනේ බුලත් අතක් දීල ගුරුතුමියට වඳින එක .. මේ පල්ලෙහා දාල තියෙන්නේ ඒ වෙලාවේ ගත්ත දැනට අවුරුදු තිහක් පරණ පින්තුරේ !

firstday-in-school

පින්තුරයේ කළු පාට කණ්නාඩියක් දාගෙන නළුවෙක් වගේ ඉන්නේ කණ්ඩගෙ තාත්ත, රෝස පාට සාරියක් ඇඳගෙන ඉන්නේ කණ්ඩගෙ පළමුවෙනි වසරේ ගුරුතුමිය චාන්දනී ටීචර් !

බුලත් අත අතේ තියාගෙන ලොකු කල්පනාවක ඉන්න අණ්ඩපාලය කවුද කියල අමුතුවෙන් අටුවා ටීකා අනවශ්‍යයි !

අද තාත්තා අප අතර නැති උනත් වසර තිහකට පසුවත් මතකයන් එසේමය … වාසනාවකට කණ්ඩාගේ පළමු පාසැල් ගුරුවරිය වන චාන්දනී ටීචර් තවමත් සුභාරතියේම කොලු කුරුට්ටන් රැසකට එදා මෙන්ම දැනුම බෙදන බව පවසන්නේ හද පිරි සතුටිනි !

ඒ ගැන වැඩි විස්තර ලබන සතියට >>

අතීතය සිහිනයක් පමණයි ~ VI කොටස ~ චාන්දනී ටීචර් සහ කණ්ඩාගේ ඔල මොට්ටල වැඩ !

~ මතු සම්බන්ධයි !

අතීතය සිහිනයක් පමණයි ! ~ IV කොටස – අයිස් පලා….ම්, අයිස් පැකේ…..ට්… !

Advertisements