ඔටුවාගේ රටේ තහනම් සත්තු … !!!

banned-1

කණ්ඩා පුංචි සන්දියෙ ගුවන් විදුලියේ විකානශය වූ එක්තරා විනෝදජනක වැඩසටහනක් කණ්ඩාගෙ මතකයේ තවමත් රැදී ඇත.

තරඟකරුවන්ට යම්කිසි සරල ජනප්‍රිය මාතෘකාවක් ලබාදී එයට අතිශය අදාල වචන කිහිපයක් භාවිතයෙන් තහනම් කරන ලදුව විනාඩියක් හෝ දෙකක් කතාකිරීමට සැලැස්වීම මෙහි ප්‍රධාන අංගය විය.radio

දන්නා කස්තිරම් සියල්ල අල්ලමින් තහනම් වචන මග හරිමින් නියමිත් කාල වේලාව පුරා තම කතාව සාර්ථකව නිම කළවුන් ජයග්‍රාහකයන් වෙයි.

තහනම් වචන භාවිතා කර පැරදුන උන් හට තරඟයෙන් ඉවත් වීම සිදු වේ, ඔවුන් හට ඉඳහිට සැනසිලි ත්‍යාග ලැබුනත් බොහෝවිට ලැබෙන්නේ හුලං පමණි !

මෙය ඉතාම විනෝදජනක බොහොම පහසුවෙන් කළහැකි නමුත් ජයග්‍රහණය කිරීමට ඉතා අපහසු තරඟයක් වූ බව සහ කණ්ඩා එහි මහත් රසිකයෙක් ** බව කණ්ඩාට හොඳින් මතකය …

** සැලකිය යුතුයි  : මේ කියනා මහත් රසිකයා යනු මහත කණ්ඩා නොව දැනට අවුරුදු තිහකට කලින් සිටි කෙසඟ කොලුවෙකි !!!

රූපවාහිනියට වඩා ගුවන් විදුලිය ප්‍රචල ඒ අවදියේ කාගෙත් සිත් ගත් මේ වැඩ සටහනට බොහෝ දෙනා සවන් දුන්නාට කිසිඳු සැකයක් නැත.

මේ අල්ල පනල්ලේ කණ්ඩාට මේ සියල්ල මතක් වුයේ ඉතාමත් අහම්බයකිනි … කතාවේ පුර්ව නිමිත්ත වුයේ බොහෝ දෙනාගේ කටට කෙළ උනන මාරු උස් යන සුරතල් නමින් හඳුන්වන රස බෝජුන ලබාදෙන තහනම් සත්වයාය !

ඉතිං මේ මාතෘකාව සමග ඊට අදාල තහනම් වචන බර ගොන්නකි , ඒ හේතුවෙන් ලිවීම වනාහී දැලි පිහියෙන් කිරි කන්නා සේ ඉතාමත් සීරු මාරුවට සිදු කල යුතු කාරියකි …

මොනවා කියන්නද … මොනවා නොකියන්නද … කියා කණ්ඩාට තවම තීරණයක් නොමැත, එක දිගට ලියාගෙන යනවිට ඉදිරියේදී  මැද මාවතක් හමු වනු ඇත  …  !

no%20pork

මාතෘකාව “තහනම් සත්වයා” වූ කල්හි කණ්ඩා වෙසෙන ඔටු රාජ්‍යයේ තහනම් සතුන් වරිග දෙකක් ඇති බව කණ්ඩාට සිහි විය.

මේ දෙවරිගයෙන් එක වරිගයක් සිවුපා ගණයටද අනෙක දෙපා ගණයටද අයිති වන්නේය. එසේම මේ කොයි වරිගයත් මුසල්මනුවන්ට සහ විශේෂයෙන් ඔටුවන්ට කැප නැත !

කැප-අකැප යන්න ඔටු බසට හැරවූ කල්හි කැප යන්න , සඳහා හලාල්  (Halal) ලෙසත් අකැප යන්න හරාම් (Haram) ලෙසත් යෙදේ.

එබැවින් කොටින්ම කියනවා නම් මොන අතින් බැලුවත් ඔටුවන් හට තහනම් සතුන් දෙවරිගයම හරාම්ය !

නමුත් එහෙමයි කියා දෙවරිගයේම තහනම් සතුන්ගෙන් හිඟ පාඩුවකුත් ඔටු දේශයේ පෙනෙන්නට නැත !

no-halal-sign-300

මේ සත්වයන් හලාල්ද ? හරාම්ද ? යන්න මහා බරපතල ප්‍රශ්නයකුත් නොවේ, ඔටුවන්ට තිබෙන එකම ප්‍රශ්නය මේ සතුන් දෙවර්ගයම භාවිතයෙන් මුදල් ඉපයිය හැකි මාර්ගයක් සකසා ගත හැකිද යන්න පමණි ?

මේ ප්‍රශ්නයට දිය හැකි එකම නිවැරදි පිළිතුර විය හැක්කේ “ඔව්” යන්න පමණි !

කණ්ඩා වෙසෙන ඔටු දේශයේ මිලියන දහයකට අසන්න ජනගහනයෙන් ඔටුවන් සිටින්නේ සියයට දහ නවයක තරම් සුළුතරයකි. සියයට අසූ එකක තරම නොයෙක් රට වලින් සංක්‍රමණය වූ විවිධ රැකියාවන්ගේ නියුතු විදේශිකයන්ගෙන් සමන්විතය.

විදේශිකයන්ගෙන් බොහෝමයක් දෙනා මුසල්මානුවන් නොවන හෙයින් ඔවුන් සිව්පා වරිගේ තහනම් සතුනට අතිශය කෑදර සිත් ඇත්තෝ වෙත්, කණ්ඩා අයිති වන්නේත් මේ කාණ්ඩයටමය.

මේ නිසාවෙන් ඔටුවන්ගෙ දේශයේ ප්‍රසිද්ධ නගරයන්හි සිවුපා වරිගේ තහනම් සතුන් රස මසවුලක් ලෙස ඉතා හොඳින් අලෙවි වන්නේය.

සිව්පා වරිගේ තහනම් සතුන් සඳහාම වෙන් වුන සුවිශේෂ කොටස් මෙහි ඇති සුපිරි වෙළඳ සල් වල (Super Markets) දක්නට ඇත !

තහනම් සතුන් වැළඳීම මෙන්ම මෙන්ම මෙම විකුණන ස්ථාන වලට ඇතුළු වීමද ඔටුවන් හට හරාම්ය !

Back Cameraඑබැවින් සිල්වත් ඔටුවන්ගේ සිල් බිඳීම වළක්වාලීමට මුස්ලිම් නොවන අයට පමණයි ! යනුවෙන් (Non Muslims Only!!!) ඉංගිරීසි සහ ඔටු අකුරින් මුද්‍රිත (English and Arabic) තඩි බෝඩ් ලෑලි අමුණා එම ස්ථාන වල ප්‍රදර්ශණයට තබා ඇත.

එබැවින් මෙම ස්ථාන වලට ඇතුළු වන්නේ “කෆිර්” හෙවත් කණ්ඩා ඇතුළු විදේශික පව්කාරයන් පමණි  (Kafir – Non Believers / Infidels) !

සිවුපා වරිගේ තහනම් සතුන්ගේ වරුණාව එලෙස නම් දෙපා වරිගේ තහනම් සතුන්ගේ පැටිකිරියද එයිට නොදෙවෙනිය …

ලොව පැරණිම රැකියාවෙහි නියුතු වන්නාවූ දෙපා වරිගේ තහනම් සතුන් පරිභෝගිකයන් සොයමින් නයිට් ක්ලබ් , මසාජ් සෙන්ටර් , හෙල්ත් ස්පා, බාර් සහ ඩාන්ස් බාර්  (Night Clubs, Massage Center, Health Spa, Bars and Dance Bars) ආදී විවිධ නම් වලින් හදුන්වන පොදු ස්ථානයන්හි එළිපිට සැරි සරති !

woman-348844

ඔටු දේශයේ පවතින තවත් එක සමාජ විෂමතාවයක් වනුයේ ජනගහනයේ සමස්ථයක් ලෙස ගත් කල ඇති ගැහැණු-පිරිමි අනුපාතයයේ සුවිශාල පරතරයයි.

කෙටියෙන් කියනවා නම් ඔටු දේසේ සෑම ගැහැණු පරාණයකටම පිරිමි පරාණ දෙකක් ඇත්තේය.

එනයින් බලන කල (මෙය A-9 මාර්ගය හා සම්බන්ධයක් නොමැත) එක පුරුශයෙකුට බිරින්දෑවන් හතරක් කෙසේ වෙතත් එක කාන්තාවකට අවමයෙන් සැමියන් දෙදෙනෙකු ලබාදීම පිළිබඳව සලකා බැලිය යුතු කාරණයකි.

මේ සමාජ විෂමතාවය නිසාවෙන් ඔටු දේශයේ ගැහැණු පරාණ යනු ඉතා උණුසුම් වෙළඳ භාණ්ඩයක තත්වයට පත් නොවී තිබුණහොත් එය අතිශය පුදුමයට පත් විය යුතුය !

ඔටු පොලිසිය කොමපණ අඩු පාඩු යටතේ නමුදු සිරි ලංකාවේ පොලිසියට වඩා ඔටුවන් කාර්යක්ෂමය, එබැවින් දෙපා වරිගේ තහනම් සතුන්ගේ හැසිරීම ඔටු පොලිසියේ අනු දැනුමකින් තොරව සිදු වෙන බවට විශ්වාස කල නොහැක.

see-no-evil

විය හැකි එකම දෙය නම් මෙය ඔටුවන් විසින් සමාජයේ පැවැත්මට සහ සමාජයේ සමතුලිතතාවය පවත්වාගෙන යෑමට අවැසි දුර්ගුණයක් සේ සලකා (Necessary Evil !) නොදුටුවා සේ ඇස් කන් පියාගෙන ඉඳීමය.

මේ විවිධ කාරණා කටයුතු හේතුවෙන් තවත් එක සමාජ පාලන විදි ක්‍රමයක වශයෙන් හෝ (Social Control Mechanism) ලොව පැරණිම රැකියාව ඔටු දේශයේ ඉහලින්ම වැජඹෙන බව ප්‍රසිද්ධ රහසකි !

හොඳ නරක කෙසේ වෙතත් සරුවටම කෙරෙන , සිවුපා සහ දෙපා දෙවරිගයේම මාංශ වෙලඳාම ගැන ප්‍රසිද්ධියේ කතා බහක් නම් ඇති වෙන්නනේම නැති තරම්ය.

ඉතින් මේ මාතෘකාව සම්බන්ධ කාරණා කටයුතු වලදී දන්නා නොදන්නා සියලුම දෙනා ඇස කන් අඳ කසාය බීපු ගොළුවන් සේ රඟති !

දෙපා වරිගේ තහනම් සතුන් ගැන කණ්ඩා දන්නා දේට වඩා සිවුපා වරිගේ තහනම් සතුන් ගැන කණ්ඩා දන්නා දේ බොහෝ වැඩි නිසාත් කණ්ඩාද කසාය බීපු ගොළුවන්ගේ සංගමයේ හිටපු සාමාජිකයකු නිසාත්.

සිවුපා වරිගේ තහනම් සතුන් ගැන මුලින් ලිවීම වඩාත් උචිත යයි කණ්ඩාට සිතුනි 😀

~ මතු සම්බන්ධයි !

මේ සියල්ල පිලිබඳ වැඩිදුර විස්තර මීළඟ කොටසට >>

මැදක් නැති පෙරදිග ~ VII කොටස ~ ඔටුවෝ, මාරු උස් සහ කබායන්ස්ලා …!