Walk . Unite. Heal ~ සුවය පතා එක්සත්ව පිය නගමු !

trail-collection-2

තරණය පාද යාත්‍රාව වනාහි අද සමාජයේ එකිනෙකා භේද බින්න වී ඇන කොටා ගැනීම වෙනුවට හුදී ජනයා එකාවන්ව සාර්ථකත්වය කරා පිය මං කිරීම මනාව පිළිබිඹු කල කදිම වත්මන් උදාහරණයකි !

Walk – Unite- Heal … එසේත් නැති නම් සුවය පතා එක්සත්ව පිය නගමු ! යනු තරණය පාද යාත්‍රාවේ ආදර්ශ පාඨයයි … මෙය තරණය පාද යාත්‍රාවේ අරමුණ කෙටියෙන් නමුදු මොනවට පැහැදිලි කරන්නේය !

ජන සංහිඳියාවක් ගොඩනැගීමට මෙයට වඩා හොඳ ආරම්භයක් ගැන කණ්ඩාගේ සිතට නොනැගේ  …

සරින්ද උනම්බුව සහ නාදන් සිවගණනාදන් දෙසොහොයුරෝ විසින් දශකයකටත් පෙරඅතුව පස් යට කල තරණය නම් හරිත අංකුරය අද දවසේ සිවුදෙස පැතිරී සෙවන සදන, දසතින්ම ඇදෙන ලක්ෂ සංඛ්‍යාත ජනයා එකම අරමුණකට ඒකරාශී කරවන මහා වෘක්ෂයක් බවට පත් වී ඇත …

තරණය 2011 දී දෙව්න්දර තුඩුව, පේදුරු තුඩුව හා යා කලේය , එහි අග්‍රපලය සුවහසක් සත් ජනයාගේ දහදිය මහන්සියෙන් තරණය කල තෙලිප්පලයි පිළිකා රෝහලයි !

තෙලිප්පලයි  පිළිකා රෝහල වර්තමානයේ උතුරු, උතුරු මැද සහ  නැගෙනහිර පළාත්හි 4,500 කට අධික ජනයා හට සෙත සදන ඇඳන් 120 කින් හා අති නවීන වෛද්‍ය‍ උපාංග සහ පහසුකම් වලින් සැදි රිසිසලකි !

ftm-trail

එනයින් බලන කල තරණය 2016 පාද යාත්‍රාව පේදුරු තුඩුව, දෙව්න්දර තුඩුව හා යා කරනු වස් ඇරැඹු තවත් එක සැබෑ වන සිහිනයක ආරම්භයක් පමණි !

නුදුරු අනාගතයේදී තෙලිප්පලයි පිළිකා රෝහල මෙන්ම ගාලුපුර කරාපිටිය ශික්ෂණ රෝහලෙහිද පිළිකා ප්‍රතිකාර මධ්‍යාස්ථානයක් ඉදි වනු ඇත… තෙලිප්පලයිහි මෙන්ම දස දහස් ගණන් රෝගීන් ඉන් සුවය ලබනු ඇත යන්න කණ්ඩාගේ පැතුමයි !

වප් මස පුරා උතුරුකරයේ මෙන්ම දකුණුකරයේද දිවයින නන් දෙසින් ඇදී එන තරුණ තරුණියන්, පාසල් ළමුන්, වැඩිහිටියන් දකුණේ දෙවුන්දර තුඩුවේ සිට උතුරේ පේදුරු තුඩුව වෙත මෙම සද්කාර්ය උදෙසා තම දහදිය හෙලමින් කටුක මුත් සොඳුරු මග තරණය කරමින් දෙපා නගනු ඇත …

ඔවුන් යන මග දෙපස නිබඳ රැඳෙන පදික වෙළෙන්දන්, යාචකයන්, ගුරුවර ගුරුවරියන්, දානපතියන්, ගෘහණියන්, රජයේ සේවකයන්, කම්කරුවන් ඇතුළු නේක ජීවන මග ඇවිද යන්නන් තමනට ඇති හැකි අයුරින් තම දහදිය මහන්සියෙන් හරි හම්බ කරගත් දේ දනට දෙනු ඇත …

trail-collection

(පිළිකා රකුසාගෙන් බැට කා …  ගත වාරුව ගිලිහුනද හිත වාරුවෙහි මදි පාඩුවක් නැත … )

ඉතිහාසය පුරා වැපිරුන තම වෙනස්කම් පසෙක ලමින් තවත් වරක් මරක්කලයා, දමිළයා සහ සිංහලයා තමන් සැමටම අයිති එකම මානුෂිය අරමුණකට පොදි  ගැසෙන්නේය …

ලොකු-කුඩා, තරුණ-මහළු, දුප්පත්-පොහොසත් මෙන්ම උස-මිටි කම්ද මේ මොහොතට අදාල නැත … ඇත්තේ එකම අරමුණකි … අරමුණ යුක්ති සහගත සහ පින්වත් වූ කල ඒ අරමුණ වටා ජනයා පෙළ ගැසීම වැලකිය නොහේ …

අද දින වන විට ඇමරිකානු ඩොලර් මිලියන දෙකකටත් අධික මුදලක්, ගාලුපුර කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර මධ්‍යාස්ථානයක් ඉදිකිරීම උදෙසා හුදී ජනයා විසින් තිලිණ කර අවසන්ය …

දේස පාලුවන් තම බඩ වඩා ගැනීමට මහජන මුදල් කාබාසිනියා කරමින් නරි නාටක පෙන්වද්දී හුදී ජනයා “අපි වෙනුවෙන් අපි” යන්න නිහඬවම තවත් ඉදිරියට ගෙන යන්නෝය !

තරණයේ අරමුණ කණඩාගේ හදවතට අතිශය සමීපය … ඉවසිය නොහෙන තරම් වේදනාකාරීය …

ස්වෝත්සාහයෙන් නැගිට මුළු පවුලකටම අතු පතර විහිද සෙවන පැතිරූ මහා රුක්ෂ රාජයකු බඳු වූ දයාබර පියාණන් පිළිකා රකුසා හා සටන් වැද අකාලයේ දිවි මගින් සමු ගැනීම දරා ගැනීම අපහසුය …

කුඩා පවූලකට මේ දුක් දෝමනස්ස කන්දරාව ජීවිත කාලයකට ඇති යයි ඔබ සිතනවා නිසැකය නමුත් ඉරණම එතනින් නතර වන්නේ නැත …

මදි පාඩුවකටදෝ නැවත අවුරුදු කිහිපයක් තුළ කණ්ඩාගේ බාප්පා ඇතුළු පවුලේ ලඟ ඥාතිවරු පවුලේ හිතවතියක් පියා ගිය මගම දෛවෝපගතව ගමන් කිරීම ඉවසා ගත නොහෙන බරක්මය …

මේ වේදනාකාරී පසු බෑමෙන් පසු කණ්ඩාගේ පවුල යම් තරමකට හෝ අද හිස ඔසවන්නේ දශක දෙකකට පසුවය …

trail-amila

(පොඩි කණ්ඩා ඇතුළු නඩය තරණයේ ඉසිඹුවක් ලද ඇසිල්ලක ..)

අදටත් පිළිකාව නම් සාපලත් අඳුරු හෙවනැලි කණ්ඩාගේ පවුලෙන් පහව ගොස් නැත … පිළිකා රකුසා සමග මුහුණට මුහුණ සටන වැද කෙලින් සිටින වුන් කණ්ඩාගේ පවුලේ මුල් කණු අදටත් ඇත … එවන් උදවිය පවුලටම මහත් හයියකි  !

කාලීන සත්‍ය නම් අද පිළිකාවකට ගොදුරු වූ යමකු නොදත් අයකු සොයාගැනීම කිසිවකු නොමළ ගෙයකින් අබ සොයා ගැනීම සේම කල නොහැකි කාර්යක් බවත් පත් වී ඇති බවය … පිළිකා රකුසා විසින් අද සමාජය එතරම්ම වෙලාගෙන අහවරය …

කණ්ඩා හට තවත් පැවසිය හැකි දේ ඉතිරිව නොමැත … විසි අවුරුද්දක් තිස්සේ සිත පතුලක යදම්ලා සිරකරගෙන සිටිනා හැගීම් සැම දේ ඉසිඹුවකින් පිට කිරීමට කණ්ඩාගේ වදන් පොහොසත් නොමැත …

ඉතින් කණ්ඩා මින් නවතින මුත්… මේ සද්කාර්ය, පෙරදැරිව එකම අරමුණ ඇතිව ඇරඹුණු මේ පාද යාත්‍රාව හෙට දිනත්  අද ලෙසම ඉදිරියට ඇදෙනු ඇත …

ඩොලර් මිලියන 5 ක් යනු අප වන දිළිඳු රටකට මහා ගිරි ශිකරයකි … එනමුත් අපි හදවතින් දිළින්දෝ නොවමු !

තරණය කල නොහෙන ගිරි ශිකර මෙලොව නැත … එනිසා මතු දිනක අපි මේ ගිරි ශිකරයත් ජය ගන්නා බව හෙට හිර නැගෙනු හා සමානම සත්‍යකි !

පසු ලිපි  : තරණය සාර්ථක කර ගැනීමට ඇති පමණින් ආධාර කල ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ටත් , කණ්ඩාට තරණයට එක්වෙන්නට ආරාධනය කල පොඩි කණ්ඩී හෙවත් නැගණියට සහ අම්මාටත් , මේ ගැන ලියන්නට කණ්ඩාව දිරි ගැන්වූ පොඩි කණ්ඩා හෙවත් මලයාටත්, කිසිඳු පැකිලීමකින් තොරව මුදල් පසුම්බිය විවර කල (වෙනදාට කණ්ඩාගේ පවුලේ කටයුතු වලදී හැර අන් හැමදේටම චව්.. චව්.. සේ  පස්ස ගහන ) කණ්ඩා හාමිනේ හටත් කණ්ඩාගේ අප්‍රමාණ ප්‍රණාමය !

මෙම සද්කාර්යට ඔබත් දායක වීමට කැමති නම් පහත වෙබ් අඩවියෙන් වැඩි දුර විතර ලබා ගත හැක !

තරණය වෙබ් අඩවිය : https://trailsl.com

තරණය  Facebook පිටුව : https://www.facebook.com/TrailSL

Advertisements