ඔටුවෝ, මාරු උස් සහ කබායන්ස්ලා … !

No Pork.png

හෙළු බසින් සූකරයා හෝ ඌරා යන නමින් හදුන්වන මේ පව්කාර තහනම් සත්වයා සුද්දගේ බාසාවෙන් පිග් හෝ ස්වයින් (Swine / Pig) යන නාමයෙන් හදුන්වයි.

ඉංගිරීසියෙන් අලියා එලිෆන්ට් වූ නමුදු ඔටුවා ඔටුෆන්ට් නොවන්නා සේම සූකර මාංශ හඳුන්වන්නේ “පිග් මීට්” (Pig Meat) කියා නොව පෝක් (Pork) කියාය … කණ්ඩා ඇතුළු පාපග්‍රහයන්ට නං ඔය කොයිකටත් වඩා කටට හුරු මාරු උස් නොහොත් ඌරු මස්ය … !

ඉඳ හිට අවස්ථාවක එළිපිට පෝක් (Pork) හෝ ඌරු මස් යනුවෙන් සඳහන් කළ නොහැකි දුෂ්කර අවස්ථා මතුවන්නේය … ඒ බොහෝ වෙලාවට මුස්ලිම් මිතුරන් ළඟ පාත සිටින විටදීය …

හොඳටම හඳුනන එකෙකුට නම් අවුලක් නොමැත … උන් මේ ගැන එතරම් වද වෙන්නේද නැත … අවුලක් වන්නේ නම්  කෙලින්ම කතාන්දරය කියා උන්ව පිටමං  කරන්නෙමු …

නමුත් එසේ නොවන අවස්ථා වලදී මාරු උස්, තහනං සතා සහ සූකර මද්දව ආදී නොයෙක් අන්වර්ථ නාම සූකර මාංශ වලට පටබඳිමින් අදහස් හුවමාරු කර ගැනීම සිදු වන්නේය …piggy

කණ්ඩා සේම කණ්ඩාගේ මිතුරන්ද සූකර මාංශ කෙරේ අතිශය කෑදරයෝ වෙත් … සත්වයා පව්කාර උවද සුකර මාංශ අනුභව කරන ඇත්තෝ පිංකාරයෝ යයි පැවසීම කණ්ඩාගේ මිතුරන් අතරේ ප්‍රසිද්ධ විහිළුවකි !

නමුත් ඇතැම් බහුශ්‍රත උදවියට අනුව සුකරයා යනු ඉතා අපිරිසිඳු කුණු ගොඩවල් අවුස්සා මළ වසුරු ඇතුළු නොයෙක් ජරාව ගිල දමන පිළිකුල් සහගත සත්වයෙක් බවත් සුකර මාංශ වැඳීමෙන් දිවි කොට වන බවත් ඉන් වැළකුනහොත් අවුරුදු 1500 කට එහා ජීවත් විය හැකි බවත් පවසති !

එමෙන්ම මොවුනට අනුව සූකර මාංශ අනුභවය සූකර උණේ සිට පටි පණු අමාරුව, කොලස්ට්‍රෝල්, අධි රුධිර පීඩනය හා හදවත් රෝග ඇතුළු එකී මෙකී නොකී සොළොස් කෝටියක් රෝග වලට මුල වන්නේය …party

ඌරන්ට මොන සෞඛ්යයද කියන්නා සේ කණ්ඩාට නම් ඒ සියල්ල අදාලම නැත, කටට රහ නම් එපමණය, මස් මාංශ ගත් කල්හි සූකර මාංශ තරම් රසවත් යමක් කණ්ඩාගේ මතකයට එන්නේද නැත !

කණ්ඩා සූකර මාංශ ගැන ලියන විට කුඩා කල මුල්ම මතකයන් අතරින් පෙරටම එන්නේ ලොකු මාමා, මර්වින් අංකල් සහ සිරි බාප්පා ඇතුළු මාමලා සහ බාප්පලා නඩය ඉඳහිට හමු වූ විට දමන සාජ්ජයන්ය !

එසේ රහමෙරකට හරි බැරි ගැහුන මෙවන් මොහොතක මේ නඩයට විශේෂ කට ගැස්මක් ලෙස සුකර මාංශ වැරදුනේ නැත, එදාට කන බොන උදවිය කෙසේ වෙතත් එකල කුඩා බයිට් මරුවන් වූ කණ්ඩා ඇතුළු පිරිසට රජ මගුල්ය !

(මේ කයි කතන්දර මෙසේ ලියා නිම කල නොහැක, එය වෙනම ලිපියක දමන්නට දැනට තිත තියමි … )

කණ්ඩා ආයෙත් මාතෘකාවෙන් පිට පැන්න … මාතෘකාව ඔටුවෝ සහ ඌරු මාළු නේද ??? ඕං එහෙනම් අයෙත් ඔටු දේශය දිහාට හැරෙනවා …swine-flu

ඔටු බස හෙවත් අරාබි බසින් නම් සූකරයින් හදුන්වනේ “ඛන්සීර්” (Khinzir/Khinzeer) කියාය, සූකර මාංශ නම් “ලහ් ඛන්සියරෙ” (Lah Khanzire) වෙයි.

ඔටුවන්ට සහ ඉස්ලාම් භක්තිකයන් හට සූකරයින් හලාල් (Halal) හෙවත් කැප දෙයක් නොවේ, එනිසා එය හරාම්ය (Haram) … !

සූකරයන් හා සූකර මාංශ අනුභවය මහත් පිළිකුලෙන් හෙළා දකින ඔටුවන් හට වැරදිලාවත් සූකරයා යනුවෙන් ඇමතීම නඩු නැතිව හිරේ විලංගුවේ වැටෙන කාරියකි !

සූකර මාංශ අනුභවය මෙන්ම විකිණීමද ඉස්ලාම් ආගමට අනුව සපුරා තහනම්ය …!

no-halal-sign-300නමුත් ඔටු දේසේ වෙසෙන මිලියන ගණනක් වන විදේශික සේවා නියුක්ත ජනයා (Expat/Expatriates) ඉස්ලාම් භක්තිකයින් නොවෙත් …

එබැවින් ඔවුහු සූකර මාංශ භුක්ති විඳීම අතිශය ප්‍රිය කරති  (මෙයට ගැලපෙනම වචනය නම් කෑදරකමය !)

මෙවන් කරුණු කාරණා වල ප්‍රතිපලයක් ලෙස විදේශිකයන් කෙරෙහි ඔටුවන්ගේ හද පිරී උතුරන සත්ව කරුණාව හෝ දයානුකම්පාව නිසා හෝ සූකර මාංශ වෙළදාම අතිශය ලභාදායී කරුමාන්තයක් නිසා හෝ මේ ඔටු දේශයේ ඇතැම් ප්‍රදේශ වල සූකර මාංශ අලෙවිය සඳහා තහනමක් නැත  …!

පසු ගිය වකවානුවේ උමතු ගව රෝගයට හා කුරුළු උණ රෝගයට (Mad Cow Decease and Bird Flu) පසුව කරලියට ආ සූකරයන් මගින් බෝවන ස්වයින් ෆ්ලු හෙවත් සූකර උණ (Swine Flu ) ලොව පුරා පැතිර ගියේය.

ඒ හේතුවෙන් මැදපෙරදිගට සූකර මාංශ ආනයනය සීමා කිරීම හෝ තහනම් කිරීම ගැන මතභේදයට තුඩුදුන් බොහෝ කතිකාවත් ඇති විය ඇතැම් උලේමාවරු විසින් ආගමික නීති රීති හෙවත් ෆත්වා (Fatwa – Religious Edicts) දුසිම් ගණනින් නිකුත් විය !

ඇතැම් දැඩිමතධාරී ඉස්ලාම් භක්තිකයන්ට හා පඬිවරුන්ට අනුව නම් සූකර උණ දේව කෝපය නිසා ඇති වන්නකි … කණ්ඩා වැනි දූසිල්වත් කෆීර්ලා (Kafir- Infidels or disbelievers 😀 ) මට්ටු කිරීමට සඳහා දෙවියන් විසින් මවන ලද දේව සාපයකි !

එය එසේ වන්නේ නම් කණ්ඩා හිතන ආකාරයට සූකර උණ වනාහි බයිබලයේ සහ කුරාණයේ සඳහන් වසංගත මෙන් මෙයත් ඉහල සිට එවන ලද නවතම අන්තර් මන්දාකිණී ජෛව අවියක් විය යුතුය  (Inter Galactic Bio Weapon) !

wot-no-pork-capture

මෙකී හේතූන් ඔටු දේශයේ වෙසෙන විදේශික සේවා නියුක්ත ජනයා සූකරයින්ටත් වඩා සූකර උණ ගැන බොහෝ කම්පා උපදවා ගත්තෝය !

ඒ කෙසේ නමුත් බොහෝ දෙනාගේ අදහස වුයේ මෙහි සිටින දෙපා ඔටුවන්ගේ තියන ඔටු උණ හා සසඳන කල සූකර උණ එතරම් සැලකිය යුතු තත්වයක් නොවන බවයි !

විදේශික අපගේ වාසනාවට හෝ අවාසනාවකට සූකර මාංශ තහනම පිළිබඳ සියළු කතාබහ සුකර උණ සේම යටපත් වී ගියේය !

ඉතිං අදටත් දෙවියන්ගේ පිහිටෙන් සහ අපේ වියදමින් … කණ්ඩා ඇතුළු විදේශිකයන් බාධාවකින් තොරව සූකර මාංශ රස වීඳීන්නොය !

keep-calm-and-eat-pork

ඒ කෙසේ නමුත් ඔටු දේසේ සුකර මාංශ අලෙවිය හැම කඩයක් ලඩයක් ගානෙම සිදු වන්නක් නොවන බව පැහැදිලිව සඳහන් කල යුතුය.

ඒ සඳහා වෙළඳ සල් හිමියන් වෙනම බලපත්‍ර ලබා ගත යුතු අතර මේ වෙළඳාම සඳහා යම් යම් සීමා පැනවී ඇත්තේය…

බලපත්‍ර ලබා ගැනීම සඳහා අන් ආහාර පාන හා කලවම් නොවන සේ වෙනම ඉඩකඩක් තිබීම, සුකර මාංශ හැසිරවීමට මුස්ලිම් නොවන සේවකයන්,  මුස්ලිම් නොවන අයට පමණි  (Non Muslims Only) යනුවෙන් ඉංගිරීසි සහ අරාබි අකුරින් මුද්‍රිත තඩි බෝඩ් ලෑලි, ඇතුළු නීති-රීති, විදි-විධාන හැට හුටහමාරකට යටත් විය යුතුය !

සූකර මාංශ විකිණීමට සුපිරි වෙළඳ සැල්හි (Super Markets) සිල්වතුන් පා නොතබන විශේෂ පෙදෙසක් ඇත්තේත්  ඕන්න ඔය කාරණාව නිසාවෙනි  …

p7630-2_p-porkmeatwarningshopනමුත් කණ්ඩා ඇතුළු තහනම් රසම සොයන, ඉස්ලාම් ආගම නොඅදහන කෆීර්ලාට නම් මෙම කොටසට ඇතුළු වූ කල පොඩි එවුං ඩිස්නිලන්තයේ ගියා හා සමානය !

කණ්ඩා ඔටු දේශයට පා තබා මාස ගණනාවක් යනතුරුත් මේ විස්තර කිසිවක් දැන සිටියේ නැත …

කණ්ඩා හිතාගෙන ගිටියේ සූකරයා වනාහි මුළු ඔටු දේශයෙන් සහමුලින්ම තුරන් කර දමන ලද වනජීවී රතු දත්ත පොතට (IUCN Red List)ඇතුලත් කලයුතු සත්වයෙකු ලෙසටය …

වාසනාවකට තත්වය එසේ නොවේ … 😀

එහෙයින් සූකර මන දොළ පුරවා ගැනීමට මාස කිහිපයකර වරක් ඩුබායි ගුවන් තොටුපල කිට්ටුව රශිදියාහි (Rashidiya) පිහිටි බින් සුගාත් මෝලේ  (Bin Sugaat Shopping Center) ඇති ස්පිනීස් වෙළඳ සැල (Spinney’s Super Market) වෙත ගොඩ වැදීම දැන් වසර ගණනාවක සිට කණ්ඩාගේ චාරිත්‍රයකි …

එබඳු දිනයක එපා වෙන්නම කිලෝ ගණනින් සූකර මාංශ උස්සන් ඒමට කණ්ඩා අතපසු නොකරයි, නමුත් මේවාට කණ්ඩා හාමිනේගෙන් නම් වැඩි කැමැත්තක් නොමැත කොපමණවත් කන් ඈත් වෙන තරමට මැසිවිලිය …

කණ්ඩා හාමිනේ කොපමණ බැන්නත් ඒ බනින්නේ කණ්ඩාට ඇති ආදරයටය !

නමුත් පුරුෂ පාර්ශවයේ  සියල්ලන්ටම මෙන්  කණ්ඩාටද හාමිනේලාගේ ඇනුම් බැනුම් වලින් බේරීම සඳහාම මානව පරිණාමයේදී උරුම වුනු මොළය මගහැර දෙකන යාකරන විශේෂ නාළයක් ඇත්තේය …

එනිසා ඇනුම් බැනුම් සියල්ල එක කණකින් අසා අනෙකින් පිටකරන බැවින් කණ්ඩාගේ ඔලුගෙඩිය තුල මේ තර්ජන ගර්ජන ඇනුම් බැනුම් කිසිවක් නොරඳන්නේය …

(මෙය කණ්ඩාගේ හිතලුවක් නොව වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් සත්‍යයකි , වැඩි විස්තර ඕනෑම කෙනෙකු හට ගූගල් කිරීමෙන් බාගත හැක !)

කොපමණ දෙස් දෙවොල් තිබ්බත් සූකර මාංශ ගෙදර ගෙනා කල කටට කෙළ උණන ප්‍රනීත මස් කරි, කළු ඌරු මාළු (Black Pork Curry) හෝ පෝක් ඩෙවල්  (Devilled Pork ) පිළියෙළ කිරීම කණ්ඩා හාමිනේ අතින් නොවරදවා සිදු වන්නකි !

මේ ලියමන අමුණන අවස්ථාවේදී ඉහත රසමසවුළු සිහිවීමෙන් කණ්ඩාගේ කටට කෙළ උනන්නේ නිතැතින්මය … මෙසේ රසට ඌරු මාළු උයන පිහින බාරියාවක් සිටින තෙක් කණ්ඩාගේ සූකර පෙරේතකම යන්නේ නම් නැත …

ඔටුවන් සූකර මාංශ නොවැලඳුවත් ඇතැමෙක් ඒ පිලිබඳ දැඩි පිළිකුලක්ද තවත් සමහරෙක් දැඩි කුතුහලයක්ද දක්වති  … මෙනිසා කිහිපවාරයක් අමුතු අත්දැකීම් වලට කණ්ඩා මුහුණ දී ඇත …

සූකර මාංශ අරගෙන කවුන්ටරය වෙත යන විට පිළිකුලෙන් යුතුව එල්ල වෙන බැලුම් … මොන හේතුවකට සූකර මස් කන්නේද ? එහි පලවිපාක නොදන්නේද ? යනාදී ප්‍රශ්නද කිරීම්ද මේ අතර වෙයි …

බොහෝවිට ප්‍රශ්න අසන්නේ… කණ්ඩාව යන්තමට හෝ දන්නා කියන උදවියය පමණය … අනෙක් උන් කරන්නේ පිළිකුලෙන් මුහුණු පුලුටුකර බැලීමෙන් තම අප්‍රසාදය පල කිරීමය  …

කට  කොනකින් නැගෙන එයට එහා ගිය සමච්චල් හිනාවකින් සහ කේශාන්තය සිට පාදාන්තය දක්වා හෙලන තියුණු බැල්මකින් සංග්‍රහය කිරීම මේ සියලු දෙන මට්ටු කරන්නේය …

බොහෝ විට ඉන් අනතුරුව ඔවුන් ළඟ පාතකවත් නොරැඳෙන්නෝය…
why-pork

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියල්ලන්ම පාහේ තම තමන්ගේ පෞද්ගලිකත්වය අගය කරන්නෝ නිසා නන්නාඳුනන අය මේ පිලිබඳ ඍජු ප්‍රශ්න කිරීම් නැත …

එකම එක වරක් ලෙබනන ජාතිකයෙක් වෙළඳසල් කවුන්ටරයකදී මේ ගැන සුහද කතාබහක යෙදුනා නම් මතකය …

කණ්ඩා කවුන්ටරයේ සිටි සේවිකාවගෙන් විමසු සූකර මාංශ පිලිබඳ  ප්‍රශ්නයන් නිසා ඇති වූ කුතුහලය මත ඔහුට දැන ගැනීමට අවශ්‍ය උනේ සූකර මාංශ පිළියෙළ කරන ආකාරයත් ඒවා කුමනාකාර රසයක් ගන්නේදැයි යන්නය …

මහත්වරුන් දෙදෙනෙකු  ලෙස ඇරඹි ඒ කතාබහ එලෙසම සුහද අතට අත දීමකින් අවසන් විය …

කණ්ඩා ඔටුදේශයට පා තබා මස ගණනාවක් යනතුරු  සූකර මාංශ රස බැලීමට ලැබුනේ නැත. එසේ සිටිනා අතරතුර කණ්ඩා ඔටු දේශයේදී බොහොම අහම්බයකින් ලැබූ කුළුඳුල් සූකර අත්දැකීම ගලේ කෙටුවා සේ අදටත් මතක ඇත …

මේ සියල්ලට මුල වූයේ කණ්ඩාගේ කලින් කොම්පැණියේ වැඩ රාජකාරි හේතුවෙන් නිතරම ඇෆ්ගනිස්ථානයට (Afghanistan) යෙදුන ගමන් වලදී දැන හඳුනා ගත් මිතුරන් කිහිපදෙනෙක්  එහි සිට ඩුබායි (Dubai) වෙත සම්ප්‍රාප්ත වීමයි … (මේ වීරක්‍රියා ගැන වැඩි දුර විස්තර මෙතැනින් …)

ඇෆ්ගනිස්ථානයේදී  කණ්ඩාව නොයෙක් යා යුතු තැන් වල නෑ බෑ නොකියා කුදලාගෙන යාමද , කෑමද … කෑමට වඩා බීමද දෙමින් පවුලේ කෙනෙකු සේ හොඳින් රැක බලා ගත් මිතුරන් කණ්ඩාගේ බජාර් එකට විසිට් එකක් දැමූ කල හොඳින් සැලකීමට බැරි උනොත් එය මහා මදි කමකි …

සුරාමේරයේ යෙදීමට නම් එක්කෝ සුරා මිලදී ගැනීමට අවසරපතක් (Liquor License) තිබිය යුතුය … එහෙමත් නැතිනම් සල්ලි බාගේ වියදම් කර බාර් එකකට හරි නයිට් ක්ලබ් (Bar or Night Club) එකකට යා යුතුය …

එහෙමයි කියා පොෂ් තැනකට ගියහොත් මුදල් පසුම්බිය හිඳෙන තෙක් අතපය දිග හැර වියහියදම් නොකර ගොඩ ඒමක් නොමැත. එහෙමයි කියා වැදගැම්මකට නැති තැනකට ගොහින් කණ්ඩාගේ සායම යවා ගැනීමටද කල නොහැක …  කණ්ඩා හට මෙය උභතෝකෝටික ගැටලුවකි !

මේ කාල වකවානුවේ කණ්ඩා සතුව සල්ලි බාගේ සහ සුරා ලයිසම යන දෙවරිගයම තිබුනේ නැත… ඉතින් කණ්ඩා අහස පොලොව ගැටලන්න මේ ගැන කල්පනා කරමින් සිටිද්දී මෙම මිතුරන්ගේ කිහිපදෙනාගෙන්ම අයෙක් වූ ගෝපාල් (Gopal) හට යුරේකා අයිඩියාවක්  (Erureka Idea) පහල විය … !marco-polo3

ඒ එකල ඔහුහේ පෙම්වතිය වූ පිලිපීන ජාතික කෙල්ලක (Filipino) මාර්ගයෙන් සොයා ගත් චික්කා ග්‍රිල් නම් පිලිපීන නයිට් ක්ලබ් (Chikka Gril Night Club) එකකි …

නේපාල ජාතිකයකු වූ ගෝපාල් රාජකාරී කලේ ඇෆ්ගනිස්ථානයේ භයානකම නගරයක් වන කන්දහාර්හි (Kandahar) කණ්ඩා සේවය කල ආයතනයේම ප්‍රධාන තොරතුරු තාක්ෂණ පරිපාලකවරයා ලෙසින්ය (Senior IT Administrator).

සපුරා හමුදා පාලනයක් යටතේ පැවති කන්දහාර් ගුවන් පථය ඇතුළු හමුදා මූලස්ථානය (KAF – Kandahar Air Field)පිහිටි පෙදෙසේ සුරාමේරයට ඉඩ කඩ අඩුය. ඉතින් නිතර දෙවේලේ නොවුනත් ඩුබායි වෙත පැමිණි කල්හි ඇති පදම විනෝදයෙන් කාබී ප්‍රීති වීම මේ සැමගේ සිරිතයි !

(යකාටවත් බය නැති කණ්ඩාත් බය, කණ්ඩා හාමිනේද දොහක් දෙකක් කන්දහාර් ගොස් ඇත්තීය … කණ්ඩා හාමිනේ වනාහී කණ්ඩා ගෙදර හිටවා යුද්ධයට උව යවන්න පුළුවන් තරමේ  කාන්තාවකි  🙂   )

ඉතින් වැඩිදුර විපරං කිරීමේදී දැන ගන්න ලැබුනේ චික්කා ග්‍රිල් යනු UAE හි ශ්‍රී ලාංකිකයින් හොඳින් හදුනන දේරා ඩුබායිහි (Deira Dubai) පිහිටිබියෝන්ඩ් එල් රාන්චෝස්” (Beyond El Ranchos) මාර්කෝ පෝලෝ හෝටලයේම (Marco Polo Hotel) තිබෙන පිලිපීන ජාතිකයින් හෙවත් කබායන්ස්ලාගේ **  සුප්‍රකට තැනක් බවය  !

(**Kabayans – පිලිපීන ජාතිකයන් තම සහෝදර  රට වැසියන් හඳුන්වන්නේ කබායන් නමිනි , එබැවින් UAE හි වෙසෙන ලාංකිකයෝ ඔවුන්ව හැඳින්වීමට කබායන්ස්, පිල්ලෝ යන නම් පටබැඳ ඇත්තේය …)kaf

එල් රාන්චෝස් හි එකල ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් වාදනයේ යෙදුන බැවින් මාර්කෝ පෝලෝ හෝටලය ගැන නොදන්නා ශ්‍රී ලංකිකයින් ඩුබායි සිටියේ නම් එය ඉතාමත් සුළුතරයකි …

කරුමයකටදෝ මේ කාල වකවානුවේ කණ්ඩාද ඉන් එකෙකි …

ඉතින් ඒ නිසාදෝ අන්තිමට කණ්ඩාගේ පාපග්‍රහ මිත්තරයන්ගේ දැඩි ඉල්ලීම පරිදි එල් රාන්චෝස් වෙනුවට චික්කා ග්‍රිල් ක්ලබ් එකට යාමට තීරණය විය !

ඉතින් එක් බ්‍රහස්පතින්දා දිනයක කණ්ඩා වැඩ අහවර වී තවත් ලාංකික මිතුරෙකුත් කැටුව කරුවල වැටුන ජාමයේ ගෝපාල්, ඔහුගේ පෙම්වතිය සහ ඉර්ෆාන් (Irfan) නම් අනෙක් සගයාත් නැවතී සිටින හෝටලය යනවිටත් කට්ටිය සෙට් වෙලා අහවරය …

ඉතිරි වී තිබුන ඇවිදින මහත්තයෙක් ඇඳපු බෝතලයේ තරම අනුව නම් ඔවුන් ඒ වන විටත්  භාග්‍යවන්තයින්ය … ගෝපාල්ට ඒවන විටත් තරමක වෙරිය  …

නයිට් ක්ලබ් ගොස් නටන්න නම් නැටුම් තෙල් තිබිය යුතුය …  එනිසා අප දෙදෙනාත් විශේෂ ආරාධනයකින් තොරවම සාජ්ජයට සම්මාදම් උනෙමු … ඉතින් ඇවිදින මහත්තයා හට නිසි ගෞරවය ලැබෙන සේ බෝතලයේ පතුල දැක බලාගෙන තව බීර බෝතල් කිහිපයකටද වගකීමෙන් අනතුරුව රාත්‍රී දහය පමණ වී චික්කා ග්‍රිල් වෙත ඇදුනෙමු …

ක්ලබ් එකට ඇතුළු වන තැන අඩි හයකටත් වඩා උස බවුන්සර්ලා හෙවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකි … ලංකාවේ පමණක් නොව ලොව කොහේ නයිට් ක්ලබ් ගියත් එහි වෙනසක් නොමැත … ඇතුල් වීම සඳහා ටිකට් ගැනීමට ගිය අපට  ඔවුනට කතා කරන්න සිදු වුයේ උඩ බලාගෙනය …

අඟර දඟර ආල වට්ටම් දැමීමට හපනියක් වූ ගොපාල්ගේ පෙම්වතියට පින් සිද්ධ වෙන්න කණ්ඩා ඇතුළු නඩය සුළු මුදලක් ගෙවා ඇතුලට රිංගා ගතිමු…

කිව්වාත් විදිහටම චික්කා ග්‍රිල් යනු  සජීවී සංගීත කණ්ඩායමක් වාදනය කරන කටට රහට ඇතිවෙන්න කන්න බොන්න පුළුවන් ඉතාමත් සජීවී ඩාන්ස් ෆ්ලෝර් (Dance Floor) එකක් සහිත බොන්නම කියා සෑදු තැනකි …

කරදරයකින් තොරව අප නඩයට මේසයක් පවා ලැබුන මුත් කෑම බීම ඇනවුම් කරන්න ගිය විට නම් තරු පෙනුනේය …

ක්රිස්පි පටා, රෝස්ටඩ් සහ පෑන් ෆරයිඩ් පෝක්, පෝක් බෙලී, සොසේජ්, චෝප්ස්  එකී මෙකී නොකී සූකර මාංශ යොදා හදන රසමසවුළු වලින් මෙනූ එකෙන් හතරෙන් තුනකටත් වඩා පිරිලාය  …

කබායන්ලා සූකර මාංශ පිසීමට මෙන්ම බුදීමටත් කෙතරම් රුසියෝද යන්න කණ්ඩා මුල් වරට හැබැහින් දැක ගත්තේ එදාය … ඉතින් කණ්ඩා ඇතළු සූකර උණ හැදුන උන්ට නම් නත්තල් සහ අවුරුදු දෙකම එකවර ආවා වගේය …

නමුත් පොඩි කොස්සකට තිබුනේ ඉර්ෆාන් ඉස්ලාම් භක්තිකයෙකු වීමයි… එහෙත් කන බොන විනෝදයට බර පකිස්ථාන් ජාතිකයෙකු වූ ඉර්ෆාන් අපිට ඇණයක් උනේ නැත…

බැදපු කුකුල් මස් සමග බියර් කිහිපයක් ඇනවුම් කල ඔහු කණ්ඩා ඇතුළු අනෙක් සියලුදෙනා මෙන්ම රාත්‍රිය පුරා සංගීතය අසමින්, කමින් බොමින් උපරිමයටම රස වින්දේය…

bar-table

ගෝපාල් කියවන්න දක්ෂ උවද බොන අංශයෙන් නම් ඉතා ළාමකය, ක්ලබ් එකට රිංගන්න පෙර වඩි තුන හතරකට වග කියූ නිසාදෝ පැය දෙක තුනකින් කොම්බුව ගැසූ සරුංගලයක් මෙන් මේසය මතම නින්දට ගියේය …

නමුත් රැය තවම තරුණය … එහෙයින් නැවතීමේ තිත තැබීමට කණ්ඩා ඇතුළු නඩය තවම සුදානම් නැත !

ගෝපාල්ව නැලවීම පෙම්වතියට බාර දුන් අප රෑ  මැදියම පසු වන තුරුත් රිසිසේ විනෝද උනෙමු …

සංගීත සාජ්ජ සහ කෑම බීම එක්වූ කල ජීවිතයේ පාළුවක් නොමැත … කබායන්ලා හෙවත් පිලිපීන ජාතිකයෝ ජීවිතය විනෝදයෙන් ගෙවීමට කැමැත්තෝය …

ඔවුන් හට සුරාව, ලඳුන් සහ ගීතය (Wine, Women & Song ) යනු තුනක් නොව එකක්මය … අපේ බාසාවෙන් නම් කන බොන උදවියය … මේ නිසා කබායන්ලාගේ ජීවන රටාවට කණ්ඩාද අකමැත්තක් නැත …

සාජ්ජයක සුරමෙරයෙන් අනතුරුව අපහසුම කාරි‍ය කොම්බුව කඩ හැලුන බේබද්දන්ගේ වෙරි බැස්සවීමත් නිවෙස් කර ඇරලවීම බව කන බොන උදවිය දනිත් …

වෙන විකල්පයක් නොවූයෙන් රෑ යක්කු ගස් නගින යාමයට ගෝපාල්වත් කර තබාගෙන එලියට බැස්ස කණ්ඩා ඇතුළු නඩය ඒ  වන තෙක් කෙලින් සිටි ඉර්ෆාන් ගේද පිහිට ඇතිව බේබද්දන් සියල්ල හෝටලයට ඇරලුවෝය …

ඉන් පසු ඉතිරි වූයේ කණ්ඩා සහ ලාංකීය මිතුරා පමණි … සාක්කුව හිස් මුත් කාපු බීපු වෙරි බහින්නත් එක්ක දෙන්නා එක්ක ආගිය පරණ කතා, පාසල් කාලයේ පුරාජේරු කියවමින් සාජා වෙත යාම සඳහා දේරා බස් නැවතුම් පොළ (Deira Bus Station) වෙත පිය නැගුවේ අඩ බමණ මතින් නමුදු සැහැල්ලු සිතකිනි …

~ නිමි !

මැදක් නැති පෙරදිග ~ VI කොටස ~ ඔටුවාගේ රටේ තහනම් සත්තු … !!!

 

Advertisements