නිසි බළධාරිනිය හෙවත් වාරණ මණ්ඩලය !

google-wife

පහු ගිය දවස් වල කණ්ඩාගේ ප්‍රියතම මාතෘකා වන ඔටුවන් සහ සූකරයන් ගැන ලියාගෙන යද්දී නිසි බළධාරිනිය සිය අවම බලය භාවිත කර බාල්දි පිට බාල්දි පෙරළීමට නොපසුබට උනාය …

කණ්ඩා අමාරුවෙන් අකුරෙන් අකුර … වචනයෙන් වචනය එකතු කරල … එකතු කරලා මහත් මහන්සියෙන් අමුණාපු  බ්ලොග්ලාන්තයට මුදා හැරීමට ඔන්න මෙන්න සිටි සමහර ලිපි කණ්ඩා හාමිනේගේ කතුරට හසු වී කැපී කෙටී ගියේය …

මේ කැපිලි කෙටිලි කතුරු පහරවල් වලට වඩා ගැලපෙන්නේ ඉස්සර වැලිපිල්ලෑවේ පිහිටි කණ්ඩලෑ පරණ ගෙදර වල් පඳුරු විසිකැති ගැසීමකටය … විසිකැති ගසනා විට මොට්ට විසිකැති තලයේ රළු නමුත් වේගවත් පහරවල් දරාගත නොහැකිව වල් පඳුරු සියල්ල කැබලි වලට කැඩී දස අතේ විසිරෙන්නේය …

මේ වල් පැළෑටි සේම කණ්ඩාගේ ලිපිවල තිබු බොහෝ මතභේදයට තුඩු දිය හැකි කියුම් කෙරුම් වලට අත් වූ ඉරණම ඉමහත් ඛේදජනක බව පවසන්නේ සාතිශය සංවේගයෙන්ය …

කණ්ඩා හාමිනේ දන්නා කියන නෑදෑ සනුහරය ඇතුළු පුද්ගලයන්ගේ පැටිකිරිය, ආගම් සම්බන්ධ අසූචි බාල්දි, දේශපාලු *** ගොඩවල්, කණ්ඩා හිරේ විලංගුවේ වැටී ඔටු දේසෙන් චුත වීමට පවා සිදු වියහැකි කවුරුත් කතා නොකරන තහනම් මාතෘකාද මේ අතර විය …

විසිකැති ගැසු කල්හි බොහෝ වල් පඳුරු වල පසෙන් උඩ කොටහ කැපී යන්නේය … නමුත්  මුල් ඉදිරීමක් නොවන නිසාවෙන් එක වැහි කට්ටක සුවඳක් දැනුනත් තිවුනාටත් වඩා සැරට පණ ගසා එන්නේය …

කණ්ඩා හාමිනේ කපා කොටා පතුරු ගැසුවත් මාතෘකා වල මුල් එතැනමය… එබැවින් කලක් රස්නය යන තුරු නිවෙන්නට ඇර වතුර ඩිංගක් දැමු කල වල්  පඳුරු උව තමා සිත් ගත් හැඩයකට හදා ගැනීමට බැරි කමක් නැත …

අනෙක පසුගිය දේ ගැන විස්සෝප වී පල නැත … ලියන වෙලාවේ වැඩි දුර නොසිතුවත් පසුපස හැරී බලන කල කණ්ඩා හාමිනේගේ වැරද්දකුත් කිව නොහැක …

හාමිනේ කියන ආකාරයට කණ්ඩාට ඇත්තේ බෝක්කු කටකි !

ඔලුවට එන අයිඩියා, ඇනුම් බැනුම්, විකාර කතා හෙවත් මළ සමයං සහ ඉඳ හිට කුණු හබ්බයක්  දෙකක් පවා අවාරේ මුවින් එලියට පනින්නේ කණ්ඩාගේ දිවට තිරිංග නැති නිසාය …

hubby-censorred-png

මේ බව කණ්ඩාගේ මිතුරන් පවා පවසන නිසා ඇත්ත විය යුතුය … ඉතිං මෙහෙම කටවල් තියෙන්නේ හිත හොඳ මිනිස්සුන්ට පමණයි කියා ස්වයං අගයකිරීමකින් පිටට තට්ටුවක් දමා  ගන්නා  කණ්ඩා ඉන් හිත හදා ගන්නේය  😦

එමෙන්ම කණ්ඩාගේ ප්‍රශ්න විසඳීමේ ශෛලිය වැඩිමනක් සමීප වන්නේ  ප්‍රශ්න කර වෙඩි තැබීමකට නොව වෙඩිතබා ප්‍රශ්න කිරීමට බව දන්නා කණ්ඩා හාමිනේ හැම විටම කණ්ඩා මැද මාවතේ තබා ගැනීමට දැඩි මෙහෙයක් ඉටු කරන්නීය …

එලෙසින් බලන කල කණ්ඩා හාමිනේ තම රාජකාරිය අකුරටම ඉටු කර ඇත !

නමුත් ප්‍රශ්නය ඇත්තේ එතන නොවේ,  මෙහෙම කතාන්දර වලින් මුරුංගා අත්තේ තැබූ විට හාමිනේ තවත් අල්ලන්න බැරි විදිහට කරටියටම නගින එකය …

මම නොහිටිය නම් බලන්න තිබුන මෙතන … !!!  

මම නැතුව කොහෙද මෙච්චර දෙයක් කරන්නේ ?

අපි ඉන්න හන්දම හොඳයි !!!

හාමිනේ ළඟ පාත නැති උනත් හාමිනේගේ වදන් කණ්ඩාගේ කනට තවමත් ඇසෙන්නා සේය ….

කැපිලි කෙටිලි, අවලාද, ඇනුම් බැනුම් ඔය මොනවා තිබුණත් කණ්ඩා හාමිනේ හිත හොඳ ඒකීය … ඉතින් හාමිනේ නැතිව බැරි බව කොපමණ අකමැත්තෙන් උව කණ්ඩාට පිළිගැනීමට සිදුවන්නේය …

අර කතාවට කියන්නාත් වගේ සාර්ථක කණ්ඩෙක් පිටුපස වැටී තියෙන හෙවනැල්ල කණ්ඩා හාමිනේගේය … 😀

ප.ලි. : මේක ලිව්වේ හාමිනේට පිං සිද්ද වෙන්න දාන්න පුළුවන් තරමේ වෙන ලිපියක් නැති නිසා , මේක බෝලා කියෙව්වට කාරී නෑ, ඕං හාමිනේට හෙම පෙන්නනව නෙමෙයි !

හාමිනේලාගේ කතා වස්තුව – I කොටස

Advertisements