wp-vs-blogger

කණ්ඩාට බ්ලොග් අඩවි ගැන කුතුහලයක් ඇති වී දැනට අවුරුදු දහයක් පමණ වන්නේය … තමන්ටම කියා බ්ලොග් අඩවියක් ඇරඹීමට ඇති වූ අදහසත් අවුරුදු හත අටක් පැරණි මුත් වැළදුන බාලගිරි දෝසය හේතුවෙන් ලඟ පාතක් වනතුරුත් සිදු වුනේ නැත.

කණ්ඩාට තේරෙන විදිහට බ්ලොග් අඩවි දෙවර්ගයකි, ඒ කණ්ඩා වැනි කබ්බන් වෙලාව කා දැමීම උදෙසා බොහොම සැහැල්ලුවෙන් ලියන කියන දෑ අඩංගු “කැෂුවල් බ්ලොග්” (Casual Blogs) සහ යමක් කමක් තේරෙන, තම ක්ෂේත්‍රයේ විශේෂ දැනුමක් හිමි අයවලුන් හෙවත් වැඩ්ඩන් විසින් හඳුනා ගත් සීමා තුල විධිමත්ව පල කෙරෙන “ප්‍රොෆෙෂනල් බ්ලොග්” (Professional Blogs) ය.

මුල සිටම කණ්ඩාගේ උනන්දුව තිබුනේ මින් පළමුව සඳහන් කල “කැෂුවල් බ්ලොග්” (Casual Blogs) වෙතය … ඒ වායේ සරල සැහැල්ලු රචනා ශෛලිය මෙයට ප්‍රධානතම හේතුවයි !

බ්ලොග් අඩවියක් හෙවත් අපේ බාසාවෙන් නම් බ්ලොග් කට්ටක් (හෝ බෝගක් :-D) අටවා ගැනීමට දඟලන මුල් කාලයේ කණ්ඩාට තිබුන ලොකුම ගැටලුව වූයේ මේ සඳහා තෝරා ගන්නා මෘදුකාංගය හෙවත් Blogging Platform එක කුමක්ද යන්නයි ?

වැඩිමනක් තොරතුරු සොයා බලන විට අන් හැමටම ඉදිරියෙන් සිටින වඩා ප්‍රචලිත ප්‍රධාන විකල්ප දෙකක් කණ්ඩාට හමු විය, ඒ ගූගල් බ්ලොගර් (Google Blogger) සහ වර්ඩ්ප්‍රෙස් (WordPress) යන ද්විත්වයයි.

මේ අතරින් 1999 උපන් ගූගල් බ්ලොගර් වැඩිමහල් තැනැත්තියයි … 2003 උපන් වර්ඩ්ප්රෙස් යනු බාල නැගණියයි.

කණ්ඩා ගූගල් සේවා බෙහෙවින් ප්‍රිය කරන්නේය … පසුගිය වසර ගණනාවක් තිස්සේ භාවිතයෙන් Google Maps, Google Docs and Sheets කෙරෙහි දැඩි විශ්වාසයක් ඇත, ඉතින් ඒ සහ සම්බන්ධය නිසාම කණ්ඩා මුලින්ම හොයා බැලුවේ බ්ලොගර් ගැනය.

ගූගල් අන්තර්ජාලයේ බොහෝ සේවා අතර දැවැන්තයෙකු වන නමුත් බ්ලොග් කරුමාන්තය සම්බන්ධයෙන් නම් ගූගල් ගව් ගණනක් පිටු පසිනි … අපේ බාසාවෙන් කියනවා නම් මෙලෝ රහක් නැත !

එහෙයින් ලොව දැනට තිබෙන බ්ලොග් මෘදුකාංග (Blogging Platforms) වලින් වඩාත්ම සිත් ගන්නා සුළු සහ මුලිකයා වර්ඩ්ප්‍රෙස්ය.

මේ අයුරින් වටින් ගොඩින් විපරන් කර බලන විට අක්කාට වඩා නැගණිය බෙහෙවින් පියකරුය, ඉතින් ගමේ ගොඩේ බාසාවෙන් කියන්නේ නම් කණ්ඩාට සිදු වූයේ අක්කා බලන්න ගොස් නැගණිය සමග පෙමින් බැඳෙන්නටය …

වැඩේ කෙතරම් දුර දිග ගියේද කියතහොත් වැඩේ නතර වූයේ කණ්ඩා නැගණියත් සමග හඳ පානේම පැන යාමෙනි !

ඒ සඳහා නොයෙක් හේතු ඇත, බ්ලොග් අඩවි නිර්මාණයේදී යොදා ගන්නා අතිශය සිත් ගන්නා සුළු ටෙම්ප්ලේට් (Template) හෙවත් ආකෘති, බ්ලොග් අඩවි කළමණාකරණයේදී උදව් වන විවිධාංග (Management Tools), ඉදිරිපත් කිරීම (Look & Feel), මාධ්‍ය හැසිරවීමේ පහසුව (Content Management) මෙන්ම සංඛ්යා ලේඛන (Statistics) ඇතුළු දෑ ඒ අතර විශේෂයෙන් සඳහන් නොකළහොත් එය මදි පාඩුවකි !

වර්ඩ්ප්‍රෙස් වෙත මෙතෙක් වෙලා සුදු හුණු ගෑවා සේම ඇත්ත ඇති සැටියෙන් සමබරව ඉදිරිපත් කිරීමට නම් වර්ඩ්ප්‍රෙස් අඳුරු පස ගැනත් සඳහන් කල යුතුය.

නවකයන් හට කාලය ගත නොකර වර්ඩ්ප්‍රෙස් ඉගෙන ගැනීමට පහසු නැත, වෘත්තීමය IT කාරයකු වූ කණ්ඩාද වර්ඩ්ප්‍රෙස් වලින් ගොඩ යාමට ඇති පදම නා .. අනා… ගත්තේය.

වින්ද කරදර තරමට ලැබූ ප්‍රතිපලය ගැන සෑහීමකට පත් වුවත් මෙම නා .. අනා… ගැනීම කොහෙත්ම විනෝදජනක දෙයක් නම් නොවේ … පොඩි දෙයටත් මූලගින්න තද වෙන කණ්ඩාට ඉහේ කෙස් ඇද ගැනීමට සිදු වූ අවස්ථා එමටය.

එනිසා මුලදී බ්ලොග් අඩවියේ ලිපි ලිවීමට ගත කල කාලය මෙන් සිය ගුණයක කාලයක් වර්ඩ්ප්‍රෙස් සැකසීම වෙනුවෙන් වැය කිරීමට සිදු වීම කණ්ඩා බොහෝ අධෛර්යමත් කල දෙයකි.

නමුත් කණ්ඩා ඇලවෙන හැම විටම මුක්කු ගැසීමට නොපසුබටව ඉදිරිපත් වෙන කණ්ඩා හාමිනේ නිසා කණ්ඩා ගොඩ ගිය බව සඳහන් කිරීම වැදගත්ය, ඒ ඇය එයිට පෙර වර්ඩ්ප්‍රෙස් භාවිත කර ඇති හෙයිනි.

නමුත් කණ්ඩා හාමිනේද ප්‍රථම වරට වර්ඩ්ප්‍රෙස් ඉගෙනීමේදී කණ්ඩා වැටුන වලේම වැටුණාට නිසැකය !

මෙම හේතුව නිසා කොපමණ අලංකාර ටෙම්ප්ලේට තිබුනත්, කොතරම් පහසුකම් තිබුනත් බ්ලොග් අඩවි පටන් ගන්නා බොහෝ නවකයන් වර්ඩ්ප්‍රෙස් මග හැර බ්ලොගරයෙහිම පිහිට පතන්නනෝය.

එබැවින් වර්තමාන සිංහල බ්ලොග් කරුවන් අතරද එක වර්ඩ්ප්‍රෙස් භාවිත කරන්නකුට හට බ්ලොගර් භාවිත කරන්නන් සියයක් පමණ ඇත !

මෙලෙස දන්නා කස්තිරම් සියල්ල ඇල්ලීමෙන් වර්ඩ්ප්‍රෙස් බ්ලොගය ගොඩ දමා ගන්නට කණ්ඩා සමත් විය.

වර්ඩ්ප්‍රෙස් ලබා දෙන පහසුකම් පිලිබඳ කණ්ඩා අතිශයින්ම තෘප්තිමත්ය … ඒ අතින් බ්ලොගරය අලගු තියන්නත් මදිය.

කණ්ඩා නිතර ගොඩවදින බ්ලොගර්  බ්ලොග් අඩවි මෙන්ම අනෙක් ප්‍රචලිත අඩවි Look & Feel පැත්තෙන් ගත් කල කණ්ඩාට දිරවන්නේම නැත … ඒ කණ්ඩා හිත පිනවන තරමටම ඇස පිනවන දේටද කැමති නිසාය.

මේ අතරේ කණ්ඩා හට සිංහල බ්ලොග් අඩවි පවත්වාගෙන යන කිහිපදෙනෙකු දැන හඳුනා ගැනීමට හැකියාව ලැබුනේය… මේ අතරින් මුල් වන්නේ කොච්චියා සහ අටම්පහුර බ්ලොග් අඩවිය පවත්වාගෙන අටමාය.

අටමා ගැන නොදන්නා සිංහල බ්ලොග්කරුවන් අඩුය, ඒ සිංහල බ්ලොග් ලිවීම පටන් ගන්නා බොහෝ දෙනා හට ඉතා උනන්දුවෙන් ලෝබකමක් නැතිව ලබාදෙන ගුරුහරුකන් නිසාවෙනි …  එන ඕනෑම නවක බ්ලොග්කාරයෙකු වලට බැහැලාම ගොඩ දාන එක අටමාගේ සිරිතය.

අටමා බ්ලොගර් ජෝකියෙකි … අටමා යනු උග්‍ර වර්ඩ්ප්‍රෙස්  විරෝධියෙක් හෙවත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් මාරයෙකි !

නමුත් කණ්ඩාට ඇත්තේ වර්ඩ්ප්‍රෙස් බ්ලොගයකි … එනිසා අටමා සමග පැවති සංවාද වලින් කණ්ඩා එතෙක් නොහිතපු පැති කිහිපයකට ඇදගෙන යාමය සමත් විය.

**මෙම වර්ඩ්ප්‍රෙස් ආසාත්මිකතාවය අටමාට පමණක් විශේෂ වූ දෙයක් නොවේ … බොහෝ සිංහල බ්ලොග්කරුවන් වර්ඩ්ප්‍රෙස් යන නම පවා පිළිකුල් කරන බැවින් ඒ සඳහා බ්ලොග් බසින් “වදන් තදය”නම් වෙනම නාමයක්ද පටබැඳ ඇත්තේය … **

අටමාට වර්ඩ්ප්‍රෙස් යනු නයාට අඳු කොළ වැන්නේය …  “වදන් තදය” භාවිත කරන කණ්ඩා වැනි මොලේ නැති ***** හමු වූ විට අටමා හට අසූ හාරදහටම තද වන්නේය.

ඒ කොච්චර තද උනත් කණ්ඩා ඇතුළු වදන් තදයන් ඇතුළු නවක බ්ලොග්කරුවන් කෙරෙහි ඇති සත්ව කරුණාව අටමාගේ උණ්ඩුක පුච්ච්ය පතුලෙන්ම මතු වන්නේය … ඉතින් අටමා තමන් දන්නා සබ්බ සකලමනාවම අන් කා හටත් මෙන්ම කණ්ඩා හටද බෙදා දීමට පසුබට නොවුනේය.

පහතින් ඇති එම සංවාදයේ සමහර තැන් අටං බසින් තිබූ නිසා ලාවට වාරණයක් දී පුද්ගලික කතා බහ ඉවත් කළා මිස කණ්ඩා සංවාදයේ හරය වෙනස් කිරීමකට ලක් කලේ නැත.

කණ්ඩා මෙය පල කරන්නේ මාස හයක් තිස්සේ එක එකාට කතා කර එහෙමත් නැතිනම් කියවා හොයා ගන්නට නොලැබුන බොහෝ දේ මෙහි ඇතුලත් වන නිසාය … අඩු ගණනේ මෙම ලිපිය කණ්ඩාට පසුව එන එකෙකුට හෝ ප්‍රයෝජනවත් වනු ඇත !

(යටින් ඇති සංවාදය අටමා හා කණ්ඩා අතර සිදු වූ පුද්ගලික කතාබහක් නිසා පල කරන්නේ අටමාගේ අවසර ඇතිවය. ඒ ඇරෙන්න මෙය අටමාට කරන සමච්චලයකටවත් අටමාට බටර් ගෑමක්වත් නොවේ, අනෙක සමාජයෙන් පදං වූඅටමා වැනි ජෝකියෙකුට ගෑමට බටර් නැවකුත් මදිය  😀 )

අටමා : මොකක්ද ඔයාගේ බ්ලොග් එක ?

කණ්ඩා : “කණ්ඩාගේ කොලම” ඒක මේ වැඩිය කවුරුවත් දන්න කියන එකක් හෙම නෙමෙයි ! මේක කියවන්නෙ යාලුවො කීප දෙනෙක් හැරු නහම අපේ ගෙදර උදවිය විතරයි !

අටමා : කෝ ලින්ක් එක ?

කණ්ඩා : https://kandascolumnblog.wordpress.com

අටමා : අපෝයි වදංතදයක් !

කණ්ඩා : ටිකක් වෙන්න වාතයි තමයි, හැබැයි ඇඩිමින් වැඩ ටික මම හාමිනේට පංගරාත්තු කළා, ඒක නිසා මට තියෙන්නේ කොටන එක විතරයි

අටමා : කියවන අයටත්  වාතයි බං, කමෙන්ට්  දැමිල්ල අමාරුයි

කණ්ඩා : මොකක්ද ඒකට හේතුව ?

අටමා : ප්‍රොෆයිල් හදන්න ඕන…

කණ්ඩා : ඩිංගක් කියවල කරල බලන්න ඕන, තාම ඒ හැටි දේවල් කරල බැලුවෙ නැහැ

අටමා : කෝ බන් මේකේ මම දාපු කොමෙන්ට්  ??

කණ්ඩා : අටං දාපු කොමෙන්ටු එකක්වත් මට හම්බ උනේ නැහැ නොවැ ?

අටමා : හයක්  දැම්මා බං, ඔය කාරනාව හන්දා තමයි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වේලෙන්නෙ !

කණ්ඩා : ***** තියෙන්නේ එකක්වත් ආවෙ නෑ බං ! වෙන උන් දාපු එකක් දෙකක් නම් ආව හැබැයි !

කණ්ඩා : මොනවා කරන්නද බන් තව ටිකක් කල් හදා ගන්න බලල බැරි උනොත් බ්ලොගර් එකට බහිනවා

අටමා : මෙහෙමයි  මචං තව ටිකක් කල් නෙමෙයි ගොඩක් කල් ගියත්, ඕක හදන්ඩ  පුලුවන් කේස් එකකක්  නෙමෙයි , තව කල් බලාගන ඉන්නවා කියන්නෙ තව තව අවුල් වෙනවා, දැම්මම බ්ලොගර් උඩට වරෙන්, පැය බාගේ වැඩක්නේ  මචං … නැත්තං අපරාදෙ ඔතනට ඇවිත් යන මිනිස්සු

කණ්ඩා : එකත් හැබෑව ලියුං ටික කොපි කරලා ප්‍රොෆයිල් එක හදන්න විතරයි තියෙන්නේ …

අටමා : එහෙම කරල පරන පෝස්ට් ටික පබ්ලිෂ් කරල, ආයේ ඔතනට ලියන්න එපා

කණ්ඩා : නෑ මේක හැලුවොත් මකලම දානවා !

අටමා : මකල දාන එක හොදයි, කාටහරි ස්පේස් එකක් ඉතුරු වෙනවා

කණ්ඩා : මටම මේක අනල ඉගෙන ගන්න ආසයි බන් … මාව හිර උනොත් උදව්වක් දීපන් … මම දැන්ම වැඩේට බහිනවා !

අටමා : හරි නියමයි, අවුලක් උනොත් වයිබර් කරහං, 077 ### ####, ඔන උනොත් වයිබර් ඉන්නවා …

කණ්ඩා : එල…බොහොම ස්තුතියි, එහෙනම් ඔබය ජය !

අටමා : ඔතන තියන පොස්ට් 6 යේ  ඔක්කොම තියනවා. අවුලක් ගියොත් බලහං

How to write a Sinhala blog ( 6 ) බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නේ කොහොමද සහ ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි

අටමා : ගුගල් ප්‍රොෆයිල් එක උඩ ඉදන් බ්ලොග් එක හදන්න එපා. බ්ලොගර් ෆෝපයිල් එකක් ක්‍රීෙයට් කරල ඒක උඩට ඇවිත් හදහං.

    වදන්තද වදයෙන් අපිව ගලවා ගන්නවට ස්තුතියි !

අටමා : මොකද උනේ වැඩේ ගොඩද ?

කණ්ඩා : අනේ බං විධායකය විසින් නිෂේධ බලය පාවිච්චි කරා, වැඩේ කොට උඩ !

අටමා : එහෙනං  ඉතින්  එයාටම, කියවල එයාාටම කමෙන්ට් දාන්න  කියහං

අටමා : අනේ  මචං වැදල කියන්නං …..වරෙං බ්ලොගර් උඩට

කණ්ඩා : හික්… හික්…මම මාර ආසයි බං මේ ටෙම්ප්ලේට් එකට … ඉතිං හදා ගත්තු පැල දාල කොහෙ යන්නෑ ?

අටමා : **** අපිට ඔතන කමෙන්ට් කරන්ඩත් බැ … යන පොස්ට් එතට නෙමෙයි යන්නේ වෙන ***** වලට

කැමති දෙයක් කරහං මං දන්න දෙ තමයි උඹට කියුවේ, සිංහල බ්ලොග් කීයක් වර්ඩ් ෆෙරෙස් තියනවද, ඒවට  කමෙන්ට් කියක් වැටෙනවද, ඒ කමෙන්ට් දාන්නේ වර්ඩ්ෆෙරෙස් කාරයොද, බ්ලොගර්ලද, කියල හොයල බලහං, ආ තව හොයල බලහං වදන්තද කීයක් බ්ලොගර් උඩට ආවාද කියල

කණ්ඩා : ඇයි බං මම ඒක හැදුවේ ?

අටමා : කියනදේ තේරෙන්නේ නැත්තං ඔතනම වැලලිලා පලයං *** *** වාගේ

    ඔය වදං තද හුතුතට නං මොනව කලත් හරි යන්නේ නැ

කණ්ඩා : ඇයි බං උඹ මේකට කොමෙන්ට් කොටන්නේ  FB වලින් ලොග් වෙලානෙ ඇයි ඒ?

Google account එකෙන් ලොග් වෙලා බලපංකො ?

උඹ ගූගල් වලින් ලොග් වෙලා බලපන් මම කියනවට එක පාරක්  ! එතකොට කෙළින්ම යයි හරි තැනට …

අටමා : තෝව කොටියම කාපිය‍ … හරි යයි තොගේ මං කියන්නේ නැ

ලොග් වෙන්ඩ බැ ***** !

ඔය ****ට කමෙන්ට් දාන්ඩ බැ…

මචං ඇත්තටමයි මට ඕකට ගුගල් ෆෝපයිල් එකෙන් ලොග් වෙන්න බැ …

ගොඩ දෙනෙකුට එහෙමයි ඒකයි වදං තද වවලට කමෙන් නැත්තෙ …

කණ්ඩා : අටං කිව්වට මම අර මට කලින් දුන්න ලිපි ටිකත් කියවල බැලුව Blogger සයිට් එකක් හැදුව. මේකෙ තියන ටෙම්ප්ලේට් ඔක්කොම මහ ගූ ගොඩවල්! 💩

මට දැන් තියන වදන් තද ටෙම්ප්ලේට් එක ලඟින් තියන්නත් මදි, හොයලා බලනව කොහොමද හිතට හරියන විදිහට හදා ගන්නෙ කියල… මං හිතන්නෙ මට මුල ඉඳං CSS & HTML ඉගෙන ගන්න වෙයි.

අටමා : උඹ බ්ලොගර්  උඩට එන්ඩ එපා කොහොමටවත් මොකද මෙන්න මේ නිසා

/// මට දැන් තියන වදන් තද ටෙම්ප්ලේට් එක ලඟින් තියන්නත් මදි ///

ඔයා බලාපොරොත්තු වෙන දේවල් බ්ලොගර් වල නැ

බ්ලොග් කියවන උන් එන්නේ පිටුවේ ලස්සන බලන්න නෙමෙයි !

කියවන්න, තව කැමතියි කමෙන්ට් කරන්න … ඒ දෙකට හොදින් උදව් කරන සරල ටෙම්පලේට් එකක් තිබුනහම හොදටම ඇති, සරල එකකට වරෙං මචං …

අටමා :    https://jangun.wordpress.com

https://arunishapiro.wordpress.com

https://arugeadaviya.wordpress.com

මචං ඔව්වත් වදන් තද තමයි, හැබැයි කියවන්නා අපහසුතාවයට පත් කරන්නේ නැ

බ්ලොගර් එකක් නං , ගජට් බැජට් මොකවත් ඕන නැ

යටිං කමෙන්ට් කරන්නයි, බ්ලොගර් පලොවරයයි, ලියාපු ලිපි ටිකයි, ලේබල් ටිකයි විතරක් තිබුනත් ඇති

ඒක එක ගැජට් බැජට් දාලා වාත කරන්ඩ එපා, බ්ලොග් කියවන ගොඩක් උං කියවන්නේ අපහසු කං මැද්දේ හරියට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්වත් නැතුව, අනං මනං දැම්මහම ලෝඩ් වෙන්ඩ පරක්කු වෙනවා, වැඩිපුර ඩේටා කැපෙනවා

හදලා ඉවර කරපු දවසක , උඹ මෙතෙක් ලියාපු පෝස්ට් දවස් දෙකකට සැරය්පෝස්ට් වෙන්ඩ දාහං ඉස්සෙල්ලාම, ඊලගට අළුතිං ලියන ඒවා ඉස්සෙල්ලාම බ්ලොගර් එකට දාහං, ඊටත් කලිං අනිත් උන්ව දැනුවත් කරහං, උඹ අළුතිං මෙතනට ලියනවා කියල

කණ්ඩා : අඩේ ඩේට ගැන හිතුවෙම නෑ, ඉස්සරහට ඔලුවෙ තියා ගන්නං

බොහොම ස්තුතියි, නොහිතපු දැන නොහිටපූ දේ කියල දුන්නට

අටමා : අනේ පල යන්ඩ !

කණ්ඩා : ඇත්ත යකෝ, යමක් කරන්නං වාලේ කරන එකයි තේරුම් අරගන කරන එකයි වෙනස් !

ඉතිං බොක්කෙන්ම තැන්කූ හොඳේ  …


ඉහත සඳහන් කල පරිදි වර්ඩ්ප්‍රෙස්හි සහ බ්ලොගර් අතර නොගැලපීම් බොහෝ ඇත්තේය … බ්ලොගර් ප්‍රොෆයිල් වලින් වර්ඩ්ප්‍රෙස් කමෙන්ට් දැමීමේදී ඇති අපහසුතා සහ වර්ඩ්ප්‍රෙස් කමෙන්ට් වලින් තම ප්‍රොෆයිල් වෙත යාමට නොහැකි වීම මේ අතර ප්‍රධානය.

බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන ප්‍රධාන කරුණ නම් තම ඔලුවේ කැකෑරෙන අදහස් වදන් වලට හැරවීමේ ආත්ම තෘප්තියයි … අනෙක බ්ලොග් අඩවියේ පාඨකයෝය, පාඨකයන් නැති බ්ලොග් අඩවියක් යනු මැස්සෝ ඇහිරෙන හෝටලයක් මෙන් වැදගැම්මකට නැත්තේය.

මේ කියපු නොකියපු කරුණු කාරණා හේතුවෙන් කණ්ඩා මේ ගත කරන්නේ දෙලොවක් අතර සංක්‍රාන්ති සමයකය.

ඒ පිලිබඳ වැඩි විස්තර පසුවට ගෙන ඒමට කණ්ඩා අදහස් කරන්නේය.

~ මතු සම්බන්ධයි !