ananda-college-ananda-vihaaraya

තවත් එක පරිප්පුවෙකුගේ ආගමනය !

කණ්ඩා පළමු වරට ආන්නදයට පිය තැබුවේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් අනතුරුව පවත්වන ඇතුළු වීමේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම සඳහාය. ආනන්දයේදී ලද අත්දැකීම් මතකයට නගනා විට මෙයට වඩා රස ආරම්භයක් තවත් නැත, ඒ දවස තුල සිදු වූ සුවිශේෂ සිදුවීම්, රස කතා බොහොමයක් අදටත් කාණ්ඩාගේ ඔලුව තුල සිර වී ඇත්තේය !

කණ්ඩාගේ මේ ගමන මව් පිය පවුල් දෙකටම ඉතා විශේෂ අවස්ථාවක් වුයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොලොම්පුරයේ පාසලකට යන තම බාල පරම්පරාවේ පළමු පුරුක කණ්ඩා වීම නිසාය … ඉතින් කණ්ඩාගේ නෑදෑයන් බොහෝ දෙනා කණ්ඩා හට ඉත සිතින්ම සුභ පැතුවෝය…

මේ උදවිය අතරින් නිතරම කණ්ඩාගේ මුලගින්න නග්ගන, කට ඇරියොත් කොලොප්පංම කරන සිරි බාප්පා නිතර කිව්වේ ආනන්දේ ඉන්නේ ඔක්කොම මරියකඩේ පරිප්පුවන් බවය …!

එහෙයින් සිරි බාප්පා කියන ආකාරයට නම් ඉදිරියේදී අනිවාර්යයෙන්ම කණ්ඩාද පරිප්පුවෙක් වන්නේය…

මේ කරුණු කාරණා නිසා මෙච්චර මහන්සියෙන් හොඳින් විභාගය සමත් වීත් පරිප්පු ඉස්කෝලයකට යන්නේ මොන කෙං ගෙඩියකටද කියා කණ්ඩාට නොසිතුනාම නොවේ …

එතෙක් පාසලට ඇන්ද නිල් කොට කලිසම සහ සුදු කමිසය වෙනුවට තනි සුදු පාසල් නිළ ඇඳුමකින් සැරසුණු කණ්ඩාව එදා  ආනන්දයට කැටුව ගියේ කණ්ඩාගේ තාත්තාය. ඒ යන අතරතුරත් කණ්ඩාගේ ඔලුවේ වැඩ කලේ සිරි බාප්පාගේ පරිප්පු කතාවය …

ඒ කණ්ඩා ආනන්දයට පා තබන මුල් වතාව උවත් ආනන්දය ගැන කණ්ඩාගේ මුල්ම මතකය එයිනුත් ඔබ්බට යන්නේය …

ඒ කතාව ඇරඹෙන්නේ කණ්ඩා සුභාරතියේ උගනිමින් ඉන්නා සන්දියේ කණ්ඩාගේ දෙමව්පියන් කණ්ඩාවත් කැටුව කොළඹ විහාරමහාදේවී උද්‍යානය කොටසක ඇති සතුටු උයනේ පවත්වන්නට යෙදුනු සුවිශාල සල්පිලකට ගොඩ වැදීමත් සමගය …

“ආනන්ද 103” යනුවෙන් තඩි බෝඩ් ලෑලි සහ බැනර් විශාල ප්‍රමාණයක් ඇතුළු වීමේ දොරටුව උඩින් මෙන්ම අහල පහල හැම තැනම ඉතා අලංකාරව එල්ලා  තිබුණු සැටි මතකයේ රැඳවී ඇත්තේ එවන් සල්පිලකට කණ්ඩා ගොඩ වූ මුල්ම වතාව නිසා විය හැක  …

බෝඩ් ලෑල්ලේ ලියා තිබුණු දේ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්කුවත් එය දිවයිනේ ප්‍රසිද්ධ කොලීජියක් බවත් සල්පිල පවත්වන්නේ කොලීජියේ වැඩ කටයුතු වලට මුදල් ආධාර ගැනීමට බවත් තාත්තා පැවසුවා කණ්ඩාට යන්තමට මෙන් මතකය.

කණ්ඩා අසා ඇති ආකාරයට ඉස්කෝල සඳහා අවැසි මුදල් හදල් දෙන්නේ ආණ්ඩුවෙන්ය, එහෙව් එකේ සල්පිල් වලින් ඇති පලය කුමක්ද යන්න කණ්ඩාට එකල අන්ඩර දෙමළයක්ම විය.

අනික සුභාරතියේ නම් ඔවැනි ලොකු ලොකු උත්සව තිබුනේම නැත. තිබුනා නම් ඒ ඉඳ හිට ඉස්කෝලය ඇතුලේම හෝ ක්‍රීඩා පිටියේ තිබුණ පොඩි පහේ උත්සවයක් පමණි.

කෙතරම් බලාපොරොත්තු තබාගෙන සිටියත් අවාසනාවකට කණ්ඩා ඇතුළු නඩය සල්පිලට ගොඩවැදුන දින හැන්දෑකරයේ වැහි දෙවියෝ කණ්ඩා සමග පරණ කෝන්තරයක් පිරි මැහීමට ඇද හැලූ අනෝරා වැස්සක් නිසා හොල්මන් මන්දිරය සහ චිත්‍රපටි කූඩාරම ආදී  කිහිපයක් හැරෙන්නට සතුටු උයනේ ඇති මෙරිගෝ රවුන්ඩ් වැනි  විශේෂාංග, විනෝද සවාරි බොහොමයක් වසා දමා තිබුණේය …

සල්පිල් කූඩාරම් අවට අලංකාර ලෙස සරසා තිබුන ලයිට් වැල් පවා තැනින් තැන නිවා දමලාය , ඒ වැස්සට තෙමී ගිනි ගැනීම වැලක්වීමටලු… ඉතින් වහිනකොට තෙමෙනවනෙ, ගිනි ගන්නෙ කොහොමද  ?

මේ ප්‍රහේලිකාව කණ්ඩාට තේරුනේ නැත … අනික කොයිතරම් දුක් වුනත් එයින් පලක් නැත, සල්පිල වැස්සට හේදිලාම ගිහිල්ලාය !

ඉතින් බලාපොරොත්තු සුන් වූ කණ්ඩා එතැන ජල්ලි අල්ලන එක නැවැත්වීමට සහ දුක තුනී කිරීම වස් බොම්බයි මොටයි, අයිස් ක්‍රීම්, සරුවත් සහ අච්චාරු ආදී කඩචෝරු වලින් කණ්ඩාගේ හිත සැනසීමට දෙමව්පියන්ට සිදු විය. අවසානයේ කණ්ඩා ප්‍රථම ත්‍යාගය අමතක කර දමා සැනසිලි ත්‍යාග වලින් හිත හදා ගත්තේය !

ඉතින් සම්මුඛ පරීක්ෂණය සඳහා ආනන්දයට එන ගමනේදීත් පාර දිගට තාත්තා මේ පැරණි කතන්දර සියල්ල කණ්ඩාට නැවත මතක් කරන්නට යෙදුනේ සම්මුඛ පරීක්ෂණයෙදී තම සායම නොයවන බවට පොඩි පහේ අනතුරු ඇඟවීමක්ද සමගිනි !

එකල අප පවුලේ එකම වාහනය වුයේ තාත්තාගේ CD 90 මෝටර් සයිකලයයි. අනෙක් බොහෝ ගමන් බිමන් වලට මෙන්ම කණ්ඩා ආනන්දයට පිය තැබූ කුළුඳුල් ගමන යෙදුනේද තාත්තාගේ මෝටර් සයිකලයේමය.

වැලිපිල්ලෑවේ සිට තාත්තා සමග මෝටර් සයිකලයේ නැගී බොරැල්ල හරහා මරදාන තෙක් පැමිණි ගමන කණ්ඩාට ලොකු අමුත්තක් නොවුනේ බොරැල්ල නෝනා වාට්ටුව හෙවත් රිජ්වේ ළමා රෝහලටත්, මරදාන සුදුවැල්ලේ පිහිටි තාත්තාගේ කන්තෝරුවටත් කණ්ඩා බොහෝ වතාවක් පැමිණි ඇති නිසාය.

සති අග දිනයක් වූ එදින වෙනදා මෙන් බොරැල්ලේ සහ මරදාන පාර දිගට කලබලයක් නොමැත, ඉතා සාමකාමීය. මරදාන පාර දිගේ විත් මෝටර් සයිකලය ආනන්දයේ ගේට්ටුවට එපිටින් පිහිටි රථ ගාලෙහි රැඳවා බිමට බට කණ්ඩාගේ නෙත ගැටුනේ ඒ ආසන්නයේම පාරේ මතු වී තිබූණු පරණ ට්‍රෑම් රේල් පීලිය.

(එදවස මරදාන පාර දිගේ පුංචි බොරැල්ල, ඇක්වයිනාස්, මරදාන දුම්රියපොළ ආසන්න පෙදෙස් පුරාද තැනින් තැන මෙවැනි පරණ ට්‍රෑම් පීලි මතු වී තිබුණා කණ්ඩාට මතකය)

ananda-college-from-maradana-road

ඉතින් පැමිණි කාරණා සියල්ල පසෙක තබා, මහ පාරේ කොච්චි පීලි දමා ඇත්තේ ඇයි ? දැන් කොච්චි දුවන්නෙ නැත්තේ ඇයි ? සුද්දන්ගෙන් පසුව අලුතෙන් කොච්චි පාරවල් වලට දමන්න බැරිද ? ආදී නොයෙකුත් ප්‍රශ්න අසමින් කණ්ඩා තාත්තාට පරාල ඇණයක්ම වූ බව නොකියාම බැරිය  😀

කණ්ඩාගේ වදෙන් බේරෙන්නට වටින් ගොඩින් උත්තර දුන් තාත්තා, කරදර නොකර යමු  ළමයෝ ඇතුලට ආ වැඩේ කර ගන්න…! කියමින් සුදු පාසල් නිළ ඇඳුමින් සැරසුන කණ්ඩාවත් ඇදගෙන ගාම්භීර සුදු තාප්පය පසු කරගෙන විත් කාල වර්ණ ප්‍රධාන දොරටුවෙන් ආනන්ද විදුහල් බිමට ඇතුළු වූ හැටි අදටත් කණ්ඩාට මැවී පෙනෙන්නා සේය …

බැලූ බැලූ අත අලංකාර ලෙස නිම වූ සුවිශාල ගොඩනැගිලිය, මේ ගොඩනැගිලි  සුභාරතියේ මෙන් දුර්වර්ණ වූ කහ පැහැ සමර වෙනුවට සුදෝ සුදු පාටින් බබලන තීන්ත වලින් හැඩ වැඩ වෙලාය …

මේ හැම දේටත් වඩා කණ්ඩාගේ සිත් ගත්තේ විදුහල් බිමට ඇතුළුවීමටත් ප්‍රථම අහස උසට ප්‍රතාපවත්ව නැගී සිටි සුදු පැහැයෙන් බැබලෙන ආනන්ද විහාරයයි, කණ්ඩා පසු කලෙක දැන ගත්තේ ආනන්ද විහාරය ගොඩ නගා ඇත්තේ මහා බෝධි විහාරයේ ආකෘතියක් ලෙස ගනිමින් බවයි …

(ඉතා උස වහලකින් යුතු වූ ආනන්ද විහාරයට ඇතුළු වූ කල්හි මරදාන පරණවාඩිය අවට පරිසරය කෙතරම් කර්කෂක උවත් ගතට මෙන්ම සිතටත් ඇති වන්නේ මහත් සිසිලසකි )

එදවස සුදුවැල්ල ඩාර්ලි පාරේ පිහිටි තාත්තාගේ කාර්යාලයට නොයෙක් වර ආගිය ගමන් වලදී ආනන්ද විහාරය දුරින් දැක තිබුනත් විහාරය අසලට ගිය කල සිතට දැනෙන වෙනස වචනයෙන් විස්තර කිරීමට අපහසු, විඳීමෙන් පමණක් වටහා ගත හැකි හැඟීමකි.

ඒ සඳහා වචන භාවිතය නිෂ්ඵල උවත් එදත් අදත් කණ්ඩා දැක ඇති දහස් ගණනකගේ වැඳුම් පිදුම් ලබන ලොව අලංකාරතම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මේ විහාර ගෙයි වැඩ වසන බව නොකියාම බැරිය !

කණ්ඩා මෙන්ම තවත් සිය ගණනක් ළමුන් තම දෙමාපියන් සමග සම්මුඛ පරීක්ෂණ වෙත මුහුණ දීම සඳහා පැමිණ සිටියෝය…

ananda-vihaaraya

(ආනන්ද විහාරය)

සම්මුඛ පරීක්ෂණ පැවැත්වූයේ සිංහල උළු හෙවිල්ලූ පැරණි සිරියාවන්ත ගොඩනැගිල්ලකය (මේ ආනන්දයේ පැරණිතම ගොඩනැගිල්ල වන ඕල්කට් ශාලාවයි). ගුරුවර ගුරුවරියන් දෙපල බැගින් සැදුම්ලත් පරීක්ෂණ මඩුලු කිහිපයක් ඉතා කාර්යක්ෂමව සිය ගණනක් වැඩි ළමුන් පිරිසක් තෝරා බේරා අහවර කිරීමට රාජකාරියේ යෙදෙන්නේය …

සම්මුඛ පරීක්ෂණයට අඩ හෝරාවක් පමණ ඉතිරිව තිබුන බැවින් කණ්ඩා කලේ තාත්තාවත් ඇදගෙනගොස් වට පිට සිරි නැරඹීමයි …

ආනන්ද විහාරය, සම්මුඛ පරීක්ෂණ පැවති ගොඩනැගිල්ලට මුහුණලා පිහිටි සුවිශාල පස්මහල් ගොඩනැගිල්ල, එයට පසෙකින් අලංකාරව නිමවුණු දෙමහල් විදුහල්පති කාර්යාලය, ඕල්කට් ශාලාව පිටුපස දැල්පන්දු පිටියට යාබදව ඇති කුඩා නමුත් සෙවන සදන වන වගාව මෙන්ම රැස්වීම් ශාලාවත් (කුලරත්න ශාලාව) බෙහෙවින් කණ්ඩාගේ සිත් ගත්තේය …

විස්මලන්තයකට පිවිසුනා හා සමාන අළුත් අත්දැකීම් බොහෝමය … නෙත ගැටෙන නොයෙක් අලුත් දේ සමග කණ්ඩා එතෙක් උගත් සුභාරතිය හා සැසඳෙන්නේ ඉබේටමය, මේ ඉස්කෝලේ රැස්වීම් විතරක් තියන්න වෙනම ශාලාවක් තියන එක අරුම පුදුම දෙයකි …

සුභාරතියේ නම් කෝකටත් තෛලය වාගේ පොඩි පහේ ඉස්ටේජ් එකක් සමග තිබුණු දිග පන්ති කාමර ගොඩනැගිල්ල මේ හැම දේටම සෑහුනේය …

buddhda-statue-in-ananda-viharaya

(මාපලගම විපුලසාර හිමියන්ගෙන් ආනන්දය ලද දායාදය ~ ආනන්ද විහාරයේ බුදු පිළිම වහන්සේ)

අහල පහල සවාරි ගැසීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණය සඳහා කණ්ඩාගේ වාරයත් උදා විය …

ගුරුවරයෙක් සහ ගුරුවරියකගෙන් සැදුම් ලත් පරීක්ෂණ මණ්ඩලය කණ්ඩාගෙන් මෙන්ම පියාගෙන්ද නොයෙක් ප්‍රශ්න විමසුවේය …

නම ගම ඉගෙන ගත් විදුහල අරුණකොට වැඩිමනක් ප්‍රශ්ණ කණ්ඩාගෙන් නම් අඩුවේ නැත. මේ අතරතුර එහි සිටි ගුරුවරයෙක් අපෙන් සමාව අයැද මේසයෙන් ඉවත්ව ගොස් එතන සිටි තවත් මැදිවිය පසු කරන ජේෂ්ඨ ගුරුමහතෙක් හමු වී කණ්ඩාගේ අයදුම් පත් පෙන්වා මොනවදෝ මුමුනණවා පෙනුනි …

ඒ සංවාදයෙන් කණ්ඩාට ඇසුනේ නෑ .. නෑ .. ප්‍රශ්නයක් නැහැ ! කියමින් ජේෂ්ඨ ගුරුමහතා ඔලුව වැනූ එක පමණි … එයින් සෑහීමකට පත් වී නැවත අප මේසය වෙත පැමිණි ගුරුවරයා සමගම තාත්තා අසලට පැමිණි ජේෂ්ඨ ගුරුභවතා මේ අය දකුණු පළාතේ මුල් බැහැපු උදවියනේ … පරීක්ෂක මණ්ඩලයට අපව පෙන්වා පවසමින් තාත්තා සමග කතා බහකට වැටුණේය !

මහත්මයා  ******  මහත්තයා අඳුනනවාද ? යනුවෙන් තාත්තාගෙන් විමසනවා කණ්ඩාට මතකය … ඔව් දන්නවා..? යනුවෙන් පිළිතුරු දුන් තාත්තා ගුරුමහතා සමග සුලු වේලාවක් සුහදව පිළිසඳරේ යෙදුනා මතකය … දන්නා කියන විදිහට මේ කතා බහට හේතුව තාත්තාගේ පියා මෙන්ම මේ ගුරුභවතාද බෙන්තර ගඟෙන් එහා උදවිය වීමයි !

(මේ ගුරු මහතා පසු කලෙක ආනන්දයේ 6-7-8 අංශ ප්‍රධානියා බවට පත් වුණේය, ඒ ගැනද කියන්න බොහෝ දේ ඇතිමුත් එය පසුවට කල් තබන්නේය)

එමෙන්ම තාත්තාගෙන් පසුව දැනගත් ආකාරයට නම් මේ කතාබහට මුල පිරිමට හේතු පාදක වී තිබුනේ කණ්ඩාගේ උප්පැන්නයේ සහතිකයේ වූ සිංහලයට තරමක් නුහුරු නුපුරුදු වාසගමට අනුව ජාතිය නොගැලපීමෙන් ඇති වූ කුතුහලයක්ය !

ඒ ගැටලුවත් කරදරයකින් තොරව නිරාකරණය වූ නිසාදෝ තවත් කෙටි කතා බකින් සහ පරීක්ෂණ මණ්ඩලය සමග අනෙකුත් ලියකියවිලි හුවමාරුවකින් අනතුරුව සම්මුඛ පරීක්ෂණය අහවර විය !

ඉතින් දැන් කුමක් සිදුවන්නේද ? පාසැල් ආරම්භ වන්නේ කවදාද ?  අච්චර සිය ගණනක් ලමයි ඉන්න හන්දා වැරදිලාවත් කණ්ඩාව ඉස්කකෝලෙට ගන්න බෑ  කියාවිද ? අටෝරාසියක් ප්‍රශ්ණ කණ්ඩාගේ හිතේ තෙරපෙන්නේය …

ආයෙත් තාත්තාට කරදර කලොත්  හැමෝම ඉස්සරහ විලි ලැජ්ජාවේ පණ යාමට ටොකු පූජාවක් ලැබීමටද ඉඩ ඇත !

ඉතින් අමාරුවෙන් නමුත් නලියන කට පියාගෙන කණ්ඩා තාත්තාත් සමග ආනන්දයෙන් පිටව ආවේ නොබෝ කලකින් ලක්ෂ සංඛ්‍යාත සිසුන් අතරින් ඉතාමත් අතලොස්සකට උරුම වන ආනන්දීයයකු එහෙමත් නැතිනම් පරිප්පුවෙකු බවට පත් වීමේ දැඩි බලාපොරොත්තුව සහිතවය …!

~ මතු සම්බන්ධයි !

Advertisements