ගං ඔටුවා සහ රජ ඔටුවා !

camels

බොලොග් කටුවට කොටන්නේ මක්කදැයි සිතමින් ඔලුව කහමින් කල්පනා කරන අතරතුර කණ්ඩාගේ ටිකිරි මොළයට නැවතත් ආවේ ඔටුවන් ගැනමය … කණ්ඩාට ඔටුවන් පත්තියන් වෙලා යයි රට්ටු කයි කතන්දර හැදීමට ඉඩ ඇත … නමුත් කණ්ඩාට තවම එහෙමටම පයිත්තියං නැත !

පුරස්නය නම් ඔටුවන් ගැන නොලියාම බැරි රස කතා හැට හුටහමාරක් උඩ මතු වීමට පොර බදමින් කණ්ඩාගේ ඔලු ගෙඩිය තුළ කැකෑරීමය …

ඉතින් ඔටුවන්ගෙන් සහ ඌරන්ගෙන් බේරී වෙන මාතෘකාවකට ඇතුල් වෙන්න හැදුවත් අන්තිමට වටයක් ගසා ඇවිත් ඇත්තේ ගමන ඇරඹු තැනටමය …

කණ්ඩා බොහෝ විට ලියන කියන ඔටුවන් මෙන්ම මේ කියන්නට යන උන්ද දෙපා වරිගේ එවුන්ය …

එකම වෙනස මේ කියනා උන් මැදක් නැති පෙරදිග වෙසෙනා අණක් ගුණක් නැති ඔටුවන් මෙන් නොව සිරි ලංකාවේ ඉපිද සිරි ලංකාවේම උස් මහත් වූ හදවතින්ම සිරි ලාංකික එවුන් වීමයි … එබැවින් මොවුන්ගේ නිවැරදි විද්‍යාත්මක නාමය Camelus Celonicus විය යුතුය !

මේ කියන ඔටුවන් වනාහි අන් කිසිම ඔටුවෙකුට නොදෙවෙනි කණ්ඩාත් සමග සෑහන කාලයක් තිස්සේ ආනන්දයේ එකට අකුරු කල අපේම ඔටුවන්ය …

කණ්ඩා ඒක වචන භාවිතා නොකර “ඔටුවන්” ලෙස බහු වචන භාවිත කලේ … ආනන්දයේ සහස්‍ර කණ්ඩායමේ ඔටුවන් දෙදෙනෙකු සිටි බව කියන්නට උවමනාය නිසාය …

ඔටුවා කී පමණින් ආනන්දයේ සහස්‍ර කණ්ඩායමේ සියල්ලන්ම පාහේ විමසනු ඇත්තේ එකම එක ගැටළුවකි,

ඒ ගං ඔටුවාද ? බ්‍රෝඩ්කාස්ටින් ඔටුවාද ? යන්නයි, එය පැහැදිලි කරගත් පමණින් සියල්ලෝම සතා හඳුනන්නෝය !

කතා බහේදී ඔටුවන් දෙදෙනා වෙන් කර හඳුනා ගැනීම සඳහා වෙන ක්‍රමයක් තිබුනේ නැත. කණ්ඩාට මතක විදිහට ගං ඔටුවාගේ නම අගටත් ගං කෑල්ලක් විය. එනිසා මේ ඔටුවාට ගං ඔටුවා කීමේ කිසිඳු වරදක් නැත්තේය !

බ්‍රෝඩ්කාස්ටින් ඔටුවා හා සසඳන කල ගං ඔටුවා හොඳටෝම අහිංසකයෙකි … නමුත් මොකද්දෝ හේතුවකට හෝ අහේතුවකට ගං ඔටුවා ආනන්දයට ඇතුළු වී තිබුණේ වැරදි නැකතකය … එදවස මූ සමග මොන සංවාදයේ නිරත උවත් කුමක් හෝ ගොන් පාට් කතාවක් ලාවට ඇද බාන්නේය …

ඕනෑම දෙයක්  … ඕනෑම කෙනෙක් විහිලුවට එහෙමත් නැතිනම් බයිට් එකට ගන්න කට බලියන් ඉන්න අපේ පරිප්පුවන් හට මේ පොඩි දෙයත් හොඳමෝම ඇතිය …

අනේ ඉතින් ගං ඔටුවා කොපමණ හොඳක් කරන්න හැදුවත් ඉන් අත් වෙන්නේ අවැඩක්මය … හත් පොළේ ගාගෙන බයිට් වෙන ඔටුවා සැනෙකින් ආඳෙක්  බවට පත් වී ලිස්සා යන්නේය …

කණ්ඩාගේ දිවියේදී ඇති තරම් මූනිච්චාවට හිනා වී පිටි පස්සට පිහියෙන් අනින උන්, කුපාඩියන්, බොරු කප්පිත්තන් හමු වී සහ ඇසුරු කර ඇත්තේය … (මෙවන් උදවිය ඇසුරු කර ඔලුව කෙලින් තබාගෙන හිටියොත් විස්ස විජ්ජාල ගියාටත් වැඩි දැනුමක් ඉන් ලැබෙන්නේය !)

කණ්ඩාට සහතික විය හැක්කේ ගං ඔටුවා ඔය කී ජාතියේ එයින් එකෙකු නොවන බවය … ඌ කාහටවත් කරදරයක් නැති හිත හොඳ ඒකාය …

බ්‍රෝඩ්කාස්ටින් ඔටුවා වනාහී  ගං ඔටුවා මෙන් නොව ලෝකය කා වතුර බීපු නොම්මර එකේ බඩුවකි ! කොටින්ම කිව්වොත් එසේ මෙසේ ඔටුවකු නොව රජ ඔටුවෙකි … උගේ නමටත් ඔය කියනා රජ කෑල්ලක් ඇත්තේය … 😀

කණ්ඩා ලිවීමට කැමති මුත් කොම්පියුටරේ භාවිත කර හෙළුවෙන් කෙටීමට කම්මැලියෙකි. බ්‍රෝඩ්කාස්ටින් ඔටුවා යනුවෙන් ලිවීමට වැඩි අකුරු ගණනක් යෙදීමට සිදුවන්නේය, එමෙන්ම එය සිංහලෙන් කෙටීමට තවත් වෙලාවක් යන්නේය …

එනිසා මින් මතු කණ්ඩා මේ ඔටුවාට රජ ඔටුවා නමින් නම් තබන්නේය … ඉතින් කවුරු මොනවා කිව්වත් මේ නම ගැලවීමට නොහැක්කේය !

(දැන් කණ්ඩාත් හිටං අරිසෙන් අහුබුදු ශූරීන් හා සමය … පොඩි වෙනසකට ඇත්තේ කණ්ඩා දමන නම් දිවේ ගැට නොවැටී කාහටත් කියවීමට පුළුවන් ඒවා වීම පමණි ! එනිසා මෙතැන් පටන් කණ්ඩා හට කණ්ඩා ශූරීන් කියා ඇමතුවාට කණ්ඩාගේ අමනාපයක් නොමැත්තේය :D)

කණ්ඩාට ඔටුවා හා සම්බන්ධ සියලුම කතා වස්තු මතක නැතිමුත් ඉන් ගැටළුවක් නැත්තේය …

මක්නිසාද යත් මෙම බ්ලොග් පිටුව පිට වූ පසු මේ සඳහා අවැසි අටුවා ටීකා ටිප්පණි සහ ගැට පද විවරණත් සැපයීමට කණ්ඩාගේ යහළු පරිප්පුවන් පෙළ ගැසෙන බව ටක්කෙටම දන්නා නිසාය  …

රජ ඔටුවා ගැන බ්ලොග් පිටුවක් නොව වෙනම නව කතාවක් උවත් ලියන්ට පුළුවන් තරම් කතාන්දර කණ්ඩාගේ සමකාලීනයන්ගෙන් අසා දැනගත හැකිය …ඉතින් ආනන්දයේ ආ ගිය කතා කියන්නට නව කතාවක් ලියන්නට පටන් ගත හොත්, ඉන් එක වෙළුමක් රජ ඔටුවා වෙත වෙන් කරදීමට අපි බැඳී සිටිමු !

මතක ආකාරයට නම් රජ ඔටුවාගේ ගම මීරිගමය, දිනපතා ආනන්දයට මීරිගම සිට පැමිණියේ කෝච්චියෙන් හෝ පාසැල් බසයකය !

මූ ඔටුවෙක් උනාට ඒ දවස් වල නම් ඉඳ හිට අනිත් පරිප්පුවන් සියල්ලම සේ ඌරු වැඩත් කරන්නේය … කෑමට පෙර හෝ පසු අත සේදීම කන බොන තැන පිරිසිදුව තබා ගැනීම ඔටුවාගේ එදිනෙදා ප්‍රශ්න වල නැත …

ඔටුවාගේ න්‍යාය අනුව ඔටු බාසාවෙන් කියනවා නම් ඌරන් වන අපට සෞඛ්යය අදාලම නැත !

එනිසා ඌරන්ට මොන සෞඛ්යයද මල්ලි … ??? යන්න නිබඳවම ඔටුවාගේ මුවේ රැඳුන පදයකි …

පැරණි ආප්තෝපදේශ කතාවක් වන “කුඩාරමට රිංගූ ඔටුවාගේ කතා වස්තුව” ලියන්නට ඇත්තේ අපේ රජ ඔටුවා වැනි එකෙක් දැක ආස්සරය කිරීමෙන් ලද අත්දැකීමෙන් විය යුතුය !

දවල් කෑම වෙලාවට බත්පතට එබෙන රජ ඔටුවාව දුම්මල ගහලාවත් මිරිස් පුච්චලාවත් පලවා හැරිය නොහැක … ඔටුවාගේ එක අහුරකට අපේ බත් පතෙන් අඩක් පමණ යන්තමට සෑහේ …

අම්මලා උදේ පාන්දර 4-5 ට නැගිට මහන්සියෙන් බෙදා දෙන බත් පතෙන් අඩක් ගිල්ලේ කවුරුන්දැයි කවදා හෝ ඇසුවොත් ඇඟිල්ල අනිවාර්යයෙන් දික් වෙන්නේ ඔටුවා දිහාටය … ඉතින් අපේ ඔටුවාගේ ක්ෂුදාගින්න නිවූ පින අපේ අම්මලාට හිමි විය යුතුය  😀

කණ්ඩා ඇතුළු අනෙක් පරිප්පුවෝද සුද්දවන්තයින් නොවේ, අල්ලපු පන්තියකට පැන කාගේ හරි බත්මුලකට අපිද ගරිල්ලා ප්‍රහාර එල්ල නොකලේ කලාතුරකිනි !

නමුත් රජ ඔටුවා මෙයිට සහමුලින්ම වෙනස්ය … ඔටුවා කිසිම විටෙක එක පන්තියකට සීමා වූ අයෙකු නොවේ, වෙනත් අංශ, පන්ති ආදී කිසිම වැට කඩුල්ලක් නොතැකූ ඔටුවා එකල ආනන්දයේ සිටි අන්තර්ජාතික බත් ගුල්ලෙකි !

රජ ඔටුවා උගත්තේ පොතේ පතේ දැනුමට පමණක්ම කැප වූ බාලිකාවන් උගත් ශුද්ධ වූ භද්‍රාගේ කන්‍යාරාමය හෙවත් ජීව විද්‍යා අංශයයේය  (Bio Science Section also known as St. Bhadra’s Convent).

ජීව විද්‍යා අංශයේ අංශ ප්‍රධානියා වූ භද්‍රා මැඩම් කර දඬු උස මහත් උවත් උසස්පෙළ සිසුන් දෙස බැලුවේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ළමුන් දෙස බලන ඇසකිනි, එසේම ආනන්දයේ ඉන්නේ කොල්ලන් මිස බාලිකාවන් නොවන බව ඇයට වැටහුනාදෝ යන්න අදටත් ගැටලුවකි …

භද්‍රාවෝ තම පරම පිවිතුරු මල් වැනි කන්‍යාරාමයේ උගත් සිසුවියන් පාලනය කලේද බොහෝදුරට ඒ අකාරයටමය … මෙය ජීව විද්‍යා අංශයේ එවුන් ඇරෙන්නට අන් හැමගේ නිරන්තර උසුළු විසුළුවට පාත්‍ර වූ කාරණයකි …

භද්‍රාවන්ගේ මොන අඩු පාඩු තිබුනත් එක හොඳක් කණ්ඩා දකින්නේය … ඒ තම කන්‍යාරාමයේ සියලු සිසුන්ගේ මුහුණු මතක තිබීමයි, මේ කාරණාව නිසා අනෙක් නැහැදිච්ච කොලු නඩයට කන්‍යාරාමයට ඇතුළු වීම සපුරා අකැපය !

නමුත් කන්‍යාරාමය ගැන කී කයි කතන්දර ඔටුවාට අදාළ නැත… වලං කඩේට කඩන් වැදුන ඔටුවා මෙන් හැම අංශයකටම කඩා වදින ඔටුවා භද්‍රාරාවන්ගේ කනින්ද රිංගා කන්‍යාරාමයේ මෙන්ම අනෙත් සියළු අංශයන්ගේම බත් මුල් පිරික්සීමේ රාජකාරිය කිසි පටලැවිල්ලකින් තොරව කරගෙන ගියේය !

රජ වැඩ්ඩෙකු වූ රජ ඔටුවා දිවා විවේකයේ විනාඩි 20 ක් ඇතුලත කණ්ඩා උගත් ගණිත අංශයට (Mathematics) අමතරව වාණිජ අංශය (Commerce) මෙන්ම කලා අංශයද  (Arts) ආක්‍රමණය කළේය !

මෙලෙස අට වසක් තිස්සේ ඔටුවාව හදා ගැනීමට කණ්ඩා ඇතුළු සියලු පරිප්පුවන් නොගත් උත්සාහයක් නැත  … නමුත් මොනවා කියුවත් මොනවා කලත් ඔටුවා ඔටුවාමය !

සහෝදර පරිප්පුවන් කෙතරම් උත්සාහ කලත් ඒ සියල්ල ගඟට කැපූ ඉණි මෙන් නිෂ්ඵල වූ බව පවසන්නේ සාතිශය සංවේගයෙනි !

එහෙයින්ම විවේක කාලය තුල කඩිමුඩියේ ගිල දමන ආහාර වේල ඔටුවාත් සමග ජල්ලි අල්ලන්නට පුළුවන්  ශක්තිවන්තයින් පමණක් ජය ගන්නා (Survival of the Fittest) තත්වයට පත් වූයේ නිරායාසයෙනි.

දිවි රැක ගැනීමට නම් ඔටුවාගේ බජාර් එකට ගිය කල ඔටුවෙකු සේ ජීවත් විය යුතු බව ලෝකෝත්තර සත්‍යයකි. එබැවින් ඔටුවා හදන්නට අපොහොසත් වුවත් ඒ වෙනුවට ඇති එකම විකල්පය ලෙස අපිද ඔටුවන් සහ ඌරන් ලෙස හැඩ ගැසී දිවි රැක ගත්තෙමු !

ඔයිට අමතරව පිදුරුතලාගලටත් ටිකක් වැඩිවෙන තරමට ගිල දැමූ බත් කඳු වලට පිං සිද්ධ වන්නදෝ ඔටුවා වනාහි මල්ටි ටාස්කින්, මල්ටි ටැලන්ටඩ් පොරකි (Multi Tasking & Multi Talented), වචනයේ පරිසමාප්තයෙන්ම ඕල් රවුන්ඩරයෙකි !

(කණ්ඩා එලොවටත් නැති මෙලොවටත් නැති තමන්ටත් වැඩක් නැති උන්ට වඩා මෙවැනි උන් අතිශය ප්‍රිය කරන්නේය…)

ඔටුවා ආනන්දයේ එකල හිටි දක්ෂතම නිවේදකයෙකි, නාට්‍ය කාරයෙකි ඒ මදිවාට මළල ක්‍රීඩකයෙකි …!

ඉස්සර කණ්ඩා ඇතුළු වක්පොලුකාරයන් (Hockey) පුහුණු වීම් කරන අතරතුරදී පිට්ටනියේ ඈත කෙළවරක රජ ඔටුවා ඇතුළු මළල ක්‍රීඩකයෝ චුට්ටේගෙන් ** කන් ඈත වෙන්න හතර වරම් බැනුම් අසමින් පුහුණු වීම් කරනවා කණ්ඩාට අදටත් හොඳින් මතකය !

** කණ්ඩලාට ඒ දවස් වල උඩ පැන අමාරුවෙන් කනේ පහර දෙන , පාංශුදේහධාරී කන්දොස්තර  කෙනෙකු වූ මළල ක්‍රීඩා භාර ගුරුතුමා (Master in Charge)ළඟ පාත නැති තැන අපි ආදරයට ඇමතුවේ චුට්ටේ කියාය.

මළල ක්‍රීඩා උළලේ තෑගී බෙදාදීමට තිබූ වේදිකාව හෙවත් පොඩියම් (Victors Podium) එක පාවිච්චි කලා නම් උඩ පැන කණේ පහර ගැසීමට සිදු වන්නේ නැති උනත් කවුරුවත් එය චුට්ටේට කියන්නට ගියේ නැත !

ඒ කොයි වෙලාවේත් මූලගින්න තද වූ චුට්ටේ ඇති ගෞරවය මෙන්ම, අපි අපගේ කන් වලට ඇති ආදරයද හේතුවෙනි !

කොයිතරම් කණේ පහර දුන්නත් චුට්ටේ හොඳ හිතක් තිබුණු මනුස්සයෙකි, එකල ආනන්දයේ මළල ක්‍රීඩාවට ඔහු අතින් සිදු වූ සේවාව මළල ක්‍රීඩාවට කිසිම සම්බන්ධයක් නැති කණ්ඩා වැන්නවුන්ද දැන සිටියේය.

සහෝදර නාලන්දා විදුහල සමග යෙදෙන මහා ක්‍රිකට් තරගයට (Big Match)සමගාමීව පැවැත්වෙන ගුරු භවතුන්ගේ ක්‍රිකට් තරඟයේදී චුට්ටේ පිටියට බසින කල ලැබෙන අත්පොලසන් හඬ සහ ජය ඝෝෂාව මීට හොඳම සාධකයෝය

**

මේ විවිධ  අතුරින් ඔටුවා එදත් අදත් වඩා දක්ෂ සහ ක්‍රියාශීලී  නිවේදකයෙකු හැටියටය … කණ්ඩාට මතක ආකාරයට එවකට ආනන්දයේ ශබ්ද විකාශන ඒකකයේ  ප්‍රධාන සිංහල නිවේදකයා වශයෙන් කටයුතු කලේද සහස්‍ර කණ්ඩායමේ රජ ඔටුවාමය !

සවිමත් ගැඹුරු කටහඬක් හිමි ඔටුවා, ජන සංනිවේදනයෙන් කෙල පැමිණි ප්‍රේමකීර්තිද අල්විස්, ඉමිතියාස් බකීර් මාකර් සිට කිංස්ලි රත්නායක දක්වා පැමිණි ප්‍රසිද්ධ පරිප්පුවන් මෙන්ම නේක අප්‍රසිද්ධ දක්ෂයන්ගේ තොතැන්නක් වූ ආනන්දයේ අපේ කාලයේ පුරුකකි …

ඒ දවස් වල නම් දිවා විවේකයේ ඔටුවාගේ දසුන ඇඟ කිලිපොලා යන එකක් උවද අද විවිධ උත්සව, වැඩ සටහන් වේදිකා වල ඔටුවා දැක ගැනීමට හැකි වීම කණ්ඩා ඇතුළු පරිප්පුවන් හට මහත් සතුටක් ගෙන එන්නේය… ඒ අපිත් එක්ක එක බත් පංගුව බෙදං කාපු අපේ එකෙක්ය යන හැඟීම අදටත් ඇති නිසාය !

ඉතින් ඔටුවන් ගැන ඇති තරම් ලියු නිසා කණ්ඩා අදට මෙතැනින් නවතින්නේය … ඉදිරියට කාල වේලාව තිබෙන පරිදි ඉබ්බන් ගැන පවා ලිවීමට හිතාගෙන සිටින්නේය !

~ මතු සම්බන්ධයි !

පරිප්පුවන්ගේ කතා ~ I කොටස ~ තවත් එක පරිප්පුවෙකුගේ ආගමනය !

පරිප්පුවන්ගේ කතා ~ III කොටස ~ මා (නො)කළ උසස් පෙළ …