චාන්දනී ටීචර් සහ කණ්ඩාගේ ඔල මොට්ටල වැඩ !

ඉස්කෝලේ පළමු දවස, තාත්තා සහ චාන්දනී ටීචර් ...
ඉස්කෝලේ පළමු දවස, තාත්තා සහ චාන්දනී ටීචර් …

කණ්ඩාගේ තාත්තා කොලුවාව හා හාපුරා කියා පන්තියට භාර දුන් අතර කණ්ඩාව වැටුනේ “1 – රෝස” කියන පංතියටය , පන්තිය භාරව හිටියේ බොහොම කරුණාවන්ත තරුණ ගුරුතුමියකි.

ඇගේ නමින් හඳුන්වනවා නම් චාන්දනී ටීචර්ය, ඇය කණ්ඩා වැනි පොඩි ළමයින්ට හරි කරුණාවන්තය එමෙන්ම පුදුමාකාර ඉවසිලිවන්ත කමකින් යුක්තය.

අදටත් චාන්දනී ටීචර් ගැන සිහි වෙද්දී ඇය ගැන කණ්ඩාට ඇත්තේ අති මහත් ගෞරවාදරයකි, එමෙන්ම තේමාව මෙම මාතෘකාවට අදාලම නැතත් නිතැතින්ම කණ්ඩාගේ සිහියට නැගෙන්නේ සුනිල් ශාන්තයන්ගේ “මිහිකත නලවාලා …. මග මල් ගන්වාලා …” ගීතයයි.

බොහෝම පිළිවෙළකට සාරිය හැඳ පැළඳ, උදේ පාන්දරම ඉස්කෝලෙට එන චාන්දනී ටීචර්ගේ මුහුණේ කිසිම දිනෙක සිනහවක් වරදින්නේ නැත. එදවස මුළු ඉස්කෝලේම සිටි පියකරුම ගුරුතුමිය චාන්දනී ටීචර් බවට කිසිඳු සැකයක් නැත්තේය !

චාන්දනී ටීචර් එදින හැඳ සිටියේ රෝස පැහැති සාරියකි සමහර විට ඒ පන්තියේ නම රෝස නිසාම විය හැකිය.

එමෙන්ම චාන්දනී ටීචර් හට කණ්ඩාගේ වයසට කිට්ටු වයසක පුතණ්ඩියෙක්ද සිටි බව කණ්ඩාට මතකය, චාන්දනී ටීචර් තරුණ උවත් නොසන්ඩාල කොලු ගැටවු මෙන්ම පොඩි දෙයටත් හූ තියමින් අඬන කෙළි පොඩිත්තියන්ද ආම්බාන් කරන්න පුහුණුව නොඅඩුව ලැබුනේ බොහෝ දුරට මේ නිසා විය හැක.

ඉතින් එකේ කැලෑසියේ ළමයෙකුට (ඔව්, කණ්ඩා ඇතුළු උන් ඒ දවස් වල ළමයින්ය, අද ඉන්නා උන් මෙන්  කොලු තාත්තලා නොවේ !)  මීට වඩා හොඳ ගුරුතුමියක් තවත් හමු වන්නේ නැත !

මුලින්ම පිළිගත් සම්ප්‍රදාය රකිමින් බුලත් හුරුළු දී ගුරුතුමියට වැඳීමේ චාරිත්‍රය අකුරටම සිදු විය … කහඹිලියා ගායෙන් පෙළෙන කණ්ඩා පවා ටික වේලාවකට හෝ එක තැනක තබා ගැනීමට හැකි වීම ගැන තාත්තා පුදුම වූවාට සැක නැත.

චාන්දනී ටීචර් විසින් සිදු කල කෙටි කතාවකින් ළමුන් පන්තියට පිළිගත් පසු එදා දවසේ යෙදුන වැදගත්ම කාරිය වූ දෙමව්පියන් විසින් රැගෙන එන ලද කැවිලි පෙවිළි සංග්‍රහය ආරම්භ විය.

කැවුම්, කිරිබත්, කොකිස්, මුං ගුලි, අලුවා, කෙසෙල් ගෙඩි, තල කැරළි, හැලප  සහ කේක් ආදී බොහෝ රසකැවිලි වලින් යුතු වූ කෑම මේසය පිළිගැනීමේ උත්වසයකට වඩා අවුරුදු කෑම මේසයක සිරි ගත්තේය.

කණ්ඩාට තිබුණු අටෝරාසියක් ප්‍රශ්න සියල්ලක්ම පාගේ අහාර පාන අතර සැඟව ගියේය එනිසාමය … නමුත් කොලු කුරුට්ටන්  හා කෙලි පැටික්කියන් කිහිපදෙනෙක්ම තවමත් ඉකි ගසමින් හඬන්නේය … උන්ගේ දුක නිවෙන්නට උන්ටත් හරි යන්න කණ්ඩා බඩ කට පිරෙන්න තවත් රසකැවිලි ගිල්ලේය …

කෑමෙන් බීමෙන් බඩ මෙන්ම සිතත් පිරුණ කණ්ඩා බමරයක් මෙන් කරකැවී වට පිට බැලුවේය, තාත්තා පෙනෙන්නට නැත චාන්දනී ටීචර් දෙමව්පියන් කිහිප දෙනෙක් සමග බර කතාවකය. ඕපා දූප බලනු හැරෙන්නට වෙන වැඩකුත් නැත්තේය …

food-table

තවත් වටපිට බලන විට කණ්ඩාගේ අවධානය යොමු වුනේ පන්තියේ ඩෙස් පුටු මෙන්ම ඉස්සරහ තාප්පයට ගැසූ කොටු දැල සහිත බිත්තිද  අලුතින් ගෑ පාට වලින් හැඩ වී ඇති අයුරුය.

ශ්‍රමදානයක මාර්ගයෙන් මේ ඩෙස් පුටු සහ පන්තියේ තීන්ත ගෑවේ “1-රෝස” පන්තියේ දෙමව්පියෝය … අම්මා ඒ වන විට මාස ගණනක් වයසැති මල්ලී හෙවත් පොඩි කණ්ඩා ආම්බන් කරගෙන නිවසේ සිටි නිසා අපේ පවුලෙන් මේ වැඩයට එකතු වුනේ තාත්තාය.

කවමදාවත් මෙවැනි පොදු වැඩ වලින් කර අරින සිරිතක් තාත්තාගේ නැත … සතියේ දිනක නම් නිවාඩුවක් දමා හෝ එයට සහබාගී වීම තාත්තා නොවරදවාම කල දෙයකි ! (කණ්ඩාටත් මේ සිරිත තිබුනත් විවිධ සිත් රිදවීම් සහ කාල වේලාව මදකම නිසා දැන් නම් එයින් බොහෝ සේ ඈත් වෙලාය …)

එදවස් වල ගෙදර නිතරම සීයා (තාත්තාගේ පියා) හෝ අම්මාගේ මව හෙවත් කණ්ඩාගේ ආච්චි අම්මාත් මාරුවෙන් මාරුවට හෝ අම්මාගේ අත් උදව්වට සිටියේය.

නමුත් නොම්මර එකේ යස්ස පැටියෙකු වූ කණ්ඩාගෙන් බේරී අම්මාට නිදහසේ වැඩ කටයුතු කර ගැනීමට ඉඩ දෙනු වස් තාත්තා කණ්ඩාවත් ගමනට සම්මාදම් කර ගත්තේය. (ඒ තාත්තාට නොකර බැරිකමට විය යුතුය)

සති අග දිනක් වූ එදින පන්තියේ තීන්ත ගෑම, කැඩුන ඩෙස් බංකු රෙපෙයාර් කිරීම … කුරුටු ගා විනාස කර ඇති බංකු වැලි කඩදහියෙන් මැද පිරිසිඳු කර නැවත තීන්ත ආලේප කිරීම මේ ශ්‍රමදානයේ ප්‍රධාන අරමුණ විය.

මේ වැඩයට කණ්ඩා කැටුව යාමෙන් තාත්තාට නම් සිදු උනේ අවැඩක්මය.. ඒ පන්ති පිරිසිඳු කිරීම පසෙක තබා කණ්ඩා ගැන ඇහැ ගසාගෙන ඉන්නට සිදු වීමයි !

මේ වැඩ කොටහින් කණ්ඩාගේ කැමතිම කොටහ වූයේ ඩෙස් පුටු වල තීන්ත ගාන උදවියට උපරිම ඇණයක් වෙමින් තිනර් බෝතල් සමග සෙල්ලම් කිරීමය … තිනර් අතේ ගෑවුන විට තිනර් වාෂ්ප වී අහවර වන තෙක්  අත සීතල වී යන්නේය … ඉඳ හිට අන් අයට හොරෙන් කණ්ඩා තිනර් පුසුඹද රස විඳින්නේය…

අලුත් තීන්ත වලින් නැගෙන තිනර් පුසුඹට කණ්ඩා බොහෝ කැමතිය අදටත් තිනර් පුසුඹක් දැනුනෝතින් පැරණි මතකයන් රාශියක් කණ්ඩාගේ සිහියට එන්නේ නිතැතිනි !

තිනර් අතට හලා ගත් විට වාෂ්ප වී අහවර වන තෙක් අත සීතලම සීතලය … මෙය කණ්ඩාට මහත් ආස්වාදයක් සැපයුවේය … නමුත් මෙයට වැඩි ආයුෂ තිබ්බේ නැත … ඒ කණ්ඩා තිනර් පුසුඹ බලනු තාත්තාට හසු උන හෙයින්ය.

ළමයෝ ඔව්ව වස !!! එනවා මෙන්න මෙහාට ….මම අයෙත් පාරක් කියන්න කලින් !

කණ්ඩාව කනෙන් ඇදගෙන තමන් සුද්ද පවිත්‍ර කරන පුටු ගොඩ ලඟට ගෙනගිය තාත්තා, කණ්ඩාගේ අතට වැලි කඩදාසියක් දී

ඔහොම ඔතනින් වාඩි වෙලා, කහඹිලිය ගෑවිලා වගේ එහෙ මෙහෙ දුවන්නේ දඟලන්නේ නැතිව සුද්ධ කරනවා ඔය පුටු ටික … !

තාත්තා බොහොම සැරෙන් අවසාන නියෝගය ලබා දුන්නේය …

තාත්තා පුපුරන්න ඔන්න මෙන්න බව ඉවෙන් මෙන් කණ්ඩාට දැනුන නිසා කිව්වා සේම කරබාගෙන කණ්ඩා වැලි කරදහියෙන් පුටු හූරන්න ගත්තේ වෙන විකල්පයක් නැති බැවිනි.

මෙවැනි අනතුරු ඇඟවීම් නොසලකා හැර කලාතුරකින් හෝ තාත්තා කේන්ති ගැස්සූ කල තාත්තා අම්මාට වඩා බෙහෙවින් වසය …

එවන් දිනයට කන් සාත්තුවක් හෝ ටොකු පූජාවක් දන්සැලකට ගියා මෙන් නොමිලයේම ලැබෙන්නේය …  ළඟ පාතක ක්‍රෝටන් කොටුවක්, අඩි රූලක්  තිබ්බොත් එදාට ගුටි බොනස්ය ! කකුල් අත පය වල මෙන්ම තට්ට්ම් වලත් සැපට පාරවල් හිටින්න වදිනවාමය …

මේකෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ අම්මා ළඟ පාත් හිටියෝතින් විතරය …

තාත්තා නැති තැන අම්මා කණ්ඩාට කෙතරම් ගුටි දුන්නත්, තාත්තාගේ ගුටි දන්සල ඇරපු දවසට හැමදාම මැද්දට පැන කණ්ඩාව බෙරන්නේ අම්මාය !

එවන් දිනකදී  කණ්ඩාගේ අම්මාත් නොඅඩුව තාත්තාගේ දෝශාරෝපණයට ලක් වන්නේය …

චන්දි ඔයා මේ ළමයට ලීලේ පෙන්වනවා බොහොම වැඩියි … ඔය පේනවනේ ඕනෑම නරකාදි වැඩක් කරලා අම්මගේ පස්සේ හැංඟෙනවා !

ඔයා හන්ද තමයි මේ ළමය තවත් නරක් වෙන්නේ …

කවදාහරි ඔය ළමයාව හදා ගන්න බැරි උනොත් ඔන්න ඔයා තමයි වග කියන්න ඕන  !!!

තාත්තා අම්මාට තදින් දොස් කියන්නේය …

එහෙමයි කියල ළමයින්ට ඔහොමත් හිතක් පපුවක් නැතිව ගහනවද … මං අහන්නේ ???

මේ ළමය දැන් ගුටි කෑව හොඳටෝම ඇති … අම්මාද අත අරින්නේ නැත !

ආපහු අහුවෙනවකො ඔය වැරැද්දම කරලා ආයෙත් …

ගිහින් ඕනා එකක් කරගන්නව…  අම්මලයි … පුතාලයි … එක්ක  … !!!

ඒ නොර්වේ මැදිහත්ව ඇති කල සටන් විරාමයට ගරු කරමින් සුදු කොඩියක් අතැතිව තාත්තා පහු බහින ආකාරයයි  … !

තාත්තා නොපෙනී යනතෙක් හිට මදි පාඩුවටදෝ කණ්ඩා හට තවත් ටොක්කක් දෙකක් පිරි නමන අම්මා

ඇත්ද දැං  ??? ගුටි කෑව මදිවට මටත් බැනුම් අස්සෙව්වා !

දුවනව කාමරයට… යනව බලාගන්නවා ගිහිල්ල පොතක් පතක් !

කියමින් අම්මා බොරුවට හොටු පෙරාගෙන හඬන කණ්ඩාව එලවා ගන්නේය …

මෙසේ ලටපට කල්පනා කරමින් සිට නැවත පියවි ලොවට ආ කණ්ඩාට නැවතත් පෙනුනේ වාඩි වී සිටි පාට තීන්ත ගෑ ඩෙස් එකය, කණ්ඩා ඩෙස් එක උඩ නහය ඔබා හයියෙන් හුස්මක් ඇල්ලුවේ තිනර් පුසුඹ විඳින්නටය.

තාත්තා කණ්ඩා පාසලට භාර දී නිදහස්ව ගියාට පසුවත් කණ්ඩාට පාළුවක් තිබ්බේ නැත. ඒ හඳුනා ගන්නට නොයෙක් අලුත් මිතුරන් සිටි නිසාත් පන්තිය කුඩා වඳුරු පැටව් පිරි සර්කස් එකක සිරි ගත් නිසාත් විය හැක. කලින් කියුවාත් වාගේ කණ්ඩා කොහොමත් සර්කස් වලට කැමතිය.

සමහරක් දෙමව්පියන් තවමත් සත්වෝද්‍යානයේ කූඩු වල එල්ලී ඉන්නා බුකුං ආතලා** මෙන් දැල් වල එල්ලී පන්තිය ඇතුලේ වන දේ බලන් ඉන්නේය … ඇතැම්හු අඬන එවුන් සනහන්නට උත්සාහ ගන්නේය … තවත් සමහරු පොඩි එවුන්ට නොයෙකුත් දැනමුතුකම් දෙන්නේය …

(** ඒ කණ්ඩා පොඩි කාලයේ වඳුරන් ඇමතූ ආකාරයයි, පොඩි කාලයේ කිහිපවිටක් අම්මා සහ තාත්තා සමග දෙහිවල සත්වෝද්‍යානයට ගිය ගමන්, අලි සෙල්ලම් අදටත් කණ්ඩාට මතකය)

පන්තිය පුරා මිටි ඩෙස් බංකු දෙක බැගින් එකතු කර පේලි දෙකකට හිටින්න හදලාය එක ඩෙස් එහෙක කුඩා පුටු දෙකක් ඔබන්න ඉඩ ඇත ඉතින් බැංකු දෙකක් එකතු කල විට එකිනෙකා මුහුණලා කුඩා උන් හතර දෙනෙකුට පහසුවෙන් වාඩි විය හැක්කේය.මෙවන් කන්ඩායම් හය හතක්ම  එක පන්තියක විය

කණ්ඩාගේ මේසයේ කොල්ලෙක් සහ කෙල්ලන් දෙන්නෙක් සිටි බව යන්තම් මතකය  ඉස්සරහම සිටි කෙල්ලගේ ඉස්සරහ දත් දෙපලට අලියෙක් පයින් ගහලාය … සිනාසීගෙන හතර අත බලන මේ කෙල්ල ලොඹු කටෙන් විරිත්තන අයුරු අපූරුය.

(මේ ජේදය ලියනවාත් සමගම කණ්ඩාට හිතුනේ බන්ඳු සමරසිංහ මහතාට දියණියක් හිටියොත් මේ වගේම හිටීවි කියාය )

නමුත් මේ කෙල්ලට නම් ඒ ගැන වගක්වත් නැත, බාගෙට ඇර ගත්ත ගමන් ඉන්නා කටට බ්රේක් නැති මැස්සෙක් හෝ ගොයම් මැස්සෙක් රිංගුවොත්  විනාසය …

සමහර විට මේ කෙල්ලට ඕවා නොතේරෙන්නේ මුහුණ බලන්නට ඒගොල්ලන්ගේ ගෙදර කන්ණාඩියක් නැති හන්දා විය හැකිය …

කණ්ඩාගේ ගෙදර නම් කන්ණාඩි දෙකක්ම ඇත. ඉන් වැදගත්ම එක අල්මාරිය තිබුණ කාමරේ අම්මගේ සැන් පවුඩර් පෙට්ටි සහ ඕඩිකොලෝන් තියන ලාච්චු සහිත මේසකටම පියන් දෙකේ හයි කල කන්ණාඩි මේසයයි.

ගෙදර උදවිය ගමන් බිමන් යනවිට හැඩ වැඩ වෙන්නේ මේ කන්ණාඩි මේසය ලඟට ඇවිදින්ය. මේ කන්ණාඩි මේසය මෙන්ම එය තිබුන කාමරයේ ඇති අල්මාරිය සහ අනෙත් ලට්ට ලොට්ට වල වැඩි අයිතිය අම්මාගේය…

අනෙක් කන්ණාඩිය කුස්සිය පැත්තට වෙන්න බිත්තියක උඩින් එල්ලූ තාත්තා රැවුල කැපීමට පාවිච්චි කරනා එකය. තාත්තාගේ කණ්නාඩිය එල්ලා ඇති තැනට උඩින් ඇති ජනෙල පඩියේ තාත්තා රැවුල කැපීමට ගන්නා දැලිපිහි හෙවත් රේසර්, රැවුල කැපීමට ප්‍රථම ආලේප කරන “ඕල්ඩ් ස්පයිස්” ක්‍රීම් මෙන්ම ලෝශන් බෝතලයක්ද ඇත්තේය.

මේවාට අත පොවන්නට කණ්ඩාට මිටි වැඩිය, කකුලේ ඇඟිලි දෙකෙන් ඉස්සී අත දිගු කලත් අඩියක් හමාරක් දිග මදිය. නමුත් කුස්සියේ ඇති පුටුවක් කන්ණාඩිය ලඟට ඇද ගැනීමෙන් ජනෙල් පඩිය උඩ තබා ඇති මහා වස්තු සම්භාරය කණ්ඩාගේ අත පොව්වන මානයට එන්නේය …old-spice-and-shaving-kit

තාත්තා රැවුල කැපුවේ සතියකට සැරයක් උවද, රැවුල කපනකොට ගාන ක්‍රීම් එක වගේම ලෝශන් බෝතලයද හරි ඉක්මනට වාෂ්ප වෙන්නේය, ඒ සිරි ලංකාවේ උණුසුම් කාලගුණය නිසා විය හැක.

මේවාට අතවත් තිබ්බේ නැති බවට කෙතරම් හතර අතේ දිව්රා කිව්වත් මේ අරුම පුදුම වැඩේට තාත්තා අල්ලා ගන්නේම කණ්ඩාවය. ඇතැම් විට කණ්ඩා මෙය සීයා පිටින් දැම්මත් ඉන් වෙන සෙතක් නැත්තේ සීයා රැවුල කපනකොට ගාන්නේ සබන් නිසාය  !

චන්දී …. චන්දී…. කෝ කොහේද ඔයා  ??? **

මෙන්න බලන්න අදත් අහවලා මේකට වැඩක් දීලා ….”  තාත්තා නඩුව ඉහල උසාවියට ඉදිරිපත් කරන හැඩය …

මම කොච්චර පරිස්සම් කරත් වැඩක් නැහැ ! බලන්න චන්දි මාසයක්වත් නෑ එළියෙන් තියල …

ඒ  තාත්තා තම දුක් ගැනවිල්ල නඩුකාර උන්නාන්සේට ඉදිරිපත් කරන ආකාරයයි.

** කණ්ඩාගේ මවගේ නම සැටලයිට්ය, ඉතින් තාත්තා බොහෝ විට අම්මාව ඇමතුවේ චන්දී කියාය. ඔය නමම තියෙන ජනාධිපති නෝනා කෙනෙකුත් ඉන්නවාය, හැබැයි ඒ අපේ අම්මා නොවේය. බොහෝවිට අම්මාට නම තබන්නට ඇත්තේ එකල අලෙවි මව්ලානා මහතා සමග වැඩ කල තද සිරි ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතිකාරයෙකු වූ කණ්ඩාගේ සීයා විය යුතුය. කාටවත් හොර බොරු කරදර නැති අපේ අම්මා අපිට ජනාධිපතිට වැඩිය හොඳය.**

ඉහත සංවාදය කණ්ඩාට ඇසුනහොත් මේ ළඟ පාතක නොහිට හැංගෙන එක කණ්ඩාගේ සිරිතය … ඒ අත ලඟම තාත්තාගෙන් නොමිලයේ කන් සාත්තුවක් හෝ අම්මාගෙන් පාර හිටින්න පොල් කටු හැඳී පාරවල් ලැබෙන බව කල් තියා දන්නා හන්දාය …

කණ්ඩා කොහේ වහංගු උනත් ඇති වැඩක් නැත්තේය … CID එකෙන් කට්ටි පනිමින් ඉන්නා කිරිමෙල් කාරයන් අල්ලන්නාක් මෙන් අම්මා කණ්ඩාගේ කණෙන් ඇදගෙන අපරාධය සිද්ධ වූ ස්ථානය හෙවත් කුස්සියට එන්නේය …

මස් කඩය දක්කන වහු පැටියෙකු සේ බැන වදිමින් කණ්ඩාව ඇදගෙන යන ගමන්ම පහත් වී කණ්ඩාගේ මුහුණ ඉඹිනා අම්මා හරස් ප්‍රශ්න නොඅසාම නඩු තීන්දුව සහ දඬුවම් නියම කරන්නේය  …

මේ නඩු තීන්දු වලට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන්නට සිදු වෙන්නේ කළාතුරකින් සීයා, ආච්චි අම්මා හෝ වෙනත් නෑ වෙන කෙනෙක් ළඟ සිටියොත් පමණය … එම නිසාම බොහෝ විට කණ්ඩාගේ ලැබෙන ඉල්ලාගෙන කෑම අති විශිෂ්ඨය !

මේ කොපමණ ගුටි පූජා ලැබුණද බලු වලිගේ ඇද හරින්නට බැරුවා සේම .. කණ්ඩාව හදනවාද බොරුය …තාත්තා සහ සීයා පාවිච්චි කල තල මාරු කරන රැවුල කපන රේසරයටද කණ්ඩාගෙන් ගැලවිල්ලක් නැත්තේය….

රේසර් බ්ලේඩ් හෙවත් බෙහෙත් තල යනු සබන් පෙන පිම්බීමට ගන්නා ගස් ලබූ බට කපන්නට මෙන්ම ගස් ලබූ බට නලා කපා හැඩ වැඩ දැමීමටද හැකි නොම්මර එකේ ජාති බඩුවක්ය…

gas-labu-flute-and-bubbles

මොන ගස් ලබ්බක් කලත් වැඩ රාජකාරි අහවර වී බෙහෙත් තලය ආපහු කිසිම දෙයක් නොවූ ගානට නැවත රේසරය තුලට දැමීමටද කණ්ඩා අමතක නොකරන්නේය …

නමුත් අවාසනාවකට හොඳටෝම මොට්ට ඒ බෙහෙත් තලයෙන්  කපන්න හැකි රැවුලක් නැත්තේය … ගෙදර ඇති මොට්ට මන්නයෙන් හෝ විසි කැත්තෙන් රැවුල කැපීම  එයිට ලෙහෙසිය …

අවසානයේ මේ සන්ගදියෙන් බේරුමක් නැති වූ කල තාත්තා මාරු කරන බෙහෙත් තල නැති ජිලට් හෝ බික් රේසර් භාවිතයට හුරු උනේ කණ්ඩාට පින් සිද්ද වෙන්නය …

මෙලෙස රටේත් නැති කල්පනාවන්හි අතරමං වී හුන් කණ්ඩා නැවතත් උඩ ගොහින් බිම වැටී පියවි සිහියට ආවේ කන ලඟින්ම ඇසුන ඉතා මිහිරි මධුර මර හඬ තැලිල්ලක් නිසාය …

අබ්බේඒඒඒඒ….  අලේ… මල ගෙඩල යල්ලෝලේඒඒඒ … පොඩි කෙලිත්තියක් හූ තියමින් අඬන්නේය … එයිට එහායින් ඒ තරමටම හූ තියමින් අඬා බැටරි බැහැපු එවරෙඩි පූසෙක් වන් පොඩි එකෙක් තදට හුස්ම අල්ලමින් දරුණුවට ඉකි ගසන්නේය …

මෙලෙස බැරිම තැන ජල්ලි අල්ලන පොඩි එවුන් සැම දෙමව්පියන් සමග පිටත් කර හැරීමෙන් අනතුරුව පන්තිය තරමක් නිශ්ශබ්ද විය.

ඉන් අනතුරුව එළඹියේ එකිනෙකා අඳුනා ගන්න කාලයයි … ඉස්සරහ පේළියෙන් පටන්ගෙන නැගිට නම කියන ලෙස චාන්දනී ටීචර්ගේ ඉල්ලීම අනුව ළමුන් එකිනෙකා නැගිට නම කියන්නේය …

සමහරු නැගිටීමට හොරය … නැගිට්ටත් කිරි පණු ගාය හැදුනා සේ ඇඹරෙමින් වැනි වැනි සිටිනවා මිස කියනා නමක් නැත්තේය … එවිට පිහිටට එන්නේ පාසල් නිල ඇඳුමේ ගසා ඇති රෝස පැහැති නම ලියූ රවුම් කාඩ්බෝඩ් කෑල්ලයි.

එහෙයින් කිසිවෙකුට නමක් නැතිව යන්නේ නැත, කාඩ්බෝඩ් කෑල්ලට පින් සිද්ධ වෙන්නට චාන්දනී ටීචර් ළමයාගේ නම අපට ඇසෙන්නට කියවන්නේය.

මෙම කතා බහෙන් පසුව එළඹියේ කවි සිංදු ගායනා කිරීමේ අවස්ථාවයි … චාන්දනී ටීචර් තාලයට කවි පදයක්  කියා අහවර වූ විට තල් අත්තට බොරළු ගැසුවා සේ එයිටත් වඩා මිහිරි ලයාන්විත හඬින් අප නඩය නැවත එයම ගායනා කරන්නේය …

chandani-teacher-with-kanda-family

(වර්තමානයේ වමේ සිට අම්මා,  පොඩි කණ්ඩී, පොඩි කණ්ඩා හාමිනේ, පොඩි කණ්ඩා සහ චාන්දනී ටීචර්)

මෙලෙස නානාප්‍රකාර දේ වල නියැලෙමින් සිටි කණ්ඩාට කාලය ගත වී යනු දැනුනේ  නැත … එමෙන්ම පන්තිය අහවර වී ගෙදර යන තෙක් ඉවසිල්ලක් නොතිබුනේ ගෙදර උදවිය සමග පාරම් බාන්නට බොහෝ දේ තිබුන නිසාය …

~ මතු සම්බන්ධයි !

අතීතය සිහිනයක් පමණයි ~ V කොටස ~සුභාරතියේ එකේ කැලෑසිය සහ පිලි ගැනීමේ උත්සවය !

අතීතය සිහිනයක් පමණයි ~ VII කොටස ~ කුඹුරක මළගම සහ පිට්ටනියක උපත !

Advertisements