thaaththa-and-me-in-wellipillawa

මේ ලිපිය පටන් ගැන්මේදීම කණ්ඩා සමාව අයදින්නේය … එය එසේ වන්නේ කණ්ඩාගේ ඔළුවේ කැකෑරෙන වේදනාව පිට කරනු වස් ලියනා මෙය නීරස හෑල්ලක් වන හෙයිනි …

අදට කණ්ඩාගේ පියා අප අතරින් වෙන්වී විසි වසරකුත් ගෙවී ගොසින්ය … නමුත් කණ්ඩාගේ සිතේ ඇති සුව නොවන තුවාලය එසේමය.

තුවාලයක වේදනාව දන්නේ තුවාලය ඇති මිනිසාය … මේ එවන් මිනිසෙකු විසි අවුරුද්දක් තිස්සේ හිර කරගෙන සිටි වේදනාවයි !

කණ්ඩාගේ තාත්තාගේ මුල් නම ආරියරත්න වීම නිසා පවුලේ හැම දෙනා කට පුරා ඇමතුවේ “රත්නයියා” කියාය … තාත්තාට වඩා වැඩිමහල් අය පවුලේ  සිටියා නම් ඒ කලාතුරකිනි, එනිසා වැඩිහිටි උදවිය සියල්ලන්ටම පාහේ එය “රත්නයියා” ම විය.

තාත්තා පවුලේ වැඩිහිටියා වශයෙන් සියලු දෙනා හට සහේතුක බවේ ආදර්ශයක්ම විය (Voice of Reason), තමාට හැකි සෑම අයුරින්ම පවුලේ ගැටලු විසඳීමට තාත්තා මැදිහත් වීය.

ඕනෑම ගැටලුවකදී අප පවුලේ බොහෝ දෙනා වලට පැන ගොඩ එන ආකාරයක් සොයනු මිස “පනින්න පෙර සිතා බැලීම” ගැන අවධානයක් යොමු නොකළේය … එසේ දුර දිග නොබලන අප අතර තාත්තාගේ වෙනස කණ්ඩාට එදාද හොඳින් දැනුණේය.

පෙරහරක් තැබිය හැකි තරම් සේනාවක් වූ කණ්ඩාගේ මව් පාර්ශවයේ ඥාති සහෝදර සහෝදරියන් හට නම් තාත්තා “මහප්පා” හෝ “රත්න මහප්පී” විය.

තාත්තාගේ ළඟම යහළුවන් සහ හිතවතුන් තාත්තාගේ නම “ආරී” ලෙස කෙටි කරගත්තෝය … පිට උදවියට, එහෙමත් නැතිනම් වැඩි ඇඟෑළුම් කමක් නැතිමුත් දන්නා කියන උදවියට තාත්තා “කණ්ඩම්බි මහත්තයා” හෝ “මිස්ට කණ්ඩම්බි” විය !

තාත්තාව කණ්ඩම්බි මහත්තයා හෝ මිස්ට කණ්ඩම්බි ලෙස දැන හඳුනා ගත් ඇතැමෙක් හටද තාත්තා පසු කලෙක “ආරී” බවට පත් වුණේ නිරායාසයෙනි.

කණ්ඩාගේ ළමා අවදිය ගත කළේ හෝමාගම කිට්ටුව පිහිටි වැලිපිල්ලෑව ගම්මානයේය. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබුණත් බොහෝ අතින් වැලිපිල්ලෑව පිටිසර ගමකි. අපේ ගමට දුරකථන පහසුකම් පවා ලැබුණේ 2005 තරම් මෑත කාලයේය.

වැලිපිල්ලෑවේ වෙසෙන සමයේ තාත්තාගෙන් දුටු අමතක නොවෙන ගති ගුණයක් වූයේ තමාට හමු වන ගමේ කුලී වැඩ කරන මනුස්සයා, කඩේ මුදලාලිගේ සිට කසිප්පු බී වෙරි වී හන්දියේ බෝක්කුව උඩ කල් මරනා ගස් බඩ ගාන මිනිසා මෙන්ම අල්ලපු ගෙදර හාමු මහත්තයා සමගත් එක සේ සුහදව ආශ්‍රය කිරීමයි.

තාත්තා ඇතුළු කණ්ඩලා වැලිපිල්ලෑවට පිටගංකාරයෝය නමුත් කණ්ඩාට මතක ඇති කිසිඳු දිනයක අසල් වැසියන් කණ්ඩලාට පිටගංකාරයන් සේ සැලකුවේ නැත, ඒ තාත්තා ඔවුන් සමග ගොඩ නගා ගත් සුහදත්වය නිසාය.

ගමේ සියලු දෙනා කණ්ඩාලාගේ නිවස හැඳින්නුවේ “කණ්ඩම්බි මහත්තේලෑ ගෙදර” ලෙසය, එබැවින් අපි නිතැතින්ම “කණ්ඩම්බි මහත්තේලෑ ළමයින්” බවටද අම්මා “කණ්ඩම්බි මහත්තේලෑ නෝනා” බවටද පත් වුයේය …

අදටත් ඉඳහිට වැලිපිල්ලෑවට ගොඩ වැදුනොත් කණ්ඩා, කණ්ඩම්බි මහත්තයාගේ පුතාය” … එය කණ්ඩාට අහිංසක ආඩම්බරයකි !

කණ්ඩා හැදී වැඩී ලොකු මහත් වූ වැලිපිල්ලෑව පියා හා බැඳුණු සොඳුරු මතකයන් රාශියක් ඇත්තේය, තාත්තා හැමට සෙතක් වන පොදු වැඩ වලට බොහෝ කැමැත්තේය, ගමේ මළ ගෙයකට, ශ්‍රමදානයකට කිසිම දවසක කර ඇරියේ නැත … !

වත්ත පිටියේ වැඩට අඳින පැල්ලම් ගැසුන හමගිය ඩෙනිම් කොටය දාගෙන මුලින්ම වැඩට බසින තාත්තා ගෙදර එන්නේ අන්තිමටය … ගම් වාසීන් සමග උරින් උර ගැටී වැඩ කල තාත්තා ඔවුන්ගේම කෙනෙකු විය.

ආපසු හැරී බලන කල කණ්ඩාට හැඟෙන්නේ තාත්තා තම උපන් ගම වන බංගමට වඩා වැලිපිල්ලෑවේදී නිදහස්ව විසූ බවය …

බංගම පිහිටලා තියෙන්නෙ මාතර අකුරැස්ස පළාතේය, එය හුඟ දෙනෙකු අසා නොමැති දෙදියගල සිංහරාජයට කිට්ටුවෙන් පිහිටි කුඩා නමුත් අතිශය සුන්දර ගම්මානයකි.

කට වහරට නම් බෙන්තර ගඟෙන් එහාය, බෙන්තර ගඟෙන් මෙහාට ඇස් ඇරපු බළල් පැටියෙක්වත් ගෙනෙන්නට එපා යයි කියා තිබෙන්නේ කට කහනවාටම නොවේ… ඒ ගැන පුද්ගලික අත්දැකීම්ද කණ්ඩාට ඇත්තේය …

(එවන් එකෙකුට රට භාර දුන් කළ ජීවිතාන්තය දක්වා භුක්තියට සවි කර ගන්නට ගත් උත්සාහයන්ද අමතක නැත)

කණ්ඩාට වැටහෙන ආකාරයට කවමදාවත් තාත්තා නම් බෙන්තර ගඟෙන් එහා උදවිය හා සම උණේ නැත. මෙය උජාරුවකට කියන කතාවක් නොව ඇත්ත ඇති සැටියෙන් පැවසීමක් පමණි.

අදහස් අතින්, හැඳී පැළඳි අකාරයෙන් මෙන්ම කතා බහෙන්ද තාත්තා වැඩිපුර පෑහුණේ බෙන්තර ගඟෙන් මෙහාටය. ඉන් තාත්තා ගමේ සිට විත් කොළඹ කාක්කෙකු වූ බව අදහස් වන්නේ නැත.

තාත්තාට හැම දෙයක් ගැනම ඔහුගේම අදහස් විය, ඇසුරු කල කිසිවෙකු තාත්තාව බෙන්තර ගඟෙන් එහාට බැර නොකිරීමට එයද හේතුවකි.

තාත්තා සහෝදරියන් සිව් දෙනෙකු සිටි පවුලක සිටි එකම පිරිමි දරුවාය, සහෝදරයින් නොසිටි පාඩුව පිරිමැසුවේ තාත්තාගේ මස්සිනාලා හෙවත් අම්මාගේ සහෝදරයෝ සහ සහෝදරියන්ගේ සැමියන්ය. ඔවුන් හට හැකි පමණින් උදව් කල තාත්තා ඔවුන්ගේ සංගමය බෙහෙවින් ප්‍රිය කළේය.

අම්මාගේ සහෝදරයන් හට තාත්තා තමන්ගේම එක කුස උපන් සහෝදරයන් ලෙස සැලකුවේය. කණ්ඩාට මාමලා වන ඔවුන් අතරින් ලොකු මාමා පසු කලෙක තාත්තා නැති පාඩුව පිරිමසමින් අප කිට්ටුවෙන්ම සිටියේය, ඒ ණය ගෙවීමට කණ්ඩාට අදටත් අපහසුය.

අනෙක් මාමා හෙවත් පොඩි මමා වනාහි මීමෙකි, එනිසා ඒ ගැන වෙනම දවසක ලියමි  🙂

කණ්ඩාගේ පියා මත්පැන් දුම් වැටියට ඇබ්බැහි වූ අයෙකු නොවේ, නමුත් කලාතුරකින් මත්පැන් දුම් වැටි නොගත්තේද නොවේ …

මේ පුරුදු දෙකම තාත්තා කොළඹ පැමිණි අවදියේ හෝ ඕමානයේ (Oman) සිටියදී ඇති කර ගත් දේ විය යුතුය … මන්ද ගමේ සිටියදී ඒ කිසිවකට ඉඩක් නොතිබූ බව සහ සුද්දෙන්ම දන්නා හෙයින්ය …

තාත්තා මත්පැන් තොල ගෑවේ නම් සාජ්ජයකදී අන් අයට අත්වැල් ඇල්ලීමක් ලෙසය එහෙයින් තාත්තා බමන මතින් සිටිනු කණ්ඩා දැක ඇත්තේ එකම එක දිනයක පමණි.

නිශ්චිතව පවසනවා නම් ඒ කණ්ඩාගේ නිවසේ පැවැත්වීමට යෙදුණු ලොකු මාමාගේ “හෝම් කමින්” හෙවත් දෙවැනි ගමන දවසේදී තම මස්සිනා විවාහ වූ සතුට වැඩි කමටය … !

තාත්තා එදාත් හොඳ සිහියෙන් සිටියත් සතුට වැඩි කමටදෝ කණ්ඩාගේ බාප්පාලා සහ මාමලා නඩය සමහ ප්‍රීති වූ අයුරු කණ්ඩාගේ සිහියට නැගෙන්නේය.

ලොකු මාමාගේ දෙවෙනි මනාලයා වූ අසංග මාමව පල් කරමින් දැන් අමාරුවේ වැටෙන්න ඉතිරි වෙලා ඉන්නේ චුටි මල්ලී විතරයි, මෙයාටත් මෙහෙන්ම එකක් ලෑස්ති කරමු යයි කියමින් කොලොප්පං කෙරුවා කණ්ඩාට අද සේ මතකය …

විශේෂයෙන්ම දෙවැනි මනාලියන් වූ ලොකු මාමාගේ බිරින්දෑගේ නැගණියන් මේ කොලොප්පං වලට ඈඳුනේය !

තාත්තා සිගරට් නම් බීවේ හාවා හඳ දකින්නා සේ ඉඳහිටය, එයද අම්මාගේ දැඩි විරෝධතාවය මතය.

නමුත් අම්මා විසින් උසි ගන්වන ලදුව වලං කඩේ ගොනා සේ කඩා පනින පොඩි කණ්ඩාගේ ගරිල්ලා ප්‍රහාර මත මේ උත්සාහයන්ද අඩපණව ගියේය. මතක ආකාරයට නම් ඒ පොඩි කණ්ඩා මොන්ටිසෝරි යන්න ඔන්න මෙන්න සිටි අවදියේය 🙂

තාත්තා තමන් සතු දෑ දීමට බොහෝ සේ ප්‍රිය කළේය, අතර එඩ්වර්ඩ් ජයකොඩි මහතාගේ “හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් “ යන ගීතය ඇසෙන වාරයක් පාසා කණ්ඩාට සිහි වෙන්නේ තාත්තාවමය.

එනමුත් තම තරුණ ජීවිතය පුරා හරි හම්බ කළ දේ දන් දුන් පසු එයත් මදි බව කියනා උදවියද නැතුවාම නොවේ.

සම-හරක් දෙන තරමක් දේ ගිල ගැනීමට ආශා උදවිය තම පෙට්ටගම් පුරවා ගැනීමට වලි කෑවා මිස තාත්තාගේ ඉදිරි දියුණුව හෝ පැවැත්ම ගැන හිතා බැලුවේ නැත …

ඔවුනට තාත්තා බැංකු ගිණුමක් සහ තමන්ගේ සමාජ තත්වය පෙන්වන සංකේතයක් (Status Symbol) පමණක්ම විය.

මේ අපේ අහවලාගෙ පුතා… යන්නෙ කොළඹ ****ට , ඉඳ හිට ගමට ගිය දිනෙක හමු වන හැමදෙනා සමග උජාරුවෙන් පවසනු කණ්ඩාට මතකය. නමුත් ඒ පුතාලාම කන්නේ බොන්නේ කොහොමදැයි හොයා බලන්නට තාත්තාගේ පවුලේ කෙනෙක් සිටියේ නැත …

නමුත් තාත්තට පින්සිද්ධ වෙන්න ගෙවත්තේ ඇති වෙන්න හෙරලි සහ පොල් තිබුණ බැවින් කවදාවත් කණ්ඩාගේ පවුල බඩගින්නේ නොතැබීමට අම්මා වග බලා ගත්තාය … අදටත් කණ්ඩාට කොස්, පොලොස් දකිනා විට ඇති වන්නේ මහත් අප්පිරියාවක්ය …

තාත්තා ඔත්පලව සිටින විටද, තාත්තාගේ අභාවයෙන් ඉඳහිට කණ්ඩලා බැලීමට වසරකට වරක් ගොඩවදිනා බංගම උදවිය “අනේ ඔහේලට ඕනැ උදව්වක් තියේනං අපට කියන්ට හොඳේ …!” යයි ආපසු යන විට මගින් මගට නොපැවසුවා නොවේ.

තාත්තා දහදිය මහන්සියෙන් ඉපයූ සාධාරණව අයිති දෙයක්වත් නොලැබීම කෙසේ වෙතත්, කණ්ඩාලාගේ පවුල පිනට ඉල්ලන්නට බංගමට දෙසට කට ඇරගෙන සිටියේ නැත … ඒ තාත්තා කිසිවෙකුට අත පාන්නට හුරු නොකළ නිසාය !

එනමුත් කණ්ඩාගේ කොලමෙන් තාත්තාට සිදු වූ අසාධාරණ කම් පැවසීම, පවුලේ නම්බුව කෙලෙසීම පිළිබඳ ප්‍රශ්නද මතු වී ඇත්තේලු … එය උඩ බලාගෙන කෙළ ගැසිමක්ලු …

එහෙයින් තාත්තා  මහන්සියෙන් උපයා මිලදී ගත් නිවසත් තම නමට ඈඳාගත් පසු, රටේත් නැති අටෝරාසියක් කාරියන්ට වැය කර ඉතිරි සොච්චම වසර ගණනාවක් පුරා කපුටන්ට ආප්ප කන්න දීමට සරිලන වාරිකයන්ගෙන් ලබා දීම බෙහෙවින් නම්බුකාරය …

තාත්තා මැදපෙරදිග දුක් මහන්සියෙන් උපයා එවූ මුදලින් ලබා ගත් ඉඩ කඩම් දරුවන් සිටි පියා ජීවත්ව සිටිද්දීම නම්බුකාර උදවිය ලියා ගැනීමද එලෙසම පැසසිය යුතු නම්බුකාර කාරණාවකි …

නමුත් තාත්තාගේ පවුලේ සියලු දෙනා මේ මංකොල්ලයට වග කිවයුතු නැත්තේය …

කණ්ඩා මේ පිළිබඳව ඇඟිල්ල සෘජුව දිගු කරන්නේ මේ සියල්ල නොදුටුවා සේ අහක බලාගෙන සිටිනා ආච්චි අම්මාට සහ අන් සතු දේ කඩා වඩා ගැනීමේ තණ්හාවෙන් පෙළෙන තාත්තාගේ වැඩිමහල් සහෝදරියටය !

කණ්ඩා එය පැහැදිලි නොකළහොත් එය තම දහදිය මහන්සියෙන් හරි හම්බ කරගෙන නම්බුකාර ලෙස ජීවත් වන අන් සහෝදරියන් හට සිදු කරනා දැඩි අසාධාරණයකි …

කැලේ නසන්නට එන්නේ කැලේ  ගසක්ම බව පසක් කල ලොකු නැන්දා මේ පොදි ගසන්නේ වසර දහසක් පමණ ජීවත් වන්නටදෝ යයි විටෙක කණ්ඩාට සිතේ, ලොකු නැන්දා යන තැනක මේ සියල්ල ගෙන යාමට වාසනාව ලැබේවා යයි කණ්ඩා පතන්නේය … !

අරුමයකටදෝ මේ සියල්ල ගැන ආඩපාලි කණ්ඩාට කෙළින් නොකියා සියලු දෙනා වටින් ගොඩින් අම්මාගේ කනට දැමීම විහිළුවකි … තාත්තා කියා දුන් විදිහට කණ්ඩා නම් අපායට ගියත් මුලින් සහ කෙළින්ය

අනෙක නම්බුවට බම්බු ගසා ගන්නට ඉඩ හැර ඉගෙන ගත් දෙය උදව්වෙන්, තමාගේ පාඩුවේ ජීවත් වන කණ්ඩාට මේ කිසිවකින් ගැටලුවක්ද නැත්තේය …

තාත්තා අප හැර ගොස් දශක දෙකක් ගත වීත් කිසිවෙකුට අත නොපා … රජ ගෙදරට ගියත් කොන්ද කෙළින් තබාගෙන, කියනා දේ ඇත්ත ඇති සැටියෙන් කෙළින් කියනා එක කණ්ඩාට නම්බුකාරකමකි … ඒ නම්බුව තාත්තාටය …

කණ්ඩා අද වැලිපිල්ලෑව හන්දියේ තුන් සක් රියක් එළවන තත්වයේ ** නැත්තේ කණ්ඩාගේ පියාගේ මහන්සියත් අම්මාගේ කැපවීමත් නිසාය.

** තුන් සක් රියක් පැදවීම් අවනම්බුවක් ලෙස කණ්ඩා සලකන්නේ නැත, නමුත් එය රටක සමාජයක දියුණුවට හෝ කණ්ඩාගේ ඇති සිහින සැබෑ කරගනු වස් රුකුල් දෙන රැකියාවක් නොවන්නේය **

කණ්ඩාගේ පියාගේ පවුලේ සියල්ලුම දෙනා හට හොඳ අධ්‍යායාපනයක් ලබා දීමේ පින යන්නේ ආච්චි අම්මාටය, තාත්තාගේ පියාටත් වඩා  ආච්චි අම්මා ඒ ගැන කැප වූ බව කණ්ඩා නොයෙක් වර අසා ඇත.

එසේ ලද අධ්‍යායාපනය පඩි පෙළක් කරගෙන ස්වෝත්සාහයෙන් මුළු පවුලකටම අතු පතර විහිද සෙවණ පැතිරූ මහා රුක්ෂ රාජයකු බවට පත් වන්නට තාත්තාට හැකි විය.

තාත්තා සාමාන්‍ය පෙළ සමත්ව කොළඹ පැමිණ උසස් පෙළ සහ ඉංග්‍රීසි භාෂාව හදාරා ඇත්තේ රාත්‍රී පන්ති හෙවත් “නයිට් ක්ලාස්” වල ආධාරයෙනි …

ඒ අතරම ටියුෂන් පන්ති පැවැත්වීමෙන් අමතර අදායමක් සොයා ගැනීමට තාත්තාට උනන්දු වී ඇත්තේය … අමතර අදායම කෙසේ වෙතත් සිය අනාගත බිරින්දෑව හෙවත් අම්මා මුණ ගැසීම නම් දෛවෝපගත සිදුවීමකි …

අදටත් මේ ගැන මතක් කරන විට ළමිස්සියෙක් සේ සිනහ වන අම්මාගේ මුහුණ බලන්නට අපූරුය … අපේ භාෂාවෙන් කියනවා නම් කට කනේය … 🙂

කණ්ඩා දන්නා පරිදි තාත්තාගේ ප්‍රථම ස්ථිර රැකියාව විදුලි බල මණ්ඩලයේය, පසු කලෙක ඉන් ඉවත් වී බංගම පවුලේ බර දැරීම උදෙසා තාත්තා පස් වසරකට අධික කාලයක් මැද පෙරදිග රැකියාවක (මස්කට් – ඕමාන්හි, Muscat – Oman) නියුතු වුයේය.

කණ්ඩා දැනට වසන එක්සත් එමීර් රාජ්‍යයට අසල්වාසී රට වන මෙය දැක බලා ගැනීමට කණ්ඩා නොනිමි ආශාවකින් පෙළෙන්නේය …

තාත්තාගේ අතිජාත මිතයෙකු වන ලයනල් අන්කල් තාත්තාට හමු වී ඇත්තේද ඕමාන්හිදීය, තාත්තා පසු කලෙක ඇරඹු වායු සමීකරණ ව්‍යාපාරයට ලයනල් අන්කල් ලොකු අත්වාරුවක් සැපයුවේය …

තාත්තා අධ්‍යාපනයේ වටිනාකම හොඳින් දැන සිටියේය, කිසි දිනෙක කිසිඳු කරුණකට පාඩම් වැඩ අතපසු කර ගැනීමට තාත්තා සමාව නොදුන්නේය …  තාත්තා ජීවතුන් අතර සිටියේ නම් කණ්ඩාගේ ගමන් මග මීට හාත් පසින්ම වෙනස් වන්නටද ඉඩ තිබිණි.

කණ්ඩාගේ පවුලේ උදවිය සියලු දෙනා එකතු වී කා බී ප්‍රීති වන සාජ්ජයක් පැවැත්වෙන දිනක පවා අනෙක් නෑදෑ හිත මිතුරන්ගේ දැඩි විරෝධය මත උවත් තාත්තා කණ්ඩාව කනෙන් ඇදගෙන ගොස් ශිෂ්‍යත්ව පන්තියට ඇරලූ හැටි අදටත් මතකය !

කණ්ඩාට තාත්තාගේ අඩුව කවමදාකවත් පිරිමසන්නට හැකි වුයේ නැත … උසස් පෙළ විභාගයෙන් ලයිට් කණු තුනක් සහිතව ඉහළින්ම සමත් වී ගෙවුණ ඒ අවදිය අදටත් කණ්ඩාට මතකය … තාත්තා ජීවත්ව හිටියා නම් ඒ අවස්ථාවේම කණ්ඩාව පණපිටින් හම ගසනා බවද කණ්ඩාට ඉර හඳ සේ විශ්වාසය. මේ තාත්තාගේ අඩුව කණ්ඩාට තදින්ම දැනුණ සමයයි !

නමුත් එම වසර කිහිපය කණ්ඩාට ජීවිතයේ හොඳ – නරක, මිතුරන් – සතුරන් ඉගැන්වූ, විශ්ව විද්‍යාලයකටත් වඩා ගුරුහරුකම් ලබා දුන් හැරවුම් ලක්ෂයකි …

ඉලක්කයක් නොමැතිව සිටි කණ්ඩාව තොරතුරු තාක්ෂණය හෙවත්  IT දෙසට යොමු කිරීමට උනන්දු කළේ අසල්වාසී සංදීපනී අක්කාය, ඉගෙනීම් කටයුතු සඳහා මදි පාඩුව මෙන්ම තාත්තාගේ අඩුවද පිරිමැසුවේ ලොකු මාමාය, ඒ ගැන අදටත් කණ්ඩා මතක් කරන්නේ ඉමහත් ගෞරවයෙනි.

තාත්තා අප අතැර යන විට එතෙක් ඉටු කර ගත නොහැකි වූ අරමුණු කිහිපයක්ම තාත්තා වෙත විය … තම දරුවන් හට හොඳ අධ්‍යාපනයක් ලබා දීම, ගෙදර වැඩ කටයුතු සම්පුර්ණ කිරීම, ස්වෝත්සාහයෙන් අරඹා හොඳින් ලාභ ලැබූ වායු සමීකරණ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සහ තාත්තාගේ පවුලේ උදවියට පින්සිද්ද වෙන්නට එතෙක් නොහැකි වූ වාහනයක් මිලදී ගැනීමත් මින් කිහිපයක්ය.

තාත්තා නැති කල වායු සමීකරණ ව්‍යාපාරය පොඩි මීමාගේ පිහිටෙන් දියුණුවෙන් දියුණුවට පත් වී බංකොලොත් වී ගිය අතර, වාහනයක් මිලදී ගැනීම පොඩි කණ්ඩා තම කාරය මිලදී ගන්නා තෙක් හීනයක්ම විය !

නැගණියගේ අධ්‍යාපන කටයුතු පහසු කර ගැනීම සඳහා වැලිපිල්ලෑවේ නිවාස විකුණා දමන තුරුත් ගෙදර වැඩ නිම කරන තාත්තාගේ අරමුණු නම් ඉටු වුයේ නැත.

ගමේ ප්‍රභූවරයෙකු, දේස පාලුවෙකු,  අඩු තරමින් රජයේ සේවකයෙකු වත් නොවූ තාත්තා කිසිම දිනෙක උවමනාවට වඩා මුදල් පසු පස හඹා ගියේ නැත, එහෙත් තාත්තා හම්බ කළේ මුදල් නොව මිනිසුන් බව අප හැමට සක්සුදක් සේ වැටහුණේ තාත්තාගේ අවසන් කටයුතු සිදු කරද්දීය …

අවමගුල් උත්සවයට සහභාගී වූ පිරිවර කණ්ඩාට අදටත් මතකය, අවසන් කටයුතු වලදී පවුලේ උදවියට හෝ නෑදෑයන් හට සිදු කිරීමට දෙයක් ගම් වාසීන් ඉතිරි කළේ නැත … කණ්ඩා අදටත් ඒ ගම් වාසීන්ට, අසල්වැසියන් සහ හිත මිතුරන් හට පවුලේ කෘතඥතාව පල කරන්නේය …

කණ්ඩාලාගේ පවුල අද තමන්ටම කියා ජීවිත ගොඩ නගා ගෙන අවසන්ය … එය දැකීමට අප පියා නොසිටීම අප්‍රමාණ දුකක් ගෙන එන කාරණයක් උවද, තාත්තා අදටත් කොහේ හෝ සිට පවුලේ සැම දිහා සතුටින් බලා සිටිනූ ඇති යයි කණ්ඩාට සිතේ …

කණ්ඩාගේ පවුල වටා සවිමත් පවුරක්ව සිටි උදවිය ගැන මෙන්ම කණ්ඩාගේ මලණුවන් හා නැගණිය අද සිටිනා තැන ගැනද අහිංසක ආඩම්බරයක් කණ්ඩා විඳින්නේය, ඒ හැම දේම තාත්තාට පින් සිදු වන්නටය.

ගහක් ගලක් සේ හයි හත්තියට සිටි පියා පිළිකාවක් හේතුවෙන් දර ඉපලක තත්වයට පත් වෙනු දැකීම කණ්ඩා ගේ ජීවිතයේ අද වනතුරු ලද දුක්බරම අත්දැකීමයි. අවසාන කාලයේදී තාත්තට මුහුණ දීමට තරම්වත් ආත්ම ශක්තියක් කණ්ඩාට නොතිබුණේය …

කිසිවෙකුටත් වරදක් නොකළ තාත්තා වන් පුද්ගලයකු විවිධ සැත්කම් සහ විකිරණ ප්‍රතිකාර හේතුවෙන් ආපා දුක් වින්දේ ඇයිද යන්න අදටත් කණ්ඩාට ගැටලුවකි …

කණ්ඩාගේ පවුලේ උදවිය සහ හිත මිතුරන් තාත්තාට සෙත් පතා නොකළ බෝධි පුජා, භාරහාර, සෙත් ශාන්ති මෙන්ම නොගිය දේවාලයක්ද නැත … එමෙන්ම රටේ වෙද්දු කියා ගන්නා ගොඩ වෙද්දුන්ගෙන්ද තාත්තාට ඇති වූ සෙතක් නැත්තේය …

අදටත් මේ සියල්ල දෙස කණ්ඩා මහත් අවඥා සහගතව බලන්නේ එබැවින්ය. එවන් මනස්ගාත පසු පස ලුහුබඳීන්නන් හට කණ්ඩා අනුකම්පා කරන්නේය …

කණ්ඩාට ජීවිතය අන්තයටම පිළිකුල් කරවූ තැනක් ඇත්නම් ඒ මහරගම් පිළිකා රෝහලය … නොයෙක් පුණ්‍ය කටයුතු වලට දායක උවත් තාත්තා අවසන් වරට බැහැ දුටුවාට පසු අන් කිසිම දවසක එහි පා තැබීමට කණ්ඩා සුදානම් නැත.

මුළු නිවෙසක් එළිය කළ පහනක් නිවී ගිය කළ දැනෙන මහා අඳුර දරා ගත නොහැකි තරම්ය, නමුත් කණ්ඩා ඇතුළු පවුලේ සැම එහි කටුකත්වය අත් වින්දේය … අප අතර තාත්තා නැතිව ගෙවෙන විසි අවුරුද්දක් ලබන අදටත් ඒ කටුකත්වය කණ්ඩාට දැනෙන බව නොකිව මනාය …

තාත්තාට පින් පමුණවා අදත් අප නිවසේ හීල් දානයක් පවත් වන්නේය …  තාත්තා කොහේ සිටියත් …

තාත්තාට නිවන් සුව !

<< ගම නම් බංගම !

Advertisements