සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව !
කණ්ඩා ඔටු දේශයට (UAE) ගොඩ බැස රැකියාව ඇරඹීමෙන් මුල පිරුණ හත් වසක කාල සීමාවේදී අත්විඳි ඇතැම් දේ කණ්ඩාට අදටත් ඉන්ඩියානා ජෝන්ස් (Indiana Jones) සිනමා පටයක් සිහි ගන්වන්නේය.
වෙනසකට කියා ඇත්තේ ඉන්ඩියානා ජෝන්ස් කණ්ඩා තරමටම වැඩ කාරයෙකු නොවීම පමණි 🙂
(ඉතින් ඔන්න දුක හිතෙන කතන්දර කියනව එහෙම නෙමෙයි, අඩුම තරමේ IT අතින් හෝ කණ්ඩා ඉන්ඩියානා ජෝන්ස්ට වඩා වැඩ්ඩෙකි 🙂 )
මේ වෑයම එම වීර ක්‍රියා, මෝඩකම් සහ රසකතා තොරතුරු වලින් බිඳක් ඔබ හා බෙදා ගන්නටය … මෙය කණ්ඩා හටද විශේෂ ලිපියක් වන්නේ මෙහි අඩංගු බොහෝ දෑ පවුලේ උදවිය මෙන්ම කණ්ඩා හාමිනේද නොදැන සිටීමයි !
ඔටු දේශයේ දස වසක් තරම ගත කලත් කිසි දිනෙක ඔටු ඔපීසියක ඔටුවන් හා ඔට්ටු වීමට සිදු නොවීම කණ්ඩා ලද මහත් භාග්‍යයකි !
එවන් සමාගම් වල රැකියාවේ නියුතු හිත මිතුරන් හා දැන ඇඳුනුම් ඇත්තවුන් විසින් ලුණු ඇඹුල් ඇතිව පවසන නොයෙක් සිනහ උපදවන, සන්ත්‍රාසජනක, පිළිකුල් සහගත, මෙන්ම ඇතැම් විට ලේ කකියවන කතා කණ්ඩා අනන්තවත් අසා ඇත්තේය 🙂
නමුත් කණ්ඩා රාජකාරි සඳහා බැඳුනේ යුරෝපීය ආයතනයකටය, හරියටම කියනවා නම් ඩුබායිහි (Dubai) පිහිටි ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ (Operations HQ) තොරතුරු තාක්ෂණ අංශයටය (IT Department). ඒ කණ්ඩා IT කාරයෙක් නොහොත් IT බාසෙක් නිසාය.
මේ කොම්පැනියේ නම සිංහලයට හැරවූ කල “සුපිරි” ය … එහි සේවය කළවුන් මෙන්ම වැඩත් සුපිරිය … දිනකට පැය 12-16 ක් අතර ප්‍රමාණයක් සතියට දින 6ක් මුළුල්ලේ සේවයෙහි නියුතු වීම එකල අපට ඉතා සුලභ හුරු පුරුදු දෙයක් විය.
(දවසේ පැය අටවත් වැඩ කිරීමට බැරිව කෙඳිරි ගාන පඹයන් දුටු කල කණ්ඩාට යක්ෂාවේස වීමට මෙයත් එක හේතුවකි 🙂 )
ප්‍රධාන වශයෙන් ජර්මන්, ස්විස් සහ ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් සැදුම්ලත් පරිපාලනයක් යටතේ පැවති මෙහි සාර්ථකව සේවය කල හැකි වන්නේ කන්කෙඳිරි ගෑමකින් තොරව තම කාර්ය දැන කරන උන්හට පමණක්මය 🙂
මෙම ආයතනයේ මූලික වෙළඳ කටයුත්ත වුයේ ලොව පුරා දුෂ්කර පළාත් වෙත අහාර පාන, ප්‍රවාහන, ඉන්ධන සහ පිසූ ආහාර සැපයීම (Catering) ආදී නොයෙකුත් සේවාවන් ලබා දීමයි.
ලොව බලගතුම රාජ්‍යයන්, යුධ හමුදාවන්, අන්තර්ජාතික සංවිධාන (International Organizations), රාජ්‍ය නොවන ආයතන (NGO), මෙන්ම හමුදා / ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් (Defence & Military Contractors) මෙම ආයතනයේ සුලභ ගනුදෙනුකරුවන් විය.
යුද්ධය වනාහි අතිශය ලාභදායී වෙළඳාමක්ය යන්න කණ්ඩා අසා තිබුනත් පළමු වතාවට අත් දැකීමෙන්ම වින්දේ සුපිරි කොම්පැණියට පිං සිද්ද වෙන්නටය 🙂
සතර දෙස විහිදුන සැපයුම්කරුවන් (Suppliers) සහ භාණ්ඩ ප්රවාහකයින්ගෙන්ද (Transporters) සැදුම්ලත් ඉතා කාර්යක්ෂම සැපයුම් ජාලයකට (Supply Chain) සහ ප්‍රවාහන ජාලයකට (Logistics Network) කණ්ඩා සේවය කල ආයතනය හිමිකම් කියුවේය.
එක්සත් අරාබි රාජ්‍යය (UAE) ඇමරිකාව, යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව යා කරන ප්‍රධාන භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථායක් (Logistics Hub) වීම මේ වෙළඳ කටයුතු සඳහා කදිමට ගැලපුනේය.
එදවස සුපිරි කොම්පැණියේ ශාඛා කාර්යාල සහ පාරිභෝගික කාර්යාල/කඳවුරු රටවල් පහළවක පමණ විසිර පැවති අතර ලොව සෑම රටකින්ම පාහේ පැමිණි සේවකයින් 1,000 ක් පමණ දෙන සේවයේ නියුතු විය. ඉන් කණ්ඩා ඇතුළු 150 ක් පමණ දෙනා ඩුබායි හි සේවය කලවුන්ය.
මෙවැනි තත්වයක් යටතේ කණ්ඩාට නොමිලයේම ලොව වටා ඇවිදීමේ වරමක් උදා වන්නේ නොසිතු නොපැතූ අකාරයටය, ලොව දියුණුතම රටවල් මෙන්ම භයානකම රටවල්ද මෙම ගොන්නට අයත්ය !
කණ්ඩා මෙම ආයතනයට එක්වීම සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදී කණ්ඩාගෙන් විමසූ වැදගත්ම ප්රශ්නය වූයේ ඇෆ්ගනිස්තානය සහ බටහිර අප්‍රිකානු (Afghanistan and West Africa) රටවල සංචාරයට අකමැත්තක් ඇත්ද යන්නයි …?
එකල කණ්ඩා ඇෆ්ගනිස්තානය සහ එහි තත්වය ගැන දැන සිටියත් බටහිර අප්‍රිකාව ගැන හෝ සමස්ථයක් ලෙස ගත් කල අප්‍රිකාව ගැන හෝ දැනුවත්ව සිටියේ නැත.
එතෙක් රූපවාහිනී වැඩ සටහන් වලින් දැක තිබු වනජීවී වාර්තා වැඩසටහන් සහ ප්‍රවෘති වලින් දැක තිබූ සෝමාලියාවේ අරාජිකත්වය, දකුණු අප්‍රිකාවේ දේශපාලන විප්ලවය සහ ඉතියෝපියානු සාගතය වැනි සිදුවීම් හැර කණ්ඩාට අඳුරු මහාද්වීපය පිලිබඳ කිසිඳු වැටහීමක් නොතිබුනේය.
කණ්ඩා සිරි ලංකාවේ සිට ඔටු දේශයට ගොඩ බට මේ වකවානුවේ මාවිල් ආරු සොරොව්ව මැදිකරගෙන යුද්ධය නැවතත් දරුණුවටම ආරම්භ වූ අවදියයි. කණ්ඩා ඇතුළු වැසියන් උදේ වැඩට ගිය කල ගෙදර පැමිණෙන ගමන පිලිබඳ විශවාසයක් නැති වූ කාලයේ යුද්ධය යනු කණ්ඩාට නුහුරු නුපුරුදු මාතෘකාවක් නොවූයේය.
එකල කණ්ඩා යුද හමුදාවට බැඳීමට ඉමහත් කැමැත්තකින් සිටියේය, කණ්ඩාගේ පාසලේ ආදි සිසුන් බර තොගයක් එදාත් අදටත් ත්‍රිවිධ හමුදාවේ සේවය කරන්නෝය. එනිසා මෙය ඉතාමත් ලෙහෙසියෙන්ම කණ්ඩාගේ ඔලුවට වැටුණු අදහසක් වූ නමුත් කණ්ඩාගේ පියාගේ අභාවයෙන් පසු ගෙදර පැවති වාතාවරණය සහ මවගේ දැඩි අකමැත්ත මෙයට හරස් කැපුවේය … 😦
ඒ කෙසේ නමුත් යක්කුන්ට බිය උදවිය සොහොන් වල ගෙවල් හදන්න යන්නේ නැත, ඉතින් දෙවරක් නොසිතා කණ්ඩා ඇෆ්ගනිස්තානයට හෝ අප්‍රිකාවට ගමන් කිරීම සඳහා මනාපය පල කළේය !
කණ්ඩාගෙන් ප්‍රශ්න විමසූ මානව සම්පත් පරිපාලකවරිය (HR Administrator) මෙය කිසිසේත් අපේක්ෂා කල දෙයක් නොවන බව ඇගේ මුහුණෙන් මොනවට පැහැදිලි විය. නොම්මර එකේ පිස්සෙක් හමු වූ ආකාරයට කණ්ඩා දෙස බැලූ අයුරු හාස්‍යයට කාරණයකි.
පසු කලෙක කණ්ඩා සමග බෙහෙවින් කුළුපග වූ ඇගෙන් දැන ගත්තේ එදා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් අයදුම් කරුවන් විස්සක් පමණ දෙනා අතරින් ඇෆ්ගනිස්තානයේ නම ඇසුන සැනින් කලබල වී හීන් දහදිය දමා නැත්තේ කණ්ඩාට පමණක් බවය. එමෙන්ම කණ්ඩාට මොළේ අමාරුවක් ඇත්දෝයි සැකයක් ඇති වූ බවත් ඇය පිළිගත්තේ හඬ නගා සිනා සෙමිනි 😉
මෙසේ රැකියාවට බට කණ්ඩාගේ කණ්ඩායමේ ලොව පුරා විසිරි හැත්තෑවක පමණ පිරිසක් සේවය කලෝය. ඇෆ්ගනිස්ථානයට පය නොතබා අන් කිසිම ගමනාන්තයකට ගොස් වැඩක් නැති බව කණ්ඩා සමග වැඩ කල හැම දෙනා නිතර කොලොප්පමට කියූ කතාවකි.
හේතුවකට හෝ අහේතුවකට එකල කාගේත් කතා බහට ලක් වූ ඇෆ්ගනිස්ථානයට ගොස් එහි ඇත්ත ඇති සැටියෙන් දැක බලා ගැනීමට කණ්ඩා හට වුයේ නොනිම් ආසාවකි.
එබැවින් කණ්ඩා හට කොහෙවත් නැති තද පිස්සුවක් තිබීමට බොහෝදුරට ඉඩ කඩ බොහෝ වැඩිය 🙂
රැකියාව පටන්ගෙන දෙමසක් ඇතුලත කණ්ඩාගේ සිහිනය සැබෑ වෙන ලකුණු පහළ විය, ඒ ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල්හි (Kabul) කඳවුරු කිහිපයකට ආහාර සැපයීමේ කොන්ත්‍රාත් ලබා ගත් අප ආයතනය නව ආහාර වේල් බෙදා හැරීමේ (Meal Issuance and Management System) මෘදුකාංග සහ උපාංග සවි කිරීමේ ව්‍යාපෘතියකට කණ්ඩා සම්බන්ධ වූ නිසාය.
අපගේ සේවා දායකයන් වුයේ එකල කාබුල් අවට ආරක්ෂක මෙහෙයුම් දියත් කල හැට දහසකට අධික වූ NATO – ISAF හමුදාංකයන්ය (North Atlantic Treaty Organization – International Security Assistance Force).
එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, හංගේරියාව, කැනඩාව, නොර්වේ, ඔස්ට්‍රේලියාව ආදී රටවල් රාශියක හමුදා භටයන් මෙම හමුදාංක වලට ඇතුලත් විය.
අවසානයේ කණ්ඩාට ඇෆ්ගනිස්තානය වෙත පිය නැගීමට සති කිහිපයක් ඇතුළත දින වකවානු නියම විය. හැමදේටම ප්‍රථම ඇෆ්ගනිස්තාන් වීසා අයැදුම් කරලීම සඳහා ගමන් බලපත්‍රය යොමු කළ කණ්ඩා මහත් උනන්දුවෙන් ගමනට සූදානම් වුවත් වීසා ලැබේදෝ නැද්දෝ යයි කුකුසකුත් නොතිබුනාමත් නොවේ !
ඔටු දේශයෙන් පිටවී තලිබාන් දේශයට ඉගිලීම ඉදිරියට >>
~ මතු සම්බන්ධයි !
නොවැම්බර් 29, 2016 at 3:14 ප.ව.
Good experience and I also had dream to go Afghan but unfortunately its not happen.
කැමතියිLiked by 1 person
නොවැම්බර් 29, 2016 at 6:23 ප.ව.
The time to visit Afghanistan safely has come and gone 🙂
The situation has deteriorated considerably since the withdrawal of Yankees.
You simply wouldn’t know whom to trust there anymore.
කැමතියිකැමතියි
නොවැම්බර් 29, 2016 at 6:44 ප.ව.
මටත් මාර ආසාවක් තියෙනවා ඇෆ්ගනිස්තාන් ගිහින් බලන්න
කැමතියිLiked by 1 person
නොවැම්බර් 29, 2016 at 6:55 ප.ව.
මේක ලස්සන රටක් නමුත් මිනිස්සු ගොඩ දෙනා දුප්පත් වගෙම නුගත් දැන් තත්වය හොඳටම අවුල්. එහේ යන්න තිබ්බ බෝට්ටුව පිටත් වෙලා ඉවරයි මහත්තයො 😟
කැමතියිකැමතියි
නොවැම්බර් 29, 2016 at 8:25 ප.ව.
වෙලාවට කණ්ඩා ගෙදරට කියුවෙ නැත්තෙ. නැත්තන් ගෙදර අයත් බොගෙ මූණ දිහා බලන්නෙ අර නෝනා වගෙ තමයි. හාමිනේට කියුව නන් ඇෆ්ගනිස්තානෙ යන්න ඕනේ නැහැ යුද්දෙ බලන්න. පොස්ට් එක ටිකක් දිගට දාපන් කණ්ඩා හොදම හරිය එන කොට මතු සමිබන්දයි 😦 😦
කැමතියිකැමතියි
නොවැම්බර් 30, 2016 at 10:17 පෙ.ව.
ගෙදර උදවිය කණ්ඩාට ඇති ඇවිදින පිස්සුව හොඳින්ම දන්නා නිසා දැනගත්තහම හිතුවේ හොඳටම පිස්සු තද වෙලා කියල 🙂
ඉන්න පොඩ්ඩක් උස්සල අවුස්සලා දෙන්න ඉන්නේ …. 🙂
කැමතියිකැමතියි
නොවැම්බර් 30, 2016 at 10:33 පෙ.ව.
කණ්ඩා හාමිනේත් ඇෆ්ගනිස්ථානේ කරක් ගහපු ඉස්තිරියා රත්නයකි ! යුද්ධය උපරිමය කාලයේ ඇයත් කන්දහාර් වෙත කිහිප වඩියක්ම ගොඩ බැස්සේය … 🙂
එබැවින් වැරදි කොමෙන්ට් දැමීමෙන්ද … දැම්මොත් හාමිනේට මුලිච්චි නොවීමටද වග බලා ගැනීම ශරීර සුවතාවයට හොඳය 🙂
කැමතියිකැමතියි
නොවැම්බර් 30, 2016 at 5:45 පෙ.ව.
ඔක්කොම ලියපං මිස් නොකර. ඇෆ්ගනිස්ථානය ගැන මාධ්‍ය ආයතනයක කෙනෙක්වත් ගියපු විස්තරයක් අහල නෑ.
කැමතියිකැමතියි
නොවැම්බර් 30, 2016 at 10:37 පෙ.ව.
අනිවාර්යෙන්ම … මේ කතන්දර අමතක කරන්න හැදුවත් කරන්න බැරි ඒවා … 🙂
කැමතියිකැමතියි
දෙසැම්බර් 1, 2016 at 5:09 පෙ.ව.
කණ්ඩෝ මේක ලස්සන ලිපියක්. පරක්කු කරන්නේ නැතුව ඉතුරු ටික ලියහං.
කැමතියිLiked by 1 person
දෙසැම්බර් 1, 2016 at 6:26 පෙ.ව.
තාම තම්බල ඉවර නැහැ පොරණුවෙන් බාපු ගමන් උණු උණුවෙම දානවා 😉
කැමතියිකැමතියි
දෙසැම්බර් 2, 2016 at 11:01 පෙ.ව.
ඇෆ්ගනිස්තානය ගැන කණ්ඩගේ ලියවීම දිගටම කරන්න. මමත් මේ “අමතකවූ හෝ අමතක කෙරූ දේශය” ගැන කියවන්න ආසයි.
A thousand splendid suns හම්බවුනොත් කියවන්න.
කැමතියිLiked by 1 person
දෙසැම්බර් 2, 2016 at 7:02 ප.ව.
බොහොම ස්තුතියි! මම Kite Runner ෆිල්ම් එක බලල තියනව නමුත් ඔය කියන පොත කියවලා නැහැ 👍
කැමතියිකැමතියි
නොවැම්බර් 7, 2017 at 7:08 පෙ.ව.
සුපිරි ..කරගෙන යන්න…සුභ පතනව
කැමතියිLiked by 1 person
නොවැම්බර් 7, 2017 at 10:55 පෙ.ව.
බොහොම ස්තුතියි !
කැමතියිකැමතියි