antanov-aircraft-ready-to-refuel-in-kabul-international-airfield-kia

හිවලුන් සමග රාමසාන් සහ ඇන්ටනොව් !

ඇෆ්ගනිස්ථානයට ඇතුළු වීමේ වීසා බලාපොරොත්තුවෙන් බලා සිටි නොඉවසිලීමත් සති කිහිපය අදටත් කණ්ඩා හට සිහියට නගා ගැනීමට අපහසු නැත.

අලුත් රටකට ගොඩ බැස යහළු මිත්‍රාදීන්ගෙන් ‍දුරස්ව මහත් චකිතයකින් යුතුව ගෙවුන එම කාලසීමාව දරා ගැනීමට හැකියාව ලබා දුන්නේ අලුත් රැකියාවේ වූ කාර්ය බහුලත්වයයි.එවක කණ්ඩායමේ නවතම සහ ලාබාලතම සාමාජිකයා වූ කණ්ඩා දක්ෂතා සහ උනන්දුවක් පෙන්වූ ක්ෂේත්‍රය වූයේ ERP හෙවත් ව්‍යාපාර සම්පත් සැලසුම්කරණයයි (Enterprise Resource Planning) **.

** ගුගල් ට්‍රාන්ස්ලේට‍රයට (GoogleTranslator) අනුව නම් “ERP” යනු “එප්පාවල රොක් පොස්පේට්” ය  (Eppawala Rock Phosphate), ඉතින්  IT යයි සිතාගෙන සිටියත් නොදැනුවත්කමට කණ්ඩා මෙතක් කල් නියැලී ඇත්තේ පොස්පේට් කර්මාන්තය නොහොත් කෘෂිකර්මාන්තයේය. ගුගල් කියපු නිසා වරදින්නට ඇති ඉඩ කඩද අඩුය ! **

erp-aka-eppawala-rock-phosphate

(ERP හෙවත් “එප්පාවල රොක් පොස්පේට්” )

එවක සුපිරි කොම්පැණියේ ERP මෘදුකාංග ව්‍යාපෘතිය ආරම්භයේ ඇති වූ පමාවත් සමග පැමිණි කම්මැලිකම මෙන්ම කාලය කා දැමීමට ඇති අකමැත්ත කණ්ඩා ඇෆ්ගනිස්ථාන් අභියෝගය උඩින්ම භාර ගැනීමට හේතු පාදක වූ ප්‍රධාන කාරණාවන්ය.

එදා මෙන්ම අදත් කිසිම අභියෝගයකට පස්ස ගැසීම කණ්ඩාගේ සිරිත නොවේ !

එබැවින් ඇෆ්ගනිස්ථාන් ව්‍යාපෘතියේ මෘදුකාංග කළමණාකරණයට (Software Management) අදාළ බොහෝ දේ කණ්ඩාට භාර විය. මෘදුකාංග ඉන්ස්ටෝල් කිරීම, ඒවා නිවැරදිව වැඩකරන බව පිරික්සීම මෙන්ම පුහුණු වීම් කටයුතුද මෙයට අදාළ විය.

මෙම ව්‍යාපෘතිය කණ්ඩාගේ ක්ෂේත්‍රය වන ERP සමග ඇති ගැලපීමක් නැත. නමුත් ඕනෑම ගැට්ටකට කර ගසා ගොඩ දැමීමට කැමති කණ්ඩාගේ ඇඟට මේ කටයුතු සියල්ල පටවා අත පිසදා ගැනීම කිහිප දෙනෙකුගේම දැඩි සතුටට හේතු විය 🙂

ඕනෑම කොම්පැණියක හැම කුණු කන්දක්ම යන්නේ බර අදින අලින් පිට මිස පෙරහැරේ යන අලින් පිට නොවන බව ලෝකෝත්තර සත්‍යකි.

ඉතින් මේ මළ ඉලව් සියල්ලම අස්සේ එදා සිටම බර අදින අලියෙකු වූ කණ්ඩාගේ පිටට සැපයුම්කරුවන් සමග සම්බන්ධීකරණ කටයුතුත් පැටවීමේ කාර්යට උර දුන්නේ කණ්ඩාගේ සද් ගුණවත් කළමණාකාරතැනයි.

අප හා රැගෙන යා නොහැකි බරෙන් සහ ප්‍රමාණයෙන් වැඩි උපකරණ අප කාබුල් වෙත ලඟා වීමට පෙර ගුවන් ගත කළ යුතුය.

එමෙන්ම රජයේ අවසර පත්‍ර (Government Certifications) සහ හමුදා අනුමැතිය (Military Approval) ගත යුතු විවිධ සන්නිවේදන සහ ඉලෙක්ට්‍රොණික උපාංගද (Communications and Electronic Equipment) මේ අතර වේ.

මෙයින් එක ලියවිල්ලක හෝ අඩු පාඩුවක් පැවතියොත් එය UAE සිට ගුවන් ගත කිරීමටද එය කාබුල් වලින් නිෂ්කාශනය (Clearing) කිරීමටද තවත් බොහෝමයක් ප්‍රමාදයන් හටද අත වනනා වරදකි.

ඉහත සඳහන් කළ කාර්යන් සියල්ල කාලය ගතවන ක්‍රියාවලියන්ය, එබැවින් වීසා ලැබෙන තුරු කණ්ඩා ඇතුළු කණ්ඩායමට සුදානම් වීම සඳහා කාරණා කටයුතු රාශියක් පැවතියේය.

කණ්ඩාට මින් වැඩියත්ම අපහසු කටයුත්ත වූයේ කණ්ඩාගේ ඔලුවට බලෙන් කඩාපාත් වූ මරාලයක් වන පරිඝණක සැපයුම්කරුවන් හෙවත් ලෝකය කා වතුර බීපු රට අණ්ඩපාලයන් සමග සම්බන්ධීකරණ කටයුතු කිරීමයි.

ඇනවුම් (PO – Purchase Orders) ලබා ගැනීම වෙනුවෙන් අලි දෙන්නම් කොටි දෙන්නම් යනුවෙන් රටේ නැති ඕනෑම පොරොන්දුවක් ලබා දෙන හිවලුන් සේ කපටි මොවුන් හට එම පොරොන්දු ඉටු කිරීමේලා කිසිඳු හදිසියක් නැත්තේය. එහිදී මතකයට එන්නේ පැරණි සිංහල කලුසුදු චිත්‍රපටියකි, නම “කඩවුණු පොරොන්දුව” ය !

එවක මැදපෙරදිග අත්දැකීම් අවම වූ කණ්ඩා හට මෙය අභියෝගයක්ම විය, මෙම කලාපයේ ඇති ප්‍රායෝගික ගැටළු සහ බිම් මට්ටමේ තත්වයන් (Practical issues and Ground realities ) ගැන තිබුණු නොදැනුවත්කම මෙය තවත් තීව්‍ර කළේය.

මැද පෙර දිග ගිම්හාන කාලයත් (Summer) සමග එළඹෙන මුස්ලිම් ලබ්දිකයන් විසින් සමරන්නටද සහ අනෙක් අය විඳවන්නටද යෙදෙන “රාමදාන්” හෙවත් “රාමසාන්” උළෙල (Ramadan/Ramazan) ** මෙම වැඩ කටයුතු තව තවත් අපහසු සහ අප්‍රසන්න කර වූයේය.

** අරාබි බසින් “රාමදාන්” නමින් හඳුන්වන මෙය ඉන්දියානු උප මහාද්වීපික රටවල “රාමසාන්” ලෙස හැඳින්වේ ! **

ලංකාවේ වෙසෙන සමයේ කණ්ඩා රාමසාන් පිළිබඳව දැන සිටියේ අල්ප වශයෙනි, නමුත් රාමසාන් මස පුරා යෙදෙන අහාර පානයෙන් වැලකී සිටින උපවාස කාලයක් ඇති බවත් එය හඳුන්වන්නේ නෝම්බි අල්ලනවා යනුවෙන් බවත් කණ්ඩා අසා දැන සිටියේය.

කුස ගින්නේ ඉඳීමෙන් අත්වන සෙතක් ගැන කණ්ඩාට වැටහීමක් නැත.** ඒ කුසගින්නේ ඉඳිනා විට කණ්ඩා අත්විඳින නොසන්සුන් ස්වභාවය සහ නොඉවසිලිමත්කමය (Crankiness and Impatience), වෙනදාටත් වඩා මූලගින්න තද වනවා මිස මෙයින් සිදු වන කිසිම සෙතක් නැත්තේය.

** කණ්ඩා තාර්කිකව පිළිගන්නා ලෙසට අත්තකිලමතානුයෝගය – සිරුරට අධික දුක් දීම මෙන්ම කාමසුඛල්ලිකානුයෝගය – සිරුරට අධික සැප ලබාදීමත් යන දෙකම අන්තවාදීය !

මෙම ඉස්ලාම් ආගම හා බැඳුන ඇතැම් විකාරයන් කණ්ඩාට සිහි ගන්වන්නේ බෞද්ධයන් විසින් දෙන්නන් වාලේ දෙන දන්සැල් සහ බෝධි පූජා වන් විකාරයන්මය. **

මුසල්මානුවන් උපවාසයේ යෙදී හිරු බැස යාමෙන්  අනතුරුව කුස පිනවීමට පිළිගන්වන ඉෆ්තාර් (Iftar) ආහාර වේලට අඩංගු වන්නා වූ බිරියානි, රටඉඳි, පලතුරු සහ ෆලුඩා ගැන නම් කණ්ඩාගේ කිසිඳු අකමැත්තක් හෝ අමනාපයක් නැත්තේය 🙂

(ඉෆ්තාර් -Iftar ආහාර වේල් )

(කෑමට බීමට ලැජ්ජා – භය, යහළුවෝ – තරහකාරයෝ අදාළ නැත, නමුත් පමණ දැන නොකලොත් මෙයත් නතර වන්නේ කාමසුඛල්ලිකානුයෝගයෙන්මය … :))

ඔටුවන්ගේ දේශයට ගොඩබට පසු මුහුණ දුන් පළමුවෙනි රාමසාන් මාසය කණ්ඩා හට නම් කිසිඳු සතුටක් ගෙන ආවේ නැත.

මේ කාල සීමාව තුල හෝටල් සහ අවන්හල් තුල අලුයම සිට ඉර බැස යනතෙක් ආහාර පාන අලෙවියක් සිදු නොවන්නේය. එළිපිට අහාර පාන අනුභවය මෙන්ම ප්‍රසිද්ධියේ දුම්බීම සහ චුයින්ගම් හැපීම පවා නීතියෙන් තහනම්ය.

ඇතැම් අවන්හල් කෑම බීම බෙදාහැරීමේ කටයුතු වල නිරත උවත් ඔවූන් ඒ සඳහා රජයේ විශේෂ අවසරපතක් ලබා ගත යුතුය, එම ගාස්තුවට සරිලන ලෙස නැවතත් පාරිභෝගිකයන් මෙම සේවය උදෙසා කෑම වියදමට අමතරව සුළු මුදලක්ද වැඩිපුර ගෙවිය යුතුය.

කෑම ගෙන්වා ගත්තත් අනුභව කරන්නට සිදු වන්නේ කෑම කාමරයට වී දොර වසාගෙන හොරෙන් වහංගු වීමෙන්ය (හැංඟී ආහාර ගැනීමෙන් කාගේවත් සිල් බිඳෙන්නේ නැත). මේ සමයං වලට හුරු පුරුදු නැති, වැඩ කරන ගමන්ම ආහාර ගන්නට පුරුදු කණ්ඩාට මෙය මහත් කරදරයක්ම විය.

මෙම කාලය තුල ඩුබායිහි මත්පැන් අලෙවිය සඳහාත් යම් යම් සීමා පැනවෙන්නේය, ඒ සඳහා අවසර ඇත්තේත් සපුරා ආවරණය වූ ස්ථානයන්හි පමණි.

තවද බාර් සහ මත්පැන් අලෙවි කරනා ස්ථාන වෙත ඇතුළු වීමේදී හැඳුනුම්පත් පරික්ෂා කරන්නේ මුස්ලිම් ලබ්දිකයන් ඇතුළු වීම වැළක්විමටය !

වෙනදා රාත්‍රී සමාජ ශාලා තුලින් කණ පැලෙන්නට ඇසෙනා සංගීත සංදර්ශනද නැත්තේය, ඇතත් ඒ බොහොම හීනියටය.

මේ කාල සිමාව තුල සිල් බිඳ හසුවන්නන් හට දඩ සහ දඬුවම් වෙනදාට වඩා දරුණුය, එබැවින් මේ සමය බොහෝ බේබද්දන්ට කාලය ඉතා සෙමෙන් ගතවෙන ඉඩෝරයකි !

කෑම බීමටත් වඩා කණ්ඩා පෙලූ බරපතලම ප්‍රශ්ණය වූයේ රාමසාන් මස පුරා වෙනදාට වඩා පැය තුනක් අඩුවෙන් රාජකාරි සිදු කිරීමයි.

මේ වන විටත් ව්‍යාපෘති සැලසුම් කාලසටහනේ (Project Plan) බොහෝ පසුපසින් සිටි අපට මෙම ප්‍රමාද අතිශය දරුණුවට බලපෑවේය.

සැපයුම් කරුවන් සම්බන්ධ කටයුතු වලදීද රාමසාන් සියල්ල උඩු යටිකුරු කළේය, කලින් සුදානම් කරගත් භාණ්ඩ සහ සේවා ලබා ගැනීම දිනෙන් දින කල් යන්නේ රාමසාන් නිදහසට කාරණයක් ලෙස යොදා ගනිමින්ය.

ඉතින් උදේ සිට දහවල් වන තෙක් කණ්ඩාගේ ප්‍රධාන රාජකාරියක් වූයේ සැපයුම් කරුවන් පසු පස හඹා යාමයි, කණ්ඩා සැපයුම් කරුවන් කළමනාකරණය කිරීමට දරණා උත්සාහය මුළු මහත් කණ්ඩායමටම විහිළු සැපයූ කාරණාවකි !

පහත දැක් වෙන්නා බඳු සංවාදයන් එකල ඉතා සුලභය 🙂

When am I going to get my equipment ? You have already fallen behind a week ?

මම ඇනවුම් කරපු උපකරණ කොහෙද ?  දැනටමත් සතියක් පක්කුයි !

Well it’s due to Ramadan Sir …. Insha Allah, We will definitely deliver it tomorrow Sir, I promise !

අනේ සර් මේ රාමදාන් නිසා ! දෙයියන්ගේ පිහිටෙන් හෙට එවනවා කියල මම පොරොන්න්දු වෙනවා !

නමුත් මේ පොරොන්දු සියල්ල කඩවුණු පොරොන්දුය, උපකරණ භාර දීමට බාලගිරි වැළඳුනා සේය.

බැරිම තැන කණ්ඩා ඇනවුම අවලංගු කිරීමට සැපයුම් කරුට තර්ජනය කරන්නේය, එවිට ලැබෙන්නේ මෙවන් පිළිතුරුය.

We are trying our best Sir, Insha Allah ! we will deliver soon !

අපි මේ ගැන කරන්න පුළුවන් උපරිමය කරනවා සර්, දෙයියන්ගේ පිහිටෙන් ඉක්මනට එවන්න පුළුවන් වෙයි !

I have no business with God, I deal with YOU ! Can you deliver the equipment or Not ?

If you can’t deliver my F***** equipment, I’m going to cancel the  B***** order !

මට දෙයියොත් එක්ක ගනුදෙනුවක් නැහැ, මම ගනුදෙනු කරන්නේ ඔයත් එක්ක !

මට මගේ උපකරණ ලැබෙනවද නැද්ද ?

ඔයගොල්ලන්ට බඩු එවන්න බැරිනම් අපි ඕඩරය කැන්සල් කරනවා !

කණ්ඩාගේ දුරකථන සංවාද ඇසෙන මානයේ සිටිනා කණ්ඩායමේ සාමාජිකයන් මේ සඳහා උල්පන්දම් දෙමින් කණ්ඩාව තවත් අවුස්සන්නේ අහිංසක සතුටක් හෙවත් සිඟිති ආතල් එකක් ලැබීමටය.

කණ්ඩාගේ මිතුරන්ගේ ඉල්ලීම් සහ අනතුරු හැඟවීම මත කණ්ඩා පසු කලෙක භාෂාව හැසිරවීම් විලාසය වෙනස් කර ගත් (Don’t F****** Curse Please !) නමුත් ඉන් අත් වූ වෙනසක්ද නැත්තේය !

ඔටු දේශයට ගොඩ බැස්ස මුල් දිනවලදී “ඉන්ෂා අල්ලාහ් !” – Inshah Allah ! යන යෙදුම ඇසෙන විටත් කණ්ඩාට අසූ හාර දහසටම නගින්නේය !

ඒ ඉස්ලාම් දහම හා තිබුණු කෝන්තරයක් නිසා නොව, ඔටුවාගේ රටේ ඉන්නා බොහෝ දෙනා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම පටන් ගන්නේ මේ ආකාරයෙන් නිසාය.

එක්සත් අරාබි රාජ්‍යයේ නීති රීති සහ සිරිත් විරිත් සෞදි අරාබිය තරම් දරදඬු නොමැති උවත් ඒවාට හැඩ ගැසීමට පිටස්තරයන් වන අපට තරමක් අපහසුය.

කල් ගත වෙන විට කණ්ඩා මෙම ඔටු සමයං සඳහා යම්දුරකට හුරු පුරුදු උවත් රාමසාන් මාසය පුරා දුවන මෙම අකාර්යක්ෂම වැඩ කටයුතු සහ අහාරපානාදිය සපයා ගැනීමේ දුෂ්කරතා නම් තිබුණ තැනමය !

මේ අල්ල පනල්ලේම ඇෆ්ගනිස්තානය වීසා ලැබීම සඳහා මසක පමණ කාලයක් යනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් සති තුනකට පමණ පසු කණ්ඩාගේ ඇෆ්ගනිස්ථාන් වීසා ලැබී ඇති බව මහජන සම්බන්ධතා නිලධාරීවරයාගෙන් (PRO) පණිවිඩයක් ලැබෙන්නේ ඔය අතරය තුරදීය.

අපගේ පාරිභෝගිකයන් යුධ හමුදාවන් වන හෙයින් ඔවුන් විසින් පනවන ලබන කොන්දේසි කෝටියකට යටත්ව ප්‍රා‍යෝගික නොවන ඉතාමත් කෙටි කාල සිමා (Unrealistic Deadlines) යටතේ ව්‍යාපෘති නිම කිරීමට සිදුවීම අතිශය සාමාන්‍ය දෙයකි !

එනිසා එතෙක් ඇල් මැරුණ ස්වභාවයෙන් පැවති අපගේ ව්‍යාපෘතියේ වැඩ කටයුතුද නැවතත් පණ ගසා හැල්මේ දුවන්නට පටන් ගත්තේ ව්‍යාපෘතිය අවසන් කරන දින දිගු කිරීමේ පුරුද්දක් යුධ හමුදාවන් හට නොමැති බැවිනි.

ඉතින් වීසා ලැබුණු වහාම සතියක කාලයක් ඇතුළත ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් බලා පිටත් වීමට සියළු දෙනා තීරණය කළෝය.

නමුත් ඉන්පසුව එළඹීයේ ගමනට අතිශය වැදගත් ගුවන් ගමන්, නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් සකසා ගැනීම වැනි හැටහුටහමාරක් කටයුතු නිමවා ගැනීමයි.

කාබුල් යනු සංචාරකයන් පැමිණේන ස්ථානයක් නොවේ, එබැවින් එහි හෝටල් පහසුකම් ඇත්තේ ඉතා අල්ප වශයෙනි **. ඒ තිබෙන හෝටල වලද ඉඩකඩ ඉතා සීමිතය.

** එදවස යුධමය තත්වයන් යටතේත් කාබුල්හි හොඳ තත්වයේ හෝටල දහයකට අධික ප්‍රමාණයක් තිබුණු බව කණ්ඩාට මතකය **

(කාබුල්හි ප්‍රසිද්ධ හෝටල් )

තිබෙන සුළු  ප්‍රමාණයක් වන හෝටල් නිතරම යුද්ධය වාර්තා කිරීම සඳහා එහි රැඳී සිටින විදෙස් මාධ්‍යවේදීන් සහ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් දීර්ඝ කාලයන් සඳහා නිබඳවම වෙන් කර ගනු ලබන්නේය.

එමනිසා කාබුල් නුවර හෝටල් කාමරයක් වෙන් කර ගැනීම ජැක්පොට් එකක් ඇදෙන්නා මෙන් ඉතා දුෂ්කර මෙන්ම මිලෙන් අධික කටයුත්තකි !

මෙවන් හෝටලයක නැවතීමට ඉඩ ලැබුනද එම ප්‍රදේශ වල සිටින විදේශිකයන් ඉලක්ක කරමින් නිරන්තරයෙන් එල්ල වන රොකට් සහ සුළුඅවි ප්‍රහාර හේතුවෙන් කෙතරම් ආරක්ෂාව තර කලද මෙම නවාතැන් අනාරක්ෂිතය.

ඇෆ්ගනිස්ථානයට නිතර යන එන පළපුරුදු කාරයින් මෙවන් හෝටල් වලින් හැකිතරම් ඈත් වී සිටීමට උත්සාහ ගන්නේ එම නිසාය.

මේ හේතූන් නිසා ඇෆ්ගනිස්ථානයේ වෙළඳ කටයුතු වල යෙදෙන විදෙස් ආයතන සියල්ලම පාහේ තම තමන්ගේම නවාතැන් පොළවල් පවත්වාගෙන යන්නෝය. තම සේවකයන් හා අමුත්තන් සඳහා නවාතැන් පහසුකම් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි.

කණ්ඩා සේවය කල “සුපිරි” කොම්පැණිය සතුවද මෙවන් නවාතැන් පොළවල් කාබුල් ඇතුළු ඇෆ්ගනිස්ථානය පුරා විහිදී පැවතියේය !

කාබුල්, කන්දහාර්, හෙරත්, හයිරටන් සහ බාග්රම්  (Kabul, Kandahar, Herat, Hairaton and Bagram) යන නගරයන් මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නේය.

එබැවින් කණ්ඩා ඇතුළු කණ්ඩායමේ ගමනාන්තය වූ කාබුල් නගරයේ සුපිරි කොම්පැණිය සතුව පිහිටි කඳවුරක නවාතැන් පහසුකම් පිළියෙළ විය.

හෝටලයක් තරම් සුව පහසුව නොතිබුණත් මෙම කඳවුරේ නවාතැන් හිමිවීම ආරක්ෂාව අතින් වෙස් වළා ගත් ආශීර්වාදයකි !

මෙම කඳවුර තුළ මාස ගණනාවකට සරිලන විශාල ආහාර ගබඩාවක් මෙන්ම දිනපතා විසි දහසක් පමණ දෙනා හට ආහාර පිසීමට හැකි මුළුතැන්ගෙයක් සමග ඉදිකළ සුවිශාල කෑම ශාලාවකින්ද යුතු බව කණ්ඩායමේ පුරුදු කාරයන්ගෙන් කණ්ඩා දැන ගත්තේය.

ඉන්පසු තිබුණු ගැටලුව ඇෆ්ගනිස්ථානයට ගමන් කරන්නේ කෙසේද යන්නයි, ඇෆ්ගනිස්ථානය වෙත පිවිසිය හැකි ආකාරයන් කිහිපයකි.

පකිස්ථානය, ඉරානය, ටජිකිස්ථානය, ටර්ක්මෙනිස්ථානය සහ උස්බෙකිස්ථානය ආදී දේශයන් හරහා වැටුණු ගොඩබිම් මාර්ගද ගුවන් මගින් පියාසර කල හැකි කාබුල් සහ කන්දහාර් යන ප්‍රධාන ගුවන් තොටුපොලද මින් ප්‍රධානය.

මෙයින් කෙටි කාලයක් ඇතුලත පහසුවෙන් ඇෆ්ගනිස්ථානය වෙත ලඟා විය හැක්කේ ගුවන් මගින්ය, එහෙයින් අපගේ තීරණය වුයේ කාබුල් බලා ඉගිලීමටය.

මේ වකවානුව තුල ඇෆ්ගනිස්ථානය වෙත පියාසැරූ ගුවන් සේවා කිහිපයක්ම විය කැම් එයා, සෆී එයා සහ ඇරියනා ඒ අතර විශේෂ විය (KamAir, SafiAir and Ariana )

නමුත් කණ්ඩා ඇතුළු කණ්ඩායමට මෙවන් පහසුකම් ලැබුනේ නැත, ඒ සුපිරි කොම්පැණිය මගින් භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගත් සෝවියට් රුසියානු ජනපදයක් වන යුක්රේනයේ නිෂ්පාදිත ඇන්ටනොව් (Antanov) යානාවන් මාර්ගයෙන් සේවකයන්ද කාබුල් වෙත යැවීම එකල කණ්ඩා සේවය කල ආයතනයේ නිතර කල දෙයක් නිසාය.

එකල සුපිරි කොම්පැණිය විසින් කුළී පදනම යටතේ ලබා ගත් ඇන්ටනොව් ගුවන් යානා (Chartered Flights) කිහිපයක්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) විය.

එම ඇන්ටනොව් යානා අරාබි එමීර් රාජ්‍යයේ සාජා සහ රාස් අල් කයිමා (Sharjah and Ras Al Khaimah) ගුවන් තොටුපොළවල්හි සිට ඇෆ්ගනිස්ථානයේ කාබුල් සහ කන්දහාර් වෙත දිනපතා අවම වශයෙන් ගුවන් ගමන් වාර තුන හතරක යෙදීම සුලභව සිදු විය.

මෙම සෑම ගුවන් ගමන් වාරයකදීම නැවුම් එළවළු පලතුරු, සහල්, පිටි, පානීය ජලය, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ විවිධ උපකරණ සමග මගීන් කිහිපදෙනෙක්ද ඇෆ්ගනිස්ථානය බලා ඉගිලුනේය.

“ඇන්ටනොව්” යන නම කණ්ඩා ඇතුළු ශ්‍රී ලාංකිකයන් හට නුහුරු නුපුරුදු නමක් නොවේ, නමුත් එම ප්‍රසිද්ධිය ලැබී ඇත්තේ සතුටුදායක කාරණා වලට නම් නොවන බව දන්නෝ දනිති.

මේ පවසනා අවදියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව තිබුණු ඇන්ටනොව් යානා වැඩි ප්‍රසිද්ධියක් ඉසිලුවේ උඩ ඉගිලීමට වඩා බිම බඩ ගෑමටය, මෙනිසා අහිමි වූ හමුදා සහ සිවිල් වැසියන්ගේ ජිවිත ප්‍රමාණයද සුළුපටු නොවේ.

** එකල කොලොප්පමට පැවසුනේ මෙම යානයන් තටු ඉවත් කර මහපාරේ ධාවනයට හෝ අවුට්බෝඩ් මෝටර සවි කර බෝට්ටු ලෙස භාවිතයට වඩාත් සුදුසු බවයි ! **

antanov-crash-in-sri-lanka

(ශ්‍රී ලංකාවේ ඇන්ටනොව් අනතුරක් )

මෙම ගුවන් යානා අතිශය පැරණි, තාක්ෂණික වශයෙන් විශ්වාසය තැබිය නොහැකි නමුත් කාගේ හෝ බඩ වඩා ගැනීමට ගෙන ආ පියාඹන දහිරි වාට්ටු බවද ඒ අතරම කනින් කොනින් ඇසුනේය (නමුත් කණ්ඩා දකින ඇත්ත මෙයට වඩා වෙනස්ය, එය ගැන වැඩි විස්තර පසුවට තබමි )

ඉතින් කොහොමින් කොහොම හරි වීරයෙක් ලෙස ඇෆ්ගනිස්ථාතානයට යන්නට ඉදිරිපත් වුවත්, ඇන්ටනොව් යන නම ඇසුන පමණින් කණ්ඩාගේ හිතේ චකිතයක් හට නොගත්තා යයි කියතහොත් එය ගල් පැලෙනා ඇත්තකි  🙂

කණ්ඩා මේ ගැන එකට වැඩ කටයුතු වල නියුතු සගයන්ගෙන් විමසුම් කලත් ශ්‍රී ලංකාවේ මෙන් නපුරු නරක ආරංචි කන නොවැකුණේ පුදුමයකටය.

අවුරුදු කිහිපයක සේවා කාලයක් ඇතුලත කිසිඳු ඇන්ටනොව් ගුවන් අනතුරක් අප ආයතනයෙන් වාර්තා වී තිබුණේ නැත.

මෙයින් හිත හදා ගත් කණ්ඩා, ඇන්ටනොව් ගැන වල්පල් වලට යොදන කාලය අඩු කර එය කලයුතු කාර්යය වෙනුවෙන් යෙදුවේ තමාගේ පාලනයට නතු නොවන දේ ගැන සිතීම පල රහිත නිසාය.

සති ගණනාවක පමාවකින් අනතුරුව අවසානයේ බලාපොරොත්තු වූ උපකරණ වලින් බොහොමයක් අප වෙත ලඟා වූයේය. නමුත් රාමසාන් මාසය අපගේ සැලැස්මන් බොහොමයක් අවුල් කර දමා අහවරය කාබුල් බලා යන ගමනට සුදානම් වීමට ඇත්තේ තව දෙදිනක් පමණි.

කොපමණ සැපයුම්කරුවන් පස්සේ පැන්නුවත් ඇතැම් සැපයුම්කරුවන් සම්බන්ධයෙන් එය ගඟට ඉනි කපුවා මෙන් නිෂ්ඵලය !

අපගේ මහන්සියේ තරමට අවශ්‍ය බඩුබාහිරාදිය සියල්ලම අවැසි වේලාවට ලැබුනේ නැත, එය අපගේ මහත් කනස්සල්ලට මෙන්ම කෝපයටද හේතු වූ කාරණයකි.

වසරකට ඩොලර් ලක්ෂයක කිහිපයක ගනුදෙනු තොරතුරු තාක්ෂනය සඳහා පමණක් කල ආයතනයක් වූ අප ඇතැම් සැපයුම්කරුවන් හා අවසන් වතාවට ගනුදෙනු කල අවස්ථාවද එය විය.

ඕනෑම දෙයක්, පුද්ගලයෙක් අවශ්‍ය අවස්ථාවේදී නැති නම් එය විශ්වාසය තැබිය නොහැකි වැඩකට නැති අවැදගත් දෙයකි.

වාසනාවකට මෙන් අපගේ පිහිටට පැමිණියේ කන්දහාර්හි සිටි IT තාක්ෂණ නිළධාරියා (Senior IT Administrator) වන ගොපාල්ය (නේපාල ජාතිකයෙක් වන ගෝපාල් ගැන කණ්ඩා කලින් වතාවකද සඳහන් කර ඇත්තේය) .

මදි පාඩුවට සිටි සියළුම උපකරණ කන්දහාර්හි  (Kandahar) සිට ගුවන් මගින් කාබුල් වෙත එවීමට පොරොන්දු වූවා සේම කාබුල් වෙත පැමිණ අපට සහය වීමටද ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් විය.

මෙම උපකරණ අතර වැදගත්ම වූයේ කාබුල් වල කෑම ශාලා වලට ආහාර ගැනීම සඳහා ඇතුළු වන සෙබළුන් ගණනය කිරීමට භාවිතා කරන ස්වයිප් කාඩ් (බැංකු කාඩ් වැනි හඳුනා ගැනීමේ පත් – Swipe card / RF card) සහ ඒවා කියවීමේ උපකරණයන්ය (RF/Swipe Card Readers).

rf-terminal

මේ ස්වයිප් කාඩ්පත් භාවිතයට පළමු ෆෝමැට් (Formatting) කල යුතු වූ අතර, සෑම කාඩ්පතක් සඳහාම අවේනික හඳුනා ගැනීමේ අංකයක් ලබා දෙන්නේ මෙමගින්ය. අපගේ කරුමයට එවැනි කාඩ්පත් හතලිස් දහසක් අප සතු විය.

නමුත් යන ගමන කිසිසේත් ආපසු හැරවිය නොහැක්කේය.

වෙනත් කරන්නට දෙයක් නොමැති කල ඒ වන විට කාර්යාලයේ සිටි දස දෙනෙක් පමණ වූ IT කාරයින් සියල්ල බලෙන්ම වහල් සේවයට බඳවා ගත් අප කාඩ්පත් විසිදහසක් එක රැයක් ඇතුළත ෆෝමැට් කර නිම කිරීමේ මැරතන් තරඟයක් ඇරඹීමු !

ඇසිපිය ගසන තරම්වත් නිදි නොලබා කාඩ්පත් විසිදහසටම වගකීමට සමත් උවත්, මහන්සියත් සහ නිදි වැරීමත් හේතුවෙන් පසු දින පාන්දර වන විට අඩක් පමණ දෙනාම සිටියේ බමන මතිනි.

ඉතිරි අඩ උදෑසන හත – අට වී එකා දෙන්න වැඩ ඇරඹීමට කාර්යාලයට ඇදෙනා තුරුත් මේස පුටු ලං කරගෙන නිදිය.

ඒ වන විට අත්‍යවශ්‍යය නොවන කුම්භකර්ණයින්ව කූද්දා ගෙවල් බලා පිටත් කළ අප පැය විසි හතරකට පසුත් නොනවත්වා එක දිගටම වැඩය !

පසුදා උදෑසනම ගුවන් ගත වීමට නියමිතව තිබූණත් අවසන් මොහොතේ පවා නිමා කළ යුතු කල යුතු වැඩ රාජකාරි එමටය.

රැගෙන යන භාණ්ඩ ලැයිස්තු හෙවත් මැනිෆෙස්ට් (Manifest) පිළියෙළ කිරීම, භාණ්ඩ අසුරා ගුවන්ගත කිරීමට භාරදීම (Air Cargo Handover) මෙන්ම ගමනට අවැසි ඇඳුම් පැළඳුම් සුදානම් කර ගැනීම වැනි පුද්ගලික දෑද තවමත් අහවර නැත.

අවසානයේ දිවා අහාර වේලාවද පසු වී සිහිනෙන් ඇවිදින්නා සේ නවාතැනට කණ්ඩා පැමිනෙද්දී විට එය තනික‍රම හිස්ය, සියල්ලෝ වැඩපල කරා නික්ම  ගොසින්ය !

සද්ද බද්ද කලබල කිරීමට කෙනෙක් නැති වීමත් එක්තරා ආකාරයක සහනයකි, අතට හසුවන ඇඳුම් කැඩුම් කිහිපයක් කඩිමුඩියේ ගමන් මල්ලට ඔබා ගත්තේ පසුදා උදෙන්ම පිටත් වීමට ඇති බැවිනි.

සිතින් ගතින් මහත් සේ වෙහෙස වී සිටි කණ්ඩාට ඇඟ පත හෝදාගෙන යන්තම් ඇඳට වැටෙනවා පමණක් මතකය.

~ මතු සම්බන්දයි !

මා දුටු ඇෆ්ගනිස්ථානය ~III කොටස ~උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් !