ladies-of-the-night

අරාබි දේසේ නුතන අම්බපාලියෝ …

කණ්ඩා අතින් මැද පෙර දිග ගැන ලියවුණු කලින් ලිපියේදී කතා බහ කලේ තහනම් සතුන් ගැනය, සිවුපාවන් ගැන ලියා අහවර කල එම ලිපියට පසුව මේ වෑයම දෙපා වරිගයේ තහනම් සතුන් ගැන ලිවීමටය, එනම් අසම්මත කතා බහකටය (Taboo)

මෙය බොහෝම සීරු මාරුවෙන් යුතුව කතා බහ කලයුතු මාතෘකාවක් බව හැබෑය … ඒ මදිවාට කණ්ඩාගේ පවුලේ උදවිය මෙන්ම හිත මිතුරන්ද මේ බ්ලොග් කට්ටේ රසිකයන්ය … !

එබැවින් දෙපා වරිගයේ තහනම් සතුන් ගැන අතිශය වැඩිහිටියන්ට පමණයි !  – Adults Only ! ලේබලය නොඅලවා, නෑදෑ හිත මිතුරු පිරිවරගේ සහ කණ්ඩාගේ සායම නොයන සේ ජාම බේරාගෙන උක්ත මාතෘකාව ගැන ලිවීම අතුරේ යනවාට වඩා අපහසු කාරියකි !

කණ්ඩාට රා මදින්ටත් ඕනෑය … අතුරේ ගොස් බිමට තඩි නොගසා පණ කෙන්ද රැක ගන්ටත් ඕනෑය !

නමුත් මේ යන විදිහට ඉදිරියට ලියාගෙන ගියහොත් කණ්ඩාට අත්විය හැකි ප්‍රථිපල සහ අතුරු පල කිහිපයකි :

එක ~ නිසි බලධාරිණිය හෙවත් කණ්ඩා හාමිනේගේ කතුරට හසු වී කැපී යාමෙන් ලිපිය මෙන්ම කණ්ඩාගේ සිරසද අහිමි වීම

දෙක ~ බාග විට කණ්ඩාගේ නෑදෑ සනුහරේ ඇතුළු හිතමිත්‍රාදීන්, මෙය තවත් එක ජීවිත අත්දැකීමක් ලෙස නිවැරදිව වටහාගෙන කණ්ඩා දිරිමත් කිරීම

තුන ~ එසේ නැතහොත් කණ්ඩාගේ කන් ඈත් වෙන තරමට ලුණු ඇඹුල් ඇතුව දෙසා බෑමෙන් අනතුරුව පිළිකෙව් කිරීම

හතර ~ මැද පෙර දිග සිපිරි ගෙයක් තුලට වී බිරියානි රස බැලීම

මින් කුමන ප්‍රතිපලය අත් උනත්, රට්ටුන්ගේ අපවාද ඇසීමේ අවදානමක් තිබුනත් කණ්ඩාගේ සිත මේ ගැන ලියන්නටමය !

කණ්ඩාට පාඨකයින්ගේ සිත් කියවීමට හැකි අමුතු ඥානයක් තවමත් පහළ වී නොමැති බැවින්, කරුණු කාරණා තෝරා බේරා ගැනීම පාඨකයින් හටම භාරදී ලිවීම පමණක් කිරීම කණ්ඩාගේ අවසාන තීරණයයි …

ලිඛිත බසින් අබිසරුලියන්, නගර සෝභිනියන්, ගණිකාවන් මෙන්ම කටවහරට ඉතා කර්කෂක අන්දමින් “වේසියන්”, “ගොන්නු” ලෙසද  මේ උදවිය හැඳින් වෙන්නේය …

මේ පිලිබඳ එළිපිට කතා බහ කිරීමට බොහෝ දෙනා දැඩි අකමැත්තක් දක්වන බව සැබෑය, එනිසාම මේ ගැන ප්‍රසිද්ධියේ කතා බහක් ඇති නොවනා තරම්ය …

මෙය සමාන කල හැක්කේ කාමරයක් ඇතුලේ සිටිනා අලියකු ගැන කතා කිරීමට මැලි වන පිරිසක් අලියා මග හැර වෙනත්  වල් පල් දෙඩීමකටය !  (Elephant in the Room)

අනෙක් සෑම දෙයකට මෙන්ම තහනම් සත්වයන් හටද කැමති පුද්ගලයෝ මෙන්ම අකමැති පුද්ගලයෝද වෙත්.

නමුත් මෙයට අකමැති ඇතැම් පුද්ගලයෝද හැංඟී හෝරාවේ මෙම තහනම් රස විඳින්නට කැමැත්තෝය …

ලොව පැරණිතම රැකියාව ලෙස හඳුන්වන මෙය එදා සිට අද දක්වාම නොනැසී පැවතීම ඒ සඳහා බිඳ දැමීමට නොහැකි සාක්ෂි සපයන්නේය !

ඔටු දේශයේ වසර කිහිපයක් වෙසෙන බොහොමයක් දෙනා අඩු වැඩියෙන් මේ හා සම්බන්ධ විවිධාකාර ඇබැද්දි වලට මුහුණ දී ඇතුවාට සැක නැත්තේය … !

මැද පෙර දිගට අදාලත්වයක් නැතත් මේ පිළිබඳව කණ්ඩාට ඇති මුල්ම මතකයන් එකල සිරි ලංකාවේ වක්පොලු ක්‍රීඩා කරනා සමයේදී හැන්දෑකරයේ පුහුණුවීම් අවසන් කර බොරැල්ල මං සංදිය පසුකරද්දීය.

බොරැල්ල රිට්ස් සිනෙමා හල (Ritz Cinema Borella) ඉදිරිපිට තැපැල් කන්තෝරුවට යාබදව ඇති එළියට් මාවත (Elliot Avennue) දෙපස අඳුරු හෙවනැලි වලට මුවාවී බොහෝ කටයුතු සහ අකටයුතු සිදුවිය !

එනිසාම 190 ගොඩගම බසයක් එන තුරු රෑ වන තෙක් මිනිසුන් නිතර ගැවසෙන බොරැල්ල බෝධිය අසල ඇති කිරිහල ඉදිරිපිටට වී සිටීමට කණ්ඩා වගබලා ගත්තේය.

එහෙයින් කිසිඳු දිනෙක විවිධ අකාරයේ අකටයුතු දුටුවත් ඉන් කරදරයක් සිදු වුයේ නොමැත.

එමෙන්ම පසු කලෙකදී කණ්ඩා බම්බලපිටියේ IDM (Institute for Donkeys and Monkeys) ආයතනයේ බාහිර උපාධි පන්ති සඳහා සහබාගී වන අවදියේත් එවන් මතක සටහන් ඒමට ඇත්තේය …

තවද බොහෝ දෙනා දත් ප්‍රසිද්ධ රහසක් වූයේ කණ්ඩා මෙන්ම හාමිනේද උගත් Donkeys and Monkeys ආයතනයේ අල්ලපු වැටේද චීන වෛද්‍ය මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය මෙවන් ගුහාවක් තිබණු බවය …

රාත්‍රී පන්ති අහවර වී ආර්.ඒ. ඩිමෙල් මාවතේ සිට මෙම ගොඩනැගිල්ල පසු කරගෙන 138 මාර්ගයට පිය නගන කණ්ඩා ඇතුළු නඩයට මෙම ආනයනිත චීන භාණ්ඩ (Chinese imports) මෙන්ම හදිස්සියේ පිටව යන ඔවුන්ගේ පාරිභෝගිකයන්ද ඉඳ හිට ඇස ගැටුණේය …

පන්ති අහවර වීමෙන් අනතුරුව හෝ පන්ති වලින් කට්ටි පැනපු දිනයක බම්බලපිටියේ කරක් ගැසීම කණ්ඩා ඇතුළු මිතුරන් හට නුහුරු දෙයක් නොවේ.

පරිඝනක බඩු බාහිරාදිය වෙළහෙලඳාම් වන යුනිටි ප්ලාසාද (Unity Plaza), මැජෙස්ටික් සිටිය (Majestic city) සහ ඉන් මදක් එහාට වන්නට පිහිටි MGM කැසිනෝවට අල්ලපු වැටේ පිහිටි මැලේ අවන්හල (Malay Restaurant) හෙවත් “මැලේ ජොයින්ට්” එකද අප නිතර ගැවසුන ස්ථානයෝය …

මේ යන එන ගමන් වලදී යුනිටි ප්ලාසා ඉදිරිපිට බස් නැවතුම් පොළේ අඳුරට මුවාවී තම රාජකාරියේ යෙදෙන වීදි සරණ කතුන් මෙන්ම මැලේ අවන්හලට එපිටින් අඳුරු පටුමගේ ත්‍රී රෝද රථ හා කාර් තුලට වී ගනුදෙනුකරුවන් එනතුරු සිටිනා ලඳුන්ද නිතර අප නෙත ගැටුණෝය …

එමෙන්ම මින් එහාට ගිය අමුතුම ලෝකයක් වූ අසලම පිහිටා තිබුණු සමාජ ශාලාව සහ කැසිනෝවට (MGM Casino) සැප වාහන වලින් ගොඩ බසිනා චීන, පකිස්ථාන් සහ රුසියානු සුරූපිණියන්ද එකල එතරම් දුලභ දසුන් වුයේ නැත.

මැදපෙරදිගට ගොඩ බට අලුත කණ්ඩා හට මෙම කලාපයේ සිදු වන්නා වූ සැඟවුණු ක්‍රියාවලියන් පිලිබඳව කිසිඳු දැනුවත් භාවයක් හෝ වැටහීමක් තිබුනේ නැත.

කණ්ඩා සිරි ලංකාවෙන් පිටතට අඩිය තැබූ පළමුවෙනි වතාව මෙය වීමද එයට බොහෝ දුරට බල පාන්නට ඇත !

එම නිසාම නොයෙක් විනෝදජනක මෙන්ම අප්‍රසන්න අත්දැකීම්ද පසු කලෙක කණ්ඩා හට නොඅඩුව මුහුණ දීමට ලැබුණේය …

මෙයින් විනෝදජනකම අවදිය කණ්ඩා එකල දේරා ඩුබායි හි (Deirah Dubai) නතර වී සිටි කාලයයි, රැයක් දවාලක් නැතිව සේවය කල සුපිරි කොම්පැණියට ඇති ගමන් පහසුව මෙන්ම සාක්කුව ගැනද සිතා කණ්ඩා නැවතීමට තොර ගත්තේ “නයිෆ්” (Naif) නමැති ප්‍රදේශයයි.

මෙම පළාත ඩුබායිහි පැරණිතම නගර ප්‍රදේශයක් වූ අතර වෙළඳාමට, ආහාරපාන වලට මෙන්ම තව බොහෝ හොඳ-නරක දේටත් ප්‍රසිද්ධියක් ඉසිලුවේය.

කෙතරම් පැරණි උවත් වර්තමානය වන විට එකිනෙක ඉතා ලඟින් ගොඩනැගිලි පිහිටා තිබෙන නයිෆ් පෙදෙස තනිකරම පාහේ කොන්ක්‍රීට් වනාන්තරයකි. මේ වනාන්තරයේ නමක් නොදන්නා කඩ පේළි, අඳුරු ගුහා වැනි පටු මංමාවත් එමටය.

දස වසකට පෙරඅතුව මෙම අවදියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කණ්ඩාට හිත මිතුරන් සිටියේ ඉතාමත් අඩුවෙනි, පාළුව මකා ගැනීමට කණ්ඩා සතු එකම උපක්‍රමය වූයේ චිත්‍රපට නැරඹීමයි.

අද මෙන්ම එදාත් අන්තර්ජාලය භාවිතයෙන් (ලයිම් වයර් – LimeWire) චිත්‍රපටි බාගත කර ගැනීමට හැකියාව තිබුණත් ඉතා නොදියුණු දත්ත බාගත කිරීමේ තාක්ෂණය සහ වේගයන් (Bandwidth and Download speed) හේතුවෙන් කණ්ඩා ඇතුළු සැමගේ පිහිටට හිටියේ VHS පට සහ CD/DVD තැටියන්ය.

නමුත් අධික මුදලක් ගෙවා මුල් CD/DVD තැටි (Original) මිලදී ගැනිමට වත්කමක් නොවූ බැවින් හැම තැනකම පාහේ හතු පිපෙන්නා මෙන් විසිරී පැවති වීඩියෝ සෙන්ටර් හෙවත් CD/DVD තැටි කුලියට දෙන තැන් වල කණ්ඩා සුලභව ගැවසුනේය.

එකල අඩි 10×10 බඳු කුඩා ඉඩ පහසුකම් ඇති කඩ හෙවත් ලඩ වල පවත්වාගෙන ගිය බොහොමයක් ඒවා අතරින් සුපිරි තත්වයේ තිබුණු වෙළඳසල් කිහිපයක් කණ්ඩාගේ ප්‍රියතම ඒවා විය.

මෙම වීඩියෝ සෙන්ටර් පවත්වාගෙන ගියේ පකිස්තානු ජාතික පටාන්වරු (Patans from Pakistan) සහ ඉන්දියානු කේරළවාසීන් හෙවත් මලයාළියන් (Malayali’s from Kerala) ** විසින්ය.

** ලංකාවේ උදවිය කේරළය ගැන දන්නේ එක්තරා මල් වර්ගයක සහ මළයාලි ගුරුකම්වල වල උප්පත්තිය සිද්ධ වූ ස්ථානය වශයෙනි … පටාන්ලා ගැන දන්නේ නම් බූම් …  බූම් … අෆ්රිඩි නිසාය ! **

එකල දින දෙකක කාලයක් සඳහා කුලිය වශයෙන් පැරණි චිත්‍රපට සඳහා දිරාම් (UAE Dhiram) 5 ක මුදලක්ද අලුත් චිත්‍රපට සඳහා දිරාම් 10 ක මුදලක්ද අය කල අතර  දිරාම් 50ක තැන්පතුවක් (Deposit) තබා ගැනීම සාමාන්‍ය සිරිත විය …

කණ්ඩා මසකට දිරාම් 300 – 400 ක චිත්‍රපට නැරඹු  බැවින් මද කලකින්ම මේ වීඩියෝ සෙන්ටර් වල වරප්‍රසාද ලාභී පාරිභෝගිකයෙකු (Privileged Customer) බවට පත් වීමට වැඩි කාලයක් නොගත්තේය …

හින්දි සහ මළයාලි චිත්‍රපට සඳහා පිරිමැසිය නොහැකි තරම් දැඩි ඉල්ලුමක් පැවතිද  ප්‍රසිද්ධ අලුත් චිත්‍රපට වලට හැරෙන්නට ඉංග්‍රීසි චිත්‍රපට වලට පැවතියේ ඇල් මැරුණු ඉල්ලුමකි.

එවැනි තත්වයක් යටතේ කණ්ඩා ගෙඩිපිටින් ඉංග්‍රීසි චිත්‍රපට උස්සාගෙන යාම උදක්ම මෙම උදවියගේ සතුටට හේතුවිය.

කිසිම දිනෙක චිත්‍රපට නැවත භාර දීම සඳහා පමා නොවීමත් එකවර CD/DVD තැටි 2-3 ක් රැගෙන යාමත් නිසා කලක් ගතවෙන විට තැන්පතුවක් රහිතවම චිත්‍රපට ලබා දීමට තරම් ඔවුන් කණ්ඩා හා කුළුපග විය !

video-rental-shop

පොඩි කොස්සකට තිබුණේ මෙම වීඩියෝ සෙන්ටර් පිහිටි පළාත් වල ඉරබැස ගිය හෝරාවෙන් අනතුරුව ලොව පැරණිතම වෘත්තියත් යහමින් පැවතීමයි.

චීන සහ අප්‍රිකානු සම්භවය ඇති ලඳුන් මෙහි ප්‍රමුඛතාවයක් ගත්තේය … හැම තැනම නොසිටියත් ඇතැම් අඳුරු මං මාවත් වල කිහිප දෙනා බැගින් තැන තැන කල්ලි ගැසී රැඳී සිටිනු කණ්ඩා නිතරම දැක ඇත්තේය …

අහල පහළින් ගමන් කරනු ලබන්නන් වැරදී හෝ මොවුන් දෙස බැලුවහොත්, මද හිනාවක් පෑවොත් එතැන් සිට අනඟ රැඟුම් පටන් ගන්නේය …

ඉංග්‍රීසි වචන දෙක තුනකට වඩා නොදන්නා මේ ලඳුන් බොහොමයක් දෙනා තමන් සතුව තිබු සීමිත වදන් මාලාවෙන් උපරිම පල නෙලා ගත්තෝය …

බේබි වෝන්ට් මසාජ් … ??? හැපි ටයිම් … ගුඩ් ප්‍රයිස් ! යූ වෝන්ට් ? කම් … කම් … !  අයි ලව් යූ !

(Baby want Massage ??? Happy Time … Good Price …! You Want ??? Come … Come …!  I Love you !)

යනුවෙන් කෑ අඬ ගසන්නේ හෙමිහිට හෙම නොවේ …

මෙම අනපේක්ෂිත ගරිල්ලා මාකටින් ප්‍රහාරයන් (Guerilla Marketing) හමුවේ වික්ෂිප්තව තම ගමන අඩාල වන අයෙක් වටකර අතින් අල්ලාගෙන ඇඟේ එතෙන්නට මේ මාර දූවරු හපන්කම් දක්වන්නෝය.

අනතුරුව ඔවුනගේ ගණන් හිලව් පැවසීමේ සිට තම සේවාවේ අනර්ඝන්වය පිලිබඳ පාරම් බෑමද නොමදව සිදු වන්නේය …

එනිසා නොදැනුවත්වම මොවුන්ගේ රැගුම් වල පැටලෙන අහිංසකයින් පුළුවන් තරම් කඩිනමින් අඩිය ඉක්මන් කර ඈත්ව යන්නේ ලැජ්ජා භය කියා දෙයක් තියනා නිසා විය යුතුය …

එසේ පලා යන උදවිය හටද මේ කාන්තා නඩයෙන් උසුළු විසුළු එල්ල නොවන්නේ නොවේ, ඉතින් එකවරක් මේ ගැහැට විඳි උදවිය කළුවර වැටුන කල මේ පෙදෙස මග හැර යාමට වෙනත් මගක් සොයා ගන්නෝය …

අනන්ත වාරයක් මේ අතවර වලට ලක් උවත්, සුපිරි කොම්පැණිය නිසා නිශාචරයෙකු බවට පත්ව සිටි කණ්ඩාට තම ප්‍රියතම වීඩියෝ සෙන්ටර් දෙකක්ම මේ අහල පහළ තිබු බැවින් මේ ප්‍රදේශය මග හැරීමට වෙනත් විකල්පයක් තිබුනේ නැත …

එබැවින් මාස කිහිපයක් තිස්සේ මෙම කාන්තාවන් නොසලකා හරිමින් පාඩුවේ ගමන් කිරීමේ සිරිත නිසාදෝ ඔවුන්ද කණ්ඩාව නොසලකා හැරීමට පුරුදු වුවෝය …

ඉතාමත් කළාතුරකින් මෙවන් දෑට ලොල් වූවන් මෙන්ම මෙම විකාර වලට නොරැවටී ඉන් අහිංසක සතුටක් ලැබීමට තරම් නිර්භීත වන්නා වූ උදවිය මේ අය සමග වාද විවාද වෙමින් කතා බහේ යෙදෙනු කණ්ඩා දැක ඇත්තේය …

කණ්ඩා සඳහන් කල “නයිෆ්” මෙන්ම එයට ආසන්නයේ පැවති “බරහා” (Al Baraha) ආශ්‍රිතවත් මෙම තත්වය තදින්ම ව්‍යාප්තව පැවතියේය …

කණ්ඩාගේ මිතුරන් කිහිප පලක් වාසය කල බරහා හි ජේස්කෝ වෙළඳ සැල (JESCO Supermarket) අවට ප්‍රදේශයට පිය නගද්දීද වරක් දොහක් කණ්ඩා මෙවැනිම අත්දැකීම් වලට මුහුණ දී ඇත්තේය.

මෙම කාන්තාවන්ට අමතරව ඔවුන්ගේ අතරමැදියන් (Pimps) ලෙස කටයුතු කලේ බංගාලියන් හෙවත් බංග්ලාදේශ ජාතිකයන්ය.

මෙවන් ස්ථානයන්හි (House of ill Repute) දුරකථන අංක සඳහන් කල කාඩ්පත් බෙදීම මෙන්ම එවන් ගොඩනැගිලි අහල පහල යන්නවුන් බිලී බා ගැනීම කලේද ඔවුන්ය …

ඩුබායිහි ජනාකීර්ණ පෙදෙස්හි මෙන්ම ඩුබායි වලට කිට්ටු සජා දේශ සීමාව අසලද නවත්වා යන වාහන වල විදුරු අස්සට මෙම දුරකථන අංක සහිත කාඩ්පත් ඔබා යාම අදටත් මේ බංගාලියන් විසින් ජයටම සිදු කරන්නේය…

විවිධ වර්ණයන්ගෙන් හැඩගන්වා දෙපසම සරාගී නිළියන් සහ නිරුපිකාවන්ගේ චායා රූප ඇතුලත් කර මුද්‍රිත මෙම කාඩ්පත් වල එකම අරමුණ මොවුන් වෙත තව තවත් පාරිභෝගිකයන් අද්දවා ගැනීමයි !

මේ මැදපෙරදිග ලොව පැරණිතම වෘත්තිය සඳහා මෙන්ම විවිධ භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් සිදුවන ගරිල්ලා මාකටින් වල තවත් එක වේශයක් පමණි !

නමුත් බොහෝ දෙනා මෙම අකටයුතුකම් පොලිසියට පැමිණිලි කර අහක යන කරදර තම පිටට දමා ගැනීමට ඇති දැඩි අකමැත්ත නිසාදෝ පොලිසියත් මෙවන් දේ ගැන වැඩිමනක් පස්සේ පන්නන්නට යන්නේ නැත …

නමුත් කාලයක් යන විට කණ්ඩා නැවතී සිටි ප්‍රදේශයෙන් මෙම උවදුර යම් තරමකට සමනය වූයේ නිතර දකින්නට ලැබුන පොලිස් මුර සංචාරයන්ට පින් සිද්ද වීමටය …

නමුත් මේ උදවියගේ තැරව් කරුවන් වන බංගාලියන් පෙර සේම තම කාර්යය ජයටම කරගෙන ගියේය …

එබැවින් කණ්ඩා විශ්වාස කරනා ආකාරයට සැබවින්ම සිදු වන්නට ඇත්තේ මේ වීදි සරණ ලඳුන් මහමග ප්‍රසිද්ධියේ ගැවසීම වෙනුවට තවත් සැඟවුණු තැන් තෝරා ගැනීම හෝ තම ගොඩනැගිලිවලට සිමා වීම පමණි !

කණ්ඩා සතු අනෙක් අත්දැකීම් ගොඩ නැගෙන්නේඑකල නැවතී සිටි බෝඩිමේ අනෙක් හවුල්කරුවන්ගේ ආශ්‍රය නිසාය.

මේ අවදියේ මෙම බෝඩිමේ කණ්ඩා ඇතුළුව අට දෙනෙකු වාසය කළෝය. ඉන්දියන් ජාතිකයන් සය දෙනකු සහ පකිස්තානු ජාතිකයකු මෙම කණ්ඩායමට අයත්වුවෝය.

ඉන්දියානුවන් අතර මලයාළියන් තිදෙනෙක්, බංගාලි ජාතිකයෙක්, මරාතියෙක් සහ ගෝවේ වැසියකුද විය.

මෙයින් ගෝවේ වැසියා, මරාතියා සහ බංගාලියා හොඳින් කන බොන පුද්ගලයෝය …

අනෙක් බෝඩින්වාසීන් අතර පකිස්තානුවා බෙහෙවින් ගුප්ත චරිතයක් වීය, මළබාරීන් තුන් වේලටම දියාරු පරිප්පු හෝ එළවලු කරියක් සමග බත්, පරෝටා හෝ චපාති ගිලින්නන් වූ අතර ඉඳ හිට හෝ යමක් වියදම් කලෙහි නම් ඒ චිත්‍රපටයක් බැලීමට පමණි !

අලුත් රැකියා පුහුණුවක යෙදුන විශ්ව විද්‍යාල සිසුවෙකු වූ පාකිස්තානුවා තනිවම තමන්ගේ පාඩුවේ ජිවත් වුවෙකි, ඉඳ හිට හෝ සිනහ වී කතා බහ කරේ මුලින් සඳහන් කල තිදෙනා සහ කණ්ඩා සමග පමණි.

ගෝවේ වැසියා ඉංග්‍රීසි සාහිත්‍යය පිලිබඳ නම අගට අකුරු බර ගණනාවක් ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හොඳින් පිළිගත් විශ්ව විද්‍යාලයක ජේෂ්ඨ කතිකාචාර්යවරයෙකු ලෙසින් සේවය කරද්දී බංගාලියා වෙළඳ කලමණාකාරවරකු වශයෙන් ප්‍රසිද්ධ ඉන්දියානු සමූහ ව්‍යාපාරයක සේවය කළේය.

සෑම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා රැයකදිම ජැන්ඩි පහට හැඳ පැළඳ හැන්දෑකරයේ පිටතට යන බංගාලියා සහ ගෝවේ වැසියා බොහෝ විට ආපසු පැමිණෙන්නේ එක්කෝ වැනි වැනීය නැතහොත් පසුවදාය !

මරාතියා සුඛෝපභෝගී ගෘහ අලංකරණ ආයතනයක ප්‍රධාන නිර්මාණ ශිල්පියෙක් ලෙස කටයුතු කල කලාබර හාදයෙකි.

ඉතා හොදින් වැටුප් ලබන වැදගත් රැකියාවන්හි නියුතු ගෝවේ වැසියා සහ බංගාලියා මාසයේ මුල සතිදෙක අතරතුර ලක්ෂපතියන් සේ අත දිග හැර වියදම් කරත්  මාසය අග වනවිට “ක්ලීන් සූට් එම්ටි පොකැට්”ය (Clean Suit Empty Pocket).

මේ සති දෙක ගෙවෙන්නේ නිරන්තරයෙන් තම සහෝදර බෝඩිංකාරයින්ගෙන් අතමාරු ඉල්ලා ගැනීමෙනි.

කිහිපවතාවක්ම කණ්ඩා‍ෙග් පිහිටද ලබා ගත් මේ හාදයින් දෙදෙනා ටික කලකදී හොඳින් කණ්ඩා හා කුළුපග විය.

එකල කණ්ඩා මෙන් හතරපස් ගුණයක පඩි ලබන්නා වූ මේ උදවිය කෑමට බීමට එතරම් කෙටි කාලයක් තුල අතැති මූදල් වැය කරන්නේ කෙසේද යන්න කණ්ඩාගේ හිත තුල වූ මහත් කුහුලකි.

එනමුත් හැමදාම පඩි දිනට ගණන් හිලව් බේරු මේ උදවියගේ පුද්ගලිකත්වයට ගරු කල කණ්ඩා කිසිම දිනෙක ඒ ගැන විමසිවේ නැත …

කාලය හැම දෙයටම උත්තර සපයනවා මෙන්ම මේ කුතුහලය සංසිඳුවීමටද වැඩි කාලයක් ගත වුනේ නැත !

සති අන්ත සාද සඳහා සහබාගී වීමට නිතරම කණ්ඩා සහ මරාතියාට පෙරැත්ත කලද ඒ ආරාධනා කාරුණිකව ප්‍රතික්ෂේප කලේ එදවස් වල මුදල් වියදම් කිරීමට වඩා ඉතිරි කිරීම පිළිබද උනන්දුවක් පැවැතුන නිසාය.

නමුත් කලකට පසුව රාත්‍රි සමාජ ශාලාවක (Night Club) පැවති සාදයක් වෙනුවෙන් බංගාලියාගෙන් අප සියලු දෙනා හට ආරාධනා ලැබෙන්නේ ඔය අතරතුරය.

බංගාලියාට පින්සිදු වන්නට ආහාර පාන වෙනුවෙන් තද වට්ටමක්ද (Discounts on F&B) ලැබෙන නිසා සාක්කුවටද වැඩි බරක් නැත්තේය.

ඒ වන විට සතිය පුරා වෙහෙස මහන්සි වී බෝඩිමට විත් නිදාගැනීම සහ චිත්‍රපටි බැලීමත් කණ්ඩා හට තිත්ත වී ඇතුවා සේම සතියකට චිත්‍රපටි 15-20 නැරඹීම නිසා තව බලන්නට දෙයක් ඉතිරි වී තිබුනේද නැත.

එනිසා වෙනදා මෙන් නොව කණ්ඩා මේ සාදයට එක පයින්ම කැමැත්ත පල කළේය … මදක් පෙරැත්ත කිරීමෙන් අනතුරුව මරාතියාද නඩයට එක් වූ අතර ගෝවේ වැසියාට ආරාධනා පත්‍ර අවශ්‍ය නොවීය 🙂

මළබාරින් කිහිපදෙනා වෙනදා මෙන්ම සතපහක්වත් අමතරව වැය නොවනා මළයාලි රූපවාහිනි වැඩසටහන් බලමින් කාලය ගත කිරීමට තීරණය කල බැවින් අපගේ ගමන ගැන කිසිඳු සැලකිල්ලක් නොදැක්කුවේය …

අප තිදෙනා තම කාරයට නංවාගත් බංගාලියා රාත්‍රී දහයට පමණ “ඉම්පීරියල්” හෝටලය (Imperial Suites Hotel) ඉදිරිපිටින් බැස්සුවේය …

ඒ වන විටත් සාදය සැරටම නැග යන බව වැටහුනේ අහල පහළ රැඳී සිටි උදවියත් සමාජ ශාලාව දෙසින් ආ වේග රිද්ම සංගීත නාදයත් නිසාය …

බංගාලියා කාරය නවත්වා එන තුරු හෝටලය ඉදිරිපිට රැඳුන අපට ඒ අහල පහල ගැවසෙමින් සිටි ජැන්ඩියට හැඳ පැලඳ ගත් ඉඟි බිඟි පානා ලඳුන් නෙත ගැටුනේ නිරායාසයෙනි !

ඒ මෙම ස්ථානය සහ එහි තත්වය පිළිබඳව අපට ලැබුණු මුල්ම ඉඟියයි, ඒ සමගම බංගාලියා අප හා එක්වූ බැවින් කුරුල්ලන් නැරඹීම (Bird watching) පසෙක තබා නඩයම සමාජ ශාලාව වෙත පිය නැගුවෝය.

අඩි සයකටත් වඩා උසින් යුත් සද්දන්ත ආරක්ෂක නිළධාරීන් හෙවත් බවුන්සර්වරු (Bouncers) දෙදෙනෙක් සමාජ ශාලාවට ඇතුල් වන තැන දොරටුපාලයන් විය …

අප්‍රිකානු ජාතිකයන් වූ මොවුන් සමාජ ශාලා වල කලහකාරී සහ නොහික්මුණු ලෙස හැසිරෙන ඕනෑම ජගතෙක් පූස් පැටවූ මෙන් හීලෑ කිරීමට සමත් කාය ශක්තියෙන් හෙබිය.

බංගාලියා දුටු පමණින්ම සිනහ සෙමින් අතට අතදෙමින් වැළඳ අචාර කළ එම අප්‍රිකානුවන් දෙදෙනා හට නිල් කොළයක් අතමිට මෙලවූ බංගාලියා ඔවුන්හට අප හඳුන්වා දුන්නේය …

අපටත් බංගාලියා හට මෙන්ම සුහදව සැලකු ඔවුන් විශේෂ අමුත්තන් වෙත ලබා දෙන අත් පළඳනා (VIP Wrist Bands) ලබා දීමෙන් අනතුරුව අප සමාජ ශාලාවට පාර පෙන්නුවා පමණක් නොව අප අසුන් ගන්න තෙක්ම අප හා රැඳී සිටියෝය …

අපට කිසිඳු කරදරයකින් තොරව වේදිකාව හොඳින් පෙනෙනා “ඩාන්ස් ෆ්ලෝ” හෙවත්  නර්තනයේ යෙදෙනා ස්ථානයට (Dance Floor) පසෙකින් වූ මේසයක් සහ අසුන්ද ලැබුණේය …

සමාජ ශාලාවෙන් පිටත මෙන්ම ඇතුළතද රුසියානු, යුරෝපීය, චීන, පකිස්තානු, ඉන්දියානු, අප්‍රිකානු මෙන්ම ලොව සෑම ජන වර්ගයනම නියෝජනය කරන්නා වූ  සුන්දරියන්ගෙන් මේ සමාජ ශාලාව පිරි පැවතුණි.

පුරුෂ පාර්ශවය මෙන් දෙගුණයකටත් වඩා කතුන් එහි රැඳී සිටියේ අහම්බයකින් නම් නොවේ..

night-clubs

එහෙයින් ඩුබායි යනු මැද පෙර දිග පාප නගරයක් (Sin City) ලෙස හඳුන්වන්නේ කට කහනවාට නොවන බව කණ්ඩාට අතැඹුලක් සේ පසක් විය !

මෙම කතුන් අප ඇතුළුවූ මොහොතේ සිටම විවිධ ඉඟි බිඟි, සරාගී සිනහවන්ගෙන් මෙන්ම පියාඹන හාදු (Flying Kisses) වලින්ද සංග්‍රහ කලේ අපගේ අවධානය දිනා ගැනීමටය.

විශේෂ අමුත්තන්ගේ පෙදෙසේ (VIP Seating Area) සිටි පිරිමින් වෙත මේ ලඳුන්ගේ නිරන්තර අවධානය යොමුව තිබූ බව අපට ඉඳුරාම පැහැදිලි විය.

වරින් වර අප වෙත පැමිණෙන මෙම සුරුපිණියන් නර්තනයේ දීමට මෙන්ම මදුවිතක් තොල ගෑමට එක්වීමත් නොයෙක් ආකාරයෙන් අවසර පැතුවෝය …

මරාතියාත් කණ්ඩාත් බොහෝ වාරයක්ම මෙම ආරාධනා කාරුණිකව ප්‍රතික්ෂේප කලත් බංගාලියාගේ සහ ගෝවේ වැසියාගේ බලකිරීම මත වරක් දෙකක් ඔවුන් සමගම ඔවුන් සමග නර්තනයට එක විය …

මෙලෙස කාලය ගතවෙද්දී හඳුනා ගත් රුසියානු සහ ඉරාක ජාතික ලඳුන් යුවලක් සමග මේසය වෙත පැමිණි ගෝවේ වැසියා සහ බංගාලියා කමින් බොමින් සහ නටමින් සෑහෙන වෙලාවක් අප හා ගත කළේය …

මරාතියා සහ කණ්ඩාගෙන් කිසිඳු දිරි ගැන්වීමක් නොලද කල අනෙක් ලඳුන් අප මගහැර වෙනත් ගනුදෙනුකරුවන් සොයා ගිය බැවින් අප හට රිසි සේ විනෝද වීමට ඉඩකඩ ලැබුණේය.

එමෙන්ම මෙය අතරින් බංගාලියා සහ ගෝවේ වැසියා හඳුනනා උදවියද විය … මේ දෙදෙනා උපයන මුදල් වය වෙන්නේ කුමක් සඳහාද යන්න අපට තව දුරටත් රහසක් වුයේ නැත.

මෙම ලඳුන්ගේ දඩයම රැය මැදියම ගෙවී එළිවන තුරුතුත් නොමදව පවතින්නේය … පිරිමින් එකා දෙන්නා තමන් අලුතින් හඳුනා ගත් හොඳම යෙහෙලියන් සමගින් සමාජ ශාලාවෙන් පිටව යන්නෝය …

මේ අතර අපෙන් සමුගෙන තම මිතුරියන් සමග සමාජ ශාලාවෙන් පිටත් වූ බංගාලියා සහ ගෝවේ ජාතිකයා කණ්ඩාට ආපසු බෝඩිමේදී මුණ ගැසුනේ පහුවදා දහවලටත් පසුවය.

මෙසේ පැය කිහිපයක් නොයෙක් කෑම බීම, සංගීතය මෙන්ම සොඳුරු දසුන්ද රසවිඳීමෙන් අනතුරුව සිහින ලෝකයේ සිට නැවත සැබෑ ලෝකයට පා තබන්නට කුළී රථයක් එනතුරු සිටිද්දීත් අප හට ගැලවිල්ලක් තිබුනේ නැත.

නොයෙක් වර නේක ජාතියේ ලඳුන්ගෙන් ආරාධනා බොහෝ ලැබුණද බමණ මතින් සිටි මරාතියාවත් ඇදගෙන කෙසේ හෝ බෝඩිමට පැමිණීමට කණ්ඩා සමත් විය.

මේ අත් දැකීම් මෙතැනින් නිම වන්නේද නැත, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම අවන් හල බුර් ඩුබායිහි (Bur Dubai) “පැනොරාමා” හෝටලයේ පිහිටි “පාම් කෝට්”  (Panorama Hotel – Palm Court) නම් වන්නේය.

එයට හේතුව කට දන රසවත් ලාංකීය ආහාර වේලක් ලැබීමට ඇති විරල තැන් වලින් එකක් වීමත් රාත්‍රී කාලයේ සජීවී සංගීතය සපයන ලාංකීය සංගීත කණ්ඩායමක් වාදනයේ සහ ගායනයේ යෙදීමත්ය.

කෑමට ගොඩ වදින දරු පවුල් මෙන්ම මධුවිතක් තොල ගාමින් මිතුරු මිතුරියන් සමග ආගිය තොරතුරු, සංගීතය රස විඳීමට කැමැත්තෝද මෙහි නිතර යන්නෝය.

නමුත් ඇති ගැටලුව මෙම අවන්හලට යාබදව හෝටලය ඇතුලතම ලොව පැරණිතම රැකියාවට ප්‍රසිද්ධ සමාජ ශාලාවක් හෙවත් “ඩිස්කෝ” (Disco) නැටුම් හලක් තිබීමය.

එබැවින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙම ලාංකීය අවන්හලට ගොඩවදිනා සියලුම දෙනා යා යුතු වන්නේ මේ සමාජ ශාලාව සහ ඒ අවට රැඳී සිටින ලඳුන් පසුකරගෙනය.

එනිසා මේ රටේ සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන් සුළුවෙන් හෝ කණ්ඩා විස්තර කරනා දේ අත්විඳ ඇතුවාට සැක නැත්තේය 😦

එනිසා ලංකාවේ අපේ තැනක් කියා මේ ගැන නොදන්නා අයකු කෑමබීම ගැනීමට මෙහි රැගෙන යාම ඇතැම් විට ගැටලුවකි…

කණ්ඩාගේ මව එක්සත් අරාබි රාජ්‍යයේ කෙටි නිවාඩුවකට පැමිණි අවදියේ සවස 8:00 ට ඇතුළු වී මේ නරි නාඩගම් ඇරඹීමට ප්‍රථමයෙන් අවන්හලෙන් පිටවිම නිසා එවර කණ්ඩා ජාම බේරා ගත්තේය …  🙂

මෙම මාතෘකාව අදාළ තවත් බොහෝ පැණයන් ඇත්තේය ලොව පැරණිතම වෘත්තියට හේතූන් … එය හොඳද ? නරකද ?  එසේත් නැතිමන් එය මුලිනුපුටා දැමිය යුතුද ? මේ පිළිබඳ විවිධ කතිකාවත් ඇති නමුත් එකගතාවයක් අප සමාජයේ තිබෙනු දක්නට නොහැක …

මේ කණ්ඩා මෙතතෙක් ලියූ දීර්ඝතම ලිපියන්ගෙන් එකකි. බාග දුර කියවන විට කම්මැලි සිතුනේ හෝ ලියා ඇති දේ නුසුදුසු නම් එයට කණ්ඩා සමාව අයදින්නේය, මින් මතුවට මේ ගැන තවත් කතා බහ කිරීමේ අදහසක්ද නැත්තේය …

ජීවිතය යනු හොඳින් පමණක් පිරුණු තැනක් නොවේ, එබැවින් මෙවන් බොහෝ දෙනා කතා බහ නොකරනා දේවල් කරලියට ගෙන ඒම හොඳද නරකද කියා විමසීම මෙය කියවනා ඔබට භාරය …

කොපමන් ඇත්ත කතා කලත් මෙවන් දෙබරයන්ට ගල් ගසා හිරේ විලංගුවේ නොවැටිම පමණක් කණ්ඩාට ප්‍රමාණවත්ය 🙂

~තහනම් සත්වයන්ගේ කතා වස්තුව මෙතැනින් නිමි  !

Advertisements