sharjah-airport

උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් !

දරුණුවට පොලීසියෙන් ගුටි කෑවා හා සමානව කණ්ඩා පෙලූ ඇඟ පත රුදාවත් සමග ගැඹුරු නින්දකට වැටුණ හෙයින් කාලය ගත වීම පිළිබඳව කිසිඳු හැඟීමක් තේරුමක් තිබුනේම නැත.

එහෙයින් කණ්ඩාට ඇති එකම මතකය පොල්ලකින් නෙළුවා සේ නින්දට වැටීම සහ අහස කඩා වැටුනා සේ සද්දයක් සමග එකවරම තිගැස්සී ඇහැරීමත් පමණි.

මේ අනපේක්ෂිත අලකලංචියෙන් ඉන්නේ කොයිබද යන්න සිහි එලවා ගැනීමටත් මද වේලාවක් ගත විය.

වෙනදාට නම් නින්ද කැඩෙන්නේ උදේ පාන්දර මර ලතෝනි දෙන එලාම් ඔරලෝසුවට පින්සිද්ද වන්නටය, නමුත් අද ඒ හුචක්කුව පැයක් තිස්සේ කණ්ඩා ඇහැරවන්නට බෑ ඟිරි ගැසීමෙන් අනතුරුව ආපසු නින්දට ගොසින්ය.

එනිසා බලාපොරොත්තු නොවූ ලෙස කණ්ඩා කූද්දන්නට යෙදුන කන අසලින්ම ඇසුණු අහස ගුගුරන සද්දටය වග කිව යුත්තේ අල්ලපු ඇඳේ හිටි පකිස්තානු ජාතික බෝඩිං සගයාය.

කවුරුන් හෝ සමග නින්දෙන්ම වලියකට පැටලී අත පය වීසි කිරීම නිසාවෙන් ඇඳ අසල ගොඩ ගසා තිබුණ බඩු මුට්ටු කන්දක් බිමට පෙරලීම, පාන්දර නිදි කිරමින් සිටි බොහෝ දෙනෙකුගේ අසන්තෝෂයට හේතු විය.

කොහොමින් කොහොම වෙතත් අඩ නින්දෙන් වේලාව බැලු කණ්ඩාට තරු පෙනුණේය, කලින් ඇහැරෙන්නට අවැසි දිනයේත් අවදිව ඇත්තේ වෙනදාටත් වඩා පැයක් පමණ ප්‍රමාදවය.

වෙනදාට මෙන් වැනි වැනි ලක ලැහැස්ති වීමට වෙලාවක් නැත, මොන ජාතියෙන් හෝ පෙරවරු දහයට පෙර සජා ගුවන් තොටුපොළ වෙත ලඟා විය යුතුය.

හිස ගිනි අර ගත් කණ්ඩා මුහුණ කට හෝදන අඩුම කුඩුමත් රැගෙන නාන කාමරයට දිව්වත් එතන පෝලිමකි !

දොර ළඟ බලාගෙන හිටයද කිසිම තේරුමක් නැත්තේය, ඒ නාන කාමරය සඳහා කණ්ඩා හට වෙන් වී ඇති කාල වෙලාවද හොඳටෝම පසු වී ඇති නිසාය …**

** බෝඩිං වල සාමාන්‍ය පුරුද්ද නම් හැම දෙනා හටම නියමිත වෙලාවක් සහිතව එනම් කාල සටහනකට යටත්ව නාන කාමරය භාවිතයයි …**

කරන්නට වෙන කිසිඳු දෙයක් නැත දත් බුරුසුවට දන්තාලේප ටිකක් හලා ගත් කණ්ඩා කුස්සියට රිංගා කඩි මුඩියේම දතකට මැදගෙන උඩින් පල්ලෙන් මුහුණ කට සෝදා ගත්තේය.

කලබලයේ කොහේ දුවන්නට හදනවාදැයි මළබාරියෙක් කණ්ඩාගෙන් විමසුවේ කණ්ඩා කවමදාවත් නැතිව කුස්සියේ මුහුණ කට හෝදනු දුටු නිසාය.

දත් මදිනා ගමන් කටේ කෙල පුරවාගෙනම අද ඇෆ්ගනිස්තානයට යන බව පැවසූ විට, පිස්සෙක් දිහා බලන්නාක් මෙන් තදින් සිනහසුණු මළබාරියා  “ගුඩ් ලක් ටු යූ !” යනුවෙන් ඔල්ලොක්කුවට සුභ පතා යන්නට ගියේය …

නිසැකවම මළබාරියා  හිතුවේ කණ්ඩා කොලොප්පම් කරනවා කියාය, නමුත් එය තේරුම් බේරුම් කිරීමට සිහියක් හෝ කාල වෙලාවක් කණ්ඩාට තිබුනේ නැත !

දඩි බිඩියේ හැඳ පැළඳ ගත් කණ්ඩා හට කෙතරම් පමා උවත් ටැක්සියක එල්ලුනොතින් අන්තිම මොහොතේ හෝ සාජා ගුවන්තොටුපොළ වෙත ලඟා වීමට තවමත් බැරි කමක් නැත්තේය !

ගෙන යාමට තිබූ සියලු අඩුම කුඩුම පෙරදා රාත්‍රියේ සුදානම් කර තබා නින්දට වැටුනේ පූරුවේ වාසනාවකටය, නැනිනම් වැටෙන්නේ අලි අමාරුවකය.

ටිකිරි මොළේට පින්දෙමින් කණ්ඩා ගමන් මල්ලත් රැගෙන බෝඩිමෙන් පිටත් වුයේ කවමදාවත් නැති කලබලයකිනි …

මොන තරම් හදිස්සියේ පාරට බැස්සත් මේ කියනා අවදියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ටැක්සියක් අල්ලා ගැනීම ලෙහෙසි නැත, එය හරියට මහජන සම්පත මිලදී ගෙන කෝටියේ වාසනාව ඇදෙන තෙක් බලා සිටිනවා හා සමානය.

කොයි වෙලාවේ බැලුවත් ඔල්ලොක්කුවට සේ හූ තියාගෙන දුවන හැම ටැක්සියක්ම මගීන්ගෙන් පිරිලාය …

ඉඳහිට හිස් ටැක්සියක් ආවත් පෝලිම් ගැන කිසිම අවබෝධයක් අල්ලපු රටේ උදවියට නැති බැවින් ඇතුළු වන්නට විසි තිස් දෙනෙක් සමගින් පොර කන්නට උවමනාය.

එබැවින් එදවස “අංගංපොර” හෝ “ගුස්ති” අල්ලන්නට නොහැකි උදවිය ටැක්සි භාවිතා කිරීමෙන් වැළකී සිටියෝය.

එමෙන්ම කරුමයට හෝ අප සිටිනා තැන කිට්ටුවෙන් ගෑනු පරාණයක් හිටියෝතින් ටැක්සි රියදුරන් කවමදාවත් අපව නග්ගා ගන්නේ නැත, ඒ ඔටු දේශයේ ගැහැණුන් හට කොහේ ගියත් මුල් තැන හිමි වන නිසාය.

අන්තිමට දන්නා කස්තිරම් ඔක්කොම අල්ලා කෙසේ හෝ ටැක්සියකට රිංගා ගත්තත් ටැක්සි රියදුරා යන්නේ අපට උවමනා තැනට නොව ඔහුට කැමති තැනකට… ඔහුට රිසි පාරකින්ය …

උගේ හිත මොලොක් කර නම්මා ගැනීමට නම් දෙයියන්ට බුදුන්ට සේ ගරු සත්කාර වැඳුම් පිදුම්  කල යුතුය.

මොන දෙයියන්නාන්සේට උනත් ඕනෑවට වඩා ඔලුව නවන සිරිතක් නැති කණ්ඩා බොහෝ වෙලාවට ගමනක් බිමනක් යන්නේ මේ හාදයන් සමග නොසෑහෙන්න වචන හුවමාරුවකට අනතුරුවය  🙂

මෙයට ඇති විකල්පය හෙවත් බරට බරේ ගමන් මල්ලකුත් උස්සා ගෙන උදේ පාන්දර දේරා ඩුබායිහි (Deira Dubai) සිට බස් රථයක එල්ලෙන්නට යුද්ධ කරනවාට වඩා ලෙහෙසියෙන් ඇෆ්ගනිස්තානයට පයින්ම යාම පහසුය.

එනිසා බස් රථ ගැන කතා නොකර සිටීම වඩාත් සුදුසුය … 🙂

මෙලෙස පැස්බරෙක් සේ බෙල්ල දික්වන තෙක් නොසෑහෙන වෙලාවක් පාර දෙසට නෙත යොමා ගෙන ටැක්සි වලට අත දැමීමෙන් සහ අල්ලපු රටේ හනුමන්තන් සමග ගාලගෝට්ටි කිහිපයකින්ද අනතුරුව කණ්ඩාගේ පස් මහා බැලුම් සම්පුර්ණ විය.

ඒ අමතර මුදලක් ගෙවීමට එකඟවීමෙන් පසු සාජා ගුවන් තොටුපොල වෙත කණ්ඩා කැටුව යාමට එක් බංගාලි ජාතික ටැක්සි රියදුරෙක් ඉදිරිපත් වීම නිසාය.

ඒ වන විටත් පැයක පමණ පමාවක් තිබුණත් රටක් රාජ්‍යක් දින්නා සේ ටැක්සියට ගොඩ වැදුණු කණ්ඩා සාජා වෙත යන අතරමග දුරකතන ඇමතුමක් දීමට සුදානම් වූයේ ගමනට එක් වන අනෙක් සගයින් දෙදෙනා අමතා පමා වී හෝ තමන් පැමිණෙන බව දැනුම් දීමටය.

මෙම ගමනට කණ්ඩා සමග තවත් සගයන් දෙදෙනෙකු සුදානම් වුයේය, ඒ නූර් (Noor) නමැති පකිස්තානු ජාතික තාක්ෂණ කළමණාකාරවරයා (IT Infrastructure Manager) සහ රංජිත් (Renjith) නම් ඉන්දියානු ජාතික තාක්ෂණවේදියෙකි (IT Administrator).

නූර් යනු විසි තිස් වතාවක් ඇෆ්ගනිස්තානට ගොස් ඇති, මාස ගණනාවක් එහි ගත කරමින් සුපිරි කොම්පැණිය ඇෆ්ගනිස්තානයේ මුල් බැස්සවීමට දරදිය ඇද්ද පුද්ගලයන්ගෙන් අයෙකි !

නූර් නොදන්නා පුද්ගලයෙක් හෝ නූර් ගැන නොදන්නා කිසිඳු පුද්ගලයෙක් එදා සුපිරි කොම්පැණියේ සිටියේ නැත !

මළයාලියෙක් වූ රංජිත් ගැන වැඩි විස්තර දැන සිටියේ නැති උවත්, ඔහුත් සමග වැඩ කටයුතු කල කෙටි කාලය තුලදී ඔහු තාක්ෂණවේදියෙක් වශයෙන් සේවය කරන්නේ කුමන සුදුසුකමක් යටතේද යන්න කණ්ඩාට උග්‍ර ගැටළුවක් විය.

නමුත් ඉතා මිත්‍රශීලි පුද්ගලයෙකු වූ රංජිත් මොළය කළඳක් නොතිබුණත් භාර දුන් වැඩක් අතපසු නොකර හැකි උපරිමයට සිදු කළේය.

පුදුමයකට මෙන් කලින්දා රාත්‍රියේ මේ සගයන් දෙදෙනා කණ්ඩා කිහිපවරක්ම ඇමතීමට උත්සාහ ගෙන ඇති බව දුරකතනයේ වූ පණිවිඩ මගින් (Missed Call Alerts) පැහැදිලි විය.

නමුත් කණ්ඩාගේ කුම්භකර්ණ නින්ද හේතුවෙන් ඒ සියල්ල මග හැරී ඇත්තේය … මේ කලබලයට හේතුව නොදත් හෙයින් කණ්ඩා මුලින්ම නූර් ඇමතුවේ වැඩි විස්තර දැන ගන්නටය.

සුපුරුදු ලෙස කණ්ඩාට සුභ පැතූ නූර් ඉන් අනතුරුව ගහෙන් ගෙඩි එන්නා සේ පැවසුවේ ගුවන් ගමන තවත් පැය හතරකින් ප්‍රමාද වන බවට පෙරදා රාත්‍රියේ දැනුම් දීමක් ලැබී ඇති බවය !

කණ්ඩා හට ඉහ වහා ගිය සතුටක් සමගම තද කෝපයක්ද සිතට නැගුනේය.

සතුට කණ්ඩාගේ අනිසි පමාව තව දුරටත් ගැටළුවක් මතු නොකරනා නිසාය … තරහව තව පැය හතරක් නිදහසේ නිදා ගන්නට තිබිණු කාලය අහිමි වීම නිසාය.

ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැක්කේය, පෙරවරු 10:30 වන්නටත් කලින් ගුවන් තොටුපොළට ලඟා වී අවසන් හෙයින් දැන් කරන්නට ඇති එකම දෙය කොහේ හෝ මුල්ලකට වී කෙටි නින්දක් ලබා ගැනීමය.

sjarjah-airport-entrance

(සාජා ගුවන් තොටුපොළ ඇතුළත)

තවමත් ඇඟේ පතේ මහන්සිය සහ නිදිමත තිබුණද ගුවන් තොටුපොළ තිබුණු තත්වය අනුව නින්ද අහළකටවත් ලඟාවන්නේ   නැත … මෙය ගුවන් තොටුපොළකට වඩා ගැලපෙන්නේ සති පොලකටය.

එදා සාජා ගුවන් තොටුපොළ අද මෙන් කාර්ය බහුල නැත … නමුත් අද සේම එදාත් බොහෝ වෙලාවට එය සරණාගත කඳවුරක් මෙන් අප්‍රසන්නය.

ගුවන් යානය පැමිණෙන තුරු තැන තැන වැටී නිදනා ඉන්දියානු, පකිස්තානු සහ බංගාලි ජාතිකයන් ගුවන් තොටුපොළ  පුරාම විසිරි ඇත්තේය.

මගින් සඳහා ඇති පහසුකම්ද අතිශය අවමය නමුත් එම අවම පහසුකම්ද භාවිත කරන්නට නොදන්නා සම-හරක් නිසාවෙන්  මුඩුක්කුවක සිරි ගන්නේය.

කොනක් නොපෙනෙනා පෝලිම්, හැම මුල්ලකම පාහේ ලඟින් යන්නට බැරි තරමට රැඳෙනා දහඩිය දුගඳ, තැන නොතැන කුණු දැමීම, ඉතා අපිරිසිඳු ලෙස ආසන වල දෙපා තැබීම, අධික ඝෝෂාව ආදී කණ්ඩා බෙහෙවින් ප්‍රිය කරනා කරුණු රාශියකි 🙂

මදි පාඩුවට මගීන් කෙරෙහි කිසිඳු උනන්දුවක් හෝ අනුකම්පාවක් නොපෙන්වන අකාර්යක්ෂම ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය හේතුවෙන් මෙහි සිද්ද වෙන සෑම කරියක්ම වන්නේ ඉබි ගමනින්ය.

දැන් දැන් නින්දටත් වඩා වැදගත් උවමනා එපාකම් කණ්ඩාට ඇත්තේය, ඒ උදේ පාන්දරම පිස්සු බල්ලෙකු සේ එලියට බැස්සේ ශරීර කෘතයය පවා අමතක කරමින් නිසාය !

කණ්ඩාගේ ඇස් ඉදිරිපිට වැසිකිළිය මැවී පෙනෙනා තරමට තත්වය දරුණු අතට හැරුණු කල ලඟම තිබුන වැසිකිලිය වෙත එබුනේ වෙනත් විකල්පයක් නොමැති තැනය.

සාජා ගුවන් තොටුපොළ ඇති වැසිකිළි කොළඹ මැනිං ලංකාවේ පොදු වැසිකිළි වලට වඩා තරමක් පිරිසිඳු උවත් ඒවා පාවිච්චි කිරීමට නොදන්නා සිවුපාවුන්ටත් අන්ත එවුන් මේ රටේ එමටය ! **

** පාවිච්චි කල පසු තවත් අයකු ගැන සලකා පිරිසිඳු කිරීමේ උවමනාවක් ඔවුන් හට නැත … නිතරම කොමෝඩ් අසුන මත රැඳී පා සටහන්ද මේ උදවිය ගැන අමතර විස්තර සපයන්නේය … **

මේ මොනවා ප්‍රශ්න තිබුණත් යන්නට ඕනා විට යන්නට ඕනෑය (You Gotta go when You Gotta go !)

අපිරිසිඳුකම කෙසේ හෝ ඉවසා ගත හැකිය … කණ්ඩා මෙයට වඩා නරකාදී වලට ගොස් නැතුවා නොවේ, නමුත් දැන් ඇති ලොකුම කරදරය ගමන් මල්ලයි.

සත පහකට විශ්වාසය තැබිය නොහැකි අසල්වාසී අමුත්තන් සමඟින් ගමන් මල්ල එළියේ තබා වැසිකිලිය වෙත යන්නට කණ්ඩා හට හිත දුන්නේම නැත.

අවසානයේ කණ්ඩා තිරණය කලේ අනෙත් සගයන් එනතුරු කෙසේ හෝ ඉවසාගෙන ඉන්නටය.

එතෙක් කාලය ගෙවා දැමීමට විවිධාකාරයේ සර්කස්, නරි නාටක අවැසි තරම් අහල පහල ඇති පදම තිබුණේය …

මග වැරදී අන්තිම මොහොතේ අහස් යාත්තරාවලට ගොඩ වැදීම උදෙසා ගාල කඩා ගෙන දුවනා මගීන් … අතුරුදහන් වූ මගීන් සොයමින් බෙරිහන් දෙන ගුවන් තොටුපොළ නිළධාරීන් …

ජංගම දුරකථන තිබුණත් මුළු දකුණු ආසියාවටම ඇහෙන්නට තරම් මර ලතෝනි දෙමින් සංවාදයේ යෙදෙන්නවුන් …

ක්‍රිකට් කණ්ඩායමක් ආරම්භයට තරම් වන පඩි පේළියක් සිහිගන්වන බෑඟිරි ගසමින් දඟලන කුඩාවුන් සහ ගෝනි බිල්ලන් වැනි අඹුවන් ආම්බාන් කරගැනීමට දඟලන ඔටුවන් …

යන සියල්ල ඉතා සුලභ දසුන්ය, එනිසා අමාරුවෙන් උසුලාහෙන සිටි බරට අමතරව පැය දෙකක කාලය ගත වී යනු කණ්ඩාට දැනුනේම නැත.

මුලින්ම කණ්ඩා හා එක්වුයේ රංජිත්ය, මිනිහා කණ්ඩාට ගුඩ් මෝනිං කියන්නත් කලින් ගමන් මල්ල හාදයාට බාර දුන් කණ්ඩා වැසිකිලිය වෙත දිව්වේ මීටර සියය තරඟයකට සහබාගි වන්නා සේය !

බර සැහැල්ලු කර ගත් විට දැනෙනා නිදහස දන්නේ බර ඉසිලූ උදවියමය, මුළු ලෝකයේම බරින් මිදුන ඇට්ලස් යෝධයා මෙන් කණ්ඩා නැවත මගී පර්යන්තය වෙත යන විට නූර්ද රංජිත් සමග එකතු වී සිටියේය.

අචාර සමාචාරයෙන් පසුව දෙදෙනාගෙන්ම ඉදිරිපත් වූ ප්‍රධාන පැණය වුයේ පෙරදා දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු නොදුන්නේ ඇයිද යන්නයි ?

දුරකථන ඇමතුම් කෙසේ වෙතත් කණ්ඩා උදේ පාන්දර සිට මුහුණ දුන් බරපතළ අකරතැබ්බ දැන ගත් මේ දෙදෙනා බඩ අලාගෙන සිනාසෙන්නට වුයේ කණ්ඩාගේ අවාසනාව පිළිබඳව ඇති වූ බලවත් කණගාටුව සහ පහන් සංවේගය නිසාම විය යුතුය  🙂

මේ අතරම ගමන් මලු භාර ගැනීම ආරම්භ කර තිබු නිසා කවුන්ටරය වෙත් ගොස් අපගේ ගුවන් ගමන් බලපත්‍රය හා ටිකට් පත් ඉදිරිපත් කළ පසු අප සියලුදෙනා හට ගුවන් තොටුපොළේ වෙනම කොටසකට පිටත් කරනු ලැබීය.

අන් ගුවන් ගමන් වාර වලදී මෙන් නොව මෙහිදී අපගේ ගමන් මලු සියල්ල අපටම ගුවන් යානය වෙත ගෙන යාමට සිදු වුයේය.

ඒ අප ගමන් කිරීමට නියමිතව සිටියේ මගී ප්‍රවාහන ගුවන් යානයක් වෙනුවට බඩු රැගෙන යාමටම භාවිත කරනා ඇන්ටනොව් යානයක නිසාවෙනි.

අප තිදෙනා බඩු මුට්ටු සියල්ලත් කර පින්නාගෙන කාත් කවුරුවත් නැති මුස්පෙන්න්තු කාමරයකට වී සිටියේ ගුවන් යානයට අප කැඳවාගෙන යන්නට කිසිවෙකු පැමිණෙන තෙක්ය.

මෙසේ තවත් පැය බාගයක පමණ කාලය කා දැමූ අප ගුවන් යානය වෙත රැගෙන යාමට ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙන් පැමිණි අතර මද වෙලාවකින් ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයද අප සමග එකතු විය.

රුසියානුවන් සිව් දෙනෙකුගෙන් සැදි කාර්ය මණ්ඩලයට හොඳ උස මහත ඇති තරුණයන් දෙදෙනෙකුද මැදි වියේ පසු වන්නන් දෙදෙනෙකුද විය.

ඉතා කඩවසම් ලෙස හැඳ පැළඳ සිටි මොවුන්ගේ නිළ ඇඳුම සුදු පැහැති කමිසයකින් සහ තද නිල් පැහැ ටයි කෝට් සේම අලංකාර හිස් වැස්මකින්ද සමන්විත විය.

පල පුරුදුකාරයෙකු වූ නූර් “දොබ්රි උත්‍ර” යනුවෙන් රුසියානු බසින්ම ඔවුන් හට සුභ පැතුවේය.

කණ්ඩා දන්නා රුසියානු බාසාවක් නොමැති හෙයින් සුපුරුදු ලෙස ඉංගිරීසියෙන් සුභ පැතූ කල ඔවුන්ද දැඩි රුසියානු උච්චාරණයක් (Accent) සහිත ගැඹුරු කටහඬින් “ගුඩ් මෝර්..නින්ග්” යයි පෙරලා සුබ පැතුවේය.

රුසියානු ජාතිකයන් නොහඳුනා පුද්ගලයන් සමග සිනහ වී කතා බහ කරන්නේ නැත … එනිසා මේ උදවියගේ මුහුණේ සුභ පතනා විට පවා කිසිඳු සිනහවක් නොතිබූ බව අද මෙන් කණ්ඩාට මතකය !

ගුවන් යානා කාර්ය මණ්ඩලයත් සමගම බස් රථයකට නැගුණු අප ගුවන්තොටු පොළේ හද්දා කෙළවරක යාත්‍රාංගනයකට (Aircraft Hanger) ආසන්නව නවතා තිබුණු ඇන්ටනොව් යානාව වෙත ගමන් කළෙමු.

මේ අහල පහල තම වයස හොඳින්ම ප්‍රදර්ශනය කරනා විවිධ ප්‍රමාණයේ සහ මාදිලියෙහි ඇන්ටනොව් ගුවන් යානා හය හතක්ම නවතා තිබුණේය.

ජෙට් යානාද ඒ අතර වූ නමුත් වැඩිමනක් වුයේ ප්‍රොපෙලර් (Turbo Prop) හෙවත් කැරකෙන තල බමර සහිත ගුවන් යානාවන්ය.

මෙය කණ්ඩා හට විවිධ ආකාරයේ ගුවන් යානා නඩත්තු කටයුතු සිදු කරනා අයුරු මෙන්ම යානා වෙත තෙල් පොම්ප කරනා ආකාරය නිරීක්ෂණය කිරීමටත් ලැබුණු කදිම අවස්ථාවක් විය.

අප ගමන් කල ගුවන් යානය කණ්ඩාට මතක තියනා පමණින් යුක්රේනයේ නිෂ්පාදිත එන්ජින් හතරකින් යුතු ඇන්ටනොව් AN-12 යානාවකි.

පසුපසින් භාණ්ඩ පැටවීම සඳහා පහත් කල හැකි විශාල දොරකින් (Cargo Bay) යුත්ත යානාවට නියමුවන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු වීමට ඇත්තේ ඉදිරිපස රෝදයට යටින් ඇති කුඩා උමගක් බඳු දොරටුවකිනි (Hatch Door).

antanov-an-12

(ඇන්ටනොව්  AN-12 ගුවන් යානයක්  – කාබුල් ගුවන්තොටු පොළේදී )

අපට පෙර  ගුවන් යානයට ඇතුල් වූ කාර්ය මණ්ඩලය අපට පිටතින් සිටින සේ සන් කර ගියා ගියාමය.

රුසියානු බසින් මොනවාදෝ කෑ ගසමින් ඇතුලේ මොනවාදෝ පෙරළන හඬ ඇසුනත් අප ගැන බලන්නට කෙනෙකු නැත.

තවත් විනාඩි කිහිපයකින් පසු ගුවන් යානයේ පසුපස දොරටුව ක්‍රම ක්‍රමයෙන් විවෘත වූ අතර මැදිවියේ සිටි එක රුසියානුවෙක් එලියට ඔලුව දමා මොනවාදෝ රුසියානු බසින් කියමින් අපට අත වැනුවේය.

කිසිවක් නොතේරුන කණ්ඩා හට මේ සියල්ලම මඤ්ඤන්ය … හැමදේම හුරු පුරුදු නූර් ගමන් මලුත් රැගෙන එන ලෙස පවසා අපට ඉස්සර වීය.

මේ කතන්දරය කණ්ඩාට වැටහුනේ එවිටය, කාර්ය මණ්ඩලයට ඇතුළු වීම සඳහා ඇති ඉදිරිපස දොරටුව බඩු බාහිරාදිය ඇතුළු කිරීමට ඉඩ කඩ මදිය, එබැවින් අපගේ ගමන් මලු සහ බඩු සියල්ල පටවන්නට වන්නේ ගුවන් යානය පිටුපස දොරටුවෙනි.

විනාඩි කිහිපයකට පෙර සුට් බුට් ගසා ජැන්ඩියට හැඳ පැළඳ සිටි මේ රුසියානුවා දැන් දිග අතර ඉරි වැටුණ පරණ සරමකින්දෝ කොහෙද මසා ගත් කිලිටි කොට කලිසමකට බැහැලාය.

මුහුණ පෙනෙනා ගානට දිලිසෙන්නට තිබූ සපත්තු යුගල වෙනුවට දෙපයේ ගෙවීගිය රබර් සෙරෙප්පු දෙකකි,  නිරුවත් උඩුකය වැසි තිබුණේ විශාල සෝවියට් පච්ච කිහිපයකිනි !

මේ වෙනස හැබෑවටම සම කල හැක්කේ තරු පහේ හෝටලයක සිට සයිවර් කඩයකට වැදුනා හා සමාන හැඟීමකටය.

මේ පරිවර්තනය කණ්ඩාගේ කට ඉබේම ඇරෙන අරුමයක් උවද නූර් හෝ රංජිත් ඒ පිලිබඳ වැඩි උනදුවක් නොදැක්වුයේ, එය අතිශය සාමාන්‍ය දෙයක් වූ නිසා විය යුතුය.

ඉතින් කණ්ඩාද කරබාගෙන ගමන් මල්ල රුසියානුවාට භාර දී පසෙකට විය.

ඉන් අනතරුව නූර් සමගින් ඉදිරිපස දොරටුව වෙත ගිය අප, පොළොව දෙසට විවෘත වන කුඩා දොරටුවෙහි ඇති පඩි පෙළින් බඩ ගාගෙන මෙන් යානාව තුලට ඇතුළු වීමු.

මේ ගමන නිම වන්නේ නියමු කුටිය අසලින්ය, ඒ කණ්ඩා ගුවන් නියමු කුටියකට ඇතුළු වුණු පළමුවෙනි වතාවය … කෙතරම් පැරණි උවත් මේ පළමු අත්දැකීමට සමාන කල හැකි කිසිම දෙයක් දස වසරකට පසුවත් කණ්ඩාගේ සිහියට නැගෙන්නේ නැත.

නියමු කුටියේ නියමුවාට සහ උප නියමුවාට වෙන් වූ ආසන ඉදිරියෙන්, දෙපසින්, හතර පසින්ම ඇති අටෝරාසියක් බොත්තම්, ස්විච්යන් සහ මිනුම් උපකරණ, ගුවන් යානය පාලනය කරනා ආම්පන්න (Buttons, Switches, Dials Gauges and Flight Controls) කණ්ඩා ඩිස්නිලන්තයකට ගෙන ගියේය !

antanov-cockpit

(ඇන්ටනොව් AN-12 ගුවන් යානයක නියමු කුටිය)

නියමු කුටියට යටින් යානයේ ඉදිරිපස වීදුරුවෙන් ආවරණය වූ කොටස මග පෙන්වන්නා සහ ගුවන්විදුලි යන්ත්‍ර ඔපරේටර්වරයා වෙත වෙන් වී ඇත්තේය … **

** පියාසර කරනා විට අවට පරිසරය ඉතාමත් හොඳින් දිස් වන ලෙස විදුරු වලින් වටවී ඇති මෙය යානය තුල කණ්ඩාගේ ප්‍රියතම ස්ථානයයි **

කට ඇරගෙන හතර අත බලමින් සිටි කණ්ඩා පියවි සිහියට පැමිණියේ දොරටුව අවහිර කරගෙන සිටි කණ්ඩාගේ පිටට තට්ටුවක් දැමූ නියමුවන් දේපල ඇතුළු වීමට ඉඩ ඉල්ලූ විටය.

නියමුවන් දෙදෙනාද ජැන්ඩි පහේ ඇඳුම් වෙනුවට වඩාත් පහසු කලිසම් සහ ටී-ෂර්ට් වෙත මාරු වී අහවරය, ඔවුන්ගෙන් සමාව අයැදී කණ්ඩා ආපසු හැරුනේ මගීන් රැඳී සිටිනා කුටිය වෙත යාම සඳහාය.

නියමු කුටියට (Cockpit) පසකින් හා භාණ්ඩ ගබඩා කරනා කොටස (Cargo Bay) අතර ඇත්තේ මගින් සඳහා වෙන් කර ඇති කුඩා කාමරයකි, එහි මගින් 5-6 දෙනකුට යාන්තමට අසුන් ගැනීමට ඉඩ කඩ ඇත්තේය.

මගී ගුවන් යානයක් නොවනා බැවින් මෙහි ඇඳි සහිත සුව පහසු අසුන් නැත්තේය, ඒ අඩු පාඩුව පිරිමහන්නේ කෑලි හැලෙන කුෂන් මෙට්ට දෙකක් ඇතිරූ කුඩා බංකු දෙකකි.

රුසියානුවන් හට අඩු මුදලට පහසුවෙන් භාවිත කල හැකි ගුවන් යානා මිස සුරක්ෂිතතාව එතරම් වැදගත් නැත්තේය, එවන් නොවැදගත් සුළු ප්‍රශ්න වලට විසඳුම් සේවීම කාලය කා දැමීමකි !

එබැවින් කවුරු කවුරුත් මේ බංකු වල සීට් බෙල්ට් තියනවාද කියා ඇසීමෙන් වැළකීමට වග බලා ගත යුතුය  🙂

බංකු වලට පසෙකින් හදිසියට තේ කෝප්පයක් සදා ගැනීමට හෝ පොඩි බඩගින්නකට පාන් පෙත්තක් පිළියෙළ කර ගැනීමට සෑහෙන කුඩා මේසයක් සහ ජල කරාමයකි.

එතනින් එහා මගීන්ගේ සැප පහසුව මගින්ම සලසා ගත යුතුය !

ගුවන් යානයේ මූලික පිරික්සුම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අප හට අසුන් ගැනීමට දැනුම් දුන් නියමුවන් ගුවන් පථය වෙත යානය රැගෙන යාම ආරම්භ කළේය.

ප්‍රොපෙලර් ගුවන් යානා වල ගමන් කිරීමේදී එන්ජින් වලින් නැගෙනා ඝෝෂාව සහ ගුවන් ගත වීමේදී ඇතිවන කම්පනයන් වෙනස්ම ආකාරයක අත්දැකීමකි.

cargo-bay-of-a-antanov

(කණ්ඩා ඇන්ටනොව් AN-12 ගුවන් යානයක පිටුපස දොරටුව අසල)

අවුරුදු 30-40ක් පැරණි මෙම රුසියානු යානා වල ශබ්ද රෝධක තාක්ෂණයන් (Sound Proofing) ඉතාම ප්‍රාථමික පවතින නිසා එන්ජින් වලින් නැගෙනා සද්දය හොඳින් ඇසෙන්නේය.

ඇති පදම් ගුවන් ගමන්හි යෙදි පළපුරුදු කාරයෙකු වූ නූර් මේ ඝෝෂාව මධ්‍යයේ උවද දැනටමත් නිදිය.

යානය ගුවන් ගත වන්නට සුදානම් වන මොහොතේ පටන්ම යම් තරමක කැලඹීමක් පෙන්වූ රංජිත් දෑස තදින් පියා ගත් ගමන්ම නිදි කිරන්නේය … රංජිත් හට ගුවන් ගමන් දිරවන්නේ නැති පාටය.

කණ්ඩාටත් නිදිමත නොඅඩුව තිබුණත් අලුත් අත්දැකීම් බොහොමයක් අත්විඳ ගන්නට තිබුණු ආසාවටදෝ නින්ද අහලකටවත් පැමිණියේ නැත.

කම්මැලි කමට කතා බහ කරන්නට කවුරුවත් ඇත්තේද නැත.

මගී ගුවන් යානා වල මෙන් හැඩ බලන්නට සුරූපී ගුවන් සේවිකාවන්ද නැතිමුත් ඒ අඩුව මැකුවේ බඩු බාහිරාදිය හැසිරවීමේ කටයුතු භාරව සිටි තට්ටය පෑදිච්ච මැදිවියේ ඉංජිනේරුවාය.

තේ කෝප්පයක් සාදා ගැනීමට  මගී කුටියට පැමිණි ඔහුව කතා බහකට අල්ලා ගන්නට කණ්ඩා උත්සාහ කලේ තනි නොතනියටය.

ඔහු සමග සංවාදයක් ඇතිකර ගැනීමට කණ්ඩා ගත් උත්සාහයන් සියල්ල වතුරේ ගියේ මේ රුසියානුවාට ඉංග්‍රීසි වචනයක්වත් බැරි හෙයිනි.

ඔහුගේ පච්ච ගැන කණ්ඩා විමසූ කල ඒ ගැන විස්තර කිරීමට වැඩි අකමැත්තක් නොපෙන්නුවත් රුසියානු බසින්ම උත්තර සැපයූ නිසා ඔහු පැවසුවේ කුමක්ද යන්න දන්නේ ඔහුම පමණි 🙂

පච්ච වලින් කණ්ඩා හට හැඳින ගත හැකි වුයේ දෑකැත්ත, මිටිය සහිත ලෙනින්ගේ රුව සහ තවත් රුසියානු හමුදා සලකුණු විය හැකි කිහිපයක් පමණි !

වැඩි ආයුෂ නොතිබූ මේ කතා බහෙන් පසුව එන්ජින් ඝෝෂාව හැරුන කල යළිත් කනස්සලු සහගත නිහඬ බවක් මගී කුටිය පුරා පැතිර ගියේය.

කම්මැලිකම ඉවසා ගත නොහැකි තැන කණ්ඩා නැවතත් නියමු කුටියට එබුණේය …එහිදී දකින්නට ලැබුණු දෙයින් කණ්ඩාගේ ඇඟ සීතල කර හීන් දාඩිය දමන්නට පටන් ගත්තේය.

සිය ගණනක් වූ මිනුම් උපකරණ අතරින් (Dials and Gauges) ක්‍රියාකාරී තත්වයේ ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් ආසන්න ප්‍රමාණයක් පමණි.

ඇතැම් ඒවා හිටි ගමන් හිර වන්නේය, එවිට ගුවන් නියමුවන්ගෙන් අයෙක් එයට මිට මොලවා තට්ටුවක් දැමූ විගස එය නැවත පණ ගසා වැඩ කරන්නට පටන් ගන්නේය.

ඇඟ සීතල වී යන මේ දසුන වෙනුවට රේඩියෝ ඔපරේටර්වරයාගේ කුටියේ වීදුරුව තුලින් අවට බලාගෙන සිටියත් එයද මද  වෙලාවකින් එපා වූ කණ්ඩා නැවතත් බංකුව වෙත පැමිණියේ කම්මැලිකම ඉහ වහා ගොසින්ය.

සාජා සිට කාබුල් වෙත යාමට පැය තුන හමාරක් පියාසර කල යුතුය, අප ගමන ආරම්භ කළා පමණි යානය කාබුල් වෙත ගොඩ බැසීමට තවත් පැය තුනකටත් වඩා ගත වන්නේය.

මේ එකාකාරීත්වයෙන් මිදීමට යම් මගක් ඇතිනම් හොඳය, පැය තුනක් අතපය හකුලාගෙන එක තැන ඉන්දිමට තරම් කණ්ඩාගේ ඉවසිලිවන්තකම මදිය.

මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමට වැඩි වෙලා ගත නොවීය, එකාකාරී එන්ජින් ඝෝෂාවේ ඇති වූ  වෙනස හඳුනා ගැනීමට කණ්ඩා හට එතරම් අපහසු වුයේ නැත.

මෙතෙක් වෙලා තිබූ එන්ජිමේ ශබ්දයට බෙහෙවින් වෙනස් මේ ශබ්දය මුලින් හීනියට මතු උනත් විනාඩියක් ඇතුළත දරුණුවට ඇසෙන්නට වූ අතර කණ්ඩාට ඒත්තු ගියේ එය මතු වන්නේ යානය දකුණු පසින් බවය.

වීදුරුවෙන් එලිය බැලූ කල තටුව මත ඇති එන්ජින් ද්විත්වයෙන් යානයේ බඳට ආසන්නයේ වන එන්ජිමේ වේගය අඩාල බව තල බමර දෙක කරකැවෙන ආකාරයේ වෙනසින් බැලූ බැල්මටම වැටහුණි.

ඒ සමගම යානයේ පසුපස සිට කඩිමුඩියේම පැමිණි ඉන්ජිනේරුවා ඒ දෙස බලා ගුවන් නියමුවන් හට යමක් රුසියානු භාෂාවෙන් කෑ ගැසුවෙන් නිදි කිරමින් සිටි නූර් සහ රංජිත් දෙදෙනාම එක වර ඇහැරුනේය.

නමුත් සිදු වන දේ ගැන කිසිඳු අවබෝධයක් ඔවුන් දෙදෙනා හට තිබුණේ නැති බැවින්, ප්‍රශ්නාර්තයක් සහිතව කණ්ඩා දෙස බැලූවේය.

කියන්නට කිසිවක් නොතිබුණු බැවින් කණ්ඩා කලේ දකුණු පස එන්ජිම දෙස බලන ලෙස සන් කරමින් වීදුරුව දෙසට අත දිගු කිරීම පමණි !

මද වෙලාවක් එදෙස බලා සිටි නූර් උරහිස් හකුලා මද සිනහවක් සහිතව කණ්ඩා දෙස බැලුවේ කරන්නට දෙයක් නැති බව ව්‍යංගයෙන් හඟවමිනි.

රංජිත්ගේ මුහුණ කළු වෙලාය ඔහුගේ තොල් සැලෙන ආකාරයට වෙවුලනවාද දෙවියන් අයදිනවාද යන්න සිතා ගත නොහැක.

රංජිත්ගේ පිටට තට්ටුවක් දැමූ නූර් “රංජිත් රිලැක්ස්, නොතින්ග් බෑඩ් ඊස් ගොයින් ටු හැපන්, වී විල් බී ඕල් රයිට් “ යනුවෙන් ඉතා සන්සුන්ව පැවසීය .. එයට කිසිවක් නොපැවසූ රංජිත් ඔලුව වැනුවා පමණි.

ඒ සමගම නියමු කුටියෙන් ඉවතට පැමිණි රේඩියෝ ඔපරේටර්වරයා දකුණු පස එන්ජිමේ වරදක් නිසා අප නැවතත් සාජා වෙත ගමන් කරනා බව දැන්වීය.

ඉන් පසුව ගත වුනු විනාඩි 15-20 ත් අතර කාලය ගතවූ හැටි විස්තර කිරීමට කණ්ඩාගේ ශබ්ද කෝෂයේ වචන මදිය.

ලංකාවේ සිටිනා හාමිනේ, මවත් සමග වෙසෙනා සොහොයුරා සහ සොහොයුරිය මේ හැම දෙනාම අකුණු කොටන්නා සේ  වරින් වර කණ්ඩාගේ සිතට නිරන්තරයෙන් අතුළු වන්නේය.

ඒ සමගම වක්කඩ කැඩුවා සේ ඔලුවට ගලා එන ලංකාවේ ඇන්ටනොව් යානා කඩා වැටීම් ගැන පුවත් හිතට කිසිඳු සැනසිල්ලක් ගෙන ආවේ නැත.

පුදුමයකටදෝ කණ්ඩාගේ හිතට බියක් වෙනුවට ඇතුළු වූයේ මහා අවිනිශ්චිත බවකි …

මේ ගුවන් යානය කඩා වැටෙයිද … ???

එසේ කඩා වැටුනහොත් අපට දිවි ගලවා ගත හැකිද ?

එසේ නොවුණොත් පවුලේ උදවියට කුමක් සිදු වෙයිද … ???

එන වසරේ විවාහ වන්නට සිහින දක්නා හාමිනේ නැවත දැක ගන්නට ලැබේද ?

තාත්තාගේ වියෝවෙන් පසුව අමාරුවෙන් හිස ඔසවනා පවුලට කුමක් සිදු වෙයිද ?

මේ ගමන ගැන වැඩි විස්තර කිසිවක් නොදත් අම්මා කෙසේ දරා ගනීවිද  ???

ඔලුව පුරා ඉබාගාතේ දුවන මේ කෙළවරක් නොමැත අදහස් සමග අවිනිශ්චිත බව ක්‍රම ක්‍රමයෙන් දැඩි කණගාටුවක් බවට පෙරලෙන්නට වීය …

~ මතු සම්බන්දයි !

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ II කොටස ~ හිවලුන් සමග රාමසාන් සහ ඇන්ටනොව් !

මා දුටු ඇෆ්ගනිස්ථානය ~IV කොටස ~ පිපිඤ්ඤා සැන්විච්, යහතින් ගොඩ බෑම සහ ඇන්ටනොව් ගැරේජ් !

Advertisements