im-crazy-and-i-know-it

මම ලෝකෙන්ම උතුම් රටෙන් ඈත් වෙලා දැන් දස අවුරුද්දක් වෙන්නට එනවා අප්‍රේල් මාසේ අග දිහාට …

ඉතින් මට හිතුන ආපු පාර ගැන වගේම මං ගැනත් පොඩ්ඩක් විතර ආපහු හැරිලා බලන්න දාර්ශනික විදිහට.

ඔය කිව්වට මං කියන එව්වා වැඩිය ගණන් ගන්න කාරී නෑ …මොකද කාපු බීපු වෙලාවට කම්මැලි කම යවා ගන්න ලියන කියන හෑලි වැඩිය ගණන් ගන්ඩ නරකයි !

මේක බොහෝ දුරට පොල්ලක් අරන් මටම තඩි බා ගන්නවා වගේ වැඩක්  …. ඒ කියන්නෙ ස්වයං විවේචනයක්  🙂

රටෙන් පිට වෙනකොට මම සර්ව සාධාරණීය සමාජයක් ගැන සිහින දකින්නෙක්, හැම දේම ගැන බොහොම සර්ව සුභවාදී විදිහට බලපු එක තමයි කරේ …

හැබැයි මේ හැම දේටම මුල් වෙලා තිබ්බේ ගොඩක් දුරට අර ගතානුගතිකව අපේ ඔලු වලට ඔබ්බල තිබුන දෙවල් තමයි.

රට තොට ඇවිදිල නොයෙක් දේ දකිනතුරු, අපි පොඩි දවස් වල බලෙන් ඔලු වලට ඔබපු බොහොමයක් ගොන් ආකල්ප වලින් මිදෙන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි …

මිනිස්සුන්ගේ කුඩුකේඩුකම් කුහකකම් එක්ක, හිටියට වඩා මම යථාර්ථවාදියෙක් පැත්තට බර වෙලා කියල තමයි මට නං හිතෙන්නේ …

ඒත් තවමත් මගේ තියන ලොවෙත් නැති සමයං වල ප්‍රායෝගිකත්වය ගැන පැමිණිලි, යෝජනා, චෝදනා සහ අනුශාසනා මට බොහෝ දෙනෙක්ගෙන් වගේම එදිනෙදා ජීවිතයේදී අපේ හාමිනේගෙනුත් නැව් ගණන් ලැබිල තියනවා.

නමුත් ඒ ගොඩක් දේවල් මගේ ඔලුවේ රඳන්නේ නැත්තේ එක්කෝ මගේ වාසනාවට එහෙමත් නැත්නම් උන්ගේ අවාසනාවට 🙂

මේකට වගකියන්න ඕනේ ඉතින් අර මගේ දකුණු කනේ ඉඳන් වම් කන යා කරන හුඹහ තමයි, ඕනෑම දෙයක් එක කණකින් ඇතුලට අරන් අනෙක් කනින් පිට කරන එක මට සුළු දෙයක් … 🙂

මේව අහල දැන් මගේ ඇඟට ගොඩ වෙන්න එන්නේ එපා හරිය, මේවා කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි අපේ හාමිනේ !

තව වැඩි දුර විස්තර දැන අහගන්න ඕනෑම නම් අමතන්න අපේ හාමිනේව … උන්දැ තමයි ඕව දන්නේ …

නමුත් ප්‍රශ්නය ඇවිල්ල ඕක නෙමෙයිනේ … හැබෑ පුරස්නය තමයි මෙච්චර අටෝරාසියක් දැනමුතුකම් වලින් පස්සේ … දැන් මම හැදිලද ? කියන එක.

මම නං කියන්නේ මම දැන් හොඳටෝම හැදිලා, හැදිලා නෑ කියන්නේ කොහොමද ? ඇයි ඇස් පෙන්නෙ නැද්ද ?

නෑ බොරු නෙමෙයි කිව්වේ, මම මගේ ඉන වටේ ගැන හිතල කිව්වේ …  🙂

ඒ කියන්නේ පරිධිය, හරියටම හොයා ගන්න නම් ටූපයියාර් (2πr)  දාල ගණන් හදල බලන්ඩ ඕනේ  !

නෑ .. නෑ .. වැරදුණා ! මේක වෘතයක් කිව්වට වෘතයක්ම නෙමෙයිනේ … මේක බෝලයක් වගේ තිබ්බට ඔවාලාකාර වස්තුවක් නොවැ, ඔය ඉලන්දාරින්ගේ සික්ස් පැක් වගේද අපේ වන් පැක් .. හෙක්.. හෙක්… 🙂

ඒ නිසා ඕකට හරියටම හරියන්නෙ ඔය පල්ලෙහායින් තියන සමිකරණය තමයි මට හිතෙන හැටියට !

perimeter-of-an-ellipse

මේ මනුස්සයට ඔල්මාදේද කොහෙද  ???

මට කිව්වා නං අර මහන මැසිමත් එක්ක හම්බ වෙච්චි ටේප් පටිය දෙනවනේ කැමති විදිහෙට මැන ගන්ඩ !

රටේ නැති විකාර, මළ සමයං !!!

හාමිනේගේ සුමධුර වදන් මගේ වම් කන ගාවින් මතු වෙලා දකුණු කණෙන් එලියට යනවා වගේ දැනුණා 🙂

විකාර පොඩ්ඩක් පැත්තකින් තියල බලමුකෝ ආපහු හැරිලා මොනවද වෙලා තියෙන්නේ කියල…

ඉස් ඉස්සෙල්ලම උණ පුරුකේ දාපු බලු වලිගේ ඇදය වගේ අරින්න බැරි මගේ ගති ගුණ තමයි හිතුවේ, ඕං කියවල බලන්ට  :

කියවීම : කියවීම මිනිසෙකු සම්පුර්ණ කරන බව ඇත්තය …

books

එතකොට මම දැන් සම්පුර්ණ වෙලා ඉවරද ???

පහු ගිය අවුරුදු දහයටම තිස්සේ කියෙව්ව පොත් ප්‍රමාණය අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුයි  😦

ඒ ගැන ලොකු කණගාටුවක් තිබ්බට දැන් කරන්න දෙයක් නැහැනේ … අඩු තරමේ මේ අවුරුද්දේවත් ගෙදර සාලය මැද පොත් රාක්කේ හැමෝටම පේන්න සෝබනේට ගොඩ ගහල තියන පොත් ටිකවත් කියවල හමාර කරන්නෝන  🙂

උ.පෙ. කරනා දෑවුරුද්ද තිස්සේ පාසලෙන් කට්ටි පැනල කොළඹ මහජන පුස්තකාලේ පොත් කියවපු මං … අන්තිමට ලයිබ්රියේ කියවන්න පොත් නැතිව නාහෙං අඬපු මං …

පොත් ගන්න කාඩ් එක නැති දවසට හොරෙන් උස්සපු මං … ඉස්කෝලේ පීරියඩ් අස්සේ අච්චු පොත් මැද තියං පොත් කියවපු මං  … ඒව මාට්ටු උනහම හම යනකං දණ ගහගෙන හිටපු මං …

අනේ හපොයි දැං  🙂

බඩු බැසීම : හෙවත් බර්ඩ් වොචින් !

keep-calm-and-flirt-onබර්ඩ් වොචින් කරන්න අභය භුමි වලටම යන්න ඕනේ නෑ … අනික ඔය කිව්වට බයිනකියුලර් එහෙමත් ආම්බාන් කරන්න කරදරයි.

නුගේගොඩ, බම්බලපිටියේ, කොච්චි ස්ටේෂන් වල උදේ හවා යන එනකොට කොට නොයෙක් ජාතියේ කුරුල්ලෝ හැම තැනම … ඒවා බලන්න වැඩිය මහන්සි වෙන්න ඕනේ නැහැ … 🙂

අපි දැන් පවුල් පන්සල් වෙලා තියන හන්ද ඉස්සර වගේ නෙමෙයි …

අපි දැන් තැන්පත් උදවිය .. ලුකි .. ලුකි .. නෝ .. ටචි .. ටචි .. !

දැන් බලන්න විතරයි පුළුවන් … අනිත්ව ඔක්කොම තහනම් !

ඒ කිව්වේ පස්සෙන් යාම … ඇඩ්‍රස් දීම  … ලියුම් පාස් කිරීම … මල් කැඩීම … ඇස් ගැසීම වගේ දේවල් …

මේවයෙන් අර එක ඇහක් වහල බලන එක ප්‍රශ්නයක් උනාට ඇස් දෙකෙන්ම බැලුවොත් අවුලක් නැහැ !

ඒ දවස් වල බඩු බහිනවා කියන එක කලාවක් නම් … ඒකෙ පිකාසෝල වගේ දවස් හතට හතක් බැස්ස එවුන් හිටං කිහිප දෙනෙක්ම අපිත් එක්ක හිටිය … අදටත් ඉන්නවා  🙂

මටත් ඔය පොඩි පොඩි කේස් එකක් දෙකත් තිබ්බේ නැතුව නෙමෙයි, හැබැයි වැඩියම තිබ්බේ ඒක පාර්ශවික ප්‍රේම කතා  🙂

බොරු කියන්නේ මොකටද අදටත් ලස්සන ගෑනු ළමයෙක් දැක්කොත් ඕං අපි නම් බලනවා … හැබැයි ඉතින් ඒ ඉස්සර වෙලාම හාමිනේට පෙන්නලා ඉවර වෙලා …

ඔයගොල්ලටත් පේන දේවල් අනේ .. මෙන්න මෙහෙට වෙලා ඉන්නවා …  !!!

බැඳලත් තාම ඉලන්දාරි විසේ ගිහිං නැද්ද කොහෙද ! මං ඉන්නවා මෙතන, ඇයි ඒ මදිද  ???

හාමිනේ පොඩි ආඩපාලියක් කිව්වත් මේක 100% කම හරියන හරි යන සිස්ටම් එක … අත් දුටුවයි ප්‍රත්‍යක්සයි !

ඇවිදින අමාරුව : ඇවිදින ආසාව නම් දැන් දැන් උත්සන්න වෙලා …

travelඉස්සර අපේ එකාලා උ.පෙ. කරලා රට වටේ සවාරි ගහනකොට, මගේ වැඩේ උන්ට ලොවෙත් නැති නිදහසට කතන්දර කියා කියා මග අරින එක …

ඒ දවස් වල කොහොමත් යාළුවොන්ගේ ගෙවල් වලට යන්න හිතෙන්නෙම නැහැ … මොකද යන යන තැනින් රිසල්ට්ස් අහනව … ආයි නෑ මාත් උඩින්ම පාස් …  කණු තුනයි විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා …

රිසල්ට්ස් කියන්න නම් මගේ ඇති ලැජ්ජාවක් තිබ්බේ නැහැ … මගේ දිහා මහා ආඩම්බරකාරයෙක් … බොරුකාරයෙක් … පිස්සෙක් දිහා වගේ බලන එක තමයි ප්‍රශ්නේ  !!!

යකෝ අපේ එකාටත් වඩා හොඳ රිසල්ට් එකක් මේක අරන්ද කොහෙද ..ඔලුව උදුම්මාගෙන මූ කියන ගල් පැලෙන බොරු …  !!!

ඔන්න ඔය වගේ කතාවක් තමයි සමහර අම්මල තාත්තලාගේ මූණේ ලියවිලා තිබ්බේ 🙂 🙂 🙂

අනිත් අතට ඇවිදින්නත් තියෙන්න එපායැ කාසි පනං, ඒ හන්ද මම හිටිය ගෙදෙට්ට වෙලා … ඒ ඇරියස් කවර් කර ගන්න තමයි දැන් මේ රට වටේ ඇවිදින්නේ …

මයි කාර් … මයි පැට්‍රල් … ඇණ්ඩ් රෝඩ් ඕල්සෝ මයින් !

කොයි වෙලාවෙත් කකුලක් එළියේ … අවුරුද්දකට අලුත් තැන් කිහිප පොලකටවත් නොගියොත් හිතට බොහොම හරි මදි … 🙂

මූලගින්න : අපෝ අපි නම් දැන් හරි තැන්පත්,ඇල් වතුරත් නිමලයි බොන්නේ … 🙂

angry-birdහරි… හරි… පොඩි විහිළුවක් වත් තේරෙන්නේ නැහැනේ … මේ අර්ශස් හෙම නෙමෙයි ඕං,  මේ ඇවිල්ල අර හොස්ස ලඟින් මැස්ස යන්න බැරි ලෙඩේ … තාමත් එහෙමමයි !

ඒ දවස් වල අපේ උන් මට ගහපු එක කාඩ් එකක් මතක් උනා – “මළ බුද්ධික”,  අපේ එක මෝලෙක් හිටිය“මන්ද බුද්ධික” කියල කට ඇරියොත් ගොන් කතා කියන …

ඔකේ අනිත් පැත්ත වෙච්චි කොයි වෙලාවෙත් හැම දේටම මළ අතේ තියාගෙන ලොරි පිටින් පඬි ටෝක් දෙන එකට අපේ එවුන් මගෙන් වාඩුව ගත්ත හැටි තමයි ඔය !

වර්තමාන තත්වය ගත්තහම … හාමිනේ නම් කියන්නේ මාත් එක්ක ඉන්නවට එයාට වෙනම ගානක් දෙන්න ඕනේ කියල …

ඕං බලන්ඩකෝ ඉතිං කන්ඩ-බොන්ඩ … අඳින්න-පළඳින්න … යාන-වාහන … මදිවට මාස් පඩියකුත් දීපල්ලකෝ දැන්  😦  😦  😦

එනකොට නම් ආවේ පොල් සම්බල්ලුයි බතුයි හරි කමක් නැහැ කියල …  කවුද මේවට වග කියන්නේ   😦

හික් … හික් … ක්‍රෝටන් කොළයි කොස් කොළයි කන රටේ පොල් සම්බලුයි බතුයි දැන් ලක්සරි කෑම හරි  …  🙂

දේශපාලනය  :  දේශ + පාල + ණය  ,  දේස + පාළුව  කොහොම කිව්වත් එකද මන්ද ?

politicsමට හැම දේශපාලන පක්ෂයකම් හැම දේසපාලුවෙකුගේම වැරදි විතරමද මන්ද දැන් පෙන්නේ … හැබැයි ඒක වැඩකට නැති දෙයක් !

මොකද අපි වැරැද්දක් දකිනවා නම් ඒ වැරැද්ද හදාගන්න විදිහක් එහෙම නැති නම් එකට විකල්පයකුත් තියෙන්නත් එපායැ …

අද කාලේ චන්ද කොලයක් අතට ගත්තහම එක හරියට හැබෑ උත්තරයක් පේන තෙක්මානයක නැති මාගලක් තරම් දිග බහුවරණ ප්‍රශ්ණ පත්තරයක් වගේ …

කාට කතිරේ ගැහුවත් ගොඩ යාමක් නැහැ … ප්‍රේමේ ගියා චණ්ඩි අම්මණ්ඩි ආව .. සුනාමි හොරාව තියල චණ්ඩි අම්මණ්ඩි මාරු උනා … ඒ පාර හොරාව ගෙදර යවල හුටං ගෙනාව …

දැන් අපිටයි රටටයි හුළං … රටයි රටේ මිනිස්සුයි ඇරෙන්න උන් ඔක්කොම ගොඩ  🙂

මේ නරා වලට විසඳුමක් නැති නිසා… හිත හදා ගන්න හරි මම නං කියන්නේ දියවන්නාවේ ඉන්න හරක් ටිකයි උන්ගේ පස්සෙන් යන වස්සෝ ටිකයි ඔක්කොම මැටි ගහල හරි වැවේ ගිල්ලලා හරි දාන්න ඕනේ … 🙂

දේශප්‍රේමය : ප්‍රේමය තවම ඇත ! *** දේශයක් නැත !

sri-lankanඅද ඉතිරි වෙලා තියෙන්නේ ඇත්තටම පරණ කක්කුස්සි වලක් තරමට බොහෝම ජරාජීර්ණ වෙච්ච සමාජයක් ජීවත් වෙන බිම් කඩක් විතරයි …

මේක තව දුරටත් මගේ ඔලුවේ ඇඳුණු ලෝකෙන් උතුම් වූ පින්බිමක් හෝ ධර්මද්වීපයක් නම් නෙමෙයි !

තවමත් අර දේශප්‍රේමී මෝඩකම් වලින් බොහොමයක් ඒ විදිහටම තිබුණත්, වෙනස්කම් එහෙම නැතුවාම නෙමෙයි  🙂

දේශ ප්‍රේමය කරේ තියාගෙන ජාතිවාදයෙන් අමුඩ ගහනෙවුන් දැන් නම් මට අරහං !

අද දේසපාලුවටත් දේශප්‍රේමය නැතිවම බැහැ නොවැ … අර බෙන්තර ගඟෙන් එහා දේශප්‍රේමී චේතිය රජ්ජුරුවන්ට කතිරේ ගහල කොරේ උන්දැ … මුළු රටටම බටර් නැතිව **  **** !!!

යුද්දේ දින්නට පස්සෙත් තුන් ගොල්ල තුන් පැත්තකට කඩං යන්න හදන එක නවත්තන්න බැරි දේශප්‍රේමී නායකයොයි රජවරුයි තමයි අද ඉන්නේ … උන්ටම හරියන එහෙයියොත් ඉන්නවා 😦

ලොක්කොත් එකයි… සොක්කොත් එකයි  …  දේශ ප්‍රේමය සමහරුන්ට රටට ලෝකෙට පෙන්න දාන ආභරණයක්, එක්කෝ බඩ වඩා ගන්න හරි මඩිය තර කර ගන්න හරි ආයුධයක් !

ඉතින් එහෙම බලනකොට මම නං කොහෙත්ම දේශ ප්‍රේමියෙක් නෙමෙයි !

පරිසර හිතකාමය (ඇමේනියාව) : අද දවසේ එදාටත් වඩා  පරිසරය ගැන කැක්කුමක් ඇත …

save-earthමාව දන්නා කියනා උදවියට අනුව නම් මට ඇත්තේ හිතකාමයකට වඩා ඇමේනියාවක් …

හද්දා මුකළාන්, කාන්තාර, දිය පඳුරු වගේම නගින්නට බැරි හැම කඳු අස්සේම බඩ ගාන්න හේතුවත් ඉතින් ඒකම තමයි  … 🙂

ඕනෑම දේක නියම වටිනාකම දැනෙන්න ඒ දේ නැති වෙන්නම ඕන. ඔටුවන්ගේ රටේ කොන්ක්‍රීට් වනාන්තර සහ කාන්තාර එක්ක කාලාන්තරයක් ඔට්ටු වෙනකොට තණකොළ ගහත් ගහක් !

අද කාලේ පරිසරය වනසන දේශ පාළුවන් සහ හෙන්චයියන් වගේම අප අතරෙම ඉන්නා සම-හරක් නිසා හිතට එන්නේ පිළිකුලක් එක්කම තද තරහක් !

උන් ටික ඔක්කොම අල්ලාගෙන ගෝල් පේස් පිටියට ගෙනල්ල අර රජ කාලේ වගේ දෙතිස් වද දීල හතර වාහල් කරන්ඩ ඕනේ ….!

ඇයි  විල්පත්තුව ??? ඒ පැත්තේ ඉන්න බදූර්දීන් නානගේ කැලෑ පාලු සනුහරයේ උන්ගේ  *** විතරක් නැතිව **** කපල දැම්මනං ඉවරයි !

ගහකොළ සතා සිවුපාවුන්ට ආදරයක් ඇති නොවෙන එවුං මකබෑවිලම යන්ට ඕන  😦 😦 😦

ඉදිරි වසර දහය හෝ විස්ස තුල විශේෂයෙන් ලංකාවේ ඇති සුන්දර තැන් ඔක්කොම කවර කරන්න ඕනේ … ඒ මට ලැබෙන අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්  😦

රථ ගාය : මේ මනුස්සයට පිස්සුද කොහෙද ???

can-buy-carsඅදටත් පරණ කාර් කටුවක් … පුටු පුටු ගාල දුවන මෝටර් සයිකලයක් … හූ තියාගෙන දුවන අලුත්ම කඟවේනෙක්  … දැක්කහම හිත පොඩ්ඩක් නවතිනවා …

පොඩ්ඩක්  ???? හොඳ පොඩ්ඩ  !!! මං කියන්නේ නැහැ ඉතිං  !

කොහේ හරි යන පරණ කසිකබල් කාර් එකක් දැක්කහම සිහිය නෑ, කහඹිලිය ගෑවිලා වගේ මෙලෝ විකාරෙන් දඟලනවයි,  ෆොටෝ ගන්නවයි … !!!

මේ මනුස්සයට මාවත් අමතකයි ඒ වෙලාවට !

ඔච්චරම කැසිල්ලක් තියනව නම් ගන්නවලකෝ ලයිසන්, මිනිස්සුන්ට වෙන වැඩ නැත්තං හොඳයි ඕව ! **

** ඒ ආදරණීය වදන් කිහිපය හාමිනේගේ පරණ රැකෝඩ් පෙට්ටියෙන් ඉස්සූවක් බව කරුණාවෙන් සලකන්න  🙂

මට කියන්න තියන ඔක්කොම හාමිනේ කියපු හන්ද තව කියන්න දෙයක් නෑ !

එක එකා විශ්වාස කිරීම : ඕනෑම බැඳීමක ඇති මුල විශ්වාසය බව ඇත්ත …

therunaa-athiමෝඩකමට හරි මාත් මිනිසුන් විශ්වාස කරන්නට පුරුදු උණාට, අපේ අරක්කු අපිටම ගහනවා කියන්න වගේ අන්තිමට කෙළවෙන්නෙත් ඔය හන්දම තමයි !

විශ්වාසය හැමදාමත් පාරා වළල්ලක් වෙන්නෙ මට විතරද … ???

මේකට තමයි අර කියන්නේ මනුස්ස කමට  සරම ****** ***  ****** කියල !

කාව උනත් නොසෑහෙන්න විශ්වාස කරහම, ඒ විශ්වාසය බිඳීච්චි දවසට ඉතිරි වෙන්නේ හිත රිදීම් සහ කණගාටුව විතරයි හිටං !

හිටං නෙමෙයි වාඩි උනත් ඔච්චරම තමයි  🙂

මේ කියන දේ තේරුම් ගන්න කාලයක් ගියා … අපරාදේ  😦

අද කාලයේ මිනිසුන් ගැන කොහෙත්ම විශ්වාසය තියන්න අමාරුයි, ඇති වෙලාවට ඇති … නැති වෙලාවට නැති අය නම් ඕන තරම් …

හොඳම දේ හැමෝවම අතේ දුරෙන් තියාගෙන ඉන්න එක තමයි … අනික තමන්ගෙන් බලාපොරොත්තු වෙන දේ වෙන කාගෙන් වත් බලාපොරොත්තු නොවුනොත් හිත රිදීම අඩුයි  …  !

මේ පාඩම් නෑදෑයන්ගෙන් වගේම යාළු මිත්‍රාදීන් ගෙනුත් අඩු නැතිවම හම්බ වෙලා දැන් හොඳට පදං වෙලා  🙂

බේබදුකම : ගෙරිමස් කෑවත් බෙල්ලේ එල්ලාගෙන කන්නට හොඳ නැත … බේබදුකමද එසේමය !

drinksඋ.පෙ. ලියා අහවර වෙන කාලයේ පටන්ම පුළුවන් හැම වෙලාවකම අතේ මිටේ තිබ්බ විදිහට අපාය සහායකයන් සමග රහමෙරට සෙට් උනා තමයි  🙂

ඒ කොහොම උනත් තමන්ගේ තරම දැන පාවිච්චියේ යෙදුන හන්ද ගෙදර උදවියට පවා මේ ගැන හාංකවිසියක්වත් ඉව වැටෙන්ඩ ඉඩක් තිබ්බෙම නැහැ … !

මතක විදිහට මේ කතන්දර මුල් වරට එලියට ඇදුනේ මම Q කොම්පැණියේ සගයන් සහ මලයාත් සමග ගිය කිතුල්ගල සවාරියකදී මලයාට ටිකක් වැඩි වූ නිසා  🙂

අදටත් තරම දැන බොන එකේ වෙනසක් නෑ … බොන තැනදි කරටි කැඩෙන්නට ගැහුවත් කොම්බුව කෙලින් තියාගෙන නම්බුවට ගෙදර එන්නේ ඒ හන්දයි ඕං …

කොච්ච්ර කෝචෝක් දැම්මත් හාමිනේ මේ ඔක්කොම ඉවසගෙන සිටින්නේ ඒ හන්දා … මම නං කියන්නේ හාමිනේ මං ගැන හැබෑවටම ආඩම්බර වෙන්න ඕනේ !

ඒ දවස් වල වගේම ඕනෑම බේබදු සංගමයක මගේ ප්‍රධාන ඩියුටිය කොම්බුව ගහපු බේබද්දන් ගෙවල් වලට ඇරලවීම … සිහිකල්පනාව තියාගෙන බොන උන්ට බේබදු සංගමයෙ එවුන් දෙන දඬුවම තමයි ඔය …

තියන එකම එක වෙනස ඉස්සර අම්මලා තාත්තාලාගේ බෝධිසත්වයන් වගේ අහිංසක ළමයින්ට දහ ජරාව පොවා නැති නාස්ති කෙරුවාට බැනුම් අහපු මං … දැන් බැනුම් අහන්නේ හාමිනේලාගෙන් … 🙂

කොයි සතාගෙත් ගෑනු සතා තමයි වඩා දරුණු !!!

හොඳ වෙලාවට ඒ ගැන බලාගන්ට දැන් මටත් හාමිනේ කෙනෙක් ඉන්න හන්ද මේ ගනුදෙනු කරන්නේ උන්දැ තමයි  🙂 🙂 🙂

වක්පොලු මේනියාව : වක්පොලු මේනියාව තදේටම තිබ්බ ගැටය කාලේ …

eat-sleep-play-hockeyඒ දවස් වල මං අපේ ගමේ හරි ප්‍රසිද්ධයි, හනුමන්ත තෝමරේ අරන් යනවා වගේ වක් පොල්ල කරේ තියන් යන හන්ද … විසේසයෙන් ඔය වගේ පිස්සු තිබිච්ච එවුන් තව වටා පිටාවේ උන්නේ නැති හන්ද වෙන්ඩ ඇති 🙂

කොච්චර තදේට මේ අමාරුව තිබ්බද කියනව නම් සතියට දවස් තුනක් මැරිලා මැරිලා පුහුණුවීම් කරල, කිලෝමීටර් 3-4 ක් පයිනුත් ගාටල තමයි රෑ දෙගොඩහරි ජාමෙට ගෙදරට එන්නේ …

නමුත් විභාග දෙපාර්තුමේන්තුවෙන් මේ ලෙඩේට අරිෂ්ඨ හම්බු උනා … උ.පෙ. කරලා කණු තුනක් අරගෙන රස්සාවක් හොයා ගන්නේ කොහොමද කියල හිත හිතා ගෙදර ඉන්නකොට මේවා ඉබේම හොඳ වෙනවා …

පාසලෙන් බිහි වූ (අ)දක්ෂම ගෝල රකින්නා වශයෙන් මම වක්පොලු ගැසීම නැවත්වීම පොදුවේ හැමෝටම කරනා ලද සේවයක් !

අඩු තරමේ ඒකටවත් මැඩල් එකක් දෙන්නට වටිනවා 🙂 🙂 🙂

වක් පොල්ල අත ඇරුනට හිතේ දුකක් නැතත් … අපේ වක්පොලු ගුරුතුමා ඉත්තෑපාන සර් මතක් වෙනකොට නං හිතට දුකයි 😦 😦 😦

ඉස්සර තට්ටය … තට්ටය  … කියල කොච්චර විහිළු කරත්, බැන්නත් ඒ මනුස්සය කොච්චර කැපවීමක් මහන්සියක් ගත්තද අපි වෙනුවෙන් !

අපිට ඔයිට වඩා සර් ගැන හොයන්න බලන්න තිබුන  😦 😦 😦

මෝඩකම : මෝඩකම දැනගෙන ඉන්න එකත් නුවණක්කාර කමක් නේ … ඉතිං ඒකම මදිද ?

am-i-stupidඅපේ හාමිනේ නං කියන්නේ මෝඩයෙක් බැඳගත්තේ එයාගේ ග්‍රහ අපලයක්ද කොහෙද හින්දලු … ගෙදර ළමා ලපටි නැති එකේ බූරු පැටියෙක් හරි ඉන්න එක හිතට සහනයක්ලු  … නමුත් මෝඩ කම් වලට සීමාවක් තියෙන්ඩ ඕනලු …

මට ඉතින් පැහැදිලි කරලා දෙන්ඩ උනා … මං මෝඩයෙක් නොඋන නං උන්දැව බඳිනවද කියල … ටිකක් වෙලා ඔලුව කහපු හාමිනේ ආපහු මොකුත් කිව්වේ නැහැ ඉතිං …

මං හිතන්නේ උන්දැට තේරුම් යන්නැති මේ ලෝකේ මෝඩයොත් ඉන්න ඕනේ කියල …

අනෙක් පැත්තට මගේ මෝඩකම් වලින් අදටත් ගොඩක් දෙනා ප්‍රයෝජන ගන්නවා … කමක් නැහැ පිනට දහමට කියල හිත හදා ගන්නව ඔන්න ඔහේ … 🙂 🙂 🙂

ආගම : අටෝරාසියක් ආගම් අතරින් සත්‍යය ඇත්තේ තමන් අදහන ආගමේ පමණි !

religionතමන්ගේ ආගම ගැන ගැඹුරින් වැටහීමක් නැති නම්, එහි කිසිම දෙයක් තාර්කික නැති නම් ඒකම කරේ තියන් ඇවිදින එක වැඩක් නැති දෙයක්.

ඔයිට වඩා හොඳයි එහෙම එකක් නැති ගානට තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න එක … හරි උනත් වැරදි උනත් මේක තමයි මට තියන ආගමික දර්ශනය.

ළමයෙකුට පොඩි දවස් වල හොඳ නරක තේරුම් කරන්න ආගම හොඳයි !

හැබැයි මනුස්සයෙක් උස් මහත් වෙලා තමන්ටම යමක් තේරුම් ගන්න පුළුවන් වෙනකොට ඒකම හිතීමේ නිදහස සිමා කරන විලංගුවක් නං  ???

ඕනෑම දෙයක් බෙල්ලේ එල්ලගෙන කරන්න හොඳ නැහැනේ …

හැබැයි එකෙන් කියන්නේ නැහැ මම හොඳ නරක ගැන කිසිම දෙයක් ගැන විශ්වාස නොකරන බව … මං කියන්නේ ඒක සඳහා මට ආගමක් අනවශ්‍ය බව විතරයි !

අදටත් මං ජොලියට වගේ පවුලේ උදවිය එක්ක ඔය එහෙ මෙහෙ තියන තැන් වලට දුවනවා තමයි …

ගෙවල් ළඟ තියන බිස්නස් සෙන්ටර් වගේ තියන පන්සල් … බුදු හාමුදුරුවොත් එක්කම තිස්තුන් කෝටියක් දෙයියෝ වැඩ ඉන්න සර්ව ආගමික ඒජන්සි …  මල් හතයි ඈ …

ඒ උනාට මම ආසම තමන්ගේ බර දරන්න බැරි සත්තු උඩ වාඩි වෙලා ඉන්න සෙට් එකට !

අනික පළතුරු වට්ටි උස්සගෙන දෙයියෝන්ගේ එකම බලයලත් ඒජන්තවරු වන කපුවන් හම්බ වෙන්න කෝවිල් වලට යන එක හෙන ආතල් වැඩේ …

ඒක නෙමෙයි දෙයියන්ට මොකටෑ ඔය තරම් පළතුරු  ??? මේ අය පළතුරු මැස්සොද ???

ගියාට කමක් නැහැ ඔය පළතුරු වට්ටි වලට තියන දාහේ පටි වලින් කපුවො හරි හැදෙනවනේ … 🙂


 

ඔන්න හිතේ තිබ්බ සබ්බ සකලමනාවම කියල දැම්ම, දැන් ආයෙමත් අහන්න තියෙන්නේ අර මුලදී ඇහුව පුරස්නයම තමයි  : දැන් මම හැදිලද  ???

දීපල්ලකෝ උත්තර !!!

Advertisements