al-bin-kunda

සාමාන්‍යයෙන් සතියේ දිනයන්හි ගෙදර සිටිනා පොඩිම එකා ඉස්කෝලේ යවන්නට සියල්ල සපුරා දීම සඳහා හාමිනේ අකමැත්තෙන් උවද උදේ පාන්දරම අවදි වන්නේය …

බූරුවෝ හත් දෙනෙකුගේ වයස ගියත් ගෙදර ඉන්නා පොඩිම එකා අන් කිසිවෙකු නොව කණ්ඩාය, පොඩි එවුන් නැති තැන් වල නාකි දණ ගානවා කියන්නේ කට කහනවාටම නොවේ … 🙂

ඒ වාඩුව ගැනීමට මෙන් පස්ස පැත්තට එළිය වැටෙනා තෙක් නිදහසේ බුදිය ගැනීමට ප්‍රිය කරනා හාමිනේ සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්හිදී කුම්භකර්ණ වංශයේය …

එනිසා සති අන්තයේදී හාමිනේව උදේ පාන්දර කූද්දන එක මොන සක්කරයාටවත් පහසු නැත …

සිය කැමැත්තෙන්ම සති අන්තයේ හාමිනේත් සමග සවාරියක් ගැසීමට හැකි වීම කණ්ඩාට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් එහෙමත් නැතිනම් බෝනස් එකක් වන්නේය.

එයට සුවිශේෂ හේතු කාරණා නැතුවාම නොවේ…

ඔපීසියේ පුටු රත් කරමින් කොම්පියුටරයේ යතුරු පුවරුවට කොටනවා හැරෙන්නට ඇඟ මහන්සි වෙනත් රාජකාරියක් නොකරන නිසාවෙන්, කණ්ඩා දැන් නොම්මර එකේ ශරීර හොරෙකි …

මැද පෙරදිග රැකියාවට පැමිණීමෙන් පසු ඇති වූ සෞභාග්‍යය මොනවට පෙන්වන්නේ බඩ තඩිය සහ සෑම අවුරුද්දක් පාසාම කට්ටෙන් කට්ට පනිනා බඳ පටියයි  🙂 🙂 🙂

මේ හේතුවෙන් පසුගිය මස සිරි ලංකාවට ගිය කළ කණ්ඩාගේ ශරීර සෞඛ්‍යය පිළිබඳ කටයුතු ගැන වග බලා ගැනීම සඳහා කණ්ඩාගේ මව විසින් විශේෂ කොමිටියක් තෝරා පත් කරන්නට යෙදුනේය …

මේ කොමිටියේ ගරු සභාපති, ලේකම්, භාණ්ඩාගාරික මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයද හාමිනේය !

එනිසා බඩ ජහරියෙක් ලෙස කට අහලින් යන ඕනෑම කෑම බීමක් ගිල දැමීම මෙන්ම කුඩා අලි පැටියෙකුගේ තරමට ඇති ස්ථූලතාවයෙන්ද කණ්ඩා ගලවා ගැනීමේ භාරදූර කර්තව්‍යයේ සපුරා වගකීම හාමිනේ සතුය … 🙂

ඉතිං නැන්දම්මා විසින් භාර දුන් රාජකාරිය පැහැර හරින්නට හාමිනේ කැමති නැත … වැඩේ හරි ගියොත් සියලු ප්‍රශංසා සහ ලකුණු හාමිනේටමය !

එනිසා කණ්ඩාගේ තෙල බැස්සවීම උදෙසා ඉඳහිට හෝ ඇවිදීම සහ ව්‍යායාමය වෙනුවෙන් කණ්ඩාව බලෙන්ම ඇද ගෙන යන, කණ කැස්බෑවා විය සිදුරෙන් එළිය බලන්නාසේ සුලභ දවස්ද නැතුවා නොවේ … 🙂

පසු ගිය සති අන්තයේත් හාමිනේ කණ්ඩාවත් ඇදගෙන පාරට බැස්සේ බලහත්කාරයෙන් වාගේය …

සාප්පු සංකීර්ණ වල සවාරි ගැසීමට මෙන්ම බඩු මුට්ටු කිසිවක් මිලදී නොගත්තද අරමුණකින් තොරව වින්ඩෝ ෂොපිං යාමට හාමිනේගේ කිසිඳු අකමැත්තක් නැත.

නමුත්  සාප්පු සංකීර්ණ වල කාලය කාබාසිනියා කිරීමට කණ්ඩා දැඩි අසාත්මිකතාවයක් දක්වන හෙයින් අන්තිමේදී තීරණය වූයේ කාන්තාරය පැත්තේ සවාරියක් දැමීමටය …

මිනිසුන් ගැවසෙන ඝෝෂාකාරී සාප්පු සංකීර්ණයන් වෙනුවට නිහඬ නිස්කලංක කාන්තාරයන් සහ අවට විසිරි ඇති ක්ෂේම භූමියන් බෙහෙවින් ප්‍රියංකරය …

වතුර වලට මදක් මිල අධික ඉන්ධන සඳහා යන වියදම සහ කෑම බීමද හැරුණු විට වෙන අතින් පයින් වියදම් කරන්නටද අනවශ්‍යය.

එනිසා ඔටුවාගේ රටේ කණ්ඩා හට සති අන්තයේදී නිවසින් පිටවී නිදහසේ කාලය ගත කරන්නට තැන් වලින් කිසිඳු අඩුවක් නැත්තේය …

කණ්ඩා වෙසෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එළි පහළියට බැස පරිසරය රස විඳීය හැක්කේ වසරේ අඩකදී පමණි, එනම් නොවැම්බර් සිට අප්‍රේල් දක්වාය …

ගිම්හානයේදී පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 40 – 50 අතර අගයක් ගන්නා බැවින් මේ සමයේදී එළි පහළියට බැසීම තෙරක් නොපෙනෙනා විශාල ගිනි උදුනක තැම්බෙනවාට බොහෝ සෙයින් සමානය.

එබැවින් කාන්තාරයේ ඇවිදීමට සුදුසුම සමය වන සිසිර ඍතුවේ ඉතිරි වී ඇති මාස 3-4 න් උපරිමය ප්‍රයෝජන ගත යුත්තේය … මේ සමයේදී පිටත උෂ්ණත්වය ඉතා සුවදායක සෙන්ටිග්‍රේඩ් 20 – 28 ක අතරය.

නවතම සංචාරයට කණ්ඩා තෝරා ගත්තේ සාජාහි පිහිටි “වාදි අල් හීලෝ” (Wadi Al Helo) නමැති පෙදෙසයි.

“වාදි – Wadi” යන අරාබි වදනේ තේරුම නිම්නය යන්නයි.

“හීලෝ” යන අරාබි වදන “මිහිරි” යන අරුත් ගන්වන බැවින් “වාදි හීලෝ” යන්න “මිහිරි නිම්නය” යනුවෙන් සිංහලට දළ වශයෙන් පරිවර්තනය කළ හැක්කේය …

“හීලෝ” නිම්නය පිහිටා ඇත්තේ සාජා නගරයෙන් කිලෝමීටර එකසිය දහයක පමණ දුරින් කාන්තාරය කෙළවරේ කඳුකරය මැදය.

දැනට වසර කිහිපයකට පෙර දී නම් මේ ගමන් බිමන් බොහොමයකට උර දුන්නේ කණ්ඩා සහ හාමිනේගේ විශ්වාසනීය සගයාව තිබූ ගැලන්ට් කාරයයි.

කාන්තාරය අද්දර සහ කඳුකර පළාත් වල පිහිටි බොහෝ දෙනා යන්නට තබා සිතන්නටවත් අකමැති තැන් වල අප දෙදෙනා කරක් ගැසුවේ අපගේ සගයාට පිහිට වන්නටය (වැඩි විස්තර මෙතනින්).

(පැරණි සගයා සහ අලුත් සගයා කාන්තාරයේ සැරිසරමින්)

මෙවන් සංචාරයන්හි විස්තර දුටු ඇතැමුන් විමසුවේ වාහනයට ඇති ආසාව අත ඇරලාද යන්නයි ?

ඔය මොනවා කිව්වත් අන් කාර් වලට වඩා තරමක් උස වැඩි නිසාවෙන් (Ground Clearance) , අප දෙදෙනාව පැජරෝ එකක්වත් නොගිය තැන් කරා ගෙන ගිය අපේ වණ්ඩිය හාමිනේ රැක බලාගත්තේ දරුවකු මෙන්ය …

අවුරුද්දකට පෙර අකමැත්තෙන් උවද අපගේ ගමන් සගයාට සමු දුන් පසු, අප පවුලට එකතු වූ අලුත්ම සගයා වන ජීප් රථය ගැලන්ට් එකටත් හපං වැඩ්ඩෙකි !

පෙරදී කාරයට ඇති ආදරය නිසා අමතක කර දමා තිබුණු ලඟා වීමට අපහසු වූ ස්ථාන කරා අප රැගෙන යාමට එය සමත්ය …

ඒ දවස් වල කාරයෙන් කාන්තාරේ රස්තියාදු ගසද්දී බාගයක් දුර යන්නේ … දැන් යට වදී … දැන් එරෙයි … අයියෝ එරුනොත් ළඟපාත කවුරුත් ඇත්තෙත් නෑ … යයි පපුවේ බිත්තර තම්බමින්ය 🙂

එමෙන්ම වැල්ලේ එරීම, කඳු තරණයේදී පොළව බැදීමේ අඩුව සහ ඇද්දීමේ හොරයෙන් තව දුරටත් පීඩා විඳින්නට සහ හිත කරදර කර ගන්නට අනවශ්‍ය නිසා යන ගමන රසවිඳීමේ හැකියාවද පෙරට වඩා වැඩිය 🙂

කණ්ඩා මේ ස්ථානයන්හි රවුම් ගසන්නට කැමති තනිවමය, එය මනුස්ස වාසය අඩු පාලු කාන්තාර පළාත් කරා යාමේදී සාමාන්‍යයෙන් අනුගමනය කරන පිළිවෙත නොවූවද ඒ සඳහා කණ්ඩා හට හේතු කාරණා ඇත.

අපායට ගියත් නියමිත් වේලාවට යාමට කණ්ඩා කැමැතිය, රංචු ගැසී සංචාරයේදී බොහෝ දෙනා නොකරන්නේද එයමය …

කිතුලට නැගි මිනිහාට මෙන්ම ඒ සඳහාද අටෝරාසියක් නිදහසට කාරණා ඒ උදවියට ඇත්තේය  🙂

කළු නික සොයන්නාක් මෙන් සුලභ වෙලාවට වැඩ කරනා උදවිය හොයා ගත්තද කාන්තාර වල බඩ ගෑමට සහ නිතරම දුර ගමන් යාමට තරම් පිස්සුවක් ඇති උන් කණ්ඩාගේ මිතුරන් අතරින් සොයා ගැනීමට නැති තරම්ය.

අතින් කටින් ළමයින් එල්ලාගෙන එසේ සවාරි යාම බලාපොරොත්තු වීමද මෝඩකමකි  … 🙂

අනෙක් අතට කාණ්ඩය වැඩි වූ විට ඒ හැමෝගේ විවිධ මනාප – අමනාප දේ මෙන්ම රුචි අරුච්කම්ද බොහෝ දුරට වෙනස් හෙයින් ඉක්මන් තීරණ ගැනීමටද අපහසුය …

එනිසා රංචු ගැසී ගමනේ යෙදීමේදී සිදු වන්නේ වැඩි කැමැත්තට හිස නැමීම හෙවත් රැළ යන අතට දිවීමයි !

මේ සඳහන් කළ කිසිවකට වැඩි කැමැත්තක් නැති කණ්ඩා හට තනිවම ගමනේ යාම උතුම් වූ මංගල කාරණයකි  🙂 🙂 🙂

මේ හේතු සාධකයන් නිසාවෙන් කණ්ඩාගේ රට වටේ දුවන පිස්සු ගමන් සහ අමනකම් සඳහා බොහෝ විට පිහිටට ඉන්නේ හාමිනේ, ජීප් රථය සහ ජංගම දුරකතනයේ ඇති ගූගල් සිතියමත් (Google Maps) පමණි.

මෙදා පොටේ කියා එහි වෙනසක් නොවීය, යන්තම් කනින් කොනින් අසා පින්තුරයක් දෙකක් දැකීමෙන් පමණක් දැන සිටි මෙම ප්‍රදේශය ගුගල් සිතියමෙහි සලකුණු කර ගැනීමෙන් වැඩි දුරක් නොහිතාම ගමන ආරම්භ විය …

නමුත් ගමන ආරම්භ කල සැනින්ම ගමන් නවතන්නට හේතු පාදක වුයේ හාමිනේට හදිසියේ පහළ වූ පොඩි බඩ ගින්නය … ඒ සාජා අවට ඇති සිරි ලංකාවේ සලකුණ දරණ ප්‍රසිද්ධම ආපන ශාලාව ඉදිරිපිටය.

පහුගිය අවුරුද්ද ඇතුලත අප මෙම ආපන ශාලාව වෙත යන්නේ බඩ විරේක කර ගන්නට පමණක්මය …  🙂

මින් ආහාර ගන්නා අප ඇතුළු මිතුරන් බොහෝ දෙනෙකුට ගස්ලබු සහ විරේක බෙහෙත් නැතිවම දොට්ට පිලට යන වාසනාව නිතැතින්ම උදා වන්නේය !

කාලයකට පසු ගිය නිසාදෝ ආපන ශාලාවේ මොකද්දෝ වෙනසක් සිද්ද වෙලාය … ඇතුළත හොඳින් එළිය වැටෙන ලෙස ජනෙල් තිර ඈත් මෑත් කරලාය … කෑම කන කොටසද වෙනදාට වඩා පිරිසිඳු බවකින් යුක්තය.

ඒ නිසාමදෝ බඩ ගින්න පොඩි උනාට හාමිනේ ලැවරියාවක්, චයිනිස් රෝලක් සමග පැටිස් එකකටද වග කිව්වේ හීනියට ඇඟට පතට නොදැනෙන්නටය …

short-eats

මදි පාඩුවට කාපුවා පොඟවන්ට ඉඟුරු තේකකින්ද සප්පායම් වීමෙන් අනතුරුව අප දෙවැනි වතාවටත් ගමන ආරම්භ කළේ පෙරවරු නවයත් පසු වීය  🙂

ඔටුවන්ගේ රටේ පාරවල් සියල්ලම පාහේ කාපට් කර ඇති නිසාවෙන් දුර ගමන් වලදී එතරම් වෙහෙසක් දැනෙන්නේ නැත.

පාරවල් සුපිරි නිසාම සිරි ලංකාවේ මෙන් පැයට හැටේ වේග සීමාද නැත, තිබුනත් ඒ ප්‍රධාන පාරවල් වල ඇති අවම වේග සීමාවය.

කිලෝමීටර සියයකට අධික දුරක් පසු කිරීමට අප හට ගත වූයේ පැයකටත් අඩු කාල වේලාවකි, ඒ කණ්ඩාගේ නිළ ලත් මාතලී හෙවත් හාමිනේට පින්සිද්ධ වෙන්නටය….

වේගය මනින දඩ කැමරා ළඟ පාතක නැති තැන් වලදී වංගු කෙලින් කර ඉගිල්ලෙන්නට හාමිනේ කොහොමත් දස්සයාය  🙂

“වාදි හීලෝ” වෙත ලඟා වීම සඳහා සාජා – කල්බා (Sharjah – Kalba) ප්‍රධාන මාර්ගයේ කල්බා උමග (Kalba Tunnel) තෙක් පැමිණ “U” වංගුවක් ගත යුතුය.

නැවතත් සාජා දෙසට කිලෝමීටර 2 – 3 ක දුරක් පසු කිරීමෙන් අනතුරුව “වාදි හීලෝ” පැරණි ජනපදය වෙත ලඟා වීමට ඇති තාර නොදැමූ රළු පාර හමු වන්නේය.

පාර රළු උවද එහි කාරයකට උව ගමන් කිරීමට කිසිඳු අපහසුවක් නොමැත්තේය, එය කලින් දැන සිටියා නම් හාමිනේට නහයෙන් අඬා හෝ මෙතැනට විත් බොහෝ කල්ය …

මේ නිම්නය දිගට පැතිරී ඇති කුඩා ක්ෂේම භූමියකි, තැනින් තැන ගල් බැමි සහ වැටවල් ගසා කොටු කර ඇති පුද්ගලික වතු කිහිපයක්ම මෙහි විසිරී ඇත්තේය.

මෙම ක්ෂේම භූමියේ රට ඉඳි, අඹ, කෙසෙල්, දෙහි, දොඩම් වැනි වගාවන් සුළු පරිමාණයෙන් සිදුවන්නේය, කාන්තාරයක් කී පමණින් බොහෝදෙනාගේ සිහියට එන වැලි කඳු, ඔටුවන් සහ රට ඉඳි වලට වඩා දෙයක් මෙහි ඇත්තේය …

ගේට්ටු දමා මග අවුරා ඇති මේ පුද්ගලික වතු හරහා ගමන් කල නොහැකි තැන වරක් මග වැරදුනෙන් කණ්ඩා නැවත පාර සොයා ගන්නට දැඟලුවේ ගූගල් සිතියම පරික්ෂා කිරීමෙන්ය.

ඉන් පෙන්වන පාර හරි හැටි අපැහැදිලිය එනිසා ඉන් වැඩි උදව්වක් ලැබුනේ නැත, අවසානයේ කණ්ඩා ළඟ පාත වත්තක සිටි පකිස්තානු ජාතික (පටාන්) සේවකයෙකුගේ පිහිට පැතුවේය.

මේ හාදයාට ඉංග්‍රීසි වචනයක්වත් බැරි උවද, හස්ත මුද්‍රා සහ (නො)දන්නා හින්දි කබල් ගෑමෙන් මග අසා ගැනීමට කණ්ඩා සමත් විය.

ඔහුට ස්තුති කල අප කරදරයකින් තොරව පැරණි “වාදි හීලෝ” ජනාවාසය වෙත ලඟා වීමු.

ගරා වැටී නටඹුන්ව ගිය ඉපැරණි නිවෙස් විශාල ප්‍රමාණයක් මේ ජනපදය අවට විසිරි ඇත … කළු ගල් සහ මැට්ටෙන් බැඳ සාදන ලද මේ නිවෙස් කාලාන්තරයක් තිස්සේ අව් වැසි සුළං වලට හසු වීම නිසා අභාවයට ගොසින්ය …

මේ නිවාස ඇත හැර දැමීමට ප්‍රධාන හේතුව පසුගිය අඩ සියවස ඇතුලත තෙල් අපනයනය නිසා ලද නව සෞභාග්‍යයත් සමගින් අයිති කරුවන් හට රජයේ අනුග්‍රහය සහිතව නවීන නිවාසයන් පිරිනැමීමය.

මෙසේ ගරා වැටෙන්නට අත හැර දමන ලද නිවෙස් වල ඇති සංස්කෘතිමය සහ ඉතිහාසගත වටිනාකම ඔටුවන් හට දැන් දැන් ත්රෙන්නට පටන් ගෙන ඇති සේය, මෙවන් ස්ථාන සංරක්ෂනය කරන්න වැඩ කටයුතු ආරම්භ කර ඇත්තේය.

කෙතරම් අබලන් උවද මේ ගොඩනැගිළි අත්හැර දමා වසර 50 කට නොවැඩිය, මැට්ටෙන් බඳින ලද ඕනෑම දෙයක් නිරන්තර නඩත්තුව මග හැරියොත් ඉක්මනින් ගරා වැටෙන නිසා මේ හැමකටම අත්ව ඇති ඉරණම ශෝචනීයය  😦

මෙසේ නටඹුන් ගොඩනැගිලි අතරින් ඇවිද යන විට වැලි පොළොවේ නෙත ගැටුණු යමක් කණ්ඩාව යළිත් ළමා වියට ඇදගෙන යාමට සමත් විය !

අතිශය අහම්බයෙන් මෙන් වැල්ලේ තැනින් තැන විසිරී තිබුණු කුඩා ආවාටයන් වැනි කෝණාකාර ගුල් රාශියක් කණ්ඩාගේ නිරීක්ෂණයට හසු විය.

මෙවැනි දසුනක් අවුරුදු 20-25 කට මෙහායින් දැක නැත්තේය, දුටුමනින්ම මොනවාදැයි හඳුනා ගත් නමුත් ඒ බවක් නොඇඟවූ කණ්ඩා එය හාමිනේට පෙන් වූයේ ඇයත් ඉන් සතුටු වනු ඇතයි සිතාය.

නමුත් හාමිනේගෙන් ලැබුනේ කණ්ඩා කිසිසේත් බලාපොරොත්තු නොවූ පුදුම ප්‍රශ්ණයකි !

මේ මොනවද අනේ මේ ??? කුඹි ගුල්ද ???

අවාසනාවකට මහත යනු පුංචි සන්දියේවත් හාමිනේ කිසිම දිනෙක බිං කුණ්ඩන් හාරා නොතිබීමයි  🙂

ඒ ගැන කණ්ඩා හට කණගාටුවක් ඇති උනද ඒ තරමටම සන්තෝශයක්ද ඇති වූයේ ඒ සුන්දර ළමා කාලය සිහි වූ නිසාය.

කතන්දරය ඉස්සර එකෝමත් එක කාලයක වැලිපිල්ලෑව නම් ගමක් වෙත දිව යන්නේය …

එකල වත්ත හතර මායිමට පොඩි එකෙකුට කියා හිටියේ කණ්ඩා පමණි, හේතුව මේ කියනා කාල වකවානුව පොඩි කණ්ඩා ඉපදීමටත් අවුරුදු දෙකකට පමණ කලින් වීමයි.

මතක ආකාරයට නම් ඒ තාත්තා ඕමානයේ රැකියාවෙන් ඉවත්ව නැවත ලංකාවට පැමිණ කණ්ඩලෑ පැරණි නිවසේ වැඩ කටයුතු සම්පුර්ණ කරනා අවදියයි …

නිවසක් කීවද ඇත්තටම එහි වුයේ කාමර දෙකක් සහ මුළුතැන්ගෙය පමණි එයත් සිමෙන්ති මැදලා විතරය .. ඉතිරි කාමර තවමත් ගඩොල් බිත්ති සහ වහලට පමණක් සීමා වෙලාය …

මේ අවදියේ කණ්ඩා දිහා ඇහ ගහගෙන සිටීම සඳහා දෙම්ව්පියන්ගේ උදව්වට සිටියේ තාත්තාගේ පියා හෙවත් සීයාය.

සිමෙන්ති නොදැමූ පොළොවේ සහ ගේ සෑදීමට ගෙනා වැලිගොඩේ බිං කුණ්ඩන් විසින් හාරන ලද ගුල් එමටය …

කණ්ඩාට බිං කුණ්ඩන් හාරන්නට කණ්ඩාට කියා දුන්නේ තාත්තාය …

බිං කුණ්ඩෝ බොල බිං කුණ්ඩෝ

තෝත් නටාපිය මාත් නටන්නම්

බිං කුණ්ඩෝ බොල බිං කුණ්ඩෝ

යන සිංදුව අදටත් මතකයේ ඇත්තේ ඒ හන්දාය …

නමුත් පිනට දහමට බර සීයා මේ වැඩ වලට බොහොම විරුද්ධය …

මොනාද දරුවෝ මේ කරන්නේ  ??? නවත්තන්නයි කිව්වේ ඔය පව්කාර වැඩේ …

අපායේ යන්ඩ වෙයි හොඳේ … !!!

කුඩා කළ අමු අණ්ඩපාලයෙකු වූ කණ්ඩාව ආම්බාන් කරන්න සීයාට නොහැක … කණ්ඩා සමග යුද්ධය දින්නන්නට බැරිම තැන සීයා විශේෂ කාර්ය බලකාය කැඳවන්නේය.

දුවේ … මේ බලන්න ඒ දරුවා කියන දේ අහන්නේ නෑ … අහිංසක සත්තුන්ට හිරිහැර කරනවා !

අම්මා සීයා මෙන් කණ්ඩාව නලවන්නේ නැත ! ඒ ගැන සක්සුදක් සේ දන්නා කණ්ඩා, මල්ටි බැරල් නම ඇහෙනා කොටි හපුවකු මෙන් ළඟ පාත නොරඳා හීන් සැරේ ලිස්සා යන්නේය …

මේ කියන කාරණා කතන්දර හාමිනේට තේරුම් යන්නේ නැත …

එනිසා නොවලහා බිං කුණ්ඩන් හාරන හැටිත් අත්ල උඩ තබා උන් නටවන හැටිත් බිං කුණ්ඩන් සම්බන්ධ සාහිත්‍යය ගැනත් කෙටි පාඨමාලාවක් සම්පුර්ණ කර හාමිනේට බිං කුණ්ඩා ඩිප්ලෝමාවක් පිරිනැමීමට කණ්ඩා උත්සුක වීය 🙂 🙂 🙂

අහල පහල තිබූ ලොකුම ගුලෙන් එලියට ඇද ගත් හොඳ “ෆොටෝ ජෙනික්”  “අල් ” බිං කුණ්ඩෙක් ** තෝරා පින්තුර කිහිපයක්ද ගැනීමට කණ්ඩා අමතක කලේ නැත …

** මේ ඔටුවගේ දේසේ එවුන් නිසා උන්ට “අල් බිං කුණ්ඩා” යයි ඇමතුවේ නැතිනම් ඒ මදිකමකි !

“අල් බිං කුණ්ඩා” ගේ පින්තුරයක් මුහුණු පොතේ දැමු කල හොඳින් දන්නා හඳුනන අම්බලන්ගොඩ දිහෑ ගැහැණු ළමෙක්  කියා හිටියේ ඒ ලොකු “කූටියෙක්” බවය …  🙂

අර “කූචි කුචයියෝ” කියනා නන්දා මාලනියගේ සින්දුව නැවතත් මතක්වන්නට නිමිත්ත වුයේද එයමය …  **

මේ සියල්ල සිහි ගැන්වූ “අල් බිං කුණ්ඩා” ට පින් දෙමින් හිටිය තැනටම ඌව අත හැරිය අප කඳු තරණය පටන් ගත්තේ තව බලන්නට බොහෝ දේ අවට තිබුණු නිසාය !

~ නිමි !

ප.ලි. : එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන බ්ලොග් ලේඛිකාවක් වන යොලන්ඩි ස්ටීවන් (Jolandi Steven) විසින් තබන ලද වාදි හීලෝ ගැන වැඩි විස්තර සහිත ලිපියක් මෙතැනින්.

Advertisements