galant-the-adventurerඑකෝමත් එක ගැලන්ට් එකක් සහ යුද්ධයක් !

ඕං ඉතින් ඉස්සෙලාම කණ්ඩා හාමිනේවත් කුදලාගෙන ගැලන්ට් එක බලන්න ගිය කතාව ලියුව නිසා අද එකේ ඉතිරි ඩිංගත් ලියල ඉවරයක් කරන්න හිතුන.

අනික අලුත් අවුරුද්දකුත් ආපු එකේ අර මක්කටැයි පරණ ඇරියස් තියාගෙන ඉන්නේ ???

පහුගිය සතියේ අර කාන්තාරෙ අස්සේ ගියපු වෙලේ තමයි මගේ පැරණි සගයව ආපහු සිහියට ආවේ, කොහොම අමතක කරන්නද ඒ කතන්දර 🙂

ඕනෑම දෙයක් සල්ලි දීල ගන්නකොට අතේ තියන අන්තිම සතේත් එතැනට හිර කරන එක කොහෙත්ම නුවණක්කාර වැඩක් නෙමෙයිනේ.

එනිසා හාමිනේ එක්කත් සාකච්ඡා කරලා ** අන්තිමට තීරණයක් ගත්ත අතේ සල්ලි බාගේ තරමක් තිබුණත් ඒක හින්දව ගන්නවට වඩා බැංකු ණය මුදලක් මත වාහනය අර ගන්න එක තමයි හොඳම විකල්පය කියල !

**ඒ කියන්නේ හාමිනේ කිව්වා මම අහගෙන හිටිය, එහෙම නොවුන සමහර දාට මුලින් යුද්ධ කරලා පහුවෙලා සාම සාකච්ඡා කරනවා. වෙලාව තියන විදිහට වැඩේට මුල් වෙච්ච දේ ගැනත් කතා කරනවා තමයි  🙂 **

ඕනෑම වැඩක් පටන් ගන්න කලින් දොස්තර හොඳහිත කාටූන් එකේ ඉන්න චව් ! චව් ! වගේ පස්ස ගහන හාමිනේත් කැමති වෙච්චි, දැන් ඉතින් තියෙන්නේ වාහනය විකුණන හාදයටයි එයාගේ හාමිනේටයි කතා කරලා කැමැත්ත දෙන්න තමයි.

අනික ඉතින් කවමදාවත් නැතිව හාමිනේත් හා හාපුරා කියල කැමැති උන හන්ද වැඩේ පහු කරන එකේ කිසිම තේරුමකුත් නැහැ නොවැ !

මේ වෙනකොට කණ්ඩගේ වගේම හාමිනේගෙත් රැකියාව ස්ථිර වෙලා, දෙන්නම උදේ දවල් නොබලා සුපිරි කොම්පැණියට නැහීගෙන කඹුරපු එක තමයි කරේ.

අවුරුද්දට කිහිප වතාවක් ඇෆ්ගනිස්ථානයට පියෑඹුව උනත් දෙන්නටම වෙනත් පැති වලින් කිසි කරදරයක් තිබුණෙත් නැහැ.(ඇෆ්ගනිස්ථානේ ගමන් ගැන වැඩි විස්තර මෙතනින්)

කොටින්ම නාහෙට අහන්නේ නැති “බින් ලාදින්” ගොයියටයි, එක පස්සේ අසිහියෙන් එළවපු සල්ලිකාර යැංකියන්ටයි, යැංකියන්ගෙන් සල්ලි ගරපු සුපිරි කොම්පැනියටයි පින්සිද්ද වෙන්න කණ්ඩගේ අතේත් යහමින් සල්ලිය බාගේ ගැවසෙන්න පටන් ගත්ත 🙂 🙂 🙂 **

**යැංකියන්ගෙන්ම උදව් උපකාර, ආයුධ අරන් යැංකියන්ටම ගහල කොකා පෙන්නපු, අපිට හත් අවුරුද්දක් තිස්සේ කන්න බොන්න දියුණු වෙන්න සලස්වපු දයාබර “බින් ලාදින්” අයියේ …

ඔයා මොන දිවය ලෝකේ හිටියත් මළ ගිය වීරයෙක් විදිහට දෙවියෝ දීපු කන්‍යාවියන් 72ත් සමග ඉන්නා තැනක සැපෙන් සනීපෙන් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා !  🙂  **

අර කම්මැලියො ගාව ඒ අයටම විශේෂ වෙච්චි ආප්තෝපදේශයක් තියනවනේ  “අද කරන්න තියන වැඩේ හෙටම කරන්න” කියල, ඉතිං ඔය නැව් පුරවල පඬි ටෝක් දුන්නත් තමන්ගේ වැඩ වලට කණ්ඩත් ටිකක් විතර ඔහොම තමයි  🙂

ඒක හන්ද අන්තිමට කල් ඇරලා .. ඇරලා ..  රාහු කාලේ එහෙම මග ඇරලා ** (අනේ මං බලන බම්බුව රාහු !)  ඔන්න ඉතින් කණ්ඩා වාහනේ අයිතිකාරයට කතා කෙරුව.

** හාමිනේගේ අම්මාට අනුව නම් අනුන්ගේ වැඩ වලට බකට් අදින එක ඇරෙන්නට රාහුවාට වෙන වැඩක් නැත්තේය **

මේ අයිතිකාරයා කණ්ඩගේ ඔපීසියේ මිතුරෙක් හොඳින් දන්නා කියන හාදයෙක් නිසා ගණන් මිමි කතා කර ගන්න නම් කිසිම අපහසුවක් උනේ නම් නැහැ …

පොඩි කරදරයකට තිබුණේ මේ උදවිය ගෙවීමේ ක්‍රමයට අරගෙන තිබුණු වාහනය අපේ නමට හරවාගෙන ඉතිරි ණය ගෙවීම කරගෙන යන්න විවිධාකාර ලියුම් කියුම් අවශ්‍ය වීම තමයි.

නමුත් අපේ වාසනාවට අතින් කිසිඳු අමතර මුදලක් ගෙවන්නේ නැතුව ඉතිරි ණය මුදලට පමණක් වාහනය ලබා දීමට අයිතිකාරයා එකඟ උනා …

තේකක් බොන්න යන දිරමත් ඉතිරි කරන්න හදන අල්ලපු රටේ උදවියත් එක්ක, මේ හාදය ඇත්තටම වෙන රටක ගොයියෙක්ද කියල මට සැකයකුත් ආව එතැනදී නම් 🙂 **

** ඕනෑම දෙයක් හිතා ගන්න බැරි තරමට හොඳ වැඩියි නම් (Too Good To be True) ඒ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න ඕන, ඒක දැන ගත්තෙ පස්සේ  🙂 **

ඒ මදිවට අපි වාහනය බලන්න ගිහින් ආවට පස්සේ ගත වුණ සති දෙක තුන අතරතුර අයිතිකාරයා තවත් ණය වාරිකයක් ගෙවල,  ඉතින් වාහනය අපේ නමට හරවද්දී  මුලින් ඉදිරිපත් කරපු ගානටත් අඩුවෙන් තමයි ගෙවන්න වෙන්නේ.

කණ්ඩාට මේ වගේ පොට්ට චාන්ස් හම්බ වෙනවා නම් බොහොම හොරයි, වෙනදට නම් ඉතිං හිතුවටත් වඩා අතින් ගෙවන්න වෙන ඒක තමයි සිද්ද වෙන්නෙ … 🙂 🙂

වාහනේ විකුණන්න එකඟ උනාට මිනිහයි මිනිහගේ මායියයි මෙලෝ සිහියක් නැතුව එහෙ මෙහෙ දුවනවා … මොකද රට අත ඇරලා යන්නනේ ලැහැස්තිය.

වාහනේ විස්තර කතාබහ කරනකොට තමයි දැන ගන්න හම්බ උනේ මේ උදවිය වාහනෙන් ඕමාන් හිටං හතර පස් පාරක් ගොහින් තියනව කියල, එක ඇහුවම මට තවත් සතුටුයි මොකෝ දුර ගමන් වලට උනත් කරදරයක් නැති නිසා.

ගණන් මිමි කතා කරලා හිටං ඉවර උනාට පස්සේ මේ හාදයගෙන් කණ්ඩා නිකමට වගේ ඇහුව කොහොමද අලුත් රටට යන්න කරන්න ලැහැස්තිය කියල … ඕප දූප විදිහට එහෙම නෙමෙයි මනුස්සකමට 🙂

මෙන්නේ බොලේ ඒ ගමන මේ මනුස්සය මළ අදෝනාවක් පටන් ගත්ත කියපල්ලකෝ … 😦

වැඩ කරන තැන් වල නිවාඩු ගන්න තියන කරදරයි … ළමයින්ගේ ඉස්කෝල වල සහතික ගන්න යන්න තියන කරදරයි … නෝනගේ සාප්පු සවාරියි … ගෙදර බඩු කුණු කොල්ලයට විකුණපු හැටියි … ලෙඩ කෝටියයි …. !

මිනිස්සු කන් කෙඳිරි ගානවා අහන්න අකමැති උනත්, කවුරු උනත් දුක කියනකොට අපෙත් හිත උණු වෙනවනේ.

ඒ හන්ද කණ්ඩත් දුක් ගන්නා රාළ වගේ කරපු මෝඩකම මෙනෙහි කරමින් බොහොඬ වහේ ඔළුව වනන ගමන් සැරින් සැරේ හූ මිටි තිය තියා කියාපු එව්වා ඔක්කොම අහන් හිටිය !

මේ හාදයා අල්ලපු රටේ ගෝවේ පැත්තේ කිව්වට මෙහෙම අඬනවා දැක්කම මට නම් හිතුණේ මේ උදවිය මීගමුවේ පැත්තෙන් ගිහින් ගෝවේ පදිංචි වෙලාද දන්නේ නැහැ කියල … **

** මොකෝ කණ්ඩ අහල තියන විදිහට මීගමුවේ ඉන්නවලු අඬන්න කප් ගහපු සහ ඇඬිම වෘත්තිය කර ගත්තු උදවිය …

අදාළම නැති උනාට මං අහන්නේ යශෝධා විමලධර්මත් මීගමුවෙද ?  නෑ

නක්කලේට නෙමෙයි දන්නේ නැති හින්ද අහන්නේ ? කණ්ඩ ටෙලි නාට්‍ය බලන එක නැවැත්තුවේ එදවස් වල රූප පෙට්ටිය ඇරපු ගමන් යශෝධා හොටු හූර හූර අඬනවා බලන්න බැරි හන්ද   🙂

සමහරුන්ට නම් මෙව්වට හිත වාවන්නෙම නැහැනේ … කණ්ඩට නම් මේවා බලාල වෙලාවකට හිනා වෙලා ඉල ඇදෙනවා අනිත් වෙලාවට බඩ දඟලනවා … සන්තෝසේ බැරුවා !  **

ඔය මොනවා කිව්වත් මේ මනුස්සයගේ ඇඬිල්ල අහල කණ්ඩගේත් හිත හොඳටෝම උණු උනා.

** හැබැයි ඒවාට පස්සේ යහමින් ගෙවන්න සිද්ධ උනා … 🙂 **

ඔන්න දැන් වාහනේ ණය මුදල හරවාගෙන කණ්ඩා හාමිනේ නමට ලියාපදිංචි කරන්න විතරයි ඉතිරි වෙලා තියෙන්නේ …

අපි දෙන්නගේ වාසනාවට වගේ මේ අයිතිකාර හාදය වාහනේ ණය මුදල අරගෙන තිබුණෙත් කණ්ඩා ගනුදෙනු කරපු බැංකුවෙන්ම තමයි …

මේ හේතුවෙන් බොහොමයක් ලියකියවිලි වගේම වැඩකටයුතු වලට යන කාල වෙලාවත් අපට ඉතිරි වෙච්චි එක ඒ වෙලාවේ හැටියට සෑහෙන්න වටිනා දෙයක්.

කොයි දීපංකරේ ගියත් රස්තියාදුව කියන එක නම් කණ්ඩාට දිරවන්නෙම නැති මාතෘකාවක් … අනික සමහර බැංකු වලට ණයක් ගන්න ගියහම ඒ උන්දැල හිතාගෙන ඉන්නෙ හැමෝම ඒ ගොල්ලන්ගෙ බුදලේට හම්බුවෙච්ච සල්ලි හිඟන්න ඇවිත් කියලනේ …

නමුත් අපි බැංකුවට ගියහම මේ සම්බන්ධව කටයුතු කරන්න හිටියේ ජැන්ඩි පහට හැඳ පැළඳ තද නිල්පාට තලප්පාවක්  පිළිවෙළට බැඳ ගත්තු ගාම්භීර ජටිල මහත්තයෙක් (සීක් ජාතිකයෙක් – Sikh) !

හොඳ උස මහත ප්‍රිය මනාප හාදයෙක් වෙච්ච මේ මනුස්සය අපිව රස්තියාදු නොකර වැඩේ හරියටම කෙරෙන විදිහ කියල දුන්න විතරක් නෙමෙයි වාහනයට රක්ෂණයක් ගැනීමටත් උදවු කරා …

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අලුතින් රියදුරු බලපත්‍ර ගන්නා උදවියට වාහන රක්ෂණාවරණයක් මිලදී ගැනීමේදී සාමාන්‍ය අගයට වැඩි මුදලක් ගෙවන්න වෙන එක බොහොම සුලභව සිදු වෙන දෙයක්.

අඩුම තරමේ අවුරුද්දක්වත් රියදුරු බලපත්‍රය පැරණි නම් මේ වගේ ගැටලුවක් නැහැ.

මේ කතන්දරය රක්ෂණ ආයතනය මත තීරණය වෙන දෙයකුත් නොවෙයි, ඒ හන්ද මැද පෙර දිග කලාපය පුරා විතරක්ම පවතින දෙයක්ද මන්දා ? ඒ ගැන හරියටම නිච්චියක් අදටත් කණ්ඩාට නැහැ !

කණ්ඩා හාමිනේට අවුරුදු දහය පහළොවක් තිස්සේ සිරි ලංකාවේ වාහන ආම්බාන් කරලා පළපුරුද්ද තිබුණත් අරාබිකරයේ රියදුරු බලපත්‍රය අලුත් නිසා මේ ආකාරයටම වැඩි මුදලක් ගෙවන්නට සිද්ධ උනා.

මැද පෙරදිග පුරා තියන දියුණු මාර්ග, බොහොම පහසුවෙන් ලබා ගත හැකි කඟවෙනුන් වගේ නවීන වාහනත් එක්ක නොසැලකිලිමත් රියදුරන් එකතුවෙනකොට ඇතිවෙන අතුරුපල බොහොම දරුණුයි !

ගොල්ෆ් GTI (Golf GTI) වගේ කාර් බාගයක් එහෙමත් නැත්නම් හැච් බැක් (Hatch Back) එකකට ලොකු ආසාවක් තිබුණත් ඩිකිය දිග එකක් ගත්තේ වැඩි ආරක්ෂාවට.

ඕනෑම වාහනයක ඩිකිය සහ බොනට් එක හොඳට තියෙන්න ඕන කියල හැමෝම දන්නා දෙයක්නේ  🙂 🙂 🙂

තමන්ගේ පරිස්සම ගැන හිතන උදවිය ඔටුවගේ රටේ අනිත් හැම දේම වගේ රක්ෂණාවරණයක් ගන්නකොටත්, හොඳම එක ගන්න තමයි කැමැත්ත.

ආයේ ඉතිං Go Big or Go Home, තමන්ගේ පණටයි වාහනේටයි ආදරේ නැත්තෙ කවුද ???

ඉතින් අපි දෙන්නත් රක්ෂනාවරණයේ වියදම සැර උනාට ගන්න පුළුං උපරිම හොඳ මට්ටමේ එකක් අර ගන්න තිරණය කළේ අරාබිකරයේ ඉන්න නාහෙට අහන්නේ නැති සම – හරක්  එවුන් ගැන හිතලමයි !

ඔන්න ඉතින් කොහොම කොහොමෙන් හරි පැයක් හමාරක් ඇතුළත බැංකුවේ එහෙට මෙහෙට දුවල ණය මුදලේ වැඩේ අහවර කරගෙන ජටිල මහත්තයටත් කට පිරෙන්න ස්තුතිය කරලා අපි බැංකුවෙන් එළියට බැස්ස …

දැන් ඉතිරි වෙලා තියෙන්නේ වාහනේ ලියාපදිංචි කරන එක විතරයි, එකට ඉතින් වාහනය ළඟ තියෙන්න එපාය … මම ආපහු වාහනේ අයිතිකාර හාදයට කතා කරා.

මේ මනුස්සය ආයෙත් ඉතින් අර කලින් කරපු දුක් ගැනවිල්ල ඒ විදිහටම ඉදිරිපත් කළා …

ඉතිං මේ ඇඬිල්ල අහල හිත උණු වෙච්ච් පාර කණ්ඩ කිව්වා කමක් නැහැ වාහනය අරගත්තට පස්සේ ඔය උදවිය රටින් යනකල් දවස් දෙක තුනක් පාවිච්චි කරන්න කියල.

ඉතින් ඉබ්බා  හදනකොට ඇන්නෑවේ කිව්වලු … මේං ඒ පාර මේ මනුස්සයගේ ඇඬිල්ලත් ඉවරයි කුණු කුණු ගාන එකත් ඉවරයි … ඒ කියන්නේ මේ යකාගේ ඇඬිල්ල කිව්වට මේක ඇත්තටම ඇන්දිල්ලක් !

වැඩේ සාර්ථකයි ! කණ්ඩත් අඩුවක් නැතිවම දික් කරන පරක්කුවෙන් ඇඳගත්ත කියල තේරෙනකොට පරක්කු වැඩියි !

දැන් ගිහින් මේ කයි කතන්දර හාමිනේට තේරුම් බේරුම් කරලා දීපල්ලකො අහන පුරස්න වලට උත්තර … 😦  **

** හාමිනේ නම් ඉතින් ඔය ඔලමොට්ටල වැඩ වලට තරහ ගිය වෙලාවට කියන්නේ කණ්ඩ ඉපදිලා තියෙන්නේ කොළොම්පුරේ නෙමෙයි තුම්පනේ කියාල … අනේ මන්ද ඕව හිටං අහන්න ඕනේ හාමිනේගෙන්ම තමයි.

තුම්පනේ තියෙන්නේ කොහෙද කියලවත් උන්දැ දන්නවද ? 🙂  **

හැබැයි මේ කතාන්දරයේදි නම් කණ්ඩා හාමිනේත් වැඩිය මොකුත් කිව්වේ නැත්තේ මේ අයිතිකාර යුවලට දරු මල්ලොත් හිටපු හින්ද වෙන්න ඇති.

තරහ ගිය වෙලාවට ඔය මොනවා කිව්වත්, කොච්චර සත්තං දැම්මත් උන්දැගේ හිතත් හරි ඉක්මනට උණු වෙනවා, මේක ඔයින් ගියා මදැයි !

ඔන්න ඉතින් වාහනයේ අයිතිය අපිට ලැබුණට පස්සෙත් අපේ මනුස්ස කමට මේ ජෝඩුවට වාහනය දවස් කිහිපයක්ම දුන්නයි කියමුකෝ …කණ්ඩයි හාමිනෙයි ඇඟිලි ගනිනවා වාහනේ හම්බ වෙනකං !

ඔන්න ඉතින් අන්තිමට ජුලි මාසේ එක්තරා දවසක පෙරුම් පුරාගෙන හිටිය වාහනේ ලැබෙන දවස ආව …

කණ්ඩ අයිතිකාර හාදයට දුරකථන ඇමතුමක් දුන්න වාහනය ගෙනත් දෙන්න කියල මතක් කරන්නයි, අරන් එන්න ඕන තැන කියන්නයි.

මේ ගොයිය හිටියේ ඩුබායි වල උනත් ඒ අල්ලපු වත්තවගේ වැඩි දුරක් නැහැ, සාජා වල අපි හිටපු පළාතට විනාඩි 10 ක් යයි වැඩිම උනොත් යන්න එන්න …

දැන් අර නහයෙන් ඇඩීම හොඳටම හොඳයි, ඒ මදිවට මෙන්න ඒ ගමන මේ යකා බබා පාට් දාන්න ගත්ත … වැඩ වැඩියිලු … සාජා පාරවල් දන්නේ නැතිලු …

ඕං ඔය විදිහට පටන් අරගෙන අන්තිමට මේ *** අහනවා ඇවිත් වාහනය අරන් යන්න බැරිද කියල ??? නැති නම් තව දවස් දෙකකින් වාහනේ ගෙදරටම ගෙනහල්ලම දෙන්නම්ලු …

මේ යකා මේ දත කන්නේ තවත් දවස් දෙකක් වාහනය තියා ගන්න, මේ කතන්දරය මිනිහෙක් විදිහට කෙළින්ම මගෙන් ඇහුව නම් මම බොහෝ දුරට කැමති වෙන්නත් ඉඩ තිබුණ.

නමුත් එහෙම නැතුව වටින් ගොඩින් ගියපු විදිහ මට ඇල්ලුවේම නැහැ !

මිනිහට තව කියවන්න ඉඩ නොදී කණ්ඩ ෆෝන් එක කට් කරලා දාල, සතාගේ තරම සහ සුද්දෙන්ම තේරුම් ගත්ත හන්ද කණ්ඩත් තීරණය කරා ඒ වෙලාවෙම හාමිනේවත් කුදලාගෙන ගොහින් වාහනය අරන් එනවා කියල.

මේවට තමයි කියන්නේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙනවා කියන්නේ !

පේනවනේ ඕනෑවට වඩා මිනිස්සු විශ්වාස කරහම වෙන දේවල් … මම නං කියන්නේ සතෙක් සරුපයෙක් විශ්වාස කළත් මනුස්සයෙක්ව නං එහෙම විශ්වාස කරන්න එපා කියල තමයි  🙂

ඒ වෙනකොට සෑහෙන්න රෑ වෙලා තිබුණත් හාමිනේට කිව්ව ගමන් උන්දැටත් අසූ හාරදහටම නැග්ග පාර කඩිමුඩියේම දෙන්න දෙමහල්ලෝ ලැහැස්ති වෙලා බැස්ස එලියට.

ඔන්න ඉතින් අපි වාහනය ගන්න අයිතිකාරයගේ ගෙදරට ගියා … මිනිහ නයා මැරිච්ච අහිකුණ්ටකය වගේ ඇවිල්ල අපිට යතුරයි තිබුණු අනිත් ලියකියවිලියි භාර දුන්න.

කොච්චර උනත් වාහනය විකුණනවට මෑන්ට හෙන දුකයි, හරි සිරියාවන්ත වාහනේලු … හොඳින් බලාගන්නලු … මම ඉතින් හැම දේටම හූ මිටි තිව්ව විතරයි.

මේ යකාව කන්න කේන්තියෙන් හිටියත් අර අඬන්න ඉන්න මනුස්සයට ඇඟිල්ලෙන් අනින එක නොහොබිනාකමක් නිසා  කණ්ඩවත් හාමිනේවත් මේ මනුස්සයට වචනෙකින්වත් හිත රිදෙන්න මොකුත් කිව්වේ නැහැ.

අන්තිමට අපි ආචාර සමාචාර යෙන් පරණ අයිතිකාරයට සමුදීපු අපි හා හාපුරා කරලා  වාහනයට නැග්ග ඕං …

ඒ වෙලාවේ  අපි දෙන්නටම ඇති වෙච්ච හැඟිම වචනයෙන් විස්තර කරලා නිම කරන්න අමාරුයි !

අපි දෙන්නටය කියල අපේ දහදිය මහන්සියෙන් හම්බු කරලා අර ගත්තු පළමුවෙනි වාහනය තමයි මේ … 🙂 🙂 🙂

කාටද ආඩම්බර, මොකෝ අපිට කියල පරම්පරාවෙන් හම්බුවෙලාද ? නැත්තන් අර පිනට වාහන දෙන්න පංචායුධ බාප්පිල වගේ උදවිය ඉන්න එකක් කියලද ???

දැන් ඉතිං වෙනද වගේ ටැක්සි කාරයන්ගේ උඬගුකම්, ගෑස් බලන්න ඕන නැහැ … රූන් ගාල ඉගිල්ලිලා යන්න විතරයි තියෙන්නේ  🙂 🙂 🙂

ඒ එක්කම මට මතක් උනේ තාත්තවයි අම්මවයි, ඒ දෙන්නම ගෙදරට වාහනයක් ගන්න හුඟක් ආසාවෙන් හිටපු බව මම දැනගෙන හිටිය, ඒ අයත් හිටිය නම් කොච්චර සතුටු වෙයිද ?

තාත්තට තිබුණු වගකීම් එක්ක වාහනයක් ගන්න එක ඒ දවස් වල හීනයක් වෙලා තිබ්බේ, ගෙදර තිබුණු CD – 90 යි පස්සේ එකතු වෙච්චි CM – 125 එකයි තමා අපි එක්ක දුකට සැපට දෙකටම හිටියේ  🙂

අනික ඒ දවස් වල කොහොමත් ගමේ ආච්චි අම්ම කියල තිබ්බ වාහනේකට යට කරන කරන සල්ලි වලින් ගමේ වැඩට ටැක්ටරයක් හරි ලොරි බාගයක් හරි ගන්න කියල, බයිසිකලේ යනවා වගේ ද ටැක්ටරේක නැගල යන එක  🙂

ඔයිං මෙයිං  කණ්ඩා වත් දාගෙන පොඩ්ඩක් කලබලෙන් උනත් හාමිනේ කරදරයක් නැතිව ගෙදර එන්න පිටත් උනා … අර මනුස්සය අපි නොපෙනී යනකම්ම වාහනේ දිහා බලාගෙන ඉන්නවා මම කන්ණාඩියෙන් දැක්ක …

ඔන්න අපි පාරට වාහනේ දාගත්ත කියමුකෝ දැන් කණ්ඩා තමයි මාර්ග උපදේශක, මාතලී ඇවිල්ල හාමිනේ, මොකෝ ලයිසම තියෙන්නේ හාමිනේට විතරක් හන්ද  … 🙂

අවුරුදු ගාණක් දකුණෙන් වාහන එළවන්න පුරුදු වෙලා මහා රෑ පළමුවෙනි පාරට තමන්ගේම වාහනයක් තනිවම වමෙන් පදිනවා කියන්නේ ටිකක් විතර හිත ගැස්සෙන වෙනස්ම අත්දැකීමක් …

ඉස්සරහට එන වාහන වලට වීදුරුව පහත්  කරලා බනින්න හිතෙනවා … පාරේ වැරදි පැත්තෙන් එන්නේ තමුසෙට පිස්සුද ඕයි කියල !!!

තප්පර කිහිපයකට පස්සේ තමයි එක පාරටම වදින්නේ මේ සිරි ලංකාව නෙමෙයි … මෙහෙ වාහන පැදවීම වමෙන් කියල  🙂

මේ වගේ නොයෙක් හිතිවිලි අතර අතරමං වෙලා ඉන්න අස්සේ තමයි කන ගාවින්ම හාමිනේගේ ලතෝනිය ඇහුනේ …

උඩ ගිහින් බිම වැටුණ පාර මම බැලුවේ නොතේරුණාට කවුරු හරි හැප්පුවද නැතිනම් අඩු තරමේ වාහනේ රෝදයක්වත් ගලවගෙන ගියාද කියල ..

තාමත් හාමිනේගේ මූණ නිකං හොල්මනක් දැක්ක වගේ,  නැහැ බලපුවහම තෙල් කට්ට හොඳටෝම බැහැල.

පෙට්‍රල් කට්ට වම් පැත්තේ බින්දුව බදාගෙත්තු ගමන්මයි හෙල්ලෙන්නේ නැහැ … 😦 😦 😦

මල කෙළියයි, දැන් මොනවා කරන්නද ? මේකව කොටියම කාපිය !

මට ආපහු වාහනේ විකුණපු මනුස්සයාගේ දෙමව්පියෝ වගේම උගේ හත්මුතු පරම්පරාවම මතක් උනා …

මුගේ තියන කුපාඩිකමට මෙච්චර පෙට්‍රල් ලාබ රටේ දිරාම් 20 – 30 ක පෙට්‍රල් ටිකක් ගහල තියන්න බැරි උනාද  ??? අම්මප ඔහොම සල්ලි ඉතිරි කරනවට වඩා හොඳයි ලේන්සුවක් දාගෙන පාරේ හිඟා කෑව නම් !

මං අහන්නේ අඩු තරමේ වාහනේ දවස් කිහිපයක් හරි පාවිච්චි කරන්න දුන්නු නම්බුව වත් තියන්න තිබ්බ මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ නැතිව.

මිනිස්සු කොයිතරම් ආත්මාර්ථකාමීද තුප්පහි වැඩ කරනවද කියල නැවත නැවත මතක් කරලා දුන්න එක තමයි මේ *** අපිට කලේ  😦 😦 😦

ගෙදර යන අතරමග පෙට්‍රල් ෂෙඩ් එකක් ඇත්තෙත් නැහැ … වාහනය දැන් නම් දුවන්නේ කලින් දවසේ දැනිච්ච පෙට්‍රල් වල සුවඳේ මතකයටද කොහෙද, මේ මහ රෑ අපේ වෙලාවට වාහනය මග හිටියොත් කාගෙන් උදව් ගන්නද ???

ගෙදරට යනකම් සැරින් සැරේ  දැන් හිටී … දැන් හිටී … කියල පපුවේ බිත්තර තම්බමින් … හිටපු අයිති කාරයගේ මෑණියන්දෑට පින් දෙමින් කොහොමින් කොහොම හරි මග නොහිට අපි ගෙදරටම ගෑටුව !

ඔන්න ඔහොමයි කණ්ඩා හාමිනෙත් එක්ක ගොහිල්ල පළමුවෙනි පාරට අවුරුදු පහක් තිස්සේ අපේ ගමන් සගයා වෙච්චි කවමදාවත් අපිව මග අතරමං නොකරපු ගැලන්ට් එක කැන්දාගෙන ආවේ  🙂

හැබැයි ඒ ආවත් කතන්දරය ඉවරයි කිව්වට ඉවරම නෑ … තව තියනවා !

එදා ගෙදර ආපු අපි දෙන්නගෙම ඔලුවල තිබ්බ එකම දේ තමයි “ඔයින් ගියා මදැයි” කියන එක.

ඒ වගේම කණ්ඩයි හාමිනෙයි එදා හිතා ගත්ත ඊළඟ මෝඩකම කරනකං අයෙත් මෝඩකම් නොකරන්න  🙂

හොඳටෝම රෑ වෙලා හින්දත් ආපහු පෙට්‍රල් ෂෙඩ් හොයන්න යන්න තරම් තත්වෙක අපි දෙන්නම නොහිටිය නිසාත් දෙන්නම ඒ වැඩේ පහු වෙනිදට කල් දැම්ම.

මොන අකරතැබ්බ උනත් හිත සන්තෝසයටද කොහෙද එදා දෙන්නට රෑ නින්ද ගියෙත් නැද්ද මන්ද 🙂

ඔන්න ඉතින් අන්තිමට පහුවෙනිදා ඉර උදා උනා කියමුකෝ, මතක විදිහට එදා සිකුරාදා දවසක් …

එදා කණ්ඩාගේ යාළුවෙකුත් උදේ පාන්දරම ආව නෝනා මහත්තැන්වත් එක්කගෙනම අපිත් එක්ක ප්‍රීතිය සමරන්ට **

** ඒ වෙන කවුරුවත් නෙමෙයි ඉස්කෝලෙ යන කාලේ ඉඳම්ම දන්නා වක්පොලුකාර මිත්‍රයා වන ගලා.

උදේ පාන්දරම කිව්වට ඔටුවගේ රටේ සිකුරාදා උදේ පාන්දර පටන් ගන්නේ දවල්  10 – 11 විතර වෙලා බඩගිනි හැදෙන වෙලාවට තමා  🙂 **

එකත් හොඳ වෙලාව, දැන් වැරදිලාවත් කාර් එක තල්ලු කරන්න උනත් කවුරු හරි ඉන්නවනෙ … නැත්නම් ඒකටත් තනියෙන් අහුවෙන්නේ මං විතරයි !

කණ්ඩ උදේ පාන්දරම අනතුරු ඇඟවූවා වාහනයට නගිනවා නං තල්ලුවක් දාන්න ලැහැස්ති වෙලා එන්න කියල  🙂

ඔන්න ඒ පාර තුන් හතර දෙනාම කඩි මුඩියේ ගෙදර තිබ්බ දෙයක් බඩට හලාගත්ත, ඇයි හත් දෙයියනේ මග හිටියොත් තල්ලුවක් දාගනවත් ඇඟේ පතේ හයිය තියෙන්ඩ එපායැ …

අනික ඉතිං අපායට දැක්කුවත් කන්ඩ බොන්ඩ දීල ඉවර වෙලා යවන එකනේ සිරිත, ඕන් ඔහොම මග හිටී කියල බයේ ගැහි .. ගැහි .. පෙට්‍රල් ගහන්න යන්න පිටත් උනා කියමුකෝ …

රෑ කලබලේට මතක් නොවුනට ළඟ පාත පෙට්‍රල් ෂෙඩ් එකක් තියනව, කොහොම හරි තව කිලෝමීටර් 3 -4 ක්වත් ඇද ගන්න බැරි වෙන එකක් නැහැ කියල තමයි හීනියට වගේ මගේ හිත කිව්වේ …

හිතුව වගේම මග හිටින්නේ නැතිව පෙට්‍රල් ෂෙඩ් එක ගාවට ආව ..

ඒත් එක්කම හාමිනේ අහපු ප්‍රශ්න වැලක් හන්ද අපි ආයෙත් අවුල් ජාලයක පැටළුනා …

මේකේ පෙටල් ගහන්නේ කොයි පැත්තෙන්ද ? 

ඔච්චර කල් වාහන එක්ක ඔට්ටු වෙච්චි හාමිනේ ඕකවත් දන්නේ නැති හැටි …

ආ … නෑ සමහර වාහන වල එක වෙනස් ! මේකේ වම පැත්තෙන් පෙට්‍රල් ටැංකියේ  පියන තියෙන්නේ  🙂

හරි වැඩේනේ … මේකේ පෙට්‍රල් ටැංකියේ පියන අරින හැටි දන්නේ නැහැනේ … ???

ඇයි හත් ඉලව්වේ අවුරුදු ගානක් වාහන එක්ක ගුස්ති අල්ලලා හාමිනේ ඕකවත් දන්නේ නැතිද 😦

galant-and-the-conundrum

හරි.. හරි .. කලබල වෙන්න එපා පොම්පෙ ගාවට යන්නේ නැතුව පැත්තකින් නවත්ත ගන්නකෝ ..

කණ්ඩ ඔලුව කහ කහ කල්පනා කරේ, හමිනේව කලබල වෙන්නේ නැතිව තියා ගන්න ගමන්ම ඊළඟට මොනවද කරන්නේ කියල …!

තව පෝඩ්ඩක් හොඳට හෝදිසි කරලා බලන්න, නැති වෙන්නේ කොහොමද  ??

බලන්න ඔය ඩිකියයි බොනට් එකයි අරින ලීවර් එක වගේම මොකක් හරි බොත්තමක් ඇති …

කණ්ඩ ආයෙත් ඔක්කොම දන්නවා වගේ  කිව්වා … 🙂

නෑ අනේ එහෙම එකක් මේකේ නෑ …ඕන නං ඇවිල්ල බලන්න !!!! හාමිනේ නෝක්කාඩු කියනවා …

ඒ උඹවත් බැහැල බලපන් !

බැරිම තැන මම ගලාට කිව්වා …  ලංකාවෙදි වාහනයක් පාවිච්චි කරපු හන්ද මිනිහ ඕව දන්නවා.

මිනිහත් තියන හැම ජිල්මාට් එකක්ම ඔබල අතගාල බලල ඔලුව වැනුව … ම්හ් මෙතන මොකුත් නෑ !

දැන් දැන් පෙට්‍රල් ෂෙඩ් එකේ සේවකයන් පවා අපි මොනවා කරනවාද කියල කුතුහලයෙන් බලනව … වස විලි ලැජ්ජාවේ බෑ … 🙂

යකඩෝ මේක හරි කෙළියක්නේ … ජපනට පියන අරින බොත්තමක් දාන්න අමතක උනාවත්ද ?

පොඩ්ඩක් හිටපන් මම පෙට්‍රල් පියන ගාව බලන්නගලා අපහු ඉස්සර උනා …

මේකේ යතුරකින් අරින්නත් මොකුත් නැහැනේ … 😦

අත පත ගාල කොහොම හරි පියන ඇර ගන්න  ගලා පුළුවන් උනා …

ආ … ඔය ඇරෙන්නේ … මේක ඔබපු ගමන් ඔටෝ පනිනවා එලියට, පුෂ් ලොක්  එකක් තියෙන්නේ !

දැන් අහගෙන හිටපල්ලකො මුගේ කතන්දර …

අනේ යකෝ … උඹලට ඕකවත් තේරෙන්නේ නැති හැටි … කාර් නෙමෙයි අර ගනින් බර බාගයක් දක්කන්න !!!

~ මතු සම්බන්ධයි !

කාර් සන්නිය ~ I කොටස ~ ~ සිවික්ද ? ගැලන්ට්ද ?