drinking-buddies

අටං හමුව සහ හොරෙන් ඔටර්ස් පැදීම !

මෙදා පොටේ සිරි ලංකාවට ආපු ගමනේ එක බලාපොරොත්තුවක් උනේ මේ වෙනකං මුහුණු පොතෙන් විතරක් අඳුන ගත්ත බ්ලොග් කාරයෝ දෙන්නෙක් තුන් දෙනෙක්වත් හම්බ වෙන එක.

මොකෝ ඊයේ පෙරේද ඉඳන් බ්ලොග් ලියන මම ඔය කවුරුවත් වැඩිය දන්නා කියන එකක්යැ ?

තමන්ගේ කාලේ නාස්ති කරගෙන ලියන්න තරම් පිස්සුවක් තියන උන්ගෙන් යන්තං මම දැනගෙන හිටියේ කොච්චියව විතරයි.

එකත් මේ බොහොම අහම්බෙන් සිද්දවෙච්චි දෙයක් (ඒ ගැන වැඩි විස්තර මම කලින් ලියල තියෙනවානේ, ඒක කැමති කෙනෙකුට මෙතනින් කියවන්න පුළුවන්)

මං ගාව ඒ වෙනකොට කොහොමත් බ්ලොග්ලන්තයේ ඕනෑම ලබ්බකට නොවැරදීම අත ගහන අටමගේ නොම්මරේ තිබ්බ.**

අටමගේ නොම්මරේ නොදන්නා බ්ලොග්කාරයෙක් ඉන්න විදියක් නැහැ කොහොමටත් … හික් … හික් …

ඉතින් ඒ හන්ද සිරි ලංකා ද්වීපයට ගොඩ බැස්සට පස්සේ මුලින්ම දුරකථන ඇමතුමක් අරගන්න හිතුවෙ අටමට …

වදන්තද පාවිච්චිය ගැන මම ඒ වෙනකොටත් මේ හාදය එක්ක කිහිප විඩක්ම ඇවිලිල හිටියෙ. (ඔය කතන්දරෙත් මම කලින් ලිව්වා)

ඒ හන්ද කව්ද දන්නෙ ආයෙත් මේ යකා මට ඇරියස් කවර් කරන්නත් එක්ක කියල කන් ඈත් වෙන්න දෙසා බායිද?

කමක් නෑ ඕන දෙයක් වෙච්චිදෙන්, ඔන්න ඔහේ කෝල් එකක් දීල බලනව කියල හිතපු මං ගත්ත අටමට කෝල් එකක්.

හරි … ෆෝන් එක රින්ග් වෙනවා .. ඒ අස්සේ දැන් මට හෙන දැවෙන ප්‍රශ්නයක් !

මේ හාදයට අටමා කියනවද ? නමෙන් කතා කරනවද ?

අනේ මන්ද, අටම කිව්වම මේ මනුස්සයට තරහ යයිද ?

කෝකටත් නමෙන්ම කතා කරනව කියල මම හිතා ගත්ත, ඒක කොහොමටත් හොඳයි !

හලෝ මේ ලක්මාල්ද ?

ඔව් කියන්න …

ආ… මම මේ රංගන කතා කරන්නනෙ,  අර කණ්ඩගෙ කොලම ලියන්නෙ …

ආ ඉතිං මචං … කොහොමද උඹ ලංකාවට ආවද ?

අටම අනිත් පැත්තෙන් උත්තර දුන්නෙ බොහොම කාලෙක ඉඳන් දන්න අඳුරන කෙනෙක් වගේ ලෙංගතුකමෙන්.

ඒ හන්දම අර තිබිච්ච හිතේ දෙගිඩියාව නැති වෙලා ගියා …

ඉතිං මොකද වෙන්නේ මේ දවස් වල … මොකුත් නෑ බං ඔහේ මැසිමක් හදාගෙන ඉන්නවා …

ඔය වගේ අටමත් එක්ක ආ ගිය තොරතුරු කතා කරපුවට පස්සේ මම ඕං කුලුඳුලේම අරාධනාව දැම්ම කොහේදි හරි සෙට් වෙන්න !

අපි හම්බ වෙමු කොහේදී හරි හැන්දෑකරෙකදී, මොනවා හරි සප්පායම් වෙන්නත් එක්කම ... ?

අටම බෑ කිව්වේ නැහැ, ගත්තු කටටම කිව්වේ.

හරි අවුලක් නෑ උඹට පහසු තැනක් දවසක් බලල කියපං මං එන්නං..  කියල.

හරි ඒ කියන්නේ අටම රෙඩී එකෙන්ම !

සෙට් වෙන එක උනත් තනියෙන් සෙට් වෙන්න බැහැනේ … කට්ටිය ඉන්න තරමට තමයි එකෙත් රහ.

මම සුරංගයටයි අපේ කාර් පිස්සුව කරන තරිඳුටයි කෝල් කරලා බලන්නම් !

තරිඳු නම් ඉතින් ළඟ පාත ඉන්න මනුස්සයනේ, සුරංගත් කොලඹ පැත්තේ එන කතාවක් කිව්වා…

සුරංග කිව්වේ … අර යාං හෑල්ල ලියන හාදයද  ?  අටම එහෙම ඇහුවේ නිච්චියටම දැන ගන්න

ඔව්.. ඔව්.. මිනිහ තමයි ..

ඒක හොඳයි, මිනිහව කොළඹදී අල්ල ගන්න හරි අමාරුයි …

හරි එහෙනම් මම හම්බු වෙන්න තැනක් බලල උඹට ආයේ කෝල් කරන්නම් !

ජය වේවා එහෙනම් ! මම අටමට සුභ පතල සමුගත්ත.

දැන් ඉතින් සුරංගයව අල්ල ගන්න ඕනේ …ගත්ත මිනිහටත් කෝල් එකක්

හලෝ සුරංග මල්ලි මම රංගන … මට කතාව ඉවර කරන්නත් කලින්

…. කණ්ඩයියේ කොහොමද … කවද්ද ආවේ ???

මට හිතුනේ පොඩි එකෙක් එක්ක කතා කරනවා වගෙයි … සුරංගය හිත හොඳ කොල්ල …

ගොඩ බැහැල දවසක් නැහැ මල්ලි.. ඉතින් වාසේ දේසේ කොහොමද  ?

වැරද්දක් නැහැ අයියේ …

ඉතින් ඔය වගේ ටික වෙලාවක් කතා කරනකොට… සුරංගයම මාතෘකාව ඇදල ගත්ත 🙂

මමත් ඔය පැත්තේ එන්න හිතාන ඉන්නෙ අයියේ අර  **** මුණ ගැහෙන්නත් එක්කල් අපි හම්බ වෙලා කතා බහ කරමු !

ඔව් ..ඔව් … එක කියන්නත් එක්ක තමයි මම ගත්තේ .. අටමටත් මම කතා කරා මිනිහත් රෙඩී.

මම දවසයි තැනයි කියල පණිවිඩයක් දාන්නම් ආපහු !

ඔන්න ඉතින් මම යාන්මලයත් එක්කත් කතා කරලා ආරාධනාවත් කරලා තිබ්බ ෆෝන් එක !

දැන් ඉතිරි වෙලා ඉන්නේකාර් පිස්ස… හුටා මිනිහගේ නොම්මරේ මං ගාව නැහැනේ … දැන් මොකද කරන්නේ ?

කමක් නැහැ මැසේජ් එකක් දානවා මූහුණු පොතේ … ළඟ පාත් ඉන්න එකානේ මිනිහ කොහොමත් එයි !

ඉතින් ඔන්න ඔහොමයි මං සිරි ලංකාවට ගොඩ බාල දවස් දෙක තුනකින් ඔය කියපු හාදයො කිහිපදෙනාට මුහුණු පොතේ මැසේජ් එකක් දැම්මෙ …

සුරංගය ඉතින් බදුල්ලෙ ඉන්න එකානේ, ඔය කිව්වට ෂුවර් එකක් තිබ්බේ නැහැ මගේ හිර වෙච්චි කාලසටහනත් එක්ක කොළඹදී හම්බ වෙන්න පුළුවන් වෙයි කියල.

මිනිහව කොළඹදී අල්ල ගන්නවා කියන්නේ අර කන කැස්බෑව විය සිදුරෙන් එලිය බලනවා වගේ බොහොම අමාරුවෙන් සිද්ද වෙන දෙයක්.

ඒ මොනව උනත් ලඟම හිටිය එකා වෙච්චි කාර් පිස්සා තමයි මුලින්ම පොල්ල තිබ්බෙ.

ඔය හාදය මට එහෙන් මෙහෙන් නක්කලේට එක එක කතාත් කියන එකා වෙච්චි, ඔය මළකඩය මට ආයෙත් අහු උනොත් මිනිහ ගාව ඉන්න ඉබ්බගේ එන්ජිම ගලවල හයි කරනවා ඉස්සරහට 🙂 🙂 🙂

අන්න කවුද ඉබ්බෙක් මස් කරන්න යනවා හරි මයිනරයක් යකඩ වලට ඇදං යනවා හරි කිව්වා නම් ඔය යකා හොටු පෙරාගෙන කකුල් හතරෙන් එයි …

අපි කිව්වම තමා බැරි, ඊයේ පෙරේදත් මම මිනිහට තේරෙන බාසාවෙන් තර්ජනය කරා … හොඳ හැටි කරකුට්ටං වෙච්චි පරණ එන්ජින් ඔයිල් බාගයක් පොවනවා කියල අහු උනොතින් … 🙂

ඔහොම ගිහිං හම්බ වෙද්දෙංකෝ ඔය පිස්සව කොහේදී හරි !!! **

** හැබැයි ඉතින් සෑහෙන කාලයක් බලං ඉන්න වෙයි මං හිතන්නේ, ආපහු ලංකාවට එනකං ඉන්ඩ එපායැ එකටත්  😦

එක්කෝ ඕන නැහැ ඔය මනුස්සය හන්ද තමයි හොර කොට කොට ඉඳපු මම බ්ලොග් කට්ටක් අටවා ගත්තෙත්  🙂

**

හරි කමක් නැහැ සුරංගයයි අටමයි හරි ඒවිනෙ …

මොන  ****  මෙන්න සුරංගයත් නැහැල්ලු ඒ පාර … මිනිහ එවල තිබ්බ අර වෙනද වගේම හිතට වදින මැසේජ් එකක්, එක හින්දම සමාව දුන්න කොල්ලට  🙂

අනේ අයියා තරහ වෙන්ට එපා, මේ දවස් ටිකේ එහෙ මෙහෙ යන්ට හැටියක් නෑ.

දවසගානෙ එක එකා එනවා. ගෙදෙට්ට අමුත්තො ආවං දාල යන්ට බෑනෙ.

අපි ආවා නැතා කියල නෑ. හිතවත්කං ඉතිං මහජන බැංකුවෙ දාපු සල්ලි වගේ තමා. වෙනස් වෙන්නෑ.

ඒ උනාට අර බැංකුවේ දාපු එව්වයේ පොළියවත් ඉල්ලගෙන එන්ට ඕන එන පාර හියපුවම 🙂

මේ මැසේජ් වලට උත්තර බඳිනකොට තමයි මම දැක්කේ අටමගේ ප්‍රොෆයිල් පින්තූරේ තුවක්කු දණ්ඩකුත් උරුක් කරගෙන ඉන්නවා …

අම්මප දැන් නම් බයත් හිතෙනවා මේකව හම්බවෙන්ට යන්න …

ඒක හන්ද මං උට කලින්ම කිව්වා තුවක්කු බටේ උස්සං නං එන්න එපා කියල  !

සුරංගයත් එන්නේ නැති උනාට දැනමුතුකං දුන්න බදුල්ලේ ඉඳන් එවේලේම 🙂

තොපි දෙන්නා කා කොටා ගන්නව එහෙමනෙමෙයි බ්ලොගර් සහ වර්ඩ් ප්‍රෙස් හටන කියලා !!!

හරි දැන් ඉතින් අන්තිමට වැඩේට අටමයි මායි විතරයිනේ …. දැන් ඉතින් සප්පායම් වෙන්න තැනක් හොයා ගන්නත් ඕන !

එක ඉතින් ඔච්චාර අමාරු දෙයක් නෙමෙයිනේ … ඔහොම තමයි මාත් මුලින් හිතුවේ …

දෙහිවල ගල්කිස්ස හරියේ මුහුද කිට්ටුවට වෙන්න කන බොන තැනක් හොයා ගන්නද බැරි ?

කොහේදී හම්බ උනත් අටමටයි මටයි යන්න එන්න ලේහෙසි තැනක් වෙන්නත් එපායැ.

වැඩේ තියෙන්නේ අටම තනියම ගල්කිස්සට ගාටනවා කියන්නේ මිනිහට මොන කරදරයක්ද … කරදර කරනවා කියල මනුස්සයෙකුට එහෙමත් කරදර කරන එක හරි මදි.

එක හන්ද කොළඹ කිට්ටුව තැනක් තිබ්බ නම් තමයි හොඳ … මගේ ඔලුවට මුලින්ම ආවේ බම්බලපිටියේ මැලේ ජොයින්ට් එක …

චික්.. විතරක්  ! එකත් දැන් දෙහිවලට උස්සන් ඇවිල්ල … කොල්ලුපිටියේ චීනගේ කඩෙත් වහල බොහොම කල් …

කොහේ උනත් හිතට හරියන හරි හමන් තැනක් වෙන්නත් එපාය…

හරි හමන් තැනක් කිව්වේ දෙයියනේ කියල හොඳ කයියක් දාගෙන ඉන්න පුළුවන් … කන පැලෙන්න සංගීතෙ නැති … ඉඳල හිටලා හයියෙන් කුණු හබ්බයක් දෙකක් කිව්වත් වැඩිය කවුරුවත් ගනං ගන්නේ නැති තැනක් …

අනික ලොකු ලොකු නම් දාපු ගෝ එකට වඩා ෂෝ එක විතරක් තියන සාක්කුව හින්දන තැන්  අපේ වැඩේට කොහොමත් ඔබින්නේ නැහැ …

වැඩේ මම හිතුවට වඩා බොහොම අමාරු පාටයි , මෙහෙම හැම දේම හොයන්න ගියොත් වැඩේ හරි යන්නේ නැහැ.

යකඩෝ කොළඹ නිදහසේ කාල බීල කතා බහ කරන්න තැනක් හොයා ගන්න ඔය තරම් අමාරුද  ???

එතකො‍ට තමයි මට තේරුම් ගියේ අවුරුදු ගණනාවක් තිස්සෙ කොළඹ රවුම් ගැහුවත් දැන් තියන කොළඹ ගැන කිසිම දැනුවත්කමක් නැහැ කියන එක.

සුද්දගේ බාසාවෙන් කියනව නම් ඉතින් “ටෝටලි අවුට් ඔෆ් ටච්”  – Totally Out Of Touch !  🙂

කොච්චර හිතුවත් ඔලුවට කිසිම අයිඩියා එකක් එන්නෙ නැති හැටි … බැරිම තැන මම තීරණය කරා පොඩි මගඩියක් කරල හරි පරණ පුරුදු තැනකටම යන්න.

ඒ තමයි “ඔටර්ස් ක්ල්බ්” එක, අතමිට සල්ලි බාගේ ටිකක් වැඩියෙන් ගැවසුන දවසට ආ ගිය තැනක් නිසා ඉස්සර නම් එතරම්ම නුහුරු තැනක් නෙමෙයි 🙂

හැබැයි අවුරුදු දහයකට පස්සේ තමයි මම මේ ආපහු යන්නේ දැන් තත්වේ කොහොමෙයි දන්නේ නැහැ, ඉස්සර වගේම වැරද්දක් කියන්න නැහැ කියල හිතාගෙන යනව 🙂

පොඩි කොස්සකට තියෙන්නේ මෙතන ඇවිල්ල “මෙම්බ්ර්ස් ඕන්ලි” !  කන්න බොන්න සෙල්ලම් කරන්න ඕන නම් සාමාජිකත්වය අර ගන්න ඕන !

සල්ලි බාගේ වැඩිය ගැවසෙන්නේ නැති ඒ දවස් වල කන්න බොන්න හොයා ගත්තෙත් අමාරුවෙන් කලෙක්ෂන් දාල, එහෙව් එකේ අපිට කොයින්ද “මෙම්බර්ෂිප්” ගන්ඩ සල්ලි ???

සාමාජිකයන් හට පමණයි කියල ලොකු ලොකු නීතිරීති එහෙම තියන එක ඇත්ත, සිරි ලංකාවේ ඔය ක්ලබ් වල කොයි නීතිය තිබ්බත් නවන්න පුළුවන් බව අමුතුවෙන් කියන්න ඕනයැ ?

ඉතින් අපි ඔය නීති රීති ලොකුවට ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ, ආදී කාලේ ඉඳලම අපි ඔටර්ස් ක්ලබ් එකේ ඉතින් “මැම්බ්ර්ස්” ල නොවුනට “මැම්බ්ර්ස්” ල වගේ තමයි 🙂

ඒ දවස් වල ඉඳි කට්ටේ හිලෙන් උනත් රිංගන අපි කරන්නේ මෙම්බර්ෂිප් එක ඒ කියන්නේ සමාජිකත්වය තියන කාගේ හරි නමක් කියල වැඩේ යාපුවෙන් කර ගන්න එක තමයි කරේ.

එහෙමත් බැරි වෙච්චි දවසට වේටර් ළමයෙකුට පොඩි සන්තෝසමක් දුන්නහම වැඩේ අහවරයි !

කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මෙදා පොටෙත් ගොඩ යන්න තියෙන්නේ මේ විදිහටම තමයි 🙂 🙂 🙂

ඉඳල හිටලවත් පොඩි ගතියක් එන්න හීනියට මේ වගේ හොර වැඩක් කරන්නේ නැතුව ඇති පලේ මොකද්ද මං අහන්නෙ ?

අනික මොන හොර වැඩේ කරලා අහු උනත් අර කිතුලට හොරෙන් නැගපු මනුස්සයටත් කියන්න හේතු තිබුණු එකේ ඇයි අපිට මොනවා කර ගන්න බැරුවද  ?

ඔන්න ඒ කරදරෙත් හරි, දැම්ම අටමටත් කෝල් එකක්, නත්තල් දවසට කලින්දා ඔටර්ස් ක්ලබ් හම්බ වෙමු කියල.

ඒ පාර අටම කියනව චෙෆ්-ආකි උන්නැහේටත් අඬ ගහ කියලා, මම මේ උන්නැහේගේ කවි කතන්දර එහෙන් මෙහෙන් කියවලා තිබිනත් දැන හැඳිනුම් කමක් නම් තිබ්බේ නැහැ …

නමුත් අළුතින් කවුරු හරි දැන ඇඳින ගන්න එකේ වැරද්දක් නැහැ නොවැ, මමත් ඉතින් කිව්වා අපි දෙන්න විතරක් වෙච්චි තව දෙතුන් දෙනෙක් එකතු උනත් වැඩි වෙනවද කියල.

හැබැයි ඉතින් එදා චෙෆ්-ආකි උන්නැහේ කලින්ම රත් වෙලා තිබුණු හන්දාද කොහෙද එන්න වෙන්නේ නැහැ කියල අටම මට ආපහු කිව්වා.

ඔන්න ඉතින් නත්තල් දවසට කලින්දා රෑ අටට විතර මම නමෝ විත්තියෙන්ම ගිහින් ඔටර්ස් ක්ලබ් එක ඉස්සරහින් බැස්ස.

ක්ලබ් එක වහලද මන්ද … වෙනදට වාහනයක් පාක් කරගන්නවත් ඉඩක් නැහැ මේ හරියේ.

මම අටමට ආපහු කතා කෙරුවම ආ මචං මම මේ ළඟ ඉන්නේ දැන් එනව කිව්ව් .. හරි ඒ කියන්නේ තව පැය බාගයක්වත් යයිනේ …

මොකද අපේ එවුන් මේ ළඟ ඉන්නේ කියල කිව්වොත්, ඒ ඉතින් ගෙදරින් එලියට බගින්න දත කට හෝදන ගමන් තමයි 🙂 🙂 🙂

ඒ එක්කම කොහෙදෝ ඈත මුල්ලක හිටපු වයසක සිකියුරිටි අන්කල් කෙනෙක් මගේ පැත්තට කඩිමුඩියේ එනවා දැක්කේ එතකොටයි !

මේ මිනිස්සුන්ව සම-හරක් පාගන්නම තමයි බලන්නේ, එහෙම එකේ කවුරු හරි හොඳින් සුහදව කතාබහ කරනවා නම් එතැනදී කිසි කරදරයක් නැති බව මම අත්දැකීමෙන්ම දන්නා දෙයක්.

මම වැඩි කලබලයක් පෙන්වන්නේ නැතිව හොඳට හිනා වෙලා සිකියුරිටි අන්කල්ට “සුභ නත්තලක්” කියල සුභ පැතුව.

ඒ මනුස්සය බොහොම අහිංසක විදිහට මටත් සුභ පැතුවා මිසක් මගෙන් වෙන මොකුත් ඇහුවෙත් නැහැ, මම මොකුත් කියන්න ගියෙත් නැහැ 🙂

ඉතින් වැඩි භජනෙට ගිහින් වරිගේ නහ ගන්නේ නැතිව මමත් ක්ලබ් එකේ අයිතිකාරය වගේ ඔලුව කෙලින් තියාගෙන් අඩියට දෙකට ඇතුලට ආව 🙂 🙂 🙂

නත්තල් කට ගාව හන්දද මන්ද ආගියා කතා බහ කරමින් හිටපු තුන් හතරගොල්ලක් ඇරෙන්න පැත්ත පළාතම පාලුවට ගොහින් වගේ … වෙනදට මෙතන මේසයක් අල්ලගන්න තියන කරදරේ අද නැහැ.

මැස්සෝ ඇහිරෙන පුටු මේස වලට බෑන්ඩ් එක තනියෙන් සංගීතය සපයනවා, අටමගෙන් සද්දයක් නැහැ තවම.

හොඳ වෙලාවට බෑන්ඩ් එක හිටියේ, ඒ හන්ද කම්මැලි කමකුත් නැහැ… බොහොම දවසකට පස්සේ මේ වගේ සංගීත රස විඳින්න හම්බ උනේ කලබලයක් නැතිව 🙂

ඕන ඔය අස්සෙම අටමගෙන් ආපහු කෝල් එකක්, ආ මචන් මම බෞද්ධාලෝක මාවතේ … මට හැරෙන තැන කියපංකෝ …

මම අටමට ආපහු මග සලකුණු දුන්න … බලන් යනකොට අටම හොඳයිනේ .. මං හිතුව තව පැයකටවත් එන එකක් නෑ කියල  🙂

අර සිකියුරිටි අංකල්ව මතක් උන හන්ද මම ආපහු එලියට එනකොටම අටම තුන් සක් රියකින් බහිනවා …

අඩේ … උඹත් කොටෙක්නේ බලන් යනකොට … මේ හාදය පුදන කොටම කාපි යකා කියල මාව දැකපු ගමන්ම කියාපි !

*^%^$@   $#&^ට^%  අටම කොට මොඩල් ගැන වැඩිය දන්නේ නැද්ද කොහෙද  🙂 🙂

කොටා … මං මොකුත් කියන්නේ නෑ … හරි … හරි … යමංකෝ ඇතුළට … පස්සේ බැරිය උස ගැන ගහ මරා ගන්න !

මම අටමවත් ඇදගෙන ඇතුලට යනකොට, ඈත ඉඳල ඔලුව දාපු සිකියුරිටි අංකල් මාව දැකලා ආපහු හිටපු තැනටම යනවා ඇහැ කොනකින් මම දැක්ක.

අපි මේසේට ඇවිත් වාඩි උන ගමන් වේටර් කෙනෙක් ලඟට අඞ ගහ ගත්තේ කන්න බොන්න අඩුම කුඩුම ගෙන්න ගන්ට.

අපිට ඕන ඔක්කොම අහගෙන ඉවර වෙලා මෙන්න මේ හාදය අපෙන් අහනව මෙම්බර්ෂිප් නොම්මරේ … දීපල්ලකො උත්තර 🙂

ආ ඒකත් එහෙමද … අපි ඒ ගැන දැනගෙන හිටියේ නැහැනේ … මම මුලින්ම බබා පාට් එක දැම්ම !

පස්සේ වටෙන් වටෙන් යන්නේ නැතිව අපි කෙලින්ම කාරණාවට බැස්ස.

මෙහෙමයි අපිට මෙම්බර්ෂිප් නම්බර් එකක් නැහැ, කාල බීල සින්දුවක් අහල යන්න තියනවා නම් එච්චරයි.

අපිට නොම්මර නැති උනාට … අපේ නොම්මරේ මිනිහ සහ සුද්දෙන්ම දැන ගත්ත මං හිතන්නේ  🙂 🙂 🙂

සර්ල කොහොමද ඇතුළට ආවේ මෙම්බර්ස්ල නෙමෙයි නං ??? අනිත් අය එන තැනින්ම තමයි ඉතින් වෙන කොහෙන් කියල එන්ටද ? මොකෝ අපි කියල තාප්පෙන් පැන්නයැ   🙂

මේකයි සර්, මම කොහොමද දන්නේ අපේ ක්ලබ් එකෙන් අපේ හොර අල්ලන්න ආපු උදවියද කියල … ?

පිස්සුද එහෙම කරනවද අපි,  කන්න බොන්න මිසක් හොර අල්ලන්න ආපු ගමනක් නෙමෙයි මේක !

අටමත් වටෙන් ඉඳගෙන අත්වැල් අල්ලනවා, මිනිහට තවමත් අපි ගැන පොඩ්ඩක් වෙන්න සැකයි.

ඔයා බය නැතිව අපිට සංග්‍රහ කරන්නකෝ … මිනිහගේ හිත හදල කොහොමහරි පිටත් කලා.

උඹ මීට කලින් මෙතනට ඇවිල්ල තියනවද … ?  වේටර් හාදය යනකන් ඉඳල අටම හිමිහිට ඇහුව… ඇවිත් තියනවා බං මේක තමයි මෙතන සිස්ටම් එක !!!

අටමට බකස් ගාල හිනා ගියා 🙂

ඉතින් ඔන්න ඔහොම ආගිය තැන්, ලංකාවේ උරුම කරුම දේවල්, අටම බ්ලොග්ලාන්තයට ආපු හැටි වගේම අනිත් බ්ලොග්කාරයෝ ගැන රසකතා වැලක් එක්ක කාලය ගත වෙලා යනවා කොහෙත්ම තේරුනෙ නෑ …

අන්තිමට අපේ කතා බහ නැවතුනේ බෑන්ඩ් එක ගහන එකත් නවත්තල, අතේ ඇඟිලි ගානට හිටපු අනෙත් අයත් එකා දෙන්න හැලෙන්න ගත්තට පස්සේ …

අටමට නම් යන්න හදිස්සියක් තිබ්බේ නැහැ … එත් මට පහුවෙනිදා උදේ පාන්දරම නුවර යන්න තිබ්බ හන්ද පැය දෙක තුනක්වත් ඇහැ පියාගන්නේ නැතුවත් බැහැනෙ.

අනික කාපු බීපු තැන ඉන්න හොඳ නැති එකේ අපිව එලවන්න ඉස්සෙල්ල අපේ වේටර් යාළුවටත් පොඩි පහේ සන්තෝසමක් තියල එළියට බැස්ස.

~ මතු සම්බන්දයි !

සිරි ලංකාගමනය ~ II කොටස~ හන්තාන සිහිනය සහ උඩරට සිරි පිරි කොණ්ඩගල !

 

Advertisements