kabul-at-night

කාබුල් ගුවන්තොටුපොළ පාගා මරුවෝ !

කණ්ඩට සාමාන්‍යයෙන් හීන පේනවා බොහෝම අඩුයි, වැරදිලාවත් දැක්කොතින් ඒ හැබෑ කරගන්න බැරි දවල් හීන තමයි  🙂

ඒක හන්දමද කොහෙද නිදා ගන්න ගිය වෙලාවට පොල්ලකින් ගැහුවා වගේ නින්ද යන එකයි, නිදාගෙන ඉන්න තරමක් වෙලා මොරටුවේ ලී මෝලක් වගේ ගොරවන එකයි කණ්ඩගේ ජන්ම පුරුද්ද.යහළුවෝ, පවුලේ උදවිය එක්ක විනෝද ගමන් ගිහිල්ල එකට නවතින වෙලාවට එහෙම ඉතින් ඕවයේ රඟේ අහ ගන්න ලැබෙනවා පහුවදා ඇහැරුනහම.

නිදා ගන්න බැරි වෙච්චි උදවියගේ මැසිවිලි වගේම අනෙත් අයගේ කොලොප්පං ඉවරයක් නැහැ  🙂

අඩි තිස් දාහක් උඩදී ඇන්ටනොව් එකක් ඇතුළේ දපල ඉන්නකොට කියලත් එකේ කොහෙත්ම වෙනසක් උනේ නැහැ.

මෙහෙම ඉන්න අතරේ මම හදිසියේ ගැස්සිලා ඇහැරුනේ නූර් දාපු තට්ටුවක් හින්ද …එකෙන් මේකෙන් ඇහැ ඇරියත් සිහි එළවා ගන්න ටික වෙලාවක් ගියා.

නැගිටලා හොඳ ඈනුමක් එහෙම ඇරලා ඇඟ මැලි කඩනකොට තමයි දැක්කේ නූර් සහ රංජිත් මං දිහා බලමින් හිනා වෙනවා

මං බැලුව මොකද කලිසමේ සිප් එකවත් ඇරිලද කියල… නෑ එහෙම අකරතැබ්බයක් වෙලත් නැහැ … 🙂

මම ඇහුව මොකද ප්‍රශ්නේ කියල, මේ දෙන්න කියනවා විනාඩි පහක් විතර තට්ටු කරල බැරි තැන පයිනුත් දෙපාරක් ඇන්නහමලු කීද්දුනේ.

ඒ මදිවට එන්ජින් වල ඝෝෂාවට වඩා මම ගොරවපු සද්දේ බොහොම වැඩියි කියල කියන්නේ මුන් දෙන්න.

ආපු සද්දෙට ඒ කට්ටිය මුලින්ම හිතුවේ ආපහු එන්ජිමේ ප්‍රශ්නයක් කියලලු, පයිලට් ගොයිය හිටං ඇවිල්ල බලල ගියාලූ සද්දේ මොකද්ද කියල !

අනේ අම්මපා, බෝ පැලයක් වගේ කාටවත් කරදරයක් නැතිව ඉන්න මට කියන කතන්දර …මඩ වරුසාවයි  🙂

මට ඔය ගහන මඩ වල ගාණක් නෑ … ඔය කයි කතන්දර මම කලින් අහල පුරුදු නැති ඒවා නම් ඔන්න කමක් නැහැ, ඕවට මම දැන් පදම් වෙලා.

අනික කවුරු මොනවා කිව්වත් මගේ ඇඟේ ඇලෙනවයැ  ???

ඒ හන්ද මම කිව්වා මීළඟ පාර මාත් එක්ක ගමන් බිමන් යනකොට කනේ ගහන ඇබ දෙකක් එහෙමත් නැතිනම් ඉයර් ප්ලග් (Ear Plug) දෙකක් ඇන්න එන්ට කියල  🙂 🙂 🙂

මේ හාදයෝ දෙන්න මට ඇහැරවල තියෙන්නේ අපේ දඬුමොණර යන්තරේ ගොඩ බාන්න කිට්ටු කරපු නිසා.

ඉක්මනට සීට් බෙල්ට් එක දාගන්න එපාය … හික්  .. හික් ..  සීට් බෙල්ට් ඉතින් ගෙදරින් අරගෙන එන්න ඕන  🙂

මම එච්චර වෙලා මගේ ඇඳ බවට පත් වෙලා තිබිච්චි බිම දාපු මෙට්ටය ආපහු බංකුව උඩට දාල වාඩි උනා …

මගේ මතකයේ හැටියට වෙලාව ප.ව. 8-9 ත් අතර වෙන්නට ඇති, වීදුරුවෙන් පිටත බැලුවහම අතරින් පතර යම් ජනාවාස යයි සිතිය හැකි කුඩා එලි කිහිපයක් දක්නට ලැබුනත් කෑලි කපන්නට තරම් වන අඳුර නිසා ඉන් එහාට කිසිවක් පේන්න නෑ.

තවත් විනාඩි 15කට විතර පස්සේ කාබුල් නගරය ආසන්නයට පැමිණියම් අපට විශාල ප්‍රදේශයක් පුරා විසිර ඇති කනා මැදිරි එළිවන් නිවාසයන් සහ විවිධ ගොඩනැගිලි දර්ශනය වීමට පටන් ගත් අතර පසුව එය ආලෝකමත් වූ පිරි පාරාදීසයක සිරි ගත්තු ඉතා අලංකාර දසුනක් මැව්වා.

ඒ සමගම ගුවන් නියමුවන් විසින් යානය ගොඩ බෑම සඳහා අවසාන නිවේදනය නිකුත් කළ නිසා, මොනවා උනත් හිතේ පොඩි තැති ගැන්මක් නොතිබුනත් නෙමෙයි.

හේතුව තමයි ඕනෑම ගුවන් යානයක් ගොඩබැස්සවීම කියන්නේ සාමාන්‍ය තත්වයන්හිදීත් අනාරක්ෂිතම අවස්ථාවන් දෙකෙන් එකක්, අනික තමයි ගුවන් ගත වීම.

මොකද්දෝ පූරුවේ පිනකට තනි කෑල්ලට අහසට නැගපු හන්ද වැඩෙන් 50 % ක් අහවරයි ඉතිරි කොටහ තමයි අවදානම් වැඩිම හරිය !

මේ අතරමැදට රොකට් ප්‍රහාර සහ මිසයිල (Rocket / SAM – Surface to Air Missiles) කියන සුළු වෙනස්කම් එකතු කරහම එතන තත්වය අතිශය භයානකයි කියන එක අමුතුවෙන් කියන්න අනවශ්‍යයි 🙂 🙂

කඳු පන්තියකින් වටව පිහිටල තියන නිසා කාබුල් නගරය හරියට ලොකු බේසමක පතුලේ තියනවා වගෙයි දවල් වරුවක බැලුවොත් පෙන්නේ.

කඳු වගේම නගරය පුරාම අවිධිමත්ව විසිරිලා තියන නිවාස සහ ගොඩනැගිලි අතරත් ටලිබාන්වරුන්ට සැඟවී පහර දෙන්න හොඳ තැන් බොහොමයි.

මේ විදිහට අපි ගොඩ බාන වෙලාවක ටලිබාන්වරු පහර දුන්නොතින් ඒ අපේ නපුරු වෙලාව කියල හිත හදා ගන්න තමයි වෙන්නේ  😦

මේ හේතුව නිසාම ඇෆ්ගනිස්තානයේ බොහෝ අනාරක්ෂිත ගුවන් තොටුපොළවල් වල ගුවන් යානා බැස්සවිමේදී අප බොහෝ දෙනෙකුට සුපුරුදු ක්‍රම ක්‍රමයෙන් ඍජුව ගුවන් පථය වෙත යානය පහත් කරනු වෙනුවට (Regular Overhead Landing) වඩා ආරක්‍ෂිත හදිසි ගොඩ බැස්සවීමේ ක්‍රමයක් (Tactical Landing) අනුගමනය කරනවා.

මෙය පොදුවේ “කෝක් ස්කෘ” හෝ “ස්පයිරල් ලෑන්ඩින්” (Cock Screw / Spiral Landing) යනුවෙන් හඳුන්වන්නේ එහිදී ගුවන් යානය ගොඩ බසිනා තැන වටා කිරල ඇබ ගලවනා ඉස්කුරුප්පුවක් සේ වට රවුම් ගසා එකවරම ගුවන් පථය වෙත එළඹෙන නිසා.

spiral-or-corkscrew-landing

 (“කෝක් ස්කෘ”/ස්පයිරල් ලෑන්ඩින්” / Cock Screw / Spiral Landing)

කණ්ඩා එවන් අවස්ථාවකට මුහුණ දුන් පළමු වාරය නිසාදෝ එය බොහොම නුහුරු නමුත් විශේෂ අත්දැකීමක් වූ බව කියන්න ඕනෑ !

කොහොම උනත් පුරුදු සීරුවට ගොඩ බෑමක් වෙනුවට එක වරම උස්සල පොළවේ ගැසුවා සේ යානය ගුවන් පථයට පතිත කල ගුවන් නියමුවන් ඉතා කෙටි දුරකින් එහි වේගය අඩාල කොට ගුවන් පථයෙන් ඉවතට ගැනීමට යුහුසුළු උණා.

පැය තුන හමාරක ගමනින් පසුව පළමු වතාවට අපේ හිතට දැනුණ සැනසිල්ල වචන වලින් කියා නිම කරන්න බැරි තරම් 🙂

රංජිත් නම් හොරෙන් වගේ කුරුසයක් පපුවේ ඇඳගන්නවා මම දැක්ක, රොකට් එක්ක හරි මිසයිලයක් හරි වැදුන නම් ඔය මොන සක්කරයටවත් කරන්න දෙයක් ඇතිය කියල මම නම් හිතන්නේ නැහැ !

මැරෙනවා නම් මැරෙනවා  .. ඕක තමයි ලෝක ස්වභාවය, ඒක අර සුමනදාස ගොයියා වගේ ඈයො කියන විදිහට ග්‍රහයෝ හින්දවත්, කාටවත් නොපෙනෙන දෙවියෙක් හින්දවත් නෙමෙයි …  මිනිස්සු වෙන අපි හින්ද වෙන දේවල් 🙂 🙂 🙂

කරුවලේම පිටත් බලාපුවහම තරමක් ඈතින් පාණ්ඩු පාට එළිය තිවුණු පහන් කණු වලට පින්සිද්ද වෙන්න ගුවන් තොටුපොළ ගොඩනැගිල්ල වගේම තව අවට නවත්තලා තිබුණු සිවිල් ගුවන් යානා වගේම අළු පාටින් පින්තාරු කළ හමුදා ගුවන් යානාත් දැකගන්න ලැබුණ.

මේ අතර අපි පැමිණි යානය වගේම ඇන්ටනොව් යානා, විවිධ මගී ගුවන් යානා මෙන්ම ලොකු කුඩා යුධ හමුදා ගුවන් යානා සහ හෙළිකොප්ටර් රාශියක් එළිමහනේ මෙන්ම අවට ගොඩනැගිලි වලද නවතා තිබුණා.

ඒත් එක්කම අපි තනි වෙලා නැහැ කියන පොඩි හැඟීමක් හිතට දැනුන නිසාදෝ අපට කලින් තිබුණු තැති ගැනීම තරමක් දුරට අඩු වෙලා ගියා කිව්වොත් හරි.

හමුදා ගුවන් යානා ඇති නිසා දැඩි හමුදා ආරක්ෂාව මධ්‍යයේ පැවති ගුවන් තොටුපොළින් අප රැගෙන යාමට ගුවන් තොටුපොළ වාහනයක් පැමිණෙන තුරු යානය තුලම රැඳී සිටින ලෙසත් කිසිම විදිහකින් යානයෙන් ඉවතට නොබසින ලෙසත් නියමුවන්ගෙන් අපට උපදෙස් ලැබුණා.

දහවලටත් වඩා රාත්‍රී කාලයේදී ගුවන් තොටුපොළේ ආරක්ෂාව බෙහෙවින් තර කර ඇති බවත්, මෙය බොහොම සාමාන්‍ය දෙයක් බවත් නූර් පවසපු නිසාත් කණ්ඩා එතරම් කලබල උනේ නැහැ.

නමුත් සාජා ගුවන් තොටුපොලේදී වගේ අත පය හිරි ඇර ගන්න ගුවන් යානය වටේ ඇවිදින්න වත් ඉඩක් තිබුණේ නැති නිසා හිතට ලොකු නොඉවසිල්ලක් දැනුනා.

කොහොම උනත් පැය තුනහමාරක් එක තැන හිර වෙලා හිටියත් ගොඩ බැස්සට පස්සේ එළියට බහිනකම් තියන අන්තිම විනාඩි කිහිපය තමයි ඉවසන්නම අමාරු  🙂 🙂 🙂

තිබුණු බස් රථ අනෙකුත් සිවිල් සහ හමුදා මගී යානා සඳහා යොදවා තිබුණු නිසාදෝ අප රැගෙන යාම සඳහා පැමිණියේ, පැරණි ටොයෝටා පික්-අප් රථයක්.

ගුවන් යානයේ හිටපු අපේ යාලුවා වෙච්චි “පිපිඤ්ඤා” ඉංජිනේරුවා අපේ බඩු බාහිරාදිය පිටතට අර ගන්න උදව් කළ නිසා වැඩි කරදරයක් තිබුනේ නැහැ.

අපගේ බඩුබාහිරාදිය පික්-අප් රථයේ පැටවීමෙන් අනතුරුව, ගුවන් යානා කාර්ය මණ්ඩලයෙන් සමුගත්ත අපි එම රථයෙන්ම මගී පර්යන්තය වෙත ගියා.

කාබුල් ගුවන් තොටුපොළ මගී පර්යන්තය අන් අන්තර්ජාතික ගුවන් තොටුපොළ හා සසඳන විට ඉතා කුඩා සහ පහසුකම් අතින් අවම මට්ටමක පවතින එකක්.

එය කණ්ඩා හට ගුවන් ගුවන් තොටු පොළකටත් වඩා ලංකාවේ තරමක් ලොකු නගරයක බස් නැවතුම් පොළක් සිහි ගැන්නුවා කිව්වොත් වඩාත් නිවැරදියි.

අප ගුවන් යානයට මද වෙලාවක් කලින් පැමිණි තවත් මගී ගුවන් යානයක් නිසාවෙන් මගී පර්යන්තය තුළ පිරී ඉතිරි යන තරමේ පෝලිමක් විය.

මේ අතර ඇෆ්ගානි ජාතිකයන්, ආසියාතිකයන්, අප්‍රිකානුවන් මෙන්ම යුරෝපීයයන්ද සිටියා … මේ අතර කණ්ඩාගේ වැඩි අවධානය යුමු වුණේ ඇෆ්ගානි ජාතිකයන් වෙතයි.

ඔවුන් සහ පාකිස්තානු ජාතික පටාන්වරු අතර ඉතා සමීප සම්බන්දකමක් තියෙනවා … එකම ඇඳුම් පැළඳුම්, මුහුණුවර වගේම කතාබහ කරනා විලාසය හා භාෂාව අතින් ගත්තත් වැඩි වෙනසක් නැහැ.

ඔය ඔක්කොටම වඩා හැමෝම දන්නා, ලඟින් ගියොත් නහය නැති ප්‍රශ්නයත් එහෙමමයි, මම හිතන්නේ ඒ ගැටළුව මේ ප්‍රදේශ වෙලාගත්තු දුප්පත්කමත් එක්ක බද්ධ වෙච්චි දෙයක්.

ඉතාමත් අඩු සනීපාරක්ෂක පහසුකම් සහ අධ්‍යාපනයක් යටතේ ජීවත් වෙන මේ මිනිස්සුන්ට සනීපාරක්ෂාවට වඩා පණ බේරාගැනීම සහ කුසගින්න නිවා ගැනීම වැදගත්.

මේ උදවියගේ ඇඳුම් පැළඳුම් වලින් කණ්ඩාගේ වඩාත් හිත ගත්තේ පිරිමින් විසින් පළඳින හිස් වැස්මවල්, මේ අතර ප්‍රධාන වෙන දෙවර්ගය “පකොල්” සහ “කන්දහාරි” (Pakol and Kandahari) නමින් හැඳින්වෙනවා.

(“පකොල්” සහ “කන්දහාරි”)

ආපහු ඩුබායි වෙත යනකොට මේවයින් දෙකක් සිහිවටන විදිහට අරගෙන යන්න ඕනා කියල මම හිතා ගත්ත.

පෝලිමේ ඉන්න ගමන් මම වටපිට බලනකොට තමයි දැක්කේ මගී පර්යන්ත ගොඩනැගිල්ල තුළ ඇති හැම කවුන්ටරයක්ම, පුටු මේසයක්ම සහ උපකරණයක්ම පාහේ කල් පැන ගිය ඒවා කියල.

මේවා සුද්දගේ කාලේ හරි ඊටත් පස්සේ සිද්ධ වුණු සෝවියට් ආක්‍රමණය දවස් වල පාවිච්චි වුනු ඒවාම වෙන්න ඕන.

බඩු බාහිරාදිය සහ මගීන් පරික්ෂා කරනා ස්ථානයට එළඹුනාට පස්සේ අපේ නෙත ගැටුනේ යල්පැන ගිය ගුවන් තොටුපොළේ අනෙත් කිසිවකට නොගැලපෙන අති නවීනතම X-Ray යන්ත්‍රයක් සහ බොඩි ස්කෑනරයක්.

කණ්ඩා පසුව දැන ගත්තේ එය ගුවන් තොටුපොළ ආරක්ෂාව තර කිරීම උදෙසා ඇමරිකානු ආධාර මත ඉතාමත් මෑතකදී සවි කරන ලද්දක් බවයි.

ආරක්ෂක නිළධාරීන් කිහිප දෙනෙක් මෙම ආරක්ෂක උපාංග මෙහෙයවීම මෙන්ම මගීන් පරික්ෂාව සඳහා යොදවා තිබුනද හැම දෙයක්ම සිදු වෙන්නේ ඉබි ගමනින්.

අප ඉදිරියෙන් වූ විජාතික මගීන් කිහිපදෙනෙක්ම තම බඩු බාහිරාදිය සම්බන්ධයෙන් මේ උදවිය සමග විවිධ වාද විවාදයන්හි නිරතවනු වගේම ඇෆ්ගන් ජාතිකයන් කිහිපදෙනෙක් කොපාන්විතව උස් හඬින් බැන අඬ ගසනුද දකින්න  පුළුවන් උනා.

අපෙන් මොනවා අසාවිද කියන කුතුහලය වගේම මොන වගේ කරදර වලට මුහුණ පාන්නට වෙයිද කියන එක ගැන හිතේ ලොකු චකිතයකුත් කණ්ඩාට ඇති වුණා.

අවසානයේ අප වාරය පැමිණි කල අපගේ පරිගණක අංගෝපාංග පිළිබඳ නොයෙකුත් ගැටළු පැන නැගුණත් ඒ සියල්ලේ අරමුණ වෙනකක් බවට අපට වැටහුණා.

නේටෝ සහ අනෙකුත් හමුදා කාණ්ඩයන්හි (NATO & ISAF) පරිභෝජනය උදෙසා ඇෆ්ගනිස්තානය තුළට ආනයනය කරනා බඩු බාහිරාදිය සියල්ල බදු වලින් තොරයි (Tax Exempted).

ඒ සඳහා අවැසි සියලු ලියකියවිලි අප සතුව තිබුණත් මේ වංචනික ආරක්ෂක නිළධාරීන්ගේ එකම උවමනාව වූයේ ඒවායේ නොයෙක් අඩු ලුහුඬුකම් ඇද ගනිමින් අපව රස්තියාදු කර ඉන් මිදීමට අල්ලසක් ගැනීමයි.

පළපුරුදු කාරයෙකු වූ නූර් එහිදී එකහෙලා කියා සිටියේ ලියකියවිලි සියල්ල සම්පුර්ණ බව සහ වැඩි දුර විස්තර අවශ්‍ය නම් ඔවුන් ගුවන් තොටුපොළ භාර නිළධාරීයාගෙන් හෝ හමුදා නිළධාරීන්ගෙන් විමසිය යුතු බවයි.

මෙසේ ආරක්ෂක නිළධාරීන් කිහිප දෙනෙකු සමගම තියුණු වාද විවාද කිහිපයකින්ම පසු අප මෙල්ල නොවන බව තේරුම්ගත් මේ අමනයන් අවසානයේ අපගේ බඩු බාහිරාදිය මුදා හැරියා …

භාණ්ඩ පරීක්ෂාවෙන් අනතුරුව මගීන් ගමන් කල යුතු වන්නේ ඉපැරණි පතුරු ගිය ලෑලි කවුන්ටරයන් දෙකක් වෙතයි, මේ කවුන්ටර තරමටම පැරණි යයි කිව හැකි මුහුණේ හිනාවක් නැති රැවුල්කාරයන් දෙදෙනෙකු එහි ආගමන ලියකියවිලි රාජකාරි කරන්නේය.

නොසැලකිල්ලෙන් මගීන් හට සලකන මේ අලස රැවුලන් දෙදෙනා හට රාජකාරිය එතරම් වැදගත් නොවන බව සක්සුදක් සේ පැහැදිලිය.

මගීන් විසින් අසනා ලබන පැනයකට පිළිතුරු නොදී නොඉවසිලිමත්ව ඕනෑවට එපාවට පිළිතුරු සැපයීම හෝ ඇඟට ගොඩ වීම නිතර සිදු වන්නේය.

කණ්ඩා මෙයට පෙර මෙවන් හැසිරීම් වැඩියත්ම දැක ඇත්තේ සාජාහි ආණ්ඩුවේ කන්තෝරු වල සහ ගනුදෙනු කරුවන් මළ කරදර කාරයන් සේ සලකන සිරි ලංකාවේ රාජ්‍ය බැංකු සහ කන්තෝරු කවුන්ටර වලදී පමණි !

නමුත් මේ තරඟයෙන් අවිවාදයෙන්ම කප් එක හෙවත් කුසලානය ඇෆ්ගනිස්තානයට හිමිවන බව නොකියාම බැරිය … 🙂 🙂 🙂

අපගේ වාරය පැමිණි කල තිදෙනාගේම ගමන් බලපත්‍ර එකවර රේගු කවුන්ටරය වෙත ඉදිරිපත් කළේ රස්තියාදුව අවම කර ගැනීමට උවත්, එය වෙලක හිටවූ පඹයෙක් සිහිගැන්වූ රේගු නිළධාරියාගේ බලවත් නොසතුටට හේතු විය.

නින්දෙන් ඇහැරුණු ස්වභාවයක් පෙන්නුම් කළ රේගු නිළධාරියා ගමන් බලපත්‍රයේ අලවා ඇති ඇෆ්ගනිස්තාන් වීසා පිටුව සොයා ගැනීම සඳහා අප්‍රසන්න ලෙස කෙළ ගාමින් පිටුවෙන් පිටුව පෙරළීමට නොසෑහෙන කාලයක් ගත කළේය …

කල්පයකට පමණ පසු වීසා පිටුව සොයා ගත ඔහු එදෙස උඩින් පල්ලෙන් බලා රබර් මුද්‍රාව ගැසීමෙන් අනතුරුව ගමන් බලපත්‍ර කවුන්ටරය උඩට වීසි කර සා … සා … යයි පැවසුවේ එතනින් අපට ඉවත් වන ලෙසට බව වටහා ගැනීමට අපහසු වුයේ නැත.

මෙසේ මාරක කපොළු දෙකක් පසු කළ තැන තවත් බඩු බාහිරාදිය සහ මගීන් පරික්ෂා කරනා ආරක්ෂක කපොල්ලකි … බලු බෙට්ටක් වටේ කැරකෙන නිළ මැස්සන් රොත්තක් සේ මෙතැන කලින් දෙපොළටම වඩා වැඩියෙන් ආරක්ෂක නිලධාරීන් වැහි වහැලාය !

සියලුම මගීන්ගේ  බාහිරාදිය එකින් එක අදිමින් රටේ නැති ප්‍රශ්න සහ නිදහසට කාරණා විමසීම අහවර වන්නේ  “භක්ශිෂ් … භක්ශිෂ් …” (Baksheesh) යනුවෙන් අල්ලස් ඉල්ලීමෙනි.

මේ සඳහා වැඩිපුරම ගොදුරු වන්නේ විවිධ කටයුතු වෙනුවෙන් ඇෆ්ඝනිස්තානයට ඇතුළු වන පිට රැටියන්ය … ගුවන් තොටුපොළේ ඇෆ්ගානි පාගා මරුවන් හට පිට රැටියන් රත්තරං ඉල්ලමක් හා සමානය 🙂 🙂 🙂

ඇතැම් පළපුරුදුකාර මගීන් ඩොලර් 5 – 10 අතමිට මොළවා ඉක්මනින්ම ලිස්සා යන අතර එය ප්‍රතික්ෂේප කරනා මගීන් හට නොයෙක් අකරතැබ්බයන් වෙත මුහුණ පාමින් රස්තියාදු වීමට සිදු වන්නේය.

බොහෝ යුරෝපීයයන් මෙවන් දේට දැඩි අකමැත්තක් දක්වන නිසා කිසිම විටෙක ඒ වෙත විරුද්ධත්වය පෑමට පසු බට නොවන්නේය. ඒ නිසා ඔවුන් සහ ආරක්ෂක නිළධාරීන් අතර දැඩි මතභේද හට ගැනීම සුලභය …

මෙසේ ඇතිවන  වාද විවාද බොහෝ විට දෙපසින්ම බිරුසන් දීමක් දක්වා ඇවිළී ගියත් යුරෝපීයයන් තම මතයෙන් පසු නොබසිනා නිසා ඔවුන්ගෙන් සතයක්වත් නොලැබෙන බව තේරුණ තැන යන්නට ඉඩ හරින්නේය.

නමුත් ඒ වන විට අඩුම තරමින් පැය බාගයක්වත් රස්තියාදු වී කාලය කා දමා අහවරය.

අන් සෑම තැනකදී මෙන්ම දුඹුරු සහ කහ හම ඇති ආසියාතිකයන් සඳහා යුරෝපීයයන් හට ඇති ගරු සැලකිලි මෙතැනදී ලැබෙන්නේ නැත.

කිසිඳු වරදක් නොකළත් යුරෝපීයයන් මෙන් හැසිරීමට ගිය ඉන්දියානු සහ පිලිපීන ජාතිකයන් දින ගණනාවකට පසුව පොලිස් අත්අඩංගුවෙන් මුදවා ගැනීමට සිදු වූ අප්‍රසන්න කතාන්දර එමටය.

මේ විගඩම් වලට මුණ දීමට අපගේ වාරය පැමිණි කළ ඔවුන් සමග හින්දි සහ උර්දු භාෂාවෙන් කතා බහ කළ නූර් තම ආරක්ෂක හැඳුනුම්පත් සහ විවිධ ලියකියවිලි ඉදිරිපත් කළේය.

සුපුරුදු “භක්ශිෂ්”  ප්‍රශ්නයේදී කිසිඳු අමතර ගෙවීමක් ප්‍රතික්ෂේප කළ නූර් අප සියලුදෙනා ගමනාන්තය කාබුල්හි NATO හමුදා මධ්‍යස්ථානයක් වෙත බව සඳහන් කළේය.

විනාඩි දහය පහළොවක රස්තියාදුවකට පසු සහ එකම දේ පුන පුනා කීමෙන් අනතුරුව ඒ මුර කපොල්ලෙන්ද ගැලවී යාමට අප සමත් උවත් … එතැන සිට මගී පර්යන්තයෙන් පිටට එන සුළු දුරට හතර පස් පොලකදිම අනවශ්‍ය බොරු සෝදිසිකිරිම මෙන්ම නොවරදින “භක්ශිෂ්” ඉල්ලීමද සිදු විය.

ඒ සෑම වතාවකදීම අප අත මුදල් නොමැති බව හෝ … ඉන් පෙර හමු වූ නිලධාරීන්හට පිදීම නිසා මුදල් අහවර වී ඇති බව හෝ කියා ලිස්සා යාමට අප සමත් වීමු.

මේ සිදුවීම් දස වසරකට පසුව ආපසු හැරී බලන විට ඉතා හාස්‍යජනක උවත් එදා එම අවස්ථාවේ මා හට ඇති වුයේ දැඩි පිළිකුලක් සහ කෝපයක් බව නොකියාම බැරිය !

මා අද වන තුරු ලොව හතර පැත්තෙන්ම ඇති ගුවන් තොටුපොළ වලදී අත් විඳ ඇති ඉතා නරකම සහ අප්‍රසන්නම අත්දැකීම මෙයයි … මෙසේ එළිපිට අල්ලස් ඉල්ලීම වෙනත් කිසිඳු තැනක මා අත්විඳ නැත !

කෙසේ හෝ මගී පර්යන්තයෙන් ඉවතට පැමිණි අපට මළානික විදුලි පහන් කණු වලට පින්සිද්ධ වන්නට තැනින් තැන විසිරී ඇති මුරකපොලු සහ මුර කුළුණු රාශියක් දැක ගැනීමට හැකි විය. ඒ සෑම තැනකම අවි මානා ගත් සෙබළු කිහිප දෙනෙකු විය.

ගුවන්තොටු පොළෙන් එලියට පැමිණියත් අපගේ යුද්ධය තවමත් අහවර නැත. මෙහි වැඩි වෙලා රැඳී සිටීම තවත් කරදර වලට අත වැනීමකි.

එනිසා හැකි ඉක්මනින් අප කැඳවාගෙන යාමට පැමිණි මග පෙන්වන්නා සොයාගෙන මෙතැනින් පිටව යායුතුය, නමුත් අපට තිබුණු එකම ප්‍රශ්නයත් එයමය.

සුපිරි කොම්පැණියේ බෝඩ් ලෑල්ලක් හෝ නිළ ඇඳුමකින් සැරසුණු කිසිඳු පුද්ගලයෙක් නොසිටියෙන් අපට දෙලෝ රත් විය !

~ මතු සම්බන්ධයි !

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ IV කොටස ~ පිපිඤ්ඤා සැන්විච්, යහතින් ගොඩ බෑම සහ ඇන්ටනොව් ගැරේජ් !

Advertisements