vallentines-day-special

මේ දවස් වල රෝස මල්, සැන් පවුඩර්, චොක්ලට් මෙන්ම රොමෑන්ටික් ඩිනර් ගැන දැනුම්දෙමින් අපගේ ගැලවුම්කාරයින් වන අටෝරාසියක් වෙළඳ ආයතන විසින් එවනා විවිධාකාර ඊ- තැපෑල් වැහි වැහැලාය.

උදේ පාන්දරම අඩු තරමේ මෙවන් අතිශය වැදගත් ලිපි 15-20 ක් වත් කොම්පිටරේ e-කුණු බක්කියට දමන්නට සිදු නොවන්නේ එහෙමත් දවසකය 🙂

ඒ මදිවාට අපට ආදරය කරනා ආකාරය ගැන ගුරුහරුකම් කියා දෙන්නටද උදවිය බොහෝමය 🙂

තම ආදරවන්තයා හෝ ආදරවන්තිය හට විවිධ තෑගි භෝග පිරිනැමීමේ වැදගත් බව සහ ඒ සඳහා ගත හැකි හොඳම විධි ගැන නොමිලයේම උපදෙස් දෙන වටිනා උපදෙස් පත්‍රිකා පවා ඒ අතර ඇත්තේය.

මේ ඔක්කොම මළ සමයං පෙබරවාරි 14 වනදාට යෙදෙන පෙම්වතුන්ගේ මෙන්ම හිටපු පෙම්වතුන්ගේද සාක්කු හිස් කිරීමට සමත් “නවම් සන්නිය” හෙවත් “වැලන්ටයින් දිනය” හේතු කොටගෙනය !

මෙය ආදරවන්තයින්ගේ දිනය ලෙස නම් කර තිබුණත්, ඇත්තටම මෙය වැලන්ටයින් මුදලාලිලා අපේ පොකට්ටුවට පෙම් බඳිනා දවස ලෙස නම් කලොත් වඩාත් ගැලපෙන බව මගේ පුද්ගලික මතයයි 🙂

මට නං සෑම අවුරුද්දකම සාන්ත වැලන්ටයින් ගොයියා ගැන මේ කාලය තුල ඇති වන්නේ කන්න තරම් අප්‍රමාණ ආදරයකි.

නිකං ඉන්න බැරිවට උන්දැ තමයි මේ අහක ඉන්න කෙල්ලන්වයි හාමිනේලවයි ෆෝම් කරන්නෙ, කෙල්ලෝ නම් තව කමක් නෑ වයසේ වැරැද්ද කියල කියතැහැකි, මේ ගෙදර ඉන්න ඇන්ටිලාගෙන් බේරෙන්න බැරි එක තමයි පුරස්නෙ !

මේ දුක්බර කාල පරිච්චේදය අසරණ කොල්ලන්ට ** අතිශය අපලය, කෙල්ලන් ඇති එකා සාක්කුව ගැන සිතමින්ද කෙල්ලන් නැති එකා ඒ ගැන සිතමින්ද තැවෙන්නේය.

** දැන් බුරුවො හත් දෙනෙකුගේ වයස ගියත් මාත් තවමත් කොල්ලෙක් කියා හිතන්නට කැමතිය 🙂 **

එනිසා කිසිම පිළිසරණක් නැති අය සීනිගම දේවාලයට ගොස් වැලන්ටයින්ට මිරිස් ඇඹරීම, සුමනරත්න මහත්තයා ලව්වා වේලා පත්කඩය බලවා ගැනීම හෝ දෙහි ගෙඩියක් කප්පවා සෙතක් ශාන්තියක් සිදු කර ගැනීම සුදුසුය !  (බෝධි පුජාවක්, කතරගම ගොස් පොල් ගැසීම උවද නරකම නැත)

කොල්ලන්ගේ අපලය කෙසේ වෙතත් මේ කාලයේදී කොල්ලන් නැති කෙල්ලන්ට පවා බමරය වැල්ලේත් කැරකෙන හොඳ කාලයක් උදා වන්නේය, පස්සෙන් එන කොල්ලන් ප්‍රමාණය ඉහල යන අතරම එයට සමානුපාතිකව තෑගි භෝග ලැබීමේ ප්‍රවනතාවයද ඉතා වැඩිය.

කෙල්ලන් සහ හාමිනේලා ඇරෙන්නට සතුටක් ගෙන එන්නේ චොක්ලට්, රෝසමල් සහ වැලන්ටයින් කාඩ් විකුණන මුදලාලිලා හට පමණක්ම විය යුතුය.

මේ ඉළව් පෙබරවාරි 14 වෙනිදාට ඇරෙන්නට මිනිසුන්ට ලව් කරන්න වෙන දවස් නැතිද යන පැණය මතු වීම සාධාරණය, සමහර විට ඒ අවුරුද්දේ තවත් දවස් 364 ක් ඇති බව ඒ උදවියට අමතක වීම නිසා වන්නට පුළුවන.

ඔය කාට මොනවා අමතක උනත් හාමිනේලාට සහ ගෑණු ළමයින්ට මේ දිනය අමතක වීමට කිසිම හේතුවක් නොමැත !

රටට ලෝකෙට නැව් ටෝක් දුන්නාට කණ්ඩාටත් මේ සන්තෑසියෙන් ගැලවෙන්නට නොහැක්කේය 🙂

හාමිනේද මෙදා පොටේත් තෑගි භෝග බලාපොරොත්තු වන බව වහෙන් ඔරෝ පවසන්නේය.

තම හද පත්ලෙන්ම නැගී එන ආදරය මෙන්ම වෙන කාටවත් හමු නොවූ තරම් යහපත්, දෙනෝ දාහකින්වත් හොයාගන්නට බැරි ස්ත්‍රී රත්නයක් ලැබීමට මං ඉතා වාසනාවන්ත බවද පුන පුනා පවසන්නේය.

ඇය කියනා ආකාරයට එවන් හාමිනේලාව බලා කියා ගැනීම සහ සතුටෙන් තැබීම මා වැනි වාසනාවන්ත මහත්තුරුන්ගේ පරම යුතුකමය.

මට මේ කතන්දර සිහි ගන්වන්නේ අපේ ගෙදර ඉන්නා බළල් තඩියාය … 🙂 🙂 🙂

බළල් නාම්බාත් අපේ හාමිනේ වගේමය, අල්ලන මීයෙක් නැති උවද කන බොන වෙලාවට පුරු පුරු ගාමින් කකුල වටේ දැවටෙන්නේ තමන්ද ඉන්නා බව වහෙන් ඔරෝ දන්වන්නටය …

වටින් ගොඩින් දැන්වීම වැඩ නොකළහොත් කෑ මොර දීම, මේස පුටු උඩට නැගීම සහ වලං පිඟන් වලට හොට දැමීම වැනි මීයන් අල්ලන්නන්ගේ සංගමය අනුමත කළ සෘජු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට “ඥාව්වා” යොමු වන්නේය.

බළලා අඬන්නට පටන් ගත් විට කෑමට යමක් දෙන තුරු කට පියා ගැනීමේ සිරිතක් ඌට නැතුවා සේම හාමිනේගේ දොළ දුක සංසිඳෙන්නේ අඩුම තරමේ කාඩ් එකක් හෝ අරන් දුන් පසුය  🙂

no-valentine-present-for-you

(හාමිනේට වැලන්ටයින් තෑගි නැති වූ කල .. )

කසාද බැඳ දෙන්න දෙමහල්ලෝ වූ විට තව දුරටත් ආදරවන්තයින් මෙන් කල් ගෙවීම නුසුදුසු බව වටහා දීමට මා උත්සාහ ගත්තද අවාසනාවට එයද ගඟට ඉනි කැපුවා සේ අසාර්ථක වූවා පමණක් නොව තත්වය තවත් උග්‍ර අතට පෙරලුවේය   … 😦 😦 😦

පිරිමි ඔය ගොල්ලොන්ගේ ඔක්කොම කතා ඔයාලගේ වාසියට තමයි !

ඇයි එතකොට බැන්ඳට පස්සේ ආදරය කරන්නෙ නැද්ද ???

මට ඕන ඇති තෑග්ගක් නෑ …!  😦

හාමිනේගේ ප්‍රශ්න වලට දෙන්න උත්තර දෙන්නට වෙනත් විදිහක් නොමැත, ඒ නිසා අන්තිම මොහොතේ හෝ වැලන්ටයින් තෑග්ගක් හොයා ගන්නට උත්සාහ ගැනීම නුවණට හුරුය.

තෑග්ගක් අරන් නොදුන්නොතින් හාමිනේගේ හිත හැදෙන්නේ නැත, මාසයක් පමණ යන තෙක් විවිධ ගැස්සිලි පිප්පිලි ආඩපාළි අසන්නට වෙන්නේය …

නමුත් කොයිතරම් ඔලුව වෙහෙසුවත් කිසිම අලුත් අදහසක් එන්නේද නැත !

කිසිඳු ප්‍රතිපලයක් නොමැති තැන ඊයේ පෙරේදා දවසක හාමිනේට තෑග්ගක් සොයමින්, අරමුණකින් තොරව ජංජාලයේ සැරිසරන්නට කණ්ඩා පටන් ගත්තේ එයින්වත් සහනයක් ලබා ගැනීමේ අරමුණ ඇතිවය.

නමුත් ඒ වැඩේ හරි යන්නේද නැති පාටය, ඇති සියලු දේ එක්කෝ ඉතා බොළඳ විකාරයන්ය එසේත් නැතිනම් හැම දේම නොවටිනා ගණන්ය.

සාන්ත වැලන්ටයින් ගොයියා ඉන්නා තැනකට හොයාගෙන ස්වර්ගයටම ගොස් හොම්බට දෙකක් අනින්නට හිතෙන්නේ මේ වෙලාවටය !

නමුත් වැඩේ අත අරින්නේ නැති තැන ඉබා ගාතේ සරද්දී අමුතුම ආකාරයක වෙළඳ දැන්වීමක් මගේ නෙත ගැටුනේ අහම්බයෙනි !

මේ මහා අමුතු පහේ තෑගී භෝග දෙන විදිහකි … වඩාත් පැහැදිලිව කියනවා නම් තම ආදරවන්තයා හෝ ආදරවන්තිය වෙනුවෙන් අමුතුම ආකාරයේ (යටි) රැවුල බෑමේ හෝ පච්චා කෙටීමේ පැකේජයකි.

තරමක් වැඩිහිටියන්ට පමණක් වන ගතියක් තිබුණද, මේ ගැන නොකියාම බැරි තරමට වැඩේ මල් මසුරංය !

යුරෝපයට මෙවැනි විගඩං එතරම් අලුත් දෙයක් නොවුණද ඔටුවගේ දේශයේ මෙතරම් ප්‍රසිද්ධියේ එවන් දේ ප්‍රචාරය කරනු මා දැක්කේ ප්‍රථම වතාවටය.

සිරි ලංකාවේ දැඩි ඉල්ලුමක් ඇති කපල් පැකේජ් මෙන් දෙන්නා දෙමහල්ලෝම වැඩේට කැමති නම් සිත්ගන්නා සුළු වට්ටම් පවා පිරිනැමීමට තරම් මේ සැලූන් එකේ උදවිය පරිත්‍යාගශිලීය

ඉතා සනීපාරක්ෂක ක්‍රමයට අති නවීනපහසුකම් උපයෝගී කරගෙන වෘත්තීය පළපුරුද්ද සහිත කාර්ය මණ්ඩලයක් විසින් සිදු කරන බව පාරම් බෑම මෙන්ම තෘප්තිමත් ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිචාරද මේ සමගම ප්‍රචාරය කර තිබුණේ කාගේත් උනන්දුව වැඩි දියුණු කිරීමට විය යුතුය.

විවධ ආකාරයේ හැඩ තල වලට කරනා මේ රැවුල බෑම ඉතා අනර්ඝය, එකට බැඳුණු හදවත්, මල්සරා, රෝස මල් මෙන්ම තම ආදරවන්තයාගේ මුලකුරු වල හැඩයට පවා රැවුල බා ගැනීමේ අපහසුවක් නැත.

එයටත් ඔබ්බට යන්නට කැමති උදවිය හට තමන් කැමති රටාවක් හෝ තම පෙම්වතා හෝ පෙම්වතියගේ නම් පච්චා කොටා ගැනීම පවා සිදු කිරීමට හැකිය.

මේ පච්ච කෙටිල්ල හෝ පෙනෙන නොපෙනෙන අමුතු රැවුල කැපිල්ල හැමෝටම පෙනෙන්නේ නැති නිසා කරදරයක්ද නැත්තේය … 🙂 🙂

රැවුල කැපිල්ල කෙසේ වෙතත් නම් ගම පච්චා කෙටිල්ල නම් ලෙහෙසි පහසු හෝ නුවණක්කාර කටයුත්තක් නොවේ … වේදනාව ඉවසා ගැනීම කෙසේ වෙතත් පෙම්වතුන් එහා මෙහා වන විට යන එන මං නැති වන්නේය.

මකා ගන්නට බැරි උනොතින් ඒ තම අවසාන වැලන්ටයින් එක වීමටද ඉඩ ඇත්තේය  🙂 🙂 :)පච්ච ගැන කතා බහ කරනා විට මතක් වූයේ, මටත් සෑහෙන කාලයක සිට පච්චයක් කොටා ගැනීමට දැඩි උවමනාවක් ඇති බවය …

මා වැඩියත්ම කැමති සිංහ රුවක් හෝ ෆීනිකස් පක්ෂියෙකු අත් ගොබයක කොටා ගැනීමටය, නමුත් පොඩි කොස්සකට ඇත්තේ නිසි බලධාරිණිය මේ කෙරෙහි දක්වන දැඩි විරෝධයයි …

ඇයව මේ සඳහා නම්මවා ගැනීමට මා නොගත් උත්සාහයක් නොමැත්තේය … මුලින්ම බැලුවේ ගැහැණුන් කාටත් පොඩියට හෝ අති දරුණුවට ඇති ඉරිසියාව ප්‍රයෝජනයට ගෙන වැඩේ කර ගන්නටය.

ඒ සඳහා උදව්වට ගත්තේ මාගේ දීර්ඝ කාලයකට පෙර සුපිරි කොම්පැණියේ මිතුරියක වූ “එමා” ය.

එකල පඩි රෝල් අංශයේ කළමනාකාර (Payroll Manager) ධූරය දැරූ එමා, රැජිනගේ රටේ උපන් උසට කැපෙන මහතකින් යුතු ඇහැට කනට පෙනෙන සුද්දියෙකු වූ අතර අනිත් සුද්දියන් මෙන් නොව රූපයෙන් පමණක් නොව ගති ගුණ අතින්ද ඉතා සුන්දරය.

නිතරම දුම දැමීමේ අසහනයෙන් පෙළුණු එමාව ඇවිස්සීමට උවමනා වූ විට “බටේ කටේ” යයි මා නිතර විහිළු කළ අතර එහි තේරුම නොදන්නාමුත් එය වර්ණනාවක් නොවන බව ඇය හොඳින්ම දත්තීය.

ඒ දවස් වල එමා නිදහසේ දුම් අදින්නට දොළොස් වැනි තට්ටුවේ බැල්කනියට යන කල එතැන ජන ගහනය වැඩි වී කාර්ය අතිශය බහුලවන බව මට මතකය.

සුපිරි කොම්පැණියේ කලින් සිටි IT පාලුවන් විසින් අල කරනා ලද පඩි නඩි සකසන මෘදුකාංගය ගොඩ දැමීම නිසාත්, මාසයක් තිස්සේ අට දහසකගේ පඩි නඩි ගෙවන්නට කරණා ගිනි විජ්ජුම්බරය දින කිහිපයකට බැස්සීම නිසාත් ඒ දවස් වල පටන් එමා මගේ ෆිට් එක නොහොත් මැංගෝ ෆ්‍රෙන්ඩ්ය 🙂

මම කියනා ඕනෑම දේකට බොක්කෙන්ම සපෝට්ය, “වානර සම්පත්” අංශයේ පිස්සු පූසියන්ගෙන් මෝඩ ඉල්ලීම් එන විට මම ෆෝම් කර යුද්ධයට යවන්නේ එමාවය.

ගැහැනුන් සමග යුද්ධ කරනවාට වඩා ඒ අය එකිනෙකා යුද්ධ කරනවා බලා සිටිනා එක හොඳ ත්‍රාසජනක  චිත්‍රපටියක් බැලුවා හා සමානය !

පොත්ත සුදු, ඇහැට කනට පේනමුත් එතනින් එහාට ගත යුත්තක් නැති  “වානර සම්පත්” ලලනාවෝ සුපිරි කොම්පැණියේ එමට විය.

ඒ ගැන සියල්ල දැන් කියන්නට ගියොත් මේ ලිපිය පල කරන්නට වන්නේ ලබන අවුරුද්දේ බැවින් ඒ ගැන පසුවට ලියමි.

එමා පච්ච වලට බොහෝම මනාපයක් දැක්වූවාය, අතේ පයේ මෙන්ම තව බොහෝ තැන් වලද දකින නොදකින පච්ච ඇති බව කියා ඇත්තේය 🙂

මෙයින් දකින මා දුටු පච්ච වලින් මා වඩාත් සිත් ගත්තේ අත් ගොබය පිරෙන්නට විහිද ගිය රෝස මල් රටාව සහ තුනටියේ කොටා ඇති ලියවැලයි **tramp-stamp

** කාන්තා පාර්ශ්වය විසින් තුනටියේ කොටනා ලබන මෙම පච්ච “ට්‍රැම්ප් ස්ටෑම්ප්” යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන්නේය **

කණ්ඩා හාමිනේද සුපිරි කොම්පැණියේ මා සිටි ගොඩනැගිල්ලේම එහා පැත්තට වන්නට වැඩ කල නිසා එමාව හොඳින් දැන සිටියාය. **

** අපේ ඔපීසියේ එවුන් නම් කිව්වේ මෙච්චර ලස්සන කෙල්ලෝ ඉන්දැද්දී හදිසියට කොටුවක්වත් පැන ගන්නට බැරි වෙන විදිහට හිරේ විලංගුවේ වැටුණු මං තරම් කරුමක්කාරයෙක් තවත් නැති බවය !

ඒ ගැන නං මමත් සහමුලින්ම එකඟය, ලබා උපන් හැටි තමයි  🙂 🙂 🙂  **

නමුත් ඉරිසියාව කෙසේ වෙතත් ජාත්‍යන්තරය ජයගෙන එමා සමග හාද වන්නට උපන් කොටෙක් වන මා හට පොඩි බංකු කෑල්ලක්ද අවශ්‍ය බව දන්නා හාමිනේ මේ කයි කතන්දර මායිම් නොකළත්, එමා සම්බන්ධ කර විහිළු තහළු කිරීමට අතපසු නොකළාය.**

** ඔය කිව්වට අම්මප අපේ හාමිනේ හිටියේ නැත්තං, මමත් ඇප්ලිකේෂන් එකක් දානවා, ඕ යේස්   🙂 🙂 🙂  **

ළඟ පාත උදවිය සිටිනා විට එමාගේ නම කියන්නට බැරි නිසාවෙන් එමා “පච්ච නංගි” බවට පත් වන්නේය 🙂

හාමිනේව ඇවිස්සීම සඳහා පච්ච නංගිවම ආයුධයක් බවට පෙරලා ගන්නා මම අපෝ පච්ච කියන්නේ ඔව්වා මොනවද තව ඔයිට වඩා ඕනෑ තරම් දේවල් තියනවද …

ඒ විතරක් නෙමෙයි ඔයා දැකල නැහැනේ … මෙසේ ඇදී යන මාතෘකාව, දිව විද දමනා මුදු හෙවත් “ටංග් රින්ග්” (Tongue Ring) සහ “බෙලී පියසිං” (Belly Piercing) හෙවත් නාභියේ දමනා මුදු ගැන අතින් පයින් දමා ලුණු ඇඹුල් සහිතව විස්තර කිරීම මගේ සිරිතයි.

හාමිනේව තම්බන්නට මගේ ලුණු මදිය, මේ කතන්දර වලින් බාගයක් සුරංගනා කතා බව හාමිනේ දන්නේය.

නමුත් කතාන්දර වලින් හොඳ හැටි හාමිනේ පදං වූ විට ඉතිරි පියවර ආරම්භ වන්නේය …

කණ්ඩා : අම්මප එමා වගේ “පච්ච නංගි” කෙනෙක් ලබන්න පිං කරන්නට ඕනෑ, බලන්නකෝ අර පච්ච ටිකේ ලස්සන !

හාමිනේ : ඔව් … ඔව් … පච්ච විතරයි අඩු දැන් !

කණ්ඩා : වෙන පච්ච ගහන්න බැරි එකේ, මටත් හිතෙනවා අම්මප එමාගේ නම හරි අතේ කොටා ගන්න … !!!

හාමිනේ : මොකා, ඒ මොකටද එමාගේ නම කොටා ගන්නේ මං ඉන්නකොට  ???

කණ්ඩා : නෑ ඉතින් මොනවා උනත් කෙල්ල ලස්සනයිනේ …

අනික නෝන දන්නවනේ අපි ලස්සන ගෑනු ළමයින්ට සපෝට් කියල 🙂

හාමිනේ : අනේ මේ යන්න මගේ යකා අවුස්සන්නේ නැතිව, එනවා විකාර කියවන්න !!!

හාමිනේ ඒ කතන්දර වලට නැවෙන්නේ නැතිවා උනත්, ඩිංගක් වෙන්න තරහා ගොහින් පාටය. අර මක්කට තරහ ගන්නවද මන්ද ? මට නං තේරෙන්නේ නැහැ 🙂

කණ්ඩා : හරි ඉතින් අකමැති නම් කමක් නෑ, හැබැයි හාමිනේ කැමති නං ඒ වෙනුවට මං හාමිනේගේ නම උනත් කොටා ගන්න ලෑස්තියි !

මම කට කහනවාට කියන කතා හාමිනේට විශ්වාස නැත, නමුත් ඉන් කොහෙත්ම පසු බට නොවන මම ඒ ගැන දිවුරමින් කර කියා සිටිනා විට හාමිනේගේ හිත තරමක් මොළොක් වන්නේය.

කණ්ඩා : කතරගම දෙයිහාමුදුරුවන් පල්ලා ඇත්තමයි මේ කියන්නේ !

හාමිනේ : හරි මට ඔය තරම් ආදරේ නම්, කියන්නකෝ බලන්න කොහෙද දැන් ඔය කියන පච්චේ ගහන්නේ ???

මගේ ගැටයට හාමිනේව හසු කරගන්නට හොඳම වෙලාව දැන්ය … තමන්ගේ නම පච්ච කොටා ගන්නවා කී විට හාමිනේ ගේ හිතටද පොඩි කිතියක්  ඇති වුනා වගේය !

කණ්ඩා : වෙන කොහෙද ඉතින් ඔයා ඉන්නේ පපුවෙනේ කොයි වෙලාවෙත් !

ඉතින් පපුවෙම තමයි ගහන්න හිතාගෙන ඉන්නේ …

හාමිනේ : අනේ යන්න ඔය මයිල් වනාන්තරයත් එක්ක කොහොමද ඔව්වා කොටන්නේ ???

කණ්ඩා : ඒක කොටන එකා බලා ගනීවිනේ, බැරිය ඔය පච්ච කොටන හාදයට තණකොළ කපන මැසිමක් වත් ගිහින් දෙන්න !

හාමිනේ : විහිලුවට නෙමෙයි අනේ ඔයා මොකද්ද කොටන්න හිතුවේ ??? කියන්නකෝ ආඩම්බර නොකර !

කණ්ඩා : කියන්නං හැබැයි ඕං තරහ අර ගන්න බෑ කිව්වට පස්සේ …

එක්කෝ ඕන නෑ ..  මොකටද නිකන් අපි වචන නාස්ති කර ගන්නේ ???

හාමිනේ : හරි … හරි … කියන්නකෝ ගණන් උස්සන්නේ නැතිව !!!

කණ්ඩා : මේන් මෙහෙමයි … හරියටම පපුව හරහට ගහනවා

*** සමග වාසේ !

හාමිනේ : අනේ මේ මගෙන්  ^%@ %%##  &^(^  &$^$^ (&&$#$@ %#&$&^^ *&%&%&%& !!!

පච්චයක් කෙටිම කෙසේ වෙතත් හාමිනේ වෙන මොහොකින්වත් මට නොකෙටුවේ තියන ආදරයටම විය යුතුය, වැලන්ටයින් සමරන්න එකම මදැයි !

හාමිනේට වැලන්ටයින්ගේම සරණයි මට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්නාසේලාගේම පිහිටයි !

~ නිමි !

ප.ලි.

මේ ලිපිය ලියනා අද දවසේ කලින් කියූ වෙළඳ දැන්වීම සොයා ගැනීමට නොසෑහෙන සේ වෙහෙසුනත් එය නැවත සොයා ගැනීමට අපොහොසත් වූ බව දන්වන්නේ ලාම්පු සංවේගයෙනි !

කරුමයට මෙන් ඒ හා සම්බන්ධ පින්තුරයක්වත් බා ගන්නට බැරි උන එක ගැන හිතට අමාරු නමුත්, එම දැන්වීම ඔටු ආණ්ඩුවේ කතුරකට හසු වී කැපී යන්නට ඇතැයි යන්න මගේ මතයයි.

කාට හරි සුවිශේෂ වැලන්ටයින් එකක්වත් සමරන්න දෙන්නේ නැති ඔටුවෝ … චික් විතරක් !

Advertisements