black-valentine

අද වැලන්ටයින් දවස, හාමිනේගෙන් සද්දයක් නැහැ, මට දවස පැටලුනා වත්ද ?

මොකද්දෝ හේතුවකට හාමිනේගේ හිත රිදිලා නැතිනම් දැනට දවස් කිහිපයක ඉඳලම වහෙන් ඔරෝ නානා ප්‍රාකාර ඉඟි කරපු හාමිනේට වැලන්ටයින් දිනය අමතක වෙන්නේ කොහොමද කියන එක ලොකු ගැටළුවක් !

වැලන්ටයින්ට බම්බු ගහගන්න කිව්වත් මේ ඔටුවගේ රටේ හාමිනේට වඩා කෙනෙක් කොහෙන්ද මට ?

හාමිනේ තරමක් හිත කරදරෙන් හිටි බව මම නොදන්නවා නෙමෙයි, අනික ඒකට මුල් උනේ මම කරපු ගොන් වැඩක් බවත් මම දන්නවා උනත් පහුගිය දේවල් ගැන දැන් කරන්න දෙයක් නැහැ.

පහුගිය සතියේ යාළුවො කාණ්ඩයක් ඇවිදින් ගිය නිසා වැඩිය හිතන්න මතන්න කාලයක් නොතිබුණු හන්ද ඒ හැටි ගානක් තිබ්බේ නැහැ … ඒත් දැන් යාලුවොත් නැති නිසා ගෙදර තවත් පාළුයි !

ඉතිං උදේ පාන්දර හාමිනේට සුභ පතල උණුසුම් හාද්දක් දීල බැස්ස එළියට, මොන දවස ලැබුව උනත් රාජකාරිය කියන්නේ දේවකාරිය ඒක මග හරින්න හොඳ නැහැ නොවැ.

වැලන්ටයින් කිව්වට කොහෙද අහසම කලූ කරල තනිකරම මුස්පේත්තු පාටයි, හරියට වැලන්ටයින් සමරන්න කාත් කවුරුත් නැති කෙල්ලෙක්ගේ මුහුණ වගේ !

මහ පාන්දර හොඳටෝම වැහැපූ ලකුණු හැම තැනම, වතුර බහින්න කාණුවක් වත් නැති එකේ අඩියෙන් අඩිය දිය කඩිති සහ සැර වතුර පාරවල්.crossing-road-on-a-rainy-day

සමහර වාහන නවත්වන රථ ගාල් තාවකාලික ජලාශ බවට පරිවර්තනය වෙලා, වාහන වල අයිතිකාරයෝ කකුල් තේමා නොගෙන වාහන වෙත යන්න, නගින්න අසාර්ථක උත්සාහයක යෙදෙන ගමන්.

තවත් තැනක මොළය තියන මනුස්සයෙක් රථ ගාල හරහට ගලෙන් ගල පනින්න පුළුවන් දුරින් ගල් පේළියක් දාල. ඒත් සමහර උදවිය ඒ ගල් උඩ නොදන්නා සර්කස් දාන්න ගිහින් මඩ වතුර නාගෙනම වාහනයට නගිනවා.

උදේ පාන්දර මේ වගේ  අකටයුත්තකට මුහුණ දුන්නහම දවසම එපා වෙනවා … තවත් මේ විදිහට දිගටම වැස්සොත් නවත්තල තියන වාහන පීනන්න ගනීවි !

දිගටම වහිනව තාමත් වැස්ස නවත්තල නැහැ, දැන්ම නවත්තන පාටක් නැති ගානයි.

එළියේ හොඳටම වහිනවා, යන ගමන් කාර් එකට ගිහින් කුඩය අරගෙන යනවද ?

ඕනෑම දේක ප්‍රායෝගික පැත්ත දකින හාමිනේගේ වචන ආපහු කන ලඟින් ඇහෙනවා වගේ දැනුන !

හැමදාමත් අත් දෙක වන වන කන්තෝරුවට යන කම්මැලියෙක් වෙච්චි මට, වැස්සට තෙමුණත් කුඩයක් උස්සන් යන්න කම්මැලියි.

නමුත් හාමිනේගේ හිත රිද්දන්න බැරිකමට “හ්ම්” කියල හෙමිහිට ලිස්සල ආවත්, දැන් හිතෙනවා ආපහු ගිහින් කුඩේ ගේන්න.

ඔටුවගෙ රටේ වැහි අඳුරක් වැටෙන්නෙ අවුරුද්දටම දවස් කිහිපයයි, නමුත් මේ පාර පහු ගිය සති කිහිපය පුරාම සැරින් සැරේ වැස්ස !

වෙනදට දුම් දාන්න පිච්චෙන තද අව්වටවත් එළියට නොඇදෙන අටෝරාසියක් පාට කුඩ අද එළියට ඇවිල්ල, ඒ අවුරුද්දට කිහිප වාරයක් ආඩම්බරෙන් කරන ශිල්ප දැක්වීම වෙනුවෙන් !

කුඩ ඉහලාගෙන යන උදවිය චීන සර්කස් පුරුදු වෙච්චි අයද කොහෙද, එක එක ජාතියේ සෙල්ලම් දාල වතුර පාරවල්, දිය කඩිති මග අරිනවා … පිනුම් කැප්ටන්ලා 🙂

car-park-on-a-rainy-day

ඒ අස්සෙ ඉහ මුදුනේ ඉඳන් දෙපතුලටම වැහෙන්න රේන් කෝට් දෙකක් දා ගත්තු පොඩි එවුන් දෙන්නෙක් පාරේ ඈතින් එනවා මං දැක්ක.

උන් දෙන්නට නං වැස්ස කියන්නේ පනින රිලවුන්ට ඉනිමං බැන්ඳ ගානයි 🙂

පොඩ්ඩො දෙන්නට රජ මගුල්, කිසිම ගානක් නැහැ පනින්න පුළුවන් හැම වතුර වලකටම, දිය පාරකටම පැන පැන යන මේ ගොයියෝ දෙන්න අද ඉස්කෝලේ යයිද කියල මට නං විශ්වාසයක් නැහැ !

වැස්ස තවත් ටිකක් තද කරා, තෙමි තෙමී පයින් ගාටලා තෙමිච්ච කුකුලෙක් වගේ කන්තෝරුවට යනවාට වඩා හොඳයි ටිකක් පරක්කු වෙලා හරි ටැක්සියක යන එක.

මං අපේ බිල්ඩිම පල්ලෙහා තියන කඩ පිළ ගාවට ඇදුනේ එන ටැක්සියක් ඈත ඉඳන්ම එතැනට පේන නිසා, අනික එතන තෙමෙන්නෙත් නැහැ !

මටත් කලින් කඩ පිළ ගාව කන්දුරාවක් දාගෙන අරාබියෙක් විදිහට පෙනී හිටින්න දඟලන බංගාලියෙකුයි පිලිපීන කෙල්ලෙකුයි අරක්ගෙන, මමත් ගිහින් එතැනටම ටැග් ගැහුණා !

කෙල්ලගේ අතේ ලොකු රෝසමල් පොකුරක්, මූණ සතුටෙන් පිරිල උදේ පාන්දරම තෑගී බෝග හම්බ වෙලා හන්දද කොහෙද.

මාත් එක්ක හිනා උන නිසා මමත් ගුඩ් මෝනිං කියල සුභ පතල අහවර වෙලා ටැක්සියක් එනවද කියල වටපිට බලන කොටයි දැක්කේ අපි වගේම අතරමං වෙච්චි උදවිය හැම තැනම ඉන්නව …

ඒ අස්සේ අපි දෙන්නට එහා පැත්තෙන්  හිටපු බංගාලිය කවමදාවත් රෝසමල් පොකුරක් ගත්තු කෙල්ලෙක් දැකල නැති  ගානට කන්න වගේ අර කෙල්ල දිහා බලන් ඉන්නවා, අම්මපා මූ කිසිම විලි ලැජ්ජාවක් නැති අසහනකාරයෙක්ද කොහෙද ?

මේ බව තේරුණ නිසාදෝ කොහෙද පිලිපීන කෙල්ල වැස්සේ තෙමි තෙමීම යන්න ගියා.

කෙල්ල මාරු උණාට පස්සේ අපේ සංගමයට එකතු උනේ අපේ බිල්ඩිමේම ඉන්න අවුරුදු දොළහක් දහ තුනක් විතර වෙන කොලු ගැටයෙක් !

කොලු ගැටයෙක් කිව්වට මු කොලු තාත්ත කෙනෙක් … හතර වටේටම කෝල් දෙනවා මාර බිසී !

Dude have you given her the flowers ?

මචං උඹ එයාට මල් පොකුර දුන්නද ?

What ??? Dude what the hell are you waiting for ???

මොකා, මොන ***** තව මොනවටද බලන් ඉන්නේ  ???

You are a F*** idiot man I gave *** her gift this morning and she was over the moon !

උඹ නම් මහා **** මෝඩයෙක්, මම  *** ට උදේ පාන්දරම එයාගේ තෑග්ග දුන්න, කෙල්ලට හෙන සන්තෝසයි !

Hurry up man, I gotta go my bus just arrived.

ඉක්මන් කරපන් බං, මම යනවා මගේ බස් එක ඇවිල්ල !

කොලුවත් වැස්සේ තෙමිගෙනම බස් එකට දිව්වා !

ඔන්න එතකොටම ඈත එන ටැක්සියක් දැකපු නිසා වතුර වලවල් උඩින් පිනුම් කිහිපයක් ගහපු මම පාර අයිනට ගිහින් අත දැම්ම පරක්කුවට ටැක්සියත් නැවැත්තුව.

මේ වෙලාවේ හැටියට රස්තියාදු වෙන්නේ නැතිව ටැක්සියකට නැගපු එකත් ලොකු දෙයක් 🙂

වැස්ස නිසා පාරවල් හැම තැනින්ම හිරවෙලා, ටැක්සිය එළවපු පකිස්තාන්කාරයා උර්දු වලින් අම්ම මෝ නැතිව පාර හිර කරන එවුන්ටයි, හදිස්සියට හොයන්නේ බලන්නේ නැතුව වාහනේ ඉස්සරහින් පාර පනින එවුන්ටයි බනිනවා.

මාත් එක්කත් මොනවදෝ කියෙව්වත් මම හූ මිටි තිබ්බ මිසක් වැඩි කතාවක් බහක් නැතිවම ඇවිත් කන්තෝරුව ලඟින් බැස්ස, වෙනදට විනාඩි විස්සේ ගමනට අද පැයක් ගිහිල්ල !

කන්තෝරුවෙන් බාගයක් හිස්, කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ 😦

වෙනදට වැස්ස දකිනකොට පොඩි එකෙක් වගේ උඩ පනින මගේ හිත අද පැත්තකින් ගලක් තිබ්බ වගේ බරයි !

මම දන්නවා උඩ පැන පැන තෑගී ඉල්ලපු හාමිනේ අද සද්දයක් නැති උනාට මොනවා හරි දෙන්න ඕන කියල, හාෆ් ඩේ එකක් දාල ගෙදර යන ගමන් හාමිනේට රෝස මලක් හරි අරගෙන යනවා 🙂

~ නිමි

Advertisements