ananda-hockey-2000

කැන්ඩොස් මාමා සහ ගෝලියා

යටගිය දවස සිරි ලංකාවේ කොළොම්පුර ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාසයන් රාජ ශ්‍රියෙන් රාජ්‍ය කරනා කල්හි, මරදාන පරණවාඩියේ එක්තරා විද්‍යාලයක පරිප්පුවන් සමුහයක් විය.

මේ පරිප්පුවන් අතර දිවයිනේ නන් දෙසින් පැමිණි අතලොස්සක් වූ වඳ වී යන සත්ව කොට්ඨාශයකට අයත් වන්නා වූ වක්පොලු ක්‍රීඩාවට ලොබ බැඳී උන්ද වන්නෝය.

සුද්දා විසින් හඳුන්වා දෙන්නට යෙදුනු කෙළි සෙල්ලම් අතරින් කිරිකැට්, දැල්පන්දු මෙන් වක්පොලු කෙළිය නොහොත් හොකී ක්‍රීඩාව හුදී ජනයා අතර ප්‍රචලිත නොවූ බැවින් එය අද මෙන් එදාද ප්‍රධාන නුවර කිහිපයකට පමණක් සිමා වී පැවතුනේ කාගේත් අවාසනාවටය.

බොහෝ අසීරුතාවයන් මැද්දේ උවද මේ පරිප්පුවන්, තමන් අතිශය ලොල් වූ වක්පොලු ක්‍රීඩාව නොනවත්වා කරගෙන යාමට සමත් වූවෝය. ඒ සඳහා හේතු පාටක වනුයේ දහස් ගණනක් සිසුනට නොනිවෙන පහන් ටැඹක් සේ එළිය දුන් ආචාරියෙකි.

දැනට දස වසක් තිස්සේ ඔටු දේශයේ රැඳී සිටිනා කණ්ඩාද ජීවිත කාලයකට පෙර මෙයින් එක් වක්පොලුකාර පරිප්පුවෙක්ව සිටි බව පවසන්නේ පහන් සංවේගයෙනි 🙂

** සිංහල පාඩම මෙතැනින් නිමි **

දැනට කණ්ඩාගේ සුසර පොල්ලට (ඇන්ටනාවට) හසුවී තියනා තරමින් ඔටු දේශයේ නොහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට වක්පොලු සෙල්ලම් කරපු පරිප්පුවෝ හතර දෙනෙක් වාසය කරන්නෝය.

ඒ ගලා, රශ්මි, රත්නේ සහ කණ්ඩා වන මමය. තවත් අය සිටීමට ඉඩ ඇතිමුත් ඒ ගැන වැඩි විස්තර කියන්නට මා දන්නේ නැත.

වර්තමානයේ  මචං ලෙවල් එකට සිටියාට, රත්නේ, රශ්මි යයි ලියුවාට ඉඳ හිට හමුවන විටදී “අයියා” යන ගරු නම්බු දී කතා කරන්නේ ඉස්සර පුරුද්දටමය.

රශ්මි අයියාව නම් තවමත් පාසල් කාලයෙන් පසුව දැක හමුවී නොමැති උවත් මුහුණ පුරා වැඩුණු ඝන රැවුල සහ කාලය මැව් අරුමය හෙවත් බඩ ගෙඩියට අමතරව වෙනසක් පේන්නට නැතිය 🙂

ඔටුවාගේ රටට පැමිණීමෙන් පසු අප කිසිවෙක් හට වක්පොලු සෙල්ලම් කිරීමේ අවස්ථාවක් උදා වූයේ නැත. එවන් අවස්ථා තිබුණත් ඒ වෙනුවට වඩා වැදගත් ජීවන බර සැහැල්ලු කිරීමේලා ඉවහල් වන අටෝරාසියක් වැඩ කටයුතු සහ රාජකාරි පසුපස එළවිය යුතුය.

එදා දෙමවුපියන්ගෙන් යැපුණු අප බොහෝ දෙනා අද වන විට පියවරුන් බවට පත් වී පවුල් නඩත්තු කරන්නෝය, කණ්ඩාට තවමත් එහෙම කරදර නැතත් ඉස්සර දැමු සෙල්ලම් දැන් දමන්නට බැරිය  🙂

දහ දොළොස් අවුරුද්දක් තිස්සේ වක්පොලු ක්‍රීඩාවෙන් ඈත්ව සිටි නිසාදෝ ඒ පිලිබඳ කණ්ඩාගේ මතකයන්ද කෙමෙන් වියැකී යන ස්වභාවයක් තිබුණත් එය වෙනස් වීමට බල පෑ හේතු කාරණාවක් පසු ගිය සතියේ යෙදුනේය.

කැන්ඩොස් මාමා !

එනම් ඔටු දේශයේ වක්පොලුකාර පරිප්පුවන්ගේ ගහණය තාවකාලිකව පහක් දක්වා ඉහළට නංවමින් තවත් එක පරිප්පුවෙක් වූ භාග්‍ය කෙටි සංචාරයක් සඳහා ගොඩ බැසීමය.

මේ ආගමනය කලක් තිස්සේ වැළලී තිබුණු පැරණි රස කතා … ආගිය තොරතුරු .. ඕපාදූප මෙන්ම විවිධාකාර මඩද යළි කරලියට ගෙන ඒමට මහෝපකාරී වූ බව නොකියාම බැරිය.

මේ පුණ්‍යකර්මයේ බලයෙන් භාග්‍යට වැඩි වැඩියෙන් ඔටු දේශයට ගොඩ බහින්නට හේතු වාසානා පෑදේවා යන්න මගේ පැතුමයි !

භාග්‍යගේ පියාත් හිටපු වක්පොලුකාර පරිප්පුවකු නිසා පුද්ගලිකවත් එකල ඔහු සේවය කළ “කැන්ඩොස්” (Kandos) ආයතනය හරහාත් අප වක්පොලු සංගමය වෙත මෙන්ම කණ්ඩායමටද නිබඳව උදව් උපකාර කළේය.

මාගේ මතකය නිවැරදි නම් එකල ඔහු කැන්ඩොස් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල අතර ක්‍රියාකාරී ආදී සිසුවෙක් සහ ජේෂ්ඨ සිංහ සමාජ සාමාජිකයකුද විය.

එපමණින් නොනැවතුණු ඔහු ආදි ආනන්දීය ක්‍රීඩා සංගමයත් සමග නොයෙක් ආකාරයෙන් ක්‍රියාකාරී ලෙස  සම්බන්ධව සිටියේය.

එකල රූපවාහිණියේ නිතර ප්‍රචාරය වුණු “කැන්ඩොස් මාමා” හෝ “කැන්ඩොස් මෑන්” (Kandos Man) ඉතා ප්‍රසිද්ධ වෙළඳ දැන්වීමකි.

මෙම වෙළඳ දැන්වීමට එදවස පෙනී සිටියේ ලුෂන් බුලත්සිංහල මහතාගේ පුත්‍ර රත්නය සහ තවත් හිටපු පරිප්පුවෙකු වන හර්ෂ බුලත්සිංහලය.

මේ නිසාවෙන් භාග්‍යව මෙන්ම කවුරුත් නැති තැන ඔහුගේ පියා වන “උඩවත්ත සර්” හැඳින්වීමටද “කැන්ඩොස් මාමා යන නම භාවිතා කළේ කාගේත් පහසුවටය 🙂

එමෙන්ම කාව නමුත් හේතුවක් ඇතිව හෝ නැතිව බයිට් එකට ගැනීමේ හසළ පුරුද්දක් තිබුණු අපි භාග්‍ය කණ්ඩායමේ තබා ගැනීමට එකම හේතුව කැන්ඩොස් ආයතනයෙන් සහ පියාගෙන් ලැබෙන අනුග්‍රහය බව කීමටද කොහෙත්ම නොපසුබට වීමු 🙂 🙂 🙂

අප පරිප්පුවන්ගේ බෝක්කු කටවල් වල තරම දන්නා නිසා භාග්‍ය මේ කතන්දර දනින් ඉහළට නොගත් හෙයින් ඉන් ඇති වූ වෙනසක් නැත්තේය, නමුත් කාලය ගෙවා ගැනීම උදෙසා නිර්මාණය වූ මෙවැනි කාඩ් සහ රසකතා එමට අප අතර විය.

වක්පොලු සෙල්ලම් කරනා සමයේ භාග්‍ය ක්‍රීඩා කළේ මැදපෙළ ආරක්ෂකයෙකු (Mid Field Defence) හෝ වඩා නිවැරදිව පවසනවානම් කියන්නේ රයිට් හාෆ් (Right Half) හැටියටය.

බීපු මිනිහාට ලයිසන් ලැබුණා සේ මෙලෝ හසරක් නැතිව ක්‍රීඩා පිටිය පුරා වැනි වැනී දුවනා මේ හාදයාට කොහේ ගියත් බෝලය හසු වීමේ පුදුමාකාර පෙර පිනක් තිබුණු බව මතකය.

අප 1999 වසරේ කොළඹ දිස්ත්‍රික් වක්පොලු කණ්ඩායම් තේරීම් තරඟ වලට ගිය අවස්ථාවේදීත් එකල සිටි වක්පොලු වැඩ්ඩොන් කිහිප දෙනෙකුටම කොකා පෙන්වා බෝලය බැස්සවීමේ භාග්‍යය මත අපේ භාග්‍ය කොලුවාත් කොළඹ දිස්ත්‍රික් – B කණ්ඩායමට තේරුණේය.

භාග්‍යට අමතරව තිළිණ නොහොත් “සෙ***” ද B – කණ්ඩායම නියෝජනය කිරීමේ වාසනාව ලද අතර ගලා සහ චරිත් A – කණ්ඩායම නියෝජනය කළෝය.

කොළඹ දිස්ත්‍රික්කයට පමණක් නොව පාසලටද සිටි (අ)දක්ෂතම ගෝල රකින්නා වශයෙන් කණ්ඩාටද මේ B – කණ්ඩායමට රිංගන්න හැකි වූයේ පූරුවේ පිනකටදෝ කොහේදය.

ඇත්ත ඇති සැටියෙන් පවසනවා නම් එදාත් කණ්ඩාට හැකියාවට වඩා උනන්දුව තිබු බව කියුවොත් එය වඩාත් නිවැරදිය, මේ සමගම අනිත් පරිප්පුවන් විසින් එක් කරන්නට යෙදෙනා අපමණ අටුවා ටීකා ටිප්පණි හැරෙන්නට එතනින් එහාට කියන්න යමක් මට නැත … 🙂

කණ්ඩාට අදටත් හිතන්නේ වඩා හොඳ ගෝල රකින්නෙක් සිටියා නම් අප කණ්ඩායමට තව බොහෝ දුර යන්න තිබුණු බවය !

කණ්ඩාව B – කණ්ඩායමට තොරා ගැනීමට හේතු වශයෙන් ඉදිරිපත් වූ කාරණා ලෙස එදවස අපේ එවුන් විසින් නිර්මිත කට කැඩිච්ච් කතා බොහෝමය …

මේ සම්බන්ධයෙන් :

  1. තේරීම් භාරව සිටි කොළඹ වක්පොලු ක්‍රීඩාවට ලොකු සේවයක් කරපු ඇටිපොළ මිස් හට තෝරා ගන්නා ලද ක්‍රීඩකයන්ගේ නොම්මර ටැපළීම !
  2. දිළිඳු හිඟන්නකු සිහි ගැන්වූ (එදවස අප පාවිච්චි කළ ආම්පන්න දැක මෙසේ නොහිතුවොත් තමයි පුදුම) මේ “ගෝලියා” දැකීමෙන්  ඇටිපොළ මිස්ගේ හිත උණු වීම !
  3. කණ්ඩායමේ සහ තරඟ නැරඹීමට එන හුදී ජනයාගේ කම්මැළි කම මග හැරීම උදෙසා තරඟ අතරතුර ගිරිය කඩාගෙන කෑ ගහන්නට එකෙක් උවමණා කිරීම !

(ඒ කතාවේ පොඩි ඇත්තක් නැති වෙන්නත් බෑ … මොකෝ පිට්ටනියේ එක කොනක ඉඳලා අනෙක් කොනට ලවුඩ් ඉස්පීකරේ වගේ කෑ ගහන එක කණ්ඩාට සුළු දෙයක් )

යනාදිය ප්‍රධාන තැනක් ගන්නේය 🙂 🙂 🙂

ගෝල රකින්නා හෙවත් ගෝලියා !

අන් පරිප්පුවන් බොහොමයක් දෙනා කණ්ඩායමේ ගෝල රකින්නා ලෙස කටයුතු කරන්නට දැඩි අකමැත්තක් පෙන්වූ සමයේ, ඒ සඳහා ස්වේච්ඡාවෙන්  ඉදිරිපත් වීම කණ්ඩා පාසලේ ඉන්නා තෙක් කළ ලොකුම ගොන්කම් අතර ඉදිරියෙන්ම තැබිය හැකි කර්තව්‍යයකි  🙂

අදටත් කණ්ඩා හට නොතේරෙන්නේ මොන හේතුවකට මේ දෙතිස් වධයට කැමති උනාද යන්නය ???

නමුත් වැඩිදුර කල්පනා කරනා විට මා එසේ කරන්නට ඇත්තේ එතෙක් මෙතෙක් අප පාසලෙන් බිහි වූ සුපිරිතම ගෝල රකින්නෙකු වූ “කුරුප්පු අයියා” (මංජුල කුරුප්පු **) ක්‍රීඩා කරනවා දැකීමෙන් ඇති වූ ආසාවට බවය.

** ඒ මංජුලත් මේ මංජුලත් ඇරෙන්නට තවත් මංජුලලාද විය, ඒ “හිංසා” මංජුල සහ “ජිට් කුණ්ඩෝ” මංජුලය 🙂 **  

ඒ දවස කණ්ඩා සමග ක්‍රීඩා කල අන් වක්පොලුකාරයන් අත්දෙක වන වනා පිටිය වටා  වට දහයක් පහළොහක් දුවනා විට මා කිලෝ විස්සක් විතර බර, ගෝනි පඩංගු වලින් සෑදූ, වෙළීමට පටි නැති නිසා කොහු ලණු වලින් ගැට ගසා ගත් කෑලි හැලෙනා පෑඩ් දෙකත් දමාගෙන මේ රැළ පස්සෙන්ම දිවීම සාමාන්‍ය දින චර්යාවයි  🙂 🙂 🙂

මේ හේතුවෙන් බොහෝ දවස් වල හතර හන්දි පන නැතිවන් තෙක් වන පුහුණුවීම් අවසන් කර තවත් පැය එක හමාරක් පමණ සෙනග පිරි බස් රථ වල තෙරපීමෙන් හෙම්බත්ව නිවස වෙත ගොඩ වදින්නේ ඇවිද ගන්නත් පණ නැතිවය !

එමෙන්ම අප ක්‍රීඩා කිරීම අරඹා අවුරුද්දක් පමණ යනතෙක්, පපුව සහ උරස ආවරණය කරන “චෙස්ට් ගාඩ්” (Chest Gaurd) සේම හෙල්මට්  (Helmet) අපගේ භාවිතයට තිබුණේම නැත.

එය අමතක කලත් බෝල වලින් බෝල ආරක්ෂා කරනා ගැජමැටික් එක නොහොත් “බෝල් ගාඩ්” (Ball / Abdominal Guard) එකක් පවා කණ්ඩා මිලදී ගත්තේ කලකට පසුවය 🙂

එනිසා අංගජාතය බේරාගෙන කණ්ඩා තවම පණ පිටින් ඉන්නේ පෙර පින් බලවත් නිසා විය හැක්කේය 🙂

වක්පොලු කෙළියට භාවිතා කරනා පන්දුව කිරීකැට් පන්දුවක් තරමටම බරය, නමුත් සම් වෙනුවට තද ප්ලාස්ටික් වර්ගයකින් නිම කරපු මේවා කකුල් අත පය වල වැදුන කල නොසෑහෙන්න වේදනා දෙන්නේය 🙂

එනිසා කාගේත් ඉලක්කය වන ගෝල රකින්නන් තම කලවා ප්‍රදේශ ආවරණය කිරීමට පළඳින පැඩින් දැමු කලිසම් හෙවත් “ගර්ඩ්ල්” (Girdle) කණ්ඩා හොකී ක්‍රීඩා කරනා දහ අවුරුද්ද ඇතුළත කිසිම දිනක භාවිත කලේ නැත.

(අවසාන වසරේ එහෙම එකක් කාගෙන්දෝ ණයට ලැබුණත් එය කණ්ඩාගේ තරමට නොගැලපුණු බැවින් එයින් අත් වූ සෙතක් නැත)

පොළොවට උඩින් විත් කලවා වලට වදින වේගවත් බෝල පහරවල් (Undercut Shots) නොසෑහෙන තරම් වේදනා ගෙන දෙනවා පමණක් නොව ඉන් ඉතා ප්‍රියංකර දම් පැහැති  තැලුම් තුවාල ඇති වන්නේය.

හොකී පන්දුවෙත් ගොල්ෆ් බෝලයක සේම ඇතුලට එබුණු කුහර ඇති නිසා එමගින් ඇති වන තැලුම් තුවාලයෙත් රටාවක් ඇන්දා සේ  තැනින් තැන සුදු පාට තිත් රටාව බලන්න ලස්සනය  🙂

එලෙස වැඩියෙන් ගුටි පුජා ලැබුණු දිනෙක ඇඟේ රුදාව වැඩි කමටදෝ නිවස වෙත ගොඩ වදිනා වේලාවට තැලුම් තුවාල මදිවාට සහලෝළ උණය !

මේ මොන අලකලංචිය උනත් මේ නස්පැත්ති අම්මා දැන ගත්තෝතින් ආයේ වක්පොලු සෙල්ලම් කරන්නට හම්බ වෙන්නේ නැති බව සහසුද්දෙන් දන්නා නිසා, පහල ලිඳෙන් සීතලට නාගෙන හොරෙන්ම පැනඩෝල් දෙකක් බී නින්දට යාම කණ්ඩා හට පුරුද්දකට ගියේය.

අනික අපේ එවුන්ට මේවා පැවසුවාට ගණනක ගන්නේට නැත, කිව්වත් ප්‍රතිඵලය එක්කෝ තවත් වේගයෙන් සහ උඩින් පහර එල්ල කිරීම හෝ තවත් සිනහවට කාරණයක් බවට පත් වීමෙන් අනතුරුව අමතර කාඩ් අමුණා ගැනීමය 🙂 🙂 🙂

එමෙන්ම මුල අවුරුදු කිහිපය තිස්සේම හොකී ගෝල රකින්නන් පාවිච්චි කරන “ග්ලව්ස්” (Gloves) එහෙමත් නැතිනම් අත් වැසුම් වෙනුවට අප සතුව තිබුණේ භාවිතා කර ඉවත දමනා ලද පැරණි විකට් රකින ක්‍රිකට් ග්ලව්ස් දෙකක් බව පවසන්නේ අප්‍රමාණ සන්තෝශයෙනි.

අත්වැසුමෙන් වම් අත යාන්තමට ප්‍රවේශම් කර ගත්තද, හොකී පිත්ත අල්ලන දකුණු අතින් අත්වැසුම දැමූ කල පිත්ත හැසිරවීම කෙසේ වෙතත් අල්ලන්නටත් අපහසුය. ඒ හේතුවෙන් එය භාවිතා නොකළ නිසා සෑම විටම දකුණු අත අනාරක්ෂිතය.

ඇතැම්විට වැරදීමෙන් හෝ වදිනා පිති සහ බෝල පහරවල් නිසා සුළුදිය පහවන තරම් වේදනාවන් ඇති වූ අවස්ථා අප්‍රමාණය, නමුත් ඒ සෑම දේ විඳ දරා ගැනීමට මා හට ශක්තිය තිබුණ බව මතකයට නැගෙනා විට ඇති වන්නේ පොඩි පහේ සතුටක් නොවේ.

පෑඩ් පඩංගු දෙක කැඩෙනා වාරයක් වාරයක් පාසා අමාරුවෙන් මුදල් එකතු කර බොරැල්ලේ හෝ පුංචි බොරැල්ලේ මරදාන පාර අද්දර රාජකාරි කරනා සපතේරුවකුට දී නැවත නැවතත් අණ්ඩ දමා ගැනීමද අප හට හැමදාම නොනවතින අරගලයක් විය  🙂 🙂

හොකී තරඟ සඳහා පාසලෙන් පිට යන වාරයක් ගණනේ පෑඩ් පඩංගු රැගෙන යාමට පෑඩ් තරමටම අණ්ඩ දැමූ බෑග් මල්ලක්ද අප සතු විය.

බර නිසා මෙය තනියෙන් වත්තම් කරගෙන යාමට අපහසු හෙයින්, ඒ සඳහා තව එකෙකුගේ සහය අත්‍යවශ්‍යය.

නමුත් මේ බර කර ගැසීමට කිසිවෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් නොවන හෙයින් බෑග් මල්ලට අත ගැසීමට එකෙකු සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා තරමක් අපහසුය.

අවසානයේ හොඳින්, චාටුවෙන් උදව් ඉල්ලීම අසාර්ථක වූ තැන වෙනත් ගෝල රකින්නෙකු සොයා ගන්නා ලෙස කණ්ඩායමේ උන් හට තර්ජනය කිරීමෙන් අනතුරුව දං ගෙඩියට නියම වූවකු මෙන් කවුරුන් හෝ මේ වෙනුවෙන් ඉදරිපත් වන්නේය.

අප තරඟ යෙදුනු බොහෝ ක්‍රීඩා පිටිවල සිට නැවත පාසලට පැමිණෙනවාට වඩා කෙළින්ම හෝමාගම හෝ කොට්ටාව කරා යන බස් රථයක එල්ලීම කණ්ඩා හට පහසුය.

එනිසා බොහෝ විට කණ්ඩා නැවත පාසල වෙත නොපැමිණෙන අතර තරඟ නිම වීමෙන් පසු බෑග් මල්ල නැවත පාසල වෙත ගෙන යාමට හැකි උන් සොයා ගැනීම මීළඟ භාර දූර කාර්යයයි.

එය බොහෝ විට අකමැත්තෙන් හෝ බාර වෙන්නේ නේවාසිකාගාරයේ රැඳී සිටිනා පරිප්පුවන් හටය, එමෙන්ම මේ සඳහා තුන්සක් රියක සහය ලබා ගන්නා බැවින් බස් රථ වල නොතෙරපී නේවාසිකාගාරය වෙත යා හැකි නිසා මේ සඳහා වැඩි කරදරයක් නැත.

වක්පොලු කෙළිය ගැන තවත් කතා ඉදිරියට >>

~ මතු සම්බන්දයි

වක්පොලු කතා වස්තුව ~ II කොටස ~ වක්පොලු සහ වනන්න වටිනා ආයිත්තන් !

Advertisements