muscat-galore

මස්කට් රස සොයා …

මස්කට් කී පමණින් සිරි ලාංකිකයින් වන අපගේ කටට කෙළ උනන්නේ නිතැතිනි, ඒ එදිනෙදා ජීවිතයේදී අප දන්නා මස්කට් යනු අතිශය රසවත් රසකැවිල්ලක් වීමයි.

මේ පිලිබඳ කණ්ඩාගේ මතකයන් “බොම්බේ ස්වීට්ස්” හෝ “ස්වීට් හවුස්” තෙක් දිව යන්නේය, “බොම්බේ ස්වීට්ස්” ලෙස පොදුවේ හැඳින්වූ මෙම රසකැවිලි නිතරම රසවිඳීමට නොලැබුණු නිසාදෝ මෙවන් රසකැවිලි හල් අප කුඩා කළ සුරංගනා ලෝක බඳු විය.

නමුත් යමක් කමක් තේරෙන වයසකට පැමිණි පසු “මස්කට්” තවත් හේතුවක් නිසාවෙන් මා හට වැදගත් කමක් දැරුවේය, ඒ ගැන පසුව පවසන්නට කණ්ඩා බලාපොරොත්තු වන්නේය.

මස්කට් වලට අමතරව බෙහෙවින් කණ්ඩාගේ සිත් ගත් පැණි වළලු හෙවත් ජිලේබි, බර්ෆි, බූන්දි මෙන්ම සරුවත් සහ ෆලූඩා (Faluda) මතකයට නගනා විටත් දිව තෙත් වන්නේය.

දැනට අවුරුදු විසි තිස් ගණනකට පෙර ඉතාමත් කලාතුරකින් “බොම්බේ ස්වීට්ස්” සහ “ස්වීට් හවුස්” වෙත ගොඩ වැදුණු මතකයන් පවා ඉවත් කල නොහෙන සේ තවමත් හිතේ අහුමුළු වල හැංඟී ඇත්තේ ඒ නිසාය.

කණ්ඩා මස්කට් වලට බෙහෙවින් කැමතිය එසේත් නැතහොත් මස්කට් පෙරේතයෙකි, කණ්ඩාගේ මවද එදා පටන්ම මස්කට් කන්නට අතිශයින් ප්‍රිය කරන්නීය. ඒ නිසාවෙන් කණ්ඩාගේ මස්කට් පෙරේතකමට හේතු සොයන්නට වැඩි දුර යන්නට අනවශ්‍යය.

නමුත් දැන් දැන් වයසත් සමග ශරීර සුවතාවය වෙනුවෙන් කට පරිස්සම් කර ගන්නට අවැසි නිසාදෝ කොපමණ උවමනාව තිබුණත් අම්මා මස්කට් කන්නට හොරය.

මස්කට් කොපමණ රසවත් නමුත් කන විට දත්වල ඇලෙනා එක තරමක කරදරයකි, ඇලෙන නිසා කන්නත් බැරිය රසවත් නිසා නොකා සිටින්නත් බැරිය 🙂

බොහෝ විට මේ අලකලංචියෙන් නිදහස් වීම සඳහා පිහිටට එන්නේ මස්කට් එකක් සමගම අපට ලැබෙන මහානර්ඝ පානය වන ෆලූඩා වීදුරුවයි, මස්කට් කෑල්ල කටේ ඇලෙන වාරයක් ගානේ ෆලූඩා උගුරක් බීමෙන් මේ කරදරය මග හරවා ගත හැක්කේය 🙂

රෝස වතුර, රතු පැහැ සරුවත්, හිම කිරම සහ කස කසා ඇට එකතුව ගෙනෙන ෆලූඩා රසය පරදන්නට අමාරු කාරියකි !

ෆලූඩා ගැනද මස්කට් ගැන මෙන්ම වරුවක් උව කතා බහ කරන්නට දේ ඇත්තේය … නමුත් එවිට කණ්ඩාගේ බොහෝ කතාවලදී මෙන්ම හාමිනේද  ඈඳෙන බැවින් කතාව තවත් දිග ගැස්සෙන්නට ඉඩ කඩ වැඩිය.

එනිසා කණ්ඩා ෆලූඩා කතා මෙතනින් නවත්වන්නේය 🙂 🙂

මස්කට් යනු දොදොල් මෙන්ම තෙල් අධික ආහාරයක් බැවින් කන්නට පෙර කරදහි කොළයකින් ඔතා හෝ පිසදමා වැඩිපුර ඇති තෙල් ඉවත් කිරීම සාමාන්‍ය සිරිතයි, එතෙක් මස්කට් කෑම සපුරා තහනම් වන්නේ අම්මාගෙන් වැටෙන තහංචි නිසාය.

නමුත් කතාවට කියන්නාක් මෙන් බත ඉදෙනකම් සිටියාට ලිපෙන් බානකම් ඉන්නට බැරිය, එනිසා මස්කට් කෑල්ල අතට ගත් වෙලාවේ සිය කටට දා ගන්නා තෙක් සිහියක් කුඩා කාලයේ නොතිබුණු බව සහතික ඇත්තය.

මස්කට් ගැන කතාව රසවත් උවත් කණ්ඩා මැද පෙරදිගට සේන්දු උන අවදියේ එතෙක් කල් “මස්කට්” යනුවෙන් හැඳින්වූ රසකැවිල්ලේ නියම නම “හල්වා” බව දැන ගන්නට ලැබුණේය.

“හල්වා” සිරි ලංකාවේදී “මස්කට්” බවට පත් වුයේ කෙලෙසද යන්න තවමත් ෂර්ලොක් හෝම්ස් වෙත භාර දිය යුතු කුතුහලය දනවන අබිරහසකි.

ඇතැම් විට මේ රස කැවිල්ල මැදපෙරදිග කණ්ඩා වෙසෙන එක්සත් එමීර් අරාබි රාජ්‍යට අසල්වාසී රටක් වන ඕමානයේ අග නුවර වන “මස්කට්” වෙත යම් නෑදෑ  කමක් ඇති යයි සැක කරන්නට හැකි මුත් ඒ ගැන නිශ්චිතව පැවසීමට දැනුමක් එකල ණ්ඩාට නොවීය.

කවදත් කණ්ඩාට ඇති කුතුහලය මත තව දුරටත් සොයා බලනා කළ ඕමානයේ ඇති හල්වා අප දැක පුරුදු වෛවර්ණ “මස්කට්” වලට හාත්පසින්ම වෙනස් බවත් ඒ වෙනුවට ඕමානයේ ප්‍රචලිතව ඇත්තේ දුඹුරු පැහැයට හුරු ඉතා වෙනස් ආරයක් සහ රසක් ගන්නා හල්වා විශේෂයක් බවත් කණ්ඩා හට පසක් විය.

omani-halwa

ලා පැහැති දොදොල් මෙන් කිසිඳු සිත් ගන්නා පැහැයක් නැති මේ හල්වා සඳහා මැද පෙරදිග දැඩි ඉල්ලුමක් පැවතුනද, අපගේ කටට පුරුදු රසට වෙනස් බැවින් එය කණ්ඩාගේ සිත් ගැනීමට අසමත් විය.

මෙම හල්වා පොදුවේ “ඕමානි හල්වා” ලෙස හැඳින්වුවත් ඒ සඳහා “මස්කට්” යන නම යෙදෙනා බවක් දැන් ගන්නට නැත !

එනිසා කණ්ඩා හිතනා ආකාරයට අප දැක පුරුදු වෛවර්ණ “මස්කට්” යනු වෙළඳාම උදෙසා ඉන්දියාවේ සංචාරයේ යෙදුනු අරාබි ජාතිකයින් විසින් රැගෙන විත් ඉන් අනතුරුව කාලයාගේ අවෑමෙන් ඉන්දියාව තුල වැඩි දියුණු වන්නට යෙදුනකි.

පසු කලෙක මෙලෙස වැඩිදියුණු කළ “හල්වා” ලෙස ඉන්දියාවෙන් සිරි ලංකාවට “මස්කට්” ලෙස ගොඩ බැස්සා විය යුතුය.

මෙතෙක් වෙලා මස්කට්  ලියුවත් හදිසියේම කණ්ඩා හට සිහි වුයේ මේ යාන් හෑල්ලට හේතු පාදක වුයේ කටට කෙළ උනනා “හල්වා” හෝ “මස්කට්” නොවනා බවය.

සිංහල බ්ලොග් බසින් පවසනවානම් මෙය පඳුරු තැලීමකි 🙂 🙂

ඒ අන් කිසිවක් නොව කණ්ඩා සහ හාමිනේ අද දින කුකුළාත් අතින් ගෙන ඇරඹීමට නියමිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා සිට ඕමානයේ මස්කට් වෙත යෙදෙනා චාරිකාවයි. සතියක් තිස්සේ යන මේ ගමන අහවර වන විට නේක අත්දැකීම් රාශියක්ද සමගින් කිලෝමීටර 1,500 කට අධික දුරක් පසු කරනවාට සැක නැත.

එමෙන්ම මේ චාරිකාවේ ගමනාන්තය වන මස්කට් නුවරදී පඳුරු තැලීමේ පිකාසෝ වන හැලප කඩයට අධිපති “හැලපයියා” මෙන්ම දස අවුරුද්දකින් මෙහා හමුවී නොමැති දැනට ඕමානයේ සිට කොච්චි අඹරන “කොච්චියා” ද මුණ ගැසීම කණ්ඩාගේ අරමුණයි.

නමුත් බ්ලොග් කාරයන් හමු වීමට දැරූ පෙර උත්සාහයට වඩා මෙම උත්සාහය සාර්ථක වේවා යන්න කණ්ඩාගේ පැතුමයි 🙂 🙂 🙂

ඕමානයේ බ්ලොග්කාරුවන් පොලු තියන්නේ නැතිව ඇතැයි කණ්ඩා සිතන නිසා මේ පිළිබද වැඩි විස්තර ඉදිරියට ලියවෙන්නට ඇති ඉඩ කඩ වැඩිය.

අප සංචාරය අතරතුර තම නිවසට ගොඩ වැදීමට ආනන්දයේ එකට ඉගෙන ගත් පරිප්පුවකු ** වන ශාමිකගෙන් ලද ආරාධනයද ඉවත දැමීමට නොහැක්කේය, එනිසා ශාමික සමග දිනක් ගත කිරීම තවත් ලියන්නට හේතු කාරණා සපයන සහ පැරණි මතකයන් අලුත් කරනා හමුවීමක් වනවා සිකුරුය.

මින් අදහස් වන්නේ ශාමික ඉගෙන ගත් බව මිස කණ්ඩා ඉගෙන ගත් බවක් නොවේ, ඒ ගැන තවත් කතන්දර වෙන දවසකට 🙂  

තවද මේ ගමන සාර්ථක උවහොත් මස්කට් වෙත ගොඩ බසිනා පළමුවෙනි කණ්ඩා මා නොවනා බවද සහසුද්දෙන්ම කිව හැකිය. ඒ කණ්ඩා කුඩා අවදියේ කණ්ඩාගේ පියා ඕමානයේ “මස්කට්” සහ “සලාලා” නගරයන්හි සේවය කර තිබීමයි.

එනිසා කුඩා අවදියේ පටන්ම මේ නගරයන් හැබැහින් දැක බලා ගැනීමේ නොනිම් ආශාවක් කණ්ඩා තුල විය, මේ තිස් වසරකට පසු එම ආශාව ඉෂ්ඨ සිද්ධ කර ගැනීම වෙනුවෙන් යොදනා පළමු උත්සාහයයි  🙂 🙂 🙂

~ මතු සම්බන්ධයි !

මස්කට් කතන්දර ~ II කොටස ~ සාජා සිට මස්කට් වෙත …

Advertisements