all_field_hockey_stick

වක්පොලු සහ වනන්න වටිනා ආයිත්තන්

කණ්ඩා පරිප්පුවෙක් බවට පත්වීමේ වරප්‍රසාදය ලද්දෙන් අනතුරුව එළඹුණු සමයේ අම්මා සහ තාත්තා දෙපළම කණ්ඩාව වක්පොලු ක්‍රීඩාවට නොසෑහෙන්න උනන්දු කළ බව නොකියාම බැරිය.

එයට ප්‍රධානම හේතුව වනුයේ, අවුරුදු 10-12 තරම වයසේදීත් කණ්ඩා ඇදුම රෝගයෙන් (Asthma) පෙළීමයි, කුඩා කාලයේ අදින ලෙඩේ බරපතලකම නිසාම කිහිපවිටක් රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට පවා කණ්ඩා හට සිදු විය.

ඇදුමට බෙහෙත් හොයන්න දෙමව්පියන් කණ්ඩාව ඇදගෙන නොගිය තැනක් නැත්තේය, මේ සඳහා ප්‍රතිකාර ගැනීමට බොරැල්ල රිජ්වේ ආර්යා රෝහල හෙවත් නෝනා වාට්ටුව සහ එකල කොළඹ කෞතුකාගාරය අසල පිහිටි ග්ලාස් හවුස් වෙත ගිය ගමන් බිමන් ගැනත් ලියන්න කතන්දර තිබුණත්, ඒ පිලිබඳ වෙනම ලිපියක් පළ කිරීම වඩාත් සුදුසු යයි සිතමි 🙂

නමුත් රටේ නැති බෙහෙත් හේත් වලින් විසඳුමක් නොවූයෙන් ශ්වසන පද්ධතියේ දරා ගැනීම හැකියාව සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු වන පිහිනිම වන් ක්‍රීඩාවන් වෙත මා යොමු කරන්නට වෛද්‍යවරුන් නිර්දේශ කරණ ලද්දේ වෙනත් විකල්පයන් නැති තැනය.

කණ්ඩාව ක්‍රීඩාවන් වෙත යොමු කිරීම පිළිබඳව ආපසු හැරි බලද්දී, ඒ උත්සාහය කිසිවක් සාර්ථක නොවූ තැන අවුරුදු උළෙලක කණා මුට්ටියට බිඳිනවා මෙන්, සද් ගුණවත් දොස්තර මහත්වරුන් විසින් ඇස් දෙක වසාගෙන ගැසූ ගැටයක් ලෙසට පෙනෙන්නේ ඇයිදැයි කියා මට නොතේරෙන්නේය 🙂

කොහොම නමුත් ඉබ්බා දියට දාන්නට හදනා විට ඇන්නෑවේ කිව්වාක් සේ, පිහිනීම පුරුදු පුහුණු වීමට ලැබෙන අවස්ථාව ගැන සිහින මවමින් කණ්ඩා බොහොම සංතෝශයෙන් සිටි බව නම් තවමත් මතකය  🙂

අප සිතන පතනා දේ සියල්ල සැමවිට ඒ අයුරින්ම ඉටු නොවන බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය !

එදවස වල කොළඹ පිහිනුම් ක්‍රීඩාව යනු කොළඹ නගරය තුළ උව වරප්‍රසාද ලත් අතලොස්සකට සිමා වී තිබුණු දෙයකි, ඒ වනවිට අපේ පාසලේ පිහිනුම් තටාකයක් තිබුණේද නැත.

එකල කොළඹ නගර සීමාව තුළ පිහිනුම් තටාක කිහිපයක්ම වූ නමුත් ඒ සියල්ල විවිධ හෝටල්, ක්‍රීඩා සමාජ සහ පාසල් සතු විය, මේ අතරින් අප වාසය කළ පළාතට ලඟපාත තැනක් නොවුයෙන් කණ්ඩාගේ පිහිනිල්ල සිහිනයක්ම විය  **

** ඒ දවස් වල මෙන් නොව දැන් ගිලෙන්නේ නැතුව යාන්තමට ජබුං ගහන්නට බැරි කමක් නැත 🙂 **

නමුත් මතකය නිවැරදි නම් මේ වකවානුව ආදී පරිප්පුවන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් පිහිනුම් තටාකයක් ගොඩනැගීමේ ව්‍යාපෘතිය දරුණුවටම ඇදීගෙන යන කාල පරිඡේදයයි.

ඒ සඳහා අරමුදල් රැස් කිරීම වෙනුවෙන් ඇති හැකි එකාට මෙන්ම නැති බැරි එකාටද එක සේ බලෙන්ම ටිකට් පොත් විකිණීමට ඇඟේ ගසනා මේ අවදියේ අප කී වාරයක් අමාරුවේ වැටුණාද යන්න දැන් කණ්ඩාගේ මතකයෙන් දුරස්තරය 🙂

මේ නොයෙක් හේතූන් නිසාවෙන් පිහිනීම කෙසේ වෙතත් ඒ වෙනුවට ගොඩ පිහිනීම හෝ වෙනත් විකල්ප ක්‍රීඩාවක් තෝරා ගැනීමට අකමැත්තෙන් හෝ කණ්ඩාට සිදු වීය 😦

පිහිනීම ඉගෙන ගැනීම අසාර්ථක වූ තැන, 80 දශකයේ උපන් සෑම කොලු කුරුට්ටකුටම අඩු නැතිවම තිබුණු කිරිකැට් උණ නිසා කණ්ඩාත් කිරිකැට් ගැසීමට සිතුවේ නිතැතින්මය 🙂

මේ ගැන හිතීමෙන් පමණක් නතර නොවුණු මා කිහිප වතාවක් පුහුණුවීම් සඳහා ගියේ බොහෝ බලාපොරොත්තු සහිතවය, නමුත් එදවස ක්‍රිකට් ක්‍රීඩා කිරීම බොහෝ  වියහියදම් සහිත දැඩි තරඟකාරී දෙයක් බව වයසින් නොමේරුවත් කණ්ඩා හට තේරුම් ගැනීමට අපහසු වුයේ නැත.

ඒ නිසාම සල්ලිය බාගේ තිබුණු උදවියට තිබුණු සැලකිලි අනිත් හැමෝටම නොතිබුණු බව අකමැත්තෙන් උවද කිව යුත්තේය 😦

එකල කනිෂ්ඨ ක්‍රිකට් පුහුණුවීම් භාරව හිටියේ පා** නොහොත් තණකොළයාය, මේ හාදයා අපට කෙසේ වෙතත් අතපය දිග හැර වියදම් කරන අම්මලාට සහ ඒ උදවියගේ දරුවන් හට දැඩි කරුණාවක් දැක්වීය 🙂

තණකොළයාගේ හැසිරීම, කතා බහ මෙන්ම අනෙකුත් කුඩුකේඩුකම් අප එකලද නොරිස්සූ බව අමුතුවෙන් කියන්නට අනවශ්‍යය, තණකොළයා ගැන කියන්න තවත් කතා ඇතත් ඒ දේවල් පසුවට තබමි 🙂

එමෙන්ම දිනකට 50 – 80 ක් දෙනා පුහුණුවීම් කරනා විට පිතිකරණය පසකින් තැබුවත් පන්දුවක් අතට අහුවන්නේද යලට මහටය, මෙසේ කලක් පිස්සුවෙන් මෙන් පුහුණුවීම් සඳහා ගියත් ඉන් තෘප්තිමත් නොවූ කණ්ඩා ක්‍රිකට් ක්‍රීඩාවට තිත තැබුවේය.

කණ්ඩා කිරිකැට් ක්‍රීඩාවේ දිගටම යෙදුනේ නම් එක කණ්ඩෙක් වෙනුවට කිරිකැට් ගැසූ කණ්ඩලා දෙන්නෙක්ම පරිප්පුවන් අතර ඉන්නට ඉඩ තිබුණු බව සහතිකය 🙂

ඒ පහු කාලයක තවත් කණ්ඩෙක් පාසැල් කිරිකැට් දක්ෂකම් අතින් ඉහළට විත් වයස 19 න් පහළ ලාංකීය කණ්ඩායමේ සිට ඉඳහිට සිරි ලංකා කණ්ඩායමටද ක්‍රීඩා කරන තරමට වාසනාවන්ත වූ නිසාය.

ඔය කියනා අනිත් හාදයා මේ කණ්ඩාට වඩා වසරක කණිෂ්ඨයෙකි, එක පාසලේ සිටියද එයට වඩා අල ගිය මුල ගිය තැන් හෝ නෑදෑ කම් මේ කණ්ඩා දන්නේ නැත.

කලකට ඉහත කුතුහලය සංසිඳවා ගැනීමට මේ අනිත් කණ්ඩා ගැන විමසූ කාර් පිස්සා නම් පැවසුවේ දෙදෙනාම කිරිකැට් ගසන්නට බැරි පරිප්පුවන් බවය 🙂

කෙසේ වෙතත් වක්පොලු කතාව කිරිකැට් වලින් නවත්වන්නට කණ්ඩා සුදානම් නැත, එනිසා නැවතත් වක්පොල්ලට !

මෙසේ මා ක්‍රීඩාවන් ගැන අරමුණකින් තොරව ගෙවන අතරමැද කාලයක පාසලේ හිටපු ජේෂ්ඨ වක්පොලුකාරයෝ කිහිපදෙනෙකු නව වක්පොලු ක්‍රීඩකයන් බඳවා ගැනීම සඳහා අපි හිටපු පන්ති ගානේ කැන්වසින් යන්නට පටන් ගත්තේ නොසිතූ වේලාවකය.

වැඩි ප්‍රසිද්ධියක් නොමැති උවත් කුමන හෝ ක්‍රීඩාවක නියැලීමට දැඩි කැමැත්තකින් සිටි කණ්ඩා හට වක්පොලු ගැසීම සඳහා තවත් අමුතුවෙන් ආරාධනා අනවශ්‍ය විය.

කණ්ඩා ඇතුළු එකල කණ්ඩායමේ සිටි සමකාලීනයන් බොහෝ දෙනා වක්පොලු ක්‍රීඩාවට ආරම්භය ලබා ගන්නේ මේ ජේෂ්ඨ වක්පොලුකාරයන්ට පින්සිදු වන්නටය, මේ අතර කණ්ඩාගේ පන්තියෙන් වක්පොලුකාරයන් සය දෙනෙක් පමණ සිටීම විශේෂත්වයකි.

මගේ පළමුවෙනි වක්පොල්ල !

මටම කියල හම්බ වෙච්චි පළමුවෙනි වක්පොල්ල හෙවත් හොකී පිත්ත කණ්ඩාට අරගෙන දුන්නේ තාත්තාය, ඒ තාත්තා අප අතරින් වෙන්ව යන්නට අවුරුදු කිහිපයකට පෙරය.

එතෙක් කණ්ඩා මෙන්ම අනෙක් බොහෝ දෙනා භාවිතා කළේ අපට පාසලෙන් ලැබුණු  දෙතුන් වරක් වේගයෙන් පන්දුවට ගැසුවත් දෙකට කැඩෙන බාල ඉන්දියන් හෝ පකිස්තානු  හොකී පිතිය.

කණ්ඩාගේ මතකය නිවැරදි නම් “ඉසාන්” සහ “මලික්” (Ihsan and Malik) මේ අතර ප්‍රධානය.

එනිසා වැඩි කල් යන්නට මත්තෙන් මේ හොකී පිති වලින් අඩකටත් වඩා කැඩී වෙන් වී හෝ අබලන් තත්වයට පත් විය.

මෙකළ අප සය වසරේ කොලු කුරුට්ටෝය, ඒ වැඩි හයි හත්තියක් යොදා බෝල වලට තඩි බෑමට හැකි වයසක් නොවන බව ඕනෑම කෙනෙක් හට වැටහෙන දෙයකි.

එයින්ම මේ හොකී පිති වල තරම හිතා ගැනීමට අපහසු නැත, එනිසාම ඒ දවස් වල අප හිතුවේ “මෙලෝ රහක් නැති” මේ වගේ පිති වලට වඩා හොඳවා  අපට පොල් පිත්තකින් උව කපා ගන්නට තිබුණූ බවය 🙂 🙂

නමුත් මේ හොකී පිති නොතිබුණේ නම් අප බොහෝ දෙනෙක් කවමදාවත් වක්පොලු සෙල්ලමට නොවැටෙන්නට තිබුණු ඉඩ කඩ බොහෝමය. එනිසා අදටත් ඒ පැරණි හොකී පිති මතක් වන විට සිතට මහත් සතුටක් ගෙන එන්නේය.

මටම කියා හොකී පිත්තක් රැගෙන දෙන්නට තාත්තා කණ්ඩාත් කැටුව එකල කොළඹ තිබුණු ප්‍රසිද්ධම ක්‍රීඩා භාණ්ඩ සාප්පුවට ගොඩ වදින්නේ කණ්ඩා වක්පොලු ක්‍රීඩාව අරඹා අවුරුද්දක පමණ කාලයක් යන තැනය.

මේ කුළුඳුල් ගමන යෙදුනේ දැනට විසි අවුරුද්දකටත් එහා අතීතයේ උවද ඒ බොහෝ දේ අදටත් කණ්ඩාට මතකය. එදවස අනෙක් හැම සවාරියක් මෙන් මේ ගමනද  අප ගෙන ගියේ තාත්තාගේ විශ්වාසවන්ත සගයා වූ පරණ CD – 90 යයි.

මරදාන පසුකර කොටුව දුම්රියපොළ ඉදිරියෙන් වැටුණු මල්වත්ත පාර මැදින් විත් කොළඹ වරාය ඉදිරිපිට විමලධර්ම සහෝදරයෝ ඔරලෝසු සාප්පුවට (Wimaladharma Brothers ) කිට්ටුවෙන් මොටර් සයිකලය නවත්වා බැස්ස අපි පිය නැගුවේ ඒ කිට්ටුවම තිබුණු “චාන්ඩ්ස්  ස්පෝර්ට්ස්” (Chands Sports)” වෙතය. (දන්නා විදිහට දැන් මේ සාප්පුව කොල්ලුපිටියට ගෙනත්දෝ කොහෙද).

ටෙනිස් බොලයක් පවා අපට මහා ලොකු වස්තුවක් වෙච්චි ඒ කාලයේ හැටියට මේ සාප්පුව එහි වූ අටෝරාසියක් වෛවාරණ ක්‍රීඩා භාණ්ඩ තොගයත් සමග සුරංගනා ලෝකයක සිරි ගත් බව කිවොත් වඩාත් නිවැරදිය … 🙂

හොකී පිති වලට අමතරව  ක්‍රිකට්, ෆුට් බෝල්, වොලිබෝල්, පිහිනුම් එකී මෙකී නොකී හැම ක්‍රීඩාවකටම අයත් බඩු භාණ්ඩ මෙහි කිසිඳු අඩු පාඩුවක් නැතිව ප්‍රදර්ශනයට තබා තිබුණේ යමක් තෝරා බේරා ගැනීම ඉතා අපහසු කාරියක් බවට පත් කරමින්ය.

තාත්තා කණ්ඩාව අතින් ඇදගෙන හොකී පිති ඇති තැනට රැගෙන ගියෙන් නැවතත් පියවි සිහියට පත් වූ නමුත් එතැනද හොකී පිති විමානයකි !

දැන් කණ්ඩා එක තැන කරකවා අත හැරියාක් බඳුය, ප්‍රදර්ශනයට තබා තිබුණු නානාප්‍රකාර හොකී පිති අතපත ගාමින් දවසක් උනත් සාප්පුවේ රැඳී ඉන්නට බැරි කමක් කණ්ඩා හට තිබුණේ නැත.

අවසානයේදී පැමිණි කාරිය හෙවත් මට සරිලන, තාත්තගේ සාක්කුවටත් ගැළපෙන “ග්‍රේස්” (Grays) වර්ගයේ පිත්තක් මිළදී ගෙන සාප්පුවෙන් එළියට බැසීමට අප දෙදෙනා හට පැයකටත් අධික කාලයක් ගත වූයේ ඇඟට නොදැනීමය 🙂

මේ හොකී පිත්ත කණ්ඩා සෑහෙන කාලයක් තිස්සේ පරිස්සමින් පාවිච්චි කළත් කල් ගත වෙද්දි අප නිතර වැස්සේ සහ කෘතීම හොකී පිටියේ තෙතමනයත් සමගම ක්‍රීඩා කළ හෙයින්දෝ පැරණි තාක්ෂණය යොදාගෙන ලී වලින් නිර්මිත මේ පිත්තේ වක අනෙක් පසට හැරී රුයිතයක් මෙන් ඇද ගැසුවේය **

** වර්තමානයේ වීදුරු/කාබන් කෙඳි යොදා වර නැගූ (Fiber glass/Carbon Fiber Reinforced) නවීන හොකී පිති කැඩී බිඳී ගියහොත් මිස මෙලෙස හැඩය වෙනස් වීම සිදු වන්නේ නැත **

එනිසා අවසානයේ කෙතරම් අකමැත්තෙන් උවද කුළුඳුල් වක්පොල්ල පාවිච්චියෙන් අත හැර දැමීමට කණ්ඩා හට සිදු විය 🙂

එනමුත් මේ වක් පොල්ල වීසි කරන්නට තියෙනා ලෝභ කමට කණ්ඩා පාසලේ හොකී බඩු භාණ්ඩ දමන අබලන් වූ ලී කබඩ් එක තුළ දමා තැබූ බව මතකය.

එය ගෙදර ගෙනැවිත් තබන්නට බැරි වීම ගැන අද මා කණගාටු වන්නේය, ඒ මතක වස්තුවක් වශයෙන් කණ්ඩා හට මේ පොලු කොටය රත්තරන් වලටත් වඩා වටිනා නිසාය  😦 😦

වක්පොලු අළුත්වැඩියාව !

Broken Hockey Stick

කණ්ඩාගේ මව සහ පියා කවමදාවත් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න පසු බට නොවුණත් අනෙත් දේ සම්බන්ධයෙන් වියහියදම් දැරුවේ අරපරිස්සමිනි.

නමුත් කණ්ඩාගේ විනෝදාංශයන් වූ බාලදක්ෂ කටයුතු සහ හොකී ක්‍රීඩාව වෙත ලබා දිය යුතු සෑම උපකාරයක්ම ලබා දීමට දෙමව්පියන් නොපසුබට වූවෝය.

තාත්තාගේ වියෝවෙන් පසු අතපය දිග හැර වියදම් කරන්නට අම්මා සතුව සල්ලි බාගේ නැති බව කණ්ඩා දැන සිටියේය, එනිසා අපට තිබුණු විදිහට හැම දේම පිරිමසා ගන්නා එක මහා ලොකු දෙයක් ලෙස එදවස අප සැලකුවේ නැත 🙂

මේ කාලේ වෙනකොට පොඩි කණ්ඩාටත් වක්පොලු උණ බෝ වී තිබුණු බැවින් ඒ වනවිට අප පවුලෙ වක්පොලුකාරයන් දෙදෙනෙකු විය 🙂 🙂 🙂

කණ්ඩා පාසලේදී වක්පොලු ක්‍රීඩාවේ යෙදුන අවසාන අවදියේ භාවිත කළ හොකී පිත්ත සිහියට නැගෙනා විට මුවඟට සිනහවක් නැගෙනු වළකන්නට නොහැකිය 🙂

එකල මා සතුව හරි හමන් හොකී පිත්තක් නොතිබුණු නිසා බොහෝ විට වක්පොලු ණයට ඉල්ලා ගෙන ක්‍රීඩා කළ අවස්ථා ඒමට විය.

මේ කියනා කතාන්දර කණ්ඩාට පමණක් විශේෂිත වූ දෙයක් නොවේ, අප සතු සීමිත ආම්පන්න බෙදා හදාගෙන හැකි උපරිමයට ක්‍රීඩා කිරීම එදා සමකාලීන වක් පොලුකාරයන් නිතර කළ දෙයකි 🙂 🙂

අලුතින් හොකී පිත්තක් ඉල්ලා අම්මාට කරදර කරන්න තිබුණු අකමැත්ත නිසාම කණ්ඩා පාවිච්චි කළේ මලයා භාවිත කර ඉවතලූ කැඩී බිඳී ගිය වක් පොල්ලකි.

මතක ආකාරයට ඒ සමයේ කවුරුවත් වැඩි උනන්දුවක් නොතිබූ ඩීටා – Dita වර්ගයේ වක් පොල්ලකි, වර්තමානයේ මේ හොකී  පිති එදා මෙන් නොව ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර බෙහෙවින් ප්‍රචලිතය.

හොකී පිති සාදන්නේද ක්‍රිකට් පිති සේම ලී වලින් තැනූ බඳ සහ මිට දෙකොටසක් එකතු කර තදින් වෙලීම හෙවත් බයින්ඩ් කිරීමෙනි.

බයින්ඩ් කළ ස්ථානයෙන් කැඩී  කෑලි දෙකකට වෙන් වන්නට ඔන්න මෙන්න තිබූ කණ්ඩාගේ පිත්ත යන්තම් සෙලෙව්වත් නළ දතක් මෙන් දෙපැත්තට වැනෙනා එකකි.

නමුත් අලුතින් පිත්තක් ගන්නට තවත් සල්ලි බාගය යට කිරීම වෙනුවට වෙනස්ම ආරක දෙයක් කරන්නට කණ්ඩා තීරණය කළේය …

පිත්තේ කොටස් දෙක යා වෙන තැන තදින් තංගුස් නූල් පොටවල් වලින් බැඳ දමා එය මත යහමින් මල්ටි බොන්ඩ් ආලේප කිරීමෙන් පිත්ත යම් තාක් දුරට නැවතත් සවි ගැන්වූ අතර එමගින් පිත්ත දෙපසට වැනෙන්නේ නැතිව ඍජුව තබා ගැනීමට මහෝපකාරී විය.

ගෝල රකින්නා ලෙස කණ්ඩා හට අවශ්‍ය වූයේ තනි කෑල්ලට අතේ තබා ගත හැකි පිතිත්තක් පමණි, ඒ සඳහා මෙය උවමනාවටත් වඩා සෑහුණේය.

නමුත් මෙය අතේ තබාගෙන ඉඳිනවා හැරෙන්නට වැඩි දෙයක් කරන්න මේ පිත්තෙන් බැරිය, එමෙන්ම හතර වට නූල් පොටවල් ඔතා මැලියම් වක්කළ පිත්ත බලන්නත් අජූතය !

කුමන ගැටළුවක් තිබුණත් මොන දේ කළත් රටට ලෝකයට පේන්නට ලැජ්ජා වෙන්නට බැරිය, එනිසාම  මරදාන ගොඩගේ පොත් හලෙන් මිලදී ගත් සුදු පැහැ  ප්ලාස්ටර් රෝල් කිහිපයකින් පිත්ත නැවතත් වෙලීමෙන් පසුව කණ්ඩා බාස්ගේ වැඩ අවසන් විය.

ගෝල රකින්නා විදිහට කණ්ඩාට පන්දුවට නිතර පහර දීමට සිදු වෙන අවස්ථාව අඩු නමුත් මේ වක් පොල්ලෙන් පන්දුවට වැරෙන් පහර දුන්නොතින් නිසැකවම ඉතිරි වන්නේ කැබලි දෙකක් බව කණ්ඩා සහසුද්දෙන්ම දැන සිටියේය.

එබැවින් මේ පිත්ත භාවිතා කරනා අවදියේ කණ්ඩා බෝලයකට ගැසුවෙත් බොහොම නොරිදෙන ගානටය 🙂

මෙසේ මාස කිහිපයක් කණ්ඩා පිත්ත භාවිත කළත් අවසානයේ පාසලේ පුහුණුවීම් අතරතුර මේ පිත්ත කැබලි දෙකකට වෙන්වී ගිය අතර ඉන් මද කලකට පසු කණ්ඩා වක් පොල්ලට ආයුබෝවන් කිවේය 🙂

කටුගෙට ඔබින වක්පොලු ආයිත්තම් !

ගෝල රකින්නා ලෙස ක්‍රීඩා කරද්දී ඒ සඳහා භාවිත කරනා දිග කලිසමක් (Track Bottom) ඇඳීම වැදගත්ය, එසේ නොවන තැන පෑඩ් කුට්ටමේ හම් පටි වලට කකුල් කැපෙනා එක වළක්වන්නට සක්කරයාටත් බැරිය.

වර්තමානයේ පවතින ෆෝම් (Foam) වලින් නිපැයූ සැහැල්ලු පෑඩ් වල මේ තත්වය යම් තරමක් අඩු උවද බිම වැටෙන්නට පෙරළෙන්න සිදු වන ගෝලියෙකුට දිග කලිසමක් ඇඳීම ශරීර සෞඛ්‍යයට හිතකරය.

කණ්ඩා බොහෝ කාලයක් භාවිත කලේ එකදාස් නමසිය බර ගණන් වල ගෝනි පඩංගු සහ හම් වලින් තැනූ ඓතිහාසික පෑඩ් කුට්ටම්ය 🙂 🙂

බරින් වැඩි මෙම පෑඩ් පැළඳ ක්‍රීඩා කරනා විට ඉන් කකුල් කැපෙනවා පමණක් නොව දහඩිය දමනා විට කැපුණු තැන් දැවිල්ලට පුපුරු ගසන්නාක් මෙන් දැඩි සනීපයක් දැනෙන්නේය 🙂

කකුළ කැපෙනා හිර සපත්තු කුට්ටමක් පැළඳ මේස් රහිතව කකුල් හම යන තෙක් කිලෝමීටර් 5-10 ක දුරක් ඇවිදින අයකු සිහියට නගා ගතහොත්  ඔබට කණ්ඩා පවසන දේ යම් තරමක් දුරට හෝ වැටහෙනු ඇත 🙂

මෙවන් අතුරු ආන්තරා සමගින් දිගින් දිගටම ව්‍යායාම කිරීම මෙන්ම දුවන පනිනා එකත් අමාරු බව අමුතුවෙන් පවසන්නට අනවශ්‍ය යයි කණ්ඩා හිතන්නේය.

මේ හේතුව නිසාවෙන් හොඳම විසඳුම වූයේ හාල් පොත වන් කණ්ඩා සතුව තිබුණු එකම ට්‍රැක් බොටම කෙතරම් පැරණි උවත් පට්ට ගසමින් පාවිච්චි කිරීමය.

ඒ කලිසමත් පෙර සඳහන් කළ හොකී පිත්තට දෙවෙනි නැති නොම්මර එකේ භාණ්ඩයකි, ඒ ගැන සිහි වෙන වාරයක් ගානේ කණ්ඩා හට අඬන්නද හිනා වෙන්නද යන්න ගැටලුවකි !

නමුත් එදා මෙන්ම අදටත් කණ්ඩාට හිනා වෙන එක අඬනවාට වඩා පහසුය, ඇති දෙය ප්‍රයෝජනයට ගන්නවා මිස නැති දේට ඇඬිමෙන් පලක් නැත 🙂

මේ ඉලව් රාජකීය කලිසම් බොහෝ  විට කකුල් දෙක දෙපසට අදින එසේත් නැතිනම් “ස්ට්‍රෙචින්” ව්‍යායාම (Stretching Excercises) කරද්දී කණ්ඩාත් සමග ඇති තරහකටදෝ කකුල් දෙක හරි මැදින් ඉරෙන්නේය.

නිතරම මේ අලකලංචිය ගැන කණ්ඩාට දැනුම් දෙන පෙර ගමන්කරු වන්නේ කකුල්දෙක මැද්දෙන් විදුලි පංකාවක් හෝ වායු සමීකරණයක් දැමුවා සේ සනීපයට වදිනා සුළං පහරවල්ය !

අව්වේ තැම්බෙමින් දහඩිය පෙරාගෙන සෙල්ලම් කරනා කළ එයත් එතරම් නරක නැත 🙂

පාසලේ පුහුණු වීම් වල යෙදෙනා අතර මෙය මහා ලොකු දෙයක් නොවූනත් අප තරඟ සඳහා පිටතට යන විට කාන්තා පාසල් වලින් එන ගැහැණු ළමයි සහ බවලත් උදවිය ඉදිරියේ වැරදිලාවත් ෆ්ලෑෂ් ලයිට් පාරක් වැදුනොත් වස විලි ලැජ්ජාවය !

කෙසේ වෙතත් අප ඒ දවස් වල හරි ලැජ්‍ජා බයට (නැ)හැදිච්ච් ළමයි බව නොකියාම බැරිය … එනිසා අප ගැන අමතක කළත් විළිබිය ඇති අහිංසක ගෑණු ළමුන් ගැන සිතා හෝ කලිසමට අණ්ඩයක් දෙකක් දමා  ගැනීම වැදගත්ය 🙂 🙂 🙂

මෙකී හේතුව නිසා කලිසම ඉරී යන වාරයක් පාසා අණ්ඩ දමා ගැනීමට අම්මා හට කරදර කරනා එක කණ්ඩා හට බොහෝ හුරු පුරුදු දෙයක් විය 🙂

ඇතැම් දාට බැරිම තැන අම්මම සිනහා වෙමින්, පුතේ මේක මැහැව්වට හිටින එකක් නැහැ, මෙතන රෙදි වලට වඩා දැන් තියෙන්නේ අණ්ඩනේ … යනුවෙන් විහිලු කරන්නේය.

නමුත් කමක් නැහැ අම්මේ පුළුවන් විදිහට දැනට මහල දෙන්න ! යයි ඉල්ලු විට, අම්මා දන්නා මැහුම් ගෙතුම් ශිල්ප සියල්ල පිහිටට ගෙන කලිසම ඇතුළතින් තවත් රෙදි කැබැල්ලක් තබා කෙසේ හෝ සති කිහිපයක් කරදරයකින් තොරව කලිසම අඳින්නට හැකි වන සේ මසා දෙන්නේය 🙂

මතක ආකාරයට කණ්ඩා මේ රාජකීය කලිසමට අනේක වද දෙමින් නොසෑහෙන්න කාලයක් පාවිච්චි කරන්නට යෙදුණේය, එය අද දවසේ සොයා ගන්නට  හැකි නම් නිසැකවම කෞතුකාගාරයක තැබීමට තරම් වටිනා කෞතුක වස්තුවකි 🙂

~ මතු සම්බන්ධයි !

වක්පොලු කතා වස්තුව ~ I කොටස ~ කැන්ඩොස් මාමා සහ ගෝලියා !

Advertisements