Mathematics

මා (නො)කළ උසස් පෙළ …

උසස් පෙළ යනු කණ්ඩාගේ ජිවිතයේ සංක්‍රාන්ති සමයකි, කොටින්ම පාසලේදී පාඩම් කටයුතු වල කිසිසේත් නොයෙදුනත් වැඩියෙන්ම උගත් කාලය බව පැවසුවොත් නිවැරදිය !

උසස්පෙළ විෂය ධාරාවන් කිසිවක් කණ්ඩාගේ සිත් ගත්තේ නැත, නමුත් වැල යන අතට මැස්ස ගැහීමේ න්‍යාය පදනම් කරගෙන හෝ වෙනත් (අ)හේතුවකට කණ්ඩා ගණිතය විෂය ධාරාව තෝරා ගත්තේය.

කුලුඳුලේ උසස් පෙළ පන්ති ආරම්භ කළ අවදියේ පටන්ම කිසිඳු විෂයකට විශේෂ ඇල්මක් හෝ උනන්දුවක් නොතිබූ නිසාවෙන්, පන්තියේදී කණ්ඩා පොතේ පතේ වැඩ සඳහා බොහෝ සේ හොර කෙටුවේය.

උසස් පෙළ පන්ති යනු සිසුන් හට ඇඟිල්ලෙන් ඇන ඔලු තුළට දැනුම වක්කරනා අවදියක් නොවේ, එනිසා පාඩම් වැඩ අතපසු කරනා සිසුන් උනන්දු කරනු වෙනුවට නොසලකා හැරීම සාමාන්‍ය ස්වභාවයයි.

ඉබ්බා දියට දමන්නට හදනා විට ඇන්නෑවේ කිව්වා සේ කණ්ඩා උසස්පෙළ විෂයන් වලින් තවත් ඈත් උනා පමණක් නොව එකළ ප්‍රියතම විනෝදාංශයන් වූ පොත් කියවීමට සහ වක්පොලු ක්‍රීඩාවට තව තවත් ඇබ්බැහි වීය.

අපට උගැන්වූ බොහෝ ගුරුවරුන් සහ සිසුන් අතර වැඩි සබඳතාවක් නොවූයේය, මෙලෙස ගත වූ දෙවසරක කාලයේදී පන්ති කාමරයෙන් ලද දැනුම අල්පය එසේත් නැතහොත් බින්දුවකි !

ඒ අතරම ගණිත අංශයේ සංයුක්ත සහ ව්‍යවහාරික ගණිතය ඉගැන්වූ ගුරුවරුහොරු දෙපළක් එදවස ටියුෂන් ව්‍යාපාරයක නියුතුව සිටි බැවින්, පාසැල ඔවුනට අමතර අදායම් මාර්ගයක් සහ ලාභදායී ටියුෂන් පන්තියට සිසුන් අද්දවා ගැනීමේ මගක් පමණක් වූ බව කණ්ඩාගේ මතයයි.

ගණිත අංශයේ ඉගැන්වූ ගුරුවරුන් සියල්ලෝ උපාධි / ආචාර්ය උපාධිධාරීන් වූහ, මේ උදවියගේ උපාධි සහතික පිරික්සන්නට උනන්දුවක් අප හට නොතිබුණත්, පාසලේ විවිධ උත්සවයන් සඳහා ඔවුන් උජාරුවෙන් සැරසී පැමිණි කළු ලෝගු එයට සාක්ෂි සැපයීය.

එනම් මේ සියලුදෙනා උගත් පුද්ගලයෝ ** වූහ, නමුත් උගත්කම සහ ඉගැන්වීමේ හැකියාව යනු ඉතාමත් දුරස්තර මාතෘකාවන් බව මේ ගුරුවරුන් බොහෝ දෙනා ප්‍රායෝගිකවම අපට පැහැදිළි කර දුන්නෝය.

** මෙහිදී බුද්ධිමත් යන වදන ඉතා සැහැල්ලුවෙන් භාවිත කිරීමට කණ්ඩා අකමැතිය **

ඇතැම්හු නියමිත වේලාවට පන්ති කාමරයට පැමිණියද ඉගැන්වීම සිදුවූයේ සිසුන් හට නොව කළු ලෑල්ල වෙතය, එනිසා කළු ලෑලි වලට කතා කළ හැකිනම් අපට වඩා හොඳින් ඔවුන් අධ්‍යාපනය හදාරා ඇති බව නිසැකවම පවසනු ඇත.

කළු ලෑල්ලට උගන්වා අහවර වූ කළ පොත බලාගෙන කියවීම හෙවත් “ඩික්ටේෂන්” දීම පටන් ගන්නා විට නිදි බෙහෙතක් අර ගත්තාටත් වඩා තද නිදි මතක් එන්නේය 🙂

එබැවින් උසස් පෙළ පන්ති කාමරය කණ්ඩා හට ඉතා අප්‍රසන්න නිද්‍රාශීලි එකක් විය, එදවස පන්ති කාමරයට වඩා කණ්ඩාට හොඳින් නින්ද යන එකම තැන පිට්ටනියේ ලකුණු පුවරුව පසක ඇති ස්කෝරර්ස් බොක්ස් (Scorer’s Box) හෙවත් ලකුණු තබන්නන්ගේ කාමරයයි.

ලකුණු පුවරුවේ වම් පසට වන්නට දෙවන මහලේ පිහිටි මේ කුටියේ ඉදිරිපස කවුළු පියන් විවෘත කළ පසු මුළු ක්‍රීඩා පිටියම අවහිරයකින් තොරව දර්ශනය වනවා පමණක් නොව, පිටිය හරහා එන සිසිල් සුළඟත් සමග වායුසමනය කළා හා සමාන සිසිලසක් දෙන්නේය.

ගස් කොලං බෙහෙවින් විරළ පරණවාඩිය ප්‍රදේශයේ මෙවන් සිසිලසක් දැනෙනා තැන් අඩුය, ඉතා නිස්කලංක පරිසරයක් තිබු මේ වටාපිටාව තරමක් ඝෝෂාකාරී වන්නේ ලකුණු පුවරුව පිටුපස මායිමේ ඇති ප්‍රාථමික අංශයේ විවේක කාලයේදී පමණි.

දෙදෙනෙකුටවත් උස්සන්නට නොහැකි තරම් බරපතල කොස් ලීයේන් තැනූ පැරණි සිසු මේසයක් සහ බැංකුවක්ද මෙහි තබා තිබුණු  බැවින් වාඩි වී පොතක් පතක් කියවීමට මෙන්ම අතපය දිග හැර නිදා ගැනීමටද කදිමය. මේ හේතුව නිසා ලකුණු පුවරුව පාසල තුළ වූ කණ්ඩාගේ ප්‍රියතම තිප්පළ බවට පත් වූයේ නිතැතින්මය.

පොත් කියවීම කෙසේ වෙතත් නිදි කිරන්නට ගොසින් වරක් ක්‍රීඩා භාර ගුරුතුමා (POG – Prefect Of Games) වූ කුලසිරි ද සොයිසා මහතා සහ එකළ ආනන්දයේ ජේෂ්ඨ ක්‍රිකට් පුහුණුකරු වූ අනුරුද්ධ පොළොන්නෝවිට මහතාට මාට්ටු වීමට ගොස් නූලෙන් ගැලවුණු අවස්ථාවක්ද කණ්ඩාගේ මතකයේ ඇත.

එදා පොතක් කියවනා අතරතුර සනීපයට වදිනා සුළං රැල්ලත් සමග නින්දත් නොනින්දත් අතර පෙරළෙමින් සිටි කණ්ඩාට කීද්දුනේ පහළින් ඇසුණු හුරුපුරුදු කටහඬක් නිසාය.

කවුළුවෙන් යන්තමට එබිකම් කර බැලූ කණ්ඩාට ඇහැ ගැහුණේ කිසියම් හෝ හේතුවකට පිට්ටනිය වටේ රවුමක් ගසනා අතරතුර ලකුණු පුවරුව ගැන සොයා බැලීමට පැමිණි මේ උදවිය පිටිය සකසන සේවකයෙකු සමග බර කතා බහක යෙදී සිටිනා ආකාරයයි.

ඇති වූ තිගැස්මත් සමගම මොහොතකට ගල් ගැසුණු කණ්ඩා ඉක්මනින් ඉන් මිදී පියවි සිහියට පැමිණි බැවින් හැකි ඉක්මනින් පළා යා යුතු බව අවබෝධ කර ගත්තේය.

කඩිමුඩියේම පාසල් බෑගය මේසය තුළ සැඟවූ කණ්ඩා පූස් අඩි තබමින් කාමරයෙන් පිටව ලකුණු පුවරුව පිටිපස කෙටි තාප්පයෙන් පැන්නේ දෙවරක් නොසිතාය !

එකළ ලකුණු පුවරුවට යාබදව කොන්ක්‍රීට් දමා අඩක් නිමකර තිබූ දෙමහල් ප්‍රාථමික අංශ ගොඩනැගිල්ල ඔස්සේ නැවතත් පාසැලට රිංගන්නට හැකි වීම කණ්ඩා ලද වාසනාවකි 🙂

එසේ නොවන්නට කුලසිරි ද සොයිසා මහතා එදා ක්‍රීඩා භාර ආචාර්ය තනතුරට අමතරව ශිෂ්‍ය නායක සංගමය (Prefects Guild) භාර ආචාර්ය ධුරයද දැරූ බැවින් ඔහුට හසු වූ කණ්ඩාගේ ශිෂ්‍ය නායක පට්ටම් ගැලවෙන බව සිකුරුය.

එකල කණ්ඩා මුහුණ දුන් අපහසුතාවයන් ගැන සොයා බලා වටහා ගැනීමට උත්සාහයක් දැරුවේ පංති අරඹා අවුරුද්දක් පමණ ගිය තැන අපගේ පන්ති භාර ගුරුතුමිය බවට පත් වූ චාන්දනී මැඩම් පමණි, කණ්ඩා අදටත් ඇයට ගරු කරන්නේය.

නමුත් ඒ වන විට පමා වැඩිය උසස් පෙළ ගණිතය, රසායන විද්‍යාව මෙන්ම භෞතික විද්‍යාවද කණ්ඩාට වහ කදුරු මෙනි, ඒ කිසිඳු විෂයක් සඳහා තවත් කාලය වැය කිරීමේ ප්‍රයෝගිකත්වයක් දකින්නට කණ්ඩා අපොහොසත් විය.

මින් පස් වසරකට පසු පොඩි කණ්ඩාගේද පන්තිභාර ගුරුතුමිය බවට පත් වූ ඇය ඉගෙනීමට ලොකු කණ්ඩාගේ තිබූ උනන්දුවේ තරම හොඳින්ම දැන සිටියාය, පසු කලෙක මා පරිඝනක ඉංජිනේරුවකු ලෙස රාජකාරි කරනා බව ඇසූ ඈ පුදුමයට මෙන්ම සංතෝශයටද පත් වූ බව කාලයකට ඉහතදී පොඩි කණ්ඩා මා හා පැවසුවා මතකය 🙂

දිනපතා නාම ලේඛණය ලකුණු කරන්නට යෙදෙන උදෑසන පළමු පීරියඩ් දෙක අහවර වන තුරු පාසලේ රැඳී සිටීම කණ්ඩාගේ පුරුද්දයි, කොහොමටත් පළමූ හෝරා දෙක මග හැරීමට චාන්දනී මැඩම්ගෙන් ඉඩක් නැත.

එනිසා අමාරුවෙන් හෝ පස්ස පුටුවට තද කරගෙන සිටි පීරියඩ් දෙකට පින්සිදු වන්නට විභාගයට “ඇඩ්මිෂන්” දෙන සමයේ කණ්ඩාගේ පැමිණීමේ ප්‍රතිශතය හෙවත් “ඇටෙන්ඩන්ස්” කිසි කරදරයකින් තොරව 90% ක පමණ අගයක් ගත්තේය.

පළමු පීරියඩ් දෙක අවසානයේ කණ්ඩාට පාසලේ රැඳී සිටින්නට හේතුවක් නොවූ බැවින් පුරුද්දක් ලෙස පාසලෙන් කට්ටි පනින්නේය.

එකළ කට්ටි පැනීම ඇතැමෙක්ට ඉතා කරදරකාරී මෙන්ම තාප්ප බඩ ගෑමට සිදුවන ත්‍රාස ජනක කාරියක් වූ බව සැබෑය, නමුත් පරිප්පුවකුව සිටි කාලය පුරා කණ්ඩා කට්ටි පැණීම සඳහා එකම වරක් හෝ තාප්පයක් දිගේ බඩගා නොමැති බව පවසන්නේ මහත් සංවේගයෙනි  😦 😦

එබැවින් කොමාන්ඩෝ ගේම් දී රැම්බෝ මෙන් තාප්ප උඩින් පැන්න හැටි කියනා ත්‍රාසජනක රස කතා කණ්ඩාට නැත්තේය, ඒ තාප්ප බඩගානු වෙනුවට පාසලේ ප්‍රධාන දොරටුවෙන් එළියට බැස්ස නිසාය  🙂

එකළ ශිෂ්‍ය නායකයන් සඳහා පාසලේ සහ අනෙකුත් සමාජ, සංගමයන්හි අතවශ්‍ය වැඩ කටයුතු වෙනුවෙන් විද්‍යාල භූමියෙන් බැහැර යන්නට අවසර තිබුණේය. ඒ සඳහාද විශේෂ අවසරයක් සහිත ලියමනක් අවැසි උවද එය එතරම් තදින් ක්‍රියාත්මක වූයේ නැත.

කණ්ඩාද එකළ පාසලේ කනිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් ලෙස කටයුතු කළේය **, එමෙන්ම නිතර වක්පොලු ක්‍රීඩා තරඟ සඳහා යන ගමන් බිමන් සම්බන්ධ කටයුතු වලදී ගේට්ටුව භාරව සිටි ආරක්ෂක නිළධාරීන් කණ්ඩාව දැන හැඳින සිටි බැවින් කැමති වෙලාවක ගේට්ටුවෙන් පිටව යාමට ඔවුන්ගෙන් කිසිඳු බාධාවක් එදවස තිබුණේ නැත.

** Manchosan Charikaමැංචෝසන් චාරිකා” පොතේ ඇති ආකාරයේ ගජබින්න සහ සුරංගනා කතන්දර ඇද බාන්නට දක්ෂ ගම්පහ ප්‍රදේශයෙන් දියවන්නාවට ගිය එක්තරා තරුණ දේසපාලුවෙක්ද එකල සහකාර ශිෂ්‍ය නායකයෙකුව සිටි බව මතකයට එන විට විළි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවාය … 🙂 🙂 🙂

කවදා හෝ මොනයම් හෝ හේතුවකට දියවන්නාවට යන්නට හිතුනොතින් කණ්ඩා ඡන්දය ඉල්ලන්නට හිතන් ඉන්නේද ගම්පහ පළාතෙන්මය !!!

මැංචෝසන් චාරිකා ගැන වැඩි විස්තර  “ගෙදර පුස්තකාලය” බ්ලොග් අඩවියෙන් **

කණ්ඩා ඇතුළු ප්‍රධාන ගේට්ටුවෙන් පනින්නන් හට ප්‍රවේශම් වීමට සිදුව තිබූණේ ප්‍රධාන ගේට්ටුව අසල ඉඳහිට සැරිසරණ එකළ විදුහල්පති වූ ටිකිරි බණ්ඩාර දමුණුපොළ හෙවත් “ටී.බී. දරුණුපොර” මහතාගෙන් සහ ගේට්ටුව අසලම කාර්යාලයක වැඩ කටයුතු කළ නියෝජ්‍ය විදුහල්පති තිස්ස පෙරේරා මහතාගෙන් පමණි.

පළලින් අඩුමුත් ඉතා ප්‍රවේසමට වැවූ මනරම් උඩු රැවුළ නිසාම කවුරුත් නැති තැන අප සියලු දෙනා තිස්ස පෙරේරා මහතා ආදරයට හැඳින්වූයේ චාලි” සුරතල් නාමයෙනි **

** තිස්ස පෙරේරා මහතා ගැන රස කතා වෙනම ලිපියක නොලිව්වොත් එය එය එතුමාට කරන මහා මදි පුංචි කමක් බැවින් ඒ ගැන ලිවීම පසුවට තබන්නේය. දමුණුපොළ මහතාට කෙසේ වෙතත් තිස්ස පෙරේරා මහතාට කණ්ඩා වැනි අණ්ඩපාලයින් පවා එදා පටන්ම බෙහෙවින් ගරු බුහුමන් දැක්වූවෝය **

පළමු කඩුල්ල වන විදුහලේ ප්‍රධාන ගේට්ටුවෙන් පැන මරදානෙන් පටන් ගන්නා කණ්ඩාගේ පාද චාරිකාව ටවුන් හෝල් පසුකර ගොස් නතර වන්නේ කොළඹ මහජන පුස්තකාලයේය.

එදා තරුණ උදවිය මහජන පුස්තකාලයට ගියේ පොත පත බලන්නට සහ පාඩම් කරන්නට පමණක් නොවේ, ඔය කී කාරණා වලට අමතරව තවත් විවිධාකාරයේ යටි අරමුණුද විය.

ප්‍රේමවන්තයන් තම ආදරවන්තියව කරදරයකින් තොරව හමු වන්නටද ප්‍රේමවන්තයින් වන්නට කැමති උදවියට ගැහැණු ළමයින් පස්සෙන් යන්නටද ඔය කිසිවක් නොමැති උවත් අප කාගේත්  සිත් ගත් අංගයක් වූ “බර්ඩ් වොචින්” හෙවත් කිරිල්ලියන් නැරඹීමද මින් ප්‍රධාන විය.

පොත් පත්තර ගොඩවල් සහ පාඩම් වැඩ අස්සේම පෙම් පළහිලව්, තුන්කොන් ආදර ජවනිකා නිසා ඉඳහිට ඇතිවන ගුටි කෙළි, පාසල් අතර ඇති වන සමුහ ගුටිකෙළිද නැත්තේ නොවේ.

නමුත් මේවා කණ්ඩාට අදාළ නැත, එනිසා මුල්ම රාජකාරිය පුවත්පත් සහ සඟරා ඇති කොටසට ගොඩ වැදී හිතේ හැටියට දිනපතා සහ සති අග පුවත්පත් කියවීමයි.

ඒ අවසානයේ මදි පාඩුවට ප්‍රබන්ධ පොත පත ඇති රාක්කයෙන් රාක්කයට පිය මනිමින් රැගෙන යන්නට පොතක් දෙකක් තෝරා ගන්නටද කණ්ඩා අමතක කරන්නේ නැත.

එකළ උසස් පෙළ කෙසේ වෙතත් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කණ්ඩා හට දැඩි උනන්දුවක් තිබූණේය, එනිසා අමාරුවෙන් උවද ඉංග්‍රීසි පොත් කියවමින් භාෂා දැනුම වැඩි දියුණු කර ගන්නට කණ්ඩාට හැකි විය.

නමුත් සම්භාව්‍ය ගනයේ කෘති කණ්ඩාට දිරවූයේ නැත, එයට හේතුව වෙනත් කිසිවක් නොව ඉංග්‍රීසි භාෂා ඥානයේ අඩු පාඩුව විය යුතු යයි කණ්ඩා අදහන්නේය.

ඒ අඩුව පිරිමසා ගැනීමට උදව් කළේ සරළ ඉංග්‍රීසියෙන් ත්‍රාසජනක කතා ලියූ “ඩොන් පෙන්ඩ්ල්ටන්” සහ “ඇලිස්ටේයා මැක්ලීන්”  (Don Pendleton & Alistair MacLean) වැනි ලේඛකයන්ගේ පොත පතය.

පුස්තකාලයෙන් පිටවන කණ්ඩා බොහෝවිට නතර වන්නේ එහි කොනක වූ කැන්ටිමේය, අතේ මුදල් හදල් ගැවසුන දිනක නම් එතැනින්ම ප්ලේන්ටියක් සමග මාළු (නැති) පාන් හෙවත් අල පාන් ගෙඩියක් ගිල දමා අල්ලපු වැටේ වූ විහාරමහා දේවී උද්‍යානයට රිංගන්නේය.

විහාරමහා දේවී උද්‍යානය ඇත්තේ කොළඹ මහජන පුස්තකාලයේ මායිමක බව කොළඹ තරමක් හෝ කරක් ගසා ඇති උදවිය දන්නේය, කැන්ටිම පිටුපස ඇති ගරා වැටුණු දැල් අතරින් සතුටු උයනට රිංගන කණ්ඩා ඒ මැදින් විහාර මහා දේවී උයන වෙත පිය මනින්නේ ඉතා සැහැල්ලුවෙනි.

දහවල් කාලයට විහාර මහා දේවී උද්‍යානයට වැදී හොඳ හැටි හෙවනකින් යුතු  ගසක් යටට වී වාඩි ගත් විට කොළඹ කර්කෂ පරිසරයේ කටුකත්වය දැනෙන්නේ නැත. කණ්ඩා බොහෝවිට මේ රවුම් ගසන්නේ පාසල් නිල ඇඳුමෙන්මය, එනිසා තොරා ගත් තැනකට වී ඇති පදම පොත් කියවන්නට කිසිවෙකුගෙන් කරදරයක් නැත්තේය.

එකළ විහාරමහා දේවී උද්‍යානය පසෙක ආදරවන්තයන්ට පමණක් වෙන්වූ පළාතක් විය, එහි සෑම ගහක් ගලක් පාසාම ජෝඩු වැහි වැහැලාය, මේ අතර තරුණ තරුණියන් වැඩි නමුත් හොඳින් හැඳ පැළඳ ගත් රැකියාවන්හි නියුතු බව සිතිය හැකි මැදිවියේ ජෝඩුද ඇත්තේය.

උද්‍යානය රැක බලා ගැනීමට යෙදූ ආරක්ෂකයන් මේ ජෝඩු සියල්ල එකම පෙදෙසට ගාල් කරන්නේ අනෙක් ස්ථාන වල කුඩා ළමුන් ගැවසෙන නිසාය, කුඩා ළමුන් වැඩියෙන් ගැවසෙන තැන් මේ අයට අකැපය !

ආදරවන්තයන්ගේ පැත්තෙන් බැලූ කළ මෙය මානව හිමිකම් උල්ලංඝනයකි, නමුත් මේ ඇතැම් ජෝඩු ප්‍රසිද්ධියේ නටනා නරි නාඩගම් දකිනා විට එහි වැරද්දක් දකින්නටද නොහැක 🙂 🙂

නිළ නොලත් සදාචාර පොළීසියේ මහත්වරුන්ගෙන් තමන්ගේ පාඩුවේ පොත් කියවන කණ්ඩාට කරදරයක් නැත, ඉඳහිට එයින් කෙනෙක් විමසන්නේ ඉගෙන ගන්නා පාසල ගැන හෝ ඒ හා සමාන සුහද පැණයක් පමණි.

මෙසේ පොත් පත් කියවීම අහවර වන්නේ පාසල ඇරෙන්නට කිට්ටු වේලාවටය, අනිත් උන් පාසල ඇරී නිවෙස් කරා යන විට කණ්ඩා ආපසු පාසලට පිය නගන්නේ සල්ගාදු හෝටලය ඉදිරිපිට නවතා ඇති හෝමාගම පාසල් බස් රථය අල්ලා ගැනීමට හෝ වක්පොලු පුහුණුවීම් ඇති නිසාය.

කණ්ඩා මේ පවසන්නේ අතිශය පුද්ගලික අත්දැකීම්ය, ආපසු හැරී බලන කළ මේ කිසිවක් පිළිබඳ ලැජ්ජාවක් හෝ අමුතු ආඩම්බරයක්ද කණ්ඩා හට නැත්තේය. නමුත් මෙවන් දෑ පොත පතින් හෝ මුදලට ගන්නට බැරිය. එනිසාම මා හට මේ අත්දැකීම් මිල කල නොහැකි තරම් වටින්නේය.

අද වන විට උසස් පෙළ පන්තියේ එකට උගත් බොහොමයක් සගයන් පමණක් නොව ඉගෙන ගත් පන්තියද කණ්ඩාගේ මතකයෙන් ගිලිහී ගොස් අහවරය. නමුත් විටින් විට ඒ අතීතයේ සැඟවී ගිය විවිධ මතකයන් දිය යට එබූ රබර් බෝලයක් මෙන් උඩ මතු වන බැවින් ඉදිරියටත් මෙවැනි කතා කණ්ඩාගේ අතින් ලියවීමට ඉඩ ඇත්තේය.

කණ්ඩාගේ සමකාලීනයන් මේ සිදුවීම් ජාලය වඩා වෙනස් කෝණයකින් දකින්නට ඉඩ ඇත්තේය, කණ්ඩා වැනි අතිශය සුළුතරයක් වූ අණ්ඩපාලයන් මෙසේ කොළඹ වටේ රස්තියාදු ගැසුවත්, බොහොමයක් දෙනා ඇල් වතුරත් නිවා බොන තරමේ සුවච කීකරු සිසුන් වූවෝය.

මේ පරිප්පුවන් බොහෝ දෙනා පන්තිකාමරය තුළදී කණ්ඩා අත්විඳි සෑම දේ එලෙසින්ම අත්වින්දෝය, නමුත් ඔවුන් ඉතා හොඳින් උසස් පෙළ සේම තෘතීක අධ්‍යාපනයත් නිමා කර වර්තමානයේ විවිධ ක්ෂේත්‍රයන්ගේ සාර්ථකත්වය ලඟා කරගෙන ඇත්තේය.

අදටත් කොහේ ගියත් “අපේ එකෙක්” හමු වෙන එක කණ්ඩාට අප්‍රමාණ සතුටක් ගෙන දෙන්නේය.

එනිසා මේ කතාන්දරයේ හරි වැරැද්ද විමසීම සහ සාධාරණ තීන්දුවක් ලබා දීම කණ්ඩාගේ සමකාලීන පරිප්පුවන් හට බාර කරන්නේය.

~ මතු සම්බන්ධයි !

පරිප්පුවන්ගේ කතා ~ II කොටස ~ ගං ඔටුවා සහ රජ ඔටුවා !

Advertisements