Military Convoy

කාබුල් පොල්ල !

අප රැගෙන යන්නට සුපිරි කොම්පැණියෙන් කිසිවෙකු නොපැමිණීම නිසා කණ්ඩා ඇතුළු කණ්ඩායම වැටුණේ දැඩි අපහසුතාවයකය.

ඇෆ්ගනිස්තානය යනු පාරට අත දමා ටැක්සියයක් නවත්වාගෙන ගමනාන්තය රියදුරාට පැවස  ළඟා විය හැකි තරම් ආරක්‍ෂිත හෝ පහසුකම් සහිත රටක් නොවන බව අමුතුවෙන් කියන්නට අනවශ්‍යය.

මෙහි විශ්වාසවන්ත උදවිය සොයා ගැනීම කළු නික සොයනවාටත් වඩා අපහසුය, එබැවින් කාබුල් පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට ගොඩ ගැසූ ගමන් මලුත් සමගින් අප රැගෙන යාමට අයෙක් එනතුරු සිටිනවා හැරෙන්නට වෙනත් විකල්පයක් තිබුණේ නැත.

නමුත් වාසනාවකට කණ්ඩාගේ ගමන් සගයන් දෙදෙනා වන නූර් සහ රංජිත් යන දෙදෙනාම සතුව ඇෆ්ගනිස්තාන් ජංගම දුරකථන කාඩ් පත් වූ නිසා එවේලේ දැඩි කලබලයකට පත් වන්නට හේතුවක් නොවීය.

නමුත් කෙතරම් උත්සාහ ගත්තත් අප කැටුව යන්නට නියමිතව සිටි ඇෆ්ගානි ජාතික මග පෙන්වන්නා දුරකතනය හරහා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් සියල්ල වතුරේ ගියේ අනපේක්ෂිතවය.

අඩ පැයකට වැඩි වේලාවක් මාරුවෙන් මාරුවට දුරකථන ඇමතුම් ගත් රංජිත් සහ නූර් අවසානයේ ඒ අදහස අතහැර දමා සුපිරි කොම්පැණියේ මානව සම්පත් කළමණාකාරවරයෙකු සම්බන්ධ කර ගැනීමට සමත් විය.

අප පත් වී සිටි අමාරුව තේරුම් ගත් නිසාදෝ හැකි ඉක්මනින් රියදුරකු එවීමට ඔහු පොරොන්දු වූ බැවින් අපගේ හිත් තරමක් දුරට සන්සුන් විය.

අහල පහළ වෙලා ගත් ගන අඳුර මකා දමන්නට ඇත්තේ  මළානික විදුලි පහන් කණු කිහිපයක් පමණි, අප තිදෙනා හැරෙන්නට සිවිල් වැසියන් කිසිවෙකුත් පෙනෙන තෙක්මානයක නැත්තේය.

තැනින් තැන අඳුරට මුවා වී අවි මානා ගත් සෙබළු එකවරම මතුවන භූතයන් මෙන් වරින් වර එලි පහළියට බැස පර්යන්තය ඉදිරියේ කෙටි වේළාවකට මුර සංචාරයේ යෙදෙන්නේය.

ඔවුන් ආලෝකය ඇති තැන් වල වැඩි වේලා රැඳී සිටින්නට උනන්දුවක් නොමැති බව සහ එයට හේතු වටහා ගන්නට අපට වැඩි ආයාසයක් අවැසි වුයේ නැත.

අප තිදෙනා වචනයක් හෝ නොදෙඩුවත් බෑග් මලු මුර කිරීම පසෙක තබා බඩු බාහිරාදිය ඇස ගැටෙන මානයේ වූ වැඩි එලි පහළියක් නොමැති මුල්ලකට ඇදුණේ එකිනෙකාගේ අදහස් තේරුම් ගිය නිසා වන්නට පිළිවන.

විවිධ මුර පොළ, පොළිස් ස්ථානයන් සහ පාසල් මෙන්ම අනෙකුත් සැලකිය යුතු මර්මස්ථාන වන රජයේ ගොඩනැගිලි, ගුවන් තොටුපොළ සහ රාජතාන්ත්‍රික ගොඩනැගිලි ටලිබාන්වරුන්ගේ නිරන්තතර ඉලක්කයට ගොදුරු වන්නේය.

NATO/ISAF හමුදා සහය ඇතිව යෙදුණු ආරක්ෂක මුර කපොළු සහ මුර සංචාරයන් හට පින්සිදු වන්නට මෙම ස්ථානයන් හට එල්ල වූ ප්‍රහාර අවම කර ගැනීමට හැකියාව ලැබුණත්, කොයි මොහොතේ කොතැනකදී හෝ ප්‍රහාරයකට ලක් වීමේ අවදානම එසේමය.

මේ විදේශීය හමුදා මුහුණ දුන්නේ යම් තරමකට ශ්‍රී ලාංකික හමුදාව උතුරු නැගෙනහිරදී අත්දුටුව දේට සමාන තත්වයකටය.

භාෂාව, සංස්කෘතිය මෙන්ම භුගෝලීයවත් නුහුරු නුපුරුරු පරිසරයකට විත් යුද්ධ කිරීම හිතෙන තරම් ලෙහෙසි පහසු කර්තව්‍යක් නොවන බව මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සිට නැපෝලියන් දක්වාද නැපෝලියන් සිය යැංකි ආක්‍රමණිකයන් දක්වාද ඉතිහාසය විසින් වරින් වර ඔප්පු කර ඇත්තේය.

ටලිබාන්වරුන් හට සහය ලබා දුන් සහ ඔවුන් සමග විදේශීය හමුදා වලට විරුද්ධව සටන් වදින්නට එක්වූ සාමාන්‍ය ජනයා මෙන්ම ටලිබාන්වරුන්ගේ අන්තවාදී වියරු ආගමික මතවාද එකහෙළා ප්‍රතික්ෂේප කළ පිරිසක්ද විය.

(මුළු රටම මේ රේඛාවන් ඔස්සේ දෙපසකට බෙදී තිබුණේය, මේ ගැන කියද්දී සිරි ලංකාවේ අපට ඇති ළඟම උදාහරණය ටොයියන් සහ බයියන්ය 🙂 )

ටලිබාන්වරුන් ප්‍රතික්ෂේප කරන සන්නද්ධ කල්ලි මෙන්ම උගත් බුද්ධිමත් මධ්‍යස්ථ මතධාරීන් හට ඇමරිකානු අත පෙවීම සිදු වන තුරු ඇෆ්ගනිස්තානයේ වැඩි බලයක් හෝ හඬක් හිමිව තිබුනේ නැත.

නමුත් ඇමරිකානු ආක්‍රමණයත් සමගින් ටලිබාන්වරුන්ගේ මතුපිටින් වූ බලය බිඳී ගිය බැවින් ඔවුන් සිවිල් සමාජය තුළටම වැදුනේය. ටලිබාන්වරු සාමාන්‍ය ජනයා අතර සැඟවීමේ කලාව පර තෙරට ප්‍රගුණ කළ ඔස්තාද්වරුන් වූ නිසා ත්‍රස්තවාදී ප්‍රහාර මුලිනුපුටා දැමීම කළ නොහැකි කර්තව්‍යයකි.

“නොදැනුවත්කම දැනුවත්කමට වඩා සැනසීමක්” බව කියනා ඉංග්‍රීසි කියමනක් තිබේ (“Where Ignorance is Bliss, ’tis folly to be wise” – Thomas Gray ), ඇෆ්ගනිස්තානය වෙත ගිය ගමන ගැන කල්පනා කරන විට කණ්ඩාට කියන්නට ඇත්තේද එයමය.

මන්ද මේ සියළු දේ කණ්ඩා නොදැන සිටියා නම් සිතට කරදරයක් හෝ බියක් ඇති කර ගන්නට හේතු කාරණාවන් නොමැති නිසාය …

නමුත් අවාසනාවට එසේ නොවූ නිසා ඉබි ගමනින් ගලා යන කාලයත් සමග කණ්ඩාගේ සිතේ තිබුනේ යම් තැතිගැන්මක් සමගම ඇති වූ මහත් නොසන්සුන්තාවයකි.

ඉවසීම මද කම කණ්ඩාගේ ඉමහත් දුර්වලතාවයකි ! ඒ ගැන දෙවරක් හිතන්නට දෙයක් නැත, ඒ සමගම නොසන්සුන් වූ විට තත්වය තවත් දරුණු අතට හැරෙද්දී සාමාන්‍යයෙන් කණ්ඩාගේ ශුද්ධ සිංහල හෝ ඉංග්‍රීසි දැනීම නොදැනීම වැඩි දියුණු වන්නේය.

මෙවර කණ්ඩාගේ නොසන්සුන්කම දෝර ගලා ගියේ අපට පොලු තැබූ මග පෙන්වන්නාගේ පිටින්ය…  අම්ම .. මෝ නැතිව උගේ හත්මුතු පරම්පරාවම සිහි කර පින් පමුණුවමින් කාලය කා දමනු හැරෙන්නට කරන්නට වෙනත් කිසිවක්ද නොතිබුණේය.

මෙසේ තවත් පැය බාගයක තරම ගෙවුන තැන තවත් හමුදා ගුවන් යානයක් ගොඩබට නිසාදෝ ඇමරිකානු හමුදා සෙබළුන් 30 – 40 ක කාණ්ඩයක් මගී පර්යන්තයෙන් පිටතට පැමිණියේය.

හෙමින් කතා බහක් නැති මේ සෙබළුන්ගේ කටහඬින් එතෙක් වේලා පළාතම යටත් කරගෙන සිටි ඒකාකාරී මුසල නිශ්ශබ්දතාවය බිඳ වැටීම අප සිත පැතිරුණු  පාළුව කාන්සිය යම් දුරකට සමනය කිරීමට උපකාර කළේය.

මේ සෙබළුන්ගේ ආයුධ ආම්පන්න, හැසිරීමේ රටාවන් මෙන්ම තම කණ්ඩායමේ සාමාජිකයන් හා නිලධාරින් අතර සිදුවන ආචාර සමාචාර, සන්නිවේදනය කරනා ආකාරයද කණ්ඩා නිහඬවම නිරීක්ෂණය කළේය.

ඔවුන් අතර සිටි නිළධාරින් ලෙස සැලකිය හැකි දෙතුන් දෙනෙකු හැරුණු විට අන් සියලු සොල්දාදුවන් ඉතා ලාබාල තරුණයන් බව බැලු බැල්මටම වටහා ගත හැකිවිය.

එහිදී කණ්ඩාට සිතුනේ දේශපාලුවන්ගේ උවමණා එපාකම් වලට තම ජිවිතයෙන් වන්දි ගෙවන ශ්‍රී ලාංකීය සොල්දාදුවනුත් මොවුනුත් අතර වැඩි වෙනසක් ඇද්දෝ යන්නයි ???

නමුත් වැඩි වෙලා යන්නට මත්තෙන් ගාම්භීර සන්නද්ධ රථ පෙළක් පැමිණියේ මෙම සොල්දාදුවන් රැගෙන යන්නටය, මේ වාහන පෝලිමට එසේත් නැති නම් මිලිටරි බසින් පවසනවා නම් “කන්වෝයි”  (Convoy) එක සඳහා 4×4 මෙන්ම 6×6 රථද ඇතුළත් විය.

මේ අතර වූ ආරක්ෂාව සැපයීම සඳහා පැමිණි උපරිමයට සන්නද්ධ වූ සොල්දාදුවන් කිහිප පොළක් සහිත මිලිටරි හමර් (Hummer) රථ දෙක කණ්ඩාගේ බෙහෙවින් සිත් ගත්තේය.

මෙයට පෙර කණ්ඩා මෙවන් දෑ දැක ඇත්තේ රුපවාහිනි තිර මතින් සහ හාවා හඳ දකින්නා සේ කලාතුරකින් පනාගොඩ යුධ හමුදා කදවුර අසලදීය, ඒ ඇරෙන්නට අත පොව්වන දුරකින් මේ අත්දැකීම් විඳ ගන්නට ලැබෙන්නේ නැත.

ඒ සමගම කණ්ඩා තුළ එතෙක් සැඟවී සිටි කාර් පිස්සුවෙන් පෙළුණු කොලු ගැටයා එළියට පැන්න බැවින්, මේ වාහන වල පින්තූර කිහිපයක් ගැනීමේ නොනිම් ආසාවක් ඇති විය.

නමුත් අවාසනාවකට හෝ වාසනාවකට එකළ මා සතුව කැමරාවක් නොවූ බැවින් පින්තුර ගන්නට නූර්ගේ කැමරාව ඉල්ලුවත් නූර් එය එක එල්ලේම ප්‍රතික්ෂේප කළේ මාගේ සිහි කල්පනාවේ අඩු පාඩුවක් ඇතිදැයි විමසමිනි.

** Have you ***** Lost your mind Ranga ???? නූර්ගේ මූවින් පැන්නේ ඔවනි අදහසක් ඇති මීට වඩා බොහොම ලුණු ඇඹුල් සහිත වදන් පේළියකි 🙂 🙂 🙂

මුලින්ම නූර්ගේ මුහුණේ ඇඳි විමතිය මෙන්ම පසුව ඇති වූ සමච්චල් සහගත බැල්මද කණ්ඩාට අදටත් මතකය.

මේ රථ වල මෙන්ම කාබුල් ගුවන් තොටුපොළ පරිශ්‍රයේද පින්තුර ගැනීම සපුරා තහනම්ය, එනිසා වැරදිලා හෝ කණ්ඩාගේ අතේ කැමරාවක් වී නම් හිරේ විලංගුවේ වැටී මෙයට වඩා රසවත් කතාවක් ලියවෙන්නට ඉඩකඩ තිබුණේය.

Hummer in Kabul

මේ හමුදා සංදර්ශනය වැඩි වෙලා පැවතුනේ නැත. තම අඩුම කුඩුම සියල්ල පටවා ගත් මේ සියලුදෙනා ආවා සේම ඉක්මනින් යන්නට ගියේ නැවතත් මූසල නිහැඬියාවක් අප වෙත ඉතිරි කරමිනි.

මෙසේ කරුවලේ ඉතා අපහසුවෙන් සහ නොඉවසිල්ලෙන් ගෙවා දැමූ ඒ හෝරාවකට අධික කාලය කණ්ඩා හට කල්පයක් තරම් දැනුණු බව කිව යුතුය.

අවසානයේ අප සියළුදෙනා සැනසුම් සුසුමක් හෙළුවේ සුපිරි කොම්පැණියේ නිළ ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු අප දෙසට ඇවිද එනු දුටු විටය.

කතා බහේදී “හැකි ඉක්මනින්” යන වදන අතිෂයින් සාපේක්ෂය. එය භාවිත කරනා පුද්ගලයා, රට හෝ ප්‍රදේශය මෙන්ම අවස්ථානුකූලවද වෙනස් වන්නේය. ඇෆ්ගනිස්තානයේදී “හැකි ඉක්මනින්” යනු රබර් විනාඩි වලින් සැදි ස්ථිර අවසානයක් නැති කාල සීමාවක් බව කණ්ඩා පසු කාලයකදී තේරුම් ගත්තේය.

ඒ අප මුලින් කැටුව යාමට නියමිතව සිටි මග පෙන්වන්නාම බව නූර් හඳුනා ගත්තේය, ආචාර සමාචාරයෙන් පසුව ගමන් මලු උසුලාගෙන වාහනය වෙත යන ගමන්ම හිතේ අමාරුව යන්නට මේ හාදයාට දෝස් මුරයක් තියන්නටද අප අමතක කලේ නැත.

පොල්ලක් තිබ්බ නමුත් ඒ ඇෆ්ගානියා හට සාධාරණ හේතුවක් තිබුණේය, එනිසා අප කොපමණ කේන්තියෙන් සිටියත් වැඩිදුර කෑ කොස්සන් ගහන්නට ගියේ නැත.

සිදුව තිබුණේ රාජකාරි වැඩක් සඳහා සැන්දෑ වරුවේ හමුදා කඳවුරකට සුපිරි කොම්පැණියේ සේවකයන් කැටුව ගිය ගමනක් අතරතුර හදිසි සෝදිසි කිරීමක් සඳහා කඳවුර වසා දැමීමය (Security Lockdown).

එවන් අවස්ථා වලදී කඳවුරකට ඇතුළුවීම පිට වීම මෙන්ම අතවශ්‍ය දෑ හැරෙන්නට සංනිවේදන කටයුතු වලට පවා තහංචි පැනවෙන්නේය.

බොහෝ විට මේ සෝදිසි කිරීමේ පණිවිඩය සංඥා නළාවක් හෝ ශබ්ද විකාශන යන්ත්‍රයක් උපයෝගී කර කඳවුර පුරා දැනුම්දුන් පසු සෝදිසි කටයුතු වල නිරත වන අය හැරෙන්නට අන් සියලු දෙනා තමන් සිටිනා තැන වලම රැඳී සිටිය යුතුය.

Shisha Pipeමේ සම්බන්ධයෙන් විවධාකාරයේ රසවත් කතන්දර කණ්ඩා අසා ඇත, නානකාමර සහ වැසිකිළි වලට වී පැය ගණන් සිර වී සිටි උදවිය, හොරබඩු හෙවත් ළඟ තබා ගැනීමට තහනම් මත්පැන්, දුම් උරන්නට භාවිත කරනා ශීෂා/හූකා(Shisha/Hookha) පයිප්ප වැනි දෑ හසුවීම නිසා අමාරුවේ වැටුන උන් ගැන කතාන්දර බොහෝය.

එයට අමතරව කණ්ඩා ඇසූ අපුර්වතම සිද්ධිය නියම හොරබඩු සම්බන්ධයෙනි, ඒ හමුදා සෙබළියක් සමග කොටුවක් පනින්නට ගොස් කඳවුරෙන් පමණක් නොව රටින්ද අනතුරුව කන්තෝරුවෙන්ද පිටමං කරනු ලැබූ හාදයෙක් ගැනය.

කොහොමින් හරි මග පෙන්වන මනුස්සයාට සමාව දුන් අප මුලින් කාබුල් ගුවන්තොටුපොළ ආපන ශාලාව හෙවත් “කයා ඩීෆැක්” (KAIA DFAC) වෙත යාමට සිතා සිටියත් රෑ බෝවී තිබුණු නිසාත් ඇඟේ පතේ මහන්සියත් හේතුවෙන් කෙලින්ම නවාතැන් පොළ වෙත ගමන් කිරීමට තීරණය කළෙමු.

අප රැගෙන යාමට ඇවිත් තිබුණේ කෑලි හැලෙන “නිසාන් කැරවෑන්” (Nissan Caravan) වෑන් රථයකි. මේ බඩ කඩිත්තුවේ ඇතුල් වන දොර හයියෙන් වැසු විට පිටු පස දොර ඉබේ ඇරෙන්නේය.

එනිසා ඉදිරිපස සිටිනා අයෙක් හෝ රියදුරා ආපසු ගොස් පිටුපස දොර වසන්නට උවමනාය, කොමපණ ගමන් විඩාව තිබුණත් එය දුටු අපට සිනහව නතර කර ගැනීමට අපහසු වූ බව අදත් ලියන්නේ සිනහ වෙන ගමන්මය  🙂 🙂 🙂

වාහනයේ සැප පහසුකම් අතින් අංග සම්පුර්ණය, ඩුබායිහිදී අකමැත්තෙන් උවත් මුහුණ දෙන්නට වන පටාන්වරුන් ලඟින් නික්මෙන අති මනරම් සුගන්ධය මේ රථය ඇතුළතද අඩු නැතිවම අත් විඳ ගන්නට අපට නොමිලයේම අවස්ථාව ලැබුණේය.

අසුන් ගන්නට ඇති සීට් සියල්ල ඉරී ගොසින් ෆෝම් මතු වෙලාය ඒවායේත් තැනින් තැන මීයන් පහුරු ගෑවා මෙන් තඩි වලවල්ය. වාඩිවූ කල වම් තට්ටම වලකට හිටියොත් ඒ පැත්ත යට ඇති ලෑල්ල තෙක් ගිලා බහින නිසා දකුණු පස පිහිටන්නේ එයට අඟල් දෙකක් පමණ වන්නට උඩහින්ය 🙂 🙂 🙂

රුවිතයට සිටින අන්ත අසරණ කොඳු නාරටියේ  දුක කියන්නට කවුරුත් නැත, වාහනයේ හිටගෙන ගියා නම් මෙයිට වඩා සනීපය !!!

මේ සැප පහසුකම් ගැන නහයෙන් අඬන්නට සුදුසු වෙලාවක් නොවේ, එනිසා කෙසේ හෝ පිටුපස දොර අටවා ගත් පසුව අප ගමන ආරම්භ කළෙමු.

වාහනේ කචල් උවද ආරක්ෂාව ෂුවර්ය !!!  මේ වාහනය දිහා වරක් බැලූ කෙනෙක් දෙවරක් හැරී බලන්නේ නැත, ටලිබාන්කාරයෙක් උවද අප දිහා ආපසු හැරී බලනවා නම් ඒ ඔල්මාදකාරයෙක්ම වෙන්නට ඕනෑය 🙂 🙂 🙂

ඇෆ්ගනිස්තානයේ අග නගරය වන කාබුල් නුවර පවා තාර අතුරා තිබෙන්නේ ප්‍රධාන මාවත්හි පමණි. අනෙක් අතුරු පාරවල් සියල්ල වැටෙනා අව්,වැසි සහ හිම හේතුවෙන් දුහුවිල්ලෙන් හෝ  අලි නාවන තරමේ මඩ ගොහොරු වලින්ද පිරී ඇත්තේය.

අප ගමන් ගත් ලදරම් වෑන් රථය කෙතරම් පැරණි උවත් රියදුරාගේ හෙමින් ගමනක් නැත්තේය … එනිසා වලක වැටෙනා වාරයක් පාසා උඩ ගොස් බිම වැටෙනා එක ඉවසාගෙන සිටියත් අප රැගෙන ආ උපකරණ සහ බඩු මුට්ටු ප්‍රවේශම් කර ගන්නට අමුතු වෙහෙසක් දරන්නට සිදුවිය.

පාර දෙපස කඩ වලින් විහිදෙන විදුලි බුබුළු වල ආලෝකය හැරෙන්නට මං මාවත් වල පහන් කණු ඇත්තේ ඉතා කලාතුරකින් තැනකය. රෑ බෝ වී ඇති නිසාවෙන්දෝ වාහන තදබදයක් නැත්තේය, රියදුරා වාහනය ලෑල්ලට පාගන්නේය ඒ ලද අවසරයෙන්ය.

Kabul Street

මේ යන අතරවාරයේ ඇෆ්ගානි ජාතික රියදුරා වාහනය ප්‍රධාන පාරෙන් ඉවතට හරවා අතුරු පාරවල් වල ගමන් කරන්නට ගත්තේ අප බලාපොරොත්තු නොවූ මොහොතකය. අතරින් පතර පසු වන ගොඩනැගිල්ලක් දෙකක් හැරෙන්නට කෑලි කපන්නට හැකි තරම් කට්ට කරුවලය.

ප්‍රධාන පාරෙන් පිට පැන්නාට මගපෙන්වන්නාගේ කිසිඳු මනාපයක් නොවීය එනිසා ඔහු සහ රියදුරා අතර “පශ්තෝ” බසින්  ** සැර වචන හුවමාරුවක් ඇති විය, මෙලෝ දෙයක් තේරෙන්නේ නැති අපට මෙය ඇසෙන්නේ එකම කල කෝලාහලයක් ලෙසටය.

** ඇෆ්ගනිස්තානයේ සහ පකිස්තානයේ වෙසෙන පශ්තූන් හෝ පටාන් ජාතිකයන්ගේ භාෂාව පශ්තෝ ලෙසින් හැඳින්වෙන්නේය. **

ඇති පදම කෑ කොස්සන් ගසා නැවත පසු පසට ආ මග පෙන්වන්නා පැවසුවේ මේ බල්ලෙක්වත් පෙනෙන්නට නැති අතුරු පාරවල් වලට හරවා ඇත්තේ ප්‍රධාන පාරේ ඇති පොලිස් සහ හමුදා මාර්ග බාධක කිහිපයක් මග හැරීම උදෙසා බවයි.

ඇෆ්ගනිස්තානයේ මහා රෑ ගමන් බිමන් යද්දී ටලිබාන්වරු තරමටම පොලිසිය සහ හමුදාවද භයානකය, ගුවන් තොටුපොළේදි එළිපිට මගීන්ට කරදර කරමින් මුදල් ගරනා කිසිඳු අචාර ධර්ම පද්ධතියකින් තොර මොවුන්, අහල පහල කිසිවෙක් නොමැති මුරපොළකදී කෙසේ හැසිරේවිදැයි කියන්නට අපහසුය.

හදිසි තත්වයක් ඇති උවහොත් කරන්නට දෙයක් නැත්තේය, යන්නේ කොහෙද, ඉන්නේ කොහෙද යන කිසිඳු දෙයක වැටහීමක් පිටත වෙලා ගත් අඳුරත් සමග සිතට එන්නේ නැත.

කළුවරත් සමග වාහනයේ ඉන්නා උදවියගේ  මුහුණු නොපෙනෙන නිසා ඔවුන්ගේ සිත් තුල කුමක් ඇති දැයි දැන ගැනීමට නොහැකිය.

එන්ජිමේ ඝෝෂාවත් වල ගොඩැලි වල වැටෙන වාරයක් ගානට හතර අතේ දුවන අපේ බෑග් මලු සහ වාහනයේ අංගෝපාංග නගන සද්දයත් හැරුණු කොට මහත් නොසන්සුන් නිශ්ශබ්දතාවයක සියල්ලෝම ගිලී ඇත්තෝය.

විස්තර කල නොහැකි කුමක්දෝ හේතුවකට ඇෆ්ගනිස්තානයට පා තබා පළමු වරට අන්ත අසරණ බවක් කණ්ඩාගේ හිතට දැනුණේ ඇයිද යන්න අදටත් උත්තරයක් නොමැති ගැටළුවකි !

සාමාන්‍ය ජීවිතයේදී අත්විඳින්නට අනපේක්ෂිත යමක් වේ නම් ඒ සියල්ල ඇෆ්ගනිස්තානයේදී එදිනෙදා අත් විඳින්නට සිදු වන දේ බවට පත් වනවා විය යුතුය. මෙතෙක් වෙලා අපට වරදින්නට තිබු සියල්ලම පාහේ වැරදී ඇත්තේය.

කෙලින් අල්ලන්නට ඇති නහය ඔලුව වටේ අත දමා අල්ලන්නාක් මෙන් පැය බාගයකටත් වඩා රවුම් ගැසූ අපගේ ඇඟට ලේ ඉනුවේ තරමක් ජනාකීර්ණ පෙදෙසකට අවතීර්ණ වූ පසුය.

තවත් වෙලාවක් ධාවනයේ යෙදුණු වාහනය සුපිරි කොම්පැණියේ නම සඳහන් බෝඩ් ලැල්ලක් ගැසූ උස තාප්ප වලින් වට කරනා ලද පරිශ්‍රයක ගේට්ටුවට මීටර 30 – 40 ක් මෙපිටින් නැවැත්වූවේය.

~ මතු සම්බන්ධයි !

Advertisements