Al Wajaja Border Post

සාජා සිට මස්කට් වෙත …

අපායට ගියත් කලින් යන්නට ඕනෑ යයි කියමනක් කණ්ඩා අසා තිබේ, එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම එය අකුරටම පිළිපදින්නේ ඉන් අත්වන වාසි අත්දැකීමෙන් දන්නා නිසාය.

මස්කට් බලා යන ගමනේත් වැඩි වෙනසක් නැත, අපායටත් කලින් යන්නට උවමනා නම් රටතොට බලන්නට යන විනෝද ගමනකට එයිටත් කලින් පිටත් නොවන්නට කිසිම හේතුවක් නැත්තේය.

පාන්දර හතරට පමණ අප නිවසින් පිටත්වන වෙලාවේ පාරේ රථවාහන කිසිවක් නොවූ බැවින් සාජා හොල්මන් නගරයක සිරි ගත්තේය.

පාන්දරින් යන ගමන් ගැන ලොරි ටෝක් දුන්නද කණ්ඩා සහ හාමිනේගේ නිදිමතේ අඩුවක් නැත්තේය, “කල්බා – ඕමාන්” (Kalba – Oman) දේශ සීමාව වෙත ළඟා වන්නට තව පැය දෙකකට ආසන්න කාලයක් යන බැවින් උණුසුම් යමක් බොන්නට තිබුණෝතින් හොඳය.

එනිසා කල්බා වෙත යන අතරමග මලීහා පාරේ ඇති අපට හුරුපුරුදු ඉන්ධන පිරවුම් හලක වූ කැෆෙටේරියාවට ගොඩ වූයේ කෝපි එකක් බොන්නට සිතාය. නමුත් වාහනයෙන් පිටතට බට වහා වේගවත් සුළඟත් සමග ගත වෙලා ගත් කීරි ගැහෙන සීතල කණ්ඩා බලාපොරොත්තු වූ දෙයක් නොවේ.

කෝපි සහ අනෙකුත් අඩුම කුඩුම කිහිපයකුත් රැගෙන වාහනයට පැමිණි පසු උෂ්ණත්වමානය 14 °C ක තරම් පහතට බැස ඇති බව පෙන්නුම් කළේය.

සාජා මෙතරම් සිතල නම් මස්කට් කෙසේ වියහැකිදැයි යන විචිකිච්චාවක් අප හිතේ මතු වුණද, සෑහෙන තරම සීතලට ඔරොත්තුදෙන ඇඳුම් රැගෙන පැමිණි නිසා එය බාධාවක් නොවනු ඇතැයි හිත හදා ගත්තෙමු.

කණ්ඩා ඔටුවන්ගේ රටේ මෙතක් කල් සවාරි යද්දී මග සොයා ගැනීමට භාවිත කළේ ඉතා නිවැරදිව සජීවී මග සලකුණු (Navigations) ලබා දෙන “ගූගල් මැප්ස්” (Google Maps) මෘදුකාංගයයි.

නමුත් සාජා සිට ඕමාන්හි “ශිනාස්” (Shinas) වෙත ගමන් මග ඉල්ලූ විය ගූගල් දෙයියෝ අහක බැලූවේ ඇයිද කියා කණ්ඩාට තේරුණේ නැත, සිතියමක් ලෙස යායුතු මාර්ගය පෙන්වූවත් එමගින් මග සලකුණු ලබා දෙන්නේ නැති බව කණ්ඩා වටහා ගත්තේය. ඇතැම් විට ඒ යායුතු ගමනාන්තය රටක දේශ සීමාව පනිනා නිසා විය හැක.

වාසනාවට ඕමානය වෙත ගමන ඇරඹීමට පෙර සතියේ GPS මාර්ගයෙන් මග සලකුණු සපයන පද්ධතියක් හෙවත් සැට්නැව් උපාංගයක් (SatNav) අප වාහනයට සවි කල හෙයින් ගමන ගැන බයක් සැකක් නැත.

අප කල්බා දේශ සීමාව වෙත ළඟා වන විට පෙරවරු 6:00 ට කිට්ටු කර තිබෙන්නට ඇත, සුපුරුදු පරිදි “අසලාම් අලෙයිකුම්” (As-Salaam-Alaikum) යනුවෙන් අරාබි බසින් සුබ පැතූ අප දේශසීමා මුරපොලෙහි වූ ආගමන විගමන නිලධාරියා වෙත ගමන් බලපත්‍ර ඉදිරිපත් කළෙමු.

නිදි මතේම “වාලයිකුම් සලාම්” (Wa-Alaikum-Salaam) යනුවෙන් පෙරළා මිමිණූ ඔහු තරමක් වෙලා ගමන් බලපත්‍ර පෙරළමින් පරික්ෂා කර අපෙන් විමසා සිටියේ වාහනය ඕමාන් වෙත ගෙනයාමට බැංකුවෙන් විරුද්ධත්වයක් නොමැති බවට සහතික කරනා ලියවිල්ලක් (NOC – No Objection Certificate) අප වෙත තිබෙනවාද යන්නයි.

අප සතුව එවන් ලියවිල්ලක් නොමැති බවත් ඒ පිළිබඳව කලින් දින බැංකුවෙන් විමසූ කල එවැනි ලියවිල්ලක් අනවශ්‍ය බව ඔවුන් පැවසූ බවටත් පොඩි පහේ “පිනෝ කියෝ” කතාවක් ඇද බෑවේ වාසනාව උරගා බලන්නටය**

** චතුරට ගල් පැලෙන කෙබර කෙළින්නට පුළුවන් නම් අප වැන්නන් කාටවත් අහිතක් නොවන බොරුවක් ඉඳහිට හීනියට කියුවාට කම් නැතැයි සිතමි 🙂

නමුත් අවාසනාවට එය ඵල දැරුවේ නැත, “හත්තා” (Hatta) දේශ සීමා මුරපොල වෙත යන මෙන් පවසා පිටවීමේ සීල් ගැසූ කොළයක් දී අපව ආපසු හරවා එවන ලද්දෙන් එතනින් පිටත් වූ අප හත්තා බලා පිටත් වීමු.

මෙවන් දෙයක් සිදු විය හැකි යයි කලින් අපේක්ෂා කළ නිසා අප පුදුමයට පත් නොවුණත් හත්තා දේශ සීමා මුරපොලිනුත් අප හරවා යවයිදෝ යන චකිතය දෙදෙනා තුළම විය.

කල්බා සිට හත්තා වෙත කිලෝමීටර 70 ක පමණ දුරක් ඇත්තේය, වැඩි දුරක් නොවුනද කඳු පල්ලම් සහ දඟර ගැහෙන වංගු සහිත මාර්ගය නිසා කණ්ඩා හාමිනේට පුරුදු පරිදි වංගු කෙළින් කරන්නට බැරිය, එනිසා අපට හත්තා වෙත ළඟා වීමට තවත් කාල වෙළාවක් ගතවෙනු ඇත.

යම් කිසි හේතුවක් නිසාවෙන් හත්තා සීමාවෙන්ද ඕමාන් වෙත ඇතුළු වීමට නොහැකි උවහොත් ඇති එකම පිළියම එදිනම දහවල සාජා හෝ ඩුබායි සිට මස්කට් බලා යන බස් රථයකට හෝ ගුවන් යානයකට ගොඩවීම පමණි.

එසේ උවහොත් රස්තියාදුවට අමතරව කණ්ඩා හාමිනේ විසින් වාහනයට පටවා ගත් ලොරි භාගයක පමණ බඩු වලින් අඩකට වඩා නැවතත් ගෙදර දමා යන්නට වනවා පමණක් නොව ඕමානයේ රවුම් ගසන්නට මස්කට් වලින් තවත් වාහනයක්ද කුලියට ගන්නට සිදු වන්නේය.

නමුත් විනෝද ගමන ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටිනා නිසා වෙනදාට මෙවැනි අකරතැබ්බයන් වලට මුහුණ පෑ විට “චව් චව්” ගාන හාමිනේගෙන්ද මෙදා පොටේ වැඩි කරදරයක් නැත්තේය, එනිසා එන පොටකට මුහුණ දීමට බලාගෙන ඉදිරියට යාම මිසක වෙනත් ගැටළුවක් නැත.

හත්තා දේශ සීමාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මුරපොළේදී අපට පෙර මෙන් කරදරයකට මුහුණ දීමට සිදු වූයේ නැත, නියමිත ගාස්තු ගෙවූ පසු ගමන් බලපත්‍රයන්හි රටින් පිටවීමේ මුද්‍රා තබන ලදී (Exit Charges and Stamps).

වෙනදා ගුවන් තොටුපොළේදී මුහුණ දෙන ආගමන විගමන නිලධාරීන්ගේ පුළුටු මුහුණු සහ නොසැලකිලිමත් භාවය මෙහිදී දක්නට නොලැබුණත් සුපුරුදු පරිදි කාගේවත් මුහුණක සිනහවක් ඇඳී තිබුණේද නැත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේශසීමා මුරපොළ පසු කල පසු ඕමාන මුරපොළ වෙත යා යුතුය, එහිදී බොභෝ විට සිදු වන්නේ ගමන් බලපත්‍ර පිරික්සීමයි නමුත් අහඹු ලෙස තෝරා ගන්නා වාහන රට තුළට ඇතුළු වීමට පෙර පරික්ෂාවට ලක් කරනු ලැබේ.

ඔවුන් අනෙකුත් වාහන සියල්ලන් මග හැර අපගේ වාහනයම පරික්ෂාවට තෝරා ගනු ලැබුවේ අපගේ වාසනාවේ තරම නිසා විය යුතුය. නමුත් කාල වෙලාව ගත වනවාට වඩා තිබුණු ලොකුම කරදරය මේ ආරක්ෂක නිලධාරින් හට ඉංග්‍රීසි බැරිකමය. එය ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරුදීම සහ අදහස් හුවමාරු කර ගැනීම ඉතා අපහසු කාරියක් බවට පත් කළේය.

නමුත් මේ ඕමාන ජාතික නිලධාරින් සියලු දෙනා ඉතා තරුණ අය වූ අතර නිතරම සිනා මුසු මුහුණින් සිටිනා ප්‍රියමනාප පුද්ගලයෝය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය අසල්වැසියෝ උවද මේ දෙරටේ වැසියන්ගේ හැසිරීමේ රටාව සහ ආකල්පයන් අතිශය වෙනස් බව නොකියාම බැරිය.

අප වාහනට පරික්ෂා කිරීමට පැමිණි ආරක්ෂක නිලධාරියා අවුරුදු 20 – 22 ක තරුණ හාදයෙකි, වාහනයේ පිටුපස දොර හැර දුන්නාට අමතරව ඔහු කියනා කිසිම දෙයක් මා හට හෝ මා කියනා කිසිම දෙයක් ඔහුටත් නොතේරුණ බව කණ්ඩාට ඉර හඳ සේ විශ්වාසය 🙂 🙂

උඩින් පල්ලෙන් වාහනේයේ ඇති බෑග් මල්ලක් දෙකක් පිටතින් ඔබා බැලුවාට වඩා යමක් ඔහුගෙන් සිදු වූයේ නැත. නමුත් වාහයේ වූ ප්‍රථමාධාර පෙට්ටිය ගැන විශේෂ උනන්දුවක් පෙන්වමින් ඒ ගැන ඇසූ ප්‍රශ්න සියල්ල කණ්ඩාට අන්ඩර දෙමළයක්ම විය.

එබැවින් කරන්නට තිබුණු එකම දෙය හෙවත් මේ හාදයාට කැමති දෙයක් කරගන්නට කියා ප්‍රථමාධාර පෙට්ටිය විවෘත කර දී කණ්ඩා පසෙකට වූයේය.

සීරුවට ප්‍රථමාධාර පෙට්ටිය ඇවිස්සූ මේ හාදයා එතුළින් සුළු තුවාල සඳහා අලවන පැලැස්තර කාඩ් පතක් එළියට ගත්තේ මත් කුඩු පාර්සලයක් සොයා ගත්තාටත් වඩා සතුටකින් සහ උනන්දුවෙනි.

එය පෙන්වමින් මොන මොනවදෝ ඔටු භාෂාවෙන් විමසුවත් සුපුරුදු පරිදි මට ඒ අණ්ඩරය නොතේරුණ නිසා ඔළුව වැනුවා මිස කිසිත් නොකිව්වෙමි. මට කාරණය තේරුණේ මේ හාදයා තම ඇඟිල්ලක වූ ඇසට නොපෙනෙන තරමේ තුවාලයක් පෙන්වූ විටය.

මේ හාදයා මෙපමණ වේලා දඟලා ඇත්තේ අපෙන් පැලැස්තර කැබැල්ලක් ඉල්ලා ගන්නටය, තුවාලයේ තරම දුටු මා හට පණ යන්න හිනා ආවත් ඉතා අමාරුවෙන් තද කරගෙන සිටියෙමි   🙂 🙂 🙂

මෙපමණ වෙලා මේ මනුස්සයා කරන්නේ මොනවාද කියා පිරික්සන්නට තවත් නිලධාරියෙක් පැමිණියේ ඔය කියනා අතරය, කොලුවා ඔහුටද තම තුවාලය පෙන්වූ කළ ඔහු මහා හඬින් හිනා වෙමින් මොනවාදෝ කියූවෙන් ලැජ්ජාවෙන් රතු වූ කොලුවා ඔහුට බැන වැදී එළවා දැම්මේය.

නමුත් ඉන් නොනැවතුණු දෙවැනි හාදයා මදක් එහායින් සිටි තවත් නිලධාරීන් කිහිපදෙනකු සමගින් බඩ අල්ලාගෙන සිනහවෙමින් කොලුවාව බයිට් එකට ගත්තේය …

“ශුක්රාන්” යයි මා හට ස්තුති කල ඔහු පැලස්තරය අලවා ගන්නා අතර ඇඟිල්ලට සිදුවුයේ කුමක්දැයි මා විමසුවත් එය නොවැටහුනු කොලුවා ඇඹරෙමින් අරාබි බසින් මොනවදෝ මිමිනුවේ අපට යන්නට බව ඉවෙන් මෙන් වටහා ගත් අප එහි තවත් නොරැඳී එන්නට ආවේය.

මුර පොළ පසු කර කිලෝමීටර දෙකක පමණ දුරක් ඕමානය තුළට ගමන් කළත් වීසා කවුන්ටරයක් පෙනෙන තෙක් මානයක නැත, වීසා නැතිව නන්නාඳුනන රටකට ඇතුළුවීම හිරේ විලංගුවේ වැටෙනා කාරණාවකි.

දැනගෙන ගියොත් කතරගමය – නොදැන ගියොත් අතරමග යයි කතාවක් ඇත (මට නම් කතරගමත් ගො*** පමණක් යන අතර මගක් පමණි 🙂 )

තවත් දුර ගොස් ආපසු හැරී එනවාට වඩා යන තැනක් නිසැකවම දැනගෙන යාම වටින්නේය, කණ්ඩාට මතක් වූයේ අපව පරික්ෂා කළ මුරපොල කිට්ටුවෙන් පොලිස් ස්ථානයක් තිබු බවය.

ඒ නිසා වහාම පාර දෙපස වෙන් කර ඇති වැලිගොඩ උඩින්ම “U” ටර්න් එකක් දමා ගත් අප නැවත මුරපොල වෙත කිට්ටුව තිබුණු පොලිස් ස්ථානය වෙත ගියෙමු.

මුරපොලෙහිදී මෙන් නොව ඉංග්‍රීසි කතාබහ කරනා උදවිය එහි සිටි බැවින් අදහස් හුවමාරු කර ගැනීමට කරදරයක් තිබුණේ නැත, ඉතා අචාරශීලීව ඔවුන් පැවසුවේ වීසා නිකුත් කරනා ස්ථානය ඇත්තේ තවත් කිලෝමීටර් 5 ක තරම රට තුළට වෙන්නට බවයි.

UAE - Oman Border - Hatta

ඔවුනට ස්තුති කල අප නැවතත් පාරට බැස මද දුරක් යද්දී මාර්ගයට සමාන්තරව නොගැඹුරු හත්තා නිම්නය දිගේ කම්මැලි කමට ගලා බසිනා දිය පහරක සුන්දරත්වය විඳ ගන්නට අවස්ථාව ලැබුණේය. ඒ ක්ෂේම භූමි පුරා වතුර සපයන “ෆලාජ්”(Falaj) ඇරෙන්නට මැදපෙරදිග ස්වාභාවික දිය පහරක් දුටු පළමු වතාවය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “වාදි වුරයා” (Wadi Wurayah) හිත් මෙවැනිම දිය පහරක් මෙන්ම දිය නෑ හැකි පොකුණුද ඇති බව අසා තිබුණත් කණ්ඩා එය හැබැහින් දැක නැත්තේය.

වරක් “ඊද්” (Eid) නිවාඩුව සමයේ ලැබුණු ඉස්පාසුවෙන් එහි ගිය කණ්ඩා ඇතුළු මිතුරන්ට ආපසු හැරී එන්නට සිදු වූයේය. ඒ අවට දහස් ගණනින් කඳවුරු බැඳගත් පටාන්වරු බෙලිකපන චාරිත්‍රය ඉටු කිරීමෙන් අනතුරුව එළුවන් පලඟමින් බුදීමේ නිරතව සිටි හේතුවෙනි.

තැන තැන විසි කර දමනා ලද සිරිසඟබෝ බවට පත්වූ එළු ඔලූ, අඩක් කුණුවී දුර්ගන්ධය හමනා අතුනුබහන් අපවෙත ගෙන ආවේ පිළිකුලකි, ගෙරිමස් කෑවද එය බෙල්ලේ එල්ලාගෙන නොකෑම වැදගත්ය.

ඉතා සුන්දර පරිසරයක් ඇති මේ ප්‍රදේශය හඳුනා ගත නොහැකි තරම් අපවිත්‍රව තිබෙනු දුටු කණ්ඩා හට ඇති වූයේ දුකකටත් වඩා දැඩි තරහකි. සර්කස් වල නොයෙක් සතුන් හට මිනිසුන් කරනා වැඩ කරන්නට පුරුදු පුහුණු කළත් ඇතැම් සතුන් හට මිනිසුන් සේ හැසිරීමට ඉගැන්වීම අපහසුය.

ඇස් දහසකගේ (කාමුක) බැල්මන්ට යටත්ව ඉන්නට අපට කෙසේ වෙතත් කාන්තාවන් හට අනාරක්ෂිත මෙන්ම බලවත් අපහසු කාර්යයක් බැවින් එවර අප ආපසු හැරී ගොස් “ඩිබ්බා”(Dibba) හි මුහුදු වෙරළක කඳවුරු බැඳ රාත්‍රිය ගත කළෙමු.

පසු කලෙක මේ ප්‍රදේශය ආරක්‍ෂිත පාරිසරික කලාපයක් බවට කර ඇතුළු වීම තහනම් කල බැවින් ආපසු එහි යන්නට අවස්ථාවක්ද නැත්තේය.

ඕමානයේ කිලෝමීටර හදා ඇත්තේ රබර් වලින් විය යුතුය, මන්ද වීසා නිකුත් කරනා කන්තෝරුව පිහිටි “අල් වජාජා” (Al Wajajah) දේශ සීමා මුරපොල වෙත ලඟා වීමට කිලෝමිරට 7 – 8 කටත් වැඩි දුරක් ගමන් කරන්නට සිදු වූ නිසාය.

කිව්වා සේම යායුතු ගොඩනැගිල්ල සොයා ගැනීමට අපහසුවක් නොවුණු නිසා වාහනය එළියේ නවතා ඇතුළට ගිය අපට උදේ පාන්දර නිසාදෝ දිග පෝලිමකට මුහුණ දීමට සිදු වූයේ නැත, ඉන්නේ සූ .. ගා හතර පස් දෙනෙකු පමණි.

Sultan Qaboosවීසා අයදුම්පත් දෙකක් සම්පුර්ණ කළ පසු අපගේ වාරය පැමිණෙන තෙක් කවුන්ටරය අසලට වී සිටිද්දී කණ්ඩාගේ නෙත ගැටුනේ පිටුපස බිත්තියක ඇලවූ ඕමානයේ වර්තමාන පාලකයා වන “සුල්තාන් කබූස්” ගේ (Sultan Qaboos) ජීවමාන ප්‍රමාණයේ ප්‍රතාපවත් පින්තුරයකි.

තද නිල් පැහැති ගාම්භීර මිලිටරි නිල ඇඳුමකින් සැරසුණු ඔහු ඉතා තියුණු නෙතින් වීසා අයදුම්කරුවන් දෙස ඇසිපිය නොහෙලා බලා සිටිනවා වැනිය.

වීසා කවුන්ටරයේ තරුණ ඕමානින් දෙදෙනෙකි, ඔවුන් පිටුපස තරමක් තලතුනා වයසේ ජේෂ්ඨ නිලධාරියෙක් සක්මන් කරන්නේය, අප ගමන් බලපත් ඉදිරිපත් කල පසු එය පරික්ෂා කිරීමෙන් අනතුරුව කවුන්ටරයේ සිටි තරුණයා තම ජේෂ්ඨයා වෙත පෙන්වා යමක් පැවසීය.

කණ්ඩා කල්පනා කළේ පාත් වන්නට යන මේ ගිනි ගෙඩිය කුමක්ද ? යන්නයි, අද දවස ඇතුළත එක මුරපොලකින් අපව හරවා ඒවා ඇති බැවින් තවත් එවන් කරදරයක් අපට අනවශ්‍යය.

අපගේ ගමන් බලපත් දුටු සැණින් කටේ සිට කන දක්වා දිග සිනහවක් මුහුණේ ඇඳගත් ඔහූ “ආආආ ශ්රි ලංකා නුවාරා එළියා, කුලම්බෝ, වෙල්කම් ! වෙල්කම් !” යයි වචන ලැයිස්තුවක් කියවාගෙන යන්නට වුයේ අප හොල්මන් කරමිනි.

බලාගෙන යන විට ඔහු ඊයේ පෙරේදා සිරි ලංකාව වෙත සංචාරයකට ගිය පුද්ගලයෙකි, භාෂාවේ අඩුපාඩුකම් නිසා වැඩි අදහස් හුවමාරුවකට ඉඩකඩ ඇහිරුවත් කරදරයකින් තොරව ඉතා වීසා ලැබුණු හෙයින් ඔවුන් හට මුව පුරා ස්තුති කර එළියට බැස්සේ සැහැල්ලු සිතකිනි.

අප සවාරියේ පළමු නැවතුම්පොළ වූ පැරණි ශිනාස් බලකොටුව (Shinas Fort) වෙත අප ලඟා වන විට උදෑසන අට පමණ වන්නට ඇත, මේ පළාතේ බොහෝ පෞරාණික ගොඩනැගිලි මෙන්ම මෙයත් පිහිටි ප්‍රදේශයේ සුලභව ඇති අමුද්‍රව්‍ය වන මැටි, ගල් සහ රටඉඳි ගස් භාවිතයෙන් ගොඩ නැගූවකි.

අවාසනාවකට බලකොටුව ඉබි යතුරු දමා වසා දමා තිබූ හෙයින් එතුළට ඇතුළු වීමට අවස්ථාවක් නොලද්දෙමු, ගොඩනැගිල්ල වටා රවුමක් ගසා පිටතින්  පින්තූර කිහිපයක් රැගෙන සැනසීමට අපට සිදුවිය.

කිහිප වාරයක් සීතලේ එළියට බැස ඇවිද්ද නිසාදෝ සති කිහිපයක් තිස්සේ අප දෙදෙනා පෙළමින් තිබුණු කැස්ස සහ උගුරේ අමාරුව තවත් දරුණු අතර හැරීගෙන එන බවක් පෙන්නුම් කළේය.

දොස්තරවරුන්ටත් වඩා වෙද හෙදකම් දන්නා හාමිනේගේ පිහිටෙන් සහ කෙටි විවේකයකින් සියල්ල හොඳ අතට හැරුණොත් හොඳය, නැතහොත් සිදු වන්නේ සාජා සිට මස්කට් වෙත පැමිණ රෝහල්ගත වන්නටය.

ඒ සමගම කණ්ඩා හාමිනේගේ විඩා බර මුහුණ දුටු කළ කණ්ඩාට දුක සිතුණේය, එබැවින් ගමන් මග සහ නරඹන්නට ඇති තැන් වෙනස් කරනවාද යන දෙගිඩියාවක සිර විය.

~ මතු සම්බන්ධයි !

මස්කට් කතන්දර ~ I කොටස ~ මස්කට් රස සොයා …

මස්කට් කතන්දර ~ III ~ ශිනාස් සහ මස්කට්

Advertisements