Half Century

කණ්ඩාගේ හාෆ් සෙන්චරිය !

කණ්ඩා තව දුරටත් ගැටවරයෙක් නොවේ … ළපටි තරුණයෙක්ද නොවේ … කණ්ඩා ඒ වයස් සීමා පසු කර අවසන්ය 🙂

ඒ කෙසේ වෙතත් ඊයේ පෙරේදා කණ්ඩාද වැඩි සද්දයක් නැතිවම අර්ධ ශතකයක් හෙවත් හාෆ් සෙන්චරියක් දැමුවේය !

නමුත් අවසානයේ පොඩි සද්දයක් දැමුවේ නැතිනම් මදිකමක් ලෙස සිතු නිසා මේ ලිපිය ලියන්නට සිත් විය 🙂

සෙන්චරි, හාෆ් සෙන්චරි ගැන මතක් වෙද්දී මේ දවස් වල තව දුරටත් ක්‍රිකට් මතක් නොවන්නේ බඩ කට පුරා බංගාලියන්ගෙන් කන්නට ලැබුණු නිසාය, ඒ කෑම අති විශිෂ්ටය !!!

අවුරුදු පහළොවකින් ක්‍රීඩාවක් වශයෙන් ක්‍රිකට් තියා ජිල් බෝලවත් ගසා නැති නිසාවෙන් කණ්ඩාගේ හාෆ් සෙන්චරියට ක්‍රීඩාවන් අදාළම නැත !

එහෙනම් මේ ෂුවර් එකටම වයස ගැනද ???  නැත … නැත … නැත … ඔබ සිතනවා වැරදිය …

වයසින් අර්ධ ශතකයක් දැමීමට කණ්ඩාට තව දශක එක හමාරක පමණ කාලයක් ඉතිරිව ඇත, මේ අර්ධ ශතකය බ්ලොග් ලිවීම ගැනය 😀

අඩ සියයක් වැල්වටාරම් ලියූවත් බ්ලොග් අවකාශයේදී කණ්ඩා තවමත් අත දරුවෙකි, එබැවින් තව බොහෝ දුර යන්නට ඇත්තේය.

අද වන විට බ්ලොග් කියවීමට මෙන්ම ලිවීමටද කණ්ඩා ඇබ්බැහි වී ඇත, කියවන්නට ලියන්නට දේ කොතෙකුත්ය මේ ඇබ්බැහිය අබිං කෑවා හා සමානය !

ලිවීම ගැන කියද්දී අදහස් ගලපා ගැනීම සහ ව්‍යාකරණ කණ්ඩා සිතූ තරම් අපහසු වුයේ නැතිමුත් සිංහල යතුරු ලියනය එදා සිට අද දක්වාම කණ්ඩා පෙළන ප්‍රධානම බාධකයයි.

ලිවීම රසවිඳින මා හට යතුරු ලියනය කිරීමේ අපහසුතාවයන් විඳ ගත හැකිය, එනිසා හිතේ ඇති දේ ලියා අහවර වන තුරු … ලිවීම රසවිඳිනා තුරු … කණ්ඩා ලියනු ඇත …

ඒ තව මාසයකටද ? අවුරුද්දකටද කියා නොදන්නා මුත් අදහස ලියන්නටය !

බොහෝ විට කුමක් ලිවිය යුතුද යන්න ගැන දළ අදහසක් කණ්ඩාට ඇතත්, ඇතැම් විට ලියවෙන්නේ කිසි සේත් නොසිතූ දේය.

ඉඳහිට ගෘහස්ථ වාරණය හෙවත් ඩොමෙස්ටික් සෙන්සර්ෂිප් (Domestic Censorship) ** වෙත හසු උවත් පළ කරන ලිපිවල අන්තර්ගතය පිළිබඳ 100 % වගකීම කණ්ඩා සතුය, එසේ නොවන කිසිවක් කණ්ඩාගේ යතුරු පුවරුවෙන් ලියවෙන්නේ නැත.

** මේ වචනය මගේ නොව කොච්චියාගෙන් ණයට ඉල්ලා ගත්තකි ! **

අනෙක් අතින් කුමක් ලියවුනත් එය කියවනා උදවිය ඒ දෙස බලන්නේ එයට වෙනස් කෝණයකින්, එසේත් නැති නම් කලාතුරකින් වපර ඇසකින් බව අපහසුවෙන් උවද කණ්ඩා තේරුම් ගෙන ඇත්තේය.

එනිසා කණ්ඩා ලිවිය යුතු යයි පටන් ගන්නා දේත් අන්තිමට ලියවෙන දේත් පාඨකයින් වටහා ගන්නා දේත් අතර ගැලපීමක් නොතිබිය හැක.

මේ සම්බන්දයෙන් හොඳ – නරක, නින්දා – ප්‍රශංසා මෙන්ම පවුල් ප්‍රශ්න වලටද මුහුණ දී ඇතත්, ඒ පිලිබඳ කණ්ඩාට කණගාටුවක් නැත, නමුත් එයට අකමැති හෝ හිත රිදුනු කෙනෙක් වේ නම් කණ්ඩා සමාව අයදින්නේය !

එහෙත් තමාටම හිතුනෝතින් මිසක කණ්ඩා ලෙහෙසියෙන් වෙනස් වන්නට කැමති පුද්ගලයෙකු නොවේ, එය අධ්‍යාපනයේ සිට රැකියාව දක්වාත් තම විවාහය දක්වාත් සෑම දෙයකටම බලපෑවේය.

මෙය තවත් එක පොර ටෝක් එකක් නොව මෙතෙක් කල් මා මාගේ ජීවිතය ගෙවූ හැටිය, එනිසා ඉදිරියටත් එය එසේම වනු ඇත !

කොහොමත් ජීවිතය යනු සරල රේඛාවක ඇදී නොයන විවිධ හල හැප්පීම් වලට ගොදුරු වන්නට සිදුවන්නා වූ දෙයකි … හැල හැප්පීම් යනු නොමිලයේ ලැබෙන ප්‍රායෝගික පාඩම්ය.

කණ්ඩා හට එවැනි අත්දැකීම් වලින් අඩුවක් නැත, නමුත් ඒවායින් පාඩම් ඉගෙන ගනීද නැද්ද යන්න විමසීම භාර අනාගතයටය  🙂

කණ්ඩා බ්ලොගය අරඹන විට එය මෙතරම් උනදුවෙන් සහ කැපවීමෙන් නොකඩවා කරනු ඇතැයි සිතුවේ නැත, ඒ ඇතැම් දේ පිලිබඳ උනන්දුව මගදී ඇන හිටින  ලෙඩක් ඇති නිසාය.

නමුත් එය එසේ සිදු නොවූයේ කණ්ඩා උනන්දු කළ සහ සහය දුන් පුද්ගලයන් හට පින්සිදු වන්නටය, ඒ අය නම් වශයෙන් සඳහන් නොකරන්නේ ලැයිස්තුව දිග නිසා සහ වැරදීමකින් හෝ කිසිවෙකු අතපසු කරන්නට ඇති අකමැත්ත නිසාය.

ඒ සම්බන්ධයෙන් කිසිවෙක් මා සමග අමනාප නොවනු ඇති ම සිතමි 🙂

මෙතෙක් කල් මා වචනයකින් හෝ දිරි ගැන්වූ, මට උදව් කළ, අදහස් ලබා දුන් සැමට මාගේ හද පිරි ස්තුතිය !

ඇත්ත නම් ඇවිද ආ මගට වඩා තව යන්නට බොහෝ දුර ඇති බවය, එනිසා අවස්ථාවට මනාව ගැලපෙන්නාවූ මා රසවිඳි දමයන්ති ජයසුරිය සහ නුවන් නයනජිත් කුමාර විසින් ගයනා ගීතයකින් අද වැල් වටාරමට කණ්ඩා තිත තබන්නේය.

ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි …

ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි..
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි..
මේ ඇරඹුමයි මාවත බෝ දුරයි..
නුවණින් අවදියෙන් යායුතු බව දනියි..//

මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
සිත සවි නොබිඳ එමඟ ගෙවා දිරි වඩා..
ජයබිම දකිමි අදිටනින්..

ආ මඟ කෙටියි…

සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
නුවණැස නොහැර බලන මිතු සිත හඳුනා..
තරණය කරමි මඟ සොඳින්..

ගායනය    : දමයන්ති ජයසූරිය / නුවන් නයනජිත් කුමාර
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය     : රෝහණ වීරසිංහ