Wishing a Delightful New Year

ලැබුවා වූ නව වසර ලොව පුරා විසිර සිටින ලාංකිකයන් සියළු දෙනා හට සෞභාග්‍යයෙන් පිරුණු වාසනාවන්ත වසරක් වේවා යයි කණ්ඩා පතන්නේය !

අටෝරාසියක් වැඩ රාජකාරිත් සමගම යෙදුණු නොසිතූ සිදුවීම් වැලක් හේතුවෙන් කණ්ඩා හට තෙසතියක් පුරා කොලම ලියන්නට ඉස්පාසුවක් නොවීය.නමුත් කොලමේ රසිකයන් හට අලුත් අවුරුදු සුභ පැතුම් මග හැරීම නොවටිනා දෙයක් යයි හැඟුණු නිසා හදිසියේ හෝ යමක් ලියන්නට කණ්ඩාට සිත් විය.

කණ්ඩාගේ නිවසේ නැකත්තන් කී පමණින් කිසි දිනෙක කුකුළන් හඬලන්නටත් කලියෙන් අවදි වී ලිප් ගිනි මෙලවීම හෝ උදේ පාන්දර බැරි බැරි ගාතේ අහාර අනුභවය සිදු වන්නේ නැත.

මෙය ආටෝපය වෙනුවෙන් සම්ප්‍රදායික සියල්ල රටේ ලෝකයට පෙනෙන්නට  බැහැර කිරීමක් නොව හුදෙක් ප්‍රායෝගිකත්වය මත පදනම් වුවකි, එනිසා බොහෝවිට කණ්ඩා හට ආහාර අනුභව කිරීමේ නැකත උදාවන්නේ කුසගිනි වන වේලාවටය.

මේ මොනවා නොකලත් හැකි පමණින් අලුත් අවුරුද්දට කෑම මේසයක් පිළියෙළ කිරීම කණ්ඩා හාමිනේ අතින් නොවැරදී  සිදු වන චාරිත්‍රයකි.

මෙවරත් එහි වැඩි වෙනසක් නොවුයෙන් දෙකනින් දුම් දමන තරමට සැර ලුණු මිරිසක් සමගින් බඩ බෙර පාළුවක් තරමට ඇදෙන්නට රතු කැකුළු කිරිබත් බුදීමේ භාග්‍යය කණ්ඩාට උදා විය.

පසුගියදා හාමිනේගේ ඥාති සොහොයුරෙක් සිය පවුලත් සමගින් ඩුබායි සවාරියකට ගොඩ වැදුණු හෙයින් පවුලේ දෙක තුනෙන්ම ලද කැවිලි පෙවිලි වලට පින් සිදු වන්නට කෑම මේසයේ කිසි මදි පාඩුවක්ද නොවීය.

New Year Table.JPG

දැනට විස්තර මෙපමණය, හේතුව කණ්ඩාගේ මිතුරන් වෙනුවෙන් පවත්වන්නට යෙදෙන කුඩා සාදයක් වෙනුවෙන් හාමිනේ ලහි ලහියේ සුදානම් වීමයි.

කණ්ඩා කෙතරම් අකමැත්තක් පෙන්වූවද කණ්ඩාව “කිචන් ඩියුටි” වෙනුවෙන් බලහත්කාරයෙන් බඳවා ගන්නට හාමිනේ තීරණය කළාය, අද දින අහවර වෙනතෙක් හාමිනේ මල්ලිකා ජෝසප් බවට පත් වන අතර කණ්ඩා ඇයගේ සහායක ඩැනීය !

මෙවන් වැදගත් දිනයන්හිදී හාමිනේගේ කිචන් ඩියුටි මග හැරිම දිට්ඨ ධම්ම වේදනීයව පටිසන් දෙන අතුරු ආන්තරා ඇති කරනා බැවින් කණ්ඩා අතින් ලියවෙන අලුත් අවුරුද්දේ පළමු ලිපිය හැකිතාක් කෙටි කරමි.

ඒ මදිවාට ඉංගිරීසියෙන් යමෙකුට සැහැල්ලුවෙන් සුභ පතද්දී “බ්රේක් අ ලෙග්” (Go Break a Leg !) හෙවත් “කකුලක් කඩා ගන්න” යන සුභ පැතුමක් කණ්ඩා අසා ඇත.

පසුගිය දිනෙක නිදන කාමරයේ මග ඇහිරූ ඇඳ විට්ටමකට පින් සිදු වන්නට කණ්ඩාගේ දනහිස් පොල්කට්ට නොසෑහෙන්නට කකියනවා මෙන්ම ඇවිදින්නේද නොණ්ඩි ගසමිනි, එබැවින් මේ අලුත් අවුරුද්ද අනිවාර්යයෙන්ම සුභය  😀

චාරිත්‍ර වලට මුල් තැන දෙමින් අද දවස අහවර වන්නට කලින් දොස්තර මහතෙක් හමු වී ගනුදෙනු කිරීමටද බලාපොරොත්තු වෙමි, එනිසා  කණ්ඩාගේ පැතුම අන් සියළු දෙනා හට කණ්ඩාට තරමටම අවුරුද්ද සුභ නොවේවා යන්නයි !

ඒ වෙනුවට ඔබ සැමට කිරියෙන් පැණියෙන් උතුරන, සියළු සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා යයි පතමි  !!!

මීට

~ කණ්ඩා