සහෝදරත්වයේ රාත්‍රිය …
හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් මූලිකත්වයෙන් දිවයින පුරා පිහිටුවන්නට යෙදුණු පාසල් ගැන නොදන්නාවුන් ලංකාව තුළ විරලය. එසේ පිහිට වූ විදුහල්හි වතගොත සහ එයට හේතු පාදක වූ කාරණාවන් පිළිබඳ ඉතිහාසය ගැන ලියවී ඇති දෑද බොහෝය
එහි ප්‍රතිඵල ලෙස කොළොම්පුරයෙන් බිහි වූ ආනන්ද සහ නාලන්ද විදුහල් සුලෝහිත පාසල් ලෙස හැඳින්වූවත් එය කුමන කාලයක ආරම්භ වුවාද යන්න අපැහැදිලිමුත් එයට මුල්වී ඇත්තේ සුලෝහිත පැහැයෙන් වර්ණවත් පාසල් ධජයන් බව අමුතුවෙන් කිව යුතු නැත.කවුරුත් දන්නා මෙවන් දේ පුන පුනා පැවසීමෙහි රසවත් බවක් නැතිවා මෙන්ම කාලය කා දැමීමක් නිසා මේ ගැන තවත් අටුවා ටීකා ටිප්පණි තබන්නට අනවශ්‍යය.
එනිසා මෑත ඉතිහාසය ගත් කළ සුලෝහිතයන් ඇතුළු සහෝදර පාසල් වලට බෙහෙවින් අදාළ මුත් නිතර වැඩි කතා බහක් ඇති නොවන්නා වූ වෙනත්ම මාතෘකාවන් කිහිපයක් වෙත මතකය ගෙන යාම යෙහෙකි යයි සිතමි.
ලාංකීය පාසල් ගැන අවධානය යොමු කිරීමේදී බස් රථ යනු අමතක කළ නොහැකි වෙනස්ම ආරයක උප සංස්කෘතියකි, එයිනුත් සුලෝහිතයන්ගේ බස් අන්දරයන් සුවිශේෂය.
එකල හෝමාගම, පානදුර, ගම්පහ, පිළියන්දල ආදී පෙදෙස් කිහිපයකින් සුලෝහිතයන් රැගෙන පුංචි බොරැල්ල සහ පරණවාඩිය වෙත ඇදෙන පාසල් බස් රථ කිහිපයක්ම විය.
වෙනත් පාසල් සඳහා වෙන්වූ බස් රථද වූ නමුත් ඒ කිසිවකටත් වඩා සහෝදරත්වයක් සුලෝහිත බස් රථ වල වූ බව අවිවාදයෙන්ම සඳහන් කළ හැක්කේය.
සම ජාතියේ කුරුල්ලන් එකම අත්තේ වසන්නා සේම, සම අදහස් ඇත්තා වූ සුලෝහිතයන් කොතැනත් එකතු වන්නෝය, දශක නවයක් ඉක්මවූ මේ බැඳීම නිසාවෙන්ම ආනන්ද නාලන්ද යනු සොහොයුරු පාසල් දෙකක් නොව එකක්ම ලෙස දකින්නට බොහෝ දෙනෙක් පුරුදු පුහුණු වී ඇත්තෝය.
එදවස පාසල් බස් රථ නිකුත් කරන ලද්දේ අදාළ පෙදෙස්හි ලංගම ඩිපෝවන්ගෙන් මේ පාසල් ද්විත්වයටම එකම බස් රථයක් හිමි වීමට උක්ත කාරණය විශේෂයෙන් බලපාන්නට ඇතැයි මා හට සිතේ.
එකල පොදුවේ ගත් කල මැස්සන් ඇහිරෙන පාසල් බස් රථද වූ නමුත් සෑම විටම සුලෝහිතයන්ගේ බස් රථයන් ඇඟිල්ලක් ගසන්නට බැරි තරමට සිසුන්ගෙන් පිරී ඉතිරි යන්නේය, එමෙන්ම සුලෝහිතයන්ට අමතරව අශෝකයේ සහෝදරයන්ද මේ නඩයට එක් වන බව නොපැවසුවහොත් මේ පින්තූරය අසම්පූර්ණය.
අද දින සේම එදාත් ජේෂ්ඨ සිසුන් පාසල් බස් රථය තුළ යාමට වඩාත් කැමැත්තක් දැක්වූයේ පාපුවරුවේ එල්ලී ගමන් කිරීමටය. මේ සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය ලෙස පිරී ඉතිරී ගිය බස් රථයන්ගේ පාපුවරුව පස බිම වදිනා නොවදිනා තරමට ඇල වීම එකල ඉතා සුලභ දසුනකි.
ගමන ආරම්භ කළ තැන සිට ගමනාන්තය තෙක්ම ගී ගැයීම නොකඩවා සිදු වන්නකි, සෑම බස් රථයකම පාහේ මේ සඳහා වාදනයෙන් සහය වීමට කප් ගැසූ බෙර ඔස්තාද්ලා විය. රුපියල් දෙකේ කාසියකින් බස් රථයේ පිටුපස තහඩුවත් සමගින් අල්ලන තාලයට අනුව බස් රථයම ගීතයට අත්වැල් ඇල්ලීමට එකාවන්ව එකතු වන්නේය.
වික්ටර් රත්නායක, ගුණදාස කපුගේ, සනත් නන්දසිරි, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, මිල්ටන් මල්ලවආරච්චි, HR ජෝතිපාල වැනි අසහාය ගායකයන්ගේ මෙන්ම නන්දා මාලනී, මාලනී බුලත්සිංහල වැනි ගායිකාවන්ගේ ගීත වලටද එදා දැඩි ඉල්ලුමක් විය.
නමුත් ක්‍රිකට් වසන්තය ළඟා වන විට වඩාත් සැහැල්ලු සහ විනෝදමත් පපර සංගීතයට සමීප ජිප්සීස්, ක්ලැරන්ස්, මූන්ස්ටෝන්ස්, වොලී බැස්ටියන්, එම්.එස්. ප්‍රනාන්දු වැන්නවුන් වඩාත් එඉදිරියට පැමිණෙන්නෝය, මේ ලැයිස්තුව ගැන වෙනම පතරංගයක් වන් ලිපියක් වීමට හැකි මුත් ඉඩ මද කම නිසා විරාමය තබමි.
එකල පාසල් බස් රථ වල ගමන් ගත් සිසුන් බොහොමයක් දෙනා වාර “සීසන්” හිමියන්ය. ඒ හේතුවෙන් ඩිපෝවට ලැබෙන අදායමේ අඩුවක් නිසාදෝ අපට ලැබුණු පැරණි කෑලි හැලෙනා ලංගම බස් රථ හදිසියේ ලෙඩවීම අතිශය සාමාන්‍ය දෙයකි.
එවැනි දිනක නියමිත වේලාවට විකල්ප බස් රථයක් නොලැබුණහොත් පා ගමනින්ම ඩිපෝව වෙත පිය නගනා සිසුන් සාමුහිකව දුක් ගැනවිල්ල ඉදිරිපත් කර හැකි ඉක්මනින් බස් රථයක් රැගෙන ඒම සිරිතකි.
බස් රථය නිකුත් කරනා ඩිපෝවට අමතරව වැදගත්ම පුද්ගලයන් දෙදෙනා බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර මහතුන්ය, සුලෝහිතයන් සිය ගණනක් සුරක්ෂිතව කලට වේලාවට පාසැල වෙත රැගෙන ඒමේ වගකීම ඔවුන්ගේ දෑතේය.
සිසුන් විසින් දිනපතා එකතු කරන්නට යෙදෙන සුළු මුදල් සම්මාදමක් උදෑසන ගමන අවසානයේ රියදුරු සහ කොන්දොස්තර මහතුන් හට පිරි නමන්නේ ඔවුන්ගේ ඒ සේවය අගයමින්ය.
පාසල් බස් රථයන්හි ගමන් කරන්නන් හට විනෝදමත්ම කාලය උදා වන්නේ වාර්ෂික මහා ක්‍රිකට් තරඟ පවත්වන්නට යෙදෙන මාර්තු මාසය ආසන්න වීමත් සමගය. ආනන්ද – නාලන්ද විද්‍යාලයන් හි පහස ලැබුවන් හට මෙය “සුලෝහිත සංග්‍රාමය” නම් වන්නේය.
සම්ප්‍රදායිකව “සුලෝහිත සංග්‍රාමය” යයි නම් තැබූවද එය “සුලෝහිත ක්‍රිකට් සැණකෙළිය” ලෙස වෙනස් විය යුතු යයි මා හට හැඟෙන්නේ මේ සමය අප සියලු දෙනා මහත් ආශාවකින් රසවිඳින, වසරක් පාසා සමරන්නට යෙදෙන ක්‍රිකට් හා සබැඳුණ තරඟාවලියක් මිස සටනක් නොවන හෙයිනි.
කවදත් ” A … N … A … N … D … A … ආනන්ද … “ යන ජය ඝෝෂාව ඇසෙනා තැනක එයත් සමගම එයට නොදෙවෙනිව ඇසෙනා ” N … A … L … A … N … D… A … නාලන්ද … “ ජය හඬ කාහටත් සුපුරුදුය.
මෙවන් දෑ සුලෝහිතයන්ට පමණක් අයිති දේ නොවේ, දිවයින පුරා ප්‍රධාන නගර මුල් කර ගත් නොයෙක් සහෝදර පාසල් රාශියකට මේ සමය ක්‍රිකට් හා බැඳුණු බොහෝ අංග රසවිඳීමට මෙන්ම තම සහෝදරත්වය තවත් වැඩි දියුණු කර ගන්නටද ලැබෙන මහඟු අවස්ථාවකි.
නිල් මහා සටන, ශාන්තුවරයන්ගේ සටන, ආදරවන්තයින්ගේ සටන, උතුරු මහ සටන, රුහුණු මහ සටන යනු එවන් වාර්ෂික ක්‍රිකට් තරඟ වලින් කිහිපයක් පමණි.
ක්‍රිකට් මහා තරඟ සම්බන්ධයෙන් කතා බහේදී ඒ හා බැඳුණු “හැට් කලෙක්ෂන්” (Hat Collection) හෙවත් මුදල් එකතු කිරීම, “සයිකල් පැරේඩ්” (Cycle Parade) හෙවත් පාගමන් මෙන්ම පිටු දැකිය යුතු අංග වන බාලිකා පාසල් වලට පැන යකා නැටීම, ගුටි කෙළි වැනි දේ ගැනද සඳහනකින් තොරව මග හැර යා නොහැක.
මේ කුමන දේ සිදු උවද සුලෝහිතයන්ගේ වැඩ කවදත් එකටමය, තනි ඉරටුවක් පහසුවෙන් කඩන්නට හැකි උවද එකට තදින් බැඳුණු ඉරටු මිටියක් එලෙස කඩන්නට නොහැකිවා සේ ආනන්ද, නාලන්ද සහ අශෝක සොහොයුරන්ගේ සංගමයට අභියෝග කරන්නට සමතුන් සිටියේ නැති තරම්ය. මෙය අද දිනටත් එක සේ වලංගු වනවා මෙන්ම අතීතාවර්ජනයේදී හොඳ නරක දෙකටම පොදු යයි වැටහෙන්නේය.
පාසල් කාලය ගැන සිහි කරද්දී කලාතුරකින් විදුහල්හි ජේෂ්ඨ සිසු කණ්ඩායම් අතර හට ගන්නා ගැටුම් එතරම් දුලබ දේ නොවේ, මෙවැනි ගැටලු වලදී සුලෝහිතයන් සාමුහිකව මුහුණ දීම නිරන්තරයෙන් සිදුවන්නකි, එනිසා ඇතැම් විට ආනන්දීයයන් කළ කී දෑට නාලන්දීයයන් හටද නාලන්දීයයන් කළ කී දෑට ආනන්දීයයන් හටද ප්‍රතිවිපාක විඳින්නට සිදුවූවත් ඉන් සහෝදරත්වයට ඇති වූ බාධාවක් නැත.
පාසල් අවදියේ මහත් වීරක්‍රියා ලෙස දුටු මේ ගැටුම් සහ ගුටිකෙළි වල නිෂ්ඵලත්වය වැටහෙන්නේ වයසත් සමගම පරිණත වෙද්දීය. අප බොහෝ දෙනා හට අතීතයට යන්නට හැකි නම් ඒ සියල්ල සාමකාමීව විසඳෙනවා සිකුරුය.
මේ සමයේදී සුලෝහිතයන් ගමන් කරනා පාසල් බස් රථයන් සියල්ල විදුහල් දෙකෙහිම ධජයන්ගෙන් සමබරව සැරසෙන්නේ සුලෝහිත සංග්‍රාමය සැමරීමටය. එයට සමගාමීව පාසලට ආධාර එකතු කිරීම උදෙසා නිකුත් වන සමරු ස්ටිකර්, කොඩි කැප් තොප්පි ආදියත් කල එළි බසින්නේ මහා තරඟය පිළිබඳ මතකයන් තවත් එක් කරමිනි.
මහා ක්‍රිකට් තරඟය සැමරීමට පෙර දැක්මක් ලෙස එකාවන්ව සංවිධානය කරන්නට යෙදෙන වර්ණවත් රථ පෙළපාලිය මහ තරඟයට තවත් මානයක් එක කරන්නේය.
ඒ සුලෝහිත සංග්‍රාමයට පෙර සූදානම වන හැටිය, එසේම තරඟය අතරතුර පිටිය මැද, ප්රේක්ෂකාගාරයන්හිද සහෝදරත්වයේ වෙනසක් නැත්තේය, පපර සංගීතය රස විඳිමින් එක්ව ධජ ලෙලවමින් ජය ඝෝෂා නගනා, සතුටින් නර්තනයේ යෙදෙනා සොහොයුරන් නොනවත්වා ලබන වින්දනය කාහටත් හුරු දසුනකි.
මෙලෙස නිසඟව පපර සංගීතයට ඇඟ නැටවෙන්නේ නැති, ක්‍රිකට් වලට පෙම් නොබැඳි ලාංකිකයන් සොයා ගන්නවාට වඩා පහසුවෙන් පියාඹන ඉබ්බන් සොයා ගත හැකිය.
වසරක් පාසා ආදී ආනන්දීයයන් සහ නාලන්දීයයන් මෙන්ම අනෙකුත් විදුහල්හි ආදී සිසුන් මහා ක්‍රිකට් තරඟයන් වෙත ඇදී එන්නේ මෙවන් මතකයකන් අවදි කර ගැනීමට මෙන්ම තම පැරණි හිත මිතුරන් හමු වීමටය.
සුලෝහිතයන් සහ සහෝදර පාසැල් ගැන සඳහන් කරද්දී ලංකාව නන් දෙසින් පැමිණ තම විදුහල්හි පහස විඳිමින් ශිල්ප ලැබීමෙන් අනතුරුව ලංකාව වටා මෙන්ම ලොව පුරා රටවල් රැසකද විසිර සිටින බව නොරහසකි.
විදේශයන් අතරින් මැදපෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඒ අතර ඉදිරියෙන්ම සිටිනා බැවින් එහි සුලෝහිතයන් සහ ශ්‍රී ලාංකිකයන්ගෙන් අඩු පාඩුවක් නැත, විවිධ අංශයන්හි ඉහළින්ම බැබළෙන්නෝ එමටය.
මෙලෙස විප්‍රවාසයේ යෙදෙන සහෝදර ශ්‍රී ලාංකිකයන් තම මතකයන් මෙන්ම දැන හැඳිනුම් කම් අලුත් කර ගන්නට පිපාසාවෙන් සිටින්නෝය. එබැවින් වාර්ෂිකව සංවිධානය කරන්නට යෙදෙන “සුලෝහිත ක්‍රිකට් තරඟය”, “සුලෝහිත රාත්‍රිය” ආදී විවිධ උළෙල එයට කදිම වේදිකාවක් ලබා දෙන බැවින් ලාංකිකයෝ ඒ සඳහා ඇඟිලි ගනිමින් සිටින්නෝය.
ආනන්දීයයන් සහ නාලන්දීයයන් අතින් සංවිධානය වන බොහෝමයක් උත්සව මෙන්ම මේ උත්සවද දෙපාර්ශවයේම නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයන්ය. තම රාජකාරි මෙන්ම නොයෙක් දෛනික කටයුතු පසෙකලා තම කාලය කැපකරමින් මෙවන් සාර්ථක උළෙල කිහිපයක්ම වසර පුරා පවත්වන්නට උත්සුක වන සංවිධායක මණ්ඩලයේ කැපවීම වෙසෙසින් පැසසිය යුතුය.
ඔවුන්ගේ උත්සාහයන් මල්ඵල ගන්වමින් සිව් වන වරටත් එක්සත් එමීර් රාජ්‍යයේ සියලුම ශ්‍රී ලාංකිකයන් හට පිදෙන “සුලෝහිත රාත්‍රිය – 2017- Maroons Night” වසර තුළ සුලෝහිතයන් අතින් සංවිධානය වන ප්‍රධානතම උළෙලයි.
නමුත් මෙම උළෙල තව දුරටත් සුලෝහිතයන් හට පමණක් අයත් වුවක් නොවේ, එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික දිනපොතට ඇතුළත් අංගයක් වනවා මෙන්ම නොයෙක් අංශයන්හි සේවයේ නියුතු ලාංකිකයන් තම පවුල් සමගින් උද්යෝගිමත්ව සහභාගීවන වන්නකි.
එමෙන්ම සුලෝහිත රාත්‍රිය සංගීතය සහ නර්තනයෙන් සැරසුණු ඉතා විනෝදමත් උලෙළක් මුත් ඇතැම් දෙනා නොදන්නා කාරණයක් වන්නේ උත්සවයේ මූලික පරමාර්ථය නේවාසිකව ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන දක්ෂ සිසුන් හට අතහිත දීම වෙනුවෙන් අරමුදල් රැස් කිරීම බවය.
එනිසා සුලෝහිත රාත්‍රිය තවත් එක් කමින් බොමින් සතුටු වන්නට පමණක් පවත්වාගෙන යන උත්සවයක් නොවන බව ඉඳුරාම පැවසිය හැකි සේම ඉන් ප්රතිලාභ ලදුව සාර්ථකව ඉගෙනීම නිම කළ සිසුන් එහි අගය මොනවට පැහැදිලි කරන්නේය.
එනිසා තවත් අති සාර්ථක සුලෝහිත රාත්‍රියකට සහ සප්ත ස්වරයෙන් හැඩ ගැන්වුණු මිහිරි සැදෑවක් රස විඳීමට පුන පුනා බලාසිටින එක්සත් අරාබි රාජ්‍යය පුරා විසිරුණු ශ්‍රී ලාංකික සැමට හද පිරි උණුසුම් සුභ පැතුම් !
~ කණ්ඩා
ප.ලි. :
මේ ලිපිය කණ්ඩාගේ අතින් ලියුවෙන්නට යෙදුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පවත්වන්නට යෙදුනු සුලෝහිත රාත්‍රිය සමරු කලාපය වෙනුවෙනි.
ලිපිය කණ්ඩාගේ වුවද, එහි ගෞරවය නිරන්තරයෙන් කණ්ඩාව දිරිමත් කළ ආදී ආනන්දීය රුවන් කහන්තෙන් සොහොයුරා හට හිමිවිය යුතුය.
අතිශය සාර්ථක සුලොහිත රාත්‍රියක් අප වෙත තිළිණ කිරීම වෙනුවෙන් සංවිධායක මණ්ඩලයට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආනන්දීය සහ නාලන්දීය ආදි ශිෂ්‍ය සංගමය සහ සහබාගි වූ සියලුදෙනා හට හදපිරි සුභ පැතුම්.
විචිත්‍රවත් සුලෝහිත රාත්‍රියක මතක සටහන් :
අප්‍රේල් 30, 2017 at 10:31 පෙ.ව.
සුලොහිතයන්ට උත්තමාචාරය පිරි නමමි.
කණ්ඩා අපේ කාලයේ පාසැල අරුණු පසු ගෙදර යන්න පාසල් බස් නතර කලේ ආනන්ද මාවතේ මට මතක් හැටියට පළමු බසය 100 පානදුර බසය යි එහි අවසන් බස්රථය ආනන්ද මාවතේ කෙලවරේ ආනන්ද ක්‍රීඩාංගනය ට ඇතුළුවන ගේට්ටුව එකදිගට නවත්වයි.[එකල එම ගේට්ටුව් සහිත ඉඩම් අයිතිව තිබුනේ මෑක්වුඩ් කොම්පනියටයි ] ඩබල් ඩෙකර් බහුලව තිබුණු කාලේ බොහෝ පාසල් බස් වලට යොදා තිබුනා 1969 /1978 කාලවලදී. ඉන්පසුවත් 83 පමණ දක්වාත් එලසම පැවතුනා
82 කාණ්ඩයේ හිරාන් විතක්ෂණ අනුග්‍රහයෙන් සැමදා ගෙන්වන් පපරේ ඔකෙස්ට්‍රා ටීම්එක
කැමතියිLiked by 1 person
මැයි 1, 2017 at 8:13 පෙ.ව.
බොහොම ස්තුතියි ගොඩ වැදුනට, ඔබ සඳහන් කරන වකවානුව මම උපදින්නත් කලින් එකක් 😀
මම පාසල් යන අවදියේ ආනන්ද මාවත තනිකරම පාහේ පුද්ගලික පාසල් සේවා වෑන් රථ බදු අරගෙන අහවරයි. එනිසා පාසල් බස් රථ තැනින් තැන විසිරිලා තිබුණ.
මා ගමන් ගත් හෝමාගම බස් රථය හා මතක විදිහට පිළියන්දල බස් රථය නැවැත්වුයේ සල්ගාදු බේකරිය ඉදිරිපිට 🙂
කැමතියිකැමතියි
අගෝස්තු 28, 2017 at 11:51 පෙ.ව.
මට මතක කාලෙ අසෝකෙ සෙට් එක ගොඩක් ලගින් හිටියෙ ආනන්දෙ සෙට් එක එක්ක. එක කාලයක් තිබුනා ආනන්ද රෝයල් වලියක් සුමාන ගානක් ගිය, ආනන්දෙ කොල්ලො රෝයල් උන්ව හොය හොය ගහනව. රෝයල් උන්ව හොයන්න ලේසි උනෙ රෝයල් ප්‍රින්සිපල් කලිසමට බෙල්ට් දාන කාදු මහන්න දුන්නෙ නැ. දවසක් මම බොරැල්ලෙ ඉන්නකොට 20 විතර වටකර ගත්තා. ඉස්කෝලෙ මොකද්ද ඇහුව. වචන එන්නෙත් නැහැ කටට. මොකද මොන ඉස්කෝලෙද දන්නෙ නැහැනෙ. වෙලාවට දන්න එකෙක් එතන ඉදල කියුව ඌ අපේ ඉස්කෝලෙ කියල…
කැමතියිLiked by 1 person
අගෝස්තු 28, 2017 at 2:33 ප.ව.
ඒක ඇත්ත, ආනන්ද, නාලන්ද සහ අශෝක යන ඉස්කෝල තුනේම කොල්ලෝ ගොඩක් දුරට එකට තමයි වල බහින්නේ අපේ කාලෙත්.
කලිසම් බෙල්ට් එකේ සින් එක මම දැනගෙන හිටියේ නැහැ නමුත් රෝයල් එකේ නිල ලාංඡනය කමිස සාක්කුවේ පැත්තකින් ගහල තියෙන්නෙම අදුරගෙන ගහන්න කියල තමයි අපිත් ඒ දවස් වල හිතුවෙ 😀
ඔය දවස් වල රෝයල් එකේ කට්ටියට නැව් ගුටි හම්බ උනා කියල තමයි පරිප්පුවන්ගෙ ජනප්‍රවාද වල තියෙන්නෙ. නමුත් අපි ඉස්කෝලෙ යන කාලෙ වෙනකොට ඔය කියනා රාජකීය වලිය සාමදාන වෙලා 🙂 🙂 🙂
කැමතියිකැමතියි