OLYMPUS DIGITAL CAMERA

ශිනාස් සහ මස්කට්

හාමිනේගේ කැස්ස, හෙම්බිරිස්සාව සමගම හීනියට නැග එන උණ ගතිය කෙමෙන් දරුණු අතට හැරෙන පාටය !

කණ්ඩාගේ තත්වයත් මෙයිට නොදෙවෙනිය, සෙම්ප්‍රතිශ්‍යාවෙන් කන් අගුල් වැටී ගොසින්ය, උගුරේ අමාරුව නිසා කතාබහ කිරීම පමණක් නොව අහාර ගැනීමද එකසේ අපහසුය.

මේ සියල්ලටම මුල කණ්ඩා සහ හාමිනේ දෙදෙනාම කට පරිස්සම් කර ගන්නට නොදන්නාවුන් වීමයි 😀

ජනේරුව යනු අප වෙසෙනා ඔටු දේශයේ සිසිර සමයේ මැද සනිටුහන් කරන ශීත කාලයයි, සීතල මැකෙන්නට අන් උදවිය ඇඟපත රත් වන දේ පානය කළත් අප එසේ අන් උදවිය අනුගමනය කරන්නේ නැත.

මෙයට හේතු කිහිපයක්ම ඇත්තේය :

පළමුවැන්න ඇඟ රත්වන දේ පිළිබඳව, හැකි විටෙක තිතට මත – කණ්ඩා සහ මතට තිත – හාමිනේගේ මතයන් බෙහෙවින් පරස්පර විරෝධී වීමය – ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට එළඹෙන්නට අපහසුය !

දෙවැන්න අන් උදවිය අනුගමනය කිරීම තත්වයට මදි කමය, එනිසා පස්ස බිම ඇනුණත් කිසිවකු නොයන මගක යන එක නම්බුකාරය … 😀

තෙවැන්න අන් සියලු හේතු වලටත් ඉහළින් ඇති, හැම දේටම තදින් බලපාන පෙරේතකමය – කණ්ඩා මෙන්ම හාමිනේද හිම කිරමට අතිශයින් කෑදරය  🙂

මේ කියනා අකරතැබ්බය සිදු වන්නේ සති අන්තයට යෙදෙන යක්කු ගස් නගිනා රෑ දෙගොඩහරි ජාමයේ පටන් ගෙන පාන්දර එළිවනතුරු ඇදී යන චිත්තර පටි මැරතන් එක අතරතුරදීය. (කණ්ඩා ඩබල නොම්මර එකේ චිත්තර පටි පිස්සන් බව දන්නෝ දනිති  🙂 )

A Light Bulb Momentනිවාස අහලකවත් චිත්තර පටි බලමින් හපන්නට කඩචෝරු කිසිවක් නොවූ බැවින් ඇති වූ හිඩැස පිරවීමට (හැමදාමත් ටියුබ් ලයිට්) හාමිනේගේ ටිකිරි මොළයට ඒ අවස්ථාවේ පමණක් කදිම අදහසක් පහල වූයේ ඇයිද යන්න ගැටළුවකි 😦

ඒ අදහස වෙන කිසිවක් නොව ශීතකරණයේ විවෘත නොකළ හිම කිරම බාල්දියකට වග කියන්නටය, කණ්ඩාගේ අනුදැනුමකින් තොරව ශීතකරණයේ යමක් ඉතිරි වන්නේ හාවා හඳ දකින්නා සේ කලාතුරකිනි. එනිසා මෙය නම් සැබෑම ආශ්චර්යයකි 🙂

ඉබ්බා දියට දමන්නට හදනා විට ඇන්නෑවේ කියන්නා සේ කණ්ඩාද මද පෙරැත්තයකින් අනතුරුව හාමිනේගේ අදහස ඉස් මුදුනින්ම අනුමත කළ මුත් වැඩේ ගැස්සුනෝතින් වරද හාමිනේ පිටම පටවා නිදහස් වීමේ හිමිකම හෙවත් “ඩිස්ක්ලේමරය” කණ්ඩා සන්තකයේ තබා ගැනීමට වග බලා ගත්තේය !

Can Buy Happyලැජ්ජාව පමණක් නොව පෙරේතකමද මහ මුදලිකමටත් වඩා අනිවාර්යයෙන් ලොකු විය යුතුය, ඒ වැඩි දුර දිග නොසිතා**  කණ්ඩ දෙමහල්ලෝ කල් නොයවාම තඩි හිම කිරම බාල්දියම (An Entire Ice Cream Tub !) තරඟයට අහවර කළ බැවිනි 🙂

** කවුද කල්පනා කර කර හිම කිරම කන්නේ ?  කෙසේ වෙතත් කෑදරකමට හිම කිරම බාල්දියක් ළඟ නැවීම යනු ඉන්ස්ටන්ට් දිට්ඨ ධම්ම වේදනීයව පටිසන් දෙන කර්මයක් (කරුමයක්) බව කණ්ඩාට ඉඳුරාම පැවසිය හැක 😀  **

එළිවන ජාමය වනවිට හිම කිරමේ ආනිසංස වශයෙන් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ දෙදෙනාටම මදියි නොකියන්න තිබුණු බව පවසන්නේ අප්‍රමාණ සන්තෝෂයෙනි!

කෙතරම් අසනීප උවත් ගොඩ වෙදකම් කරනු විනා බෙහෙත් හේත් ගන්නට වෛද්‍යවරු පසු පස යාමට කණ්ඩා සහ හාමිනේ දෙදෙනාම හොර කටින්නෝය, කණ්ඩාට වෛද්‍යවරු දිරවන්නේ නැති වීමට හේතු බොහෝ උවද හාමිනේට ඇති එකම හේතුව කම්මැලිකමය.

එහෙයින් කණ්ඩා සේවයේ නියුතු කොම්පැනියේ පිහිටෙන් නොමිලේම ලද වෛද්‍ය රක්ෂණාවරණයක් තිබුණද මරණාසන්න අවස්ථාවක් උදා නොවුණෝතින් ඉස්පිරිතාල සහ වෛද්‍යවරු මග හැර යාම කණ්ඩා මහත් සතුටින් සිදු කරන්නකි.

මස්කට් ගමන යන්නට කලින් ලෙඩ සනීප කරගන්නට උවමනාය, එනිසා කෙතරම් අකමැති උවත් අන්තිමේ බැරිම තැන හාමිනේව බලහත්කාරයෙන්ම වෛද්‍යවරියක් වෙත ගෙන යාමට කණ්ඩා සමත් වූයේ මස්කට් ගමන අවලංගු කරන බවට තර්ජනය කිරීමෙන් අනතුරුවය.

එහිදී හාමිනේගේ දුක් අඳෝනාව සාවධානව සවන් යොමු කළ වෛද්‍යවරිය වෙනම ගමන් මල්ලක රැගෙන යාමට තරම් බෙහෙත් හේත් ලබා දීමට තරම් කාරුණික වුවාය.

නමුත් අවාසනාවකට බෙහෙත් ගෙන සති කිහිපයකට පසුවත් අසනීප තත්වය යම් දුරකට පාලනය වූවා මිස සම්පුර්ණයෙන්ම සුව වුයේ නැත 😦

ගමන ගැන නොසෑහෙන කල් පෙරුම්පුරාගෙන සිටි නිසාදෝ අසනීප තත්වය මග හැරෙන තෙක් මස්කට් ගමන පමා කිරීමටද හාමිනේගේ කිසිඳු කැමැත්තක් නැතිය.

මේ ගමනට පෙර සති කිහිපය ගෙවී ගියේ ඔය කියනා ආකාරයෙනි, හාමිනේගේ හිතේ හයියට ගමන පිටත් වූවත් ඇය දැන් පසු වන තත්වය කණ්ඩාගේ හිතට හරි මදිය. ලෙඩට ගන්නා බෙහෙත් හේත් ඇති පදම අප ළඟ තිබුණද ගැටලුව බෙහෙත් භාවිතා කිරීමට නොහැකි වීමය, එය ගැටලුව තවත් උග්‍ර කළේය.

විශේෂයෙන් කැස්සට සහ උගුරේ අමාරුවට නිර්දේශිත පැනිය බොන්නට කටට රසට තිබුණද එය බිව් වෙලේ සිට එන තද නිදිමත සහ රහමෙර පානය කළ තරමට වූ මත් ගතියත් සමග ඇස් අරගෙන සිටීම අතිශය අපහසුය.

අමද්‍යප භාරියාවන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වන හාමිනේට රහමෙර අරහං උවත්, හාමිනේ බීමත්ව සිටිනු දකින්නට ලැබෙන්නේ මෙවැනි දිනකදී පමණි 😀

ශිනාස් සහ මස්කට් යාකෙරෙනුයේ අධිවේගී මාර්ගයකින් බැවින් නිදිමතින් පැයට කිලෝමීටර එකසිය විස්සකට ආසන්න වේගයකින් වාහනය පදවන්නට නොහැකිය, එනිසා මස්කට් වෙත පැමිණෙන තුරු බෙහෙත් වර්ජනයක නිරත වන්නට ගත් තීරණය නිවැරදි මුත් ගමන පමා නොකිරීම අනුවණකමක් බවට කණ්ඩාට දැන් සිතෙන්නේය.

අවසානයේ අතරමගදී බලන්නට සැලසුම් කරගෙන සිටි ස්ථානයන් කිහිප පොළක් මගහැර කෙළින්ම මස්කට් හි පිහිටි හෝටලය වෙත යාමට අප තීරණය කළෙමු.

ශිනාස් හි සිට “බතීනා” අධිවේගී මාර්ගය (Batinah Highway) ඔස්සේ තවත් පැය තුනක පමණ ගමනකින් අනතුරුව මස්කට් වෙත කිට්ටු කළෙමු. ඒ අතරතුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ අප දුටු වෙනස්කම් කිහිපයකි.

පළමුවැන්න අධිවේගී මාර්ගයේ සෑම මීටර හාර පන්සියයකටම වරක් ඇති අටෝරාසියක් වන පිවිසුම් සහ පිටවීම්ය (Entry & Exit), එමෙන්ම මාර්ගය දෙපස වැටක් නොමැති බැවින් ඕනෑම තැනකින් පිවිසුමක් තිබුණත් නැතත් වාහන ඇතුළු කල හැකිය. මෙය මාර්ගයට අනාරක්ෂිත බවක් මෙන්ම මෙන්ම කලබලකාරී ගතියක්ද එක් කරන්නේය.

දෙවැන්න මාර්ගය දෙපස නිරන්තරයෙන් හමුවන නෙතට ප්‍රිය හරිත වර්ණයෙන් දිලෙන සාරවත් රට ඉඳි යායවල් සහ බාර්ලි, තිරිඟු, කෙසෙල්, දෙහි, තක්කාලි, බණ්ඩක්කා වවන ගොවිපොළවල්ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙයට සුළු වශයෙන්  හෝ සමාන ප්‍රදේශ ඇත්තේ අලේන්, ලිවා පළාත් වලය (Al Ain, Liwa).

තෙවැන්න ඕමාන්හි ඇති අවන්හල් වල හිඟයයි, ඩුබායි සහ සාජා හි හන්දියක් පාසා ඇති නානාප්‍රකාර අවන්හල් වලට හුරු වී ඇති අප හට මෙය නුහුරු අපහසුතාවයක් ඇති කළත් වැඩි කරදරයක් නොමැතිව හෝටලය වෙත ළඟා වූ නිසා එහිම දිවා අහාරය ඇණවුම් කිරීමට තීරණය කළෙමු.

හෝටලය වෙත ගොඩ වැදී අහාර ඇණවුම් කිරීමෙන් පසු කල ප්‍රථම කාරිය වුයේ කණ්ඩාගේ මිතුරන් වන කොච්චියා සහ ශාමික වෙත අපගේ පැමිණීම දැනුම් දී කෙටි පණිවිඩයක් යැවීමයි.

මේ හාදයන් දෙදෙනාගෙන්ම හවස හමු වීමට පොරොන්දුත් සමගින් නොවළහා ප්‍රති උත්තර ලැබුණේය. එනිසා අප කාමරය තුළම හිත නිදහසේ ආහාර පානයෙන් සන්තර්පනය වී අතුරුපස ලෙස එතෙක් වේලා කල් තැබූ බෙහෙත් තොගයකට වගකියන්නට යෙදුණෙමු.

අප පෙළූ ඇඟ පත රුදාව කෙතරම්ද යන්න වඩාත් හොඳින් දැනුණේ අහාර ගැනීමෙන් අනතුරුවය, හැකි ඉක්මනින් ඇඟ පත දොවාගෙන ඇඳට වැටෙනු පමණක් දෙදෙනාටම මතකය.

ඊළඟ මතකය ඇඳ කිට්ටුව තබා තිබුණු ජංගම දුරකථනයේ මර ළතෝනියත් කණ්ඩා හාමිනේගේ ඇවිටිල්ලත් සමග තිගැස්සී අවදි වීම පමණි !

ඒ දුරකථන ඇමතුම ශාමිකගෙනි, අසනීප තත්වය නිසා අප දෙදෙනා පත් වී ඇති අසීරුතාවය දැනගත් ඔහු යෝජනා කළේ පමා නොවී ඒ කිට්ටුව පාතම ඇති රෝහල වෙත යායුතු බවය.

නමුත් අප දෙදෙනාම රෝහල් වලට ඇති දැඩි අසාත්මිකතාවය හෙවත් “ඇලජික්” ගතිය එම උපදෙස් පිළිපැදීම වැලක්වූ බව කියන්නේ කණගාටුවෙනි 🙂

ඒ වන විට වෙලාව පස්වරු හත පමණ වන්නට ආසන්නය, මහ ගිනි දවල් පැය පහකටත් අධික කාලයක් දෙදෙනා මර නින්දක නිරතව ඇත.

බලාපොරොත්තු වූ පරිදිම ශාමිකගේ දුරකථන ඇමතුම අවසන්ව මද වේලාවකට පසු කොච්චියාගෙන්ද කණ්ඩාට දුරකථන ඇමතුමක් ලැබුණේය, ඒ අප දෙදෙනා සිරි ලංකාවේදී අවසන් වරට හමු වී කළ කතා බහෙන් දොළොස් අවුරුද්දකටත් පසුය.

එදින රෑම කෙසේ හෝ මා හමුවන් බවට සපථ කළ කොච්චියා දුරකථනය විසන්ධි කල පසු නැවතත් නින්ද මා අසලකටත් නොපැමිණියේය. දුරකථන ඇමතුම නිසා අවදි වූ හාමිනේ ඇඟපත රුදාව නිසා නැවතත් ගොරවමින් නිදිය.

හාමිනේගේ මව්පියන් අත්තිඩියේ වසනමුත් මව් පරම්පරාවේ උදවිය මොරටුවේ බව කිසිඳු සැකයකින් තොරව සනාථ වන්නේ මෙවන් අවස්ථා වලදීය 😀

කම්මැලිකමට කරන්නට දෙයක් නැත, හාමිනේ නිදි නිසා රූපවාහිනිය නැරඹීමටද නොහැකිය, කොහොමටත් පාන්දර තුනට අවදිව ලෙඩ ගානේ උව පැය හයකටත් වඩා මාතලී රාජකාරිය කළ හාමිනේට කරදර කරන්නට බැරිය.

Its Not About the Bikeමා කියවීමට පොතක් රැගෙන ආ බව මට සිහි වූයේ මේ අතරය, ඒ සයිකල් ශුර “ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්” (Lance Armstrong) ගේ චරිතාපදානයක් ලෙසින් රචිත “ඉට්ස් නොට් අබ්ව්ට් ද බයික්” (It’s Not About the Bike) නම් මා වසර ගණනාවකට කලින් මිලදී ගෙන කියවීම අතපසු කරනා ලද්දකි.

තහනම් උත්තේජක භාවිතය නිසා තරඟ තහනමකට මුහුණ දුන් ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් හට පදක්කම් පමණක් නොව සියලුම ජයග්‍රහණද පසු කලෙක අහිමි වූවත් පිළිකා රෝගය සමග සටන් කර ජය ගත්තකු වශයෙන් ඔහුව කණ්ඩා බෙහෙවින් අගය කරන්නේය.

එනිසා දෙගිඩියාවකින් තොරව පොත කියවීම ආරම්භ කළෙමි, මේ පොත කියවන තෙක් මා අවසන් වරට පොතක් සම්පුර්ණයෙන් කියවා අහවර කළේ වසර ගණනාවකට පෙරය. මාගේ මතකය නිවැරදි නම් ඒ හාමිනේ විසින් කණ්ඩාට උපන්දින ත්‍යා‍ගයක් ලෙස තිළිණ කරන ලද “ලූසින් මයි වර්ජිනිටි” (Loosing My Viginity) කෘතියයි.

වර්ජින් සමූහ ව්‍යාපාරයන්හි (Virgin Group) නිර්මාතෘ “සර් රිචඩ් බ්‍රැන්සන්” (Sir Richard Branson) ගේ චරිතාපදානයක් වන මෙය කණ්ඩා නිදිවරමින් පැය කිහිපයක් තුළ ඉතා අසාවෙන් කියවා අහවර කළේය.

Loosing My Viginityකියවන්නට ලැබෙන ඉඩකඩ මද මුත් කියවන විට එය නොනවත්වා කියවීම කණ්ඩාගේ සිරිතයි, මෙම කෘතිය කණ්ඩාගේ පියා අකාලයේ සමුගන්නට යෙදුණු  පිළිකා රෝගය පිළිබඳව ඇති සමීපතාවය මත නැගුණු කුතුහලය නිසා ඒ සඳහා වැඩි වෙහෙසක් අනවශ්‍ය විය.

මෙසේ දිගින් දිගටම කියවාගෙන යද්දී කණ්ඩා ඇතුළු පවුලේ උදවිය මුහුණ දුන් කටුක අත්දැකීම් ඇති කළ තුවාලයන් නැවත පෑරෙන්නට වූ නමුත් නොකඩවා පොත අවසන් කිරීමට මම ධෛර්යය උපදවා ගතිමි.

එමෙන්ම නොසිතූ ලෙස කණ්ඩාගේ පියා මරු තුරුලට යැවූ පිළිකාවත් ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් විසින් ජය ගන්නට යෙදුණු පිළිකාවත් එකම ගණයේ බැව් මා හට පසක් විය, වසර කිහිපයක් පියා වාසය කළ මස්කට් නුවරදීම මෙය කියවීමට සිදුවීම අහඹුවක්ද සරදමක්ද යන්න මා හට නොතේරෙන පැනයකි.

ජිවිතයේ හැටි එසේය, සාපේක්ෂව කලින් හඳුනා ගත් හෙයින් වෘෂණ කෝෂයන්ගෙන් ඇරඹී පෙනහලු සහ මොළය දක්වා පැතිරුණ පිළිකා සෛල මර්ධනය කරන්නට ලාන්ස්ගේ වෛද්‍යවරු සමත් උවත් අවසාන අවදිය දක්වා මොළයේ වර්ධනය වූ ටෙනිස් බෝලයක තරම් “ටියුමරයක්” ඉවත් කිරීමේ සැත්කමකට මුහුණ දුන් කණ්ඩාගේ පියා නිරත වුයේ පරදින සටනකය.

කිසි විටෙකත් පිටතට හැඟීම් නොපෙන්නුවත් මේ මාතෘකාවට කණ්ඩා ඉතා සංවේදීය, එමෙන්ම කෙතරම් අමිහිරි උවත් පැන යනට බැරි ලෙස ජීවිතය හා බද්ධ වුවකි. මේ ගැන විවෘතව අදහස දක්වන්නට කණ්ඩා පෙළඹුණේ විසි අවුරුද්දක් ගත වී බ්ලොග් ලිවීම ඇරඹු පසුවය. නමුත් අදටත් මා හට ඒ ගැන ලිවීම කෙසේ වෙතත් කතා බහකට වැටීම අපහසු කාරණාවකි.

මෙවන් නේක සිතුවිලි වැලක පැටලී සිටිනා අතරතුර හිටි අඩියේ නැවතත් දුරකථනය නාද විය, එතෙක් පොත තුළ සිර වී සිටි කණ්ඩා නැවත පියවි සිහියට එළඹියේය. එය කණ්ඩාගේ විඩාබර දෙනෙතට මෙන්ම හැඟීම්බර සිතටද ලබා දුන්නේ විශාල සහනයකි.

දුරකථනයේ අනෙක් කෙළවර සිටියේ ශාමිකය, ඔහු හෝටලය ලොබියේ මා පැමිණෙන තෙක් රැඳී සිටිනා බව දැනගත් හෙයින් පහළට යාමට සුදානම් වූවත් හදිසියේම අවදි වූ හාමිනේ විමසුවේ මේ මහ රෑ කොහේ යන්නට හදනවාද කියාය ?

ඒ අනපේක්ෂිත පැනයෙන් කණ්ඩාට පසක් වූයේ තමා පැය තුනකටත් අධික කාලයක් නොකඩවා පොත කියවා ඇති බව මෙන්ම එතෙක් සැරසී සිටින්නේ රාත්‍රී ඇඳුම් කට්ටලයකින් බවත්ය.

හාමිනේ බෙහෙත් නිසා තවමත් බමන මතිනි, එනිසා හාමිනේට නැවතත් නින්දට යන ලෙස පවසා කඩි මුඩියේම හැඳ පැළඳ ගනිද්දී තවත් දුරකථන ඇමතුමක් ලැබුණි, ඒ කොච්චියාගෙනි.

කොච්චියා ඒ වන විටත් හොටෙල් ලොබියේය, අතට හසුවුන ඇඳුමක් පටලවා ගත් කණ්ඩා කාමරයෙන් පිටත් වන විටත් පස්වරු දහය පසු වී තිබුණු බව මතකය.

මා ලොබිය වෙත යන විට ශාමික තවත් මිතුරෙක් සමගත් කෝච්චියා එයට මදක් එහායින් තවත් පුටුවකටත් වී නොඉවසිල්ලෙන්  බලා සිටිනු දක්නට ලැබුණි.

කොච්චියා දැනට දොළොස් අවුරුද්දකට කලින් දුටුවා වාගෙමය, එකම වෙනස සමෘද්ධිය සහ පරිණත භාවය පෙන්වන බඩ තඩිය පමණි. එනයින් බලන කල කණ්ඩාගේ සමෘද්ධිමත් බව මෙන්ම පරිණතභාවයද කොච්චියාට සම බව ඉඳුරාම පැවසිය හැක්කේය 😀

ශාමික පාසල් යන සමයට වඩා වෙනසක් ඇත්තේ නම් ඒ නිකට යටින් මතු වී ඇති එළු රැවුලය**, එමෙන්ම රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමටදෝ වැඩි පරිස්සමට එහි ගැටයක්ද දමා ඇත්තේය.

ඇතැම් විට මෙසේ රැවුල ගැට ගැසීම නිසා වායුගතිකත්වය (Aerodynamics) වැඩි දියුණු වීම වැනි අමතර වාසි තිබෙන්නටද පිළිවන, නමුත් මම ඒ ගැන ශාමිකගෙන් ඇසුවේ නැත, නමුත් පසු දිනෙක කණ්ඩා හාමිනේ ශාමිකගේ හාමිනේත් සමග එක්ව මේ ගැන වඩාත් හොඳ කොමෙන්ටු ලබා දුන් බව මතකය.

**ඒ වන විට කණ්ඩාද මෙවැනිම එළු රැවුලක් වැවීම සාර්ථකව ආරම්භ කර තිබුණද හාමිනේගෙන් බේරිල්ලක් නැති තැන පසුගියදා නැවතත් රැවුල බා “ජෙන්ටල් මෑන්” කෙනෙක් හෙවත් “මහත්මයෙක්” බවට පත් වීමි.

බලාගෙන යන විට “ජෙන්ටල් මෑන්” කෙනෙක් වීමට එතරම් අපහසු නැත !!! **

ආචාර සමාචාර කර දෙපාර්ශවයම දැන හඳුනා ගැනීමෙන් අනතුරුව මේ හාදයින් තිදෙනාම පැරණි ආගිය විස්තර කතා බහ කිරීමට සඳහා ඔළු රත් කර ගැනීම අත්‍යවශය බව පැවසූ නිසා අප දුමාචාරයේ යෙදීමට ලොබියෙන් පිටතට පැමිණියෙමු.

කණ්ඩා දුම් පානය නොකළද කණ්ඩාගේ පාපග්‍රහයින් බොහොමයක් දුම්බොනවුන් නිසා කණ්ඩා උන්ට වඩා දුම් බොන්නේ යාළු මිත්‍ර කම දුම් නොබීමට වඩා වටිනා නිසාය, එදිනත් එහි වඩා වැඩි වෙනසක් සිදු වුයේ නැත.

ශාමික ආකියෙක් (Architect) බව දැන ගත් කොච්චියාට දැන ගන්නට ඕනෑ වූයේ ඕමානයේ ප්‍රකට ශ්‍රී ලාංකීය ආකියෙක් මෙන්ම බ්ලොග්කරුවෙකුද වන චෙෆ්-ආකියාව හඳුනනවාද යන්නයි, ඒ සමගින්ම ඕමානයේ වෙසෙන/විසූ හැලපයියා, නෙල්ලිPrince වැනි බ්ලොග්කරුවන් ගැන කතා බහ මෙන්ම පෙර සිදු වූ අටං හමුවද ඉදිරියට පැමිණියේය.

මෙසේ සුළු මාතෘකා වලින් ඇරඹි කතාබහ වැඩි වෙලා යන්නට පෙර 18+ වී අනතුරුව “අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි” ලේබලය ඇලවුණේ කොච්චියාට පින්සිදු වන්නටය.

කණ්ඩාට පවා අමතකව තිබූ, පෙර සේවය කළ “සොෆ්ටෙක්” (Softech) ආයතනයේ සගයන් වන K. ඇටයා, ජනත්, රුවන්, සමුද්‍ර උපාසක මහතා සමග කණ්ඩාද සගභාගී වූ පැරණි සාදයක් හා බැඳුණු සිදුවීම ගැන විචිත්‍ර මතකයන් රැසක් එකින් එක එළියට අදින්නට කොච්චියා සමත් විය.

ඒ හා සම්බන්ධ වූ නිධාන කතා, අතුරු කතා සහ කතා මැද කතා වලින් කොච්චියා නොනවත්වා මතකය කොනිත්තන්නට වූ බැවින් කාලය ගලා යනු අපට කොහෙත්ම වැටහුණේ නැත.

කතාව කෙතරම් රසවත් උවද ස්වයං වාරණයකට ලක් කර කපා කොටා දැමු කළ ප්‍රසිද්ධියේ ලිවීමට සහ කියවීමට හැකි දේ ඉතා අල්පය, එමෙන්ම ඒ සම්බන්ධයෙන් වැඩි යමක් නොලියා සිටීමට කොච්චියා ගෙන ඇති තීරණයට මමද ගරු කරමි, එය කාගෙ කාගේත් ශරීර සෞඛයයට වඩාත් හිතකරය  😀

අවසානයේ මේ කතාන්දරය පෙරළුණු අත ගැන සිතන විට හාමිනේ කණ්ඩාත් සමග නොපැමිණීම වෙස් වළා ගත් ආශිර්වාදයකි, ඇය ළඟ පාතක සිටියා නම් මේ කතා බහ එළි පහළියට එන්නේ නැත !

රාත්‍රී දොළහ පමණ වනතුරු ඇදීගිය මේ කෙටි හමුව අහවර කරන්නට යෙදුණේ එදින ශාමික සහ ඔහුගේ මිතුරා වන චතුර** පැමිණ සිටියේ ගුවන් තොටුපොළ වෙත යන අතරමග නිසාය, ඒ මස්කට් හි පැවැත්වෙන ආදි සිසු උලෙළක්  (Golden Alumni Ball) සඳහා පැමිණෙන සංගීත කණ්ඩායමක් පිළිගැනීමටය.

** චතුරලා ගැන වෙනම පොතක් ලියන්නට උව සෑහෙන අපමණ කාරණා ඇති බැවින් ඒ ගැන පසුවට තබමි ! **

ඒ දෙපළත් සමගම කොච්චියාත් කණ්ඩාට සමු දුන්නේ නැවත මුණ ගැසීමේ බලාපොරොත්තු සහිතවය.

~ මතු සම්බන්ධයි !

මස්කට් කතන්දර ~ II කොටස ~ සාජා සිට මස්කට් වෙත …

මස්කට් කතන්දර ~ IV කොටස ~ මස්කට්, ඔපෙරා සහ මත්‍රා

Advertisements