Keep Calm and Eat Ice Cream

ජනේරුවේදී මස්කට් යන්නට කිට්ටුව හිම කිරම බාල්දියකට වගකීම හේතුවෙන් මුහුණ දෙන්නට සිදු වුණු අකරතැබ්බය කණ්ඩා පසුගිය සතියේ විස්තර කළේය, එත් සමගම හිමකිරම සම්බන්ධ කතා එකින් එක කණ්ඩාගේ ඔළුවට ගලාගෙන එන්නට විය.

හිම කිරම ගැන කියනා විට මුලින්ම මතකයට නැගෙන්නේ  කණ්ඩාගේ මව රසකර පවසන්නට යෙදුණු ඇය පාසල් යන සමයේ රස බැලූ “කානිවල්” සහ “ඇලෙරික්ස්”  (Carnival and Aleric’s) අයිස් ක්‍රීම් ගැනය.

ලංකාවේ පැරණිතම හිම කිරම කඩ වන මේවා එදා මෙන් සරුවට නැතත් අදටත් කොළඹ ඉතිරිව ඇති බව කණ්ඩා දන්නේය.

මින් ඇතැම් කතන්දර දිග ඇරෙන්නේ එකදාස් නවසිය හැට හැත්තෑ ගණන් වල නිසා කණ්ඩා ඇතුළු අලුත් පරම්පරාවේ උදවියට තරමක්  දුරස්තරය, එනිසා මේවා කළුසුදු චිත්‍රපටි බලන්නාක් මෙන් දැනීම අතිශයින් සාමාන්‍යය 😀

බස් එකේ යන්නට ගෙදරින් දුන් සල්ලි වලින් තම සහෝදර සහෝදරියන් හා එක්ව සත ගණන්වලට හිම කිරම කෑ හිම කිරම සේම රසවත් කතන්දර අම්මාට ඇත.

නමුත් අසුව දශකයේ උපන් කණ්ඩාගේ පරම්පරාවට සත ගණන් වලට හිම කිරම කන්නට අවස්ථාව හිමි වුයේ නැත, සත පනහකට ගන්නට තිබුණු එකම දේ අයිස් පැකට් පමණි.

එදවස අයිස් ක්‍රීම් කෝන් එකක හෝ පලමක අවම මිල රුපියලකි, මේ හිම කිරම ගෙන එන්නේ නිෂ්පාදකයාගේ නමක් ගමක් නොදන්නා බයිසිකලයක් බැඳ ගත් රෙජිෆෝම් පෙට්ටයක් පැදගෙන එන අයිස්ක්‍රීම් වෙළෙන්දන්ය 🙂

මේ ගැන ගොඩගම සුභාරතිය ගැන කණ්ඩා ලියූ ලිපියකින්ද හෙළිකර ඇත්තේය. (අයිස් පලම් සහ අයිස් පැකට් ගැන වැඩි විස්තර මෙතැනින්)

හිම කිරම මිලෙන් වැඩි වූ නිසා එය නිතරම කන්නට ලැබෙන කඩචෝරු ගොන්නට වැටුණේ නැත, මේ සම්බන්ධ වැඩි හරියක් හිඩැස පිරවුයේ බොම්බයි මොටයි, නයිස්, අච්චාරු සහ නේක ටොෆි-ලොසින්ජර ජාතියයි.

ඒ මදි පාඩුවට පාසල ඇරී ගෙදර යන පාර දෙපස වතු වල හිමිකරුවන්ගෙන් විමසා හෝ නොවිමසා කඩා ගත් කොට්ටම්බා, අඹ, රඹුටන් සහ පේර වැනි පලතුරු විය.

අප කුඩා කාලයේ සිරි ලංකාවේ ප්‍රසිද්ධම හිම කිරම නිපදවන්නට යෙදුණේ අලියා කොම්පැනිය හෙවත් එලිෆන්ට් හවුස්ය (Elephant House) , “උඩ ලන්දේ” හිම කිරම හෙවත් හයිලන්ඩ් (Highland) කොම්පැනියේ හිම කිරමද අතරින් පතර වූ නමුත් එතරම් ප්‍රසිද්ධ නැත.

එකල අප නිවසට “උඩ ලන්දේ” හිම කිරම ගෙන එන්නේ නැත, කුඩා අවදියේ කණ්ඩාට හට එතරම් දැනුම් තේරුම් නොවුවද මතක ආකාරයට මෙයට හේතුව අම්මාගේ මනාපය අලියා හිම කිරම වෙත හිමි වීමය.

ඉඳහිට “උඩ ලන්දේ” හිම කිරම අප නිවසට බලෙන් ගොඩ වදින්නේ නිවසට එන අමුත්තෙකුගේ අතේය, මේ උදවිය අයිස් ක්‍රීම් මිලදී ගන්නේ වැලිපිල්ලෑව හන්දියේ පිහිටි “මැද කඩයෙන්” බව අප සහසුද්දයෙන්ම දන්නේය.

හෝමාගම, පනාගොඩ පසු කර කිලෝමීටර 8 ක දුරක් ඇඹුල්ගම පාරේ හංවැල්ල දෙසට විත් තවත් කිලෝමීටර බාගයක් පමණ පයින් යා යුතු ලෙනගල වත්තේ වූ අප නිවස කිට්ටුව පාත හිම කිරම මිලදී ගන්නට වෙන තැනක් නැත්තේය.

අප වාසය කළ වැලිපිල්ලෑව ගම්මානය නමට කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටියත් හැබෑවට ගත් කල හද්දා ඩොටේය 😀

වැරදිලාවත් මැද කඩයෙන් හැරෙන්නට වෙන කොහෙන් හෝ දුර බැහැරකින් උස්සාගෙන ආවොත් ගෙට ගෙවදින්නේ හිම කිරම නොව “හිම දියර” ය 🙂

ගෙදරට ගෙනා දේ නිසා කරන්නට දෙයක් නැත, එබැවින් අමුත්තන් ගිය පසු අම්මාගේ නියමයෙන් පස්සා දොරින් පිටවන “උඩ ලන්දේ” හිම කිරම කණ්ඩාගේ හෝ පොඩි කණ්ඩාගේ අතින් නැවතත් මැද කඩය වෙත වඩින්නේය.

“මැද කඩය” හෙවත් හේමචන්ද්‍ර මුදලාලි සහ පවුලේ උදවිය කණ්ඩලෑ පියා සහ අනෙක් අය හොඳින් හඳුනන්නේය, කණ්ඩලෑ පවුලේ මෙන්ම මේ පවුලේද සමකාලීන පරිප්පුවන් වූ අයිය මලෝ දෙපලක් ඇත්තේය.

අප පවුල් දෙකෙහි දැන හැඳිනුම් කම මීටත් අවුරුදු දහයක් පමණ දුර දිවුණකි, එනම් පිටගම් කාරයන් වූ කණ්ඩලෑ පවුල වැලිපිල්ලෑවේ පදිංචි වූ කාලයේ පටන්ය. නමුත් පවුල් දෙකේම පරිප්පුවන් විසීම මේ දැන හැඳිණුම්කම වඩාත් ශක්තිමත් කළ බව කිව හැක.

මේ පරිප්පුවන්ගෙන් වැඩිමලා “කාශ්‍යප” කණ්ඩාට වසරකට බාලය, “දෙව්රුවන්” නම් වූ අනෙකා පොඩි කණ්ඩාගේ අඹ යහළුවෙකි, මේ දෙදෙනාම කණ්ඩලා සමග හරි හරියට සෙල්ලමේ යෙදුණු උදවියය.

ලොක්කා ඇඟ පතෙන් මහ කළු සිංහලයෙක් මෙන් සද්දන්තය, ඒ දවස් වල අපට නම තියන්නට දුන්නා නම් නන්දිමිත්‍ර කියා පට බඳින්නට ඉඩ තිබුණි. පොඩ්ඩා එයට හාත්පසින්ම වෙනස් පාට වැටුණු හීන්දෑරි හාදයෙකි.

බැලූ බැල්මට කිසිවෙක් මේ දෙදෙනා අයියා මලෝ යයි සිතන්නේ නැත, මතක ආකාරයට මේ දෙබෑයෝද කණ්ඩලා මෙන්ම ගොඩගම සුභාරතියේ පිහිටෙන් ආනන්දයට පිය නැගීමේ වරම් ලැබූවන්ය.

එදවස ගමන් බිමන් සඳහා පිහිටට සිටියේ කණ්ඩාගේ දඬු මොණර යන්තරය වූ දැඩි ලෙස නවීකරණය කරන ලද “ලුමාලා” වර්ගයේ තුන්කාලේ පුස් සයිකලයකි **, අපේ භාෂාවෙන් නම් “ෆුටාර්” එකකි.

** මෙයේ ලියනා විට මතක් වූයේ මේ ගැන වෙනම ලිපියක් ලියන්නට තරම් දේ කණ්ඩාගේ ඔළුවේ ඇති බවය, එනිසා මේ දඬු මොණර රාජයා ගැන වෙනම ලිපියක් ලියවෙන බව ෂුවර්ය 🙂 **

කණ්ඩලෑ නිවාස පිහිටියේ කන්දකය, එනිසා නිවසේ සිට වැලිපිල්ලෑව හන්දිය තෙක් ඇති කිලෝමීටර බාගයක පමණ දුර තැනින් තැන අඩු වැඩි වශයෙන් පල්ලමකි.

මේ පල්ලමට පින්සිදු වන්නට නිවසේ සිට පැඩල් එක දෙපාරක් පෑගු විට ෆුටාර් එක ආලෝකයේ වේගයට ආසන්න තලයකට ** ළඟා වන්නේය.

තාත්තාට පින්සිද්ද වන්නට කුඩා කල පටන්ම විද්‍යා ප්‍රබන්ධ පිස්සෙක් (Sci-fy Nerd) වූ කණ්ඩාට සිතෙන්නේ මෙය මනින්නට සුදුසුම ඒකකය “ස්ටාර් ට්‍රෙක් – වෝප් ස්පීඩ්” (Star Treck Warp Speed) බවය.

කණ්ඩාගේ ෆුටාර් එක ආලෝකයේ වේගය හෙවත් වෝප් 1 (Warp 1) වෙත ලඟා නොවීමට එකම හේතුව වැලිපිල්ලෑව හන්දියේ ඇති බෝක්කුවත්, පළාතම වනසමින් පස් අදින ටිපර් රථ සහ ඉඳහිට පාරේ යන අනෙකුත් වාහනත් පමණි.

මැද කඩය ඉදිරිපිට බොරළු ගොඩ අයිනේ ලොරි නවත්වා නැති දවසක බොරළු සී .. සී .. කඩ යන්නට තිරිංග පාගා යන්තමට ෆුටාර් එක නවත්වා ගන්නා කණ්ඩා, කඩේ බිත්තියටම හේත්තු කර දඬු මොණරය පාක් කිරීමෙන් අනතුරුව කඩයට ඇතුළු වන්නේය.

නිතර සරමකින් සහ වෙලෝනා බැනියමකින් සැරසුණු හේමචන්ද්‍ර මුදලාලි කණ්ඩා හොඳින් හඳුනන නිසා ඔහු දුටුවොතින් “ඔව් පුතා මොනවද ගන්න බැලුවේ ?” යයි විමසා ඉක්මනින් ගන්නට ගිය බඩු මුට්ටුවක් ලබා දීම සිරිතක් ලෙස සිදු වන්නේය.

එනිසා ආ කාරණාව පැවසූ වහා මිලෙහි වෙනස පමණක් ගෙවීමෙන් “උඩ ලන්දේ” හිම කිරම අලියා හිම කිරම බවට පත් වන්නේය, අලියා හිම කිරම නැති දිනයක එය නැවත බඩු ආ දාක දෙන්නට එක්සයිස් පොතක සටහන් වන්නේය.

මේ හැඳුනුම්කම නිසා එදවස ඉඳහිට මැද කඩෙන් ණයට බඩු ගැනීමටද කණ්ඩාට අවහිරයක් තිබුණේ නැතිය, කණ්ඩාගේ පහනෙන් වැඩියත්ම එළිය බැලුවේ අහල පහළ කොලු කුරුට්ටන්ය.

ඒ මුදල් නොමැති හදිසි අවශ්‍යතාවයන් වලදී ණයට ටෙනිස් බෝල, සව් කඩදාසි, නූල් පන්දු සහ පාට පෙට්ටි වැනි එකල අපට අත්‍යවශය දේ මිලදී ගන්නට ගන්නටය.

මැද කඩයෙන් හිම කිරම මාරු කරගත් පසු හිම කිරම දිය වෙන්නට පෙර ආ වේගයෙන්ම ගෙදර යා යුතු උවත් පල්ලම් බසින වේගයෙන් කඳු අද්දන්නට නොහැකිය. නමුත් අතේ ඇති හිම කිරම රස විඳින හැටි සිහි වන විට ඉබේම “ටර්බෝ” පණ ගැන් වෙන්නේය.

තුම් මුණින් දාඩිය පෙරාගෙන හිම කිරමත් රැගෙන කලබලේට නිවසට ගොඩ වැදුණත් හිතේ හැටියට කන්නට නොලැබෙන්නේ මේ කියනා දවස් වල කණ්ඩාට තිබුණු අදින ලෙඩේ නිසාය.

මා පමණක් නොව පවුලේ අනෙක් උදවියත් පීනස් කාරයන් බැවින් ඒ අයටත් මේ සන්තෑසියමය, කොපමණ කැමැත්ත තිබුණත්, ඒරොප්පෙන් ගෙනාවත් එකල නිසි බලධාරිනිය හෙවත් අම්මාගෙන් හිම කිරම කන්නට ලැබෙන්නේ සලාක ක්‍රමයටය.

ඉන් බුරුලක් ලැබෙන්නේ කළාතුරකිනි, කුඩා කල අම්මාගේ නීති රීති නොසලකා හැර ඇදුම සහ සෙම උත්සන්න වී නියුමෝනියාව හැදෙන්නට ඔන්න මෙන්න තියා වරක් දෙකක් රෝහල්ගත වීමට සිදුවූ බවටද යාන්තමට මෙන් කණ්ඩාට මතකය.

එයිටත් පසු කලෙක අලියා කොම්පැනියට කරට කර තරඟයක් දෙන්නට ඉදිරිපත් වූයේ “පවුරු/බිත්ති/තාප්ප” (Walls)** හිම කිරමයි.

** මින් කැමති නමක් තෝරා ගත්තාට කණ්ඩාගේ අකමැත්තක් නැත 😀 **

චූන් පාන් කාරයන් මෙන් බයිසිකල් වල බැඳි වෛවර්ණ හිම කිරම කරත්ත වලින් විත් පොඩි එවුන් ඇවිස්සූ  “කන්න බෑ … සල්ලි නෑ …” ටියුන් එකට දැමූ සංගීතයෙන් විකිණූ “බිත්ති” හිම කිරම ඉතා රසවත්ය.

නමුත් අන්තිමේදී ඒවා කන්න බලන් උන් සේම සල්ලි නැතිව බංකොලොත් වීම නිසා කාගිල්ස් කොම්පැනියේ මැජික් බවට පත් විය. අනික මොන ජගතා ආවත් අදටත් සිරි ලාංකිකයන්ගේ ඔළුවෙන් අලියා කොම්පැනිය  ගැලවීම හිතන තරම පහසු නැත.

හිම කිරම ගැන කියනා විට පොඩි කණ්ඩාව හෙවත් මලයාව අමතක කළ නොහැක, පොඩි කණ්ඩා පොඩිම දවස් වල හිම කිරම කෑදරයෙකු වූ අතර හිම කිරම වලට කිව්වේ “අයිස් පිරීම්” කියාය.

එයටත් වසර පහකට පසුව එළිය දුටු මේ ගැන හසරක් නොදන්නා පොඩි කණ්ඩී පවා අම්මා කියන දේ කොනක් අහුලාගෙන ඔහුට විහිලු තහළු කරනු මා නොයෙක් වර අසා ඇත.

එක්සත් එමීර් රාජ්‍යට පැමිණි පසුව රසවිඳින්නට ලැබුණු “බාස්කින් ඇන්ඩ් රොබින්ස්” සහ “හාගෙන් දාස්” (Baskin and Robins / Häagen-Dazs) හිම කිරමටද කණ්ඩා බෙහෙවින් ඇලුම් කරන්නේය.

කණ්ඩා එකල සේවය කළේ සුපිරි කොම්පැනියේ බැවින් එහි සිටි එක් මිලදී ගැනීමේ කළමනාකරුවෙකු (Purchasing Manager) වූ ෆ්රෑන්ක් සැමගේ සිත් ගත් මිතුරෙකු විය.

සුපිරි කොම්පැණියේ සැපයුම්කරුවන් විසින් ගැලුම් ගණනින් ලබා දෙන නොයෙක් අයිස්ක්‍රීම් සාම්පලයන් කන්තෝරුව පුරා පුද්ගලිකවම මේසයෙන් මේසයට විත් බෙදා දීම ෆ්රෑන්ක්ගේ සිරිතයි.

මේ නිසා ඔහුව නත්තල් සීයාට සම කර ගෙතූ විවිධ විහිළුද එමට විය ( Frank’s the Farther Christmas and Christmas is wehere Frank is ! )

ජර්මන් ජාතිකයෙකු වූ ෆ්රෑන්ක් නිතරම සිනහ මුසු මුහුණින් සිටි ඉතා ප්‍රිය මනාප අයෙකි, ජර්මානු ජාතිකයන් සාමාන්‍යයෙන් රාජකාරි වලදී මෙසේ හැසිරීම තටු ඇති ඉබ්බන් සොයනවාටත් වඩා දුලබය.

එනිසා ෆ්රෑන්ක් ජර්මානු ජාතිකයෙකු නොවන බවට නොයෙක් වර අප විහිළු තහළු කළත් සැඟවීමට නොහැකි වූ එකම දේ දැඩි ජර්මානු උරුවකින් යුතු (German Accent) ඉංග්‍රීසි කතා බහය.

ඔහුව වැඩිපුර ඇවිස්සීමට සිත් වූ විට අප පවසන්නේ ඔහු වැඩිපුර සිනාසීමේ අපරාධය හේතුවෙන් ජර්මනියෙන් මැදපෙරදිගට පිටුවහල් කරන ලද්දෙක් බවය, එවිට මේ ගින්නට පිදුරු දමන තවත් අයෙක් එය එසේ නොවන බවත් ඔහු ස්විස් හෝ ඔස්ට්‍රියානු ජාතිකයෙකු විය හැකි බවත් පවසන්නේය **

** ජර්මානු බස කතා බහ කළද ජර්මන්, ඔස්ට්‍රියානු සහ ස්විස් ජාතිකයන් තරමක් එකිනෙකා නුරුස්සන ගති ඇත්තෝය **

මේ විකාර කතා බහ වලට ෆ්රෑන්ක් ඉඳහිට තරමක් ඇවිස්සෙන නමුත් පෙරළා ආසියාතිකයන් වන අප හට එවැනිම අව කැපෙන කතාවක් කියමින් සියල්ල විහිළු තහළු ලෙසම බාර ගන්නේය.

ෆ්රෑන්ක්ට පින්සිද්ද වෙන්නට එකල දහවල් ආහාරය වශයෙන් හිම කිරම ගිල දැමූ දිනයන්ද වූ බව සිහිවන විට කටට කෙළ උනන්නේ නිතැතින්මය.

පෙර තරම් නිතරම නොකෑවත් කන්නට ලැබුණු විට පමණ ඉක්මවා ගිල දමන්නා වූ කණ්ඩාගේ පෙරේතකම යවා ගන්නට බැරිය, මෙය යවන්නට වෙන්නේ සීනි අමාරුව හෙවත් දියවැඩියාව වැන්නකට ගොදුරු උණොතින් විතරය.

මාස කිහිපයකට පෙර කණ්ඩා හාමිනේ විසින් පොලීසියෙන් කුදලාගෙන යන කිරිමෙල් කාරයකු මෙන් කණ්ඩාව බලෙන් ඇදගෙන දොස්තර කෙනෙක් හමු වූයේ මේ ගැන විශේෂයෙන් පරික්ෂා කරන්නටය.

නමුත් පරීක්ෂණ හැට හුටහමාරකට පසු කණ්ඩාට සීනි අතින් ඉහෙන් බහින ලෙඩක් නැති බවට දොස්තර මහතා දුන් සැටිපිකේට් එක නිසා හාමිනේගේ රහසිගත කුමන්ත්‍රණය අවුල් වූ නමුත් දැන් කණ්ඩාට බිය වන්නට දෙයක්ද නැත්තේය 😀

සිරි ලංකාව හිමෙන් වැසුණු රටක් නොවනා බැවින්  හිම කිරම ගැන කියද්දී හිම කිරම දිය නොවී පවත්වා ගන්නට ශීතකරනයක අවශ්‍යතාවය ගැන අමුතුවෙන් කිව යුතු නැත්තේය.

මෙය ඔටුවාගේ දේශයටද අදාළය, වරක් කණ්ඩාලෑ දිහා ශීතකරනය හදිසියේම ලෙඩ වූ බැවින් එතුළ වූ සීතලට තැබිය යුතු අටෝරාසියක් ආහාර පාන වීසි කරන්නට සිදු විය.

කණ්ඩාගේ පියා වෘත්තීය වායු සමීකරන සහ ශීතාගාර ඉංජිනේරුවෙක් උවත් යතුරු පුවරුවට කොටනවා හැරෙන්නට කණ්ඩා ශීතකරන ගැන දන්නා යමක් නැත (කණ්ඩාව හෝ මලයාව ඒ පැත්තට යොමු කිරීමට පියාගේ කිසිඳු අදහසක්ද නොවීය).

එනිසා ලෙඩ දෙන ශීතකරනය සුව කර ගැනීමට වෙදෙක් සොයා ගැනීමට අත්‍යවශ්‍ය කටයුත්තකි, නැතහොත් ඒ වනවිටත් බර බරය දමනා හාමිනේගෙන් කනක් ඇහිලා ඉන්නට වෙන්නේ නැති බව කණ්ඩාට සක් සුදක් සේ පැහැදිලිය.

බැරිම තැන කණ්ඩාගේ පාසල් මිතුරෙක් සහ සහෝදර වක්පොලු කාරයෙක් වන “ගලා” ට කතා කරේ හරි හමන් වෙද මහත්තයෙක් සොයා දැන ගන්නටය.

දන්නා වෙද මහත්තයෙක් නැති මුත්, හවස වැඩ ඇරී එන පාරේ අප නිවස පැත්තේත් ගොඩ වදින්නට අදහසක් ඇති බව කියූ ගලා දුරකථනය තැබුවේය.

හැකි හැම විටම කියන දේ ඒ අකාරයෙන්ම ඉටු කිරීම පරිප්පුවන්ගේ සිරිතයි, එනිසා එදින හවස ගෙදර එන ගමන් ගොඩ වැදීමට මෙන්ම හිස් අතින් පැමිණීම හරි මදි නිසා තඩි හිම කිරම බාල්දියක් උස්සාගෙන එන්නටද අමතක නොකළ බව කියන්නේ සතුටින්ය.

කණ්ඩා හාමිනේට අමතරව ගලා හාමිනේද මේ අවස්ථාව වන විට අප නිවස වෙත සැපත් වී සිටි බැවින් හාමිනේලා දෙදෙනා හට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න වැලකි

බනින්න ගත් විට කණ්ඩා හාමිනේ සහ ගලා හාමිනේ රිලේ ටීම් එකකට පංකාදුය … බැටන් එක සැරින් සැරේ හාමිනේලා දෙන්නා අතිනත මාරු වෙන්නේ ඔලිම්පික් රිලේ කණ්ඩායමක් සිහි ගන්වමින්ය 😀

කණ්ඩා හාමිනේ : ගෙදර ෆ්‍රිජ් එක කැඩිල කියල කිව්වෙ, දැන් කොහෙන්ද අයිස් ක්‍රීම් තියල තියන්නේ ?

ගලා හාමිනේ : මේ මනුස්සයට පිස්සුද මන්ද ?

කණ්ඩා හාමිනේ : දැන් ඉතින් ඔය දෙන්නම එකතු වෙලා ඕක ඉවර කරනෙකයි තියෙන්නේ !

ගලා හාමිනේ : ඔහොම තමයි අනේ … මම මොකක හරි කිව්වත් ඔය විදිහමයි !

කණ්ඩා හාමිනේ : දැන් කවුද මට ෆ්‍රිජ් එක හදල දෙන්නෙ ?

ගලා : යකෝ මමයැ මේ ගෙදර මිනිහ ? ඔය ඉන්නේ ඔතන, උගෙන් අහ ගන්න එකයි තියෙන්නේ !

බැනුම් වරුසාවකට ලක්ව යන්තම කට අරින්නට ලැබුණු සුළු අවසරයෙන් ප්‍රයෝජන ගත් “ගලා” බෝලය මගේ පැත්තට දැම්මේය !

කණ්ඩා :  මේ මොකෝ … මං දිහා බලන්නේ මම IT බාස් මිසක් ෆ්‍රිජ් බාස් නෙමෙයි !

උඹ තමයි මේ ඔක්කොටම වග කියන්න ඕන *** මගුල ෆ්‍රිජ් එක කැඩිලා කිව්වහම කවදාවත් නැතුව අයිස් ක්‍රීම් එකකුත් උස්සගෙන ඇවිල්ල !!!

ගලා : මේක මාර ආණ්ඩුවක්නේ උඹලගේ ගෙදර ෆ්‍රිජ් එක කැඩුනට මං පලිද ? ඕකනේ කියන්නේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටෙනවා කියල.

කණ්ඩා : ඒ උනාට උඹනේ මෙච්චර වෙලා යට ගිහිල්ල තිබ්බ සබ්ජෙක්ට් එක උඩට අර ගත්තේ !

ගලා : යකෝ එහෙනම් මගේ නෙමෙයි වැරැද්ද, වැරැද්ද  අර උඹලගේ ඉස්සරහ ගෙදර ඉන්න එකාගේ !

ඒ ගොඩ යන්නට බැරිම තැන ළඟ පාතක වත් මෙයට කිසි නැති මේ සිද්ධියට කිසි අදාලත්වකුත් නැති අහිංසකයෙකුගේ උඩට වැරැද්ද පැටවූ හැටිය !

කණ්ඩා : උඹටත් මෙතන නැති එකාගේ ඇඟට වැරැද්ද දාන්න තමයි ඕන, දැන් මෙතැන ආඳ වගේ ලිස්සල යන්න හදනවා.

ගලා : බොරු නෙමෙයි යකෝ, මම එන ගමන් මගදි හම්බ වෙලා ඌත් එක්ක කතා කර කර ආව, ඌ කඩේට යනවා කිව්වම මාත් ගියා, වැඩි හොඳ කරන්න ගියහම පේනවනේ !

ගලා හාමිනේ : ඔයා මොකටද අල්ලපු ගෙදර මනුස්සය එක්ක කතා කරන්න ගියේ ඔයා ඒ මනුස්සයව අඳුනනවයැ ???

ගලා : නැත්තේ මොකෝ ඌ අපේ බැංකුවෙම වැඩ කරන ලංකාවෙ එකෙක්නෙ !

කණ්ඩා හාමිනේ : ඈ …. මේ අපේ අල්ලපු ගෙදර  ???

අල්ලපු ගෙදර ඉන්නේ ලංකාවේ පවුලක් බව කණ්ඩා දන්නේ එවිටය, කිහිප වතාවක් දැක තිබුණත් මෙතක් කල් කණ්ඩා හිතා ගෙන උන්නේ ඒ ඉන්දියන් ජෝඩුවක් කියාය  🙂

ඒ ඔටු දේසේ හැටිය … හඳුනන්නේ නැති අසල්වැසියන් සමග වැඩි ගනුදෙනුවක් නැතිය.

ගලා හාමිනේ : ඒ උනාට අනේ ඔයාට මොළේ කලඳක් නැද්ද  ??? කඩේ අයිස් ක්‍රීම් ඇරෙන්න වෙන මොකවත් තිබුණේම නැද්ද ???

ඒ අයිස් ක්‍රීම් කතාව ඉවර උනේ ඔන්න ඔහොමය, කවුරු මොනවා කිව්වත් හැම කතාන්දරයකම අන්තිම වචනය හාමිනේ කෙනෙක් සතුය.

~ නිමි

Advertisements