May Day

කම්කරු දිනය අපට වැදගත් ඇයි ?

වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන දිනයක්, අන්තර්ජාතිකව පැය 8 ක වැඩ දිනය වැනි කම්කරු අයිතීන් දිනා ගැනීම සැමරීමක්, කම්කරුවන් සහ වෘත්තිය සමිති වශයෙන් ඒකරාශී වී බලය පෙන්වීමක්.

අද දවසේ පුවත්පත් කියවනවිට මෙකී නොකී කතන්දර සේම නානාප්‍රාකාර සම්පප්‍රලාප රාශියක් සොයා ගන්නට බැරි වන්නට හේතුවක් නොමැත.

මින් සමහරක් දෑ 19 වැනි ශතවර්ෂයට සහ 20 වැනි ශතවර්ෂයේ මුල භාගයට ගැලපෙනවා වන්නට පිළිවන. නමුත් මේ කරුණු කාරණා අදට කෙතරම් වලංගුද යන පැනය නිතැතින් නැගෙන්නකි.

තවද වැඩ කරන ජනතාව ගැන සඳහන් කිරීමේදී වැඩ නොකරන ජනතාවක්ද ඇති බව ඉන් ඇඟවෙන්නේය. කණ්ඩාට හිතෙන්නේ ඒ දේශපාලුවන් බවය.

වර්තමානයේදී අපට සේවය කරන්නට, වැඩ කරන ජනතාව සුඛිත මුදිත කිරීම වෙනුවෙන්ම කැපවුණු හැම පාටකම ජාතියකටම අයත් දේශපාලුවන් ගන්නා වෙහෙස මහන්සිය ප්‍රශස්තය … ප්‍රශංසනීයය … 😀

කම්කරුවො එසේත් නැතිනම් වැඩකරන ජනතාව වශයෙන් අප කෙසේ හෝ තවත් වැඩිපුර බදු ගෙවා මේ දේශපාලු හුත්තමයන්ට වැඩි වැඩියෙන් සැප වාහන, සැප කන්තෝරු, සැප ගෙවල් අරන් දෙන්නට සහ මදි පාඩුවට තවත් සැප ගන්න රට සවාරි යවන්නට අපට හිත දෙන්නේ ඒ නිසාමය.

කොටින්ම තව දුරටත් අප ජිවත් විය යුත්තේ අප වෙනුවෙන් නොව මෙවන් සද් ගුණවත්, මහා බල සම්පන්න, අමරණීය දේශපාලු හුත්තමයින් නඩත්තු කරන්නටය.

වාමාංශික හෝ දක්ෂිණාංශික වේවා, සිංහල, දෙමළ හෝ මුස්ලිම් වේවා හැම පාටකම දේශපාලු පක්ෂයන් දහ පහළොස් පොළකට එකතු වී රට හතර දිග් බාගයෙන් තෙල් පුච්චාගෙන බස් පිටින් සෙනග අදිමින් දවස පුරාවට මැයි දින රැළි තියන්නට යෙදෙන්නේය.

දේශපාලු සංස්ථා තුළ පහළ පඩි වල ඉන්නා සොක්කන් හට තම සංවිධාන ශක්තිය හෙවත් තමන් යටතේ බත් බුදින හරක් කොපමණ  සිටින්නේද යන්න පෙන්වීමට අවුරුද්ද පුරාවට මෙයට වඩා මහඟු අවස්ථාවක් එන්නේ නැත.

එනිසා මෙලෙස එන තරමක් බස් පුරා එන තරමක් උදවියට බත් වෙනුවට සහන මිලට තණකොළ ලබා දෙන්නට පුළුවන් නම් එය වඩාත් පරිසර හිතකාමී මෙන්ම මුදල් ඉතිරියක් යයි කණ්ඩාට සිතේ !

මේ තත්වයට මග පාදන දුප්පත්කම, නුගත්කම, රැකියා වියුක්තිය ආදී විවිධ හේතු තිබෙන්නට පිළිවන් බව කණ්ඩාට නොතේරෙන්නේ නොවේ.

නමුත් රටේ කරුමය යනු ජාතියක් සංවර්ධනය කරන්නට ප්‍රතිපත්ති සම්පාදකයන් වශයෙන් මුලිකත්වය ගත යුතු දේශපාලුවන් මෙය තමන්ගේ බලය රැකගැනීමේ ආයුධ කොට ගැනීමයි.

රැකියාවක් නැති කමට ඒ බලාපොරොත්තුව පෙරදැරිව දේශපාලුවන්ගේ පස්ස ලොවින්නට යන එක ගැන කණ්ඩා හට යමක් පැවසිය නොහැක්කේ කිසි දිනෙක තමන් එවන් තත්වයකය පත් වී නැති හෙයිනි.

නමුත් එවන් උදවිය ගැන කණ්ඩාට ඇත්තේ අනුකම්පාවකි, තමන් හට හරි හමන් අධ්‍යාපනයක් තිබියදීත්, සුදුසුකම් තිබියදීත් රැකියාවක් ලබා ගන්නට තක්කඩි දේශපාලුවන් පසු පස යන්නට සිදුවීම තරම් තවත් කාලකණ්ණි කමක් තවත් තිබිය හැකිද ?

එමෙන්ම මේ සමගම එන අනෙක් ගැටලුව වන දේශපාලුවන්ගේ අතකොළු වූ පමණින් නුසුදුස්සන් හට රැකියා ලැබීම කෙසේ සාධාරණීකරණය කල හැකිද ?

මේ ප්‍රශ්න කිසිවකට පිළිතුරු දෙන්නට කිසිඳු වර්තමාන දේශපාලුවෙක් ඉදිරිපත් වෙන්නේ නැත, එනිසා ඉන් මිදීමේ වගකීම වැටෙන්නේත් මහජනතාව පිටම බව අමුතුවෙන් නොකිවමනාය.

අද දිනය අහවර වනවිට අප කෙරේ ඇති ආදරයට මැයි රැළි පැවැත්වූ උත්තමයන් ආපසු තම තමන්ගේ සැප වාහන වල නැග පිටත්ව ගිය කල, ප්‍රධාන නගර හැමකම පාහේ ටොන් ගණනක ඉටිකොළ සහ ප්ලාස්ටික් කුණු කසළ වලින් කිලිටි වූ විශාලා මහ නුවර සිරිගෙන තිබෙනු ඇත.

අවසානයේදී ඒ නගර පිරිසිඳු කරනු ඇත්තේද වැඩ කරන ජනතාවමය, ඉතින් කාටද ආඩම්බර ? වැඩ කරන ජනතාවටද ?

අන්තිමේදි මින් කොයි මැයි රැළිය ගත්තද ටෝයියගෙන් ඇසූවද බයියගෙන් ඇසූවද කියන්නේ එකම තාලයක බයිලාය.

අප පමණයි වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී හිටින්නේ, අප මැයි රැළිය තමයි වඩාත්ම සාර්ථක, පිටිය පිරෙන්නට සිටි මහා ජන ගඟ නගර දෙවනත් කරන තරම් ජයඝෝෂා.

බොහෝ විට මේ ප්‍රශ්නය විසඳා ගන්නට විවිධ පාර්ශ්වයන් පින්තූරවල කොටු රූල් අඳිමින් ගණිත සමීකරණ වල සහය පතන්නට වෙන්නේය.

මේ උදවිය මේ රවට්ටන්න හදන්නේ කවුරුන්ද ? අපවද ? එහෙමත් නැතිනම් ඒ අයවමද ?

කණ්ඩාට යමක් කමක් තේරෙන කාලයේදී එනම් 1993 මැයි දින පෙලපාලියකදී රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයාගේ ඝාතනය තරම් යමෙකුගේ මරණය පිළිබඳ රටක් දෙපිළකට බෙදුණු දිනක් මතකයේ නැත.

රටින් අඩක් හඬා වැලපෙද්දී ඇතැම්හු රතිඤ්ඤා පත්තු කළහ, තවත් සමහරු කිරිබත් උයා කෑ බවද අසන්නට ලැබුණි. මෙවන් දේහි හරි වැරද්ද කෙසේ උවත් දේශපාලනිකව මේ සිදුවීම අප රටේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් බව නම් නොකියාම බැරිය.

එය සිරි ලංකාවේ තවත් එක අඳුරු යුගයක නිමාව සනිටුහන් කළද ඒ පවුලෙන් දේශපාලනයට බට ජනාධිපති පුත්‍රයා තවමත් තම දේශපාලන හෙන්චයියන්ට, උස උන්ට සිකුරිටිද කොට උන්ට කම්කරුද වශයෙන් රැකියා බෙදමින් යනු දක්නට ලැබෙන්නේය.

මෙවැනි විකාරයන් තව දුරටත් පෙන්නුම් කරන්නේ වැඩ කරන ජනතාව සමරන්නට මැයි රැළි පැවැත්වුවද බොහොමයක් සිරිලාංකිකයන් තවමත් වැඩවසම් මානසිකත්වයෙන් මිදී නොමැති බවය.

ප්‍රධාන නගරයන්හි අධ්‍යාපන හා රැකියා අවස්ථාවන්හි සාපේක්ෂව සුලභතාවය මත මෙය යම්තාක් දුරට අඩුමුත් ඉන් ඈතට වන්නට යථාර්ථය තවමත් බෙහෙවින් කටුකය.May Day Cartoon

මෙතෙක් පැවසූ කිසිඳු පාර්ශවයකට අදාළ නැති උන්ද සිරි ලංකික මැයි දිනයන් හා ඈඳෙන්නේය , ඒ තමන්ටත් රටටත් වැඩක් නැති එදා වේලට මැයි රැළි වලට සහභාගි වන්නවුන්ය.

ඔවුන්ගේ අරමුණ බොහෝ විට බත් පැකට්ටුවක්, රුපියල් 1,000 ක් සමග ලැබෙන අරක්කු බෝතල් බාගයකට සීමා වන්නේය.

මේ උදවියට බලපාන එකම න්‍යාය පහත වේදිකා නාට්‍ය ගී පදයෙන් මැනවින් පැහැදිලි කරනු හැක්කේය.

“කන්න දෙනවනං …අපිට බොන්න දෙනවනං … මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ ?”

කිසිඳු ඵලදායී වැඩක් නොකර, දේශපාලු හුත්තමයන්ගේ නිසරු කතා බහට යටි උගුරෙන් හුරේ දමනා මෙවැන්නන්ට අඩු අං තට්ටුවක් විතරමය !

උපතින් බෞද්ධයෙක් වශයෙන් කණ්ඩාගේ නම් එකම බලාපොරොත්තුව හැකි ඉක්මනින් මේ දේශපාලු හුත්තමයන් සහ ගෝල බාලයන් සියලු දෙනා හට මෝක්ෂ සම්පත් ලැබී අමා මහ නිවන් සැප ලබන්ට හේතු වාසනා වේවා කියාය !

පුද්ගලිකව බලන කල මැයි දිනය කණ්ඩාට ඇත්තටම වැදගත් වන්නේ ඇයි ???

මැයි දිනය සිරි ලංකාවෙ සිටිනාතුරු කණ්ඩාට වැදගත් වූයේ එය නිවාඩු දවසක් වූ බැවින් මිස, එහි වූ වෙනත් කිසිඳු වැදගත්කමකට නොවේ. මෙය ඉතා පටු ලෙස පෙනුණත් එය සත්‍ය මෙන්ම අදටත් වලංගුය !

එදිනට කොලු කුරුට්ටන් මෙන්ම වෙනදාට වැඩට යන තරුණ උදවියත් ගෙදර දොර රැඳෙනා නිසා අතේ පයේ හිරි යනතෙක් ගමේ පාසැල් පිට්ටනියට හෝ පොල් වත්තට වී ක්‍රිකට් ගසන්නට, සාදයකට හෝ විනෝද ගමනක යෙදෙන්නට කියාපු දවසකි.

ලංකාව තුළ වෙසෙනා සිරි ලාංකිකයන් හට මැයි දිනයේදී මෙවැනි කිසියම් හෝ වැදගම්මක් ඇති හෝ නැති යමක් ලැබෙනු ඇත. නමුත් කණ්ඩා වර්තමානයේ වෙසෙන ඔටු දේශය ඇතුළු මැද පෙරදිග බොහෝ රටවල මැයි දිනය සමරන්නේ නැත.

ඒ ඇයිද යයි කියන්නට කණ්ඩා නිසැකවම දන්නේ නැතිමුත් ඒ ඇතැම් විට මේ පළාතේ වැඩකරන ජනතාව වෙනුවට ඇත්තේ නූතන වහලුන් සහ හාම්පුතුන් පමණක් වීම නිසා විය හැකිය.

මැද පෙරදිග කලාපයේ මැයි දිනය සමරනු තබා වෙනත් ප්‍රජාතාන්ත්‍රික රටවල වැඩ කරන ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන වෘත්තිය සමිතියක් පිහිටුවා ගැනීමටවත් හැකියාවක් නොමැත.

වෘත්තිය සමිති නීතියෙන් තහනම් වනවා පමණක් නොව එවැන්නක් පිහිටුවීමට තැත්කිරීම පවා හිරේ විලංගුවේ වැටී රටින් පිටුවහල් වීමට හේතුවන කාරණයකි.

ලොවට වැදි බණ දෙසන බටහිර රටවල් සහ එහි ගැත්තන් හට මේ කිසිත් අදාළ නොවන්නේ මේ සියල්ල තෙල් බලයට යට නිසාය, සෞදී අරාබිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පත් කරන්නට හැකි නම් මේ ගැන තවත් කවර කතාද ?

මේ සියල්ල සිතා බැලූ කල කණ්ඩාට සිතෙන්නේ සැබෑ පැනය “ලෝක කම්කරු දිනය වැදගත්ද ?” යන්නයි.

Advertisements