Shopping

කඩේ යෑම හෙවත් සොපින් !

පහුගිය දිනක කණ්ඩාගේ මිත්‍රයෙක් මුහුණු පොතේ කණ්ඩා විසින් හාමිනේට තද බටර් පාරක් තවරා දැමූ පින්තූරයකට “ඔය කඩේ ගිහින් තියෙන්නේ ගානට, වෙල් ඩන් !” කියා හීනියට ටෝක්කකුත් ඇන කොමෙන්ටුවක් දමා තිබුණේය … 😀

ඒ වෙන කවුරුවත් නොව කණ්ඩාත් සමග හෝමාගම පාසල් බස් රථයේම එකට ඉස්කෝලේ ගිය පරිප්පුවෙක් වෙච්චි 25 හේ මහත්තයාය, වැදගත් නෝනා මහත්තුරු වශයෙන් මුන්නැහේට 25 කියන්නේ ඇයිද යන පැනය මාගෙන් නොඅසනු ඇතැයි යන්න කණ්ඩාගෙන් බලාපොරොත්තුවය.

මොකෝ වැරදිලාවත් මේ කතා මුන්නැහේගෙ නෝනා මහත්තයා දැක්කෝතින් තත්වෙට හරි මදිය, අනික මුන්නැහේ දැන් දෙදරු පියෙක් වන නිසා මෙවන් දේ ප්‍රසිද්ධියේ පැවසීම නොහොබිනා වැඩය  😀

නමුත් ඒ සමගම කණ්ඩාට මතක් වූයේ මේ ජෝඩුව වැලි කෙළියේ පටන් පෙම්කෙළිය  නෑ වැරදුණා උසස් පෙළින් පසු කණ්ඩා “ඒඩ්ස්” කොම්පැනියේ (DP Aides) රැකියාවේ නියුතු දවස් වල සිට පහු කාලෙක “වඳුරු-බූරු” කොම්පැනියේ (IDM – Institute of Donkeys & Monkeys)** ඉගෙන ගන්නා වකවානුව වන තෙක් පෙම්කෙළිය හැටිය.

** කණ්ඩා මේ ආයතනයට “වඳුරු-බූරු” කොම්පැනිය කිව්වට තරහ ගන්න කාරි නැහැ ඕං, මම එහෙම කිව්වේ හිටං ඒ දවස් වල එතන ඉගෙන ගත්තු ඔහෙලා – අපි වගේ උදවිය ගැන හිතල මිසක් ආයතනයට අවනම්බුවක් විදිහට නෙමෙයි 😀 **

ඒ කෙසේ වෙතත්  25 හේ මහත්තයාගේ කතාව 100%  හැබෑවය … 😀

එනම් කණ්ඩා හාමිනේට කඩේ යන බව සහතික ඇත්තය, එය බුකියට විතරක් සිමා වූ දෙයක් නොව ගෙදර බඩු ගෙනෙන්නට කඩේ යන්නේද කණ්ඩාමය.

එසේ කඩේ ගොසින් හෝ යාප්පුවෙන් හාමිනේව සන්තෝසෙන් තියා නොගත්තෝතින් කන්ඩ බොන්ඩ කාරියත් අඩු පාඩු වෙන්නට ඉඩ ඇත, කසාද බැඳපු මහත්තයෙක් විදිහට 25 මහත්තයා මේ කාරණා සහසුද්දෙන්ම දැන ගත යුතුය 🙂

සුද්දා පවා කියා තියෙන්නේ “හැපී වයිෆ් … හැපී ලයිෆ්”  (Happy Wife – Happy Life ) කියාය, ඒ සුද්දා කාපු බීපු වෙලාවට හිටං කට කහනවට කියපු කතන්දර නොව, පරම්පරා ගණනාවක් අත්දුටු ගල් පැළෙන සැටිෆිකෙට් ඇත්තය !!!

කොටින්ම හාමිනේලාට කඩේ යාම යනු පුරුෂ පාර්ශවය විසින් උගත් යුතු ආර්ට් එකක් හෙවත් කලාවකි … මේ කලාව පරතෙරට යනතෙක් හැදෑරුවේ නැතිනම්, එනම් “මාස්ටර්” නොකළහොත් කවමදාවත් හාමිනේලාව සතුටු කරන්නට තබා සිතන්නටවත් බැරිය 😦

මේ මාතෘකාව සම්බන්ධයෙන් කණ්ඩා වන මා හට අඩුම තරමේ ආචාර්ය උපාධියකට තරම් සුදුසුකම් සහ අඛණ්ඩ පළපුරුද්දක් ඇත්තේය … එහෙව් එකේ කණ්ඩාට වැරදිලාවත් අචාරියා පට්ටමක් හම්බුනොත් කාටද ආඩම්බර ???

එතකොට “ආචාර්ය කණ්ඩා” කියනවද නැතිනම් “කණ්ඩාචාර්යතුමා” කියනවද ?

කණ්ඩාචාර්යතුමා කියනකොට එකේ පොඩි ගතියක් තියෙන හන්ද කණ්ඩාචාර්යතුමා කියන එක හොඳා   😀

ඕනෑම දෙයක් පිලිබඳ දැනුම වඩාත් වැදගත් සහ රසවත් වන්නේ බදා ගත් විට නොව බෙදා ගත් විටය !

එනිසා මේ සාත්තරේ දන්නේ නැති කසාද බැඳපු මහත්තේලා විතරක් නොව දැනට නෝනාවරුන් නැති, නමුත් ඉදිරි අනාගතේදී එහෙම පටලැවිලි ඇති කරගන්නට බලාපොරෝතුවෙන් සිටිනා මහත්තුරුන් වෙනුවෙන් පවා කණ්ඩාට ටියුෂන් පන්තියක් දමන්නට පිළිවන … 🙂

** එහෙම උනෝතින් තව ප්‍රසිද්ධ වෙන්න අම්මප පෝස්ටර් එකක් උණත් ගහතහැකි මේන් මෙහෙම :

කඩේ යාම කලාවක් නම් මම එහි පිකාසෝ වෙමි !

කණ්ඩාචාර්ය වන මම කඩේ යාම ඉගැන්වීමටම උපන්නෙමි !

බිරිඳ සතුටින් තැබීමට අවශ්‍යද ? කඩේ යන හැටි කියාදෙන නවතම පාඨමාලාව දැන් ඇරඹුණා !!!” 😀

**

නමුත් ඔයිට කිට්ටුවෙන් යන උදාන වාක්‍යක පිහිටෙන් නැව් ගණන් සල්ලි පිල්ලි ගසා රට පැන හිරේ විලංගුවේ වැටිච්චි හාදයා මෙන් නොව කණ්ඩාට ජෙනුයින් පළපුරුද්දක් ඇත්තේය.

උදාහරණයක් ලෙස පසු ගිය දිනෙක කණ්ඩා කන්තෝරුවට වී බ්ලොග් ලිපි කියවමින් බොහොම කාර්ය බහුලව සිටිනා අවස්ථාවක හාමිනේගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය.

දැන් ඉතින් ඔන්න මාතෘකාවෙන් පිට පැනල අනන් මනං ප්‍රශ්න අහන්න එපා, සාමාන්‍යයෙන් කණ්ඩගෙන් එක එකාල නිතර අහන දේවල් තමයි :

ඔය කොම්පැනියෙන් පින් පඩිද ගෙවන්නේ ?

එහෙමෙ නැත්තං කවුද බ්ලොග් කියවනවට පඩි ගෙවන්නේ ?

ඔය කොම්පැනියේ වෙන වැඩ නැද්ද  ?

බැරිය පිටත් ඔය කොම්පැනියේ රස්සාවක් ගන්න ?

මේ එකක්වත් අදාළ නැහැනේ … ඉතින් ඔන්න ආපහු හාමිනේගේ දුරකථන ඇමතුම ගැන :

හාමිනේ : මේ .. පොඩි වැඩක් තියනවා ?”

කණ්ඩා : මම බිසී, විනාඩියක් දෙන්නම් වැඩේ මොකද්ද කියල කියන්න ?

හාමිනේ : මෙන්න වැඩක්, මෙයාට තරං රාජකාරි නැතිව ඇති ඔය කොම්පැනියේ ලොක්කන්ටවත් !

කණ්ඩා : හරි .. හරි .. දැන් මොකද්ද කෙරෙන්න ඕන ?

හාමිනේ : හවසට වැඩ ඇරිලා එන ගමන් කඩේ ගිහින් එන්න ඕනේ ?

කණ්ඩා : දැන් කඩේට ගිහිල්ල ආවහම විතරක් ඇතිද ?

හාමිනේ : ඔන්න ඉතින් පටන් ගත්ත …  නෑ නෑ බඩු වගයක් ගෙන්න ඕන !

කණ්ඩා : මොකද්ද දැන් ඔච්චර හදිස්සි බඩුව ?

හාමිනේ : එනකොට පොල් ගාපු එකක් අරන් එන්න, හවසට උයන්න.

කණ්ඩා : එහෙම ඉල්ලුවොත් දෙයිද ?

හාමිනේ : ඇයි වදේ, නොදී ඉන්න තියන හේතුව මොකද්ද  ?

කණ්ඩා : නෑ ඉතින් කඩේ මිනිස්සු පොල් ගාපු එක ඉල්ලුවහම ඒ මිනිස්සු අපහු පොල් ගාන්නේ මොකකින්ද ?

හාමිනේ : මේ මනුස්සයට ඔල්මාදෙද කොහෙද ! මොනවා කියවනවද  මන්ද ?

කණ්ඩා : ඇයි එතකොට කඩේ මිනිස්සු පොල් ගාන්නේ හිරමනයෙන් නෙමෙයිද ?

හාමිනේ : මේ මෝඩ කතා කිව්වා ඇති, හිරමනයෙන් නෙමෙයි මොකෙන් පොල් ගෑවත් මට කමක් නැහැ, හවසට කන්න ඕන නම් ගෙදර එනකොට පොල් එකක් අරන් එන්න !!!

හාමිනේලාගේ මෙවන් සෘජු විධානයන්ට කීකරු වීම  කාරුණික ඉල්ලීම් ඉටු කිරීම වෙනුවෙන් ස්වාමිපුරුෂයන් බැඳී සිටිනා නිසා, එදා හවසත් කණ්ඩා කඩේ ගියේ හාමිනේ සන්තෝෂයෙන් තබන්නටය 😀

සාමාන්‍යයෙන් හාමිනේට පොල් සම්බෝලයක් පිළියෙළ කිරීමට උවමනා වූ දිනක කණ්ඩා අඩුම තරමේ දෙතුන් වතාවක් වත් කඩේ යායුතුය. ඒ පොල් ගෙන ඒමට එක වතාවක්, දෙහි හෝ උම්බලකඩ ගෙන ඒමට තවත් වතාවක් සහ පොල් සම්බල් සමග කන්නට පාන් ගෙන එන්නට තවත් වතාවක් වශයෙනි.

ගෙදර සාදයක් පැවැත්වෙන දිනට මෙය කඩේ යාමේ මැරතන් එකක බවට නිතැතින්ම පත් වන්නේය !

රා බොන්නට හොරෙන්  කිතුලට නැග අසු වූ මිනිසාටත් නිදහසට කාරණා තිබුණා සේ හාමිනේටද නිදහසට කාරණා ඇත, අමු ශරීර හොරෙක් වන කණ්ඩාගේ ඇඟ බැස්සවීම උදෙසා ව්‍යායාමයක් වශයෙන් කඩේ යැවීම ඉන් ප්‍රධානය 🙂

මේ කඩේ යාම අද ඊයේ පටන් ගත්තක් නොවන බව ඉන්තේරුවෙන්ම පවසන්නට ඕනෑය, දැනට දහ දොලොස් අවුරුද්දකට කලින් හාමිනේ සහ කණ්ඩා පෙම් කෙළින සන්දියේත් කණ්ඩාට අත් වුණේ මේ සන්තෑසියමය.

විශේෂයෙන් හාමිනේගේ මව බයිපාස් සැත්කමකින් සුවය ලබමින් සිටි නිසා ගෙදරදොර වැඩ හාමිනේගේ කර මතට පැවරී තිබුණු අවදියයි, ලකුණු දමා ගැනීම කෙසේ වෙතත් හැකි පදම උදව් පදව් කිරීම වැදගත් නිසා හාමිනේ වෙනුවෙන් කඩේ යාම ඒ දවස් වල වර්තමානයටත් වඩා සරු සාරයට සිදු විය … !

බොහෝවිට මින් වැදගත්ම නුගේගොඩ පොළේ රවුම් ගැසීමයි 🙂

එහිදී සතියකට දෙකකට සෑහෙන තරම හාල්-පොල්, බඩුමුට්ටු පොලේ ඇවිදිමින් මිලදී ගැනීම හාමිනේගේ රාජකාරිය වන්නේය, මෙහිදී පෝටර්/නාටාමි හෙවත් බඩු අදින කොල්ලාගේ රාජකාරිය හිමි වන්නේ කාහටද යන්න අමුතුවෙන් පැවසීම අනවශ්‍යය.

ගැටළුව පටන් ගන්නේ බඩු මුට්ටු උස්සාගෙන හාමිනේ පසුපස යාම නිසා නොව, නුගේගොඩ සුපිරි වෙළඳ සැල අසල නවත්වන 117 බස් රථයට නැග අත්තිඩියෙන් බසිනා අතර කාල වෙලාවටය.

මවගේ දේශපාලන කටයුතු වලට සහබාගී වීම නිසා හාමිනේව අත්තිඩියෙන් 2/3 ක් දෙනා දැන සිටීම බරපතල අභාග්‍යයකි, 117 බස් රථයට ඇතුළු වූ මොහොතේ සිට බස් රථයෙන් බාගයක් දෙනාගේ ඇස් නවතින්නේ අප දෙදෙනා ලඟය. හතර අතින් රබර් ඇස් දමනා රොයිටර වල මුහුණු දිහා කෙලින් බැලු විට නොදන්නා ලෙස අහක බලා ගැනීම ඉතා විනෝද ජනකය 🙂

ලොව වේගවත්ම බස් මාර්ගයක් වන මේ පාරේ කිලෝමීටර 4-5 ක් දුරින් වූ හාමිනේලාගේ නිවසට යන්නට පැයක් පමණ ගත වන නිසා කාලය කා දැමීමට මේ සෙල්ලම බෙහෙවින් උපකාරී වූ අතර හාමිනේ සමගින් කඩේ යන කොලුවා ගැන අත්තිඩියේ කිසිඳු වැඩකට නැති රොයිටර් හාමිනේගේ ගෙදර අයට කලින් දැන සිටි බව හොඳටෝම ෂුවර්ය.

හාමිනේත් සමග කණ්ඩාගේ කඩේ යාමේ ඇරඹුණේ ඔන්න ඔහොමය, දැන් හාමිනේට කඩේ ගියද කණ්ඩා මුලින්ම කඩේ ගියේ අම්මා සමගය !

මසකට සැරයක් දෙකක් කණ්ඩාවත් කැටුව හෝමාගම හෝ හංවැල්ල පොළට යෑම එකල අම්මගේ සිරිතයි. තාත්තා රැකියාවට ගිය දිනෙක නම් මේ ගමන යෙදෙන්නේ බස් රථයකය.

බස් රථ කියූවද එකල 293 හෝමාගම – හංවැල්ල මාර්ගයේ වැඩිමනක් තිබුණේ පාන් බාගයකට තරමක් ලොකු නිසාන් “බට්ට” කැරවෑන් (Nissan Caravan), ඉසුzසු “මොල්ලිය සහිත” ෆාර්ගෝ (Isuzu Fargo), ඉසුzසු එල්ෆ් රූට්වෑන් (Isuzu Elf-RouteVan)  වැනි පෞරාණික වෑන් රථයන්ය.

හුණ්ඩුවක් තරම වන මේ රථයන්හි අසුන්ගෙන යාමය හැක්කේ අතලොස්සකටය, නමුත් සාඩින් අසුරන්නාසේ අඩුම තරමේ 25-30 ක් පමණ පුරවා මදි පාඩුවට පැතිදොර විවරකර පාපුවරුවේ තවත් දුසිමක් පමණ එල්ලා ගන්නට එකල කොන්දොස්තර මහතුන් හෙවත් “කොන්දන්” අති දක්ෂය.

දහවල් කාලයේදී රත් වූ වෑන් රථය තුළ තැම්බෙමින්, අපුල දහදිය ගඳ නිසා යලට මහට හුස්ම ගනිමින් මේවායේ ගමන් ගන්නවාට යන උන් හට මුදල් ගෙවිය යුතුය

එකල කුඩා ළමුන් හට පිටගැස්ම සඳහා එන්නත් ලබා දීම අනිවාර්‍යයෙන් කරනු ලැබුවේ මෙවන් මළකඩ ගොඩවල් නිසා යයි කන්ඩාට සිතේ  😀

එකල කණ්ඩලා විසූ වැලිපිල්ලෑව ගම්මානය පිහිටියේ හෝමාගම – හංවැල්ල මාර්ගයේ හරි මැදය, එනිසා හෝමාගමට ගියත් හංවැල්ලට ගියත් කිලෝමීටර 8ක් පමණ මේ දුර යන්නට පැයකට වැඩි කට්ටක් කෑමට සිදු වන්නේය.

මේ ගෑටිල්ල වෙනස් වන්නේ හාවා දකින්නා සේ එන ලංගම බස් රථයක් පස්සෙන් පන්නන්නට ගත්තෝතින් පමණි. එවිට කෑලි හැලෙන මේ ලදරන් වල ඇක්සලරේටරය ලෑල්ලටම පාගන රියදුරු මහතුන්ගේ “ටර්බෝ” වැඩ කරන්නට ගන්නා අතර පැති දොරේ එල්ලී යන උන්ගේ ශ්‍රද්ධාව ඉහින් කනින් බේරී ඉබේම දෙවියන් බුදුන් අදහන අය බවට පත් වන්නේය.

ඇසිපිය හෙලන වේගයෙන් පටු පාර දෙපස පසුවෙන ගස්කොළන් ලයිට් කණු මෙන්ම වෑන් රථය කනේ වැලි ගෑවෙන ගානට ඇල කර ගන්නා වංගු දකිනා විට එසේ නොවුනෝතින් පුදුමය.

තාත්තා ගෙදර සිටි දවසට මේ සන්තෑසියෙන් ගැලවෙන්නට හැක්කේය, එදාට තාත්තාත් අපත් සමග එක්වන අතර ප්‍රවාහන පහසුකම් සඳහා දායකත්වය සපයන්නේ තාත්තාගේ CD-90 යයි.

එවන්දාට තුන්දෙනාම මෝටර් සයිකලයේ ඩබල් දමා පොළේය, මේ කියනා දවස් වල පොඩි කණ්ඩා හෝ කණ්ඩී ඉපදී නැති නිසා ගෙදර ඉන්නා එකා යකා කණ්ඩාය !

එකල මෝටර් සයිකලයේ පෙට්‍රල් ටැංකිය කණ්ඩාගේ නිත්‍ය ආසනයයි, පසු කළෙක එය පොඩි කණ්ඩාටද, පොඩි කණ්ඩාගෙන් කණ්ඩීටද හිමිවූ අතර බයිසිකලයේ පහක් ඩබල් දමන්නට බැරි නිසා වැඩිමලා වූ කණ්ඩා පාරටම වැටුණු හෙයින් බස් රථ වලම පිහිට පතන්නට සිදු විය 🙂

කණ්ඩාව පොළේ එක්කන් යාම අම්මා වෙන කරන්නට දෙයක් නැතිකමට සිදු කළ දෙයක් බව ඉඳුරාම කිව හැකිය, කුඩා කල අමු පෝරිසාදයෙකු වූ කණ්ඩා, යන තැනක හැසිරෙන්නේ වළං කඩේට පැනපු ගොනා සේ බව දුසිම් භාගයක් පමණ වන කණ්ඩාගේ පුංචි අම්මලා නඩය අදටත් සාක්කි දරණු ඇත.

බොහෝ විට සීයා ගෙදර සිටියද සීයාට කණ්ඩාව ආන්බාන් කරන්නට බැව් බව දන්නා අම්මා අකමැත්තෙන් හෝ කණ්ඩාව මේ ගමන් සඳහා ඇදගෙන යන්නේය.

මෙසේ පොළට ගිය දවසට හොඳ ළමයකු ලෙස හැසිරීමේ කුලිය ලෙස කණ්ඩාගේ කොටහ වන රටකජු, බූන්දි වැනි කඩචෝරුවක් ඉඳහිට අම්මාගේ හෝ තාත්තාගේ අතින් ලැබෙන්නේය.

කණ්ඩා උස මහත් වෙන විට පොළේ යන පුරුද්ද අප පවුලෙන් ගිලිහුණු අතර පහසුව තකා අපට උවමණා වූ සියලු දෑ තිබුණු ගමේ ලොකුම කඩය වන “මැද කඩයට” හුරුවීම එයට හේතු වන්නට ඇත.

ඒ වකවානුවේම අම්මාගේ ලද පුහුණුව මත අප පවුලේ නිළලත් කඩේ යන රාජකාරිය කණ්ඩාට භාර වූ අතර, කණ්ඩා නැති තැන පොඩි කණ්ඩා අඩුව පිරවූයේය. පසු කලෙක කණ්ඩා රැකියාව ආරම්භ කල පසු මේ රාජකාරිය පොඩි කණ්ඩා හට සින්නක්කරවම අයිති වුයේය.

අප පවුලෙන් කඩේ නොගිය එකෙක් වූයේ නම් ඒ අන් කිසිවෙක් නොව ගෙදර වැඩට කවදත් හොර කටින පොඩි කණ්ඩීය.

** මෙම කොටස හාමිනේ විසින් මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න ! **

ප.ලි. :

ලොව සියළු දෙනා හට හදවතින්ම බැඳුණු ආත්මීය සහකරුවෙක් /සහකාරියක් (Soul mate) හමුවන්නේ නැත, කණ්ඩා ඒ අතින් අතිශය වාසනාවන්තය.

කණ්ඩා හැරෙන විට ගොනා හැරෙන්නේ මොකටද දන්නා හාමිනේ, කණ්ඩාටත් වඩා කණ්ඩා ගැන දන්නීය.

කණ්ඩා අතින් ලියවෙන කතාවල කොනකින් නිතරම හාමිනේ ඈඳෙන්නේ ඇයිද ? යන්න බොහෝ දෙනා නිතර කණ්ඩාගෙන් අසන පැනයකි. මෙය හාමිනේ කෙතරම් ජීවිතය හා බැඳී ඇතිදැයි යන්නට හොඳ උදාහරණයකි.

වර්තමානයේ සම-හරක් දේශපාලුවන්ට කඩේ යති, තවත් සම-හරක් ආගම් වලට කඩේ යති, ආයතනයක නම් තම ප්‍රධානියාට කඩේ යති, නමුත් එසේ නොවී හාමිනේ වෙනුවෙන් කඩේ යාම කණ්ඩාට සතුටක් වන්නේ එය කැමැත්තෙන් කරනා සොඳුරු කඩේ යාමක් නිසාය !

** මෙම කොටස හාමිනේ විසින් මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න ! **

 

I කොටස ~ හාමිනේලාගේ කතා වස්තුව … !

II කොටස ~ නිසි බළධාරිනිය හෙවත් වාරණ මණ්ඩලය !

Advertisements