Kabul Security

කාබුල්හි සුපිරි කඳවුර !

අවුරුද්ද මුල් කාර්තුවේ යෙදුණු විවිධ සංචාරයන්, හිත මිතුරු සාදයන් සහ සමාගම් නිසාවෙන් නොසිතු ලෙස කණ්ඩා කාර්ය බහුල වන්නට යෙදුණේය. එවන් වටපිටාවක එක දිගට සිත එකඟ කරගෙන ලිවීමට තරම් අවකාශයක් නොතිබූ බැවින් කණ්ඩා අතින් සිදු වූයේ ලිවීමට වඩා කියවීමය.

හැලපයියාගේ හැලප කඩයේ රසකැවිලි සියල්ල පෙරේත කමින් ගිල දමා අහවර කිරීමෙන් අනතුරුව මේ දවස් වල කණ්ඩා දත කන්නේ සුදීකගේ ඇවිද්ද පය සහ අරුගේ අඩවියට වග කියන්නටය 😀

එනිසා පසු ගිය මාස කිහිපය තුළ කඩිමුඩියේ ලියන්නට යෙදුණු බොහොමයක් දේ කමකට නැති වල්පල් බව මා සිතමි 😦

ඒ ගැන සමාව අයදින ගමන්ම මෙතෙක් කල් අඩක් නිමවා ඇති කණ්ඩාගේ ඇෆ්ගනිස්ථාන සංචාර ගැන කතාන්දරය වෙත නැවත පිවිසීමට සිතුවෙමි, ලැබෙන ප්‍රතිචාර වලින් මේ කතන්දර දෙස පාඨකයන් තුන් ආකාරයකින් බලන බව කණ්ඩා හට වැටහී ඇත.

එනම් මේ කතා ඇතැමෙක් වීර කාව්‍ය ලෙසද තවකෙක් මෝඩකමේ උපරිමය අතිශෝක්තියෙන් යුතුව පෙන්වන නරි නාඩගං ලෙසද අර්ථ දක්වන්නෝය. ඒ අතරම මැදහත් බොහෝ දෙනා මෙය අත්විඳින්නට අපහසු ඉතා දුර්ලභ සංචාර සටහන් ලෙස සලකන බවද මා දනිමි.

කෙසේ වෙතත් සැබැවින් ගත්කල කණ්ඩාට මේ සියල්ල ජිවිතයේ අමතක කල නොහෙන සිහිනයක් බඳු තවත් එක් පරිච්ඡේදයකි, එනිසා අරමුණ ඔබ සැමගේ ලාම්පු සංවේගය උදෙසා දිගටම කතාව ඉදිරිපත් කරන්නටය  🙂

එමෙන්ම ලිපිය මේ සතියේ පල කරන්නට නොහැකි උවහොත් නැවත පල කරන්නට වෙන්නේ තවත් දෙමසකට පසුවය.

කණ්ඩා එතෙක් මෙතෙක් ජිවිතය පුරාවට යන දීර්ඝතම සංචාරය ඇරඹී ඇත, මාසයක් තිස්සේ නිවසින් පිටවී හෝටල් කාමර වලට කොටු වීම එතරම් විනෝද ජනක නොවුණත් නොගිය රටක සිරි විඳිමින් රස්තියාදු ගැසීම ඒ  සියල්ල අමතක  කරවන්නට සමත්ය.

මෙදා ගමනේ අරමුණ ඔටු දේසෙන් හිරු නොබසින දුපතට ගොඩ බැස රැජිණ ආච්චි ආත්තම්මාගේ දුක සැප බලා එතැනින් වියෙනා හරහා බීතෝවන් සහ මොසාර්ට්ද හමු වී අතේ පිච්චිය හිඳුන පසු වැනීසියේ වෙළෙන්ඳා බැහැ දැක ණයට කීයක් හරි ඉල්ලා ගැනීමය 😀

ඒ අතරම අවුල් වන්නට පෙර පටන් ගෙන කවුරුත් රස විඳි නමුත් දැන් හොඳටෝම අවුල් වී පසු ගිය දිනෙක නවතා දමන්නට යෙදුණු ලිවීම නැවත අරඹන ලෙස මහා පෙත්සමක් ඉදිරිපත් කරන්නටද නියමිතය, ඒ මා වෙනුවෙන් පමණක් නොව අරූගේ බ්ලොග් පාඨකයන් සියල්ලන් වෙනුවෙන්ය !

මේ සංචාරය ගැන වෙනම ලිපි පෙළක් කණ්ඩා අතින් පසුවට ලියවෙනු ඇති නිසා අද දවස ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වෙන් වන්නේය  !


කාබුල්හි අතුරු මාවත් වල කෑලි කැපිය හැකි ඝන අඳුරේ කරක් ගැසූ අප ගමන් ගත් ලදරම් වෑන් රථය සුපිරි කඳවුරු පරිශ්‍රයේ ගේට්ටුව අසල නැවැත්වූ වහාම, අවි මානා ගත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු භූතයන් මෙන් අඳුර තුලින් මතු වූහ.

මොවුන් කාන්තාර මෙහෙයුම් වල යෙදෙන යුද හමුදාවන් භාවිතා කරනා ලා දුඹුරු පැහැයට හුරු නිල ඇඳුමින් සහ වෙඩි නොවදින ආරක්ෂක කබායන්ගෙන් සැරසී සිටියෝය. ඔවුන් ස්වයංක්‍රීය ගිනි අවි සහ බඳ වටා රැඳි සුළුඅවි (Sidearms) වලින්ද සන්නද්ධව සිටි බව පෙනෙන්නට තිබුණි.

මේ සියලු දෙනා මුහුණින් අඩක් ආවරණය වන සේ “ශේමාග්” හෝ “කෙෆීයේ” (Shemag/Keffiyeh) නමින් හඳුන්වන ලේන්සු වලින් මුකවාඩම් දමා ආරක්‍ෂිත ඇස් කණ්නාඩි පැළඳ සිටිනා නිසා එය එකවරම සිහි ගැන්වූයේ කණ්ඩා නැරඹු මිලිටරි චිත්‍රපටි ජවනිකාවකි.

 

(ගුර්කා ආරක්ෂක නිලධාරියෙක් සහ ශේමාග් ලේන්සුවක් පැළඳි හමුදා භටයෙක් ) 

ඒ අතර තුරදී අඩි 10-15 ක් උස යකඩ ගේට්ටුව දෙපස එයටත් වඩා උස කොන්ක්‍රීට් වලින් සැදි මුරකුටි දෙකක් (Watch Tower) ඇති බව කණ්ඩා නිරීක්ෂණය කළේය, අප වාහනය දෙසට එල්ලව ඇති අධි දීප්ත සෝදිසි ආලෝක ධාරා (Spot Lights) නිසා නිසි ලෙස නොපෙනුණත් ඒවායේද අප වාහනය දෙසට අවි අමෝරා ගත් ආරක්ෂක නිලධාරින් ඇති බව සහතිකය.

ගේට්ටුව ඉදිරිපස මුරකුටි වලට පහළින් හදිසි අවස්ථාවහිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා වැලි කොට්ට අසුරා තැනූ බාධක දෙකකි.

ගේට්ටුව ඉදිරිපස සිටි ආරක්ෂක නිලධාරින්ගෙන් එක් අයකු අත රැදී ගිනි අවිය මදක් පහත හෙළා ඉතා සුපරික්ෂාකාරීව වෑන් රථය දෙසට සමීප වූයේ කොයි මොහොතක හෝ නැවතත් අවි මනා ගැනීමට සුදානමෙන් බව පැහැදලිය.

සෙමෙන් රියදුරා සහ මගපෙන්වන්නා වෙත පැමිණ අපගේ හැඳිනුම්පත් ඇතුළු ලියකියවිලි පරික්ෂා කර එතෙක් වේලා ඉණ රඳවාගෙන් සිටි විදුලි පන්දමක් ගෙන රථය තුළ වූ අප මෙන්ම එහි වූ බඩු බාහිරාදියත් දැඩි පරික්ෂාවකට කල් කළේය.

ඉන් අනතුරුව අනිකා දෙසට සන් කර නේපාලි බසින් විධානයක් ලබා දී නැවතත් ගේට්ටුව දෙසට පිය මැන්නේ තවත් මොනවාදෝ මුමුනමින්ය, කට්ට කළුවරේ මුහුණ නොපෙනුණ නිසා මුලින් හඳුනා ගැනීම අපහසු උවද මේ ආරක්ෂක නිලධාරීන් නේපාල ජාතිකයන් බව කණ්ඩාට පසක් විය.

පසුව දැන ගන්නට ලැබුණේ සුපිරි කොම්පැනිය ආරක්ෂක කටයුතු සඳහා යොදා ගත් “කම්පස්” (Compass Security) නම් ආයතනයේ නේපාල ජාතිකයන් හෙවත් “ගුර්කා” (Ghurkha ) භටයන් විශාල වශයෙන් සේවයේ නියුතු බවය.

නේපාලය මුලික කරගත් ගුර්කා වැසියන් වර්තමානයේ ඉන්දියාවේ සීකිම් ප්‍රාන්තය පුරාද පැතිර සිටින්නෝය. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිටම රණ ශුරයන් ලෙස මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ මොවුන් ඉන්දියානු සාම සාධක හමුදාව සමගින් ශ්‍රී ලංකාව තුළද ක්‍රියාන්විත සඳහා සහභාගි වී ඇත.

එහිදී “ඔපරේෂන් පවන්” (Operation Pawan) නම් ක්‍රියාන්විතයේදී LTTE හා ගැටුණු ඔවුන්ගේ බලඇණි ප්‍රධානියා ඇතුළු බොහෝමයක් සෙබළුන් හට ජීවිත හානි සිදු වූ බවත් සඳහන්ය. (ඒ ගැන තවත් විස්තර මෙතැනින්)

ඇෆ්ගනිස්තානයේදීද එහි සේවයේ නියුතු ගුර්කා භටයන් පිළිබඳව හොඳ නොහොඳ දෙකම එක සේ කණ්ඩා අසා ඇත. සෙබළු 2-3 න් දෙනා එක්ව ටලිබාන්වරු 20-30 ක් දෙනා සමග තනිව සටන් කර ජය ගත් අවස්ථා මෙන්ම ටලිබාන් ප්‍රහාර හමුවේ කඳවුරු/මුර කපොලු අතහැර පලා ගිය අවස්ථාද ඒ අතර විය.

බොහෝ බ්ලොග් කරුවන් අද ලිවිල්ල හෙටට කල් තබන්නට ශුරයන්ය, කණ්ඩාත් එවැනි දේට හුරු වී හමාරය. එබැවින් ගුර්කා භටයන් සම්බන්ධව තවත් සවිස්තරාත්මකව ලියන්නට කණ්ඩා බලාපොරොත්තු වන නිසා අර කියන්නා සේ “සෙස්ස පස්සටය”.

මද වේලාවකින් තවත් ආරක්ෂක නිලධාරියෙක් බෝම්බ පරීක්ෂා කරන්නට යොදා ගන්නා දිගු රිටක සවි කළ කණ්නාඩියක් රැගෙනවිත් වෑන් රථය යට පරික්ෂා කිරීමෙන් අනතුරුව වාහනය කඳවුර වෙත ඇතුළු කිරීමේ අවසරය ලැබුණි.

ඒ සමගම පතරංග ගේට්ටුවේ එක පළුවක් විවර වූ බැවින් රියදුරා වාහනය කඳවුර තුළට ධාවනය කරනා විට මුලින්ම කණ්ඩාගේ නෙත ගැටුණේ ගේට්ටුව අසලම ප්‍රදර්ශනය කර තිබූ මාර්ග විදුලි සංඥා එළි සිහිගන්වන විශාල ප්‍රමාණයේ පුවරුවකි. ඒ අන් කිසිවක් නොව කඳවුරේ ආරක්ෂක තත්වය දක්වන දර්ශකයකි (Threat Level).

කණ්ඩා ආරක්ෂක විශේෂඥක් නොවන නිසා මේ ලියන්නේ මතක ඇති අකාරයටය, වැරදි ඇති නම් ඒ ගැන සැමට දැනගැනීමට නිවැරදි කළාට තරහක් නැත. දන්නා තරමින් රතු, තැඹිලි, කහ සහ කොළ වර්ණයන්ගේ අදහස් වන්නේ :

රතු – අන් හැම දෙයකම රතු එළිය අගුණය, මෙවන් අවස්ථා වලදී කඳවුරෙන් පිටවීම තහනම් වන අතර බොහෝවිට අනතුරුදායක තත්වය පහ වන තෙක් තම සිටින ස්ථාන වල දිගටම රැඳී සිටීම හෝ ස්ථානෝචිතව ආරක්‍ෂිත බංකර් වෙත යාමය සිදු වේ (Imminent Risk of an attack, Security Lock Down – No Movement Allowed)

මෙවන් අවස්ථාවකදී දෙවියන් බුදුන් අදහන උදවිය වේ නම් තමන් කැමති ආගමික චාරිත්‍රයක යෙදී යන තැනට වැඩ සලසා ගැනීමද සුදුසුය 😀

තැඹිලි – දැඩි අනාරක්ෂිත බව පෙන්නුම් කරන අතරම කඳවුරෙන් පිටවීම සහ ඇතුළුවීම අත්‍යවශ්‍යය කාර්යයන් සඳහා පමණක් සීමා වේ (High Risk of an attack, Restricted Movement)

කහ – අනතුරක් ආසන්න නැතිමුත් අවදානම සම්පුර්ණයෙන් පහව ගොස් නැති බව සහ සූදානමින් සිටිය යුතු බව මින් ඇඟවේ (Significant Risk of an attack, Constant state of vigilance)

කොළ – අනතුරුදායක තත්වයක් අඩු බව හෝ ආරක්ෂාව තහවුරු කර ඇති බව මින් අදහස් වේ, දන්නා තරමින් මෑත ඉතිහාසයේ ඇෆ්ගඝනිස්ථානයේ ආරක්ෂක තත්වය කොළ පැහැයට හැරුණු දිනක් තිබී නැත (Low Risk of an attack)

ඒ වනවිටත් තැඹිලි පැහැයෙන් යුතු වූ මේ පුවරුව ගැන නූර් පැවසුවේ මෙය මතක ඇති තාක් කාලයකට තැඹිලි හෝ රතු පැහැයට වෙනස් උවහොත් මිස මෙතෙක් කල් කොළ පැහැයට හැරුණු දවසක් මතකයේ නොමැති බවයි.

අවසානය ගේට්ටුවෙන් ඇතුළට ගත්තද වාහනයේ පැමිණි පුද්ගලයන් සියළු දෙනා සහ වාහනය ඇතුළුවීම්/ පිටවීම් ලේඛන වලට ඇතුළත් කරනාතුරු ඉන් එහා යාමට අවසරයක් නොවීය. එහිදී නැවතත් අපගේ හැඳුනුම්පත් සහ බඩු බාහිරාදිය සියල්ල පරික්ෂාවට ලක්වූ අතරම ඒ පිළිබඳ සටහන් තැබීමද සිදු විය.

කණ්ඩාට පසුව දැන ගන්නට ලැබුණේ මේ පරික්ෂාවේ ප්‍රධාන අරමුණ පුපුරණ ද්‍රව්‍ය සෙවීම උවත් එයට අමතර කඳවුරු තුළට හොර පාරෙන් මත්පැන් සහ මත්  ද්‍රව්‍ය මෙන්ම අවසර නොලත් පුද්ගලයන් එනම් ටලිබාන්වරුන්ට සහ විශේෂයෙන් කාන්තා පාර්ශවය ඇතුල් වීම වැලක්වීම බවයි 😀

මේ සියල්ල අහවර වනතුරු  තවත් පැය බාගයකට වඩා ගේට්ටුව අසල රැඳී සිටීමට සිදුවීම අවාසනාවන්ත තත්වයකි, හදිසි පහරදීමකට ලක් උවහොත් මෙය රැඳී සිටීමට කිසිසේත්ම සුදුසු ස්ථානයක් නොවේ. නමුත් වෙන කල හැකි දෙයක් නොවූ බැවින් අප සියල්ල ඉවසාගෙන සිටියෙමු.

කඳවුර තුළ අවහිරයකින් තොරව සැරිසැරීමට නම් සුපිරි කොම්පැනිය මගින් නිකුත් කරනා ලද හැඳිනුම්පතක් අනිවාර්යයෙන් තමන් සන්තකයේ තිබිය යුතුය, එසේ නොමැති නම් මොන රාජකාරියට ගියත් හැම විටම එවන් හැඳිනුම්පතක් සහිත පුද්ගලයකු කැටුව යාමට සිදුවේ.

කාබුල් වෙත ළඟා වීමට පෙරම කණ්ඩා හට හැඳිනුම්පතක් ඉල්ලුම් කර තිබුණද එය ලබා ගැනීමට පසු දා උදෑසන තෙක් සිටිය යුතුය, එබැවින් කඳවුරට සහ ඇෆ්ගනිස්ථානයට කෝඩුකාරයෙකු වූ කණ්ඩා පිළිබඳ වගකීම නූර් විසින් සහතික කල බැවින් කඳවුර වෙත යාමට අවසර ලැබුණි.

වාහනයේ අවසාන නැවතුම් පොළ වූයේ අන් ගොඩනැගිලි වලට ඈත්ව පිහිටි උරහිස් මට්ටම තෙක් උස ඝන කොන්ක්‍රීට් පුවරු සහ කණු වලින් වට කරන ලද කොටසකය. ඒ වාහන වල ආරක්ෂාව මෙන්ම වාහන වල සවිකළ කාර් බෝම්බයක් වැනි පුපුරන ද්‍රව්‍ය (IED – Imprpovised Explosive Devices) වලින් කඳවුරේ අන් දේට හානි වීම වළක්වා ගැනීමට විය යුතුය.

එතැන් සිට නැවතත් අඩුම කුඩුම සියල්ල තුම් මුණින් ඔසවාගෙන යාම විනෝදමත් කාරියක් නොවුණත් අප රියදුරාගේ සහ මග පෙන්වන්නාගේ සහයෙන් ඒ සියල්ල අසල වූ කාර්යාල ගොඩනැගිල්ලක් වෙත ගෙන ගොස් තැබූවෙමු.

හිතේ බර තරමක් නිදහස් උවද ගමන් විඩාව සහ තෙහෙට්ටුව එලෙසමය, හැකි ඉක්මනින් ඇඟපත සෝදාගෙන බඩට පිරෙන්නට යමක් ගිල දමා නින්දට යාම දැන් සියලු දෙනාගේ එකම උවමනාවයි.

මේ කඳවුර රංජිත්ගේ නිත්‍ය නවාතැන නිසා ඔහුට ගැටලුවක් නැත, නමුත් පිටස්තරයන් වන කණ්ඩා සහ නූර් වානර සම්පත් නිලධාරියා හමු වී නවතින ස්ථාන පිළිබඳ විස්තර සහ සුදානම් කළ කාමරවල යතුරු ලබා ගත යුතුය.

නමුත් වානර සම්පත් නිලධාරියා රාත්‍රී ආහාර ගැනීමට පිටත්ව ගොස් සිටි ඔහු එනතුරු කිසිවක් කල නොහැකිය, එබැවින් තීරණය වුයේ ප්‍රථමයෙන් අපත් රාත්‍රී ආහාරය නිමා කළයුතු බවයි.

කඳවුරු වාසින් හට අහාර සපයන අවන්හල වෙත අප ළඟා වන විට කෑම නිකුත් කරනා කාලවේලාව පසුවී තිබුණු මුත්, එය නොසලකා කඳවුරට අමුත්තන් වූ අප හට යුහුසුළුව අහාර පාන සැපයීමට තරම් එහි වූ ඉන්දියානු, නේපාල සහ පිලිපීන ජාතික සේවකයින් කාරුණික විය.

දැඩි කුස ගින්නක් නොවූවද නිතර කන්නට නොලැබෙන නානාප්‍රාකාර මස් මාංශ වලින් සැදි සරුසාර කැම වේලෙකින් ඇති පදම සන්තර්පනය වීමු, කෑම බීම බටහිර පන්නයේ උවද එහි කෝකියන් සියල්ලම පාහේ ඉන්දියන් සහ නේපාල ජාතිකයන් නිසා ලුණු ඇඹුල් සහිතව කටට රසට තිබුණේය.

40 – 50 දෙනෙකුට උව පහසුවෙන් එකට වාඩි වී ආහාර පාන ගත හැකි ලෙස නිමවූ අවන්හල කාබුල් වෙත ගොඩ බැස්ස පසු පළමු වතාවට දැන් ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ බව කණ්ඩාට අමතක කරනා තරමට ප්‍රියමනාප තැනකි, කාර්ය මණ්ඩලයද සුහදශීලී උදවිය වූ බව කියන්නට උවමනාය.

ආහාර අනුභවයෙන් පසු අවන්හල් සේවකයන් හට ස්තුති කළ අප නැවතත් කාර්යාල ගොඩනැගිල්ල වෙත පැමිණෙන විට වානර සම්පත් නිලධාරියා තම කාර්යාලය ඉදිරියට වී දුමාචාරයේ යෙදෙමින් සිටියේය. අපව උණුසුම් ලෙස පිළිගත් ඔහු අඩි හයකටත් වඩා උස සද්දන්ත දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වූ අතර ඉංග්‍රීසි හැසිරවීම සිදු කළේ එතෙක් කණ්ඩා අසා නොතිබූ අමුතුම උරුවකට (Accent) බව මතකය.

එහිදීත් සුපුරුදු පරිදි කණ්ඩාට අසන්නට ලැබුණේ නරක ආරංචියක්මය, කඳවුරු සාමාජිකයන් හට නවාතැන් ගන්නට සාදා ඇති කාමර සියල්ල හදිසියේ කන්දහාර් සිට පැමිණි සේවක පිරිසක් නිසා පිරී ඉතිරී ගොසින්ය.

එනිසා පළමු දිනය සඳහා කණ්ඩා හට තනි කාමරයක් නොලැබෙන බව සහ තවත් තිදෙනෙක් සමග කාමරය බෙදා ගන්නට සිදු වන බවත් දැනුම් දෙන ලදී. නමුත් කළමනාකාරවරයෙක් වූ නූර් හට වෙනම තනි කාමරයක් ලැබුණි.

මේ තත්වය ගැන කිසිඳු සතුටක් නොදැක්වූ නූර් ඒ පිළිබඳව නිලධාරියා සමග කිහිප විටක් තර්ක කළත් ඒ මහ රෑ ලැබෙන තැනක නවාතැන් ගැනීම හැර වෙනත් විකල්පයක් අපට ඉතිරිව තිබුණේ නැත.

කාබුල් ජිවිතයට කෝඩු කාරයකු වූ කණ්ඩාට දැඩි ගමන් මහන්සියත් සමග අවශ්‍ය වූ එකම දේ ඇඟ පත සෝදාගෙන නින්දට යාම පමණකි. එනිසා වැඩි දුරදිග නොසිතා කනුකුණු ගෑමකින් තොරව හවුලේ භාවිත කරනා කාමරයක පළමු රැය ගත කිරීමට කණ්ඩා එකඟ විය.

අප කාර්යාලයෙන් පිටත්ව එන අතරතුරදී නූර් පැවසුවේ මේ නවාතැන් පහසුකම් ගැන මා හට අනිවාර්යයෙන්ම පසු තැවෙන්නට වෙන බවය  (oh boy, you are going to regret this !) , එනිසා හදිසියේ කරදරයක් උවහොත් තමන අමතන ලෙස ඔහුගේ කාමර අංකය මෙන්ම ඇෆ්ගනිස්ථාන දුරකථන නොම්මරයද ලබා දුන්නේය.

~ මතු සම්බන්ධයි

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ VI කොටස ~ කාබුල් පොල්ල !

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ VIII කොටස ~ කාබුල් ස්පෙෂල් නේපාලි අරිෂ්ඨ !

Advertisements